Colombo Telegraph

ගෝඨා තීන්දුව හා මහජන මතය

ලාල් විජේනායක

ලාල් විජේනායක

ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ඔහු මූල්‍ය වංචා විමර්ෂණ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන රක්‍ෂණ භාරයට පත් කිරීම තහනම් කරමින් අතුරු නියෝගයක් වෙනත් සහන අතර ඉල්ලා සිටීමේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් මඟින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට ගෙන යෑම සඳහා අවසර දෙමින්, එම මූලික අයිතිවාසිකම් පෙත්සම අසා නිමවනතුරු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අත්අඩංගුවට ගැනීම තහනම්කරමින් අතුරු නියෝගයක් නිකුත් කර ඇත. මෙම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් කර ඇති නියෝගයක් බැවින් එම නියෝගයට විරුද්ධව අභිආයචනයක් ඉදිරිපත් කිරීමේ අයිතියක් පාර්ශවකරුවෙකුට හිමි නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය අප රටේ ඉහළම අධිකරණය වන බැවින් එම තීරණය අවසාන තීරණය වන අතර එම තීරණයට පාර්ශවකරුවන් බැඳී සිටී. රටක නීතිය සම්පාදනය කිරීමේ බලය ව්‍යවස්ථා දායකය, එනම් පාර්ලිමේන්තුව, වෙත පැවරී ඇති අතර එම නීතිය අර්ථනිරූපණය කිරීමේ අධිකරණ බලය ද යම් අධිකරණයක් ඉදිරියට පවත්වන්නා වූ නඩුවක කරුණු සම්බන්ධයෙන් නීතිය යොදා ඒ පිළිබඳව නිගමනයකට එළැඹීම අධිකරණයේ කාර්ය භාරය වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් නීතියක් යටතේ කරන ලද නියොගයක් සම්බන්ධයෙන් යම් ප‍්‍රශ්නයක් ඇත්නම් එම අදාළ නීතිය වෙනස් කිරීමට ව්‍යවස්ථාදායකයට බලය ඇත. එතෙක් එම තීන්දුවෙන් සියළු පාර්ශව කරුවන් බැඳී සිටී. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් සම්බන්ධයෙන් ගත හැකි වෙනත් පියවරක් නොමැත. මේ හේතුව නිසාම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ඉදිරිපත් වන්නා වූ සියළුම ඉල්ලීම් සම්බන්ධයෙන් සළකා බැලීමේදී ශේ‍්‍රෂ්ඨාධිකරණයට එම ඉල්ලීම විමසීමේ අධිකරණ බලයක් ඇත්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා විධිමත්ව සළකා බලනු ලැබේ. දෙවනුව ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉල්ලීම පිළිබඳව සළකා බැලීමේදී පිලිගත් කාර්ය පටිපාටියට දැඩි ලෙස අවධානයෙන් කි‍්‍රයා කරයි.

මෙම නඩුව ජනතාව අතර විශේෂයෙන් අවධානයට ලක් වී ඇත්තේ මෙම නඩු තීන්දුව මඟින් අල්ලස් හෝ දුෂණ පිළිබඳ විමර්ශන කටයුතු අත් හිටුවීමට සිදුවනු ඇතැයි යන සැකය මතය. එහෙත් එම සැකයට පදනමක් නොමැත. මෙම නඩු තීන්දුව හේතුකොටගෙන ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට හෝ වෙනත් ඔනෑම කෙනෙකුට විරුද්ධව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශනය කිරීමට හෝ ඔවුන් අත් අඩංගුවට ගැනීමට හෝ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හෝ අධිකරණය මඟින් රක්‍ෂණ භාරයට පත් කිරීමට කිසිදු බාදාවක් නොමැත. මෙම නඩුවේ අතුරු නියෝගය කි‍්‍රයාත්මක වන්නේ මෙම නඩුවේ අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් පමණකි. ජනතාව තුල මෙවැනි බියක් ඇති වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව විසින් දෙන ලද වරම, එනම් දුෂණය හෝ අල්ලසට සම්බන්ධ සෑම පුද්ගලයෙකුම ඔහුගේ තරාතිරම, පාට පක්‍ෂය ආගම ජාතිය වැනි කිසිදු වෙනසක් නොසලකා ඔවුන්ට විරුද්ධව දැඩි ලෙස කි‍්‍රයා කළයුතු බවටය. ජනාධිපතිවරණයෙන් පසුව මසක් පමණ කාලය තුල අල්ලස් හා දුෂණ වලට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව කි‍්‍රයා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජනතාව තුල දැඩි කලකිරීමක් හටගත් බව අප දනිමු. ආණ්ඩුව පැත්තෙන් දෙන ලද පිළිතුර වූයේ මහාපරිමාණයේ දුෂණ හා අල්ලස් වලට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පුහුණු පුද්ගලයින් මෙන්ම අවශ්‍ය යාන්ත‍්‍රණයද නොමැති වීම එයට හේතුව බවය. පසුව එවැනි යාන්ත‍්‍රණයක් ඇති කිරීමෙන්, එනම් මූල්‍ය වංචා පිළිබඳ විශේෂ පරීක්‍ෂණ ඒකකය ඇති කිරීමෙන් හා වංචා විමර්ශන පිළිබඳ පුහුණු පුද්ගලයින් එම එ්කකයට සම්බන්ධ කිරිම තුලින් පසුගිය මාසයක් පමණ කාලයක් තුල මහා පරිමාණයේ දුෂණ හා වංචා චෝදනා වලට ලක්වී ඇති පුද්ගලයින් රාශියකට විරද්ධව පරීක්‍ෂණ ආරම්භ කර සමහරුන් අත් අඩංගුවට ගැනීමට හැකි වි ඇත. මෙම කි‍්‍රයාවලිය ඉදිරියට යනු දැකීම ජනතාව අපේක්‍ෂා කරයි. මෙම නියොගයෙන් එම කි‍්‍රයාවලියට හානියක් නොවන බව පිළිගත යුතුව ඇත.

අග‍්‍රාමාත්‍යතුමා විසින් මෙම නඩුවේ නියෝගයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ප‍්‍රශ්න කිරීම තුලින් තවදුරටත් මෙම නඩුව කෙරෙහි ජනතාවගේ අවධානය යොමු වෙමින් පවතී. අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රකාශ කළ ආකාරයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 126(2) ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳ ඉල්ලීමක් පිළිබඳව කි‍්‍රයා කිරීමට ශේ‍්‍රෂ්ඨාධිකරණයෙන් පූර්ව අවසරයක් ලබා ගැනීමෙන් පසුව පමණක් එවැනි ඉල්ලීමක් පිළිබඳව කි‍්‍රයා කරගෙන යා හැකි අතර එසේ අවසර ඉල්ලා සිටි විට අවස්ථාවෝචිත පරිදි එම අවසරය ප‍්‍රධානය කිරීම හෝ අවසරය ප‍්‍රතික්‍ෂ්ප කිරීම හෝ විනිශ්චයකරවරයන් දෙදෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් කළ හැකිය යන්න දක්වා ඇක. එම ව්‍යවස්ථාවේ දක්වා ඇති අන්දමට ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් අවසර දීම හෝ නොදීම තීරණය කළ හැක. අගමැතිතුමා පෙන්වා දී ඇති ආකාරයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 132(2) ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන වලට යටත්ව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකුට නොඅඩු විනිශ්චයකාර මණ්ඩලයක් විසින් කි‍්‍රයාත්මක කළ යුතු බවටය. ඒ අනුව මෙම නඩුවේ නියෝගය හුදෙක් මෙම මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම පවත්වාගෙන යෑමට අවසරය ලබා ගැනීමෙන් ඔබ්බට යන නියොගයක් හෙයින් විනිසුරුවනරුන් තිදෙකෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් සළකා බැලිය යුතුව තිබුනූ බවටද අගමැතිතුමා ප‍්‍රකාශ කර ඇත. තවද අගමැතිතුමා පෙන්වා දී ඇති ආකාරයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 125(2) ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමුකරනු ලැබූ දින සිට මාස 2කක් ඇතුලත එම ප‍්‍රශ්නය තීරණය කොට අවස්ථානුකූලව අවශ්‍ය ආඥාවන් කළ යුතු බවටය.

Back to Home page