Colombo Telegraph

පහසු ගෙවීමේ ක‍්‍රමයට නැති ‘‘වම’’

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

අවසන් වූ පළාත් සභා මැතිවරණ තුන ගැන කෙරුනු කතා බහ අතරතුර, වාමාංශික දේශපාලනයක් ගැන කිසිවකු කිසිවක් නොකීම අරුමයක් නොවේ. 50 – 60 දසක වල මෙන් පසු ගිය මැතිවරණ කිසිවක වමේ දේශපාලනයක් ගැන කතා නොතිබිණ. එයට ප‍්‍රධානම හේතුව අද ‘‘වම’’ යැයි අර්ථ ගැන්වෙන්නේ කවර දේශපාලනයක් දැයි පැහැදිලි නොවීම ය.

‘‘වම’’ සමච්චලයට ලක් කරමින් මෙන් පැරණි සගයෙකු ඇසුවේ, දැන් වික‍්‍රමබාහු වමේ ද නැත්නම් යු.ඇන්.පියේ ද කියාය. පසුගිය පළාත් සභා මැතිවරණයේ දී මහනුවර දිස්ති‍්‍රක්කයේ යු.ඇන්.පී මැතිවරණ වේදිකා දුසිම් දෙකක පමණ අසාත් සාලි වෙනුවෙන් වික‍්‍රමබාහු ඡන්ද අයැද ඇත. අසාත් සාලී ගේ දේශපාලන ඉතිහාසයේ ඔහුට ද ගණන් තබා ගත නොහැකි තරම් පක්ෂ වලට ඔහු මාරු වී ඇතත් ඔහුගේ පියාට මිස ඔහුට වමේ ඉතිහාසයක් නැත. එවැන්නෙකු වෙනුවෙන් තබා කිසිවෙකු වෙනුවෙන් වාමාංශිකයෙකුට යු.ඇන්.පී මැතිවරණ වේදිකා මත ඡන්ද අහුලන්නට නොහැකි යැයි, වික‍්‍රමබාහුගේ සහ ඔහුගේ න.ස.ස.පයේ ‘‘වමේ දේශපාලනය’’ ඒ පැරණි සගයා ප‍්‍රතික්ෂේප කළේ ය.

අද වාමාංශික දේශපාලනයේ සමහරු, ‘‘රාජපක්ෂ විරෝධය’’ වෙනුවෙන් යු.ඇන්.පීය හා එකට ගමන් කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කරන සටනක් ලෙස හුවා දක්වති. සිරිතුංගලා ගේ එ.ස.ප වැනි කණ්ඩායම් ඉදිරිපත් කරන එවැනි තීන්දු වල පෙනුමට යම් තර්කයක් ඇත. මේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පැවැත්මට එරෙහිව සටන් සගයන් තේරීමේ අවශ්‍යතාවක් නැතැයි ඉන් කියැවේ. එහි ඇත්ත අරුත ඇත්තේ එවැනි සටන් වමේ නායකත්වයකින් ඉස්මතු වන්නේ නම් පමණි. එහෙත් එයින්ම වමේ දේශපාලනයක් හැදෙන්නේ ද නැත. වික‍්‍රමබාහු ඉන්නේ ඒ තර්කයටත් ඉදිරියෙනි. එකට සටන් කිරීමට පමණක් නොව රාජපක්ෂලාට විරුද්ධව යු.ඇන්.පිය හා එකට මැතිවරණ තරග කරන්නට ද සූදානම් බවක් ඔහුගේ දේශපාලනයෙහි දැකිය හැක. ඊට වෙනස් පැරණි, සාම්ප‍්‍රදායික සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ තවමත් ‘‘යු.ඇන්.පී විරෝධය’’ ඔවුන්ගේ දේශපාලනයේ වැදගත්ම හා තීරණාත්මක කොන්දේසිය ලෙස ඉදිරිපත් කර, රාජපක්ෂ ආණ්ඩුවෙහි එල්බ සිටිති. වමේ කියා ගෙන මේ රාජපක්ෂ ආණ්ඩුවේ පංගුකරුවන් වීමෙහි යම් අපුලක් අමාරුවක් දැනෙන, ඔවුන් අතර ඉන්නා වඩා වාමගාමී කතා කියන කරන වුන් එනමුත් ආණ්ඩුවෙන් තම පක්ෂය ඉවත් වන තැනට තර්කය ගෙන යන්නට සූදානම් නැත. අප දන්නා කාලයේ සිට ‘‘වම’’ න්‍යායික ප‍්‍රශ්න මත අනවශ්‍ය ලෙස කැඞී බිඳී ඇති අතර, තව දුරටත් එසේ පක්ෂ කැඞීමේ තේරුමක් නැතැයි ඔවුහු කියති. එනිසා පක්ෂ නොකඩා මේ රාජපක්ෂ ආණ්ඩුවේ සිටිමින් වමේ දේශපාලනයක් කරන්නේ කොහේ සිට දැයි ඔවුන්ගෙන් නොඇසිය යුතු එකම ප‍්‍රශ්නය ය.

‘‘වමේ දේශපාලනය’’ යැයි කතා කෙරෙන මේ යු.ඇන්.පී කේන්ද්‍රීය දේශපාලනයේ එහා පැත්තේ සිටියත් මෙහා පැත්තේ සිටියත් ඒ කිසිවෙකු සංවාදයට නොගන්නා ප‍්‍රශ්නයක් ඇත. එම ප‍්‍රශ්නය, වමේ අලූත් දේශපාලනයක් සඳහා වන කතිකාවකට හොඳ ප‍්‍රවිශ්ඨයක් යැයි සිතමි. සරළව ඇසුවහොත් රාජපක්ෂගේ ආණ්ඩුව හා රනිල්ගේ යු.ඇන්.පිය අතර තිබෙන වෙනස කුමක් ද ? ‘‘එවැනි වෙනසක් සොයන්නට අවශ්‍ය නැත. දැනට අවශ්‍ය වන්නේ මේ ආණ්ඩුව මාරු කිරීම පමණයි’’ කියන්නා වූ සාමාන්‍ය මැද පංතික පිරිසක් ඇත. ඔවුන් සීමා වන්නේ දූෂිත හා මර්දනකාරී යැයි හඳුන්වන රාජපක්ෂ ආණ්ඩුව කෙසේ හෝ පැරදවීමට ය. ඒ වෙනුවෙන් බහුතරයකට එක`ග විය හැකි යැයි ඔවුන් සිතන සටන් පාඨයක් සමග කවුරුන් හෝ ‘‘පොදු අපේක්ෂකයෙකු’’ ඔවුන්ට ප‍්‍රමාණවත් ය. එහෙත් එය වමේ කතිකාවක, වමේ උත්තරය නොවේ.

ඒ නායක දෙපළ අතර වෙනස සෙවීමේ දී මේ රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත හා යු.ඇන්.පියේ ආර්ථික ප‍්‍රතිපත්තිය අතර සොයා ගත හැකි වෙනසක් නැත. අවුරුදු 17 ක යු.ඇන්.පී පාලනයට අභියෝග කිරීම සඳහා චන්ද්‍රිකාගේ වමේ පෙරමුණ 1994 මහ මැතිවරණයට ඉදිරිපත් කළ ‘‘විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබා දීම’’ වැනි කතා මිස, රාජපක්ෂ ආර්ථිකයට වෙනස් තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තියක් ගැන යු.ඇන්.පිය අද කතා කරන්නේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික යෝජනා සමග මේ ආණ්ඩුව කි‍්‍රයාත්මක වන්නේ යැයි කීවාට, ඔවුන් බලයට පැමිණයත් ඔවුන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප‍්‍රතිපත්ති රාමුවෙන් පිටතට යන්නේ නැත. අතීතයේ පැවති ආණ්ඩු ද ජනතාව හමුවේ ජනපි‍්‍රය මුහුණක් තබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් යෝජනා කල් තැබුහ. 1977 සිට රොනී ද මැල් ඔහුගේ අය වැය සකස් කෙරුවේ එළෙසිනි. විශේෂයෙන් මහජන සුභ සාධනය, ජා. මූල්‍ය අරමුදලෙන් යෝජිත ආර්ථික ප‍්‍රතිව්‍යුහගත කිරීම් සමගින් කප්පාදු කිරීම එසේ කල් තැබූ සෘජු යෝජනා වූවත් ඒ හේතුවෙන්ම රොනී ද මැල්ට ආණ්ඩුවෙන් යන්නට සිදු විය. අනතුරුව ඒවා පසු ආණ්ඩු විසින් වෙනත් මුහුණුවර ඇතිව කි‍්‍රයාත්මක කෙරුණි. විවෘත වෙළඳ පල ආර්ථිකය ඒ අනුව කිසිදු ආණ්ඩුවක් මගින් මූලික වෙනසකට ගෙන ගොස් නැත.

යු.ඇන්.පි.යට එනිසා අද ඇත්තේ මේ ආණ්ඩුවේ ආර්ථික හැසිරීමේ හොඳ නරක පිළිබඳ ප‍්‍රශ්නයක් පමණි. ඔවුන්ගේ ආර්ථික විiාඥයින් එය මතු කරන්නේ දූෂණ හා වංචා සම්බන්ධයෙන් කෙරෙන විවේචන මගින් ය. වෙනත් ආකාරයකට කියන්නේ නම්, මේ රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික කලමනාකරණයෙහි දූෂණ හා වංචා වල විශාලත්වය, පසුගිය ආණ්ඩු වල තිබූ අඩු මට්ටමින් තිබුණේ නම්, මේ රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව යු.ඇන්.පියට නැගිය හැකි චෝදනා, ඉතා අල්ප ය. බටහිර රටවල් සමග වෙළඳාම් කළ මිශ‍්‍ර ආර්ථිකයක් වෙනුවෙන් යු.ඇන්.පිය පෙනී සිටීම අධිරාජ්‍ය ගැති යැයි වමේ පක්ෂ කියූ කාලයේ, බණ්ඩාරනායක යු.ඇන්.පියෙන් ඉවත්ව සිංහල වෙළඳ ප‍්‍රජාවට අවශ්‍ය වූ සිංහල රාජ්‍ය සහ රාජ්‍යගත ආර්ථිකයක් වෙනුවෙන් මුල පිරීම, ඒ වමේ පක්ෂ වලට ප‍්‍රගතීශීලි වූවත් අද මේ පක්ෂ දෙකෙහි එවැනි හෝ වෙනසක් නැත. අද රාජපක්ෂ ආණ්ඩුව හා වික‍්‍රමසිංහගේ යු.ඇන්පිය ඉන්නේ නව ලිබරල් ආර්ථිකයේ අර්බූදයට හසුව ය. ඔවුන් දෙගොල්ලන්ටම ඒ අර්බූදයෙන් ගොඩ එන්නටත් රටේ සංවර්ධනය වෙනුවෙන් දුර දිග යන සැළැස්මක් ඉදිරිපත් කරන්නටත් නොහැකි ය. එනිසා තෝරා ගැනීමට තරම් මේ දෙගොල්ලන් අතර වෙනසක්, විකල්පයක් නැත.

ඒ හේතුව නිසා ඇතැම් වාමාංශිකයින් රනිල්ගේ යු.ඇන්.පිය තෝරා ගැනීමට හේතු ඉදිරිපත් කරන්නේ, බලය බෙදීමට රනිල් එක`ග කරවා ගත හැකි යැයි ඉතිහාසය පෙන්නීමෙනි. අද මේ යු.ඇන්පිය, අවුරුදු 10 ට පෙර තිබූ යු.ඇන්.පිය නොවේ. එනිසා මේ යු.ඇන්.පිය සමග රනිල්ට, ඔහු 2001 දී කතා කළ බලය බෙදීම අද කතා කළ නොහැකි ය. එදා රනිල්ට සටන් විරාම ගිවිසුම් අත්සන් කිරීමට හා බලය බෙදීමට කතා කළ හැකි වූයේ චන්ද්‍රිකා ගේ ආණ්ඩුව මේ රාජපක්ෂ ආණ්ඩුව මෙන් දකුණේ සමාජය සිංහලවාදී අන්තයකට තල්ලූ කර නොතිබූයෙණි. යුද්ධයක පැටලී සිටියත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව සාමය අර්ථ ගැන්වූයේ සාකච්ඡාමය විසඳුම් හරහා ලබා ගන්නා පොදු දේශපාලන එක`ගත්වයක් ලෙසින් ය. සමාජ එක`ගත්වයක් වෙනුවෙන් ඔවුන් දියත් කළ දේශපාලන තවලම් හා සුදු නෙ`ඵම් ව්‍යාපාර සිංහල අන්තවාදී කොටස් සමච්චලයට ලක් කළ ද, ඒ දේශපාලන මැදිහත් වීම් නිසාම, රාජපක්ෂ ආණ්ඩුව යටතේ මෙන් දකුණේ සමාජය අන්තවාදයට නොගියේ ය. 13 වන ව්‍යවස්ථා සංශෝධනයට වඩා පැහැදිලි බලය බෙදීමක් සහිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඇයගේ ආණ්ඩුව 2000 අගෝස්තුවේ ඉදිරිපත් කළ විට, එයට විරෝධය මතු වූයේ අතීතයේ මෙන් දකුණේ සිංහල සමාජයෙන් නොව, පාර්ලිමේන්තු සභා ගර්භයේ ය. රනිල් වික‍්‍රමසිංහට ‘‘අලි – කොටි ගිවිසුම්’’ අත්සන් කළේ යැයි ප‍්‍රසිද්ධියේ චෝදනා නැගුවත් එදා දකුණේ සිංහල ජනතාව රනිල්ට ඡන්දය දීමට ඒ කිසිවක් කොන්දේසියක් නොකර ගත්තේ ද එබැවිනි.

රාජපක්ෂලාගේ යුධවාදී සිංහල දේශපාලනය සමග දකුණ අද සිංහල අන්තවාදයේ එක් මායිමකට පැමිණ ඇත. යු.ඇන්.පියට විරුද්ධව චන්ද්‍රිකා ඇයගේ බල ව්‍යාපෘතිය වෙනුවෙන් සිංහල ජාතිවාදීන් සමග සම්මුති ගැසීමට තීන්දු කළ 2003 සිට, දකුණ අන්තවාදයට තල්ලූ කෙරුණි. ඒ සිංහල විරෝධයට දේශපාලනිකව මුහුණ දෙන්නට එදා යු.ඇන්.පිය බිය වූයේ ඔවුන් අතර වූ සිංහල තෙරපුම නිසා ය. එනිසා එදා සිට යු.ඇන්.පිය ගමන් කර ඇත්තේ ද දකුණේ ගොඩ නැගුණු සිංහල අන්තවාදයට යට වෙමින් ය. ඒ හේතුවෙන් අද යු.ඇන්.පියේ සිංහලවාදී බෞද්ධ සැදැහැවතුන් කොටස එදාට වඩා ශක්තිමත්ව ඇත. අද පක්ෂය තුල රනිල් විරෝධය ඇත්තේ මේ සිංහල-බෞද්ධ ජාතිවාදයෙහි ය. රනිල් ද ඔහුගේ නායකත්වය රැක ගැනීමට සැළකිය යුතු ආකාරයෙන් සිංහල-බෞද්ධ ජාතිවාදය හා සම්මුති ගසන්නේ ය. ඔහු උතුරු පළාත් සභා මැතිවරණය සඳහා යොදා ගත් ඔහුගේ හිතවතුන්ගෙන්ම, එය පෙනෙන්නේ ය. සිංහල දකුණ තරහ නොකරගෙන දෙමළ ජනතාවට කතා කළ හැකි යැයි සිංහලවාදී දේශපාලන කෛරාටිකයින් තෝරා ඔහු යාපනයට යැවී ය. රනිල්ගේ ඒ නව සිංහලවාදය ඉතා මැනවින් ඔප්පු වන්නේ ඔහු තම පෞද්ගලික දේශපාලන දර්ශනය ලෙස 2010 දී එළි දැක් වූ ‘‘අනාගත අභියෝගය….’’ මැයෙන් වන පොත් පිංචෙනි. එය මුලූමනින්ම ඔහුගේ බෞද්ධකම හා රටේ සංවර්ධනය ගැන හිස් කතාවක් ගැට ගැසූවකි. සිංහල ජාතිවාදය සමග ඔහුගේ සම්මුති ගැසීම වසා ගැනීමට බෞද්ධ දර්ශනය කපටි ලෙස යොදා ගන්නට උත්සාහ කළ ද, එය සිංහල ජාතිවාදීන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඉදිරිපත් කෙරුවකි. අද රනිල් යනු යු.ඇන්.පියේ නායකත්වය තමන් අතම රඳවා ගෙන සිංහල ජාතිවාදීන්්ගේ දේශපාලනය වෙනුවෙන් පක්ෂය යොදවන්නට ඉදිරිපත් වන්නෙකි. එනිසා අද ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් බහුත්වවාදයක් ගැන කතා කිරීමේ අරුතක් වමට ඉතිරිව නැත.

හුදු නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආවේගයන් මත කතා කෙරෙන ප‍්‍රධාන දේශපාලන ධාරාවන්හි ආණ්ඩු මාරුවකින් මේ රටේ ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හා බහුත්වවාදී ජාතික එක`ගත්වයක් සාර ගර්භ ලෙස දිනා ගත නොහැක. වඩා පැහැදිලි සරළ බසින් කියන්නේ නම්, මේ රටට, ජාතික සමගියක් තහවුරු කර ගිනිමින් ජාතික සංවර්ධනයක් වෙත සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමනක් යෑමට, වර්තමාන යු.ඇන්.පීය සමග ආණ්ඩු හැදීමෙන් නොහැක. ආර්ථිකයේ දී මෙන්ම, සිංහලවාදී සමාජයක් පිළිබඳවත් අද ප‍්‍රධාන ධාරාවේ දේශපාලන තරගය ඇත්තේ කවුරුන් එය වඩා හොඳින් නියෝජනය කරන්නේ දැයි දකුණට පෙන්වීමට ය. ඒ අතර, රාජපක්ෂ ආණ්ඩුව පැරදවීමට වඩාම පළල් ජනතා එකතුවක් ද අවශ්‍ය යැයි යන අදහස මත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ වාමගාමී කණ්ඩායම් කොටු කිරීමේ පිළිගත් වචන යෙදීම ද රනිල් ප‍්‍රධාන වන හවුල් වල දැකිය හැක. එවැනි සිල්ලර සියල්ලෙන් ඉවත් වන නව වමේ දේශපාලනයක වැදගත්කම හා අවශ්‍යතාවය ඇත්තේ, මේ ලාභදායි වෙනස්කම් මගින් කිසිවක් නොවන හෙයින් ය. තැන තැන විසිර ඉන්නා, පැරණි ජීවිතයට අනුව තවමත් වමේ යැයි සැළකෙන කණ්ඩායම් හා පුද්ගලයින් එකතු කිරීමෙන් එයට විකල්ප වූ වමක් හදා ගැනීමට ද නොහැක. වමේ ජාතික දේශපාලනයක නව ප‍්‍රක්ෂේපණයක් යනු, වමේ පැරැුණ්නන් කතා කරන එක්සත් වමක් ගැන කතාවක් ද නොවේ.

ඒ සම්මත කතා වලින් පිට පැනීමට වමේ මතධාරීන්ට තවමත්් අපහසුවක් ඇත. පසුගිය අවුරුදු 30 ක පමණ කාලයක සිට වමේ පක්ෂ හා කණ්ඩායම් සිංහල සමාජයෙහි කොටු වූ දේශපාලනයක නතර වී ඇති හෙයිනි. එනිසා ඔවුහු සෝවියට් රාජ්‍ය බිඳ වැටීම ගැන කිසිදු ගැඹුරු සංවාදයකට අත නොගැසූහ. චීනයේ මෑත නවීකරණය හා ඔවුන් පැරණි අධිරාජ්‍යවාදී ලෝකයට කඩා වැදීමේ අලූත් ගෝලීීය බලපෑම් ගැන දේශපාලනිකව කෙරෙන විවරණ නැත. අවම තරමින් ඉන්දියාවේ සිදු වන්නේ මොනවා දැයි සහ ඒවා අපට බලපාන්නේ කෙසේ දැයි කතා වන්නේ ද නැත. මේ වර්තමාන ලෝකය ගැන, අපේ අසල්වැසියන් ගැන සහ අප ගැන, වමේ දේශපාලනය කියන්නේ මොනවා දැයි අද අප දන්නේ නැත. එහි ඇත්ත තේරුම නම්, ඉතිරි වී ඉන්නා සාම්ප‍්‍රදායික වාමාංශිකයින්, මේ නූතන සංකීර්ණ ලෝකය තේරුම් ගත හැකි නව දැනුමක් උකහා ගෙන, වර්ධනය කරගෙන නැති බව ය.

අද අප ඉන්නේ, අවුරුදු 30 ට පෙර නව ලිබරල් ගෝලිය ආර්ථිකයේ පැල කිරීමට ජයවර්ධන විසින් ලිහා දැමූ, පේ‍්‍රමදාස විසින් සිංහල වෙළඳුන්ට බාර දුන්, චන්ද්‍රිකා විසින් ඔද්දල් කළ, රාජපක්ෂ විසින් සූරා විනාශ කරමින් යන සිංහල-බෞද්ධ ශී‍්‍ර ලංකාවක ය. මෙය අවුරුදු 40 ක් 50 ක් පැරණි කාච වලින් නිවැරදිව දැක බලා ගත නොහැක. මේ අලූත් ලෝකයේ ජීවත් වන, අලූත් ජන සමාජය හඳුනා ගනිමින් එහි ජීවත් වන අලූත් පරම්පරා සමග කරන්නා වූ බුද්ධිමය සංවාදයක් නොවන්නේ නම්, නව වමේ කතිකාවක් වලංගු වන්නේ නැත. එවැන්නක් වෙනුවෙන් මවිසින් ඉතා පෞද්ගලිකව මතු කළ අදහස් කිහිපයකට ප‍්‍රතිචාර වශයෙන් විජයානන්ද ජයවීර ම‘වෙත ලියා එවූ සටහනෙහි මේ අවසන් පරිච්ෙඡ්දයෙන් මෙය දැනට අවසන් කළ යුතු යැයි එනිසා සිතුවෙමි.

ඔබ ඉතා නිවැරදිව තාරුණ්‍යයේ වුවමනාවන් හා අපේක්ෂාවන් සඳහා වන අනාගත විසඳුම් සෙවීම, මතු කර ඇත. එහි අවසන් තේරුම වන්නේ, තම ජීවන සතුට හා ආත්මාභිමානය මේ ජීවිතයෙහි දී ලබා ගැනීමට හැකි ඇත්ත විසඳුම් ඉදිරිපත් කරන්නට වමට හැකියැයි විශ්වාසයක් තාරුණ්‍යයට ඇති වුවහොත් පමණක් ඔවුන් වම හා ගනු දෙනු කරනු ඇත යන්නයි. එහෙත් පැරණි සෝවියට් පාලන ක‍්‍රමය හැර වෙනකක් වමට ඉදිරිපත් කළ හැකි දැයි මේ තාරුණ්‍ය දන්නේ නැත. (වත්මන් ආණ්ඩුව මට පෙනෙන හැටියට, සෝවියට් පන්නයේ චෞර පාලනයකි) මේ තාරුණ්‍යයේ ජීවිත අපේක්ෂාවන් වලට අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ වල කිසිදු ආකර්ශනයක් හෝ අර්ථයක් නැත. මට හිතෙන විදියට, මේ තාරුණ්‍ය සඳහා තමන්ට ඉදිරිපත් කළ හැකි නව සමාජය ගැන වම විසින් කතිකාවක් ආරම්භ කළ යුතු ය. පොඩි නිදසුනක් කිවහොත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකානු කොන්ග‍්‍රසය, හමුදා සොල්දාදුවන් සඳහා විශේෂ පණතක් සම්මත කර ගත්හ. එම පණතින් යුද්ධයට සම්බන්ධ වූ සොල්දාදුවන්ට ඔවුන්ගේ කැමැත්ත අනුව වෘත්තීය අධ්‍යාපනයෙහි යෙදීම සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට මුදල් වෙන් කෙරුණි. එම ශිෂ්‍යත්ව ක‍්‍රමය යටතේ ඔවුන්ට ඇමෙරිකාවේ ඉතාම විශිෂ්ඨ විශ්ව විiාල වල ඉගෙනුම ලබන්නට අවස්ථාව ලැබිණ. ඒ වෙනුවෙන් විශ්ව විiාල ඔවුන් සඳහා පූර්ව උපාධි පාඨමාලාවන් සැකසූහ. යුද්ධයෙන් පසු තරුණ සොල්දාදුවන්ට ඔවුන්ගේ කැමැත්ත මත වැදගත් හා සාර්ථක ජීවන අවස්ථා සහතික කර ගත හැකි එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මෙරට ඉතිරිව ඇති කවර හෝ වමේ කණ්ඩායමකට මේ ආණ්ඩුවට අභියෝග කළ හැකිව තිබිණ.

එවැනි වූ වමක් සඳහා වන කතිකාවක් ආරම්භ කිරීමට වමේ යැයි ඉතිරිව ඉන්නා අපට කෙතරම් ආත්ම විශ්වාසයක්, වුවමනාවක් හා කැප වීමක් ඇති ද යන්නත් අපම මැන බලා ගත යුතු ය. එය කොටස් වශයෙන් දිනා ගත නොහැකි හෙයිනි.

Back to Home page