Colombo Telegraph

රජයේ වූවත් නොවූවත් අපට ඇති අයිතිය

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය තබා ගැනීම අතිශය බරපතල දෝසයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ආරක්ෂක අමාත්‍යාංශය සමගින් පොලිස් දෙපාර්තමේන්තුව තබා ගැනීම ද නොකරන්නකි. ඒ සියල්ල, ජාතික ආරක්ෂාවට අයත් නොවන ජන සමාජයේ කාර්යන් වන හෙයිනි. ආරක්ෂක සේවාවන් සතු දැඩි විනය රීති හා සීමා යටතේ ජන සමාජයේ සංවිධාන කලමනාකරණය කිරීමෙන් ජන සමාජයට තිබිය යුතු නිදහස අහිමි වන්නේ ය.

එනමුත් එළෙසින් නොතිබිය යුතු ජන සමාජයේ බොහෝ දේ මේ රටේ තබා ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිට, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, නගර සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ලංකා ලොජිස්ටික්ස් සමාගම, රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයය වැනි බොහෝ දෙපාර්තමේන්තු හා ආයතන පාලනය කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් යටතේ ය. ලේකම්ට ඉහළින් ඇත්තේ ආරක්ෂක ඇමති වන ජනාධිපති පමණි. ආරක්ෂක අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිවරයෙකු ගෙවුනු අවුරුදු 09 ඇතුළත කිසි විටෙක පත් කර නැත. එනිසා මේ සියල්ල පාලනය වන්නේ අයියා මලෝ දෙදෙනා ගෙන් මලයා ගේ මනාපයට යැයි චෝදනා නැගීම, සර්ව සාධාරණ ය.

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් මතුව ඇති ආරවුල වඩාත් බරපතල ලෙස ගණන් ගැනෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ මේ අධි බලය නිසාවෙනි. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රාජ්‍ය නොවන සංවිධාන වලට කෙරුනු දැනුම් දීම් සතු කිසිදු නීතිමය බලයක් හෝ බැඳීමක් නොවුනි. රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ප‍්‍රධානියා මගින් කෙරුනු එම දැන්වීමට අනුව මාධ්‍ය නිවේදන නිකුත් කිරීම, මාධ්‍ය හමු පැවැත්වීම, මාධ්‍යවේදීන් පුහුණු කිරීම වැනි දේ ඔවුන්ගේ නිල වාර්ෂික සැළැස්මෙහි නොමැති විට නොකළ යුතු යැයි කෙරුනු දැනුම් දීමෙහි කිසිදු වලංගුවක් ද නොවින. එනිසා ඒ සියල්ල ඉවත දමා සුපුරුදු ලෙස කි‍්‍රයා කිරීමේ අයිතිය හා බලය, සියලූ රාජ්‍ය නොවන සංවිධාන සතු විය. එනමුත් එසේ නොවුනේ, මේ ආණ්ඩුව නොයෙකුත් ආකාරයෙන් දිගු කරන සීමා තහංචි වලට අදාල නැති නෛතික බලය, ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග‍්‍රහය ඇතිව බලහත්කාර ලෙස කි‍්‍රයාවට නැගීමේ අනතුරක් ඇති හෙයිනි. එනිසා රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක හවුලක් ආණ්ඩුවේ නිවේදනයට විරුද්ධව වහා සිය සාමුහික විරෝධය ප‍්‍රකාශ කළේ ය. ඒ විරෝධය ජාත්‍යන්තර අවධානයට ද යොමු කළේ ය.

ආණ්ඩුව ඒ සමග මඳක් පසු බැස්සේ ය. දැන් කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණය සඳහා නීති ගෙනෙන බව ය. නීති මගින් බලාපොරොත්තු වන්නේද නිවේදනයේ තිබූ දේ ඊට වඩා සවිස්තරාත්මකව, පැහැදිලි අකුරින් ලියා තබන්නට ය. රාජ්‍ය නොවන සංවිධාන කොතැන කෙසේ ලියා පදිංචි කර තිබුණත් ඒවා සියල්ල නැවත රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවත් රාජ්‍ය නොවන සංවිධාන වෙත ලැබෙන විදේශාධාර අනිවාර්යෙන් පාලනය විය යුතු බවත් දැන් කියන්නේ ය. එසේ ඒවා පාලනය කිරීම, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන විට, ඒවා රාජ්‍ය නොවන වර්ගයෙන් රාජ්‍යගත තත්ත්වයට පත් වනු ඇත. ඒ කතා හමුවේ, විරෝධතා මගින් මතු කෙරුනු සියලූ කරුනු කාරණා වලංගු වන්නේය. මේ ආණ්ඩුව අත තියන්නේ මූලික අයිතීන්ට ය. ජන සමාජයේ නිත්‍යානුකූල සංවිධාන සතුව තිබිය යුතු හා මෙතෙක් තිබූ අයිතීන්ට ය. එනමුත් ඒ සම්බන්ධ ජන මාධ්‍යය මැදිහතත් වීමේ අඩුවක් ද ඇත. වැඩිමනත් වාරණ ආණ්ඩුව යොමු කරන්නේ මාධ්‍ය හා ඇති ගනුදෙනුවට ය. එසේවූවත් මේ කතාන්දරයේ මාධ්‍ය හා පුරවැසියා සතු අයිතිය අවශ්‍ය අයුරු ස්ථානගත නොවන්නේ ය. ස්ථානගත වන්නේ රාජ්‍ය නොවන සංවධාන සතු අයිතීන් පමණි.

රාජ්‍ය නොවන සංවිධාන විසින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම හා මාධ්‍ය හමු පැවැත්වීමත් මාධ්‍යවේදීන් පුහුණු කිරීමත් සීමා කිරීමට හෝ පාලනය කිරීමට ආණ්ඩුවට හෝ ආරක්ෂක අමාත්‍යාංශයට කිසිදු අයිතියක් නැත. මාධ්‍ය හමුවක කරුනු දැක්වීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි. කරුනු දැන ගැනීම, පුරවැසි අයිතියකි. පුහුණු කිරීම් වෘත්තීය අවශ්‍යතාවක් වන නිසා, එය වෘත්තීය අයිතියකි. එබැවින් මාධ්‍යයට හරස් වීම ගැන කතා කළ යුත්තේ එය රාජ්‍ය නොවන සංවිධාන සතු අයිතියක් ලෙස පමණක්ම ඉස්මතු කිරීමෙන් නොවේ. මාධ්‍ය හා පුරවැසියා සතු අයිතියක් ද ලෙසින් ය.

ආණ්ඩුව කරන්නේ කුමක්ද, කෙසේද සහ ආණඩුව කරන හොඳ නරක, හරි වැරැුද්ද පිළිබඳව දැන ගැනීමට අයිතියක් පුරවැසියාට ඇත. එහි ප‍්‍රධාන වාහකයා මාධ්‍ය ය. මේ ආණ්ඩුව ඒ පුරවැසි අයිතිය නීතිගත නොකරන සාක් කලාපයේ එකම ආණ්ඩුව ය. එවැනි තොරතුරු දැන ගැනීමට පුරවැසියාට ඇති අයිතිය ලබා නොදෙන දේශපේ‍්‍රමී ආණ්ඩුවක් ලෙස මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කතා කරති. මේ ආණ්ඩුව සිතා සිටින්නේ ආණ්ඩුවේ සියලූ තොරතුරු ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලෙස රහස්‍ය විය යුතු යැයි කියා ය. සියල්ල වසා තබා ගෙන අවශ්‍ය දේ පමණක් තම පාලනය යටතේ ඇති මාධ්‍ය මෙවලම් මගින් ප‍්‍රචාරය කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොතකන මේ ආණ්ඩුවේ දේශපාලනයෙහි එක් ප‍්‍රධාන හැඩ ගැස්මකි.

එම දේශපාලනයට අනුව, රාජ්‍ය නොවන සංවිධාන නිදහසේ පැවතීම පරස්පරයකි. එනිසා රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත‍්‍රය වෙත සීමා තහංචි දිගු වන්නේ, එම ක්ෂේත‍්‍රයෙහි ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන, ප‍්‍රජා මූල ඉදිකිරීම් හා සංවර්ධන කාර්යන් වලට වඩා, ප‍්‍රජා මූල සේවා හා ප‍්‍රජා අයිතීන් සම්බන්ධයෙන් මැදිහත් වන හෙයිනි. එවැනි සංවිධාන ආණ්ඩුවේ කල්කිරියාව ගැන සොයා බලන අතර ඒ සම්බන්ධ ප‍්‍රකාශන ද නිකුත් කරති. මාධ්‍ය සාකච්ඡුා ද පවත්වති. ජිනීවා ද යති. ඒ ඉඩ ඉතිරිකර තැබුවහොත් එවැනි රාජ්‍ය නොවන සංවිධාන, ජිනීවා යනවාට අමතරව, ජිනීවා සිට මෙහි පැමිණෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් හමුවන්නට ද මානව හිමිකම් කොමසාරිස් විසින් පත් කළ ශී‍්‍ර ලංකාව පිළිබඳ පරීක්ෂණ කමිටුවට අදාලව අදහස්, තොරතුරු හා විස්තර මාධ්‍යයට ලබා දීමට ද පසුබට නොවනු ඇත. එබැවින් දැන් ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ එවැනි තොරතුරු සමාජයට නොලැබෙන සේ රාජ්‍ය නොවන සංවිධාන පාලනය කර තබන්නට ය. එනිසා රාජ්‍ය නොවන සංවිධාන විසින් එවැනි විෂය ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් සැළසුම් කරන කි‍්‍රයාකාරකම් හා ඒ වෙනුවෙන් ලබා ගන්නා අරමුදල් පාලනය කිරීමේ අයිතිය, මේ ආණ්ඩුව කෙසේ හෝ සියතට ගන්නට දැන් තීන්දු කර ඇත.

එවැනි අරමුදල් භාවිතය ගැන රාජ්‍ය නොවන සංවිධාන එතරම් විවෘත නැත. එයට එක් ප‍්‍රධාන හේතුවක්ව ඇත්තේ, මේ සංවිධාන ඔවුන් කතා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා වගවීමට, ඔවුන්ගේ සංවිධාන යටත් කර නොතැබීමය. ඒවායේද රජවරුන් බිසෝවරුන් ඇත. ඒවාද පවුල් වලටම බූදල් වන්නේ ය. එවැනි චෝදනා පිළිබඳව ‘‘සණස’’ රාජ්‍ය නොවන සංවිධානය සම්බන්ධයෙන් සොයා බැලූ වාර්තා මීට ඉහතින් ‘‘රාවය’’ පුවත් පත පල කළේ ය. එවැනි චෝදනා වෙනත් ප‍්‍රබල රාජ්‍ය නොවන සංවිධාන වලට හා ඒවායේ නායකයින්ට එරෙහිව ද ඉදිරිපත්ව ඇත. ඇතැම්වා අධිකරණය දක්වාම ගොස් ඇත. මේ සමාජයේ පිරිහීම සමග, ආණ්ඩු පමණක් නොව, රාජ්‍ය ආයතන පමණක් නොව, ජන සමාජයේ සියලූ අවයව, බෙලහීන වී පිරිහී යමින් ඇත.

එනිසා සිදුවිය යුත්තේ මාධ්‍ය විසින් ආණ්ඩුව, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල කි‍්‍රයාකාරකම් හා පැවැත්ම සම්බන්ධව වැදගත් තොරතුරු හා විස්තර සහිත ජන සහභාගි සංවාදයක් ගෙන යෑම ය. ඒ වෙනුවට රාජ්‍ය නොවන ක්ෂේත‍්‍රයේ කි‍්‍රයාකාරකම් හා අරමුදල් ආණ්ඩුවට රිසි සේ පාලනය කරන්නට ඉඩ දීමෙන් රාජ්‍ය නොවන සංවිධාන වෙත ඉදිරිපත් කෙරෙන චෝදනා සඳහා විසඳුම් ලැබෙන්නේ නැත. මේ ආණ්ඩුවට එවැනි විසඳුම් අවශ්‍යයද නැත. අවශ්‍ය වන්නේ සියල්ල තම පාලනය යටතට ගැනීම පමණි.

මාධ්‍යය හිමිකරුවන්ට කෙසේ වූවත් මාධ්‍යවේදීන්ට එවැනි සීමා තහංචි සමගින් ජන සමාජය පාලනය කිරීම වෙනුවෙන් හවුල් විය නොහැක. එවැනි සියලූ තොරතුරු, විස්තර, විශ්ලේෂණ හා සංවාද සඳහා අවකාශ ලබා ගැනීමට මාධ්‍යවේදීන්ට අයිතියක් ඇත. යුතුකමක් ඇත. වගකීමක් ඇත. ඔවුන් ඉන්නේ ආණ්ඩු පාලනය සහ ජන සමාජයේ පැවැත්ම පිළිබඳ සියලූ තොරතුරු, විස්තර, මතවාද, විශ්ලේෂණ හා දැනුම පුරවැසියනට ලබා දීමට ය. එනිසා ආණ්ඩුව හා රාජ්‍ය සම්බන්ධයෙන් මෙන්ම, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ද සියලූ තොරතුරු හා විස්තර, විශ්ලේෂණ හා මතවාද පුරවැසියන් හමුවේ තැබීමේ යුතුකම හා වගකීම මාධ්‍යවේදීන් සතු ය. රාජ්‍ය නොවන සංවිධාන සතු සියලූ අඩු පාඩු, ලෙඩ රෝග, මෝඩකම් පාලනය කළ යුත්තේ ආණ්ඩුවේ ඕනෑ එපාකම් අනුව නොව, මාධ්‍ය විසින් ජන සමාජය හමුවේ කරන සංවාද, සාකච්ඡුා, විස්තර කිරීම් සමගින් ය. ජන සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මෙහි එක් වැදගත් ලක්ෂණයක් විය යුත්තේ එවැනි සමාජ හැඩ ගැස්මකි.

එනමුත් අද මාධ්‍ය මගින් කෙරෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන එකතුව ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරට එරෙහිව ඉදිරිපත් කරන විරෝධය සහ ඊටත් වැඩියෙන් ආණ්ඩුවට අවශ්‍ය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ චෝදනා, අදහස් හා මතවාද ප‍්‍රචාරය කිරීම පමණි. එබැවින් රාජ්‍ය නොවන සංවිධාන සතු ‘‘වල් බූරු නිදහස’’ ගැනත් ලොකු තල්මසුන් වැනි රාජ්‍ය නොවන සංවිධාන තුනක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් මුල් පිටුවේ සිරස්තලයට නැගෙන්නේ ය. ඒ සංවිධාන කවරේදැයි නම් නොවන අතර, ඒවාට විරුද්ධව ඉදිරිපත් කෙරුනු චෝදනා නිශ්චිතව ඉදිරිපත් කෙරෙන්නේ ද නැත. එනිසා අවසානයේ සමාජ මතය හදන්නට උත්සාහ කෙරෙන්නේ පොදුවේ සියලූ රාජ්‍ය නොවන සංවිධාන එක හා සමානව දෝස සහිත යැයි කීමට ය.

එළෙස චෝදනා නගන්නේ පිරිසිදු, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් නම්, මාධ්‍යය එසේ හැසිරීමට යම් සමාවක් දිය හැක. එහෙත් මේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන චෝදනා ලැයිස්තුව තරම් දිගු චෝදනා ලැයිස්තුවක් රාජ්‍ය නොවන සංවිධාන වෙත ඉදිරිපත් කළ නොහැක. මේ ආණ්ඩුවට එරෙහිව අද ඉදිරිපත් කෙරෙන චෝදනා ලැයිස්තුවෙහි, සෙෂේල්ස් දූපත හරහා අතිශය විශාල මුදල් ප‍්‍රමාණයන් ආණ්ඩුවේ මහ බලවතුන් විසින් ස්විට්සර්ලන්ත බැංකු වෙත බැර කර ඇතැයි යන චෝදනාවේ සිට, චීන සමාගම් සමගින් කලූ සල්ලි අපුල්ලා සුදු කිරීමේ මහා ව්‍යාපෘති දක්වාත් කිසිදු පිළිගත හැකි ටෙන්ඩර පටිපාටියකට අයත් නොවන ආකාරයෙන් හා සමාජ අවශ්‍යතා පිළිබඳව කිසිදු ස්වාධීන අධ්‍යනයකින් හෝ සමීක්ෂණයකින් තොරව විදේශ ණය හා ආධාර මත මහ පරිමාණ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම, ඥාති සංග‍්‍රහයේ උපරිම පිරිහුම සමග පවුල් බලය විකාර රූපි රංගණයක් බවට පත් කිරීම, රටේ සාමාන්‍ය නීතිය සාධාරණ ලෙස කි‍්‍රයාත්මක කළ යුතු සියලූ රාජ්‍ය ආයතන දේශපාලන බලපෑමට යටත් කර ජන ජීවිතය පාදඩ දේශපාලන බලයකට යටත් කිරීම වැනි අතිශය බරපතල චෝදනා ආණ්ඩුවට විරුද්ධව දැන් දිනපතා වාගේ ප‍්‍රසිද්ධියේ කෙරෙන අතර, ආණ්ඩුවේම හවුල්කරුවෝද ඒවා නැතැයි නොකියන තැනට ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ ගැන කතා කරති.

එවැනි විටෙක, ඒ සමස්ථ පිරිහීම, සමාජ බිඳ වැටීම, වළකා ගැනීමේ වැඩි වගකීමක් බාර ගැනීමට සිදුවන වෘත්තීන් හා සමාජ ස්ථර ඇත. රාජ්‍ය නොවන සංවිධාන සතුවද එවැනි වගකීමක් ඇතත් ඉන් එක් වැදගත් හා ප‍්‍රධාන වෘත්තියක් වනුයේ ජන මාධ්‍යවේදී වෘත්තිය ය. පැරණි බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙහි තොමස් කාලයිල් විසින් මුද්‍රිත ජන මාධ්‍ය ආණ්ඩු පාලනයේ සිව් වන පාර්ශවය ලෙස තේරුම් කළ අර්ථයෙන් මිදී අද නවීන මාධ්‍ය බොහෝ දුර ගොස් ඇත. නවීන අර්ථයෙන් අද මාධ්‍ය, ආණ්ඩු පාලනයේ සිව් වන පාර්ශවය වන්නේ සංකීර්ණ ජාලයක් ලෙස කි‍්‍රයාත්මක වීමෙනි. 2006 දී ‘‘ජාල සතු වත්කම’’ ( Wealth of Networks) නැමැති කෘතිය ලියූ යොචායි බෙන්ක්ල 2011 මැයි මාසයේ දී ‘‘හාවඞ් සිවිල් ලිබටීස් රිවීව්’’ හි පල කළ නිබන්ධනයකට අනුව, සිව් වන පාර්ශවය අද සංකීර්ණ ජාලගත පාර්ශවයකි. එය නිදහස් මාධ්‍ය, ලාභ නොලබන හා අවම ලාභ ලබන සංවිධාන, විකල්ප හා විරෝධාකල්ප මත දරණ හා නොදරණ විද්වත් පරිස් වැනි විවිධාකාර කි‍්‍රයාකාරීන් හා යම් පමණකට සාම්ප‍්‍රදායික ජන මාධ්‍යයෙහි ඇ`ගෑළුම්කම් ද තනි ජාලයකට එකතුවන නව පාර්ශවයකි.

එවැනි බහුත්ව නියෝජනයක් සහිත සංයුතියක් ලෙස පැවතිය යුතු නූතන ජන මාධ්‍යයට, ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රයට යටත්ව පැවතීමේ අයිතියක්, වගකීමක් හා යුතුකමක් නැත. හැකියාවක් ද තිබිය නොහැක. එහෙත් අපේ රටේ එය එසේ වන්නේ ද නැත. එබැවින් රාජ්‍ය නොවන සංවිධාන වෙත දිගු කෙරෙන සීමා තහංචි, ජන මාධ්‍ය වෙත සහ පුරවැසියන් වෙත එල්ල කෙරෙන සීමා තහංචි ලෙස තේරුම් කෙරෙන්නේ නැත. එසේ කතා කිරීමේ නව පිවිසුමක අවශ්‍යතාවයක් ඇතත් එය සිදුවන්නේ ද නැත. එහෙත් ඒ කතිකාව ද ආණ්ඩුවේ මේ රාජ්‍ය නොවන සංවිධාන හීලෑ කර ගැනීමේ විරෝධය තුල ඉස්මතු කරගත යුත්තකි.

Back to Home page