Colombo Telegraph

දෙමළ දේශපාලනය සිංහලෙන් කියැවීම

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

උගත්කම සහ බුද්ධිය අතර අනිවාර්ය සම්බන්ධයක් නොමැති බව, මේ රටේ සාමාන්‍ය තේරුම් ගැනීම ය. ආණ්ඩුවේ මහාචාර්යවරයෙකු උගත්කම හා බුද්ධිය අතර ඇති ‘‘පරතරය’’ මාධ්‍ය හමුවේ ප‍්‍රදර්ශනය කළ ආකාරය දැක්වෙන්නේ ලන්ඩන් නුවරින් වාර්තා වූ ප‍්‍රකාශයක ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවි පිල්ලෙයි මෙරටදී කළ මාධ්‍ය ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඊට දෙදිනකට පසු විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ලන්ඩන් නුවර දී ඇය හමුදාකරණය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය පාර්ශවීය, වැරදි ප‍්‍රකාශයක් යැයි මාධ්‍යයට කියා තිබිණ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට අනුව, ‘‘උතුරේ හමුදාව නතර කිරීම පීඩාකාරී බවත් එහි ජනතාව සහ කාන්තාවන් බියෙන් ඉන්නා බවත් නවි පිල්ලෙයි සඳහන් කරනවා’’ යැයි මහාචාර්ය පීරිස් ඇමති දොස් කියා තිබිණ. එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්ය මණ්ඩලය ඔවුන් විසින්ම තෝරා ගත් 200 ක් පමණ පුද්ගලයින් හමුවී සාකච්ඡුා කර එම පුද්ගලයින්ගෙන් සියයට 90 ක් පමණ එහි ජීවත්වීම පහසුවක් යැයි පවසා තිබූ කාරණා ඇතුළත් වාර්තා ඇය නොකියවා තිබීම කණගාටුවට කරුණක් බවත් ඇයගේ මේ ප‍්‍රකාශය එමගින් සාවද්‍ය​ යැයි ඔප්පු කෙරෙන බවත් අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට අනුව ඇමතිවරයා ඒ මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් කියා තිබිණ.

එක්සත් ජාතීන්ගේ ආසන්නම වාර්තාව නම් කර ඇත්තේ, ‘‘නැවත පැමිණි, ප‍්‍රති ස්ථානගත කෙරුණු හෝ ප‍්‍රාදේශීයව සමාජගත වන ශී‍්‍ර ලංකාවේ අවතැන් වූවන් ගේ සුරක්ෂාව පිළිබඳ ඇගයුම (මෙවලම් තුන*’’ යනුවෙනි. එහි දිනය සඳහන් වන්නේ 2013 ජූනි වශයෙනි. නවි පිල්ලෙයි මෙහි පැමිණීමට තෙමසකට ඉහතින් ය. එහි හැඳින්වීමෙහි මෙවැනි සඳහනක් ඇත. ‘‘මෙම ව්‍යායාමයෙහි අරමුණ වනුයේ, අන්තර් ආයතන ස්ථාවර කමිටුව විසින් ප‍්‍රකාශයට පත් කර ඇති අභ්‍යන්තරව අවතැන් වූවන් සඳහා වන ස්ථාවර විසඳුම් රාමුවෙන් පිළිගනු ලබන ගෝලීය තත්ත්වයන්ට අනුව මෙම ගෘහියන් ගේ වර්තමාන තත්ත්වය ඇගයීම ය.’’ එම ස්ථාවර තත්ත්වයන් එහිම විස්තර කෙරෙන්නේ, ‘‘අවතැන් වීම හේතුවෙන් අත්‍යාවශ්‍ය වූ විශේෂ ආධාර සහ ආරක්ෂාව තව දුරටත් අවශ්‍ය නොවන සහ අවතැන් වූවන් ලෙස බුක්ති විඳින්නට නොහැකි වූ මානව හිමිකම්, සීමා තහංචි නොමැතිව බුක්ති විඳින්නට පූර්වයෙන් අවතැන්ව සිටි පුද්ගලයින්ට ස්ථිර අවකාශයන් තිබීම, ස්ථාවර විසඳුම් ලෙස සැළකෙන්නේ ය’’ යනුවෙනි.

එකී අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්ය මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ සහ අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කරන වාර්තාව මෙය විය යුතු යැයි සළකතොත් (වෙනත් එවැනි වාර්තාවක් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්ය මණ්ඩලය මෑතක දී සකසා නැති හෙයින්)  එහි සටහන් කර ඇත්තේ, ‘‘සියයට 29 ක් හමුදා/පොලීසිය සිටීම ගැන ඔවුන්ගේ කණස්සල්ල ප‍්‍රකාශ කර ඇත. හමුදා ලියා පදිංචි කිරීම් අවශ්‍ය වන විශේෂයෙන් නැවත පදිංචි වූවන් ඉන්නා ප‍්‍රදේශයන්හි තවමත් හමුදාව ගැන අවිශ්වාසයක් ඇත. ජනගහනයෙන් තුනෙන් පංගුවකට වැඩි පිරිසකට ආහාර සුරක්ෂාව බරපතල ය. ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ දෙකෙන් පංගුවකට වැඩි ප‍්‍රතිශතයක් එය සනාථ කළහ. ආරක්ෂක හමුදා විසින් ඉඩම් අත්පත් කර ගැනීම, බිම් බෝම්බ ඉවත් කිරීම, ඉඩම් වනගතව තිබීම, ඉඩම් ලබා ගැනීමේ බරපතල ගැට`ඵ ලෙස නැවත පදිංචි වූවන් සඳහන් කරයි.’’ (පිටුව 04 – සම්පිණ්ඩනය)

එම වාර්තාවට අනුව දේශපාලන අදහස් සාකච්ඡුා කිරීම හා ප‍්‍රකාශ කිරීමට ඇති අවකාශය පිළිබඳව අසා ඇති ප‍්‍රශ්නයට ලැබී ඇති පිළිතුරු දත්ත මෙවැනි ය. දේශපාලන අදහස් විවෘතව ප‍්‍රකාශ කිරීමට බිය ප‍්‍රතිශතය – යාපනය 59, කිලිනොච්චි 65, මන්නාරම 15, මුලතිවූ 61, ති‍්‍රකුණාමලය 28, වවුනියාව 37, එකී දිස්ති‍්‍රක්ක සියල්ලෙහි පොදු ප‍්‍රතිශතය, සියයට 50 කි. මේ වගුවෙහි වඩාත් වැදගත් වන්නේ උත්තර දීමට බියෙන් එම ප‍්‍රශ්නය මග හැරි ප‍්‍රතිශතයයි. එය මෙසේ ය. යාපනය 26, කිලිනොච්චි 14, මන්නාරම 53, මුලතිවූ 15, ති‍්‍රකුණාමලය 13, වවුනියාව 40, දිස්ති‍්‍රක්ක සියල්ලෙහි පොදු ප‍්‍රතිශතය, සියයට 27 කි. (අයුතු ලෙස වෙනස්කම් කිරීමකින් තොර සමාජ කි‍්‍රයාකාරිත්වය / 07 වන පරිච්ෙඡ්දය – පිටුව 43) ඒ අනුව, බිය ප‍්‍රකාශ කළ සහ ප‍්‍රශ්නය මග හැරි ප‍්‍රතිශත එකතු කළ විට යාපනය 85, කිලිනොච්චි 79, මන්නාරම 68, මුලතිවූ 76 , ති‍්‍රකුණාමලය 41, වවුනියාව 77, එම දිස්ති‍්‍රක්ක සියල්ලෙහි පොදු ප‍්‍රතිශතය, සියයට 77 කි.

දැන්, මහාචාර්ය තුමා කියූ පහසුවෙන් ඉන්නා සියයට 90 ක ජනතාව පදිංචිව ඉන්නේ කොහේ ද ? එම වාර්තාව බුද්ධිමත් ලෙස කියවා තේරුම් ගෙන ඇත්තේ පිල්ලෙයි ද පීරිස් ද ? මහජන මුදලින් නඩත්තු වන, මහජන මුදල් මත වරප‍්‍රසාද බුක්ති විඳින උගත් ඇමතිවරයෙකු ලෙස සමාජයට වගකිව යුතු වූවත් මහජන මුදලින් නඩත්තු වන, වරප‍්‍රසාද බුක්ති විඳින විශේෂයෙන් දකුණේ බහුතර දේශපාලනඥයින්ට එවැනි වගකීමක් නැති හෙයින්, ඔවුන්ගේ කතා පසු පස දුවමින් උතුර දෙස හා ද්‍රවිඩ ජාතික සන්ධානය දෙස බැලීම අවදානම් බව අප දැන්වත් තේරුම් ගත යුතුය. අමාත්‍ය මහාචාර්ය පීරිස් ගේ කතාව මෙහි පූර්විකාවක් වූයේ එය සනාථ කිරීමට ය.

ඒ අතර ඉකුත් සිකුරාදා මහනුවරදී ජනාධිපති රාජපක්ෂ ගේ ජාත්‍යාලය ප‍්‍රදර්ශනය කෙරුනු කතාවද මේ රටේ අවාසනාවන්ත, වගකීමක් නැති කතා ගොන්නට එළෙසින්ම එකතු වන්නකි. මහනුවර ජනතාව අමතා ජනාධිපති තුමා කියා තිබුණේ, ‘‘මැතිවරණ ඉල්ලූවාම දුන්නා. දැන් වෙනම රාජ්‍යයක් ඉල්ලනවා. ප‍්‍රභාකරන්ට බැරි වුන දේ මේ කාටවත් කරන්න දෙන්නේ නැහැ. මේ නායකයා (තමන්* ඉන්න කම්, මේ රට බෙදන්න දෙන්නේ නැහැ.’’ කියා ය. උතුරට මැතිවරණය දුන්නේ පොදු රද ම`ඩුල්ල ළග ළග එන විට, එය නොදී බැරි හෙයින් බව කවුරුත් දනති. අනෙක එය එහි වෙසෙන දෙමළ ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතියක් මිස, කාගේවත් ඕනෑ එපාකම් මත සාප්පු සවාරි යෑමක් වැනි තීන්දුවක් නොවේ. එනිසා උතුරෙහි පවත්වන මැතිවරණය තමන් පෞද්ගලිකව ලබා දෙන සහනයක් ලෙස කතා කිරීමේ අධිමානය එතරම් යහපත් නොවන්නකි.

දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රකාශය ලෙස ඉදිරිපත් කළ යෝජනාවලිය, දකුණේ සිංහල ජනතාවට රාජ්‍ය නායකයා කියවා දෙන සැටි එවැනිය. බිල්ලෝ මවන මේ බාල දේශපාලනයෙන් ඉවත්ව, දෙමළ දේශපාලනය සමග ගනු දෙනු කරන්නට අප සූදානම් විය යුතු ය. වෙනම රාජ්‍යයක් ඉල්ලන්නේ යැයි කියන්නට යොදා ගන්නේ දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රකාශයේ සඳහන් කර ඇති කාරණා දෙකකි. පළමු වැන්න, දෙමළ ජනතාව වෙනම ජාතියක් වන හෙයින් ඔවුන්ට ස්වයං තීරණ අයිතිය ඇතැයි කීම ය. දෙවැන්න, බලය බෙදීම අර්ථවත් වන සේ ෆෙඩරල් පාලන ක‍්‍රමයක් පිහිටු විය යුතු යැයි කීම ය. මේ කිසිවක් වෙනම රාජ්‍යයක් පිළිබඳ කතා නොවේ.

දෙමළ ජනතාව ජාතියක් නොවේ යැයි නලින් ද සිල්වාගේ ලෝකය නිමැවූ ජාතික චින්තනයට අනුව හෝ නොකියැවේ. ඔහු කියන්නේ සු`ඵ ජාතියක් ලෙස දෙමළ ජනතාව මේ රටේ වාසය කිරීමට, සිංහල සංස්කෘතික ආධිපත්‍ය පිළිගත යුතුය යන්නයි. එනමුත් ගැට`ඵව වන්නේ දෙමළ ජනතාවද ජාතියක් ලෙස ඔවුන්ටම අනන්‍යවූ භාෂාවක්, ආගමක් සමගින් ඓතිහාසික සංස්කෘතික උරුමයකට හිමිකම් කීම ය. සියවස් ගණනාවක ඉතිහාසයක් පුරා ඔවුන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගෙන ඇත්තේ ඔවුන්ගේ බහුතර වාසයක් වූ බිම් ප‍්‍රදේශයක ය. අප මෙන්ම තහවුරු වූ තවත් සංස්කෘතියක් බලහත්කාරයෙන් යටපත් කළ නොහැක. අපට අපේ ඉරණම තීන්දු කරන්නට ඇති අයිතිය, ඔවුන්ට ද තිබෙන හෙයින් ය.

එය නොපිළිගෙන ඉතිහාසයේ සිංහල ළකුණ සොයන්නට ගියහොත් එය පුදුමාකාර ලෙස දකුණු ඉන්දීය සම්මිශ‍්‍රණයක් බැව් පැහැදිලි වන්නකි. විජය කුමරුගෙන් පටන් ගත් විට, අනුරාධපුර රජවරුන් 128 දෙනාත්, පොළොන්නරුවේ බිසවුන් තිදෙනා පැත්තකින් තැබූ කල ඉතිරි 17 දෙනාත් පසුව කන්ද උඩරට රජවරුන් 15 දෙනාත් ගත් විට, ඔවුන්ගෙන් අති බහුතරය බිසෝවරුන් කුමාරිකාවන් ගෙන්වා ගෙන ඇත්තේ දකුණු ඉන්දීය දෙමළ පාලක පවුල් වලින් ය. ඔවුන් සැවොම පැමිණ ඇත්තේ ද සිය ගණන් අවශේෂ පිරිස් සමගින් ය. එසේ පැමිණි කිසිවකු නැවත ගොස් නැත. එළෙස ඉන්දියානු දෙමළ කාන්තාවන් කැන්දා ගත්තේ යැයි ස්ථිරව කිව නොහැක්කේ දඹදෙණියේ රජවරුන් 03 ත් යාපහුවේ 02 ත් කුරුණෑගල 04 ත් කෝට්ටේ 12 ත් රයිගම තනි රජතුමාත් සීතාවක රජවරුන් 04 ත් පමණි. ගම්පොල යුගයේ රජවරුන් 04 දෙනාගේ පෙළපත් උඩරට අනෙක් බහුතරයගේ මෙන් නායක්කර් වංශය හා බැඳෙන්නේ ය.

ඒ අතර, යාපනය අගනුවර කර ගත් උතුරු පළාත කුලිංගෙයි චක‍්‍රවර්තිගේ සිට දෙවන සංකිලි දක්වා, කෝට්ටේ රාජසිංහ රජු ගේ සෙනෙවියකු වන බොහෝ දෙන ‘‘සපුමල් කුමාරයා’’ කීමට කැමති සෙම්බුකුට්ටි පෙරුමාල් ද ඇතුලූව රජවරුන් 21 දෙනෙකු පාලනය කර ඇත. ඒ අතින් ඔවුන්ට කන්ද උඩරට රජවරුන් සංඛ්‍යාවටත් වඩා රජවරුන් සිට ඇත. එවැනි රටක ඉතිහාසයේ රාජකාරී වශයෙන් බෙදී සිටි යටත් වැසි සිංහලයින් අතර පවා මහ පොළොවට සම අයිතියක් හෝ බුක්තියක් නොතිබිණ. ඒ ඈත අතීතයේ අයිතිකාරයින් කවුරුන් දැයි නූතන ලෝකයට පිවිසි පසු වාද කිරීමෙන් අද අපගේ වාර්ගික බෙදීමට උත්තර සෙවිය නොහැක. අද අප කතා කළ යුත්තේ මේ රටේ මේ වන විට තම අනන්‍යතා සමගින් ජීවත් වන්නට පාරම්පරිකව පුරුදු පුහුණුව ඇති සියලූ ජන වර්ග සමගින් තනි රටක, සැමට පොදු තනි රාජ්‍යයක් හදා ගන්නේ කෙසේ ද යන්න ය.

ඒ වෙනුවෙන් දැනට මේ නූතන ලෝකයේ වෙනම රාජ්‍ය සඳහා කෙරෙන සියලූ උත්සාහ ඉතා සාර්ථකව අහෝසි කර ඇත්තේ ෆෙඩරල් ක‍්‍රමයකට බලය බෙදීමෙනි. අසල්වැසි රට එයට හොඳම නිදසුන ය. ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය අතරතුරම වෙනම ද්‍රවිඩ ව්‍යාපාරයකට මුල පිරුණේ 1916 දී ‘‘දකුණු ඉන්දීය සුභසාධන සංවිධානය’’ නමින් ද්‍රවිඩ සංවිධානය බිහිවීමත් සමගින් ය. එය සී.එන්. අන්නාදුරෙයි ගේ නායකත්වයෙන් 1949 දී ‘‘ද්‍රඩිඩ මුන්නේත‍්‍ර කසාහම්’’ (ඞී.එම්.කේ) ලෙසින් වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් සඳහා වන පළමු දකුණු ඉන්දීය ද්‍රවිඩ දේශපාලන පක්ෂය බවට පත් විය. වෙන් වීමේ ඒ ද්‍රවිඩ දේශපාලනයට පිළිතුරු ලෙස 1953 දී ඉන්දීය අගමැති න්හේරු විසින් ‘‘ප‍්‍රාන්ත ප‍්‍රතිසංවිධාන කමිටුව’’ පත් කරනු ලැබින. එම කමිටුව විසින් ද්‍රවිඩ රාජ්‍ය ලෙස හැඳින්වුනු පැරණි ‘‘මද්රාසි පළාත’’ කර්නාටාක, අන්ද්‍රා සහ කේරළ ලෙසින් භාෂා පදනම මත ප‍්‍රාන්ත 03 ට වෙන් කෙරුණි. තමිල් නාඩුව දෙමළ භාෂාව කතා කරන තනි ප‍්‍රාන්තයක් බවට ඒ අනුව පත් විය. ඒ සියලූ ප‍්‍රාන්ත සඳහා සාපේක්ෂ ස්වාධීන බලයක් ද ලබා දෙනු ලැබිණ. අපේ මෙන් නොව ඒවා ඉන්දීය ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම හැඳින් වෙන්නේ ‘‘ප‍්‍රාන්ත ආණ්ඩු’’ වශයෙනි.

ඉන් පසු 1960 වන විට ඞී.එම්.කේ වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් සඳහා සටන් පාඨය අත හැරීයේය. ඔවුහු 1963 දී වෙනම රාජ්‍ය පිළිබඳ කතාව ඔවුන්ගේ නිල ප‍්‍රකාශ වලින් ද ඉවත් කළහ. අනතුරුව එකල ඞී.එම්.කේ නායකයෙකු වූ මුරසෝලි මාරන් ඒ ගැන කියුවේ, ‘‘මම පළමුවෙන් දෙමළ ජාතිකයෙක්. එවගේම මම ඉන්දියානුවෙක්. සංස්කෘතික ජාතිකත්වය සඳහා ඉඩක් ලැබේ නම්, ඒ දෙකටම එකට ඉන්න පු`ඵවන්.’’ කියා ය. එවගේම එකල ඞී.එම්.කේ නව ප‍්‍රතිපත්ති මාලාව ලියූ දෙදෙනාගෙන් ප‍්‍රධාන න්‍යායාචාර්යවරයෙකු වූ ඒරා සෙසියාන් ගේ අදහස වූයේ ‘‘වඩා ප‍්‍රායෝගික වන්නේ තමිල් නාඩුව සඳහා සාපේක්ෂ ස්වාධීනත්වයක් ඉල්ලා සිටීමය’’. එදා මෙදා තුර තමිල් නාඩු දෙමළ දේශපාලනයට ඉන්දීය භූමියෙහි වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා සටන් පාඨ ඉදිරිපත් කිරීම, කිසිදු ආකාරයකින් සාධාරණය කළ නොහැකිව ඇත.

උතුරු පළාත් සභා මැතිවරණයට අද ද්‍රවිඩ ජාතික සන්ධානය ඉදිරිපත් කරන්නේ ද 1963 තමිල් නාඩුවේ ඞී.එම්.කේ අලූතින් ලියූ ආකාරයේ ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවය තබා ගැනීමේ හැකියාව ඇතිව, තනි රටක පිහිටු විය හැකි පාලනයකි. ස්වයං තීරණ අයිතිය සහ ෆෙඩරල් පාලනය වෙනුවෙන් කතාව එවැනි ය. ඒ ගැන නම්බුකාර ලෙස කතා කරනවා වෙනුවට, දකුණේ සිංහල දේශපාලන නායකයින් කතා කරන ජාතික ආරක්ෂාව සඳහා කතාව හැමදාම, මර්දනකාරී දූෂිත ආණ්ඩු පාලනයක් වෙනුවෙන් කෙරුවකි. ඒකීය සිංහල රාජ්‍යයක් සහ බෙදුම්වාදයට විරුද්ධ, දූෂණය හා මර්දනය වෙනුවෙන් ඒ දේශපේ‍්‍රමී කතා සියල්ල පටන් ගන්නේ 1983 න් පසුව ය. එතෙක් 1948 සිට අවුරුදු 35 ක් මේ සිංහල නායකයින් සාමාන්‍ය සිංහලයින් වෙනුවෙන් කෙරුවේ කුමක් දැයි ඇසුවහොත් ‘‘මේ සිංහල අපගෙ රටයි – අප ඉපදෙන මැරෙන රටයි’’ කීවාට වඩා දෙයක් කර නැත. රට බෙදන්නට දෙන්නේ නැතැයි අද යෝජනා කරන්නේ ද ඉපදෙන්නට සහ මැරෙන්නට පමණ ය. අප කතා කළ යුත්තේ ඒ අතරතුර ජීවිතයේ වටිනාකම ගැන ය. ඒ සඳහා අපට සැමගේ අනන්‍යතාවය පිළිගැනීමේ මීට වෙනස්, වැදගත් හා බුද්ධිමත් දේශපාලනයක් අවශ්‍ය වන්නේ ය. දෙමළ දේශපාලනය සැකයකින් තොරව කියැවීමට දකුණ ඉගෙන ගත යුත්තේ ඒ වෙනුවෙනි.

Back to Home page