Colombo Telegraph

තුන්වැනි ලෝකයේ ඒකාධිපතියන්ගේ ගති ස්වභාවය සහ ඉරණම

ලසන්ත පෙතියාගොඩ

මහාචාර්ය ලසන්ත පෙතියාගොඩ

තුන්වැනි ලෝකයේ බොහෝ ඒකාධිපතියෝ තමන්ගෙන් වධයට පත් මහජනතාව තමන්ව අතහැර යද්දී පවා සුපුරුදු බලයේම එල්ලී සිටීමට දඟලති. බලය අතහැර යාම ඔවුහූ ඉඳුරා ප‍්‍රතික්ෂේප කරති. ඔවුන් එසේ කරන්නේ, එක් විකාර සිතිවිල්ලක් ඔස්සේ යමිනි. එනම්, රට තමන්ට අයත් බවක්, තම දරුමල්ලන්ට සහ පවුල් සාමාජිකයන්ට පමණක්ම අයත් බවක් සිතමින්, සදාකාලයට තමන් විසින්ම එරට පාලනය කළ යුතු බවක් ඔලූවට ගැනීමෙනි. රාජ්‍ය අයිතිය පිළිබඳ මේ මෝහනීය විකාරය බොහෝ විට ඇති වන්නේ, මෙවැනි ඒකාධිපතියන් තම රට යම් සතුරෙකුගෙන්, යටත්විජිතවාදියෙකුගෙන්, බෙදුම්වාදයකින් හෝ කැරැුල්ලක් වැනි අර්බුදකාරී තත්වයකින් ‘නිදහස් කර ගත්තේය’ හෝ ‘ගලවා ගත්තේය’ වැනි අදහසක් ඔලූවට ගැනීම නිසා ය.

පශ්චාත්-යටත්විජිතවාදී ජාතික වීරයන්ගේ ප‍්‍රථම පරම්පරාව තුළ බොහෝ විට මේ ස්වභාවය දැකිය හැකිය. එහෙත් මෑතක් වන විට එය ගමේ චන්ඩි කල්ක‍්‍රියාවක් වශයෙන්ද විදහා දැක්වේ. කැරලි කෝලාහලවලින් ගලවා ගැනීම හෝ සිවිල් යුද්ධයක් අවසන් කිරීම සඳහා නායකත්වය සැපයීම වැනි කාරණයක් ඔස්සේ එවැනි අයවළුන්ව වීරයන් වශයෙන් ඔසවා තැබේ. දේවත්වයට නැංවේ. ‘ජාතියේ පියා’ වශයෙන් හෝ ‘සෑම දරුවෙකුගේම අප්පච්චී’ වශයෙන් විරුදාවලී ලබන ඔවුන්ව විවේචනය කිරීම ඔවුන්ගේ අනුගාමිකයන් සලකන්නේ මහා පාපයක් වශයෙනි. ඇතැම් අනුගාමිකයෝ ‘ගැලවුම්කරුවෙකු’, ‘ජන නායකයෙකු’ හෝ ‘ජාතියේ ගැලවුම්කරුවෙකු’ වැනි විරුදාවලී ඔවුන්ට ආරෝපණය කරති. ඇතැම් ජාතික භාෂාවන් තුළ එවැනි හැඳින්වීම් ළංවන්නේ දේවත්වයකටයි.

අවනත සහ ගරුසරු ජනතාවක් තුළට ඉහත කී ‘ගැලවුම්කාර’ අදහස කාවද්දනු වස් මෙවැනි නායකයෝ හැම අස්සක් මුල්ලකම පෙනී සිටිති. ඔවුන්ගේ යෝධ කටවුට් සහ බැනර් හංදියක් ගානේ ප‍්‍රදර්ශනය කෙරේ. රටේ මුදල් නෝට්ටුවල ඔවුන්ගේ ඡුායාරූප මුද්‍රණය කෙරේ. පාරතොටේ, ගමේ ගොඬේ ඇසගැසෙන මානයේ ඕනෑම තැනක දිස් වන්නේ ඔවුන්ගේ රූපකායයි. නා නා ස්මාරක සහ විශාල ගොඩනැගිලි ඔවුන්ගේ නමින් නම් කෙරේ. කමිස බොත්තමක, ටී-ෂර්ටයක හෝ ‘තාරුණ්‍යට හෙටක්’ වැනි කැප් තොප්පියක සිට අඩ-ජාතික නැට්ටුවන්ගේ ඇඳුම් ආයිත්තම් දක්වා ඔවුන්ගේ රූපය විරාජමාන කෙරේ. අධිවේගී මාර්ග, ක‍්‍රීඩාංගන සහ පාසල් ආදියට ඔවුන්ගේ නම් තැබේ. ඔවුන්ට ප‍්‍රණාමය දක්වනු වස්, ජාතික නිවාඩු දින යෝජනා කෙරේ.

මෙවැනි අයවළුන්ව ඔවුන්ගේ වි-ජාතික හෝ ක‍්‍රිස්තියානි නම්වලින් ඇමතීම තහනම් ය: ‘අතිගරු’ හෝ ‘ජාතියේ ආරක්ෂක’ හෝ ‘ජනමූල නායක’ වැනි වර්ණනා ඒ සඳහා අවශ්‍ය කෙරේ. ඊළඟ නායක පරම්පරාව අතරේත් ව්‍යාප්ත කෙරෙන්නේද ඒ හැඟීමමයි. ඒ කෙතෙක්ද යත්, පාර්ලිමේන්තුවේ සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙකු පමණක් වන නායක කුමාරවරු ඉදිරියේ මහළු කැබිනට් ඇමතිවරු දෙකට නැවෙති. ‘සර්’ කියා අමතති. විටෙක, හමුදා නායකයින්ව සිරගත කෙරේ. පසුව තමන් බලයට පත්වූ විට ඒ අයවළුන්ව ‘ජෙනරාල්වරුන්’ හෝ ‘ෆීල්ඞ් මාර්ෂල්වරුවන්’ වශයෙන් උසස් කෙරේ.

අස්ථාවර රාජ්‍ය නායකයන් සිය සහපිරිවරට ගන්නේ තම දාසයන්වයි. බොහෝ විට ඔවුන්, නායකයාගේ ගමේ හෝ ආසනයේ ඉත්තන් ය. ඊට අමතරව, වෙනත් ආධාරකරුවන්ව සහ හෙංචයියන්ව මිළ දී ගැනේ. ඒ අතරේ, තඩි පඩිපත් සහ අමතර වරදාන ලබන හමුදා සොල්දාදුවෝ වෙත්. බත් පැකට් සහ අරක්කු ලබන නාගරික කම්කරුවෝ වෙත්. නොමිළේ මෝටර් සයිකල් හෝ ස්කූටර් ලබන රාජ්‍ය සේවකයෝ වෙත්. ලැප්ටොප් පරිඝණක සහ අධි මිළැති ජංගම දුරකථන ලබන මාධ්‍යවේදියෝ වෙත්. ආණ්ඩුවේ ලොකු තනතුරු ලබන, තානාපති තනතුරු ලබන, සුඛෝපභෝගී රථවාහන ලබන බුද්ධිමත්තු, විපක්ෂ නායකයෝ සහ නීතිඥයෝ වෙත්.

රජයේ සම්පත් හිතුමතේ නාස්ති කිරීමට, විවිධ පුද්ගලයන්ව රිසි සේ තනතුරුවලට පත්කිරීමට, මාරු කිරීමට සහ අස් කිරීමට මෙන්ම, යටිතල ව්‍යාපෘති ඇති කිරීමට සේම නැති කිරීමටත් ඇති හැකියාව, දේශපාලනික තානාන්තර පස්සේ පැන්නීම පසුපස ඇති එක් පේ‍්‍රරකයක් වශයෙන් සමාජ විද්‍යාඥයෝ හඳුනා ගනිති. එම නිසා, පක්ෂග‍්‍රාහීන් බලයට පත්වූ විගස කරන එක් මුල් කාර්යයක් වන්නේ, එවැනි තනතුරු ප‍්‍රතිපාදනය කර ගැනීමයි. තිබුණු මණ්ඩල විසුරුවා හැර අලූත් මණ්ඩල පිහිටුවා තමන්ගේ හෙංචයියන්ගෙන් ඒවා පිරැුවීම එවැනි එක් ක‍්‍රමයකි.

හෘද සාක්ෂියේ පීඩාව නිසා ආරක්ෂාව මුල් කොට තැකීම මෙවැනි ඒකාධිපතියන්ගේ සිරිත වන හෙයින් විවිධ හමුදා කොටස්වල පක්ෂපාතීත්වය ලබාගනු වස් ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම්, අලූත් අවි ආයුධ මිළදී ගැනීම්, යානවාහන සැපයීම් සහ වෙනත් විවිධාකාරයෙන් ඔවුන්ගේ මඩි තර කර ගැනීමේ පහසුකම් සැපයීම් කෙරෙහි මේ ඒකාධිපතියෝ යොමු වෙති. එසේම, එවන් හමුදා කොටස්වලට ලාභදායී ව්‍යාපාරවල නිමග්න වීමටත්, රාජ්‍ය අනුග‍්‍රහය යටතේ විවිධ ව්‍යාපාර අත්කර ගැනීම සඳහා ඔවුන්ට පහසුකම් සැලසීමටත් ඒකාධිපති පාලකයෝ ඉදිරිපත් වෙති. එක පැත්තකින් එවැනි ගරානා ව්‍යාපාර ඔවුන්ට පවරන අතරේ අනිත් පැත්තෙන් ඓතිහාසික පුරාවිද්‍යා වස්තු කොල්ලකෑම දෙස අහක බලාගෙන සිටීමටත් ඔවුහූ වගබලා ගනිති.

මේ අයුරින්, රාජ්‍ය නායකයා බලය අතහැරීමට සූදානම් වන අවස්ථාවක පවා මෙවැනි කිනිතුල්ලෝ එවැන්නකට එරෙහිව සිටිමින්, පාරදෘෂ්‍ය භාවය සහ යහපාලනය පිටුදකිති. මන්ද යත්, එසේ වුවහොත් තමන්ගේ මජර වරදාන, වරප‍්‍රසාද සහ තනතුරු අහිමි වන බව ඔවුන් දන්නා බැවිනි. ඒකාධිපතියා දිගටම බලයේ සිටිය යුතු බවට මෙවැනි පිරිස් බෙරිහන් දෙනු අපට ඇසෙන්නේ ඒ පසුබිම තුළයි.

වෙනත් පක්ෂයක් පිහිටුවා ගැනීම දේශද්‍රෝහී ක‍්‍රියාවක් වශයෙන් රාජ්‍ය මාධ්‍ය ප‍්‍රකාශකයා විසින් හඳුන්වනු ලැබීම අපට බොහෝ විට අසන්ට ලැබේ. හතුරු බලවේග රටට එරෙහිව කුමන්ත‍්‍රණය කරමින් සිටිතැයි කියන අවස්ථාවක, රටේ ආරක්ෂකයා වශයෙන් හුවාදැක්වෙන ඒකාධිපතියාගේ දෑත් ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය කර්තව්‍යයක් වශයෙන් රටට ඉදිරිපත් කෙරේ. ඒ තත්වය යටතේ, යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින යම් ව්‍යාපාරයක් සමග ඇයිහොඳයියක් ඇතැයි සිතෙන මැති ඇමතිවරුන් ගැන එවැනි ඒකාධිපතියන් සිටින්නේ නිතර ඇස ගසාගෙනයි.

තමන්ගේ වරදාන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එසේ කැසකවන එවන් හෙංචයියෝ ඒකාධිපතියාට බොරු කියති. ඔහුව රවටති. ඔහුට වැරදි තොරතුරු ඉදිරිපත් කරති. පුරාතන විශ්වාසයන් මත එල්බ සිට ඒකාධිපතියා වෙනුවෙන් සෙත්ශාන්ති පවා කර දෙති.

තමන් විසින් තම ජනතාව අතිශය පීඩාවට පත් කොට ඇති බව තුන්වැනි ලෝකයෝ ඒකාධිපතියෝ දනිති. තම අත්වල අහිංසක ලේ ගෑවී ඇති බව සහ තම සාක්කු අයථා ධනයෙන් පිරී ඇති බව දන්නා මෙවන් ඒකාධිපතියෝ සිය අතීත ක‍්‍රියාකලාපය අනාගතේ දවසක හෙළි වී එහි අප‍්‍රසන්න ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවේය යන නිරන්තර බියෙන් පෙළෙති. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට කුදලාගෙන යනු ඇතැයි බිය වෙති. මේ නිසා ඔවුන් බලන්නේම, මොන වියදමක් දරා හෝ බලයේ එල්ලී සිටීමටයි. ඒ සඳහා රටක් වශයෙන් ගෙවන්නට සිදුවිය හැකි අධිකතර වියදම හෝ රටේ ආර්ථිකයට අත්විය හැකි අලාභය ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවේ.

ඒකාධිපතියන්ව මෙහෙයවනු ලබන ප‍්‍රධාන පේ‍්‍රරකය වන්නේ ඉහත කී බිය නම්, එයින් ගොඩ ඒමේ නුවණක්කාර මගක් ඔවුන්ට තිබේ. පොහොසත් රටවල් සමග සසඳන විට බොහෝ දුප්පත් රටවල වෙසෙන ජනයා සමාභජනය කරන සුළු ය. බුද්ධිමත් රාජ්‍ය නායකයෙකු නම්, ‘ජාතික සංහිඳියාව’ පිළිබඳ සද්භාවයෙන් යුතුව විපක්ෂ නායකයන් කැඳවා යම් කිසි විසඳුමක් ගැන සාකච්ඡුා කරනු ඇත. එම සාකච්ඡුාව තුළ තමා සම්බන්ධයෙන් යම් සමාවක් ලබා ගැනීම සඳහා ආරක්ෂිතව රටින් පිටවීමටත්, ඒ වෙනුවෙන් තමන් අයථා අන්දමින් උපයා ගත් ධනස්කන්ධය ආපසු රටට ලබා දීමටත් හැකි ක‍්‍රමවේදයක් ගැන සාකච්ඡුා කළ හැකිය.

ඒ සමගම ජනතාවගෙන් සමාව ගැනීමක් හෝ ඒකාධිපතියා අතින් මරණයට පත් අයවළුන්ගේ පවුල්වලට වන්දි ගෙවීමක් වැනි කරුණුද සාකච්ඡුාවට ගත හැකිය. ස්වාධීන සමාජ ක‍්‍රියාධරයන්, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන් සහ ගෞරවාන්විත විශ‍්‍රාමික විනිසුරුවරුන් ආදී කොටස් මේ සාකච්ඡුාවල නිරීක්ෂකයන් වශයෙන් කැඳවිය හැකිය. ක්‍රෝධය සහ පළිගැනීම මගින් සතුරු භාවය සමනය කිරීම හෝ වැරදි නිවැරදි කිරීම හෝ කළ නොහැකි වෙතත්, දයාව සහ සාධාරණත්වය හරහා එය කළ හැකිය.

*2015 අගෝස්තු 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළව “Characteristics Of Third World Dictators & Their Destinies‘ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page