Colombo Telegraph

මේක අනවශ්‍ය ව්‍යායාමයක්: ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන අදහසක්

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හැදීමට ගන්නා කී වැනි උත්සාහය ද ?

මීට පෙර 2000 අගෝස්තුවේ දී ඉතා සු`ඵ දෝසයක් නිසා යු.ඇන්.පිය විරුද්ධ වූ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පූර්ණ ව්‍යවස්ථා කෙටුම් පතක් ද ඇත. 2006 ජූලි මාසයේ සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කළ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව අවුරුදු 04 ට ආසන්න කාලයක් සාකච්ඡුා සැසි වාර 128 ක් සම්පූර්ණ කර, ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා පදනම් ලියැවිල්ල’’ යැයි ඔවුන්ගේ අවසන් වාර්තාව, ජානිධිපති රාජපක්ෂ වෙත බාර දී ඇත්තේ 2010 ජූලි මාසයේ පමණ ය. මැයි 21 සංකේත වර්ජනයෙන් පසු කතා කිරීමට අලූත් මාතෘකාවක් හදමින්, එක්සත් ජාතික පක්ෂය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා දළ කෙටුම් පතක් පසු ගිය මැයි 29 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී තෝරාගත් පිරිසකට ඉදිරිපත් කළේ ය.

මීට මාස කිහිපයකට පෙර සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය යැයි පූජ්‍ය මාදු`ඵවාවේ සෝභිත ස්වාමින් වහන්සේ ගේ යහපත්කම ඉදිරියෙන් තබා ගෙන, විධායක ජනාධිපති ධුරය අහෝසි කර සියලූ ව්‍යාධි සමනය කිරීමට හැකි යැයි කිහිප දෙනෙකු ව්‍යවස්ථා සංශෝධන මාලාවක් ඉදිරිපත් කළහ. මේ සියල්ලට අමතරව, වෙනත් තැන් වල වෙනත් සංවිධාන එවැනිම උත්සාහ ගත් අවස්ථාවන් ද ඇත.

සෝභිත ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව, සිංහල බෞද්ධයින් ගේ ලෙඩ රෝග සඳහා පමණක් ඉදිරිපත් කෙරුණු වට්ටෝරුවක් බව මීට ඉහතින් දීර්ග ලෙස ලියා ඇති හෙයින් එය පැත්තකින් තියන්නෙමි.

1972 පළමු ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හැදීමේ සිටම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම් පත් හැදෙන්නේ සිංහල සමාජයේ දේශපාලන අර්බූද හා වුවමනාවන් අනුව ය. ඒ සඳහා දෙමළ දේශපාලනයේ හවුලක්, දායකත්වයක් ඇත්තේ නැත. එනිසා සු`ඵතර ජනතාවට දිය යුත්තේ මොනවාද, ඒ කෙතරම් ප‍්‍රමාණයකින් ද හා කෙසේ ද යන්න තීන්දු කෙරෙන්නේ මහ ජාතිය වන සිංහලයින්ගේ දේශපාලනයේ කැමැත්ත අනුව ය. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් පසු එය සිංහල බෞද්ධ වුවමනාවන් දක්වාම දිගු වන්නකි.

යුද්ධයත් සමග අපේ රටේ ජන වාර්ගික ගැට`ඵව දෙමළ ත‍්‍රස්තවාදය හා සන්නද්ධ බෙදුම්වාදය ලෙසින් කතා කිරීමටත් අර්ථ දැක්වීමටත් සීමා කරගෙන ඇති හෙයින්, දෙමළ දේශපාලන අපේක්ෂාවන් ගැන කතාව ආරම්භ කරන්නේම, 1972 ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සිංහල බෞද්ධ අන්තවාදය සඳහා තහවුරු කරගත් බෞද්ධාගම රාජ්‍ය ආගම වන, ඒකීය රාජ්‍යයක් තහවුරු කිරීමේ සියලූ ආරක්ෂක වගන්ති ඇතුලූ කරමින් සහ දකුණේ සිංහල ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ඉල්ලා සිටින බලය බෙදීම ගැන කතාව හංගා තබා ගෙන ය. මේ චින්තන රාමුවෙන් එළියට එන්නට, යු.ඇන්.පිය ද සූදානම් නැත. එනිසා ඔවුන් යෝජනා කරන්නේ ද සිංහල බෞද්ධයින් පෙරටු කරගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා අදහස්් මාලාවකි.

පසු ගිය 29 වන දින පාර්ලිමේන්තු සංකීර්ණය් දී ප‍්‍රධාන දෙමළ නියෝජනයක් නොමැතිව යු.ඇන්.පී නායකත්වය විසින් ඉදිරිපත් කළ දළ කෙටුම් පතේ ඒ සිංහල බෞද්ධ පදනම නැවත වෙනස් කිරීමට නොහැකි වන ලෙස කල් තියා ලියන ලද සහතික කිරීම් ලෙස, ඉතා නිරවුල්ව ඇතුළත් කර ඇත.
‘‘01.(11) බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනැමෙන අතර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ
ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) අනුකූලව අනෙකුත් සියලූ ආගම් වල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම.’’ යනුවෙන් ඇති සඳහනෙහි වැදගත් වන්නේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනැමීම පමණක් බව, අපි 1972 සිට අත් දැක ඇති ව්‍යවස්ථා බලය පිළිබඳ කතාවකි. අද බොදු බලය, රාවන බලය ලෙස ලිහා දමා ඇත්තේ ඒ ව්‍යවස්ථාමය යෙදුමයි.

යු.ඇන්.පි දළ කෙටුම්පතේ එවැනි සිංහල බෞද්ධ සඳහනක් නොවූනා නම් සිදු විය හැකිව ඇත්තේ සිංහල අන්තවාදීන් ඔවුන්ට බෞද්ධාගම සහ ඒකීය රාජ්‍ය සඳහන අවශ්‍ය යැයි ඉල්ලා සිටීමත් දකුණේ සිංහල ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සහ සු`ඵතර දේශපාලන නායකයින් ඊට විරුද්ධව තර්ක කිරීමත් පමණක් නොවේ. දෙමළ දේශපාලන අපේක්ෂාවන් පිළිබඳ කතාවට ද ඉන් වැදගත් ඉඩක් ලබා ගැනීමකි. දැන් දෙමළ ජන නායකයින්ට මේ යු.ඇන්.පි අදහස කතා කරන්න වෙන්නේ, කතා නොකළොත් ඔවුන් අන්තවාදී යැයි ලේබල අලවන හෙයින් පමණි.

මෙහි බලය බෙදීම ඇතැයි කීමට, යු.ඇන්.පි ජාතිවාදීන් ඒ සමග යුහුසු`ඵ වනු ඇත. සැබෑ ය. පළාත් සභා යන වචන දෙක එහි දෙපළක තෙපළක ඇත. එහෙත් ඒ පළාත් සභා දැනට කි‍්‍රයාත්මක වන පළාත් සභා ද, ගෝඨාභය කතා කරන පළාත් සභා ද නැතිනම් වීරවංස කතා කරන පලාත් සභා ද නොදනිමි. ඒ පළාත් සභා සඳහා ලබා දෙන බලය ගැන, බෞද්ධාගම සම්බන්ධයෙන් මෙන් කිසිදු නිශ්චිත සඳහනක් නැත. එනිසා මේ යු.ඇන්.පි කෙටුම් පත ගැන කතා කරන්නේ නම්, පළාත් සභා ගැන කතාව දෙමළ ජන නායකයින් යළි අලූතෙන්ම ආරම්භ කළ යුතු වන්නකි.

අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනස් කිරීම්, සංශෝධන ඉදිරිපත් කිරීම් ඉතිහාසය පුරා සිදුව ඇත්තේ සු`ඵතර ජනතාවට අහිතකර ලෙස ය. ඇතැම් පණත් යොදා ගෙන ඇත්තේ ද ඒ වෙනුවෙනි.

සෝල්බරි ව්‍යවස්ථාව යටතේ

x 1948 දී වැවිලිකරයේ ඉන්දීය සම්භවයක් ඇති පුරවැසියන් ලක්ෂ දෙකකට වැඩි පිරිසකගේ ඡුන්ද බලය සහ පුරවැසි අයිතිය අහෝසි කිරීම 

x 1956 දී සිංහල භාෂාව රටේම රාජ්‍ය භාෂාව කළ පණත
එවැනි නිදසුන් ය. මේ කිසිවකට, සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වන වගන්තිය සු`ඵතර ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට ප‍්‍රයෝජන වුයේ ද නැත.

ඊළගට 1972 ජනරජ ව්‍යවස්ථාව තව දුරටත් සුඵතර ජන අයිතීන් සීමා කෙරුවා පමණක් නොවේ,

x පළමු වරට බෞද්ධාගමට විශේෂ සැළකිල්ලක් ද ලබා දුන්නේ ය.

x ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම ඇමති මණ්ඩලයට යටත් කර, සමස්ථ රාජ්‍ය පරිපාලනය දේශපාලනය කිරීම ආරම්භ කළේ ය.

මේ ව්‍යවස්ථා දෙකෙන්ම, මූලික වශයෙන් සිදු වූයේ සිංහල ආධිපත්‍යයක් හැදුවා වගේම, ඒ බලය කොළඹ කේන්ද්‍රීය සිංහල බලයක් බවට පත් කිරීම ය. එහි පල විපාක සරළ නැත. කොළඹ කේන්ද්‍රීය සිංහල බලයක් වූවාට ඒ සිංහල බලය, සිංහල ගමට ලබා දුන් වැදගත් කිසිවක් නැත. ග‍්‍රාමීය සමාජ සංස්කෘතික දියුණුවට, ආර්ථික පැවැත්මට වැදගත් යමක් එකතු කර නැත. එනිසා,

x 1968 වන විට ග‍්‍රාමීය තරුණ කරැුල්ලකට මග පෑදී එය 1971 පළමු සන්නද්ධ සිංහල කැරැුල්ල ලෙස දකුණේ ලේ වැගිරීමකට හා සිංහල තරුණ ඝාතනයකට හේතු විය.

x දමළ ජන වාර්ගික ප‍්‍රශ්නය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් වල සිට (1974 වඩුක්කොඩෙයි සමු`ඵව විසින්* වෙනම දෙමළ රාජ්‍යක් සඳහා පාර කැපෙන්නේත් දෙමළ සන්නද්ධ ව්‍යාපාරයක් බවට පත් වූයේත් මේ කොළඹ කේන්ද්‍රීය සිංහල බලය හේතුවෙනි.

එනිසා අතිශය බරපතල ලෙස කොළඹට එකතු කර ගෙන ඇති දේශපාලන බලය පළාත් බද පාලන ව්‍යුහයකට ලබා නොදෙන, වෙස්ට්මින්ස්ට ක‍්‍රමයක් ගැන, පාර්ලිමේන්තු ක‍්‍රමයක් ගැන නැවත විසඳුම් කතා කිරීමේ අරුතක් නැත.

ජයවර්ධන අගමැති විසින් විධායක ජනාධිපති ක‍්‍රමය 1978 දී ඉදිරිපත් කරන්නේ, 1947 සෝල්බරි ව්‍යවස්ථාව යටතේ සහ 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු ක‍්‍රමයෙන් මේ රටේ ජන වාර්ගික ප‍්‍රශ්නය උග‍්‍ර කිරීමට අමතරව, මේ රටේ මූලික සමාජ සංවර්ධන කාර්යන් හෝ ඉටු කර ගැනීමට නොහැකි වීම, හේතු සාධක හැටියට පෙන් වීමෙනි. එහෙත් ඔහු නොකීවේ, ඒ සියලූ අසාර්ථකවීම් සඳහා මූලික කාරණය වන්නේ, දේශපාලන බලය වැඩි වැඩියෙන් කොළමට ගොඩ ගසා ගැනීම සමග ජාතික වත්කම් හා ආර්ථික ප‍්‍රතිලාභ ද කොළමට ගොඩ ගැසුණු හේතුව ය. එය කීවා නම්, ඔහුට ඔහුගේ විධායක ජනාධිපති ධුරය සාධාරණය කර ගැනීමට නොහැකි බැව් ඔහු ඉතා හොඳින් දැන සිටියෙකි. එනිසා අද රාජපක්ෂ ජනාධිපති බුක්ති විඳින්නේ අලූත් අමුතු ව්‍යවස්ථාවක් නොව, කොළඹට බලය එකතු කළ සිංහල ආධිපත්‍ය තහවුරු කළ ව්‍යවස්ථා තුනක, කරුම උරුම යයි.

එනමුත් යු.ඇන්.පියේ දළ කෙටුම්පත ඒ ජයවර්ධන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කරුමය පිළිගැනීමට සූදානම් නැත. ඔවුන් ඒ ගැන කෙටුම් පතේ පූර්විකාවේ ලියා ඇත්තේ, ‘‘මෙරට ආර්ථික, දේශපාලන සහ සමාජයීය සංවර්ධන අරමුණු ඉලක්ක කර ගනිමින් 1978 දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලද අතර, එමඟින් මෙරට සමාජ ආර්ථික, පරිවර්තනයන් ඇතුලූ ඉලක්ක ගත අරමුණු බොහෝමයක් සාක්ෂාත් කර ගන්නා ලදී.’’ යනුවෙනි. මේ බොරුව යු.ඇන්.පිය අත හරින්නට සූදානම් නැති නම්, ඔවුන්ගෙන් වඩා යහපත් අලූත් ව්‍යවස්ථා කෙටුම්පතක් බලාපොරොත්තු වන්නට ද නොහැක.

එනිසා මා විශ්වාස කරන අයුරු,
01. පළාත් බද දේශපාලන බල ව්‍යුහයක් ගැන කතා නොකරන
02. විධායක ජනාධිපති ධුරය එකම ව්‍යසනය ලෙස සළකා සිංහල ඡුන්ද ගණන් කරන
03. පාර්ලිමේන්තු බලයකට නැවත යෑම එකම විසඳුම ලෙස ඉදිරිපත් කරන
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ආකෘති පරණ තුවාල පෑරීමක් පමණි.

ඒ සියලූ කාරණා වලට උත්තර සොයන්නට අවස්ථාවක් ඇතැයි, ඔවුන්ගේ කෙටුම්පත තෙමසකට වරක් අලූත් කිරීමේ සංවාදයක් ගැන සහතික වෙමින් යු.ඇන්.පී නායකත්වය කියන්නේ ය. එවැනි දිගු සංවාදයකට විවෘත කිරීම, මේ කෙටුම්පත කෙතරම් දුර්වල වූවත්, කෙතරම් සිංහලවාදී වූවත් යු.ඇන්.පි නායකත්වය මෙදා පෙන්නුම් කරන වැදගත් ලක්ෂණයකි. එහෙත් එහි ද ප‍්‍රශ්නයක් ඉතිරි වන්නේ ය. එවැනි දිගු සමාජ සංවාදයක් ඇතුළත වූවත් යු.ඇන්පියද සූදානම් නොමැති හෙයින් මෙහි ඇති සිංහලවාදී ඒකීයත්වය අත හරින්නට ඉඩක් නැත. මෙහි ඇති බෞද්ධ ආධිපත්‍ය නැවත හකුලා ගැනීමට ද එනිසාම නොහැක. අවසන් වශයෙන් අපට නතර වන්නට සිදු වන්නේ නිදහස ලැබූ පසු අවුරුදු 63 ක් පුරා පියවරෙන් පියවර ම්ලේච්ඡු යුද්ධයක් දක්වා වගා කරගත් දෙමළ දේශපාලන අපේක්ෂාවනට යළි උත්තර නොමැතිව ය.

මේ අකරතැබ්බයෙන් බේරෙන්නට නම්, අප පටන් ගත යුත්තේ දකුණේ සිංහල දේශපාලන බලවේග දැනට එක`ග වී ඇති දේශපාලන සම්මුතියෙනි. එනිසා අලූතෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්නට කාලය නාස්ති නොකර, යු.ඇන්.පිය කළ යුත්තේ, සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අවසන් වාර්තාව වහා සමාජ කතිකාවකට තැබීම ය. එම වාර්තාව රාජපක්ෂ ජනාධිපති ස`ගවා ගෙන සිටීමට හේතු දෙකක් ඇත.

01. සර්ව පාක්ෂික නියෝජිත කමිටු අවසන් වාර්තාවෙහි විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට යෝජනා තිබීමත්,
02. දකුණේ සිංහල බලය වෙනුවෙන් පෙනී සිටින ශී‍්‍ර.ල.නි.ප, මහජන එක්සත් පෙරමුණ සහ ජාතික හෙළ උරුමය, 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා යන පළාත් බද බලය බෙදීමකට එහි අත්සන් තබා තිබීමත්
එය නිල වශයෙන් ප‍්‍රසිද්ධියට පත් කිරීමට මේ රාජපක්ෂ පාලනය අකමැති වන කාරණා ය.

එකී අවසන් වාර්තාව අප අතට ගත යුත්තේ ඒ කාරණා වෙනුවෙන් ඔවුන්ට නැවත ප‍්‍රසිද්ධියේ වෙනත් උත්තර බැඳීමට නොහැකි වන ලෙස, සමාජ කතිකාවක් සමග ය. වඩාත් පැහැදිලිව කෙටියෙන් කියන්නේ නම්, අලූතෙන් දකුණේ සම්මුති සොයන්නට යු.ඇන්.පිය, තම කෙටුම්පත හරහා අලූත් මහන්සියක් දැරීම කාලය හා මහන්සිය අපතේ හැරීමකි. දැනටත් එවැනි සිංහල සම්මුතියක් ඇති දීර්ග, විස්තරාත්මක කෙටුම්පතක් වන සර්ව පාක්ෂික නියෝජිත කමිටු අවසන් වාර්තා ඒ වෙනුවට සංවාදයකට තැබිය හැක.

එහෙත් යු.ඇන්.පී යෝජනා මගින් මේ කෙරෙන්නේ, රාජපක්ෂ ස`ගවා ගෙන ඉන්නා බලය බෙදීම සඳහා දකුණේ ඇති වූ සිංහල දේශපාලන සම්මුතිය ගැන කතා නොකර, පැරණි ආකාරයේ අලූත් ව්‍යවස්ථා කෙටුම් පතක් වෙනුවෙන් කල් මැරීමකි. මෙය පැහැදිලිවම වැදගත් කෙටුම් පතක් තිබියදීත් අනවශ්‍ය ව්‍යායාමයක් වෙනුවෙන් කාලය සහ වෙහෙස අපතේ යැවීමකි.

Back to Home page