Colombo Telegraph

බෙග් මාස්ටර්ලාගේ සංස්කෘතික විශ්වය සහ ආගමික අන්තවාදය

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

මහාචාර්ය ලියනගේ අමරකීරිති

වෙසක් දවසට බුදුගුණ ගැයෙන්නේ බෙග් මාස්ටර්ගේ හඬින්ය යන්න අපි නිතර කියමු. එය කියවෙන්නේ මුස්ලිම් සහ සිංහල ජනයා අතර සම්බන්ධයේ සංහිඳියාව පෙන්වනු පිණිසය. සැබවින්ම එය ඉතා සාධනීය කරුණකි. එපමණක් නොව ගවුස් මාස්ටර්ගේ සංගීත නිර්මාණද ගලගෙදර අබ්දුල් හක්ගේ තනු නිර්මාණද ගැන අපි කතා කරමු. බුදු ගුණ පමණක් නොව ලෞකික ආලයේ මිහිරද මුස්ලිම් සංගීතඥයන් සහ ගායක ගායිකාවන් නිසා අපට විඳින්නට ඉඩ ලැබී තිබේ. “ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා ගොවි රාළ ගොඩට ඇවිල්ලා” යනුවෙන් මොහිදීන් බෙග් ගයන්නේ සිංහල ගමක ප්‍රේමයයි. එය සිංහල-බෞද්ධ ගමක ගොවි යුවළකගේ ප්‍රේමයෙන් යුතු ජීවිතය අපට විස්තර කරයි. එය සුන්දර සන්සුන් ජීවිතයකි. බෙග් විසින් රොමෑන්තිකකරණය වන්නේ අපේ ජීවිතයයි. 

මේ ආදී හේතු නිසා අපි සිංහලෙන් ගී ගැයූ, සිංහල ගීවලට තනු සැප යූ, සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය කළ මුස්ලිම් කලාකරුවන් අගයමු. එය හොඳය. එසේම ඉන්දියාවෙහි මෙන් ලංකාවේ චිත්‍රපටිවල මුස්ලිම් ජාතික සිනමා තාරකා නොසිටියේ මන්ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමද හොඳය. සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා ලංකාවේ සිනමා අඹරේ පෑයුවේ තරු දෙක තුනක් පමණි. අපේ සිනමා කර්මාන්තය එහි මුල් යුගයේ පැවති බහු-ජනවාර්ගික ස්වරූපයෙන් දිගටම පැවතී වර්ධනය වූයේ නම් විවිධ ජනවර්ගවලට අයත් සිනමා තාරකා පහළ වන්නට තිබිණි. 83 ජූලි හිංසන නිසා සිනමා කර්මාන්තයට මරු පහරක් වැදුණු කතාව අපි කවුරුත් දනිමු. දෙමළ ජනයාට අයත් සිනමා ශාලා පමණක් නොව චිත්‍රාගාරද ගිනිබත් විය. එක් අධ්‍යක්ෂකවරයෙක් මරා දැමිණි. ෆරීනා ලායි යනු මුල් යුගයේ සිනමාවේ තාරකාවක් වීමේ ආසන්නයටම ආ නිළියයි. ශෂී විජේන්ද්‍ර දෙවන පෙළ තාරකාවක් සේ අසූව දශකයේ මතු වූ සිනමා නළුවෙකි. ඔහුට සිය මුස්ලිම් නම වෙනස් කරගෙන සිනමාවට ඒමට සිදු වූයේ ඒ වන විට අප රට ජනවාර්ගික විඥානය වෙනස් වී තිබූ නිසාදැයි මම නොදනිමි. ඉන්දියාවේද ඇතැම් මුස්ලිම් නළුවන් හින්දු පෙනුමක් සහිත නම් ගත් බව ප්‍රකට කරුණකි. 

කෙසේ වෙතත් අපේ විනෝද කර්මාන්තයේ මුල් යුගය බෙහෙවින් බහු-ජනවාර්ගික විය. ක්‍රමයෙන් ඇති වූ දේශපාලන හිංසන සහ ජනවාර්ගික ගැටුම් ඒ බහු-ජනවාර්ගික ස්වභාවය ක්‍රමයෙන් අඩු කළේය. සිනමා කර්මාන්තයෙහි ආයෝජනය කළ දෙමළ සහ මුස්ලිම් අය ඉන් ඉවත් වූහ. සිනමා කර්මාන්තයෙහි ශිල්පීන් සේ සිටි බර්ගර් ජනයාද ටිකෙන් ටික රට හැර ගියහ. අපේ යුගය වන විට මොහිදීන් බෙග්ගේ පුතා හැරුණු විට වෙනත් මුස්ලිම් කෙනෙක් බෞද්ධ ගීත ගයන්නට බිහී වී නොසිටියේය.  ජවිපෙ දෙවැනි කැරැල්ල නගරයේ සිනමා ශාලාවල රාත්‍රී දර්ශන නොපවත්වන තත්ත්වයකට තුඩු දුන්නේය. ඒ කැරැල්ලට පෙර රාත්‍රී 9.30 දර්ශන නරඹා ගෙදර යා හැකි තත්ත්වයක් තිබිණි. 

මුස්ලිම් ජනයා එසේ සිංහල භාෂක සංස්කෘතික කර්මාන්තයේ හෝ විනෝද කර්මාන්තයේ ක්‍රියාකාරීවීම ඒවායෙහි නිෂ්පාදන ආර්ථිකය හා සම්බන්ධ කාරණයක්ද වේ. බොහිදීන් බෙග් සිංහලෙන් බුදු ගුණ ගයන්නේ ගීත වෙළඳපොළ ඇත්තේ සිංහල භාෂකයන් අතර වන නිසාය. ගී තැටි හෝ ගී පටි විකිණෙන්නේ සිංහල රසිකයන් අතර වන නිසාය. සිංහල සංගීත වෙළඳපොළෙහි පාරිභෝගිකයන් වන අපට ඔහු අවශ්‍ය වන්නේ සපයන්නෙකු ලෙසය. එහෙත් මේ ආර්ථික ප්‍රවේශය පමණක් ඒ ජනවාර්ගික මිශ්‍රිතභාවය වටහා ගැනීමට ප්‍රමාණවත් නැත. ඉන් පසුද ගීත ඇසූ අපට ගී සපයන මුස්ලිම් ගායක ගායිකාවන් අඩු වූයේ ඇයි? ඊ ළඟ මොහිදින් බෙග් බවට පත් වන්නට බෙග් මාස්ටර්ගේ පුතා පමණක් ඉතිරි වූයේ ඇයි? ඉතා සුන්දර ගී මාලාවක් ලියූ නිලාර් එන්. කාසිම් සිංහල සංස්කෘතික ලෝකය පොහොසත් කළ බව අමතක නොකරමින් වුවත් අප අර ප්‍රශ්නය ඇසිය යුතුය.

ආර්ථික කාරණා පිණිසවත් බුදු ගුණ ගී හෝ සිංහල ජීවිතය ගැන ගී නොගැයිය යුතුය යන ආගමික විඥානයක් මුස්ලිම් ප්‍රජාව තුළ වර්ධනය වීද? සිනමාවේ රගපෑම ඉස්ලාම් විරෝධි වැඩක් බව තමා පසු කලෙක අවබෝධ කරගත්තේ යැයි ශෂී විජේන්ද්‍ර වරක් කීවේය. සිනමාව සහ සංගීතය වැනි ක්ෂේත්‍රවල මුලින් පැවති බහු-සංස්කෘතික පසුබිම බිඳ වැටෙනවාත් සමගම වහාබිවාදය වැනි අලුත් මුස්ලිම් ප්‍රවණතා මතු වී ආ බව පෙන්වන සාක්ෂි තිබේ. එය 1977 වර්ෂයෙන් පසුව මැදපෙරදිග රැකියාවලට අපේ ජනයා යෑම සමග සම්බන්ධ වන්නට පුළුවන. 1979 වර්ෂයේ සිදුවූ ඉරානීය ඉස්ලාම් විප්ලවයෙන් පසුව මුස්ලිම් ලෝකය පුරා පැතිර ගිය නව ඉස්ලාම්වාද අපේ රටේ මුස්ලිම් ප්‍රජාව තුළ පැවති සංස්කෘතික විඥානය වෙනස් කරන්නටද ඉඩ ඇත. ඒ වන විටත් ලෝක බලවතා වූ ඇමරිකාව පවත්වාගෙන අනම්‍ය ඊශ්රායල්වාදයද ඊට හේතු වන්නට පුළුවන. කෙසේ වෙතත් ඉතා දක්ෂ මුස්ලිම් ජාතික කලා නිෂ්පාදකයන් සිංහල සමාජය වෙනුවෙන් නිර්මාණ කිරීමෙන් ටිකෙන් ටික ඉවත් වූ බව පෙනේ. එපමණක් නොව, මුස්ලිම් ජනයා කලාව වැනි ලෞකික සංස්කෘතික භාවිතවලින්ද ටික ටික ඉවත් වීද යන්න සොයා බැලිය යුතු කරුණකි. දෙමළ භාෂකයන්ගේ සාහිත්‍ය ලෝකයේ නම් එවැන්නක් සිදු නොවූ බව පෙනේ. මෑතකදී සිංහලට පරිවර්තිත දෙමළ සාහිත්‍ය කෘති අතර මුස්ලිම් ජාතික ලේඛක ලේඛිකාවන් නිර්මාණ අපමණ තිබේ. 

දශක තුනක් එක දිගටම පාහේ පැවති යුද ගැටුම් දෙමළ භාෂාවෙන් සංස්කෘතික කර්මාන්තය වර්ධනය වූයේද නැත. ඒ නිසා ස්වභාවයෙන්ම මෙන් දෙමළ භාෂක මුස්ලිම් කලාකරුවන්ට ඒ සංස්කෘතික ලෝකයේද ඉඩක් නොවිණි. ආර්ථික අඩවිය,  දේශපාලන සහ ආගමික අඩවිය මිස මුස්ලිම් ජනයාට ක්‍රියාකාරී වන්නට කලා-සංස්කෘතික අඩවියක් දෙමළ බසින්ද සිංහල බසින්ද නොපැවති බවද පෙනේ. ආර්ථිකය, දේශපාලනය සහ ආගම යන අඩවිවල මුස්ලිම් ජනයා ඉතා සාර්ථකව ක්‍රියාකාරී වී තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර දක්වා වැඩුණේ ආගම නමැති ක්ෂේත්‍රයේ මුස්ලිම් ජනයා අධි-ක්‍රියාකාරී වීම නමැති යථාර්ථයද? නැතිනම් මේ අඩවි තුනම එකිනෙකට සම්බන්ධද? සිංහල ජනයා එසේ සැක කරන බව පෙනේ. මේ සැකය දුරු කිරීමට අප ප්‍රජාවන් මීට වඩා හොඳ අවබෝධයක් තිබිය යුතුය.

මෙම කෙටි ලිපියෙහිදී තවත් එක් ප්‍රශ්නයක් අසන්නට කැමැත්තෙමි. මොහිදීන් බෙග් වැනි ගායකයන් බුදු ගුණ ගී ගයන විට ප්‍රහර්ෂයෙන් අගයන අපට මුස්ලිම් ගායකයෙකු සිංහල බසින් තමන්ගේ දෙවියන් ගැන ගයන විටත් එවැනිම ප්‍රහර්ෂයකින් අගය කළ හැකිද? අල්ලා ගැන ගී ගැයීමට ඉස්ලාම් ආගමෙන් අවසර නැති නම්, වෙනත් මුස්ලිම් සංස්කෘතික සංකේත ගැන නොගැයෙන්නේ ඇයි? ටිකිරි මැණිකේ සහ ගොවි රාළ ගැන බෙග් ගයන ගී අගයන අපට මුහමඩ් සහ ෆාතිමාගේ ආදරය උත්කර්ෂණයෙන් සමරන ගී ගයන මුස්ලිම් ගායකයෙකු ගැන අසන්නට නැත්තේ ඇයි? සංස්කෘතික අන්‍යයා අප ගැන ගයන විට අගයන අපට ඒ අන්‍යයා තමන් ගැනම ගයන විට අගය කරන්නට බැරිද? අනෙකා අපේ සංස්කෘතිය වර්ණනා කරන විට ප්‍රීති වීම පහසු වැඩකි. අනෙකා තම සංස්කෘතිය වර්ණනා කර ප්‍රීති වන විට ඒ සමග ප්‍රීතිවීම තරමක් අපහසු වැඩකි. එහෙත් එය පුහුණු කළ හැකි දෙයකි. අපට එකිනෙකාගේ භාෂා සංස්කෘති ඉගෙන එකිනෙකාට සුවිශේෂ දේවලුත්, එකිනෙකාට පොදු දේවලුත් එකටත් වෙන වෙනමත් අගය කරන්නට හැකි විඥානයක් තිබිය යුතුය. එය වර්ධනය කිරීම සංස්කෘතික දේශපාලන අරගලයකි. ආගමික අන්තවාද ඒ අරගලයට දිරි දෙන්නේ නැත. ඒ අරගලය නොකරන තැන කොයි පැත්තෙනුත් මතු වන්නේ අන්තවාදයයි. 

Back to Home page