Colombo Telegraph

‘‘රතුපස්වල’’ තුත්තිරි ගැලවීම

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

‘‘එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ 60,000 ක් ජනතාවට අවශ්‍ය වතුර දවස් හතක්ම අහිමි කෙරුවා. වතුර කියන්නේ මූලික අවශ්‍යතාවක්. අපේ ආරක්ෂක හමුදාව ගිහින් මාවිල්-ආරු සොරොව් ඇරලා, ඒ ජනතාවට අවශ්‍ය වතුර ටික ලබා දුන්නා. ඒක අද වගේ දවසක අපි මතක් කරන්න ඕනෙ.’’ – ජනාධිපති මහින්ද රාජපක්ෂ – 2013 මාර්තු 22, ලෝක ජල දිනයේ දී

‘‘මාවිල්-ආරු වතුර ප‍්‍රශ්නෙ වගේ නෙවෙයිනෙ රතුපස්වල වතුර ප‍්‍රශ්නෙ….මාවිල්-ආරු ගැන කියනවා වගේ රතුපස්වල ගැන ඊළ`ග ලෝක ජල දිනේ දී කියන්න බැහැනෙ….රතුපස්වලින් නම් ආණ්ඩුව ඇන ගත්තා….’’ රතුපස්වල ජනතාව වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ විට, ඊට එරෙහිව හමුදාව යෙදවීමෙන්, නිල වශයෙන් තිදෙනකු මිය ගොස් 40 ට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කිරීම සම්බන්ධව කෙරුණු එක් විවේචනයක් එවැනි ය.

ජනතාවට වතුර ලබා ගැනීමට ඇති අයිතිය අහෝසි කිරීමේ කිසිදු ගෞරවයක්, වීරත්වයක් කිසිදු සමාජයක නැත. එය රතුපස්වල ජල ප‍්‍රශ්නයේදී ද මේ ආණ්ඩුවටත් එළෙසින්ම අදාල ය. එනිසා ඒ අයිතිය රතුපස්වල ජනතාවට ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට ද පිළිගන්නට සිදු වූවකි. ඔහු ඒ අයිතිය එසේ පිළිගත්ත ද, මෙහි එක් වෙනසකට ඇත්තේ, එල්.ටී.ටී.ඊය මාවිල්-ආරු සොරොව් වැසූ වෙලාවේ, ජනතාවට ජලය ලබා දෙන්නට ගිය හමුදාව, රතුපස්වල ජනතාව වතුර ඉල්ලා පාරට පැමිණි විට, මළ මිනී, තුවාලකරුවන් සමගින් ඒ ජනතාව ගෙවල් වලට එළවා දැමීමය. මේ හමුදාව එදා වගේම අද ඇත්තේත් ආරක්ෂක අමාත්‍යාංශයේ නොවෙනස් වූ පාලනය යටතේම ය. අනෙක් වෙනස ඇත්තේ, මාවිල්-ආරු ජල ප‍්‍රශ්නයට හේතු වන්නේ එල්.ටී.ටී.ඊය වූවත් රතුපස්වල ජනතාවගේ ජල ප‍්‍රශ්නයට හේතුව, ආණ්ඩු පාලනයේ බලවත් සම්බන්ධයක් ඇති, ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරයද දරන්නා වූ ධම්මික පෙරේරා ගේ හේලීස් සමූහ ව්‍යාපාරයට අයිති සමාගමක් ඊට චෝදනා ලැබීම ය.

ඒ හේතුව නිසාම, ඒ වෙනුවෙන් හමුදාවට දොස් නැගීමේ හෝ හමුදාව ඒ වෙනුවෙන් වගකිව යුතු ද නැති ද යන්න විභාග කිරීමට කොමිසම් පත් කිරීමේ හෝ වැදගත් කමක් නැත. එකක් නම්, මේ ආණ්ඩුව පත් කරන එවැනි කොමිසම් ස්වාධීන යැයි කිසිවකු පිළිගන්නේ නැත. අනෙක නම්, එවැනි කොමිසම් වල වාර්තා ප‍්‍රසිද්ධ කෙරෙන්නේ ද නැත. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 2011 මැයි මාසයේ සිදු වූ පොලිස් ප‍්‍රහාරය සහ එහිදී එක් කම්කරුවෙකු මිය ගොස් තවත් සැළකිය යුතු පිරිසකට බරපතල ලෙස තුවාල සිදුවීම සම්බන්ධව ජනාධිපති පත් කළ මහානාම තිලකරත්න කොමිසම් වාර්තාව, මේතාක් කල් ප‍්‍රසිද්ධ කර නැත. හලාවත ධීවර විරෝධයේ දී වෙඩි වැදී මිය ගිය ධීවරයාගේ මරණය ගැන සිදු කෙරුනු පරීක්ෂණ වාර්තා ගැන අපි නොදනිමු. එවගේම, කවර ආකාරයේ ස්වාධීන කොමිසම් පත් කළ ද සිදුවන්නේ හමුදා පොලිස් නිලධාරීන් මත වරද පටවා, මේ අපරාධ සඳහා මූලික හා අවසන් වශයෙන් වගකිව යුතු රාජ්‍ය පාලනයේ ඉන්නා දේශපාලකයින් නිදහස් වීම පමණ ය.

ප‍්‍රාදේශීය සභාවේ සිට අදාල සියලූ තැන් වෙත තම ප‍්‍රදේශයේ භූගත ජලය ක‍්‍රමානුකූලව දූෂණය වන බව මාස ගණනාවක් පුරා පැමිණිලි කළ ප‍්‍රදේශවාසී ජනතාවගේ පැමිණිලි කිසිදු වැදගත් පරීක්ෂණයකට බඳුන් නොකෙරුණේ ඇයි දැයි නොඅසා, ඒ වෙනුවෙන් එතෙක් කල් කිසිදු විසඳුමක් යෝජනා නොවුනේ මන්දැයි නොඅසා, රතුපස්වලට පොදි ගැසුණු දහස් ගණනක් ජනතාවට හමුදාව විසින් ම්ලේච්ඡු ලෙස පහරදීම ගැන ජාත්‍යන්තර කොමිසම් ඉල්ලීම, මෙකල සමස්ථ විපක්ෂයේම නපුංසකත්වය නැවත ප‍්‍රදර්ශනය කිරීමකි. රතුපස්වල ඛේදවාචකය පටන් ගන්නේ හමුදා ප‍්‍රහාරයෙන් නොවන බව, විපක්ෂය තේරුම් ගත යුත්තකි. ඊට සම්පූර්ණ වශයෙන් වගකිව යුත්තේ ආණ්ඩුව බව විපක්ෂය කිව යුතු ය. හමුදාව කැඳවෙන්නේ ජනතාවගේ ජල ප‍්‍රශ්නයට විසඳුම් ලබා දීමට ඉදිරිපත් නොවුනු මේ රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ¥ෂිත, අකාර්යක්ෂම කි‍්‍රයා කලාපය නිසාවෙනි. හමුදාවේ ම්ලේච්ඡුත්වය යනු, ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමෙන් පලා යන මැති ඇමතිවරුන්ගේ අසහනයේ අවසන් නිවට උත්තරය පමණි.

එනිසා, ‘‘හමුදාව කැඳෙව්වේ කවුද ? හමුදාව කැඳෙව්වේ ඇයි ? හමුදාව කැඳවීමට පෙර පොලීසිය හැකි උපරිමයෙන් සාමය රැුකීමට උත්සාහ කර තිබුණා ද ? වෙඩි තබන්න අණ දුන්නේ කවුද ? හමුදාව කැඳවීමට එහි බාහිර හතුරෙකු සිටියා ද ? පහර දෙන්නට පෙර ආයුධ අතැති කලහකාරීන් හඳුනා ගත්තා ද ? මාධ්‍යවේදීන් තෝරා පහර දීමේ වුවමනාව කුමක් ද ?’’ වැනි දිගු ප‍්‍රශ්න පත්තරයක් ඉදිරිපත් කිරීමේ කිසිදු දේශපාලන අර්ථයක් නැත. එවැනි ප‍්‍රශ්න පත්තරයක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමෙන් කියන්නේ, වරද ඇත්තේ ආණ්ඩුවේ නොව, රතුපස්වල ගිය පොලීසියේ හෝ හමුදා නිලධාරීන්ගේ අත යන්නයි. ආණ්ඩුව සිය වගකීමෙන් නිදොස් කිරීම සඳහා හදා ගන්නා අති සියුම් තර්ක ද මොවුන්ට ඇත. ඉන් ඉතාම නිවට තර්කය වන්නේ නීති විරෝධී, ජනතා විරෝධී අණ ලැබුණ ද, එවැනි අණ නොපිළිපැද සිටීමේ හෘදය සාක්ෂියට අනුව, ඒ අණ කි‍්‍රයාත්මක නොකර සිටීමේ අයිතියක් හමුදා සෙබ`ඵන්ට ඇතැයි යන්නය. එනමුත් වර්තමාන හමුදාවන් පුහුණු කර ඇත්තේ හෘදය සාක්ෂියට අනුව කි‍්‍රයාත්මක වන්නට නොව, දෙනු ලැබූ අණට අනුව කි‍්‍රයාත්මක වන්නට ය. පැරණි හමුදා පුහුණු වලට වඩා නූතන හමුදා පුහුණු වීම් අණ පිළිපැදීමේ දැඩි විනයක් සෙබ`ඵන්ට එන්නත් කරන්නකි. ‘‘හමුදා විනය’’ කියන්නේ අණ පිළිපැදීමට මිස වෙනකකට නොවේ.

හමුදාව පිළිබඳ ප‍්‍රශ්න වැල් ඉදිරිපත්කර ඒ සඳහා උත්තර ඉල්ලා සිටීම මේ සමාජයේ විහි`ඵවකි. එවැනි ප‍්‍රශ්න සඳහා උත්තර සොයා ගැනීම සිදුවිය යුත්තේත්, ඕනෑම මිනිස් ඝාතනයක දී ඔිනෑම අපරාධයක දී පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්ගේ වගකීමක් ලෙසින් ය. එවැනි පූර්ණ පරීක්ෂණ ඉල්ලා සිටිය යුතු බව සැබෑ ය. එසේ ඉල්ලා සිටිය යුත්තේ රතුපස්වල ජනතාවට හමුදා පහරදීම හමුවේ සාධාරණත්වයක් ඉටු කර දීමට පමණි. ඔවුන්ට පහර දුන් ඔවුන්ගේ දරුවන් සහෘදයින් ඝාතනය කළ පොලීසියේ හමුදාවේ ප‍්‍රචණ්ඩ හැසිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයකින් පසු වරදකරුවනට ද`ඩුවම් පමුණුවා ලීමේ සාධාරණත්වය වෙනුවෙන් පමණි. එවැනි සාධාරණත්වයක් ඉටු කරලීමේ වගකීම ඇත්තේ ද මේ ආණ්ඩුවටම ය. එවැනි ස්වාධීන පරීක්ෂණයක් අද මේ ආණ්ඩුව යටතේ ඉටුවේ යැයි කිසිසේත් සිතිය නොහැකි ය. අවම තරමින් ආරක්ෂක ලේකම් සහ හමුදාපති ඉල්ලා අස් විය යුතු යැයි කියන්නට විශ්ව විiාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සූදානම් වූ තරමටවත් මේ හිස් ප‍්‍රශ්න වැල් අමුණන විද්වතුන් සූදානම් විය යුතුව තිබිණ. ආණ්ඩුවෙන් සාධාරණත්වයක් ඉල්ලා සිටින්නට විපතට පත් රතුපස්වල ජනතාවට අයිතියක් ඇත යන්න ඉන් නිශේධ වන්නේ ද නැත.

රටේ ජනතාව වශයෙන් අප අමතක නොකළ යුත්තේ ඒ සාධාරණය ඉල්ලා සිටීම, වතුර ඉල්ලිමට උත්තර නොඳුන් මේ ආණ්ඩුවේ සමස්ථ දේශපාලන වගකීමට හිලව් නොවන බව ය. රතුපස්වල දී මුදා හැරුණු ම්ලේච්ඡුත්වය හමුදා නිල ඇඳුම් සමගින් මුදා හැරුණත් එය මේ ආණ්ඩුවේ ම්ලේච්ඡු පාලනයේ ප‍්‍රධාන ලක්ෂණයක් බැව් රටට කියා දිය යුතු වන්නකි. එනිසා රතුපස්වල දී ආණ්ඩුව මුදා හැරි ම්ලේච්ඡුත්වය ප‍්‍රශ්න කළ යුත්තේ දේශපාලන වශයෙනි. ඒ බව හමුදාව සඳහා ප‍්‍රශ්න පත‍්‍ර සකස් කරන දේශපාලන විශාරධයින්, විද්වතුන් නීතිවේදීන් තේරුම් නොගැනීම හෝ ඔවුන් දේශපාලන වශයෙන් ආණ්ඩුව ප‍්‍රශ්න කිරීමට ඉදිරිපත් නොවීම, මේ රාජපක්ෂ ආණ්ඩුවට ඇති වාසියකි.

රතුපස්වලට යළි ප‍්‍රවිෂ්ඨ වීමේ දී පළමුවෙන් ඇසිය යුතු රාජ්‍ය පාලනය පිළිබඳ ප‍්‍රශ්න කිහිපයක් ඇත. ‘‘රතුපස්වල වතුර අපවිත‍්‍රවීම, ¥ෂණයවීම වැනි කාරණාවක් පිළිබඳව ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් වෙත පළමු පැමිණිල්ල ලැබුණේ කවදා ද ? ඒ වෙනුවෙන් ඔහු ගත් පියවර කුමක් ද ? එය දිස්ති‍්‍රක් ලේකම්ගේ බලය යටතේ විසඳන්නට නොහැකි වූවා නම්, ඔහු ඒ ප‍්‍රශ්නය යොමු කෙරුවේ කාට ද ? කවදා ද ? එවැනි වතුර ප‍්‍රශ්නයක් අයත් වන්නේ කවර රාජ්‍ය ආයතනයකට ද නැතිනම් ආයතන කිහිපයකට ද ? ඒ රාජ්‍ය ආයතනය හෝ ආයතන අයත් වන්නේ කවර අමාත්‍යාංශයකට ද නැතිනම් අමාත්‍යාංශ කිහිපයකට ද ?’’ ඒ අමාත්‍යාංශ අතරට, වාරිමාර්ග සහ ජල කලමනාකරණය, පරිසර සහ ප‍්‍රතිඋත්පාදන බල ශක්ති, ජලය සහ ජලප‍්‍රවාහනය වැනි අමාත්‍යාංශ අනිවාර්යයෙන් අයත් විය යුතු ය. හමුදාව රතුපස්වල යැවීමට පෙර මාස ගණනාවක් තිස්සේ මේ අමාත්‍යාංශ කුමක් කළේ ද ? ඔවුන්ට තනිව හෝ හවුලේ ඊට විසඳුම් ලබා දීමට නොහැකි සේ නැදුන්ගමුවේ පිහිටි වෙනිග්‍රොස් කම්හල ඊට පැටලෙන්නේ නම්, ඔවුන් කම්කරු අමාත්‍යාංශයත් ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය අයත් ආර්ථික හා ආයෝජන අමාත්‍යාංශයත් හවුල් කර ගත්තේ ද ?

ඒ සමග කිසිදු ආකාරයකින් මග නොහැරෙන, ස්ථිරවම දැකිය හැකි මේ ආණ්ඩු පාලනයේ ප‍්‍රධානම කාරණාව නම්, රතුපස්වල සම්බන්ධ මේ අමාත්‍යාංශ බාර නිමල් සිරිපාල සිල්වා, සුසිල් පේ‍්‍රම්ජයන්ත, දිනේශ් ගුණවර්ධන, ගාමිණි ලොකුගේ සහ ලක්ෂමන් යාපා අබේවර්ධන යන ඇමතිවරුන්ගේ පුදුමාකාර, ගල් ගැසුණු නිහැ`ඩියාව ය. මේ ඇමතිවරුන් අතුරෙන් පාර්ලිමේන්තුවේ දී හමුදාව වෙනුවෙන් උත්තර බඳින්නට සභානායක ලෙස නිමල් සිරිපාල සිල්වා ඇමති ඉදිරිපත් වූවත් ඔහු ඔහුගේ ජල කලමනාකරණ අමාත්‍යාංශය වෙනුවෙන් කිසිවක් නොකීවේ ය. අනෙක් ඇමතිවරුන් රතුපස්වල ගැන මෙතෙක් හාංකවිසියක් කතා කර නැත. ඒ සියල්ලන්ම එකතු වී කළ ඉටි ගෙඩියක් ද නැත.

ඒ වෙනුවට ගම්පහ දිස්ති‍්‍රක් නියෝජනය මත ළකුණු දා ගත හැකියැයි සිතා රතුපස්වල ගියේ ජනතාවගේ ජල ප‍්‍රශ්නයට කිසිදු උත්තරයක් දිය හැකි ඇමතිවරයෙකු නොවේ. එහි ගියේ නොයෙකුත් අපරාධ සම්බන්ධයෙන් මේ සමාජයේ හැම තැනකදීම හෑල්ලූවට ලක් වූවත් ඇමතිකම නැති නොවන මර්වින් සිල්වා ය. අනෙක් තැන්වල වෙනත් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ද මේ ආණ්ඩුව කි‍්‍රයා කරන්නේ එළෙසින්ම, වගකීම් විරහිතව ය. ලග්ගල ජනතා විරෝධය සමනය කිරීමට ගොස් ආරක්ෂා සහිතව පැමිණියේ ද මාතලේ දිස්ති‍්‍රක්කයේ එවැනිම මන්තී‍්‍රවරයෙකි. මොරටුව වඩු කාර්මික විරෝධය බලන්නට ගියේ කර්මාන්ත ඇමති නොව, තැපැල් ඇමති ය. ජනතා ප‍්‍රශ්න විසඳීමේ ආණ්ඩුවේ වගකීම එවැනි ය.

මේවා ගැන මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කරන්නේ නැත. ඔවුන්ට එවැන්නක් කරන්නට අද හයියක්, දැනුමක් ඇත්තේ ද නැත. රතුපස්වල දී ගුටි කෑ මාධ්‍යවේදිනියන්, මාධ්‍යවේදීන් තමන්ට සිදුවූ අසාධාරණය ගැන කතා නොකරන රටක, තමන්ගේ අයිතීන් වෙනුවෙන්, ප‍්‍රශ්න වෙනුවෙන් සංවිධානය නොවන මාධ්‍යවේදීන් ඉන්නා සමාජයක, රතුපස්වල ජනතාවට ජලය ලබා ගැනීමට ඇති අයිතියත් ඒ වෙනුවෙන් විසඳුම් ලබා නොදීමේ අසාධාරණයත් කතා කරනු ඇතැයි බලාපොරොත්තු වීම, එක අතකින් දේශපාලනඥයින්ගෙන් චරිත සහතික ඉල්ලීමක් වැනි ය. රතුපස්වල ජනතාවගේ ප‍්‍රශ්නය ආරක්ෂක ලේකම් සියතට ගන්නේත් තමන් රිසි සේ එය අවසන් කරන්නට තීන්දු කරන්නේත් මේ නිවට සමාජයේ පිටු බලය ඇතිව ය.

විපක්ෂය අද මේ මොහොතේ කතා කළ යුතු වන්නේ, ආණ්ඩුවේ ඒ නිවට දේශපාලනය ගැන ය. තමන්ට අදාල ප‍්‍රශ්න වෙනුවෙන් මැදිහත් නොවන, සියල්ල ආරක්ෂක අමාත්‍යාංශයට බාර කෙරෙන, තම විෂය වෙනුවෙන් හෝ වගකීමක් නොගන්නා ඇමතිවරුන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක දේශපාලන වගකීම ගැන ය. හමුදාවේ කි‍්‍රයාකාරිත්වයත් එහි තිබූ ම්ලේච්ඡුත්වයත් වෙනුවෙන් හ`ඩා වැලපී රතුපස්වල ජනතා විරෝධයට ඉදිරියක් අවසාන විසඳුමක් ලබා දිය නොහැක. රතුපස්වල ජනතාවට හමුදා ප‍්‍රචණ්ඩත්වයෙන් සිදුවූ අසාධාරණයට අවශ්‍ය වන්නේ නීතියෙන් සහ අධිකරණය විසින් ලබා දෙන සාධාරණත්වයකි. එහෙත් ඔවුන්ගේ ඇත්ත ප‍්‍රශ්නයට, ජල ප‍්‍රශ්නයට අවශ්‍ය වන්නේ ආණ්ඩුවෙන් ලබා දෙන විසඳුමකි. ඒ විසඳුම ඉල්ලා නැවත වහා පාරට බසින්නට ඔවුන්ට ද, යුද්ධයෙන් අනාථ කෙරුනු උතුරේ දෙමළ ජනාවට මෙන් දැන් මේ මොහොතේ ශක්තියක් නැත. විපක්ෂයෙන් සහ ඒ ගැන කතා කරන විද්වතුන්ගෙන් කෙරෙන්නේ හමුදා ප‍්‍රචණ්ඩත්වයෙන් ජනතාවගේ ජල ප‍්‍රශ්නය යට ගැසීමකි. විසඳුම් නැති මේ ආණ්ඩුවට එය ද අවශ්‍ය වන්නකි.

විපක්ෂය දුර්වල යැයි කියන්නේ එබැවින් ය. ජනතාව වෙනුවෙන් මැදිහත්වීමේ දී එල්ලය තෝරා ගැනීමට නොදන්නා නිවට නායකත්වයක් හෙයිනි. ඔවුන් කරන්නේ වත්ත කුලියට ගෙන කටු පඳුරු වවන මුදලාලිගේ කෙරුවාව, තුත්තිරි ගලවා පෙන්වීමක් වැනි වැඩකි. ඒ වැඬේ ගෝසාව ඇසුණත් ඉන් රතුපස්වල ජනතාවට ප‍්‍රයෝජනයක් නැත. අද විපක්ෂය අවශ්‍ය වන්නේ රතුපස්වල ජනතාවගේ ජල ප‍්‍රශ්නය යට ගැසීමට ඉඩ නොදී එය විසඳන ලෙසට ආණ්ඩුවට බල කිරීමට ය.

Back to Home page