Colombo Telegraph

ආර්ථික විෂමතාවය හා ජාතිකවාදය – පළමුවන කොටස

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

සෝවියට් සංගමයේ හා නැගෙනහිර කඳවුරේ ක්‍රියාත්මක කරන ලද අන්දමේ “සමාජවාදය” යයි හැඳින්වුන රාජ්‍ය ධනවාදී ආකෘතිය බිඳ වැටීමත් සමග පසුගිය ශතවර්ෂයේ පැවති ආකාරයෙන් වූ සීතල යුද්ධය අතුරුදහන් විය. ඒ රාජ්‍ය ධනවාදී ආකෘතියම අනුගමනය කරන රටවල් කිහිපයක් ලෝකයට ශේෂවී ඇත. සෝවියට් සංගමයේ බිඳවැටීමත් සමඟ සීතල යුද්ධය අවසන් වූ බවට විශ්වාස කළද, පළි ගැනීමෙන් යුක්තව නව සීතල යුද්ධයක් පැන නැඟී ඇති බව පෙනෙන්නට තිබේ. මෙහි ප්‍රධාන ලක්ෂණය රුසියානු සමුහාණ්ඩුව හා එහි හවුල්කාර ආණ්ඩුවලට එරෙහි එක්සත් ජනපදයේ සහ එහි සගයන්ගේ සංස්ථාපිත ධනේශ්වර වුවමනාවන් සේ පෙනී ගියත් බටහිර භීතියේ හා කෝපයේ සැබෑ කේන්ද්‍රය මහජන චීන සමූහාණ්ඩුව විය හැක.

සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසුව සංස්ථාපිත ධනේශ්වර ක්‍රමය ඊට ආවේනිකවූ බරපතල සමාජ ආර්ථික හා සංස්කෘතික අර්බුදයන් සහිතව මුළුමහත් ලෝකය පුරාම පාහේ රජයා ඇත. ‍සංස්ථාපිත සහ රාජ්‍ය අංශ තුල නොහික්මුණු ධනවාදය නැවත දෘශ්‍යමාන වීමත් සමඟ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහජන ප්‍රජාතන්ත්‍රවාදයට නොනැසී පැවතිය නොහැකිව තිබේ. එවැනි අර්බුද විසින් බටහිර ධනේශ්වර සමාජ බොහොමයක් බොහෝ දුරට අකර්මන්‍ය කරනු ලැබ ඇත. විවෘත ආර්ථිකය සහ නිදහස් වෙලඳපොල කොන්දේසි යටතේ ප්‍රධාන වශයෙන් පාලක සංස්ථාවන්ගේ උවමනාවන් විසින් නොමනා බලපෑමි යටතේ හසුරුවනු ලබන පරිසරය නිසාත්, ගෝලීය සම්පත් වැඩි වැඩියෙන් ඒකාධිකාරත්වයට නතු කර ගන්නට ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දී ඇති නිසාත් ආර්ථික විෂමතාවය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී.

ඓතිහාසිකවත් වර්තමාන යුගයේත්‚ සංස්ථාපිතවල මිත්‍රශීලී කෘෘර පාලකයන් බලයට ගෙන ඒම සඳහා මිනිසුන්‚ කාන්තාවන් හා ළමුන් දසදහස් ගනන් මරා දමමින්, ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලද, එහෙත් බලවත් ධනවාදී සංගත හා රාජ්‍යයන්ගේ උවමනාවන් හා නොගැලපෙන ආණ්ඩු පෙරළා දමා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද නිර්මුක්තියට ලක් වී නැත. මූල්‍යමය වශයෙන් ඔවුන් පසෙකට කර දැමීමට තර්ජනය කිරීමෙන් එම සංවිධානයට නව-ලිබරල් හා කොන්සවේටිව් පාලන තන්ත්‍රවල ක්‍රියා මාර්ගය අනුගමනය කරන්නට සිදු කොට ඇත. එම සංවිධානය නව නව-ලිබරල් න්‍යාය පත්‍රයට විරුද්ධ වන අයට එරෙහිව යොදවා ගෙන තිබේ. මේ අර්ථයෙන් ගත් විට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ හැම කෙළවරකම ලේ වගුරුවද්දී බෙලහීන අතරමංව ඇති ආයතනයක් බවට‚ හුදු නරඹන්නෙක් බවට පත් වී ඇත.

ආර්ථික විසමතාව

සංස්ථාපනික අර්ථශාස්ත්‍රඥයෝ මානව වර්ගයා ගැන සැලකිල්ලක් දක්වන හෝ දයානුකම්පාව දක්වන හෝ අය නොවෙති. ඔවුහු ආර්ථික හා ආදායම් විෂමතාවන් ගැන සැලකිල්ලක් නොදක්වති; ඔවුන්ට මිනිස්සු පාරිභෝගිකයන් හෝ නිශ්පාදන ඒකකයන් වේ. ඔවුන්ගේ තර්කය වන්නේ උඩුකුරු සමාජ සංචලනය වෙත ප්‍රවේශ වෙන්නට මිනිසුන් වැඩියෙන් මහන්සි වී වැඩ කළ යුතු බවයි. ආදායම් අසමානතාවය විසින් ඔවුන් සතු පෙළඹවීම ඉහළ නංවන  බවට ඔවුහු තර්ක කරති. සමාජ සංරක්ෂණ පියවරයන් සහ සුබසාධන වැඩසටහන් මගින් ධනය යලි බෙදාහැරීම මිල අධික බව ඔවුහු තරයේ පවසා සිටිති. එබැවින්, බොහෝ ලබ්ධීන් අනුකම්පාව පිළිබඳව දේශනා කළද‚ ලෝකය වඩා අභාග්‍යමත් තැනක් බවට පත්ව ඇත. ආර්ථික වර්ධනය හා සංවර්ධනය සඳහා ඇති අවස්ථා තවදුරටත් කඩා වැටෙමින් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) යනු මානවවාදී අදහස් ප්‍රචාරය කරන ආයතන නොවේ. එහෙත්, ආදායම් අසමානතාව ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන බවට ඔවුහු නිගමනය කර ඇත. යුරෝපීය ආර්ථික පර්යේෂණ මධ්යස්ථානය (ZEW) මෙම සොයා ගැනීම් අභියෝගයට ලක් කර තිබෙන නමුත් ප්‍රායෝගික දේශපාලනය පෙන්නුම් කරන්නේ ආදායම් අසමානතාව වැඩිවෙමින් පවතින බවත් අඩු ආදායම් ලාබී කුටුම්භයන්ට උසස් අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන්නට වැඩි වැඩියෙන් අසීරු වී ඇති බවත් ය. මේ අනුව, උඩුකුරු සමාජ සංචලනය සඳහා ඔවුන්ට තිබෙන අවස්ථා දුර්වල වී ඇත.

ලෝක අසමානතාව පිළිබඳ වාර්තාවට අනුව, මෑත දශකවලදී සියලු කලාපවල ආදායම් අසමානතාව වැඩි වී තිබේ. මැද පෙරදිග සහ උප සහරානු අප්‍රිකාවේ අසමානතාව අශික්ෂිත තරම් ඉහළ මට්ටමේ නොවෙනස්ව පවතී. ඉන්දියාවේ සහ චීනයේ අසමානතාවද දැවැන්ත පරිමාණයේ ඒවා වේ. මෙම රටවල් හා බටහිර රටවල් අතර ඇති පරතරය‚ ගෝලීය අසමානතාව අඩු කරමින් වඩා පටු වී ඇත. ආසියානු රටවල් කිහිපයක ශීඝ්‍ර ආර්ථික වර්ධනය හේතුවෙන් ගෝලීය ගිනි දර්ශකය 65 දක්වා පහත වැටී ඇත. 2035 වන විට, දර්ශකය 61 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජාතිකවාදයේ නැඟී ඒම

ඒ අනුව ලෝක ආදායම් අසමානතාවය ජාතීන් අතර ඉහළ අගයක පැවතුනත්  එය අඩු වෙමින් පවතී. කෙසේ වුවද‚ රටවල් තුල දුප්පතුන් සහ පොහොසතුන් අතර පරතරය පුළුල් වී තිබේ. සමස්තයක් වශයෙන් සහ තනි තනිව ගත් විට එවැනි ප්‍රවණතා මඟින් ලෝකයේ ඇතැම් පෙදෙස්වල ජනප්‍රිය දේශපාලනය, ජාතිකවාදය හා ආරක්ෂනවාදයේ ඉහළ නැගීම පැහැදිලි කල හැකිය. ධනේශ්වර සංවර්ධන මාවතක් අනුගමනය කරන පාලන තන්ත්‍රවලට වර්ධනය වෙන අසමානතාවයේ මෙම ප්‍රවණතාවය ආපසු හරවන්නට හෝ පාලනය කරන්නට දුෂ්කර වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් නිර්දේශ කරන ලදුව හා ඇතැම් විට බල කරන ලදුව, සමාජ නිර්මිතය මත විනාශකාරී ප්‍රතිඵල ඇති කරවමින් එවැනි රටවල් බොහොමයක රාජ්‍ය වත්කම් පුද්ගලීකරණය කරන ආකාරයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කර තිබේ.

ලංකාවේ පාලන තන්ත්‍ර ඒ හා සමාන මාවතක් අනුගමනය කර ඇත. පසුගිය දශක කිහිපය තුළ ලබන ලද ගෝලීය අත්දැකීම වන්නේ එවැනි පියවර විසින් මෙම රටවල් පොදුවේ පොහොසත් කොට තිබෙන නමුත්, එසේ කොට ඇත්තේ ආදායම් අසමානතාව රජයවමින් බවයි. මෙම ක්‍රියාවලියේ දී ආණ්ඩු වඩා දුබල බවට පත් වී තිබේ. ලෝක අසමානතාව පිළිබඳ වාර්තාවට අනුව, මෙය අසමානතාවය හසුරුවන්නට තැත් කිරීමේ දී පාලන තන්ත්‍රවල හැකියාව සීමා කරන ප්‍රධාන සාධකවලින් එකක් වෙයි.

ලංකාවේ වර්තමාන තත්වය මෙම ක්‍රියාවලිය නිදර්ශනවත් කරයි. රාජ්‍ය සහ සංස්ථාපනික අංශ සහ ආයතන යන දෙකම කෙරෙහි විශ්වාසය බිඳ වැටීම, සමාජීය බැඳීම්කර සෝදාපාලුවට ලක් වීම සහ අනාගතය පිළිබඳව වැඩිවෙන අවිනිශ්චිතතාවය මගින් එය නිරූපණය වෙයි. පුළුල් වන අසමානතාවය ආර්ථික වර්ධනයත් සාර්ව ආර්ථික ස්ථාවරත්වයත් කෙරෙහි සැලකිය යුතු ලෙස බලපා ඇත. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ මූල්‍යය වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් පවත්නා අසාධාරණයන් ව්‍යාප්ත වී තිබේ. මේ අනුව, සමාජයේ ඇතැම් කොටස් අනවරත අවාසිදායක තත්වයකට භාජනය කොට ඇත.

Back to Home page