Colombo Telegraph

මේ පළාත් සභා මැතිවරණයේ අපේක්ෂකයින් සඳහා නොවේ

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

බස්නාහිර සහ දකුණු පළාත් පළාත් සභා මැතිවරණය මෙවර පැවැත්වෙන්නේ මාර්තු 29 දින ය. මේ ආණ්ඩුව කඩින් කඩ මැතිවරණ පැවැත්වීම, ආණ්ඩුව වෙත නොකඩවා ජනතා ප‍්‍රසාදයක් ඇතැයි කීමට, යොදා ගන්නා එක් සූත්තරයකි. ඒ සඳහා සුදු අලියෙක් යැයි බොහෝ දෙන ගරහන පළාත් සභා වුව කම් නැත. පළාත් සභා සුදු අලි යැයි කියු පමණින් තමන් පිරිසිදු දේශපාලකයෙක් වන්නේ යැයි එසේ කියන්නා සිතන්නේ ය. එහෙත් සැවොම ඒ සුදු අලියාගෙන් ලබා ගත හැකි වරප‍්‍රසාද වෙනුවෙන් තරග වදිති.

පළාත් සභා සහමුලින් අහෝසි කළ යුතු යැයි කෑ මොර දුන්නවුන්ද දැන් ඒ සඳහා තරග බිමේ ය. දේශපාලන පක්ෂ සඳහා මහජනතාවගේ බදු මුදලින් පළාත් බද ගැත්තන් නඩත්තු කර ගත හැකි වෙනත් මෙවැනි ආයතනයක් ව්‍යවස්ථාපතිව නැත. මේ ආණ්ඩුවේ සහචර පක්ෂ පලාත් බද ගැත්තන් 300 ක් 400 ක් පමණ මේ පළාත් සභා හරහා මහජන බදු මුදලින් නඩත්තු කර ගනිති. එනිසා රාජපක්ෂ ආණ්ඩුවට මේ පළාත් සභා අහෝසි කළ නොහැක. පළාත් සභා රට දෙකඩ කිරීමකැයි කියා ගම් පළාත් ගිණි බත් කළ, අහිංසක මිනිසුන් ඝාතනය කළ අය ද දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පළාත් සභා මැතිවරණ වලට තරග වදිති. මේ දේශපේ‍්‍රමී විප්ලවවාදීන් වාරියපොල ගොවි කි‍්‍රයාකාරිකයෙකු වූ ජේමිස් ඇතුගල, ශී‍්‍ර ලංකා ජාතික ගුරු සංගම් සභාපති රත්නායක, අනුරාධපුර ඉරිදා පොලේ වෙළඳාම් කළ නන්දන මාරසිංහ වැනි සෘහදයින් දුසිම් ගණනක් ඝාතනය කර දැනට අවුරුදු 26 ක් පමණි. මේ රටේ පළාත් සභා ක‍්‍රමයට ද දැන් එපමණම වයසකි.

අවුරුදු 26 ක කාලයක් යනු රටක ජීවිතයෙහි සුළුපටු කාලයක් නොවේ. පළාත් සභා පිහිටු වනු ලැබූ ඉන්දු-ලංකා ගිවිසුමට ලියැවුනු අශිෂ්ඨ පෙරවදනක් වූ 1980 ජූලි දෙමළ සංහාරයේ සිට ගණන් බැලූ විට, මේ රටේ සියලූ විධායක ජනාධිපතිවරුන් අපට හමු වන්නේ ඒ කාලය තුල ය. මෙවර පළාත් සභා සඳහා තරග වදින ඇතැම් තරුණ අපේක්ෂක අපේක්ෂිකාවන් ඉපිද ඇත්තේ ද මේ කාලය තුල ය. මෙවර ඡුන්දය හිමි තරුණ සැළකිය යුතු ප‍්‍රතිශතයක් ද මේ වයසේ නැවුම් ඡුන්දදායකයින් ය. ඒ සියල්ල කැටි කර ගත් විට, 1987 ඉන්දු-ලංකා ගිවිසුමට හේතු වූ දේශපාලන සාධක සමග මේ යුගය, ඊට පෙර යුගයට වඩා සංකීර්ණ සමාජ ආර්ථික හා දේශපාලන ගැටළු, පරස්පරතා සහිත යුගයකි.

එහෙත් ඡුන්දදායකයින්ට එවැනි වෙනසක් නැත. මෙවරත් වෙනදා වගේම මේ පළාත් සභා මැතිවරණයේදී ද ඡන්දදායකයා, ආණ්ඩුවේත් කිහිප අත බෙදුණු විපක්ෂ දේශපාලනයේත් ජාතික හා ජාත්‍යන්තර කතා සමග ගාල් වන්නාහ. මේ දෙගොල්ලා තුන්ගොල්ලන්ටම පළාත් සභා පත් කර ගැනීමට ඡුන්දය දෙන පුරවැසියන් සඳහා ඉදිරිපත් කළ හැකි කිසිවක් නැත.

එවැනි දේශපාලනයක් කර පින්නා ගත් විට පළාත් සභා පමණක් නොව, මහ පාර්ලිමේන්තුව ද සුදු අලියෙකි. ජරා වලකි. මන්තී‍්‍රවරුන් එහි වැදගත් දේ කතා කරන්නට, විනයක් ඇතිව හැසිරෙන්නට දන්නේ නැත. සේනානායකලා, කොතලාවලලා, බණ්ඩාරනායකලා අගමැති කම් කරද්දී මෙන්, ඇන්.ඇම්ලා, කොල්වින්ලා, ලෙස්ලිලා, කේනමන්ලා, චෙල්වනායගම්ලා, සුන්දරලිංගම්ලා විපක්ෂයේ සිට ආණ්ඩු විවේචනය කරද්දී මෙන්, පාසල් දරුවන්ට දැන් මහජන ගැලරියේ සිට කතා අසන්නට නොහැක. මේ පාර්ලිමේන්තුව එපමණට පිරිහී ඇත. එනිසා මහජන මුදලින් අතිශය විශාල මුදලක් වැය කෙරෙන්නේ, රටට කිසිදු වැදගත්කමක් ඇති යමකට නොවේ. රටේ පුරවැසියන්ට ඒ සියලූ පිරිහීම්, මාධ්‍ය හරහා විනෝදාංශ බවට පත් කළ විට, රස විඳිය හැක. එදිනෙදා මුහුණ දෙන ප‍්‍රශ්න ගැන මැසිවිලි නැගුව ද ඒ දේශපාලනයෙන් වෙනස් දෙයක් ගැන හිතන්නට වුවමනාවක් ද ඡුන්දදායකයාට නැති තරම් ය.

එවැනි පසු බිමෙක, මේ ලියන්නේ, අවම තරමින් ඒ නරුම දේශපාලනයෙන් මිදී, වැදගත් දේ කතා කරන, වැදගත් දේ වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කරන මැතිවරණයක් බවට, මේ පළාත් සභා මැතිවරණය පෙරළා ගත හැකි දැයි විපරම් කර බැලීමට ය. සුදු අලියෙක් යැයි චෝදනා නගන නිසාම, ඒ කතාව පළාත් සභා අය වැයෙන් ම පටන් ගන්නෙමි. පළමුව මේ ප‍්‍රශ්නය අසමි. මෙවර පළාත් සභා මැතිවරණයේ දී ඡුන්දය දෙන්නට ඉන්නා දකුණු සහ බස්නාහිර පළාත් ලක්ෂ 43 ක් පමණ වන පුරවැසියන්ගෙන් කී දෙනෙකු, තම පළාත් සභාවේ අය වැය ගැන විස්තර අසා තිබේ ද ? ඒ අය වැය විවාද ගැන හෝ අය වැය යෝජනා ගැන විස්තර පල කෙරුනු මාධ්‍ය වාර්තා කියවා තිබේද ? මට නම් එවැනි පුරවැසියන් හෝ එවැනි මාධ්‍ය වාර්තා හමු වී නැත.

පළාත් සභා අය වැය ගැන එනිසා සොයා බැලීමි. මෙවැනි විස්තර ප‍්‍රමාණයක් එවිට හමුවිය. 2006 වසරේ සිට 2012 දක්වා අවුරුදු 07 ක කාලයක් සඳහා සාමාන්‍යයක් ලෙස ගත් විට, වසරකට රුපියල් මිලියන 97.9 ක් පමණ මහ ආණ්ඩුවෙන් සියලූ පළාත් සභා වෙත වෙන් කර ඇත. මේ සමස්ථ මුදලම වාගේ වැය වන්නේ අනිවාර්ය පුණරාවර්තන වියදම් වශයෙනි. නිදසුනක් ලෙස, සියලූම පළාත් සභා යටතේ සේවය කරන ගුරුවර ගුරුවරියන් සඳහා වැටුප් හා වෙනත් දීමනා සඳහා පළාත් සභා වෙත වෙන් කෙරෙන මුදල, පළාත් සභා පිහිටා නොතිබුණත් ගුරුවරුන් වෙනුවෙන් වැය කළ යුතු මුදලකි. රෝහල් සහ සෞඛ්‍ය සේවය සඳහා වියදම ද එවැනිම අනිවාර්ය වියදමකි. පළාත් සභා සඳහා වැය කෙරෙන්නේ මේ රටේ සමස්ථ රාජ්‍ය වැය කිරීම් වලින් සියයට 10 ක් හෝ ඊට අඩුවෙනි. එනිසා ඇත්ත නාස්තිය සහ මහ පරිමාන දූෂණ ඇත්තේ පාර්ලිමේන්තුව සමග කොළඹ ආණ්ඩුවෙහි ය.

කොළම මහ ආණ්ඩුව කෙතරම් දූෂිත වූවත් එයට ජනතාවගෙන් බදු අය කිරීමේ බලය ඇත. එපමණට නොවුනත් පළාත් සභා වලට ද බදු අය කිරීමේ බලයක් ඇත. එය පළාත් සභා සතු එක් ආදායම් මාර්ගයකි. ඔවුන්ට ඔවුන්ගේ පළාතේ නොයෙකුත් විෂයන් යටතේ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට ද හැක. ඒ සියලූ කාර්යන් සඳහා වාර්ෂික අය වැය ද සම්මත කෙරේ. එහෙත් පළාත් සභා අය වැයක් ගැන තොරතුරක් ඔවුන්ගේ නිල වෙබ් අඩවි වල හෝ සවිස්තරාත්මකව නැත. පුරවැසියන් ඡුන්දය දෙන්නේ මෙවැනි පළාත් සභා සඳහා ද යන්න, මේ මැතිවරණය අතරතුර අප මතු කළ යුතු වැදගත් ප‍්‍රශ්නයකි.

තවත් වැදගත් ප‍්‍රශ්නයක් ඇත. ව්‍යවස්ථාවෙහි බලය පැවරීමක් ගැන සඳහන් වූවත් මේ ආණ්ඩුව බලාත්මක කිරීමට කිසිසේත් සූදානම් නැති පළාතේ නීතිය හා සාමය පවත්වා ගැනීමේ පොලිස් බලතල ද ඉඩම් පිළිබඳ බලතල ද පැත්තකින් තැබුවත්, පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතයට සෘජුව බලපාන තවත් විෂයන් ගණනාවක් සඳහා පූර්ණ ලෙස මැදිහත් වීමේ බලය පළාත් සභා සතුව ඇත. ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක් එක් පළාත් සභාව විසින් ඒ ඒ විෂයන් වෙනුවෙන් ව්‍යවස්ථා කෙටුම්පත් සම්මත කර ගත යුතු ය. කෙසේමුත් එසේ බලය ලබා ගන්නේ නම්, ඉන් වඩාත්් වැදගත් වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, මගී ප‍්‍රවාහනය, නිවාස හා ඉදිකිරීම්, සමූපකාර සහ සමාජ සේවාවන් සමග පුනරුත්ථාපනය වැනි විෂයන්ය. මේ එදිනෙදා ජීවිතයේ ඉතා වැදගත් විශාල ක්ෂේත‍්‍රයක් ආවරණය කළ හැකි විෂය ලේඛනයකි. මෙවර පළාත් සභා සඳහා ඉදිරිපත් වන දේශපලන පක්ෂ සහ සන්ධාන වල අපේක්ෂකයින් මේ කාරණා ගැන ඡුන්දදායකියන්ට ඉදිරිපත් කර ඇති සැළසුම් මොනවා ද ? ඡන්දදායකයින් ඒවා ගැන අපේක්ෂකයින්ගෙන් හා ඔවුන්ගේ පක්ෂ වලින් ප‍්‍රශ්න කර තිබේ ද ? එවැනි සංවාදයක් මේ මැතිවරණයේ ද නැත.

එවැන්නක් මේ පලාත් සභා මැතිවරණයෙන් ආරම්භ කළහොත් එය මහ මැතිවරණ තෙක් ඉදිරියේ දී වර්ධනය කර ගැනීමේ ඉඩක් ඇත. ප‍්‍රතිපත්ති මත කෙරෙන දේශපාලනයකට ගොඩ වීමේ ඉඩක් ඉදිරියේ දී හෝ හදා ගත හැක. එබැවින් දකුණු සහ බස්නාහිර පළාත් පුරවැසියන් සඳහා මෙවැනි යෝජනා කිහිපයක් ඉදිරිපත් මම කරමි.

01. ඕනෑම පුරවැසියෙකුට, රාජ්‍ය ආරක්ෂාව හා නොගැටෙන, තමන්ට හෝ සමාජයට වැදගත් වාගේම ඒ දෙපාර්ශවයටම බලපාන්නා වූ කාරණා සම්බන්ධයෙන් අදාල සියලූ තොරතුරු දැන ගැනීමේ අයිතියක් ඇත. එය හුදෙක් මාධ්‍ය නිදහස හෝ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හා අයිතියට සීමා වූවක් නොවේ. ඉන් ඔබ්බට යන, තනි තනිව පුරවැසියනට බුක්ති විඳින්නට හැකි පුළුල් අයිතියකි. ඒ සඳහා ජාතික වශයෙන් පණත් සම්මත කරගත් රටවල් 95 ක් පමණ ලෝකය පුරා ඇත. සාක් කලාපයේ පූර්ණ සාමාජික රටවල් 08 න්, ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය, නේපාලය සහ බූතානය තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කර ඇත. ඉන්දියාවේ තොරතුරු දැන ගැනීමේ පණත ඉතාම ශක්තිමත් පණතක් ලෙස සැළකේ. සියලූ සන්නද්ධ ගැටුම් අතර, ඇෆ්ගනිස්ථානය තොරතුරු දැන ගැනීමේ පණත සම්මත කිරීමේ කාර්ය ආරම්භ කර ඇත. තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කිරීම 2007 සිට කල් තබමින් සිටි මාලදිවයින පසු ගිය දෙසැම්බර 29 වන දින ඒකඡුන්දයෙන් සම්මත කළහ. ඒ අයිතිය පුරවැසියන්ට නොදී ඉන්නේ මේ ආණ්ඩුව පමණි.
මේ රටවල් සියල්ල තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කර ඇත්තේ, ආණ්ඩු පාලනය සම්බන්ධ ඔවුන්ගේ වගවීම හා වගකීමත් විවෘත භාවයත් වෙනුවෙනි. රටක ¥ෂණය අවම කිරීමටත් එය ඉතා වැදගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවසරයකි. ප‍්‍රාදේශිය සභාවක් පාරකට කොන්කී‍්‍රට් දැමීමේදී කළ වියදම සාධාරණ දැයි ගණන් බලා ගැනීමට නැතිනම් පාසලකට ළමුන් ඇතුළත් කිරීමේ පිළිවෙත කෙතරම් සාධාරණදැයි දැන බලා ගැනීමට පුරවැසියෙකුට ඇති අයිතිය තහවුරු කෙරෙන්නේ, ඒ වෙනුවෙන් වන පණතකින් ය.
තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කරගැනීම, පාර්ලිමේන්තුවට පමණක් අයිති වන්නක් නොවේ. එය ඕනෑම රාජ්‍ය ආයතනයකට හෝ පෞද්ගලික සමාගමකට, රාජ්‍ය නොවන සංවිධානයකට තමන් වෙනුවෙන් හෝ තමන් යටතේ පිහිටුවා ඇති ආයතන වෙනුවෙන් ස්වචේඡුාවෙන් සම්මත කර ගත හැකි ප‍්‍රතිපත්තිමය තීන්දුවකි. පණතක් නැතිනම් ප‍්‍රකාශනයක් ලෙස සම්මත කර ගත යුතු වන්නේ එම ප‍්‍රතිපත්තිය කි‍්‍රයාවට නැගීමේ පිළිවෙත සහ එම පිළිවෙතට පටහැනිව කටයුතු කෙරෙන විට, ඒ වෙනුවෙන් ගත යුතු විසඳුම් ය.

ප‍්‍රාදේශීය, නගර සහ මහ නගර සභා විශාල සංඛ්‍යාවක් පාලනය වන, ගුරුවර ගුරුවරියන් දහස් ගණනක් සහ සෞඛ්‍ය සේවාවේ විවිධ තරාතිරමේ සේවක පිරිස් තවත් දහස් ගණනක් සේවය කරන පාසල් රෝහල් පාලනය කරන, රුපියල් බිලියන ගණනින් එහා මෙහා කරන පළාත් සභා සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කරගැනීම, ඒවා සුදු අලි නොවන්නට අනිවාර්ය පියවරකි.

එබැවින් මෙවර පළාත් සභා මැතිවරණයේ දී තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කිරීමට සූදානම් කවුරුන්දැයි ප‍්‍රශ්න කළ යුතුව ඇත. එය පුරවැසි වගකීමකි.

02. දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අද දෙමාපියන් මුහුණ දෙන බරපතල ගැටළුවකි. එය තනිකරම මහ ආණ්ඩුවේ වගකීමක් ලෙස වාද කිරීම, අධ්‍යාපනඥයින්ගේ ද අඩුවකි. ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැකසීම මහ ආණ්ඩුවේ සහ පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය යුතු බව සැබෑ ය. එහෙත් එතෙක් ප‍්‍රාදේශීය පාසල් දියුණු කිරීම ප‍්‍රමාද කළ යුතු නොවේ. ඒ සඳහා එක් මැදිහත් වීමක් විය හැක්කේ ගුරු සේවාවේ කුසලතා වර්ධනයට අවකාශ සැපයීම ය. තවකක් විය හැක්කේ, මැතිවරණ කොට්ඨාශ මට්ටමින් පහසුකම් සහිත දියුණු පාසල් ගොඩ නැගීමය. ඒවායේ පහසුකම් අනෙක් පාසල් වල ළමුන්ට ද ලබා ගත හැකි සාමුහික පිළිවෙත් හැදීම ය. එවැනි වැඩ සටහනක් ඉදිරිපත් කරන්නේ කවුරුන් දැයි ප‍්‍රශ්න කිරීම, පුරවැසි වගකීමකි.

03. සෞඛ්‍ය හා ප‍්‍රාදේශීය රෝහල් සම්බන්ධයෙන් ද එවැනි වැඩ සටහන් කි‍්‍රයාවට නැගීම, පළාත් සභා සතු වගකීමකි. එනිසා පළාත් සභා සඳහා ඡන්දය ඉල්ලන්නේ නම්, එවැනි සංවර්ධන වැඩ සටහන් ඉදිරිපත් කරන්නට යැයි දේශපාලන පක්ෂ වලට හා අපේක්ෂකයින්ට බල කරන්නට පුරවැසියන් ඉදිරිපත් විය යුතු ය.

04. කාන්තා සහ ළමා ගැටළු පිළිබඳව ද පළාත් සභා වලට එවැනිම පියවර ගත හැක. අද මේ සමාජයේ මේ දෙපාර්ශවය තරම් අඩමාන ජීවිත ගත කරන වෙනත් කාණ්ඩ දෙකක් නැත. එය මෙතෙක් සිදුව ඇති ස්තී‍්‍ර දූෂණ, ලිංගික අතවර සහ ඝාතන ද ළමා අපචාර හා හිංසන ද පිළිබඳ දත්ත මගින් ඔප්පු කරන්නකි. මේ රාජපක්ෂ ආණ්ඩුව තහවුරු වූ 2005 නොවැම්බරයෙන් පසු තත්ත්වය 2008 සිට 2012 දක්වා ගණන් බැලූවහොත් ළමා හිංසන සහ අපචාර 23,000 ක් පමණත් ස්තී‍්‍ර දූෂණ සහ ලිංගික අතවර 33,000 ක් පමණත් වාර්තා වී ඇත. කවුරුත් දන්නා අයුරු මේ හිංසන, දූෂණ වාර්තා නොවන සංඛ්‍යාවක් ද ඇත. වාර්තා වූ සංඛ්‍යාවෙන් නීතිමය පියවර ගනු ලැබ අධිකරණයේදී වරදකරුවන් වූ සංඛ්‍යාව 670 ක් පමණ යැයි වාර්තා වේ. ස්තී‍්‍ර දූෂණ සමග ඝාතන ද බරපතල ලෙස ඉහළ ගොසින් ඇත. බොහෝමයක් පරීක්ෂණ අවසන් කෙරෙන්නේ ද නැත.

ස්තී‍්‍රන්ට සහ ළමුන්ට දෛනිකව මුහුණ දෙන්නට සිදුවන අපහාස, අපචාර, හිංසන සහ දූෂණ සම්බන්ධයෙන් විසඳුම් හෝ ආරක්ෂණ පිළිවෙත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශ, කාන්තා කාර්යාංශ, ළමා ආරක්ෂක අධිකාරිය, පොලිසිය හා අධිකරණය ඇතුලූ රාජ්‍ය ආයතන ඔස්සේ නොලැබෙන්නේ ය.

ඉන්දියාව මෙවැනි තත්ත්වයක් හමුවේ, වෙනත් නීතිමය පියවර ගෙන ඇත. 2012 සැප්තැම්බරයේ දී ඔවුන් රැුකියා ස්ථානයේ ලිංගික අතවර වලින් කාන්තාවන් ආරක්ෂා කිරීමේ පණතක් සම්මත කර කළේය. රැුකියා ස්ථානයේ සේවක සංඛ්‍යාව 10 කුට අඩු නම්, ඒ සඳහා පැමිණිලි කළ හැකි ප‍්‍රාදේශීය

යාන්ත‍්‍රණයක් ඇත. එය පිළිගත් උගත් හා දේශපාලනයෙන් ස්වාධීන කාන්තාවකගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන්නකි. වැදගත්ම කාරණාව, පැමිණිළි පක්ෂයේ කාන්තාවකට ඇයගේ අනන්‍යතාවය රහස්‍ය ලෙස තබා ගැනීමට ඇති අයිතිය තහවුරු කර තිබීම ය. කාන්තාවනට හා ළමුන්ට මෙවැනි සුරක්ෂාවක් ලබා දීමේ නීතිමය පියවර පළාත් සභාවකට ගත හැක. ඒ සඳහා තරග වදින වුන් සූදානම් දැයි පුරවැසියන් ඇසිය යුතු ය.

මේවා පලාත් සභාවකට පැවරෙන විශාල වගකීම් හෝ කළ නොහැකි කාර්යන් නොවේ. මේ සියල්ල දැනට පළාත් සභා සතු බලය මත ඉටු කළ හැකි කාර්යන් ය. මෙතෙක් කිසිවකු ඒ වෙනුවෙන් උනන්දු නොවුනි. ඉටු කළහොත් මේවා පළාතේ අලූත් දේශපාලන හැදියාවකට සහ සමාජ පැවැත්මකට හේතු පාදක කර ගත හැකි පියවර ගණනාවකි. මේ පළාත් සභා මැතිවරණයේ දී පළාතේ ජීවත් වන පුරවැසියනට යම් ප‍්‍රයෝජනයක් ලබන්නට නම්, ඔවුන් ඒ වෙනුවෙන් මූලිකත්වය ගත යුතු ය. දැනට සිදු වන්නේ ඉවක් බවක් නැති අපේක්ෂකයින් සමූහයක් කොහෙන්දෝ ගලා එන මුදල් කන්දරාවක් සමග මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කරන විට, ඡුන්දදායකා ඒ පසු පස වැටී ඡන්ද පොළට යෑම ය. එය වෙනස් කර ඡුන්දදායකා කොන්දේසි පැනවීමේ බලය ගත යුතුව ඇත. මේ එවැනි ආරම්භයකට ඇරයුමකි.

Back to Home page