Colombo Telegraph

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පණගැන්වීම පිළිබඳ ආවර්ජනා

ලක්සිරි ප‍්‍රනාන්දු

ආචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය 1950 දශකයේ දී පමණක් නොව, 1960 දශකයේ දී පවා, පොදුවේ ගත් කල, යහතින් පැවති බවට බොහෝ දේශපාලන විද්‍යාඥයන් අතර එකඟත්වයක් තිබේ. මෙය, ඒ.ජේ. විල්සන්, අයි.ඞී.එස්. වීරවර්ධන, හොවාර්ඞ් රිගින්ස්, කැල්වින් ඒ. වුඞ්වර්ඞ් සහ ජේම්ස් ජුප් වැනි, දේශීය මෙන්ම විදේශීය දේශපාලන විද්‍යාඥයන් ද දැරූ මතයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආයතනික ව්‍යුහයන්, තරගකාරී පක්ෂ ක‍්‍රමය, මාධ්‍ය නිදහස සහ එක පක්ෂයක හෝ සන්ධානයකින් තවත් පක්ෂයකට හෝ සන්ධානයකට බලය මාරු කෙරුණු කාලීන මැතිවරණ ආදිය සම්බන්ධයෙන් සළකන කල, මේ මතය නිවැරදි ය. අප නිදහස ලද වසරේම නිදහස ලත් බුරුමය වැනි රටක් සමග සසඳන විට ලංකාව සිටින්නේ කොහොමත් ඉදිරියෙනි. බුරුමය, ප‍්‍රචණ්ඩත්වය සහ වාර්ගික ගැටුම්වලින් මුල සිටම විඳෙව්වේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හෝදාපාළුව

එහෙත් මේ කාලයේ පවා, කල් යත්ම, වාර්ගික බහුතරවාදය හෝ වාර්ගික ගැටුම් ද, අනිසි දේශපාලනික අනුග‍්‍රහයන් ද නිසා, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යහගුණය පිරිහුණි. මේ අනිසි දේශපාලනික අනුග‍්‍රහයේ තවත් පැත්තක්, නාගරික=ග‍්‍රාමීය වෙනස මතත්, ඉංග‍්‍රීසි දැනුම මතත් පදනම් වුණි. එය, දේශපාලන තීරකයන් අතරේ මෙන්ම නිලධර පැලැන්තිය අතරේ ද පැවතුණි.

නිදහස ලද සැණින්, වතුකරේ දෙමළ කම්කරුවන්ගේ පුරවැසි ප‍්‍රශ්නය සැලකිල්ලට ගැනුණේ අතිශය අත්තනෝමතික ආකාරයකිනි. 1956 දී පනවා ගත් රාජ්‍ය භාෂා අණපනත් මගින් දෙමළ කතා කරන ජනතාව මුළුමණින් අගතියට පත්කෙරුණි. මේ සිදුවීම් දෙකෙන් පසු ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වශයෙන් හැඳින්වීම උගහට විය. එහෙත් බොහෝ නිරීක්ෂකයන්ගේ අවධානයට එම කාරණය ලක් නොවුණි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විධිමත් ආයතනික ව්‍යුහයන්ට පමණක් මේ විකෘතීන් වැළැක්විය නොහැකි විය. එය කළ හැකිව තිබුණේ, සමානාත්මතාව, යුක්තිය සහ සාධාරණත්වය මත පදනම් වන ප‍්‍රජාතන්ත‍්‍රීය සාරධර්ම පද්ධතියක් අනුයන, දේශපාලන නායකයන්, දේශපාලන පක්ෂ සහ පුරවැසියන්ට පමණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදෙක් ආයතනික ප‍්‍රාසාදයක් නොවේ. එය අපේ දේශපාලනික නායකයන් සහ අපේ ජනයාගේ දෛනික ජීවිත මෙහෙයවන මානව හිමිකම් මත පිහිටන සාරධර්ම පද්ධතියකි. පශ්චාත්=නිදහස් ශ‍්‍රී ලංකාවේ ආරම්භක අවදියේ දී සුළු ජාතීන් කෙරෙහි ඇති කැරැුවූ ඉහත කී අගතියට ප‍්‍රධාන වශයෙන් පාදක වූ එක් සාධකයක් වුණේ, වාර්ගික ජාතිකත්වයක් වෙනුවට සිවිල් ජාතිකත්වයක් සකසා ගැනීමේ අසමත් භාවයයි. මහජාතියේ මෙන්ම සුළුජාතික ප‍්‍රජාවන්ගේ නායකයන් ද ඒ තත්වයට වගකිව යුතුය. ශ‍්‍රී ලංකාව වැනි බහු=වාර්ගික සමාජයක, සිවිල් ජාතිකත්වයකින් තොරව, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යහතින් පවතින්ට පුළුවන් කමක් නැත.

නිදහසින් පසු බිහිවන ඕනෑම සමාජයක, විවිධ සමාජ අංශ සහ ජනතා කණ්ඩායම්වල තරගකාරී හිමිකම්පෑම් මතු වීම දක්නට ලැබේ. එසේ වෙතත්, දකුණේ වේවා උතුරේ වේවා, ග‍්‍රාමීය ජනතාවගේ හෝ තරුණයන්ගේ දුක්ගැනවිලි වූ කලී හුදෙක් හිමිකම්පෑම් පමණක් නොවේ. රටේ පාලනයේ ආයතනික ව්‍යුහයන්, නාගරිකයන්ගේ සහ ධනපතීන්ගේ ග‍්‍රහණය යටතේ පැවතීම තුළ ඇති කෙරුණු බරපතල සමාජ අසාධාරණත්වයන්ට ඒවා සහසම්බන්ධී ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ෆෙඩරල් පක්ෂය බිහිවීමෙන් පසු, මෙකී ජනතාව බලමුළු ගැන්වුණු අතර, දේශාපාලන තලයට කෙමෙන් ඔවුන්ව ඈඳා ගැනුණි. යටත්විජිත සමයේ දී මෙන්ම, නිදහසෙන් පසු අවදියේ පවා ඔවුන් සිටියේ, හුදු පේ‍්‍රක්ෂකයන් වශයෙනි.

ප‍්‍රජාතන්ත‍්‍රීය හරපද්ධතීන් සහ භාවිතාවන් සම්බන්ධයෙන් ගත් විට, නාගරික සහ ග‍්‍රාමීය අංශ අතරේ වෙනසක් තිබුණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වටහා ගැනීමේ දී නාගරිකයා ‘උසස්’ යැයි සැළකීමේ හැකියාවක් නැතත්, ග‍්‍රාමීය ජනයා නූතන අධ්‍යාපනයෙන් බොහෝ සෙයින් වියෝව සිටි බව සැබෑවකි. පොදුවේ ඉහළ සාක්ෂරතාවක් ගැන පාරම්බෑවත්, නාගරික සහ ග‍්‍රාමීය ජන කොටස් අතරේ අධ්‍යාපනික සාර්ථකත්වයන් තුළ බරපතල වෙනසක් තිබුණි. එය තවමත් පවතින හිඩැසකි. ගමේ ඌරුව සහ සමාජ නිර්මිතයන්, නගරයේ තරම් නූතන නැත. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එතරම් ගුණදායක නොවේ.

මෙය රටේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඌනතා හෝ පරිහානිය සඳහා ගමට දොස් පැවරීමක් නොවේ. වැදගත් යැයි පෙනෙන ප‍්‍රශ්නයක් අවධාරණය කිරීමත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පුනරුත්ථානය සඳහා මානව හිමිකම් අධ්‍යාපනයේ ඇති වැදගත් කම පෙන්වා දීමත් ය. දේශපාලනය තුළට ග‍්‍රාමීය ජනතාව රැුගෙන ආ දේශපාලඥයෝ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව එම ජනතාව දැනුවත් කිරීමට අසමත් වුණා පමණක් නොව, අධිකාරීවාදී නායකත්වයන්හි තමන් වැජඹීමට එම ජනතාවගේ යටහත් පහත් ජනතාවාදී දේශපාලනික සහජාසයන් ද ප‍්‍රයෝජනයට ගත්තෝය. ජනතාවාදී සහජාසයන්, කවදත් පක්ෂ නායකයන්ටත්, පක්ෂවලට සහ බලාධිකාරීවාදී ව්‍යුහයන්ටත්, අවනත ය. කීකරු ය. එම සහජාසයන් ප‍්‍රධාන වශයෙන් සැළකිලිමත් වන්නේ, හැබෑවට හෝ හිතින් ගත් යම් ‘හොඳක්’ තමන්ට හෝ රටට අත්වනු දැකීමට ය.

ආර්ථිකය සහ ජනගහනය

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ක‍්‍රියාකාරීත්වය අවුල් කළ තවත් සාධක දෙකක් වන්නේ, ජනගහනයේ අධික වර්ධනය සහ ආර්ථිකය එක තැන පල් වීමයි. ‘නව අන්තර්ජාතික ශ‍්‍රම විභජනය’ නමින් හැඳින්වෙන ක‍්‍රමය යටතේ මේ තත්වයෙන් ගොඩ ඒමට අවස්ථා තිබුණත්, ශ‍්‍රී ලංකාව එහි සුපුරුදු ‘පරායත්ත උගුලෙන්’ මිදීමට අසමත් වුණි. 1977 දී ආර්ථිකය ‘විවෘත’ කිරීම, කල් ඉකුත් වූ පරිශ‍්‍රමයකි. එමෙන්ම, නොසෑහෙන්නකි. එහි දී ආර්ථිකය විවර කෙරුණත් රාජ්‍ය තන්ත‍්‍රය වසා තැබුණි. 1978 ව්‍යවස්ථාව, යටත්විජිත සමයේ ආණ්ඩුකාරවරයාගේ පාලනයටත් වඩා බලාධිකාරීවාදී විය. එම බලාධිකාරීවාදයට මුලපිරුවේ, ‘නාගරික’ නායකයෙකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කැපවිණැ යි කී පක්ෂයක නායකයෙකි. අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උභතෝකෝටිකයේ තරම එයින් පෙනේ.

දේශපාලනය තුළ යමෙකු මෙහෙයවෙනු ලැබෙන්නේ බලය සහ තානාන්තර තණ්හාව මතම නම්, එවැන්නෙකු මුළුමණින් විශ්වාස කළ නොහේ. මෙය, 1980 දශකය අවසානයේ ‘මානව හිමිකම් උද්ඝෝෂකයෙකු’ වූ වර්තමාන ජනාධිපතිවරයාට වඩාත් අදාළ වෙයි. අවශ්‍ය කරන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ජනතාවට සැපයෙන තිරසාර සහතිකයක් සහ ඔප්පු කළ අතීත චර්යාවක් ය. තිරසාර ප‍්‍රතිපත්තිමය ස්ථාවරත්වයක් සහිත, පරිමිත ජනතා කොටස්වල සන්ධානගත සාමූහික නායකත්වයක්, ඊට විකල්පයක් විය හැකිය. සෙස්සන් සමග සාමූහිකව කටයුතු කළ, අවුන් සාන් සූ කී හෝ නෙල්සන් මැන්ඬේලා වැනි එවන් නායකයන් ඉතිහාසයේ අප දැක තිබේ.

නිදහසේ සිට 80 දශකයේ මුල වන විට, දේශපාලනිකව පුපුරා යන තත්වයක් නිර්මාණය කරමින් රටේ ජනගහනය තෙගුණයකින් පමණ වර්ධනය විය. ඒ අතරින්, නිසි රැුකියා අවස්ථා හෝ මනා අධ්‍යාපනික අවස්ථා නැති තරුණ ප‍්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගත්තේය. මන්දගාමී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග ඉවසිලිමත් නොවු තරුණයෝ සන්නද්ධ මාවතට, කැරලිකාරීත්වයට සහ ත‍්‍රස්තවාදයට පවා, දෘෂ්ටිවාදීමය හේතු මත, යොමු වූහ. ප‍්‍රතිඵලය අතිශය විනාශකාරී විය. ශ‍්‍රී ලංකාව, දෙකෝටියකට අධික ජනගහනයකින් තදබදයට පත් කුඩා දිවයිනකි. ශක්තිමත් ආයතනික ව්‍යුහයක්, කැපවුණු දේශපාලන නායකත්වයක් සහ ඊට සරිලන සිවිල් සවිඥානකත්වයක් නොතිබුණොත්, එවැනි රටක් අස්ථාවරත්වයට සහ ව්‍යාකූලත්වයට යට වීමට ඇති ඉඩකඩ වැඩි ය. හුදු හමුදා බලයට, ක‍්‍රමය කළමනාකරණය කළ නොහේ.

නිදහසෙන් පසු එළැඹුණු ප‍්‍රථම දශක කිහිපයේ ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලංකාවට තිබුණි. ඒ වන විටත් පිරිහෙමින් තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට එය යම් තරමක සංරචකයක් විය. එහෙත් එම වෘත්තීය සමිති ව්‍යාපාරය ද පිරිහෙන්නට විය. සේවක අයිතීන් වෙනුවෙන් කේවල් කරනු වෙනුවට බොහෝ විට ඔවුන් යොමු වුණේ, බලයේ සිටින පක්ෂ හෝ සන්ධාන සමග හේත්තු වී, පාලකයන්ගෙන් සැපයෙන උදව්වක් වශයෙන් සහන ලබා ගැනීමට යි. මීට සමගාමීව, පැරණි වම ද පිරිහෙමින් තිබුණි. ඒ හිඩැස පිරැුවීමට බිහි වූ නව වමත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම සම්බන්ධයෙන් ගත් කල, තිබුණු තත්වයටත් අන්ත විය.

මේ දක්වා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන බලාධිකාරී ගමන්පථ දෙකක් දැක ගත හැකි විය. පළමුවැන්න, 1972 දී, සමාජවාදයේ සහ ජනතාවාදයේ නාමයෙන් කරළියට විත්, මහජන ඡුන්දයෙන් පත්වන්නේය යන තර්කය යටතේ, සකල බලය එක සභාවකට පැවරීමට අවශ්‍ය කළ ආණ්ඩුවයි. දෙවැන්න 1977 දී ආවේය. පාර්ලිමේන්තුවෙන් ද ගලවා ඉවතට ගත්, වෙනත් බලතල සහ නිර්මුක්තීන් සහිත, විධායක ජනාධිපති ක‍්‍රමයක් එහි දී ස්ථාපිත කෙරුණි. අද එම දෙක එකට සංයෝග වීමක් දක්නට තිබේ. ව්‍යවස්ථාදායකය හෝ පාර්ලිමේන්තුවේ කටයුතු කෙරෙහි අධිකරණයට පුනරීක්ෂණ බලයක් නැති තත්වයට කටයුතු කිරීම එහි ප‍්‍රතිඵලයකි. ජනාධිපති ධුර කාල දෙකේ සීමාව දැනටමත් ඉවත් කොට ඇත. ස්වාධීන කොමිෂන් සභා යටපත් කොට ඇත. සිරස් තලයේ අනවරත පූර්ණ බලාධිකාරයට අද ඇති එකම බාධකය, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පවතින පළාත් සභා ක‍්‍රමය යි. ශක්තිමත් විපක්ෂයේ විරෝධයකින් නතර නොකළොත්, ඊළගට අවලංගු කෙරෙනු ඇත්තේ එම ක‍්‍රමය යි.

ඉදිරි මග?

ශී‍්‍ර ලංකාව මුහුණදී ඇති අභියෝග දෙස ආවාට ගියාට බැලූවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව පෙනී යනු ඇත. එහෙත් එය කළ හැකිය. කළ යුතුය. එය, පවතින පාලනය වෙනස් කිරීමක් පමණක් නොව, පවතින ක‍්‍රමය ද වෙනස් කිරීමකි. මෑත අනාගතයේදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත නොකළොත්, දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද වන මහා ව්‍යසනයකට රට ගොදුරු වෙනු ඇත.

කෙසේ වෙතත්, මගේ මතයට අනුව, රට ගොඩගැනීමේ සෑම ප‍්‍රජාතන්ත‍්‍රීය ශක්‍යතාවක්ම අවසන්ව ඇතැ යි යන වැරදි නිගමනයට පැමිණීම, වර්තමාන තත්වය සැළකිල්ලට ගන්නා විවේචකයන් නොකළ යුත්තකි. සත්‍යය එය නොවේ. නැතහොත්, එසේ යැයි සිතිය යුතු නොවේ. පවතින පාලනය මොන තරම් බලාධිකාරී වුවත්, ඔවුන් පවතින්නේ, මොන තරම් දුර්වල සහ කේඩෑරි වුවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් මත ය. මොන විදිහෙන් වටහා ගත්තත්, ජනතාව නිදහසට ආදරය කරති. පවතින තත්වයට වඩා යහපත් තත්වයකට ඔවුහූ සුදුස්සෝ වෙති. ‘අරාබි වසන්තයේ’ දී මෙන් ප‍්‍රචණ්ඩ ආකාරයෙන් ආණ්ඩුව පෙරලා දැමීමට ගන්නා ඕනෑම ප‍්‍රයත්නයක් මහා විනාශයක් වෙනවා පමණක් නොව, පවතින රාජ්‍ය යන්ත‍්‍රයේ ස්වභාවය මීටත් වඩා බලාධිකාරී කරනු ද ඇත. බලහත්කාරයෙන් හෝ ප‍්‍රචණ්ඩත්වයෙන් පිහිටුවන අළුත් ආණ්ඩුවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකක් වන්නේ ද නැත. තවත් හිංසන මාලාවකට ඒ මගින් පාර කැපෙන අතර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවත් පිරිහීමට භාජනය කෙරෙනු ඇත. ඕනෑම ආණ්ඩු වෙනසක් සාමකාමී විය යුතුය. එහෙත් බලසම්පන්න විය යුතුය.

ජාත්‍යන්තර ප‍්‍රජාවට අපේ රටේ වෙනසක් ඇති කළ හැකි යැයි විශ්වාස කිරීම තවත් වරදකි. පාලනයේ සහ ක‍්‍රමයේ වෙනසක් සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යාවශ්‍ය වෙතත්, එහි සීමාවන් සහ අවාසි ද ඇති බව වටහාගත යුතුය. එහි දී, සීමිත සහ තෝරාගත් පීඩනයන් පමණක් සේවයට ගැනීම වඩාත් යෝග්‍ය ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය සියලූ ජන කොටස් වෙත ලබා ගැනීම සඳහා ජනතාවම බලමුළු ගැන්විය යුතුව තිබේ. දේශපාලනය සම්බන්ධයෙන් පමණක් නොව, තමන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන් වුවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දරා සිටීමේ කාර්යභාරය ගැන ජනතාව දැනුවත් වන්නේ, එවැනි සමාජ ක‍්‍රියාකාරීත්වයක් සහ පරිවර්තනයක් තුළිනි.

විවිධ ප‍්‍රජාවන් සහ සමාජ කණ්ඩායම් අතර සමගිය සහ එක්සත් භාවය මෙහි දී අත්‍යාවශ්‍යයි. සංඛ්‍යාත්මක සුළුතරයක් වන ප‍්‍රජාවන් තුළ, විශේෂයෙන් දෙමළ ප‍්‍රජාව තුළ, පවතින දේශපාලන ක‍්‍රමයෙන් තමන් කොන් වී ඇතැ යි යන ප‍්‍රබල හැඟීමක් තිබේ. ඔවුන්ගේ දුක්ගැනවිලි සහ ඔවුන්ට අදාළ වගවීමේ ගැටළු අපගේ නිර්ව්‍යාජ සැලකිල්ලට නොගැනෙන තාක් කල්, සැබෑ සහයෝගීතාවක් ගොඩනැගීම දුෂ්කර විය හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන සැබෑ දේශපාලන ව්‍යපාරයකට එම කාරණය සැලකිල්ලට ගැනීමට සිදුවෙයි.

එවැනිම සහයෝගීතාවක් නාගරික සහ ග‍්‍රාමීය ප‍්‍රජාවන් අතර ද ගොඩනැගිය යුතුව තිබේ. වඩාත් සංවිධිත සහ වරප‍්‍රසාද සහිත ජන කණ්ඩායම වීම හේතුවෙන් ඒ සඳහා ප‍්‍රාරම්භකත්වය ගත යුතුව ඇත්තේ නාගරික ප‍්‍රජාවයි. මෙහි දී, නාගරික කණ්ඩායම් තුළ ඇති අරමුණු කෙරෙහි ගැමි ජනයා තුළ යම් විචිකිච්ඡුා ඇති විය හැකි වෙතත්, ඒවා දුරලිය යුතුව තිබේ.

කම්කරුවා සඳහා මෙන්ම ව්‍යාපාර සඳහා ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැදගත් ය. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩගැනීමේ ක‍්‍රියාවලිය තුළ ප‍්‍රධාන වැඩ කොටසක් රාජ්‍ය සේවා වෘත්තීය සමිති අංශයට පැවරේ. සංවිධානගත කම්කරු පංතියේ බහුතරය වන්නේ ඔවුන් ය. ඊට සමාන, සමහරවිට ඊටත් වැඩි කාර්යභාරයක්, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයට පැවරෙයි. ස්වයං=වාරණයක් යටතේ මෙතෙක් කල් කටයුතු කෙළේ නම්, ඒ බැමිවලින් මිදී එළියට ඒමේ කාලයයි, මේ. සයිබර් අවකාශයේ සමාජ මාධ්‍යයත් මෙහි දී වැදගත් වෙයි.

එතකොට, විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ආණ්ඩුවේ දේශපාලන පක්ෂවලට පැවරෙන කාර්යභාරය? රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පිරිහීම සම්බන්ධයෙන් සහ එහි ගෙල හිර කිරීම සම්බන්ධයෙන් පවා, ප‍්‍රධාන දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයන් වගකිවයුතු බවට සැකයක් නැත. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩගැනීම යනු, දේශපාලන පක්ෂ ඇතුළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩගැනීමක් ද විය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් තමන්ගේ කැප වීම සියළු පක්ෂ සනාථ කළ යුතුව තිබේ. ඒවායේ සාමාජිකයන් සහ නායකයන් එම ප‍්‍රතිපත්තිවලින් බැඳී සිටින බවට වගබලාගත යුතුව තිබේ. සිවිල් සමාජ සංවිධාන ඒ සඳහා බලපෑම් කළ යුතුව තිබේ. මානව හිමිකම් උල්ලංඝණයන්ට සෘජුව සම්බන්ධ වී ඇති කිසිවෙකු කිසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක නායකත්වයේ හෝ සාමාජිකත්වයේ හෝ තබාගත යුතු නැත. එසේම, ප‍්‍රචණ්ඩකාරී, ¥ෂිත සහ ජාතිවාදී දේශපාලඥයන් තමන්ගේ පක්ෂවලින් ඉවත් කිරීමට පියවර ගත යුතුය.

ප‍්‍රධාන දේශපාලන පක්ෂ හතරට= එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණට= සේම අනිත් වමේ පක්ෂවලටත් මේ ක‍්‍රියාවලිය තුළ පැවරෙන විවිධ භූමිකාවන් තිබේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අතීතයේ මොන වැරදි සහ පීලි පැනීම් තිබුණත්, අද එම පක්ෂය, පවුල්වාදී/හමුදාවාදී/නිලධරවාදී කල්ලියක ග‍්‍රහණයට හසුව තිබේ. ඒ බලාධිකාරී දඩුඅඩුවෙන් එය ගැලවිය යුතුව තිබේ. මේ අභියෝගයන්ට මුහුණදිය නොහැකිව සිටින එක්සත් ජාතික පක්ෂය, ඒ හා සමාන ප‍්‍රතිසංවිධානයකට යා යුතුව තිබේ.

මේ පක්ෂ තුළ දෙවන පෙළ නායකත්වයක් ගොඩනැගීම වඩාත් වැදගත් ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ප‍්‍රතිෂ්ඨාපිත කිරීමේ ප‍්‍රතිපත්තිමය කාරණා මෙන්ම ජනතාවගේ දෛනික දුක්ගැනවිලි ඒකාබද්ධ කරගත් ස්වාධීන භූමිකාවක් ඊට හිමිවේ. ‘පාඨ ග‍්‍රන්ථ’ ගැටළු මත පමණක් පදනම් වීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට පුලූවන් කමක් නැත. අවස්ථාවාදී නොවී, ගැටළු සම්බන්ධයෙන් ප‍්‍රායෝගික විය යුතුය. මෑත අතීතයේ ව්‍යාපාර තුනක් බිහි වුණි. පළමුවැන්න, අධ්‍යාපනය සඳහා සියයට 6 ක ප‍්‍රතිපාදන ඉල්ලා සිටි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයයි. දෙවැන්න වුණේ, දෝෂාභියෝගයට එරෙහිව අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප‍්‍රජාවේ අරගලයයි. ඉතා මෑතක දී, ‘වෛරී භාෂණයට’ එරෙහිව, ජාතීන් අතර සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි තරුණ කණ්ඩායම්වල එකතුව තුන්වැන්නයි.

මේ සියල්ල, ප‍්‍රාරම්භක ප‍්‍රජාතන්ත‍්‍රීය ව්‍යාපාරයන් ය. මේවා මත පදනම්ව, උදාහරණයක් වශයෙන්, කැපවුණු විද්වතුන්, නීතිඥයන් සහ තරුණයන් 100 දෙනෙකුගේ දෙවන පෙළ නායකත්වයක් ඉදිරි මාස කිහිපය තුළ ගොඩනැගිය හැක්කේ නම්, වඩාත් පුලූල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයක ආකර්ශණීය කේන්ද්‍රයක් බවට එය පත්කරගත හැකි වනු ඇත. එකී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට ඊළඟට එක් විය යුතු කොටස වන්නේ වෘත්තීය සමිති ය.

*2013 මැයි 03 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Sri Lanka: Some Reflections On Resurrecting Democracy ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Back to Home page