Colombo Telegraph

අවුල් මැද ‘‘විකල්පයක්’’ සෙවීම

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

රට්ටු මෙය අසාර්ථක රාජ්‍යයක් යැයි කියති. ජනමාධ්‍යවේදීන්ට අනතුරුදායක යැයි කියති. ආයෝජන සඳහා වගවීම් නැති පාලනයක් යැයි කියති. රට්ටු මොනවා කීවත් නොකීවත්, මේ ආණ්ඩුවේ සමස්ථ පාලනයම දූෂිත, අසාර්ථක, ජනතා විරෝධී පාලනයකි. දිග් ගැසුණු දේශපාලන අර්බූදය, වාර්ගික හා ආමික අන්තවාදයේ අසික්කිත තර්ජන, මානුෂික වටිනාකම්-සාරධර්ම පිරිහුණු සමාජ සංස්කෘතික සෝදා පා`ඵව සමග ජීවන වියදමද නොකඩවා ඉහළ යාම, මේ ආණ්ඩුව යටතේ මෙන් වෙනත් කිසි කලෙක නොවුනි.

මේ කිසිවකට, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් පමණක් විසඳුම් ලැබෙන්නේ නැත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සැකිල්ලකින් හෝ ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් හෝ මේ රාජපක්ෂ පාලනය අභියෝග කිරීමටද නොහැක. ඊට පෙර,

  •  අධ්‍යාපන අර්බූදයට
  •  සෞඛ්‍ය සේවාවේ අමානුෂිකත්වයට
  • වගකීමක් නැති මගී ප‍්‍රවාහනයේ රස්තියාදුවට
  •  ග‍්‍රාමීය ආර්ථික සෝදා පා`ඵවට
  • දෙමළ සහ සු`ඵතර ජන කාණ්ඩ, ප‍්‍රධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයෙන් පිටමං කර තැබීමට
  •  අධිකරණයේ සහ පොලීසියේ දූෂණ හා අකාර්යක්ෂමතාවයට

මේ රාජපක්ෂ ආණ්ඩුවෙන් විසඳුම් ඉදිරිපත් නොකෙරෙන හෙයින්, විපක්ෂය ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමේ වගකීම බාර ගන්නේ ද නැති ද යන්න, මේ රටේ පුරවැසියනට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට වඩා වැඩි ප‍්‍රමුඛත්වයක් හා වැදගත්කමක් තිබෙන්නකි. තමන්ගේ වරප‍්‍රසාද, වරදාන, ලාභ සහ වාසි වෙනුවෙන් බලය ගැන පමණක් උනන්දුවන පිරිසිකට මේ ආකාරයෙන් මේ රට වටයෙන් වටය විනාශය කරා ඇද ගෙන යාමට ඉඩ දෙන්නේ ද යන ප‍්‍රශ්නය, විකල්ප විසඳුම් සමගින් අද සමාජය ඉදිරියේ වහා තැබිය යුත්තකි.

එය සාම්ප‍්‍රදායික මැතිවරණ පොරොන්දු පත‍්‍රයක් නොවිය යුතු ය. එය ඊළ`ග ආණ්ඩුවේ පළමු වසරේ වැඩපිළිවෙල ලෙස, අද සිට සමාජ කතිකාවකට ලක් කළ යුත්තකි. මෙය ඒ වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන කෙටි පිළිතුරු සටහනකි.

සමාජ පැවැත්ම සඳහා අවශ්‍ය මූලික සේවාවන් කාර්යක්ෂමව හා පාඩු නොලබන තත්ත්වයෙන් පවත්වා ගැනීමේ වගකීමත් ආර්ථික දුබලතාවන් නිසාවෙන් අවම මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට අපහසු දිළිඳු පවුල් සඳහා යහපත් සමාජ ආරක්ෂණ සේවාවන් සහතික කර දීමත්, බලයට පත්වන ආණ්ඩුව විසින් බාර ගත යුතු පරම වගකීමක් බව, මෙහි මූලික පිළිගැනීම ය.

ජාතික අධ්‍යාපනය –

අපේ රටේ නිදහස් අධ්‍යාපනය ගැන කතාව අසම්පූර්ණ කතාවකි. පාසල් හා උසස් අධ්‍යාපන ආයතන මගින් හදන ශිල්පීය කුසලතා සහ බුද්ධිමය සම්පත්, අවුරුදු 10 ක 15 ක කාලයක් තුල නිදහස් අධ්‍යාපනය යැයි මුදල් වැය කර, ආර්ථිකයේ කවර කාර්යක් ඉටු කිරීම වෙනුවෙන් නිර්මාණය කරන්නේ ද යන්නට, අපට උත්තරයක් නැත. ඒ සඳහා උත්තරයක් නොමැති විට, පුරප්පාඩු නොමැති වීමත් තිබෙන පුරප්පාඩු සඳහා සුදුස්සන් නොමැති වීමත් අපගේ ගැට`ඵව ය. අධ්‍යාපනය සැළසුම් කිරීමට නම්, ඉදිරි අවුරුදු 25 ක පමණ කාලයක සමාජ, සංස්කෘතික හා ආර්ථික සංවර්ධන සැළැස්ම ගැන අපට අවබෝධයක් තිබිය යුත්තේ එබැවින් ය. අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවක් වාර්ෂිකව වැය කළ යුතු මුදලත් නිදහස් අධ්‍යාපනය හිමි විය යුත්තේ කාට ද කෙසේ ද යන්නත් ඒ ජාතික අධ්‍යාපන සැළසුම අනුව තීන්දු කළ යුත්තකි.

විධිමත් අධ්‍යාපනය, නාගරික හා ග‍්‍රාමීය යැයි වෙනසකින් තොරව ආර්ථික පීඩනයට හසුව ඇති පවුල්වල දරුවන් සඳහා ද පොදු හා සමාන අවස්ථාවන් ඇති පාසල් අධ්‍යාපනයක් ලෙස සංවිධානය කිරීමත් පවත්වා ගැනීමත් ආණ්ඩුවේ වගකීමය. උසස් අධ්‍යාපනය දැනට මෙන් විශ්ව විශාල අධ්‍යාපනයට ලඝු කර, හන්දි ගානේ ඇති අධ්‍යාපන කඩ වැනි විශ්ව විශාල නඩත්තු කිරීමක් නොවිය යුතුය. ජාතික හා ග‍්‍රාමීය ආර්ථිකයට ගැලපෙන, අධ්‍යාපනයේ ඉතාම වැදගත් අංශයක් ලෙස තෘතියික අධ්‍යාපනය සංවිධානය කිරීමත් ආණ්ඩුවේ වගකීම ය.

මේ සියල්ල, ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්ති සහ සැළසුම් පිළිබඳවත් මූල්‍ය ප‍්‍රතිපාදන පිළිබඳවත් වන දියුණු අධ්‍යාපන සැළැස්මක් ඉල්ලා සිටින්නකි. එතෙක් සංක‍්‍රමණික පියවර ලෙස –
x පූර්ණ නිදහස් අධ්‍යාපනය, පළාත් සභා යටතේ පාලනය වන පාසල් වලට පමණක් සීමා කිරීම
x වරප‍්‍රසාදිත සියලූ ජාතික පාසල් වල අධ්‍යාපනය සඳහා මසකට රුපියල් 500 ට නොඅඩු පාසල් ගාස්තු අනිවාර්ය කිරීම
x පහේ ශිෂ්‍යත්වය අහෝසි කර, ඒ වෙනුවට සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉතා ඉහළ සාමාර්ථයන් ගන්නා ග‍්‍රාමීය පාසල් ළමුන්ට උසස් පෙළ විභාගය දක්වා මාසිකව රුපියල් 500 ක ශිෂ්‍යත්ව දීමනාවක් ලබා දීම
x කොළඹ දිස්ති‍්‍රක්කයෙන් සහ ප‍්‍රධාන නගර වලින් බැහැර පාසල් වල ගුරු සේවය සඳහා විශේෂ මාසික දීමනාවක් ලබා දීම
කි‍්‍රයාත්මක කිරීමට යෝජනා කෙරේ.

ජාතික සෞඛ්‍ය සේවා –

සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් කතා කෙරෙන්නේ රෝහල්, ඖෂධ සහ වෛද්‍ය​ වෘත්තිය මුල් වූ, ලෙඩුන්ට ප‍්‍රතිකාර ලබා දෙන, විශේෂ සේවාවක් ලෙස ය. එවැනි පසු බිමක අද වෛද්‍ය​  වෘත්තීය මුදල් ගරා ගන්නා මාෆියාවක් බවට පත්ව ඇත. සාමාන්‍ය ජනතාව දැන් රජයේ වෛද්‍ය​ සේවය හා රෝහල් අත හැර යාමට පෙළඹී ඇතත් ඔවුන් බහුතරයකට වෛද්‍ය​ප‍්‍රතිකාර මුදලට ගැනීමේ හැකියාවක් නැත. එනිසා සෞඛ්‍ය සේවාව ලෙස ගණන් හැදිය යුතුව ඇත්තේ ගර්භණී මවකගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමේ සිට, ළමා පෝෂණයත් ළමා සෞඛ්‍යයත් ඇතුළත් වූ මනුෂ්‍ය ජීවිතය නිරෝගීව පවත්වා ගැනීමට ආධාර වන ප‍්‍රජා සෞඛ්‍ය සේවාවකි. එවැනි සේවාවක, විශේෂඥ පිහිට ලබා ගැනීම තීන්දු කළ යුත්තේ, රෝගියා හෝ රෝගියාගේ ඥාතීන් නොව, රෝහල් වෛද්‍ය​වරුන් ය.

සෞඛ්‍ය ප‍්‍රතිපත්ති මත සැකසෙන ජාතික සැළසුම, සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය මුල් කර ගත්තා වූද ආයුර්වේද ඖෂධ වෙනුවෙන් ස්ථිර ජාතික ප‍්‍රමිතීන් කි‍්‍රයාත්මක කෙරෙන්නා වූද වැඩ පිළිවෙලක් විය යුතු ය. එතෙක් සංක‍්‍රමණික පියවර ලෙස –

x සියලූ ප‍්‍රාථමික පාසල් වල පළමු වසරේ සිට පස් වන වසර සඳහා වසරකට වරක් හෝ මුඛ සහ ඇස් පරීක්ෂණ සායන නොමිලේ පැවැත් වීමේ වගකීම පළාත් සභා බාර ගත යුතු බවත්
x පාසලකට ඇතුලූ කෙරෙන තුරු සියලූ ළමුන් සඳහා අර්ධ වාර්ෂිකව සෞඛ්‍ය වාර්තාවක් සකසා නඩත්තු කිරීම අදාල පළාත් බාර සෞඛ්‍ය සේවා බලධාරීන් බාර ගැනීමත් එම ළමා සෞඛ්‍ය වාර්තා ළමුන් පාසලකට ඇතුලූ කිරීමේ දී අනිවාර්ය වාර්තාවක් බවට පත් කිරීමත්
x ආයතනගත සහ පෞද්ගලික මට්ටමින් පවත්වා ගන්නා සියලූ චැනල් සේවා වෛද්‍ය​වරුන්ට එක් රෝගියෙකුගෙන් පළමු වර සහ ඉන් පසු වාරයන්හි දී අය කරගත හැකි උපරිම සේවා ගාස්තුව අනුපිළිවෙලින් රුපියල් 5,00 සහ 3,00 උපරිමයකට සීමා කිරීමත්
x චැනල් සේවාවේ යෙදෙන රජයේ වෛද්‍ය​වරුන්ගෙන් විශේෂ වාර්ෂික බද්දක් අයකර ගැනීමත්
x ආයුර්වේද ප‍්‍රතිකාර සඳහා යොදා ගන්නා ඖෂධීය ශාක, වානිජ මට්ටමින් වගා කිරීම සඳහා පහසුකම් සහ දිරි ගැන්වීම් ලබා දීමටත්
යෝජනා කෙරේ.

ජාතික මගී ප‍්‍රවාහණය –

අද ජාතික මගී ප‍්‍රවාහණය දුම්රිය, ලංගම, පෞද්ගලික බස් සහ පෞද්ගලික වාහන/යතුරු පැදි ලෙස හමුවන්නකි. මේ කිසිවක නිශ්චිත හා කාර්යක්ෂම ඒකාබද්ධතාවක්, සැළසුමක් නොමැති හෙයින්ම, මහා මාර්ග යනු, වාහන ගහණය අසීමිතව සීඝ‍්‍රයෙන් ඉහළ යන, පරිසරය අවදානම් ලෙස අපවිත‍්‍ර කෙරෙන, අනතුරුදායක අවුලකි. සාමාන්‍ය පුද්ගලයෙකු එනිසාම දවසින් පැය කිහිපයක්ම, නිරපරාදේ මහ මග කල් ගෙවන්නේ ය. ඒ සියල්ල විදේශ විනිමය ද නාස්තියකි. එසේ වූවත් තවමත් අපේ ප‍්‍රවාහනය ගැන කතා වන්නේ දුම්රිය පෙට්ටි වැඩි කිරීම, බස් ගාස්තු ඉහළ දැමීම, මාර්ග පු`ඵල් කිරීම වැනි දේ ය. එනිසා ආණ්ඩුවේ ආදායම් ඉහළ යාමට වාහන ආනයනය සඳහා රේගු බදු අඩු වැඩි කිරීමත් ගණන් හැදෙන්නකි.

අපගේ වැනි, සමස්ථ ප‍්‍රවාහනයම ආනයනය කරන ඉන්ධන මිල මත තීන්දු කෙරෙන රටක, කාර්යක්ෂම පොදු මගී ප‍්‍රවාහනයක් පවත්වා ගැනීම අනෙක් සියලූ සේවා සහ නිෂ්පාදන වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආර්ථික සාධකයකි. විශේෂයෙන්ම අධික ජනගහනයක් උදේ සවස ඇදෙන ප‍්‍රධාන නගර ඇතුළත ගමනා ගමනය ඉතා කාර්යක්ෂම, සැප පහසු සහ මිල පහසු ලෙස සංවිධානය කිරීමේ වගකීම ආණ්ඩුව බාර ගත යුත්තේ එබැවිනි. එවගේම, නාගරික හා අන්තර් නාගරික මගී ප‍්‍රවාහන සැළැස්මක් නිශ්චිත කාලයක් ඇතුළත සමාජ කතිකාවකට ඉදිරිපත් කර, පස් වසරකට වරක් සංශෝධනයට යටත් කෙරෙන සැළසුමක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ආණ්ඩුවේ වගකීම ය. එතෙක් කෙටි කාලීන හා තාවකාලික පිළියම් ලෙස,

x පාසල් ළමුන් සඳහා පාසලේ සිට කිලෝ මීටර දෙකකට නොවැඩි දුර බසයෙන් හෝ දුම්රියෙන් ගමන් කිරීමට නිදහස් වාර්ෂික ගමන් බල පත‍්‍ර නිකුත් කිරීම
x දරුවන් පෞද්ගලික (තමන්ගේ නොවන) වාහන මගින් පාසල් යවන්නේ නම්, පාසලේ සිට කිලෝ මීටර දෙකකට වැඩි දුර සඳහා විශේෂ අධ්‍යාපන ගාස්තුවක් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දෙමාපියන්ගෙන් අය කිරීම (පළමු වසරට ළමුන් ඇතුළත් කරගැනීමේ දී පදිංචිය පාසලේ සිට කිලෝ මීටර 02 ට අඩුයැයි දෙමාපියන් සහතික වන හෙයිනි)
x පිට රටින් මෝටර රථ ආනයනය කිරීම වසර තුනකට සම්පූර්ණයෙන් නතර කිරීම (දැනට වාහන ගෙන්වන ආකාරයට, සෑම වසර කිහිපයකින් සෑම පාරක්ම දෙපැත්තේ ගොඩනැගිලි කඩා මාර්ග තද බදය අඩු කරන්නට යැයි පළල් කරන්නට සිදුවන්නේ ය.)
x බදු රහිත පිට රටින් වාහන ගෙන්වීමේ දූෂිත, වරප‍්‍රසාදිත බලපත් ක‍්‍රමය මු`ළුමනින් අහෝසි කිරීම
යෝජනා කෙරේ.

ජාතික ආර්ථිකය සහ සමාජ සංස්කෘතික සංවර්ධනය –

අද අපේ ගැන කතා වන්නේ විවෘත නැතිනම්, නිදහස් කියා ය. මේ වැනි විවෘත ආර්ථික, ලෝකයේ කිසිදු රටක නැත. හැම රටකම, තමන්ගේ යැයි ආරක්ෂා කර ගන්නා ආර්ථික ක්ෂේත‍්‍ර ඇත. ජපානයේ වී වගාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ තිරි`ගු වගාව එවැනි ය. එනමුත් අපගේ වෙළඳ පල ආර්ථිකයේ එවැනි තෝරා බේරා ගැනීමක් නැත. ආර්ථික ප‍්‍රතිපත්ති තීන්දු කිරීමේ දී පෞද්ගලික වාසි සඳහා දේශපාලන බලය යෙදෙන කලමනාකරණයකින් අන්ත දූෂණයට ඉඩ හැරි ආර්ථිකයක, බැරි බර අප කර ගසන්නේ එබැවින් ය.

මේ පුද්ගලවාදී ආර්ථිකයේ වත්කම් හා දේශපාලන බලය අවුරුදු 60 ක් පුරා වැඩි වැඩියෙන් කොළඹ සහ අවට ගොඩ ගැසුනකි. එනිසා තම ගම් ප‍්‍රදේශයේ පලදායි ජීවනෝපායක් බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට, ග‍්‍රාමීය ආර්ථිකයේ ඉඩක් නැත. පලදායි අවස්ථා ඇත්තේ ප‍්‍රධාන නගර අතුරින්ද, කොළඹ හා ආශ‍්‍රිතව ය.

එබැවින් ග‍්‍රාමීය කෘෂි ජීවිතයට වැඩි අවධානයක් ලබා දෙන ජාතික සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුවක් ඉදිරි අවුරුදු 15 සඳහා සැකසීමේ වගකීම, සහ එය සය මසක් ඇතුළත රටට ඉදිරිපත් කිරීමේ මූලික වගකීම, ආණ්ඩුව බාර ගත යුතු ය. එය සකස් කිරීමේ දී පෞද්ගලික අංශයේත් විශ්ව විශාල ඇදුරන්ගේත් පිළිගත් සමාජ කි‍්‍රයාකාරීන්ගේත් ආර්ථිකයේ වැදගත් ක්ෂේත‍්‍රයන්හි වෘත්තීය සමිති සහ ගොවි නියෝජිතයින්ගේත් සහභාගිත්වය ලබා ගැනීමේ වගකීම ද ආණ්ඩුව සතු ය.
එම සැළැස්මෙහි,

x පළාත් සංවර්ධනය සඳහා පළාත් සභා සතු අයිතිය ආරක්ෂා කිරීමත්
x දිළිඳු සමාජ ආරක්ෂණය විශේෂයෙන් ඇතුළත් වන ලෙසත් සැකසිය යුතුය.එළෙසින්ම, දකුණු ආසියාවේ විශාලම සමාජ අරමුදල ලෙස සැළකෙන රුපියල් මිලියන 9,00,000 ක් පමණ වන සේවක අර්ථසාධක අරමුදලේ දැනට සකී‍්‍රය සාමාජිකත්වය වන මිලියන 2.3 ට ඉන් ලැබෙන සොච්චම් වාසියට අමතරව, ඔවුන්ටත් ඔවුන්ගේ විශ‍්‍රාමික ජීවිතයටත් පවුලේ සාමාජිකත්වයටත් වැඩි ප‍්‍රයෝජනයක් ලැබිය හැකි ආකාරයට,
x සේවයේ ඉන්නා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ටත්, විවාහක නම් කාලත‍්‍රයාට සහ දරුවන්ටත්, අවිවාහක නම් දෙමාපියන්ට සහ බාල සහෝදර සහෝදරියන්ටත් වසරකට රුපියල් ලක්ෂයකට නොවැඩිි මුදලක් නේවාසික වෛද්‍ය ප‍්‍රතිකාර වෙනුවෙන් ලබා දීමත්
x අවුරුදු 15 ක් ඇතුළත විශ‍්‍රාම ගිය, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිිකත්වය තිබූ සියලූ වැඩිහිටියන්ට සහ ඔවුන්ගේ කාලත‍්‍රයන්ට, වෛද්‍ය​ ප‍්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් 10,000 ක් සහ නේවාසික ප‍්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂයකට නොවැඩි මුදලක් ලබා දීමත්
x සේවයේ ඉන්නා සේවක අර්ථසාධක අරමුදලේ සියලූ සාමාජිකාවන්ට, ගැබිණි කාලයේ සිට දරු ප‍්‍රසූතයෙන් පසු සය මසක් කල් යන තුරු, වෛi සායන සහ අවශ්‍ය ප‍්‍රතිකාර සඳහා රුපියල් 50,000 ක මුදලක් ලබා දීමත්
සේවක අර්ථසාධක අරමුදලේ සමාජ ආරක්ෂණ සේවාවන් ලෙස, නෛතිකව පිහිටු විය යුතු අතර, එහි කලමනාකාරිත්ව මණ්ඩලයට වෘත්තීය සමිති නියෝජනයක් ද තිබිය යුතු ය.

නීතිය, විධායක බලය හා සමාජ විනය – 

අද ඉතාම අප‍්‍රසන්න තත්ත්වයකට පොලිස් සේවාව සහ අධිකරණ සේවාව වැටී ඇත. ඒවා යළි වැදගත් සමාජ සේවාවන් බවට පත් කිරීම, අනිවාර්ය සහ අත්‍යාවශ්‍ය, හදිසි කාරණාවකි. පොලීසියේ ඉහළ නිලධාරීන් මුදලට මිනී මරණ බවට චෝදනා ඇසුවේ මේ රාජපක්ෂ පාලනය යටතේ ය. රට පුරා, විශේෂයෙන්ම බහුතර සිංහල සමාජයේ ළමා අපචාර, ස්තී‍්‍ර දූෂණ, මිනී මැරීම්, පහර දීම්, බලහත්කාරකම්, මුදල් වංචා විශේෂයෙන් ආණ්ඩුවේ ප‍්‍රාදේශීය දේශපාලනඥයින් හා සම්බන්ධව ඇසූ වෙනත් කාලයක් ද නැත.

එළෙසින්ම අධිකරණය මෙතරම් අකාර්යක්ෂම හා නීති ක්ෂේත‍්‍රය මෙතරම් දූෂිත වෙනත් කාලයක් නොතිබුනේ යැයි කීමත් නිවැරදි ය. එනමුත් බලයේ ඉන්නා අගමැති (ඩඞ්ලි සේනානායක) සාක්ෂි කූඩුවට නංවා විත්තියේ නීතිඥයා (ශී‍්‍රමත් උක්වත්තේ ජයසුන්දර) විසින් හරස් ප‍්‍රශ්න අසන්නට තරම් ස්වාධීන වූ අධිකරණයක් තිබූ යුගයක් ද මෙරට තිබිණ. අධිකරණයේ අකාර්යක්ෂමතාව කෙතරම් දැයි කිවහොත් නඩු පැවරීමකින් හා ඇප ලබා දීමකින් තොරව අවුරුදු ගණන් පුද්ගලයින් රඳවා ගෙන සිටීම, විනිසුරුවරුන්ට හෝ නීතිඥයින්ට වැදගත් නොවන තත්ත්වයට අප අප පත්ව ඇත.

මේ රටේ සියලූ රාජ්‍ය සේවා, ඒවායේ පහළම තනතුරු දක්වා දේශපාලයට යට වීම, මේ විනාශයට ප‍්‍රධානම හේතුව ලෙස සළකා,

x ඇමතිවරුන්ට, පළාත් සහ ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ට මෙන්ම ඔවුන්ගේ වෙනත් දේශපාලන පංගුකරුවන්ට අත පෙවිය නොහැකි වන සේ, සමස්ථ රාජ්‍ය සේවාවේ නිදහස් හා ස්වාධීන කි‍්‍රයාකාරිත්වය සහතික කරනු පිණිස, පාර්ලිමේන්තුවට පමණක් වග කියන්නා වූ රාජ්‍ය සේවා, පොලිස් සහ අධිකරණ සේවා කොමිසම් වහා පිහිටු වීමත්

x නිදහසින් පසු 1978 දක්වා රාජ්‍ය නායක පදවිය වූ අගමැති පදවිය අධිකරණයට පූර්ණ ලෙස වගකිව යුතු වූ අයුරින්ම, ජනාධිපති ධුරය සතු මුක්තිය ඉවත් කර ජනාධිපති ද පූර්ණ ලෙස අධිකරණයට වගකිව යුතු බවට පත් කීරීමේ ව්‍යවස්ථා ප‍්‍රතිපාදන වහා සම්මත කිරීමත්

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අත්‍යාවශ්‍ය පියවර ලෙස යෝජනා කෙරේ.

මාධ්‍ය නිදහස –

මාධ්‍ය නිදහස සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩු විසින් ලබා දෙන තෙක් මාධ්‍යවේදීන් හා පුරවැසියන් බලා නොසිටිය යුතු බව, මේ සමාජය මේ වන විට තේරුම් ගත යුතු සත්‍යයකි. එහෙත් එයම, අපගේ මාධ්‍යයෙහි ඇති බෙලහීනතාවයකි. බොහෝ ආයතන වල මාධ්‍යවේදීන් අනුන්ගේ අයිතීන් ගැන කතා කරන්නට ඉදිරිපත් වන්නේ ඔවුන්ට මේ රටේ කම්කරු නීති මගින් ලැබිය යුතු මූලික අයිතීන්වත් නොලැබී ඇතැයි නොදැන ය. එවැනි ජනමාධ්‍ය නිදහස් සහ ස්වාධීන නොවන බව අපි දනිමු. එනිසාම,

x සෑම මාධ්‍යයකම සියලූ මාධ්‍යවේදීන්ට වෘත්තීය අයිතීන් සහතික කර දීමටත්
x පාර්ලිමේන්තුවේ නියෝජනය වන විපක්ෂයට සෑම රාජ්‍ය මාධ්‍යයකින්ම, ඔවුන්ගේ අදහස් දැක්වීම සඳහා සති පතා නිශ්චිත කාලයක් වෙන් කිරීමටත්
x මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් හදා ගැනීමේ අයිතිය මාධ්‍යවේදීන්ට බාර කිරීමටත් වහා ආණ්ඩුව පියවර ගත යුතු යැයි යෝජනා කෙරේ.

මෙයට තව බොහෝ දේ එකතු කිරීමටත්, ඇතැම්වා වෙනස් කිරීමටත් ඔබට ඇති අයිතිය පිළිගනිමින් මෙය ‘‘විකල්ප සමාජ ඉදිරි දර්ශනයක්’’ හදා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරමි.

Back to Home page