Colombo Telegraph

ජාතිකවාද දෙකක් එදිරිවාදීව අභිමුඛ විම: තවත් සාම ක‍්‍රියාවලියක් අවශ්‍ය විය හැක

ලක්සිරි ප‍්‍රනාන්දු

ආචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු

දේශපාලනික යථාර්ථවාදයේ ඇඟවීම් අනුව බලන කල, ගිය සතියේ පවත්වන ලද පළාත් සභා මැතිවරණ තුනෙන් පසු ශ‍්‍රී ලංකාව නැවතත් අර්බුදයක ගිලී ඇති සෙයකි. සිංහල සහ දෙමළ ජාතිකවාද දෙකේ ධ‍්‍රැවායනය (එකිනෙකාගෙන් එදිරිවාදීව ඈත් වීම), යුද්ධය ඇරඹීමට පෙර තිබුණාටත් වඩා උග‍්‍ර වී ඇති සෙයකි. යුද්ධය අවසන් වූ විගය 2009 දී උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විණි නම් මේ තත්වය මගහරවා ගත හැකිව තිබුණි. උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන අතරේම වයඹ සහ මැද පළාතේ මැතිවරණත් ආණ්ඩුව පැවැත්තුවේ ප‍්‍රායෝගික පහසුවක් තකා නොව, උතුරට සංඥාවක් දකුණෙන් නිකුත් කිරීමට හෙවත් උතුර ඉදිරියෙන් දකුණේ ‘කැඩපතක්’ ඇල්ලීමටයි. මේ ප‍්‍රතිඵල දෙස බලන විට පෙනෙන්නේ, දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය, උතුර සහ දකුණ වශයෙන් ද්‍රැවායනය වී ඇති තරමයි. මේ ජාතික ද්‍රැවායනය ගැන සිතන විට, සමහර විට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණවල දී මීටත් වඩා ඡුන්ද ප‍්‍රතිශතයක් එක්සත් ජනතා සන්ධානයට හිමිවීමට ඉඩ තිබේ.

මේ තත්වය තුළ, අප කැමති වුණත් නැතත්, ඉදිරියේ දී යම් හාස්කමක් නොවෙතොත්, වැඩියත්ම අනතුරට ලක්ව ඇත්තේ, ‘ආණ්ඩු වෙනස් කිරීමේ’ සටන් පාඨයයි. ඒ වෙනුවට, ‘දෙමළ ස්වයං-නිර්ණය’ පිළිබඳ කථිකාව, රටේ දේශපාලනය තුළ අරක්ගනු ඇත.

රාජපක්ෂ රෙජීමය මීට වඩා නැණවත් විණි නම්, ‘සංහිඳියාව’ ගැන යුද්ධයෙන් පසුව මීට වඩා වෙනස් ආකාරයකින් කටයුතු කළ හැකිව තිබුණි. එහෙත් එය එසේ නොකෙළේය. උතුරේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වූයේ උදාර කමක් නිසා හෝ දෙමළ ජනතාව කෙරෙහි අනුග‍්‍රහයක් නිසා හෝ නොව, ජාත්‍යන්තර පීඩනය නිසාවෙනි. මැතිවරණය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩිමනත් ජාතිකවාදී වාගාලංකාරයට නොගියත්, එය හැම තැනකම තිබුණි. එම සන්ධානය වූ කලී, වත්මන් සිංහල=බෞද්ධ අධිකාරීවාදයේ දේශපාලන බලවේගය වශයෙන් ජනතාව හඳුනාගෙන තිබුණි. කෙසේ වෙතත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කොට ලැබූ ජයග‍්‍රහණය ගැන කතා කළ ආණ්ඩුව, දෙමළ ජාතික සන්ධාන මැතිවරණ ප‍්‍රකාශනයට ද පහර දුන්නේය.

දෙමළ ජාතික සන්ධානයේ භූමිකාව ඊට බෙහෙවින් වෙනස් ය. සමහර විට, ‘පීඩිත’ භාවය නිසාම, ජාතිකවාදී වීමට ඊට සිද්ධ වුණි. එම මැතිවරණ ප‍්‍රකාශනය තුළ තිම්පු ප‍්‍රතිපත්ති සහ ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’ ආරම්භක ප‍්‍රාර්ථනා ඇතුළත් වීම, අහම්බයක් හෝ හුදෙක් මැතිවරණ ප‍්‍රචාරයක් හෝ නොවේ. දෙමළ ජාතිකත්වයේ පුනර්ජීවනයක් වර්තමාන උතුරේ පැහැදිළිව දක්නට තිබෙන්නකි. මැතිවරණ ව්‍යාපාරය තුළදී මෙන්ම, ඇත්ත වශයෙන්ම මැතිවරණ ප‍්‍රකාශනය තුළත්, කොටි සංකේතීය භාවයක් පැවතීම කේක් ගෙඩියක අයිසින් තට්ටුවක් පමණි. ඇතැම් විචාරකයන් කියන පරිදි මෙම ප‍්‍රකාශනය ‘එහෙන් මෙහෙන්‘ කෑලි පුරුද්දන ලද්දක් නොවේ. වඩුක්කොඩෙයි සම්මුතිය පිළිබඳ කිසි සඳහනක් ඊට ඇතුළත් නොකිරීම ද හිතාමතා කළ දෙයකි.

දෙමළ ජාතික සන්ධාන මැතිවරණ ප‍්‍රකාශනය, මගේ කියැවීම තුළ, බෙදුම්වාදයක් නොඉල්ලයි. එහෙත් ෆෙඩරල්වාදයට වැඩි දෙයක්, සමහරවිට, සහසන්ධීය රාජ්‍ය ක‍්‍රමයක් අරමුණු කර පවතී. බැරිම වුණොත්, ෆෙඩරල් ක‍්‍රමයක්වත් අපේක්ෂා කරයි. සහසන්ධීය ක‍්‍රමය වටහාගත යුත්තේ, ඒකක දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර කෙරෙන ‘ලිහිල් සන්ධානයක්’ වශයෙනි. එවැනි ක‍්‍රමයක් තුළ ඇති අස්ථාවරත්වයන් සහ පරස්පරතා නිසා කිසි රටක එවැන්නක් වැඩි කල් සාර්ථක වී නැත. දේශපාලනික සහ ආර්ථික ක්ෂේත‍්‍රවලදී, චින්තනයෙන් මෙන්ම ක‍්‍රියාවෙන් ද මධ්‍යගත නැමියාවක් දක්වන රාජපක්ෂ රෙජිමයට එවැනි දෙයක් වහකදුරු වෙනවාට කිසි සැකයක් නැත. මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු යාපනේ පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේ දී, නවතමයෙන් තේරීපත්වූ මහඇමති සී.වී. විග්නේෂ්වරන් මෙසේ කීය: ‘‘අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා, ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් සහ ගිවිසුම් ප‍්‍රකාරව අපට හිමිවිය යුතු බලතල අපට දෙන ලෙස.’’

පළාත් සභාවේ බලතල, 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මත පදනම් කරනවා වෙනුවට මෙහි දී ඔහු කරන්නේ එය, ‘ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් සහ ගිවිසුම්’ මත (ඒවා කුමක් වෙතත්) පදනම් කිරීමකි. රාජ්‍ය ක‍්‍රමයට පවා මේ වන විට ශක්තිමත්ව බද්ධව තිබෙන සහ ප‍්‍රබල හමුදාවකින් ද පන්නරය ලබන සිංහල ජාතිකත්වය, සහසම්බන්ධී රාජ්‍ය ක‍්‍රමයකට තබා ෆෙඩරල් ක‍්‍රමයකටවත්, මෑත අනාගතයක දී එකඟ වෙතැ යි සිතා ගැනීම උගහට ය. අනිත් පැත්තෙන්, දෙමළ ජාතිකත්වයේ අභිලාෂයන්, ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාවේ සහ දකුණු ඉන්දියාවේ බලපෑම පැත්තකින් තිබ්බත්, පවතින පළාත් සභා ක‍්‍රමයේ සීමාවන් තුළ සෑහීමකට පත්වෙතැ යි සිතා ගැනීමත් උගහට ය. ශ‍්‍රී ලංකාව අර්බුදයක ගිලෙමින් ඇතැ යි සිතෙන්නේ එබැවිනි.

එසේ එකිනෙකාට එදිරිවාදීව අභිමුඛ වන එම අනාගත යථාව අවබෝධ කර ගැනීමෙන් අනතුරුව, මහා විනාශයක් වළක්වා ගැනීමට ඇති ශක්‍යතා කවරේද? අදාළ දෙපාර්ශ්වයම මේ ගැන නැවත සිතා බැලීමක් නොකරන්නේ නම් සහ/හෝ, පිටස්තර සහායක් සහ චේතනාන්විත මැදිහත් වීමක් සිදු නොවන්නේ නම්, ඊට ඇති ශක්‍යතා අල්ප බව කිව යුතුය. තම තමන්ගේ ජාතිකවාදයන් ගැන කිසි පාර්ශ්වයක් නැවත සිතා බැලීමක් කරති යි සිතිය නොහේ. ඇවිස්සුණු ජාතිකවාදයක් ඇති පරිසරයක එවැන්නක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැත. විද්වත් සහ ශාස්ත‍්‍රාලීය සමාජ කථිකාවන්, ආධාරක අංග වශයෙන් ප‍්‍රයෝජනවත් විය හැකි වෙතත්, සැබෑ ලෝකයේ දී ඒවා තීරණාත්මක වන්නේ නැත. එසේම එවැනි කථිකාවන්, පවතින අර්බුදය සමනය කිරීමට සේම, දැනටමත් පෙනෙන්ට ඇති පරිදි, එය තවත් උත්සන්න කිරීමට ද දායක විය හැකිය. ඒ නිසා, පේන තෙක් මානයේ අනාගතයටත් මේ ප‍්‍රශ්නය ඇදී යනු ඇත.

මැතිවරණ ප‍්‍රකාශනය තුළ සහ මැතිවරණ ව්‍යාපාරය තුළ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ලියූ කියූ දෙවල් ඔවුන් සැබවින්ම අදහස් නොකරන දේවල් විය නොහැකිය. ජාතික හැඟීම් සහ අභිලාෂයන් මුදාහැරුණු අවස්ථාවක ඒවා ආපසු හැරවීමේ පහසු මගක් නොපැවතීම, ජාතිකවාදයේ සාමාන්‍ය ස්වභාවයයි. උතුරේ පවතින වාතාවරණය තුළ එවැන්නකට ඉඩක් නැත. එම වාතාවරණය, බොහෝ සෙයින් රාජපක්ෂ රෙජිමයේ නිර්මාණයකි. දෙමළ ජාතික සන්ධානය, අඩු වශයෙන් දැනටවත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධන පරිපථයේ රැුඳෙන්නේ නම්, සංහිඳියාවක් අගය කරන කවුරුත් කැමති වනු ඇත. එහෙත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්ට නැත. දෙමළ ජාතික සන්ධානයේ කතාබහ සෑහෙන දුරට වියුක්ත සහ දෘෂ්ටිවාදී ගතියක් කියාපායි. සංයුක්ත අවශ්‍යතාවන් විසින් එවැන්නක් ඉල්ලා සිටිති යි ඔවුන් කිව හැකිය.

විනාශකාරී ගැටුමක් වළක්වා ගැනීමේ යම් හෝ ඉඩක් ඇතොත්, එය දෙයාකාර ය. එකක් වන්නේ, ජාත්‍යන්තරයයි. අනික වන්නේ, ආර්ථිකයයි.

අප මේ කතා කරන ජාත්‍යන්තර ප‍්‍රජාව, සංගත ඒකකයක් නොවන බව නොකිවමනා ය. ප‍්‍රධාන පෙළේ ආරක්ෂක හේතුවක් උඩ නොවේ නම්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට මැදිහත් විය නොහැකිය. ශ‍්‍රී ලංකාව අරභයා ආරක්ෂක මණ්ඩලය තුළ ඇති වර්තමාන බෙදීම සැලකිල්ලට ගත් විට, එවැනි මැදිහත් වීමකට ඇති ඉඩකඩ බොහෝ දුරස්ථ ය. අනිත් අතට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඇතැම් යෝජනා සම්මත කරගත හැකි වෙතත්, අදාළ පාර්ශ්වයන් කෙරෙහි බලපෑම් කැරැවීමට සහ පෙළඹවීමට මිස සක‍්‍රීය ආකාරයකින් එකී යෝජනා ක‍්‍රියාත්මක කැරැුවීමට තරම් හයියක් ඒවාට නැත. කෙසේ වෙතත්, මෙවැනි මැදිහත් වීම් පවා රාජ්‍ය පාර්ශ්වයන්ට සීමා වෙනවා මිස, දෙමළ ජාතික සන්ධානය හෝ උතුරු පළාත් සභාව සම්බන්ධයෙන් අදාළ නොවේ.

‘ජාත්‍යන්තර මැදිහත්වීම’ නැතහොත් ජාත්‍යන්තර සහාය යන්නෙන් අදහස් වන තවත් දෙයක් තිබේ. එනම්, ඇමරිකාව සහ, බාගෙ විට චීනය වැනි මේ ගැන උනන්දුවක් දක්වන පාර්ශ්වවල සහයෝගය සහිතව ඉන්දියාව හෝ ජපානය වැනි රටක් මෙහි දී මැදිහත්කරුවෙකු වශයෙන් ක‍්‍රියාත්මක වීමයි. සාම ක‍්‍රියාවලියකට ශ‍්‍රී ලංකාව නැවත යා යුතු බව මෙහි අදහසයි. උනන්දුවක් දක්වන පාර්ශ්වයක් වශයෙන් මිස පාර්ශ්වකරුවෙකු වශයෙන් නෝර්වේ වැනි රටක් මෙහි දී අදාළ කර නොගැනේ.

නැවතත් යුද්ධයකට අවතීර්ණ වීමට ශ‍්‍රී ලංකාවට නොහැක. එබැවින් දෙවන වටයේ සාම ක‍්‍රියාවලියකට යා යුතුව ඇත. මෙවර එය සාර්ථක වීමට පිළිවන. මගේ හොඳම තේරීම වන්නේ, ඉන්දියාවේ ආශීර්වාදය සහිතව ජපානයයි. බේරුම්කාර මැදිහත් වීමක් හෝ සාම ක‍්‍රියාවලියක් ගැන කතා කිරීමට වේලාසන වැඩි යැයි කෙනෙකු කිව හැකිය. එහෙත්, පවතින තත්වයන් තුළ, ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය තමන්ගේ ප‍්‍රශ්න තමන් විසින්ම විසඳා ගනු ඇතැ යි සිතීමටත් පුලූවන් කමක් නැත.

අනිත් ශක්‍යතා පවතින්නේ ආර්ථික ක්ෂේත‍්‍රයේ ය. ශ‍්‍රී ලංකාව දැනට, මධ්‍යම ආදායම් කුලකයේ රටකි. පහළ මට්ටමේ සිට ඉහළ මට්ටමකට වර්ධනය විය හැකි ශක්‍යතා ඊට ඇත. නව යථාර්ථයන් තාර්කිකව ග‍්‍රහණය කර ගන්නේ නම්, ප‍්‍රසාරණය වන ආර්ථිකයක, සමාජයේ විවිධ කොටස්වල අවශ්‍යතාවන්ට ඉඩ සලසන අවකාශයක් තිබිය යුතුය. අන්තවාදී කොටස්වල් බාධාකාරී ක‍්‍රියාවන් නොවන්නට, බහුතර වාර්ගික ප‍්‍රජාවේ පමණක් නොව, සුළුතර ප‍්‍රජාවන්ගේ අපේක්ෂාවන් ද අන්තර්ග‍්‍රහණය කර ගැනීමට ආර්ථිකය සමත් විය යුතුය. පටු ජාතිකවාදය වෙනුවට ඒ වෙනුවට මාර්ගෝපදේශයට ගත යුත්තේ තාර්කිකත්වයයි. අප කැමති වුවත් නැතත් ශ‍්‍රී ලංකාව ධනවාදී රටකි. ධනවාදය තුළ ප‍්‍රමුඛත්වය දිය යුත්තේ වාර්ගිකත්වයට නොව, නිපුණත්වයට සහ ව්‍යවසායකත්වයටයි. එය මොන සමාජ ස්ථරයකින් සැපයුණ ද කම් නැත. අපේ පාලක පක්ෂය එහි පටු වාර්ගික මනෝභාවයෙන් නොකැඩෙන්නේ නම්, ශ‍්‍රී ලංකාව ඊළඟ මට්ටමට වර්ධනය වීමට අපොහොසත් වනු ඇත.

මැදිහත්කරුවෙකු සහභාගී කරගන්නා ප‍්‍රවේශය, එය යථාර්ථයක් වන්නේ නම්, ඇරැුඹිය යුත්තේ කොළඹිනි. යාපනය ඊට සාධනීයව ප‍්‍රතිචාර දැක්විය යුතුව තිබේ. වෙනසක් සඳහා තමන්ගෙන් කෙරෙන ඉඟියක් වශයෙන් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් උතුරේ ආණ්ඩුකාරවරයාව, ඊටත් වඩා උතුරේ හමුදා ආඥාපතිවරයාව වෙනස් කළ හැකිය. පළාත් සභාව තුළ තමන් ලබාගෙන ඇති තුනෙන් දෙකකටත් වැඩි සංකේතමය ශක්තියෙන් ද යුතුව දෙමළ ජාතික සන්ධානය එවැනි සාකච්ඡුාවකට කැමැත්තක් දැක්විය හැකිය. එසේ නොමැතිව, හුදෙක් කොළඹින් බලය ඉල්ලා සිටීම සාර්ථක වන එකක් නැත.

*2013 සැප්තැම්බර් 23 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Confrontation Of Two Nationalisms: Another Peace Process May Needed ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page