17 December, 2025

Blog

ස්වෛරී පලස්තීනයකට සහයෝගය දැක්වීමේ දී ඕස්ට්‍රේලියාව සංකේත භාවිතයෙන් ඔබ්බට යා යුතුය

ලයනල් බෝපගේ –

ආචාර්ය ලයනල් බෝපගේ

ඊශ්‍රායලපලස්තීන ගැටුම සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ විදේශ ප්‍රතිපත්තිය පුළුල් ද්විපාර්ශ්වික එකඟතාවය මත පදනම් වූ වකවානුවක් තිබුණි. ඒ ඊශ්‍රායලය සහ අනාගත පලස්තීන රාජ්‍යයක් ජාත්‍යන්තරව පිළිගන්නා ලද දේශ සීමාවන් තුළ සාමයෙන් හා සුරැකියාවෙන් යුක්ත ව සහජීවනයෙන් පසු වන ද්විරාජ්‍ය විසඳුමක් පිළිබඳ සංකල්පනය යි. මෙම සම්මුතිය, සදාචාරාත්මක බැඳීම සහ ජාත්‍යන්තර සම්මතය යන දෙකම පිළිබිඹු කළේය. හැම විටම අසම්පූර්ණ වූ නමුත් එය යම් කිසිවක් ඉදිරිපත් කලේය.

කෙසේ වෙතත්, අද වන විට, එම ද්විරාජ්‍ය පිළිබඳ දැක්ම, විශේෂයෙන් ඊශ්‍රායල නායකත්වයේ තීරණාත්මක පුද්ගලයා වන බෙන්ජමින් නෙතන්යාහුගෙන් දැඩි තර්ජනයකට ලක්ව තිබේ. පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම වැළැක්වීම ගැන තමාආඩම්බරවන බව නෙතන්යාහු නැවත නැවතත්, වඩාත් කැපී පෙනෙන අන්දමට 2023 දෙසැම්බර් මස පැවති මාධ්‍ය හමුවක දී පැහැදිලි කර ඇත. ජෝර්දාන් ගඟට බටහිරෙන් පිහිටි භූමි ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ පාලනය ඊශ්‍රායලය අත රඳවා ගත යුතු බව අවධාරණය කරමින් ඔහු, පලස්තීන රාජ්‍යත්වය සඳහා වූ ජාත්‍යන්තර යෝජනා කිහිපයක් ද ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇත්තේය. මෙම තර්ක 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාර හේතුවෙන් ජනිත වුන ඒවා නොවේ; ඒ සමාන ස්ථාවර සහ ප්‍රතිපත්ති පැවත එන්නේ එම සිදුවීමට වසර ගණනාවකට පෙර සිට යි. බොහෝ කලකට පෙර සිට පැවතුණ අවහිර කිරීමේ, ජනාවාස ව්‍යාප්ත කිරීමේ, පරිපාලන බාධක ඇති කිරීමේ, නීතිමය සීමා පැනවීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික විරෝධය පෑමේ මාවත, සාක්ෂාත් කර ගත හැකි පලස්තීන රාජ්‍යයක් උදෙසා පැවති නිහතමානී අපේක්ෂාවන් දැන් පවතින අන්දමට බොහෝ ආකාරවලින් බිඳ දැමීම සඳහා පදනම දැම්මේය.

ඓතිහාසික ලෙස ගත් විට, 1917 බැල්ෆෝර් ප්‍රකාශනය; පලස්තීනය සඳහා වූ ජනවරම; විශේෂයෙන් 1947 බෙදා වෙන් කිරීමේ සැලැස්මෙන් පසු අනුමත කරන ලද එක්සත් ජාතීන්ගේ යෝජනා; (ඔස්ලෝ වැනි) විවිධ ගිවිසුම් යටතේ බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පලස්තීන ස්වයං පාලනය සහ ස්වෛරීභාවය ස්ථාපිත කිරීම (හෝ ස්ථාපිත කිරීමට උත්සාහ කිරීම) වැනි 20 වන සියවසේ මුල් භාගයේ සහ මැද සියවසේ ජාත්‍යන්තර තීරණ තුලට ද්විරාජ්‍ය විසඳුමක් පිළිබඳ නිර්මාණය කාවද්දා තිබුණි. මෙම මං සලකුණු, නිජබිමක් සඳහා යුදෙව් ජාතිකයන් සතු අයිතිය ත් සමඟ රාජ්‍යත්වය සඳහා පලස්තීනුවන් සතු අයිතිය ත් පැහැදිලිව උච්චාරණය කලේය. එහෙත් කාලයාගේ ඇවෑමත් සමග, නෙතන්යාහු ද ඇතුළුව හැම ඊශ්‍රායල ආණ්ඩුවක් ම එම උත්සාහයන් බිඳ දමන්නට විවිධ මට්ටමින් හවුල් වී ඇත. ජනාවාස ප්‍රතිපත්තිය, නීතිමය බාධක, ආරක්ෂාව සැලසීම, රාජ්‍ය තාන්ත්‍රික තරවටු කිරීම් හෝ වේවා, ඒ මගින් මූල ධාර්මික වශයෙන් පවා බොහෝ විට සංයුක්ත ප්‍රතිඵලය වී ඇත්තේ පලස්තීන ස්වාධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම යි.

මේ අනුව බලන විට, 2025 සැප්තැම්බර් මාසයේ දී පලස්තීන රාජ්‍යය පිළිගැනීමට ඕස්ට්‍රේලියානු රජය ගත් මෑත කාලීන තීරණය ප්‍රමාද වී ගන්නා ලද එකක් වුවත් එය වැදගත් තීරණයක් වේ. එය කතාවට සීමා වීමේ සිට ක්‍රියාකාරිත්වය දක්වා, එනම්, හුදෙක් ද්විරාජ්‍ය විසඳුමකට සහාය දැක්වීමේ සිට පලස්තීන ස්වෛරීභාවය දේශපාලන යථාර්ථයක් ලෙස තහවුරු කිරීම දක්වා කල වෙනස් වීමක් නියෝජනය කරයි. ප්‍රජාතන්ත්‍රවාදී ව තේරී පත් වූ ආණ්ඩුවක් විසින් ගන්නා ලද එම තීරණය, ඕස්ට්‍රේලියාවේ ජනතාවගේ සහයෝගය ලබන (හෝ අඩු වශයෙන් පළල් ලෙස ඉවසා ලන) තීරණයක් වෙයි. ජනමත විමසුම් දක්වන්නේ පිළිගැනීම කෙරෙහි වැඩියෙන් දක්වන සහයෝගයත්, පවතින තත්ත්වය ගැන ඉහල නැඟෙන කලකිරීමත් ය.

මෙම පිළිගැනීම වැනිය හැකි මැජික් පොල්ලක් නොවන බව කිව මනා නොවේ. දශක ගණනාවක් පුරා දේපළ අහිමි කිරීම් සහ ගැටුම් නිසාවෙන් පීඩාවට පත් වූවන් ඇතුළු බොහෝ දෙනෙකුට එය සංකේතාත්මක ලෙස පෙනෙන්නට පුළුවන. එසේ වුවත්, විශේෂයෙන් ම, නිල පිළිගැනීම රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය වශයෙන් කළ හැකි දේවල්වල භූමිකාව වෙනස් කරන්නට උපකාර වන විට, සංකේතාත්මක පියවර වැදගත් වෙයි.

මෙම පිළිගැනීම ආපසු හරවන්නට හෝ අඩපණ කර දමන්නට අදහස් කර සිටින බව පෙනෙන අපේ ම දේශපාලන තන්ත්‍රය ආමන්ත්‍රණය කිරීම ද වැදගත් වේ. මෙම පිළිගැනීම විවෘත ලෙසම විවේචනය කර ඇති ලිබරල්ජාතික පක්ෂය සහ සූසන් ලේ වැනි ඇතැම් අය, ඔවුන් බලයට පත් වුවහොත් එය අවලංගු කරන්නට පොරොන්දු වී තිබේ. මේවා රාජ්‍ය තාන්ත්‍රික සිනිඳු කම් පිළිබඳව වන විසංයුක්ත අසම්මතියන් නොවේ; ඒවා මානව හිමිකම්, ජාත්‍යන්තර නීතිය සහ නිජබිමක් සඳහා ජනතාව සතු නීත්‍යානුකූල අභිලාෂය සමඟ ඕස්ට්‍රේලියාව එකඟ ව සිටිනවාද, නැතහොත් එම මූලධර්ම ප්‍රතික්ෂේප කරන බලවත් රාජ්‍යයන් සමඟ පෙළ ගැසෙනවාද යන්න පිළිබඳව කරන තෝරා ගැනීම් වේ.

ඊටත් වඩා හදිසි කාරණයක් වන්නේ, ඕස්ට්‍රේලියාවේ පිළිගැනීම මගින් අත්පොළසන් දීමකට වඩා වැඩි යමක් අදහස් කරන්නේ නම්, ස්ථිර ක්‍රියාමාර්ග මගින් එය අනුගමනය කල යුතු බව යි. ඊශ්‍රායලයෙන්, එහි මිතුරන්ගෙන් (විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන්) සහ දේශීය ක‍්‍රියාකාරිකයන් ගෙන් පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික සහ දේශපාලනික යන දෙඅංශයෙන්ම එල්ල කරන විරෝධය පෑම්වලට මුහුණ දෙන්නට ආණ්ඩුව සූදානම් විය යුතුය. පිළිගැනීම ස්වෛරී, නිදහස් පලස්තීනයක පැවැත්මට ඇති හැකියාව ආරක්ෂා කිරීමට නම්, ඕස්ට්‍රේලියාව වෙළඳ සම්බාධක, රාජ්‍ය තාන්ත්‍රික සංචාර සඳහා සීමා පැනවීම්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමට සෘජුවම සම්බන්ධ පුද්ගලයින්ට ඇතුළුවීම බැහැර කිරීම; ඇතැම් විට ජාත්‍යන්තර එකමුතු හමුවේ නඩු පැවරීම පවා වැනි වඩාත් ප්‍රක්‍රීය (proactive) ආම්පන්න ගැන සලකා බැලිය යුතුය. පහසු මෙවලම් නොවන මේවා පැමිණෙන්නේ පිරිවැය ද සමඟ වන නමුත් පිළිගැනීම අව්‍යාජ වන්නේ නම්, ඒවා සාකච්ඡාවට ලක් කල යුතුය.

සාරාංශයක් ලෙස ගත් විට, ඕස්ට්‍රේලියාව ප්‍රශංසනීය පියවරක් ගෙන ඇති නමුත් තව කොපමණ දේ කළ යුතුද යන්න ගැන තමන් වම මුළාවට පත් විය යුතු නැත. පලස්තීනයට රාජ්‍යයක ගරුත්වය සඳහා ඉඩ ලබා දීම සහනයක් නොවේ; එය සාධාරණත්වය යි. රාජ්‍ය තාන්ත්‍රික ව, ප්‍රතිපත්තිමය ලෙස සහ මූල ධාර්මික වශයෙන් ඒ සඳහා සටන් කරන තාක් කල්, ද්විරාජ්‍ය විසඳුම මියැදී නැත. ඕස්ට්‍රේලියාවට එම සටන වඩා වැදගත් බවට, අඩුවෙන් සංකේතාත්මක බවට සහ වඩා තාත්වික බවට පත් කරන්නට සහාය විය හැකිය.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.