Colombo Telegraph

“අවශ්‍යම” අනුර: ප්‍රතිපත්ති, මුලධර්ම, ජාතික ජන බලවේගය සහ ජවිපෙ 

ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු –

ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

ජාතික ජන බලවේගය විසින් ඉදිරපත් කරන ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකය. ප්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනාගේ මුවින් ගිලිහෙන අතොරක් නැති වචන, තරඟයට කරන බොරු රඟපෑම්, හිස් මැතිවරණ පොරොන්දු කිසිවක් නැතිව අනුර  ජනතාව ඉදිරයට යන්නේ අන් සියලු අපේක්ෂකයන් අභිබවන සිය ප්‍රතිපත්ති, අදහස් සහ මුලධර්මයන් රැගෙනය. 

මෙම ජනාධිපතිවරණයේදී අනුරට තුන් වන තැන හිමි වුවහොත් එය ඛේදවාචකයකි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් “ අඩු කෘරයා” තෝරා ගැනීමට පෙර රට වෙනුවෙන් හොඳම ප්‍රතිපත්ති ඉදිරිපත් කර ඇත්තේ අනුර කුමාර දිසානායක බව තේරුම් ගත් යම් අයෙක් වෙත් නම් එම චන්දදායකයා සිදු කල යුත්තේ යුත්තේ නොමසුරුව සහ සෘජුව අනුර වෙනුවෙන් චන්දය ප්‍රකාශ කිරීමයි. 

මොහොතක් සිතන්න.

සමහර විට මෙම මැතිවරණය ඊළඟ මොහොත ගැන නොවිය හැක. 

එය දුර අනාගතය පිලිබඳ මැතිවරණයක් විය හැක. 

අපි රවුමට, රවුමට යන්නෙමු!

රාජපක්ෂවරුන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය නිසා 2015 දී ජනතාව ඔවුන්ට විරුද්ධව චන්දය ප්‍රකාශ කළහ. 

යහපාලන රජයේ භයංකර අතපසුකිරීම් නිසා එයට චන්දය දුන් සමහරුන් නැවත රාජපක්ෂවරුන්ට චන්දය දීමට සිතනු ඇත. සමහරුන් නව නායකත්වයක් යටතේ එවැනි අවසානයක් නොඑනු ඇති සිතනු ඇත. අප මේවා අතරින් කවරක් සිතුවද අප සියල්ලන්ම කරන්නේ රවුමට රවුමට යාමය. අපි රවුමට රවුමට යන අතරතුර අපේ රට මේ ආගාධයෙන් ගලවා ගත හැකි, ප්‍රතිපත්ති මත පදනම් වූ, දූරදර්ශී සැලසුමක් සහ ක්‍රමෝපායන්ගෙන් හෙබි නායකත්වයක් අපට අහිමි වීමේ අවධානමක් ඇත. 

මා මීට පෙර කිසි දිනක ජවිපෙ ට කවර සහයක් වත් දක්වා නැත. 

එයට ප්‍රධානතම හේතුව නම් ඔවුන් ගේ ප්‍රචණ්ඩ අතීතයයි. නමුත් මෑතක සිට ඔවුන් පිළිබඳව මගේ අදහස් මෘදු වෙමින් පවතී. ජාතික ජන බලවේගය/ජවිපෙ විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක පැවැත්වූ කතා ඇසීමෙන් සහ ඔහුගේ ප්‍රතිපත්ති පිලිබඳ අධ්‍යනයෙන් පසුව ඔහුට විවෘතව සහය දීමට තරම් ආත්ම විශ්වාසයක් මා තුල ගොඩනැගුණි. එය මා තුල වූ සුවිසල් පවුරක බිඳ වැටීමකි!

ස්වාධීන පුද්ගලයකු ලෙස මගේ සහයෝගය කොන්දේසි සහිතය. ඔවුන්ගේ පුළුල් සන්ධානය ඔවුන් ඉංග්‍රීසි කෙටි කිරීමකින් (NPP) ලෙස හැඳින්වීම පිළිබඳව මම තරමක් පැකිලෙමි. සිංහලෙන් එහි අදහස මින්සුන්ගේ ශක්තිය, ගාමක බලය ආදියයි. ඒ පිළිබඳව පසුව ලියමි. 

ප්‍රතිපත්ති සහ මුලධර්ම 

රටෙහි යම් හෝ දූෂණය පාලනය වීමක් හෝ නැති වීමක් වේනම්, ජනතා ධනය නාස්තිය හා අවභාවිතාව නැවතීමක් වේ නම් එය වනු ඇත්තේ රජය සහ , රාජ්‍ය ප්‍රතිපත්ති පරිපාලනය මත ජවිපෙ විසින් එල්ල කරනු ලබන පීඩනයේ ප්‍රතිපලයක් ලෙස පමණි. ඔවුහු අවිවාදයන්ම පිරිසිදු සහ ආදර්ශවත් වෙති. එමතුදු නොව ඔවුන්ගේ අවංකභාවයට අමතරව ඔවුන්  සතුව දූෂණය තුරන් කිරීම, දූෂණ වැළකීම, සහ මහජන මුදල් අවභාවිතය වැලැක්වීම සඳහා ප්‍රතිපත්ති ද ඇති බව පෙනී යයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ ට ඇත්තේ අතිශයින්ම කිලිටි, බිහිසුණු අතීතයන්ය.  

ජවිපෙ විසින් පවසන ආකාරයෙන් ම, සැබැවින් ද නව දේශපාලන සංස්කෘතියක් සහ නව දේශපාලන නායකත්වයක් රටට අවශ්‍යව ඇත. මෙය යතාර්ථයක් වීමට නම් යෞවන යෞවනියන් , අලුතින් සිතන පිරිස් ජාතික ජන බලවේගය සහ ජවිපෙ වටා දහස් ගනනින් රොද බැඳිය යුතුය. 

මෙම ජනාධිපතිවරණය අනාගතයෙහි දූතයා පමණි. 

මම ජනාධිපතිවරණය ජවිපෙ විසින් අපේක්ෂකයකු ඉදිරිපත් කරන ජනාධිපතිවරණය නොවේ. නමුත් මෙය ඔවුන් විසින් තවත් දේශපාලන සහ  සිවිල් සංවිධාන 28ක් සහ බුද්ධිමතුන්, කලා කරුවන් සහ වෘත්තිකයන් රැසක් සමග සන්ධානගත වී ජාතික ජන බලවේගය ලෙස ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන ප්‍රථම වතාව මෙයයි.  

අනුර කුමාර දිසානායක විසින් පැවැත්වූ විවිධ කතා වලදී ඔහු විසින් ශ්‍රී ලංකාවේ “සංවර්ධන දුර්දසාව “ පිළිබඳව මැනවින් විග්‍රහ කර ඇති අතර එයට වග කිව යුත්තන් ද ඔහු විසින් දක්වා ඇත. ඉන් එක කථාවක උධෘතයක් දක්වන්නේ නම්:

“පසු ගිය වසර 71 පුරාවට අපගේ රට පාලනා කලේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයයි. අපට නිදහස ලැබෙන විට අපි සිටියේ ආසියාවේම දෙවන ස්ථානයේ. එතකොට ජපානයේ එක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 90යි. අපේ ඇමරිකානු ඩොලර් 89යි. අනික් සියලු රටවල් සිටියේ අපට පහලින්. එදා සිට  අද වන විට අපේ නිෂ්පාදනය කඩා වැටිලා. කෘෂිකර්මය විනාශ වෙලා. අපනයනය ක්ෂය වෙලා, නමුත් ආනයනය වැඩි වෙලා. වෙළඳ ශේෂය වැඩි වුනා. දැන් වන විට ණය අනුපාතිකය දල දේශීය නිෂ්පාදිතයෙන් 83 % ක්. ශ්‍රී ලංකාව රුපියල් මිලියන 12 00 000 ක් ලොවට ණයයි. මේ ණය බර පටවලා තිබෙන්නේ ජනතාව මතයි” 

රට වැටි ඇති මේ විපතින් අප ගලවා ගත හැකි ප්‍රතිපත්ති සහිත ජාතික ජන බලවේගය/ ජවිපෙ මැතිවරණ ප්‍රකාශය අප විසින් තවම දැක නැත. නමුත් එහි හැඩ රුව පහත දැක්වෙන ධාරාවන් ඔස්සේ නිර්මාණය විය හැකියි උපමාන කල හැක. 

1. නවීකරණය කල කෘෂිකර්මාන්තය 

2. අපනයන ආර්ථිකය දියුණු කිරීම 

3. මහජන සේවාවන්ගේ සහ ප්‍රවාහනගේ වගකීම රජය දැරීම

4. රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව 

5. රටේ මානව සම්පත දියුණු කිරීම සඳහා අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම. 

රටෙහි විවිධ පළාත්, සහ ප්‍රදේශ අතර ඇති අසමතුලිත සංවර්ධනය, අසමතුලිත ආර්ථිකය, නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ අතර ඇති සංවර්ධනයේ වෙනස්කම්, දරිද්‍රතාවය වැනි මිනිස් පැවැත්ම කෙරෙහි කේන්ද්‍රීය ලෙස බලපාන වැදගත් ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයන් පිළිබඳවද ඔවුන් අවධානය යොමු කරනු ඇත. ජාතික ජන බලවේගය/ජවිපෙ සංවෘත ආර්ථික ක්‍රමය අදහන්නේ නැත. ඔවුන්ගේ දර්ශනයේ පදනම නූතනත්වයයි. 

නව දැක්මක් ?

ජාතික ජන බලවේගයේ අවසාන මැතිවරණ ප්‍රකාශනය තවම පිට කර නැති නමුත් ඔවුන් ප්‍රධාන ක්ෂේත්‍රයන් සඳහා එයා පිලිබඳ විශේෂඥන් ට අරාධනා කර, එම ක්ෂේත්‍රයන් වෙනුවෙන් කැපවූ ක්රියාධරයන්ගේද දායකත්වයෙන් සැකසු ප්‍රතිපත්ති එලි දක්වා ඇත. මෙම ක්ෂේත්‍ර අතරින් අධ්‍යාපනය, සෞඛය, ප්‍රවාහනය, පරිසරය, ජාතික ඒකාග්‍රතාවය, කාන්තා කටයුතු, සංස්කෘතිය, සහ කෘෂිකර්මය විශේෂිත වෙයි. මෙම ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ඔවුන් විවිධ රැස්වීම්, සම්මන්ත්‍රණ පවතවා අදහස් උකහා ගෙන ඇත. 

නිසැකයෙන්ම ජවිපෙ යනු පවතින දේශපාලනපක්ෂ අතුරින් ජාතිවාදී නොවන, ආගම්වාදී නොවන වර්ගවාදී නොවන දේශපාලන පක්ෂයයි. එනමුත් උතර නැගෙනහිර දේශපාලනිකව නතු කර ගැනීමට තව බොහෝ දුර යා යුතු ව ඇත. සමාජවාදී පරමාදර්ශීන් ලෙස ඔවුහු සුළු ජනකොටස් තුල ඇති වර්ගවාදය සුළු කොට තකතී. කෙසේ වුවද ජාතික, ආගමික සමානාත්මතාවය ගැනද , යුක්තිය වෙනුවෙන්ද ඔවුහු හදවතින්ම කැප වුවෝ වෙති. ඔවුහු අන් කවර ප්‍රශ්නයකටත් වඩා පන්තිය සහ ආර්ථිකය පිළිබඳව අවධානය යොමුකරති. මේ පිළිබඳව සංවාදයක් ඇරඹීමටද කාලය පැමිණ ඇත. 

මාර්තු 12 ව්‍යාපාරය විසින්  ඔක්තෝම්බර් 5 වන දින සංවිධානය කළ “මහජන වේදිකාවේදී” අනුර කුමාර දිසානායක විසින් “නීතියේ ආධිපාත්‍යය “ පිළිබඳව ඇසූ පැනයට දුන් පිලිතුරෙන් මම ඔහු පිළිබඳව මහත් සේ පැහැදුනෙමි.  නීතියේ ආධිපත්‍යය පිළිබඳව ඉතා සුලභව ඇසෙන විවේචනය නම් එය “බලය ඇත්තවුන්” සහ “බලය නැත්තවුන්” කෙරෙහි බල පැවැත්වෙන ආකාරයයි. 

එම පැනයට පිළිතුරු දීමේදී අනුර කුමාර කුමාර විසින් ඉහත වෙනස පිළිගත නොහැකි  බව ප්‍රකාශ කළ අතර, ඔහු තව දුරටත් ප්‍රකාශ කළේ “ඇති හැකි අයට එක නීතියක් පැවතීමද” , “නැති බැරි යට” තව නීතියක් පැවතීමද” ඔහු නොපිළිගන්නා බවයි. මධ්‍යම පාන්තික “න්‍යායාචාර්යවරුන්” අතින් සුලභව ගිලිහෙන තර්කය මෙයයි. එලෙසම මෙම ජනාධිපතිවරණය පුරාවටම ඔහු විසින් දේශපාලන විවාදය තුලට නව දැක්මක්, නව චින්තනයක් ගෙනවිත් ඇත.  

සාරාංශය  

අවසන් වශයෙන් සාරාංශයක් ලෙස කිව හැක්කේ  අවිවාදයෙන්ම ජාතික ජන බලවේගය/ජවිපෙ විසින් සිදු කල විශාලතම කාර්ය භාරය නම් මෙම ජනාධිපතිවරණය ප්‍රතිපත්ති, සැලසුම් සහ ක්‍රමවේදයන් මත පදනම් වූ ඉහාල් තලයකට ගෙන ඒමය. ජනාධිපතිවරණ තුල කෙරෙන විවාද, සංවාද වඩාත් ධීමත් කිරීමය. රට  ඉදිරියට ගෙන යා හැක්කේ එවැනි මාවතක ගමන් කිරීමෙන් පමණි. මධ්‍යම පාන්තිකයන්ට ඉතා පහසුවෙන් මග හැරෙන සත්‍යයද එයයි. ජනාධිපතිවරණයක් තුල එවැනි ධීමත් සංවාදයන දොරගුළු විවර වුනු පළමු අවස්ථාවද මෙයයි. ප්‍රධාන අපේක්ෂකයා දෙදෙනා සහ ඔවුන්ගේ අනුගාමිකයන්ද අනුරගෙන් පාඩමක් ඉගෙන ගන්නේ නම් කෙතරම් අගනේද! 

මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන “විකල්ප “ අපේක්ෂකයන් රැසකි. ඔවුන් පවසන පරිදි ඔවුන් සියල්ලන් ම පොදු මනෝභාවයන්ගෙන් යුක්තය.  නමුත් ජාතික ජනබලවේගය මෙන් තම ප්‍රතිපත්ති  සහ මූලධර්මයන් පැහැදිලි සහ විචක්ෂණ ලෙස ඉදිරිපත් කිරීමට ඔවුහු අසමත් වෙති. මේ මොහොතේ පවා ඔවුන් හට කල හැකි හොඳම දෙය නම් ජාතික ජන බලවේගය හා අවබෝධතාවයකට පැමිණ අනුර සමග එකතු වීමය.  පවතින තත්ත්වය වෙනස් කිරීම උදෙසා “විකල්ප” අපේක්ෂකයන් ගණන වැඩි වීම සුභදායී නැත. 

ජනාධිපතිවරණය යනු මේ පෙරහරේ කස කරුවා පමණි. එළඹෙන මහ මැතිවරණයේදී  වඩාත් ප්‍රතිපලදායක වැඩපිළිවෙලක් ජනගත කිරීම සඳහා ජාතික ජනබලවේගය/ ජවිපෙ වෙත සරු බිමක් සපයනු ඇත. ජනාධිපතිවරණය එම ගමනාන්තය දක්වා දිවෙන මාර්ගයයි. කවුරුන් කෙසේ කීවද පාර්ලිමේන්තුව යමු ‘වන් මෑන් ෂෝ “ එකක් නොවේ. ජනාධිපතිවරණයේ ඉදිරිපත් වී ඇති කෘරතම අපේක්ෂකයා පැරදවීම තරමටම දෙවන මනාපය ප්‍රකාශ කිරීමද වැදගත්ය. මේ සංකල්ප දෙක පරස්පර නොවෙයි. දෙවන මනාපය වනාහි මෙම මැතිවරණයේදී ජනතාවට හිමි වන පාරිතෝෂිකයකි. 

දෙවන මනාපය ප්‍රකාශ කිරීම අනුරගේ ආදර්ශවත් අපේක්ෂකත්වයට  හෝ ජාතික ජනබලවේගය/ජවිපෙට සිදු කරන හානියක් නොවේ. 

*කලම්බු ටෙලිග්‍රාෆ් හි පළවූ ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු ලියු Importance Of The JVP/NPP Candidate Anura Kumara Dissanayake; Principles & Policies හි පරිවර්තනය අරුන්දතී සංගක්කාර විසිනි.   

Back to Home page