Colombo Telegraph

ආර්ථික විෂමතාවය හා ජාතිකවාදය – තෙවන කොටස

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

[මෙම ලිපි පෙලේ දෙවන කොටස 2018 ජූනි 5වනදා පළ විය.]

යුරෝපයේ අන්ත දක්ෂිණාංශය

යුරෝපය පුරාම ජාතිවාදී කණ්ඩායම් ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය නව වර්ගවාදී ඒක-සංස්කෘතික දේශපාලන වේදිකා නිර්මාණය කරන්නට යොදා ගෙන ඇත. 90ගණන්වල සෝවියට් කඳවුරේ බිඳවැටීමත් සමඟ නිදහස් වෙලඳපොලවල් පුළුල් වීමත්, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවල ඇතැම් අංග පිහිටුවනු ලැබීමත් නිසා යම් කාලයක් අවිනිශ්චිතභාවය රජ කලේය. නව ලිබරල්වාදී සමාජ සංවර්ධන මාදිලියක් මධ්‍යම හා නැගෙනහිර යුරෝපය හරහා තිරස් ලෙස පැතිරනේනට පටන් ගත් අතර එම මාදිලියට අනුබද්ධව ආර්ථික ලිබරල්කරණයේ හා ගෝලීයකරණයේ ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණද ක‍්‍රියාත්මක විය.

දශක දෙකහමාරකට පමණ පසුව හංගේරියාව සහ පෝලන්තය තුල ගොඩ නැඟුනු දක්ෂිනාංශික ජනතාවාදී ප‍්‍රවාහ පසුකාලීනව ප‍්‍රංශය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය දක්වා ව්‍යාප්ත විය. පසුගිය දශකය තුල නව දක්ෂිනාංශික ව්‍යාපාර නව-නට්සිවාදීන් හා නිදහස් වෙළඳ පොල පක්ෂවාදීන් අතර සන්ධානයන් බවට වර්ධනය වී ඇත. එසේ ගත් විට මෙය යුරෝපයේ ඇතැම් ප‍්‍රදේශවල දක්ෂිනාංශික ෆැසිස්ට්වාදී මතවාදයන්ට මතුපිටින් සාමාන්‍ය ස්වභාවයක් අත් කර දුන් අතර, ඔවුහු වැඩි මැතිවරණ වාසිද අත් කර ගෙන තිබේ. එවැනි දක්ෂිනාංශික බලවේග පෝලන්තය හා හංගේරියාව වැනි රටවල බලයට පත්ව සිටිති. ජාතික ආරක්ෂාව, ජාතිවාදය හඳුන්වා දීම සඳහා දේශපාලන වේදිකාවක් ලෙස යොදාගත් ඔව්හු අධ්‍යාපනය, ආගමනය හා අධිකරණය යලි ව්‍යුුහගත කිරීමෙන් පද්ධතිගත නොඉවසීම හඳුන්වා දුන්හ.

2018මාර්තු මස ඉතාලියේ පැවැත්වූ මැතිවරනයේ දී “සහභාගි වෙන්න, තෝරා ගන්න, වෙනස් කරන්න” නමැති සටන් පාඨය යටතේ තරඟ කල ජනතාවාදී ක‍්‍රම විරෝධී ‘තරු පහේ ව්‍යාපාරය’ (M5S) සහ “ඉතාලියානුවන් පළමුව” යන සටන් පාඨය යටතේ තරඟ කල ප‍්‍රාදේශීයවාදී ජනතාවාදී ‘ලීගය’ මේ මස මුලදී ආණ්ඩුවක් පිහිටුවන්නට සන්ධාන ගත වූහ. පෙනෙන අන්දමට මැතිවරන පරිසරයේ අවධානය යොමු වී තිබුනේ වෙනස් කළ නොහැකි ලෙස පිරිහී යන ආර්ථිකය, අඛණ්ඩව ඉහල මට්ටමේ පවත්නා විරැකියාව හා දූෂණය ද කෙරෙහිය.[1]  M5S ව්‍යාපාරය යොමුවී තිබුනේ දූෂණ විරෝධය සහ සියළු දෙනා සඳහා යෝජනා කරන ලද විශ්ව මූලික ආදායම (Universal Basic Income) ගැනයි. ‘ලීගය’, ප‍්‍රංශයේ ජාතික පෙරමුණහෝ බ්‍රිතාන්‍යයේ ‘එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂය’ මෙන් ආගමන-විරෝධී සහ යුරෝපා සංගම් විරෝධී පක්ෂයක් විය. කලින් ‘ලීගය’ ඉතාලියේ ධනවත් උතුරු ප‍්‍රදේශය වන පදානියාවේ ස්වයංපාලනය සඳහා උද්ඝෝෂනය කල බෙදුම්වාදී පක්ෂයක් විය.

බොහෝ අවස්ථාවලදී ඉස්ලාමික ත‍්‍රස්තවාදී ප‍්‍රහාර සහ තර්ජන යොදා ගෙන ඇත්තේ සෝදිසි කිරීම්,අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම්, අධිකරණමය අධීක්ෂණ සහ සැකකරුවන්ට පනවා ඇති තහනම් දැඩි කොට අවේක්ෂණයටත් රටින් නෙරපා හැරීමටත් රුකුල් දෙන්නටයි. සුදු නොවන තරුණ ජනයා නිරන්තරයෙන් අවේක්ෂණයට ලක් කොට, සැක ලැයිස්තුවලට දමා අපකීර්තියට පත් කර ඇත. සුළු අපරාධ සම්බන්ධයෙන් පවා සංක‍්‍රමණිකයන් සහ සරණාගතයන් තර්ජනයට ලක් කොට පිටුවහල් කරනු ලැබ ඇත. සුදු නොවන ආගමනය පුරවැසියන්ගේ මානව හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකම් කටුගා දමා නෙරපා හැරිය හැකි ඇසුරුමක් බවට පත් කොට ඇති බව පෙනේ. ප‍්‍රධාන ජන වර්ගයාගේ හෝ රජයන දේශපාලන මතවාදයේ විෂය පථයට නොවැටෙන ඇතැම් සංක‍්‍රමණිකයන්ට, ඔවුන්ගේ ජාතිය, පංතිය, ආගම, සංක‍්‍රමණික තත්ත්වය,පූර්ව රඳවා තැබීම් සහ දේශපාලන විශ්වාසයන් මත රඳා පවතිමින්, පුරවැසියන් වශයෙන් තම මූලික අයිතිවාසිකම් පිළිබඳව කිසිදු සහතිකයක් නොලැබේ.

ජීවිතයට හා සමාජ ඒකාග‍්‍රතාවයට කෙතරම් හානි පැමිනුනත් දක්ෂිනාංශික දේශපාලන ජාලය දේශසීමා ආරක්ෂාවට, ජාතික පාරිශුද්ධියට හා ආගමික නොඉවසිල්ලට පක්ෂවාදී වෙයි. ජාත්‍යන්තරව අරමුදල් ලබන මානව අයිතිවාසිකම් ආරක්ෂකයන් විදේශීය ඒජන්තවරුන් ලෙස ගැරහීමට ලක් කරනු ලැබේ; ස්ත‍්‍රීවාදීන් සහ ආගමණ පක්ෂවාදීන් වාරණයට ලක් කරනු ලැබේ;පවත්නා පාලන තන්ත‍්‍රයන් විවේචනය කරන කණ්ඩායම්, වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂවල කාර්යාල වටලා ඔවුන්ගේ දේපල රඳවා ගනු ලැබේ; සිවිල් යුද්ධ සහ වධහිංසාවලට ලක්ව පලා යන සිවිල් වැසියන් සහ සරණාගතයන්ට නිදහසේ ගමන් කරන්නට ඇති අයිතිය කප්පාදු කොට, බලයෙන් සිරගත කිරීමට සමාන තත්වයන් යටතේ විදේශීය රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තබනු ලැබේ. මුර සංචාරයට ලක් වෙන අගල්, කටුකම්බි ගැසූ වැටවල් හා තාප්ප, සහ බෝට්ටු ආපසු හරවා යැවීම මගින් දේශසීමා ආරක්ෂා කිරීම බොහෝ රටවල, විශේෂයෙන් බටහිර සම්මතය බවට පත්ව තිබේ.

නව -ෆැසිස්ට්වාදීන් වැනි නව දක්ෂිනාංශික කන්ඩායම් විවෘතවම ඒකසංස්කෘතිකවාදය සහ ද්වේෂ සහගත අපරාධ වෙනුවෙන් පෙනී සිටිති, නින්දිත සමාජ මාධ්‍ය පිටු පවත්වා ගෙන යති, මැතිවරණවලට සහභාගී වෙති, පොදු අවකාශය පැහැර ගනිති, විපිලසර කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වා ගනිති. සමහරු තමන්ගේ තදාසන්න ප‍්‍රදේශ මුර කරති; සංක‍්‍රමණිකයන්ගේ වෙළඳ ව්‍යාපාරවලට තර්ජනය කරති; හිජාබ් ඇඳ සිටින කාන්තාවන්ට හිරිහැර කරති; ජනහමුවලදී සටන් අවුළුවා ගනිති. උදාහරණ වශයෙන්, ග‍්‍රීසියේ ‘රන්වන් අරුණ’ (Golden Dawn)නමැති කණ්ඩායමේ සාමාජිකයෝ සංක‍්‍රමණික වීදි වෙළෙන්දන්ට පහර දුන්හ. හංගේරියාවේ සහ බල්ගේරියාවේ විපිලසර දේශ සීමා රැකවල්ලු සංක‍්‍රමණිකයන්ට පහර දෙති. අනෙක් තැන්වල යුදෙව් ප‍්‍රජාවන්ට විවෘත ලෙසම තර්ජනය කරති.

යුරෝපා සංගමය තුළ ‘ප‍්‍රංශයේ ජාතික පෙරමුණ’ (FN), ඉතාලියේ ‘ජාතික සංධානය’ (AN – Alleanza Nationale), එක්සත් රාජධානියේ ‘බ්‍රිතාන්‍ය ජාතික පක්ෂය’ (BNP) සහ ‘ඔස්ට්‍රියානු නිදහස් පක්ෂය’ (FPO) වැනි අන්ත දක්ෂිනාංශික පක්ෂ හා කණ්ඩායම් ක‍්‍රියාත්මක වේ. ජාතික පෙරමුණේ හිටපු නායිකා ෂොන්-මරී ල පෙන් වරක් පවසා සිටියේ “දශ ලක්ෂයක් රැකියා විරහිතයි – මෙයින් අදහස් වන්නේ විදේශිකයන් දශ ලක්ෂයක් වුවමනාවට වැඩියෙන් සිටින බවයි.”[2]යුරෝපා සංගමය පුරා ‘නිදහසේ සහ ජාතීන්ගේ යුරෝපය’ (ENF) නමැති දැනට පවතින ඇගේ කණ්ඩායම ඔස්ට්‍රියාවේ, නෙදර්ලන්තයේ, චෙක් සමූහාණ්ඩුවේ සහ ඉතාලියේ අන්ත-දක්ෂිණාංශික නායකයින් බොහොමයක සහාය ලබමින් මහාද්වීප-ව්‍යාප්ත ආගමන විරෝධී උද්ඝෝෂනයක යෙදී සිටී.[3]2019මැයි මස පැවැත්වීමට නියමිත යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණයේදී යුරෝපීය පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට මෙම කණ්ඩායම අපේක්ෂා කරයි.

අන්තවාදී දක්ෂිණාංශය බොහෝ මතවාදී විශ්වාසයන් ෆැසිස්ට්වාදය සමග බෙදා හදා ගනියි. සංක‍්‍රමණික‌යෝ ඔවුන්ගේ රැකියා අත්පත් කර ගැනීම නිසා තම ජාතීන්ට බලපාන ගැටළුව වන්නේ ආගමණය යයි ඔවුහු විශ්වාස කරති. ඔවුන්ගේ අනර්ථකාරී තර්ක සනාථ කරන්නට කිසිදු සාක්ෂියක් නොතිබුණත්[4], සමහර අයගේ හැර ආගමනය නතර කර දැමීමෙන් ඔවුන්ගේ ජාතිකවාදී වැඩ සටහන ඉදිරියට ගෙන යාමට ඔවුන්ට අවශ්‍ය ය[5]. සංක‍්‍රමණිකයෝ ඔවුන්ට විරුද්ධව අපරාධ සිදු කරන බවත්, ඔවුන්ගේ රටවල පුරවැසියන්ට ලැබිය යුතු සුභසාධන ප‍්‍රතිලාභ සංක‍්‍රමණිකයින් අයුතු ලෙස අත් කර ගන්නා බවත් ඔවුහු බොහෝ දෙනෙක් විශ්වාස කරති. සංක‍්‍රමණිකයෝ තම සිරිත් විරිත් සහ සම්ප‍්‍රදායන් ආරක්ෂා කිරීමෙන් ඔවුන්ගේ ජාතික සංස්කෘතිය විනාශ කර දමන බව ඔවුහු කියා සිටිති. සංක‍්‍රමණිකයන් තම සත්කාරක රටවල්වල සිරිත් විරිත්වලට සහ සම්ප‍්‍රදායයන්ට අනුගත වීම ඔවුන්ට අවශ්‍ය ය. සංක‍්‍රමණිකයන් ඉවත් කර දැමීමෙන් ඔවුන්ට ස්වකීය ජාතික රාජ්‍යවල ‘සංස්කෘතික ඛාදනය’ නතර කළ හැකියයි ඔවුහු විශ්වාස කරති.[6]

එවැනි ආතතීන් විසින් ෆැසිස්ට්වාදයට නැඟී එන්නට ඉඩ සලසා දෙන ජාතික මට්ටමේ තරහවක් ඇති කොට තිබේ. සංක‍්‍රමණිකයන් වෙත යොමු වී තිබෙන ජාතික මට්ටමේ තරහව අනාගතය පිලිබඳ බියත් කෝපයත් එකට එකතු වීමෙන් ජනිත වී තිබෙන බව පෙනේ. කෙසේ වුවත්, මෙම ජාතික මට්ටමේ තරහවම පමණක් ෆැසිස්ට්වාදය ජනිත කරන්නට තරම් ප‍්‍රමාණවත් කොන්දේසියක් නොවේ. මෙම තත්වයන් දුර්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සමඟ සංකලනය වන විට‚ ෆැසිස්ට්වාදයේ විරූපවූ හිස එසවීම සඳහා එය පරිසමාප්ත දේශපාලන තෝතැන්නක් බවට පත් වෙයි.

ඔස්ට්‍රේලියාවේ අන්ත දක්ෂිණාංශය

1975දී අගමාැති ගොෆ් විට්ලම්ගේ ලේබර් ආණ්ඩුව පෙරලා දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ වාමාංශය බිඳ වැටුනු බව සැලකේ. එතැන් පටන් ඔස්ට්‍රේලියානු ලේබර් පක්ෂය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණතක් සහිතව ආර්ථික හේතුවාදය ලූහු බඳින්නට පටන් ගත්තේය. කෙසේ වෙතත්, දක්ෂිනාංශික නව ලිබරල්වාදී කොන්සර්වටිව් ජාතිවාදී මතධාරීහු, ඉහළ නඟින ජීවන වියදම,එක තැන පල්වෙන වැටුප්, සරණාගතයන්ට එරෙහිව කරන අපරාධ සහ අමාණුෂික සැලකීම් පිළිබඳව යම් කිසිවෙක් කතා කරන විට, අනාගතයේ “අන්ත-වමෙන්” එල්ල විය හැකි තර්ජන ගැන නොකඩවා අනතුරු අඟවති. අධිපතිබව දරන මාධ්‍ය සහ සාම්ප‍්‍රදායික කණ්ඩායම් නොපවතින “අන්ත-වම”කට එරෙහිව නොකඩවා පරිභව කිරීමේ ව්‍යාපාර දියත් කරති.එහෙයින්, යම් කෙනෙකු දිළන්දන්ගේ වියදමින් සිටුවරයන් නහවන්නට අවධානය නොයොදවා, අනෙකාව අනුකම්පාසහගතව බලා ගැනීම පිළිබඳව කතා කරන විට එම පුද්ගලයා වාමාංශිකයෙක් ලෙස හංවඩු ගසනු ලැබේ.

ඔස්ට්‍රේලියානු අන්ත දක්ෂිනාංශික කණ්ඩායම් යුදෙව්වන්,සමාජීය ලෙස අර්ථ දක්වා ඇති ලිංගික සම්මතයන් කඩකරන පුද්ගලයන් (LGBTIQ), මුස්ලිම් සහ යුරෝපීය නොවන සංක‍්‍රමණිකයන්,විශේෂයෙන්ම ආසියානුවන් හා අෆ්රිකානුවන් වැනි ප‍්‍රජාවන් නින්දාවටත් අපහාසයටත් පත් කරන ප‍්‍රචාරක වැඩසටහන් දිගටම ගෙන ගොස් ඇත.[7]ඇතැම් අන්ත දක්ෂිනාංශික ඉස්ලාම් විරෝධී පුද්ගලයෝ සහ කණ්ඩායම් ඉස්ලාමීය ත‍්‍රස්තවාදය, මුස්ලිම් ආගමනය හා “ඔස්ටේලියාව ඉස්ලාමීකරණය කිරීම”ට එරෙහිව පෙළගැසෙන ලෙස නඟන හඬ ඔස්සේ එක්සත් වී තිබේ. වර්ගය සහ සංස්කෘතිය මත පදනම් වූ විවිධ අරමුණු සහිත මෙම කණ්ඩායම් අන්තර්ජාල ව්‍යාපාරයන් ලෙස සහ සටන්කාමී ස්ථානගත ප‍්‍රවාහයන් ලෙස ඒකාබද්ධ වී ඇත. ප‍්‍රජා දේශප්‍රේමීන්, ජාතිකවාදීන් සහ වර්ගවාදීන් වශයෙන් ඔව්හු ප‍්‍රධාන ප‍්‍රවාහ තුනකට පුළුල් ලෙස වර්ග කළ හැකිය.

(මතු සම්බන්ධයි)

[1]ජොන් හෙන්ලි 2018 මාර්තු4, ඉතාලියේ මැතිවරනය: දිනන්නේ කවුද?එය වැදගත් වන්නේ ඇයි? ගාඩියන්,ලබා ගැනීමට: https://www.theguardian.com/world/2018/feb/07/italys-election-everything-you-need-to-know

[2]ඇඩම් නොසිටෙර් 2015 ඔක්තෝබර්5, මරී ල පෙන් ට,ආගමනය සූදානම් කොට තිබෙන ගැටළුවක්,නිව් යෝක් ටයිම්ස්: ලබා ගැනීමට: https://www.nytimes.com/2015/10/06/world/europe/for-marine-le-pen-migration-is-a-ready-made-issue.html

[3]ජොන් ස්ටෝන් 2018මැයි 1, සංක‍්‍රමණ විරෝධී ව්‍යාපාරය දියත් කිරීම සඳහා මරී ල පෙන් යුරෝපයේ අන්ත-දක්ෂිණාංශික නායකයන්ට ආගන්තුක සත්කාර කරයි, ඉන්ඩිපෙන්ඩන්ට්: ලබා ගැනීමට: https://www.independent.co.uk/news/world/europe/marine-le-pen-far-right-france-front-national-geert-wilders-pvv-salvini-lega-a8331396.html

[4]කලා වාල්කිස්ට් 2016ෆෙබරවාරි 15, විදේශ ආගමනය වර්ධනයට රුකුල දීමත් සමඟ ඔස්ට්‍රේලියානුජනගහනය මිලියන 24ක් දක්වා වැඩි වෙයි, ද ගාඩියන්: ලබා ගැනීමට: https://www.theguardian.com/world/2016/feb/15/australian-population-to-hit-24-million-as-overseas-migration-drives-growth;සහ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන බියුරෝව 2017ජූලි 27, 2013-14දී සංක‍්‍රමණිකයන්ගේ සමස්ත ආදායම ඩොලර් බිලියන 84යි; සංක‍්‍රමණිකයන්ගේ පුද්ගලික ආදායම ඔස්ට්‍රේලියාව, 2013-14: ලබා ගැනීමට: http://www.abs.gov.au/ausstats/abs@.nsf/lookup/3418.0Media%20Release12013-14

[5]ඇන්ඩෘ බොල්ට් 2018අපේ‍්‍රල් 9, වැරදි සරණාගතයන් තෝරා ගැනීම, හෙරල්ඞ් සන්: ලබා ගැනීමට: http://www.heraldsun.com.au/blogs/andrew-bolt/picking-the-wrong-refugees/news-story/74891f8b815bb1191eff519e7ba95a28

[6]සරන් කර්න් 2018ජනවාරි 1, බි‍්‍රතාන්‍යය ඉස්ලාමීයකරණය වීම – “මම හිතනවා අපි මහත් විපතක් කරා ගමන් කරනවා”, ගේට්ස්ටෝන් ආයතනය: ලබා ගැනීමට: https://www.gatestoneinstitute.org/11648/britain-islamization-2017

[7]ස්ටීවන් ගාර්ටන් 2015, බලමුළු මුදවාලීම සහ අධිරාජ්‍යය: ඩොමීනියන් සන්දර්භය තුල – පළමු ලෝක යුද්ධයෙන් පසු ඔස්ට්‍රේලියාවේ අධිරාජ්‍ය ජාතිකවාදය සහ සෙබළ පුරවැසිභාවය,සමකාලීන ඉතිහාසය පිළිබඳ සඟරාව, 50, 1.

Back to Home page