Colombo Telegraph

කේන්ද්‍ර-පරිධිය වාර්තාවේ වරද කවරේද?

ලක්සිරි ප‍්‍රනාන්දු

ආචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු

මධ්‍ය-කේන්ද්‍ර සම්බන්ධතා පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව විසින් ව්‍යවස්ථා සභාවට සහ මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇති එක් ප‍්‍රධාන දෝෂයක් වන්නේ, නිසි සංකල්පීය රාමුවක ඇති අඩුවයි. එම අනුකමිටුවට පැවරී තිබූ කාර්ය භාරය, වඩාත් දුෂ්කර වූත්, වඩාත් විවාදාපන්න වූත් කාරණය බව අප තේරුම්ගත යුතුය. එම අනුකමිටුව සැළකිල්ලට ගෙන ඇති ප‍්‍රධාන තේමාව වශයෙන් පෙනී යන්නේ, ‘පළාත් සභාවල සාර්ථක ක‍්‍රියාකාරීත්වය සඳහා පැවති බාධක කවරේද’ යන්නයි. පහත සඳහන් වන්නේ ඔවුන් එය හඳුනාගෙන ඇති ආකාරයයි:

‘‘මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර පැවතිය යුතු නිසි ක‍්‍රියකාරීත්වයත්, ඒ දෙක අතර පැවතිය යුතු මනා සම්බන්ධතාවත් අඩාල කෙරෙන ප‍්‍රධාන හේතු අතරින් සමහරක් වශයෙන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ස්වභාවය, සමගාමී ලැයිස්තුව, සංවෘත ලැයිස්තුව, ආණ්ඩුකාරවරයාගේ බලතල සහ මධ්‍යම ආණ්ඩුවේ ෆිස්කල් පාලනය ආදිය දක්වා තිබේ. පළාත් සභා නිසියාකාරයෙන් ක‍්‍රියාත්මක වීමට බාධා පමුණුවන තවත් කාරණයක් වශයෙන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඒකීය ස්වභාවයත්, කමිටු සාමාජිකයන් කිහිප දෙනෙකු සහ ආරාධිතයන් කිහිප දෙනෙකු විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. (පිටුව: 3)

‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ස්වභාවය’ යන්නෙන් ඔවුන් මූලික වශයෙන් අදහස් කොට ඇත්තේ, දැනට පවතින ජනාධිපති ක‍්‍රමයයි. දේශපාලන පක්ෂ බොහොමයක් සහ ජනතාව ඒ අදහස සමග එකඟ ය. ‘සමගාමී ලැයිස්තුව’ බාධකයක් වශයෙන් හඳුනා ගැනීම, 1990 ගණන් අවසානය දක්වා දිවෙන කාරණයකි. එම බාධකය එදා හුවාදැක්වූ ප‍්‍රධානියා වන්නේ, ජී. ඇල්. පීරිස් ය. කෙසේ වෙතත්, බාධකය වන්නේ ‘සමගාමී ලැයිස්තුවක්’ තබා ගැනීමට වඩා, 154 ජී. යටතේ එන එහි මෙහෙයුම් පැනවීම් ය. එම ලැයිස්තුව යටතේ පැනවෙන කෘත්‍යය සංඛ්‍යාව අධිකතර නම් සහ ව්‍යාකූල නම්, ඒවා අවම කර ගත හැකිය. එහෙත්, එවැනි ‘එකාබද්ධ කෘත්‍යයන්’ සපුරා ඉවතලීම, අනුකමිටුව මගින්ම හඳුනාගෙන ඇති පරිදි, ‘මධ්‍යම ආණ්ඩුව සහ පළාත් අතර හිතකර සම්බන්ධතාවන්’ පවත්වා ගැනීමේ අවශ්‍යතාවට ස්වභාවයෙන්ම පටහැනි වන්නේය.

තවත් බාධක

එම පදනම මතම පිහිටමින් සළකන කල, ‘ජාතික ප‍්‍රතිපත්තිය’ ඒකාබද්ධ කෘත්‍යයක් විය යුතු අතර, හුදෙක් ‘සංවෘත ලැයිස්තුව’ තුළ පමණක් එය ඇතුළත් කිරීම බාධකයක් විය හැකිය. ආණ්ඩුකාරවරයාගේ වර්තමාන බලතල, අවහිරයක් බවට වාදයක් නැත. එහෙත්, මුළුමණින් නාමික/චාරිත‍්‍රානුකූල ආණ්ඩුකාරවරයෙකු හෝ ජනාධිපතිවරයෙකු, පවතින තත්වයන් යටතේ, යෝග්‍ය නොවිය හැකිය. ජාතික ආරක්ෂාව සහ ජාතික සංහිඳියාව ජනාධිපතිවරයා සතුව දිගටම තිබිය හැකිය. ඒ අනුව, ඔහුගේ/ඇගේ නියෝජිත ආණ්ඩුකාරවරයාටද එම කාර්යය පැවරෙයි. අනිත් සියළු කර්තව්‍යයන් නාමික/චාරිත‍්‍රානුකූල විය හැකිය. ෆිස්කල් බලය බෙදා හැරීම, නිසැකවම, මනා සුපරීක්ෂාවෙන් යුතුව සකස් කර ගත යුතු විෂයයක් වන අතර, කේන්ද්‍රයට එම බලය මුළුමණින් පැවරීම, සැබෑ බලය බෙදා හැරීමකට උපකාරී නොවනු ඇත.

‘ව්‍යවස්ථාවේ ඒකීය ස්වභාවය’ බාධකයක් වශයෙන් සළකා ඇත්තේ, අනුකමිටුවේ සභාපතිවරයා සහ තවත් සාමාජිකයන් කිහිප දෙනෙකු පමණක් වීම අගේ කළ යුතුව තිබේ. උතුරු සහ නැගෙනහිර හෝ වෙනත් කිසි පළාතක් ඒකාබද්ධ කළ යුතු බවට අනුකමිටුව නිර්දේශ කර ඇත්තේ ද නැත. එබැවින් කලබල වීමට කාරණා නැත. කරුණු විකෘති කොට, නිර්දේශවලට වැරදි අර්ථකථන සපයමින් අසමගිය වැපිරීම නොහොබී.

කෙසේ වෙතත්, ජනතාව හෝ ව්‍යවස්ථා සභාව (පාර්ලිමේන්තුව) මේ අනුකමිටු නිර්දේශ සමග මුළුමණින් එකඟ විය යුතු බවක් මෙයින් අදහස් නොවේ. විශේෂඥ උපදෙස් ලබා ගැනීමෙන් පසු එකලසක් කර ගත යුතු තාක්ෂණික කරුණු බොහොමයක් තිබේ. ඊට කලින්. දෙසැම්බර් 9 වැනි දා සහ 10 වැනි දා පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ විවෘත විවාදයක් පැවැත්වීම යෙහෙකි. එහිදී, ප‍්‍රතිපත්ති මාර්ගෝපදේශ ගැනත්, කළ යුත්තේ හෝ නොකළ යුත්තේ කවරේද යන්න ගැනත් කතිකා කර ගත හැකිය. ව්‍යවස්ථා සම්පාදනය යනු, අවසානයේ ගත් විට, දේශපාලනය සේම, කළ හැකි දේවල් තෝරාබේරා ගෙන කළමණාකරණය කර ගැනීම පිළිබඳ කලාවකි. වාර්ගිකත්වය හෝ ආගම කුමක් වෙතත්, ‘උපරිම සංඛ්‍යාවකගේ උපරිම යහපත’ සාක්ෂාත් කර ගත හැකි වාසිදායී තැනක අද ශ‍්‍රී ලංකාව සිටී.

අනුකමිටු විග‍්‍රහයේ සාරය සංක්ෂිප්තව දක්වතොත්, මේ දක්වා බලය බෙදා හැරීමේ අසාර්ථකත්වය රැුඳෙන්නේ, මධ්‍ය කේන්ද්‍රයෙන් හසුරුවනු ලබන ‘බලය බෙදා හැරීමේ ස්වභාවයේ පවතින බලාත්කාර’ ගතිය තුළ ය. එය, රාජ්‍යයේ හෝ ව්‍යවස්ථාවේ පවතින ඒකීය ස්වභාවයේ අනිවාර්ය ප‍්‍රතිවිපාකයක් නොවේ. බලය බෙදා හැරීම සකස් වන්නේ, විවිධ ප‍්‍රජාවන්, විවිධ පළාත්, විවිධ කළාප සහ ගම්වල අවශ්‍යතා අවධාරණය කරමින්, ඒකීය රාජ්‍යය ප‍්‍රජාතන්ත‍්‍රීය කිරීමටයි. බලය බෙදා හැරීම යනු, ෆෙඩරල්වාදය පිළිබඳ කාරණයක් නොවේ. ශ‍්‍රී ලංකාවේ බලය බෙදා හැරීමට අකුල් හෙලන වෙනත් අතරමැදි සාධක තිබේ. යුද්ධයේ කටුක අත්දැකීම්, යුද්ධාවසානයෙන් පසු ඇති වූ අධිකාරීවාදී දේශපාලනික ප‍්‍රවණතා සහ, මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු අතර සබඳතා පාලනය කෙරෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පවතින ඇතැම් නොපැහැදිළි තත්වයන්, ඒවායින් සමහරකි. බොහෝ අංශවලින් ගත් විට, 13 වැනි සංශෝධනය සදොස් නීතියකි.

එසේ වතුදු, සමහර බාධක, දේශපාලන සාකච්ඡුා සහ සම්මුති මාර්ගයෙන් ජයගත හැකිව තිබුණි. උදාහරණයක් වශයෙන්, උතුරු සහ නැගෙනහිර පළාත්වලට (හමුදා නිලධාරීන් වෙනුවට) සිවිල් ආණ්ඩුකාරවරුන් පත් කිරීම පටන් ගත් දා සිට, ආණ්ඩුකාර බලතල බලාත්කාරීව පරිහරණය කිරීම, මුළුමණින් පහව නැතත්, අඩු වී තිබේ. මධ්‍යම ආණ්ඩුවෙන් මෙහෙයැවෙන ෆිස්කල් පාලනයත් මෑතක සිට ලිහිල් වී තිබේ. පරිපූර්ණ ව්‍යවස්ථා ලෝකයේ කොහේවත් නැත. ව්‍යවස්ථාවක් යනු, තිබෙන දේවල්වලින් තනා ගන්නා සැකැස්මකි. එනිසා, වඩා යහපත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා ලැබී ඇති අවස්ථාව, ජනමත විචාරණයක අනුමැතිය ලබා ගැනීම දුෂ්කර කෙරෙන අන්තයන් කරා ගෙන යා යුතු නැත.

වැරදි තර්ක පදනම්

සියළු දුර්වලතා එසේ තිබියදී, අනුකමිටු වාර්තාවේ ප‍්‍රධාන දෝෂය හමුවන්නේ රෝග නිර්ණය තුළ නොව, ඒ සඳහා යෝජිත ප‍්‍රතිකාරය තුළ ය. ‘බලාත්කාරී බලය බෙදා හැරීමට’ ප‍්‍රතිකර්මයක් වශයෙන් එය ඉදිරිපත් කරන යෝජනාව මා හඳුනා ගන්නේ, ‘ශල්‍ය බලය බෙදා හැරීමක්’ වශයෙනි.

‘‘මධ්‍ය-පරිධිය සබඳතාවන්ට මගපෙන්විය යුත්තේ, ආණ්ඩුවේ එකිනෙක තට්ටුව එකිනෙකින් වෙනස් විය යුතුය යන ප‍්‍රතිපත්තිය ඔස්සේ ය.’’ (පිටුව:23)

මේ ප‍්‍රතිපත්තිය මුළුමණින් සාවද්‍ය වෙනවාම නොවේ. එහෙත් එය අර්ධ-සත්‍යයකි. ස්ථර තුන, සිරස් අක්ෂයක් තුළ ධූරාවලීගත කළොත්, නිසැක ප‍්‍රතිඵලය වනු ඇත්තේ ‘බලාත්කාරී බලය බෙදා හැරීමයි.’ අනිත් අතට, බලය බෙදා හැරීම තිරස් අක්ෂයක් තුළ පමණක් ස්ථානගත කෙරුණොත් ලැබෙනු ඇත්තේ ‘ශල්‍ය බලය බෙදා හැරීමක්’ හෝ ශල්‍ය බල විභේදනයකි. එවැන්නක්, පරිපූර්ණ ෆෙඩරල් ක‍්‍රමයක හෝ සහසන්ධීය ක‍්‍රමයක වුව අසාමාන්‍ය තත්වයකි. ඊට ප‍්‍රතිපක්ෂය පහත සඳහන් රූප සටහන තුළ, ජාතික, පළාත් සහ ප‍්‍රාදේශීය පාලනය, සිරස් සහ තිරස් යන අක්ෂ දෙක ඔස්සේම ගැනෙන ස්ථර තුනක් වශයෙන් දක්වා තිබේ. මා හඳුන්වනු ලබන ‘සහකාරී බලය බෙදා හැරීමේ’ ක‍්‍රමයට එය පාදක කර ගත හැකිය.

සහයෝගී බලය බෙදා හැරීම

ඉහත රූප සටහනේ එන්, පී, සහ එල්. යන අකුරුවලින් නියෝජනය කෙරෙන ජාතික, පළාත්බද සහ ප‍්‍රාදේශීය අංශ සඳහා විශේෂිත ක්ෂේත‍්‍ර පවතින බවට හෝ පැවතිය හැකි බවට තර්කයක් නැත. එබැවින් ඒවා පැහැදිළිව නිර්ණය කළ යුතුය. එහෙත් ඒ සමගම, මේ ස්ථර තුන සහයෝගයෙන් කටයුතු කළ යුතු වෙනත් පැහැදිළි ක්ෂේත‍්‍රයන් ද ඇති බව දත යුතුය. වෙනත් න්‍යායික සහ ඓතිහාසික මූලාශ‍්‍රයන්ට අමතරව, ‘සහයෝගී බලය බෙදා හැරීමේ සංකල්පය’ ව්‍යුත්පන්න වන්නේ එම විග‍්‍රහය ඔස්සේ ය.

පළාත් ආණ්ඩු නොසළකා හැරීම

ස්ථර තුන සඳහා වන ‘නිශ්චිත ක්ෂේත‍්‍ර’ ගැන අනුකමිටු වාර්තාව මොන තරම් කතා කළත්, පළාත් පාලන ආණ්ඩු සඳහා වන නිර්දේශ තුළ එම ආයතනවලට ස්වයංපාලනයක් දී නැත/ එහි ප‍්‍රථම නිර්දේශයෙන් මෙසේ කියැවෙයි: ‘‘ප‍්‍රාදේශීය ආයතන, පළාත් සභා යටතේ ක‍්‍රියාත්මක වන තුන්වැනි ආණ්ඩු ස්ථරය වශයෙන් පිළිගැනේ.’’ (පිටුව: 6)

එය හරියට, ‘‘ජාතික ආණ්ඩුව යටතේ ක‍්‍රියාත්මක වන දෙවැනි ආණ්ඩු ස්ථරය වශයෙන් පළාත් සභා පිළිගැනේ’’ යනුවෙන් කීමට සමාන ය. ‘නිශ්චිත’ න්‍යාය පළාත් සභාවලට ආදේශ කළත්, පළාත් පාලන සභාවලට එය ආදේශ නොකෙරේ. ‘න්‍යායක් නොමැති කමට වඩා බාගෙට තැම්බුණු න්‍යායක් තිබීම වඩාත් භයානක ය’ යන්න මෙයින් පෙන්නුම් කෙරේ.

පරිපාලනය පවරා ගැනීම

බලය බෙදා හැරීමේ වර්තමාන ක‍්‍රමය යටතේ පළාත් සභා සඳහා වන පරිපාලනමය ව්‍යුහයන් සම්බන්ධයෙන් යම් අර්ථ ව්‍යාකූලත්වයක් පවතින බව සැබවි. එය නිවැරදි කළ යුතුව තිබේ. බොහෝ අධ්‍යයනයන් මගින් පෙන්නුම් කර දී ඇති පරිදි, බලය බෙදා හැරීම භාර ගැනීමට මුලදී වඩාත් මැළි කරන සමාජ කොට්ඨාශය රාජ්‍ය සේවකයන් බව තහවුරු වෙයි. 1833 සිටම රාජ්‍ය පරිපාලන සේවාව අතිශය මධ්‍යගතව පවතින අංශයකි. ඊට අමතරව, ආණ්ඩුකාරවරු අතීතයේදී නිසැකවම පළාත් රාජ්‍ය සේවය පාලනය කරමින් සිටියහ. කෙසේ වෙතත්, එය නිවැරදි කර ගැනීම සඳහා නිර්දේශ නොකර, පළාත් ඇතුළත තිබෙන ජාතික පරිපාලනයත් පවරා ගැනීමට අනුකමිටුව නිර්දේශ කර තිබේ. පරිපාලනයට අදාළ නිර්දේශ යටතේ මෙසේ සඳහන් වෙයි:

‘‘බලතල බෙදා හැරීම බලසහිත වෙනවා පමණක් නොව, ඒවායේ පැවතිය හැකි ද්විප‍්‍රකාරත්වයද වැළැක්විය යුතුව තිබේ. (උතුරු පළාත් සභාවේ කරුණු දැක්වීම් දෙස බලන්න). ඒ අරභයා, දිස්ත‍්‍රික් සහ ප‍්‍රාදේශීය පරිපාලනය, පළාත් සභා පරිපාලනයේ අංගයක් වන ආකාරයෙන් ප‍්‍රතිව්‍යුහගත විය යුතුව තිබේ. දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, අතිරේක ප‍්‍රධාන ලේකම් කාර්යාල සහ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් කාර්යාල වශයෙන්, අනුපිළිවෙලින් නාමකරණය කළ යුතුව තිබේ. පළාතේ සිටින සියළු ග‍්‍රාම නිලධාරීවරුන්ද පළාතේ රාජ්‍ය සේවාවට අන්තර්ග‍්‍රහණය කර ගත යුත්තේය.’’ (පිටුව:20)

හඳුනාගෙන ඇති ‘ද්විප‍්‍රකාරත්වය’, බලය බෙදා හැරීමට හානිකර විය හැකිය. කෙසේ වෙතත්, ඊට විසªම වන්නේ, ‘ඒකත්වවාදය’ නොව, සහයෝගයයි. ජාතික මට්ටමේ සිදුවන මධ්‍යගත භාවයට විරෝධය දක්වන්නන්, පළාත් මට්ටමේ මධ්‍යගත භාවයක් අනුදැකිය යුතු නැත. දිස්ත‍්‍රික් සහ ප‍්‍රාදේශීය මට්ටමේ පළාත් සභා පරිපාලනය සඳහා විධිමත් පරිපාලනමය ව්‍යුහයන් පැවතිය යුතු බවට විවාදයක් නැත. එහෙත් එය, පළාත් පරිපාලනය වෙනුවෙන් ජාතික පරිපාලනය යටපත් කරන තත්වයක් විය යුතු නැත. සඳහන්ව ඇති පරිදි මෙම යෝජනාව එන්නේ උතුරු පළාත් සභාවෙන් නම්, එය පෙනෙන්නේ ‘දඟකාර’ කමක් වශයෙන් මිස බරසාර දෙයක් වශයෙන් නොවේ.

‘දිස්ත‍්‍රික් සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල’, පළාත් පාලන පරිපාලනය තුළට උකහාගත යුතුව ඇති බවට අනුකමිටුව යෝජනා කර තිබේ/ පළාත්වල සිටින සියළු ග‍්‍රාම නිලධාරීන්වත් පළාත් සභාවේ රාජ්‍ය සේවාව තුළට උරාගත යුතු බවට එය යෝජනා කරයි. මෙය, පවතින තත්වයන් යටතේ ‘ශ‍්‍රී ලංකා රාජ්‍යය දිය කර හැරීමේ’ ප‍්‍රයත්නයක් වශයෙන් යමෙකු හැඳින්නුවොත්, මම එම පුද්ගලයාට දොස් නොකියමි.

සෙසු තර්ක පදනම් වටලනු ලැබීම

පළාත්බද පරිපාලනය අනුකමිටුවේ විෂය පථයට ගැනේ. කෙසේ වෙතත්, ‘සමගාමී ලැයිස්තුව/සංවෘත ලැයිස්තුව, නීතිය හා සාමය සහ පොලිස් බලතල, ඉඩම් හෝ ව්‍යවස්ථා අධිකරණය’ ඒ යටතට නොවැටෙයි. එසේ තිබියදී, පහත සඳහන් පැහැදිළි කිරීම ඔස්සේ අනුකමිටුව එම ක්ෂේත‍්‍රයටත් අත ගසා තිබේ.

‘‘යහපත් මධ්‍ය-පරිධිය සම්බන්ධතාවක් සඳහා මධ්‍යම ආණ්ඩුව සහ පර්යන්ත ඒකක අතර බලතල සම්බන්ධයෙන් පැහැදිළි බෙදුම් රේඛාවත් තිබිය යුතු තත්වය තුළ, පහත සඳහන් විෂය කරුණු මෙහෙයුම් කමිටුව මගින් සැළකිල්ලට ගත හැකි වෙතත්, අනුකමිටුවත් ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.’’ (පිටුව:25- මගේ අවධාරණය)

‘බල විභේදන න්‍යාය’ තුළ පවා, ව්‍යවස්ථාදායක සහ විධායක කෘත්‍යයන් පිළිබඳ පැහැදිළි බෙදුම් රේඛා පැවතිය නොහැකි බවට පොදු පිළිගැනීමක් තිබේ. එකිනෙක සමග මිශ‍්‍ර වන සහ එකිනෙකා ඉක්මවන, නොපැහැදිළි ක්ෂේත‍්‍ර තිබේ. ව්‍යවස්ථාදායක සහ විධායක යන කෘත්‍යයන් දෙකම, සාපේක්ෂ සීමා මායිම් සහිතව එක් තැන් කළ පාර්ලිමේන්තු අප සතුව ඇත්තේ එබැවිනි. අධිකරණය ඊටම ආවේණික ස්වාධීනත්වයක් යටතේ වෙන් කොට තිබේ. මේ කතා කරන්නේ ද, ‘බල විභජනය’ ගැන මිස ‘බලතල වෙන්ව තැබීමක්’ ගැන නොවේ. හිතුවක්කාර නීතිවේදියෙකුට, සමහර විට, එවැනි ‘ශල්‍ය විභජනයක්’ ගැන සිතාගත හැකි වන්ට පුළුවන. එහෙත්, දේශපාලන විද්‍යාව පැත්තකින් තිබ්බත්, පොදු අර්ථයෙන් ගත් විට, එවැන්නක් සිතාගත නොහැක.

ප‍්‍රධාන දුර්වලතා

ඉහත කී කරුණු මධ්‍ය-පරිධිය සම්බන්ධතාවන්ට අදාළ නිසා අනුකමිටුව ඊට අදාළ ස්වකීය ‘නිරීක්ෂණ’ ඉදිරිපත් කෙළේ නම් එහි වරදක් නැත. එහෙත් ඒ සීමාවෙන් ඔබ්බට යමින් ඔවුන් සෘජු නිර්දේශ ඉදිරිපත් කොට ඇති අතර, ඒවා ද, නියතිවාදී සහ අවසාන නියෝගාත්මක ස්වරූපයක් ගෙන තිබේ. එය හරියට, මෙහෙයුම් කමිටුවේ කෘත්‍යයන් සහ අනුකමිටුවේ කෘත්‍යයන් අතර පවා ‘බෙදුම් රේඛා’ බොඳ වී ගොස් ඇති සෙයකි/ ඒ සම්බන්ධයෙන් ද, නිර්දේශ සම්බන්ධයෙන් ද, පැහැදිළි ‘අන්තවාදයක්’ දක්නට තිබේ. එවැනි සියළු ‘අන්තවාදී’ නිර්දේශ ගැන සාකච්ඡුා දැනට පසෙකින් තබා, ‘සමගාමී’ ලැයිස්තුව පිළිබඳ ඔවුන්ගේ නිර්දේශ මෙහි දැක්වීම ප‍්‍රමාණවත් ය.

‘‘ඒ අනුව, සමගාමී ලැයිස්තුව අහෝසි කොට එහි සඳහන් විෂයයන් වෙනත් ලැයිස්තුවලට එකතු කළ යුතු බවට අනුකමිටුව නිර්දේශ කරයි.’’

‘‘එසේම, ‘සංවෘත ලැයිස්තුවේ’ සඳහන් ‘සියළු විෂයයන් සහ කෘත්‍යයන් සඳහා වන ජාතික ප‍්‍රතිපත්තිය’ අවලංගු කළ යුතු බවටත් කමිටුව නිර්දේශ කරයි.’’

‘‘කිසි ලැයිස්තුවක (පළාත් ලැයිස්තුවක සහ සංවෘත ලැයිස්තුවක) විශේෂයෙන් සඳහන්ව නැති සියළු විෂයයන් සහ නිර්දේශයන්, පළාතට අයත් විෂයයන් බවට පත් විය යුතුය.’’ (පිටුව: 26)

‘සමගාමී ලැයිස්තුව අහෝසි කිරීමේ’ අමනෝඥ මතය කොතැනින් පැමිණියේදැ යි සිතා ගැනීම දුෂ්කර ය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය එන්නේ ‘ෆෙඩරල්’ ඉන්දියාවෙන් වුවත්, බලය බෙදා හැරීමේ සංකල්පය මූලිික වශයෙන් එන්නේ ‘ඒකීය’ බි‍්‍රතාන්‍යයෙනි. මේ කාරණය පිළිබඳ ප‍්‍රාමාණික විද්වතෙකු උපුටා දක්වන්නේ නම් (මයිකල් ඕ නීල්, ‘බලය බෙදා හැරීම සහ බි‍්‍රතාන්‍ය දේශපාලනය’- 2004), ඔහු ඒ ගැන කියන්නේ මෙවැන්නකි:

‘‘සහගාමී මාදිලියේ ෆෙඩරල් ආණ්ඩුක‍්‍රම තුළ, ආණ්ඩුවේ ඒ ඒ අදාළ ස්ථර අතරේ පවතින පරිපූර්ණ විභේදනයකට වඩා, විටෙක, උපරිපථනය හෝ සංගමනය සිදු විය හැකිය. නැතහොත්, ඒ සඳහාමත් එය සැලසුම් කොට ඇත්තේය. වෙස්ට්මින්ස්ටර් ක‍්‍රමය තුළ, ප‍්‍රාදේශීය ආණ්ඩු තුළට බෙදා හැර ඇති ප‍්‍රතිපත්තිමය ක්ෂේත‍්‍ර පිළිබඳවත් සැලකිල්ලක් දක්වන අතරේම, මහජන ප‍්‍රතිපත්තිවලට අදාළ සෑම ක්ෂේත‍්‍රයක් සම්බන්ධයෙන්ම නීති ප‍්‍රකාර බලයක් තමන් වෙත තබා ගැනීමට (පවතින දේශපාලනික සංරෝධනයන් සහ අදාළ නෛතික ප‍්‍රතිමානයන්ට යටත්ව) මධ්‍යම ආණ්ඩුව යොමු වෙයි.

බලය බෙදා හැරෙන ක‍්‍රමයකදී දැකිය හැකි උපරිපතනයන් (බලතල සහ කෘත්‍යයන් ඒ ඒ ක්ෂේත‍්‍රවලින් පිටාර ගැලීම) හෝ සමගාමීත්වයන්, ස්වාභාවික තත්වයකි. ඒවා එයාකාරයෙන් නාමකරණය කිරීමේ වරදක් නැත. ශ‍්‍රී ලංකාවේදී මෙය අඩු කර ගත හැකිය. මා කලින්ද යෝජනා කර ඇති පරිදි, එය ‘සහයෝගී ලැයිස්තුවක්’ යනුවෙන් වඩාත් හොඳින් නම් කළ හැක්කේය. මා පාවිච්චි කොට ඇති ‘සහයෝගී බලය බෙදා හැරීම’ යන යෙදුම ඕ නීල් පාවිච්චි කොට නැතත්, ‘සහයෝගී අන්තර්ආණ්ඩුකරණවාදය’ යන්න ඔහු පාවිච්චි කොට තිබේ.

‘සියළු විෂයයන් සහ කෘත්‍යයන් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය’ පිළිබඳ ශීර්ෂය වශයෙන් ඔවුන් හඳුනාගෙන ඇති කාරණය සංවෘත ලැයිස්තුවෙන් අවලංගු කර දැමීමට කර ඇති යෝජනාව ද පිළිගත නොහැක්කේය. එය ‘සහයෝගී කෘත්‍යයක්’ වශයෙන් කෙනෙකුට හඳුනාගත හැකිය. ජාතික ප‍්‍රතිපත්තිය අහෝසි කිරීමට යෝජනා කිරීම නිසා බරපතල ප‍්‍රතිවිපාක ඇති විය හැක. ‘ජාතික ප‍්‍රතිපත්තියක්’ නැති එකම රට බවට ලංකාව පත්විය හැක/ සමාජයේ ප‍්‍රගතිගාමී වර්ධනය කෙරෙහි ඒ මගින් ඇති කළ හැකි ප‍්‍රතිවිපාක බරපතල විය හැකි අතර, අවශ්‍ය වෙතොත්, අනාගතයේ ඇති කර ගැනීමට අපේක්ෂා කරන සමාජවාදී ප‍්‍රතිපත්ති කෙරෙහිත් ඒ මගින් නරක ප‍්‍රතිවිපාක ඇති කළ හැක්කේය.

කිසිම ලැයිස්තුවක (පළාත් ලැයිස්තුවක හෝ සංවෘත ලැයිස්තුවක) සඳහන්ව නැති සියළු විෂයයන් සහ කෘත්‍යයන් පළාත් ලැයිස්තුවට ඇතුළත් කළ යුතු ඇති බවට කරන තුන් වැනි යෝජනාව, අවසාන වශයෙන් ගත් විට, ෆෙඩරල් ප‍්‍රතිපත්තියකටත් එහා යන එකකි. ප‍්‍රතිපත්තිමය වශයෙන් ගත් විට, ඒ වූ කලී, ‘ජාතික’ ස්ථරය, ‘පළාත්’ ස්ථරයට යටත් කිරීමකි.

*2016 දෙසැම්බර් 07  වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවූ What Is Wrong With Centre-Periphery Report? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page