14 October, 2024

Blog

ක්‍රය සහ වික්‍රය පමණක් මනුෂ්‍ය ජීවිතය නොවේ!

ලියනගේ අමරකීර්ති

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

[ජාතික ජන බලවේගයේ කලා සහ සංස්කෘතික ප්‍රතිපත්තිය එළි දැක්වීමේ උළෙලේ දී සිදු කළ කතාව]

මහා සංඝරත්නයෙන් අවසරයි, කුරුක්කල්තුමනි, මව්ලවිතුමනි, කතෝලික පියතුමනි, මව්තුමියනි, සහෝදරයිනි, මේ ශාලාවේ අසුන්ගෙන සිටින සෑම ක්ෂේත්‍රයටම අයත් ප්‍රවීණ කලාකරුවනි කලාකාරියනි, ජාතික ජන බලවේගය සමඟ, ඔබේ, ඔබට ආවේණික ක්ෂේත්‍රවල සිට, මේ සාමූහික ගමනට සහභාගී වී සිටින ඔබ සියලු‍ දෙනාගෙන්ම අවසරයි.

අද දිනයේ දකින අපේ සංස්කෘතික කලා ප්‍රතිපත්තිය පිටිපස්සෙ, කලින් කියවුණා වගේ ම, විශාල සාමූහික ශ්‍රමයක් තිබෙනවා. මේ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම, අත්දැකීම, ප්‍රවීණත්වය පමණක් නොවෙයි මේ ප්‍රතිපත්තිය සැකසීම පිළිබඳ කාලය, ශ්‍රමය කැපකිරීම අතින් ගත්තත් අද එය ඉදිරිපත් කරමින් කතා කරන්නට මට වඩා, මා තරමටම සුදුසු තවත් අය ඉන්නවා. ඒ සියලු‍ දෙනාට මගේ ස්තුතිය පිරිනමන්නට කැමතියි. අපේ සංස්කෘතික ප්‍රතිපත්තිය, අනෙක් ප්‍රතිපත්තිවලට වඩා වෙනස්ව, වෙනම දවසක එලි දැක්කත් අපි සංස්කෘතික ප්‍රතිපත්තිය දකින්නේ, කලා ක්ෂේත්‍රය දකින්නේ, අනෙත් සියල්ල සමඟ එකිනෙක බැඳුණු, සමස්තයක කොටසක් හැටියටයි. සංස්කෘතික කලා ප්‍රතිපත්තිය වෙනම පළ වුණත්, වෙනම ප්‍රකාශයට පත් වුණත් අපි දකින්නේ එය සාකල්‍යවත් සමස්තයක කොටසක් හැටියටයි.

කලා සස්කෘතික ක්ෂේත්‍රය අධ්‍යාපනය සමඟ, විද්‍යා ක්ෂේත්‍රය සමඟ, කර්මාන්ත ක්ෂේත්‍රය සමඟල සෞඛ්‍ය ක්ෂේත්‍රය සමඟ අන්තර්ක්‍රියා කරන මේ සියලු‍ම ක්ෂේත්‍ර ඉතා සියුම් ස්නායු සම්බන්ධයක් තියන සමස්ත ප්‍රතිපත්තියක් හැටියටයි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාව අපි පරිකල්පනය කොට තිබෙන්නේ. නමුත්, මේ ප්‍රතිපත්ති මාලාවේදී අපි එක ප්‍රධාන තේමාවක් ගැන කල්පනා කරනව. ඒ තේමාව තමයි, අර්ථවත් මනුෂ්‍ය ජීවිතය, පූර්ණ මනුෂ්‍ය ජීවිතය යනු කුමක්ද කියන එක. එතැනදී අපි විශ්වාස කරනව, මොනවා හරි සෑදීම, යම්කිසි දෙයක් නිෂ්පාදනය කිරීම, යම්කිසි දෙයක් විකිණීම, යම්කිසි සේවාවක් සැපයීම පමණක්, පූර්ණ මනුෂ්‍ය ජීවිතය නොවේ කියා.

මාහාචාර්ය සරච්චන්ද්‍ර ඔහුගේ ධර්මිෂ්ට සමාජය කෘතියේ එතරම් දේශපාලනිකව, න්‍යායිකව හරබරව නොවුණත්, එක වැදගත් සංකල්පයක් 1980 දශකයේ මුලදී විවෘත ආර්ථික ක්‍රමයට ප්‍රතිචාරයක් විදිහට ලියා තැබුවා. ඔහු කිව්වා ර්‍ණක්‍රය” සහ ර්‍ණවික්‍රය” පමණක් මනුෂ්‍ය ජීවිතය නොවෙයි, සංවර්ධනය නොවෙයි කියා. එනම් මිලට ගැනීම යනු ක්‍රය යිත වික්‍රය යනු විකිණීම යි. ඒත් ඒ දෙක පමණක් සංවර්ධනය නෙවෙයි. මනුෂ්‍ය ජීවිතය, මනුෂ්‍ය සමාජය ඊට වඩා විශිෂ්ට දෙයක්. යම් ආර්ථික යාන්ත්‍රණයක උපකරණයක් වීමල ඒ උපකරණීය පැවැත්ම, කරණීය පැවැත්ම, පූර්ණ මනුෂ්‍ය ජීවිතය නෙවෙයි. මනුෂ්‍යභාවය කියන්නෙ යම් යාන්ත්‍රණයක, උපකරණමය පැවැත්මට, නිරන්තරව අභියෝග කරමින් ඊට වඩා මනුෂ්‍යමය, ආධ්‍යාත්මික, භාවමය, වින්දනමය පූර්ණත්වයක් සොයා බලන බලයක්. මනුෂ්‍යත්වය ඒ අතින් බලයක්. යම් යාන්ත්‍රණයක කොටසක් වීම, කීකරු කොටසක් වීම, යම් පද්ධතියක නිර්නාමික කොටසක් වීම මනුෂ්‍යයන් ඉවසන්නේ නැහැ. මනුෂ්‍යයන් ඊට වඩා ඒක පුද්ගල ආත්ම සාක්ෂාත්කරණය, තමාගේ ම ජීවිතය විකසිත කරගැනීම, තමාගේ ම ජීවිතය පළ දරන දෙයක් බවට පත් කරගැනීම ජීවිතයේ අරමුණක් කරගන්නවා මනුෂ්‍යයෝ.

නිදහස්කාමය මනුෂ්‍ය ජීවිතයේ එක් වැදගත් කොටසක්. අපේ සංස්කෘතික ප්‍රතිපත්තිය සැකසී තිබෙන්නේ අපේ මනුෂ්‍යයන්, අපේ ජනරජයේ මනුෂ්‍යයන්, යම්කිසි නිෂ්පාදන ආර්ථිකයක හෝ යම් වෙළඳපළ ක්‍රමයක පමණක් නොවෙයි යම් පාලන ක්‍රමයක නිර්නාමික සුවච කීකරු ඒජන්තයන්, උපකරණ, කොටස් බවට පත් කරන්නට නොවෙයි. සියලු‍ දෙනාටම ඒක පුද්ගල මනුෂ්‍යයන් හැටියට විකසිතල පූර්ණ ජීවිතයක් තම තමන්ගෙ හැකියාවන්, රුචි අරුචිකම් අධ්‍යාත්මික පසුබිම අනුව, ඒ ඒ පුද්ගලයාගේ ජීවිතය පූර්ණත්වය කරා ඉහලට ඔසවන ජීවිතයක්. අන්න ඒ ඉහලට ඔසවන ගමනේදී මනුෂ්‍යයන්ට තමාගේම පූර්ණත්වය තමාගේම ආත්ම සාක්ෂාත්කරණය (self-realization) ඇතිකරගැනීමට උපකාර කිරීමයි අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ, සංස්කෘතික ප්‍රතිපත්තියේ, සෞඛ්‍ය ප්‍රතිපත්තියේ අරමුණ.

අද අපි කතා කරන්නෙ සංස්කෘතික ප්‍රතිපත්තිය නිසා අප අවධාරණය කරන්නට අවශ්‍යයි, අපි පරිකල්පනය කරන පුරවැසි ජීවිතය සාරවත් පුරවැසි ජීවිතයක් බව. ඒ පරිපූර්ණත්වය සොයා යන ගමනට සමහර වෙලාවට ඒක පුද්ගල මනුෂ්‍යන්ට තනි තනිව ඒ ආත්ම සාක්ෂාත්කරණය පූර්ණත්වය අත්පත් කරගන්නට බැහැ. ඒ සඳහා සාමූහික උදව් අවශ්‍යයිග ඒ සඳහා ජනරජයේ උදව් අවශ්‍යයිත ඒ සඳහා රාජ්‍යයේ උදව් අවශ්‍යයි. රාජ්‍යය ඒ විකසිත වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළ යුතුයි. මා මෙතෙක් කියූ මේ කාරණය, හුදෙක් හදන්නෙක්, විකුනන්නෙක්, සේවා සපයන්නෙක් බවට ඌනනය වීමට එරෙහිව ඇති මනුෂ්‍ය ආශාව ජාතික ජන බලවේගයේ ක්‍රියාධර අපේ ප්‍රවීණ කිවි නන්දන වීරසිංහ ඉතා මිහිරි කවියකට මෙසේ නගා තිබෙනවා. ඔහු මෙසේ කියනවා.

රාත්‍රිය ඉඩ හරී
සෑම නිවසකම
ඇතුළු එළියට

The night makes room
for the internal light
of each home to shine forth

What is that internal light? ඒ ඇතුළු එළිය, ඒ අභ්‍යන්තරික ආලෝකය කුමක්ද? එය අන්තර් ඥානය, අන්තර් දෘෂ්ටිය, අවලෝකනය, ආදරය විය හැකියි. අපි මුළු දිවා කාලයම මැෂිමක් වගේ, යන්ත්‍රයක් වගේ, යන්ත්‍රයක කොටසක් වගේ වැඩ කරල ගෙදර ඇවිල්ල නිදාගන්න සත්තු ජාතියක් නෙවෙයි. මනුෂ්‍ය ජීවිතයට රාත්‍රිය ගෙන එනවා පරිකල්පනයට, ආවර්ජනයට, අන්තර් දෘෂ්ටියට ඉඩක්ත අවකාශයක්. ඒ අවකාශය පෝෂණය කරන යාන්ත්‍රණයක් තමයි කලාව. ඒ අවකාශය පොහොසත් කරන අඩවියක් තමයි සංස්කෘතිය. ඒ සංස්කෘතියේ කොටසක් හැටියට කලාවේ කාර්යභාරය විය යුත්තේ, අපේ ම ජීවිතය අපේ ම සාමූහික පැවැත්ම අපේ ම ඒක පුද්ගල පැවැත්ම විතරක් නෙවෙයි නෝනාවරුනි මහත්වරුනි. අපි ප්‍රජාතන්ත්‍රවාදයට සහභාගී වන ආකාරය අපි ජන්දය දෙන ආකාරය පරීක්ෂා කිරීමේ මෙවලමක් තමයි සංස්කෘතිය කලාව කියන්නෙ.

සොක්‍රටීස් හරි. සොක්‍රටීස් කිව්වා “පරීක්ෂා නොකරන ලද ජීවිතය ජීවත් වීමට තරම් නොවේ” කියා. ‘The unexamined life is not worth living’. මේ පාඩම කලාකරුවෝ, සංස්කෘතික ක්ෂේත්‍රයේ ක්‍රියාධරයෝ උරුම කරගෙන තිබෙනවා. කලාවේ කාර්යය ඒ පරීක්ෂාවට දිරිදීමයි. ඒ අපේ අභ්‍යන්තරික ආත්ම පරීක්ෂාව, ඒ අපේ සාමූහික ආත්ම පරීක්ෂාව, ඒ අපේ පාලකයන් අපව පාලනය කරන ආකාරය පිලිබඳ පරීක්ෂාව, ඒ අපි ආදරය කරන හැටි ගැන පරීක්ෂාව, ඒ අපි ස්වාමි පුරුෂයෝ හැටියට ජීවත්වෙන ආකාරය පිලිබඳ පරීක්ෂාව, ඒ අපි බිරින්දෑවරු හැටියට ජීවත් වෙන ආකාරය පිළිබඳ පරීක්ෂාව. ඒ අපි හිතවත්කම් දක්වන ආකාරය පිළිබඳ පරීක්ෂාව.

සංස්කෘතිය කියන වචනය අපි සංස්කෘත භාෂාවේන් ගත්තත් ර්‍ණසංස්කරණය” ලද කියන තේරුම තියනව. සංස්කෘතිය කියන වචනය ජමකඑමරු කියන වචනයට එක අර්ථ මූලයක් සපයන ග්‍රීක වචනයට අපි කියනවා “කවුල්ටර්” කියල. කවුල්ටර් කියන්නෙ නගුල් තලය. සංස්කෘතියේ එක කාර්යයක්, මට කලින් කතා කළ මහාචාර්ය සෞම්‍ය ලියනගේ ඉතාම දීප්තිමත්ව, ඉතාම නිවැරදිව කිව්වා සංස්කෘතිය කියන්නෙ උරුමය විතරක් නෙවෙයි; අපි ජීවත්වන ආකාරය ගතානුගතිකව අපේ පරම්පරාව වෙත, අපේ දවස වෙත පැමිණ තිබෙන ආකාරය එලෙසින් ම බාර ගැනීම නෙවෙයි සංස්කෘතිය කියන්නෙ කියා. කවුල්ටර්, නගුල් තලය කියන්නෙ පෙරලීම, වෙනස් කිරීම, යළි සැකසීම. සංස්කෘතිය කියන වචනයට ජමකඑමරු කියන වචනයට තවත් අර්ථමය මූලයක් සපයන ලතින් වචනයක් තියනව. ඒකෙ තේරුම ර්‍ණකොලරේ”ග ඒකෙ තේරුම් ගණනාවක් තියනව. එක තේරුමක් තමයි, වන්දනා කිරීම, පූජා කිරීම සහ ආරක්ෂා කිරීම.

නෝනාවරුනි මහත්වරුනි, සෞම්‍ය ලියනගේ කිව්වා වගේම සංස්කෘතිය කියන වචනෙ නිර්වචනය කිරීමේ දුෂ්කරතාව එන්නේ ඔතන. සංස්කෘතිය කියන වචනෙ, එකවරම එකිනෙක හා තරග කරන අර්ථ දෙකක් ඒ තුළ දරාගන්නවා. එකක් වෙනස් කිරීම, එකක් රැකගැනීම. වෙනස් කිරීම, සැකසීම සහ ආරක්ෂණය. ඒ නිසා සංස්කෘතිය කියන වචනය ඇතුලෙ සංස්කරණයත්, සංරක්ෂණයත්, යළි සැකසීමත් කියන මේ දෙකම තිබෙනවා. සංස්කෘතිය කියන අඩවියේ, ඕනෑම නිදහස් සමාජයක, දියුණු පුරවැසි සමාජයක, සැබෑ ප්‍රජාතාන්ත්‍රික ජනරජයක, සංස්කෘතික අඩවියට මේ තරගයට පවතින්නට ඉඩ දිය යුතුයි. රක්ෂණය, සංරක්ෂණය සහ සංස්කරණය, තියන විදිහ පවත්වාගැනීම සහ අලු‍තින් සැකසීම පිළිබඳ ඒ නැඹුරුව.

නෝනාවරුනි මහත්වරුනි, අපි දන්නව අපි විශිෂ්ට කලා කෘතියක් දිහා බැලු‍වොත්, අපි කවුරුත් දන්න කලා කෘතියක් දිහා බැලු‍වොත්ිසෙල්ලම් ගෙය’ නාට්‍යයේදී ඉබ්සන් 19 වන සියවසේදී අපෙන් අහනව, බිරිඳක් ගෙදරක ගෘහ භාණ්ඩයක් හැටියට අප්‍රාණික ජීවිතයක් ගෙව්වොත් ඒක සැබෑ ජීවිතයක් ද කියා. එය සංස්කෘතික සංස්කරණය පිළිබඳ මානය පෙන්නුම් කරන ප්‍රශ්නයක්. අපේ සරච්චන්ද්‍ර අහනව, නිදහස් ශ්‍රී ලංකාවේ නිදහස ලබා අවුරුදු අටකට පස්සෙ, ස්ත්‍රියට හොඳ නරක විනිශ්චයට සහභාගී වීමට අවසර නැත්නම්, ඇය හොඳ නරක පිළිබඳ, යුක්තිය පිළිබඳ කතා කරද්දී, එය චපල කම හැටියට වටහාගන්නව නම් එය සැබෑ නිදහස් සමාජයක් ද කියන එක අපට මනමේ නාට්‍ය ඇසුරෙන් අසන්නට පුළුවන්. සංරක්ෂණය වගේම සංස්කරණය ඒ වගේම මනමේ නාට්‍ය තුළ තියනව අපේ සංස්කෘතික උරුමය. ජාතක කතාව, ශ්‍රී රාහුල හිමියන්ගේ භාෂාව, නාඩගම් කලාව එක්තරා දුරකට රකිමින්, අපේ යුගය කරා අරගෙන එනව.

මේ අපේ රාජ්‍යයේ සංස්කෘතික ප්‍රතිපත්තිය වී තිබෙන්නේ මෙය සංරක්ෂණය සහ සංස්කරණය, ආරක්ෂා කරගැනීම සහ වෙනස් කිරීම නමැති මේ දෙක අතර තිබෙන ආතතිය දිරිගැන්වීමයි; ඒක නැවැත්වීම නෙවෙයි. යම්කිසි ආකාරයකින් වෙනස් කිරීමේ මානය අපි අතින් මග හැරුනොත් සංස්කෘතික අඩවිය ඉතා දරුණු හිංසනයන් කරා යා හැකි බව ලෝක ඉතිහාසයෙනුත් අපේ ඉතිහාසයෙනුත් දන්නව. ඒ නිසා අපි විශ්වාස කරනව එක් තනි සංස්කෘතික විශ්වාසයක් ගතානුගතිකව අපට උරුම වී ඇති සංස්කෘතික විධික්‍රමයක් පරීක්ෂා නොකර ස්ථාවර වෙන්න, දැඩි වෙන්න ඉඩ දුන්නොත්, එය නොයෙක් ආකාර හිංසනයන් සුළු ජාතිකයන් මත, අප සමාජයේ ජීවත් වන වෙනස් වෙනස් ජීවිත ගත කරන මිනිසුන් මත ඇති කළ හැකියි.මේ නිසා අපි අර සංස්කෘතිය කියන වචනේ ඇතුලෙ තියන මේ අභ්‍යන්තරික නිර්මාණශීලී ගතිකත්වයට එකිනෙක තරග කරන තුරු එකම සංකල්පය තුළම මේ තරග කරන ස්වභාවයට දිරි දෙන්නට අවශ්‍යයි.

ඒ නිසා අපි කලා ක්ෂේත්‍ර තුළ අලු‍තින් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන පුනරුදය කියන්නෙ කුමක්ද? අද අප කතා කරමින් සිටින අඩවියේ පුනරුදයක් පිලිබඳ අවංක කැපවීමක් තිබෙනවනම් පුරවැසියෝ විදිහට අපිටත්, කලාකාරයෝ විදිහටත්, සැප්තැම්බර් 22 වෙනිදා අපි ආරම්භ කරන පුනරුද රජයක් ලෙස අපිට වගකීමක් තිබෙනවා, අලු‍තෙන් සැකැසීමත අපේ යුගය සඳහා අපේ සියලු‍ ක්ෂේත්‍ර අලු‍තෙන් සැකසීම පිලිබඳ වගකීමත ඊට දිරි දීම. සංස්කෘතිය කියල කියන්නෙ අනන්‍යතාවයේ එක අඩවියක්. අපේ සංස්කෘතික ප්‍රතිපත්තියේ එය ඉතා පැහැදිලිව ලියා තිබෙනවා. අපේ රට සංස්කෘතීන් ගණනාවකට අයත් මනුෂ්‍යයන් ජීවත් වෙන, ජන වර්ග ජීවත් වෙන රටක්. ප්‍රධාන කණ්ඩායම විදිහට බෞද්ධයෝ ඉන්නවා. බෞද්ධ යැයි කියන සංස්කෘතීන් ඇතුලෙත් නොයෙක් සංස්කෘතික විවිධතා, නම්නතා තිබෙනවා. මේ අනන්‍යතා අප කාටත් වැදගත්. ඒ අනන්‍යතා පිළිගැනීම අපේ සංස්කෘතික ප්‍රතිපත්තියේ වැදගත් අංගයක්. ඒ විතරක් නොවෙයි, අපේ සංස්කෘතියයි අපේ කිසිවකු, අපේ යම් ප්‍රජාවක් දැනට බාරගෙන තිබෙන සංස්කෘතික රාමුව ඇතුලෙ, යම් කෙනෙක්, යම් ප්‍රජාවක්, යම් ජන කණ්ඩායමක් සදාතනිකව සිරවී සිටිනු දැකීම, එසේ සිරවීම ඉවසා සිටීමත් අපේ සංස්කෘතික ප්‍රතිපත්තිය නෙවෙයි.

සංස්කෘතික අනන්‍යතා කියන්නෙ සංස්කරණය වෙමින් වෙනස් වෙමින් පරිනාමය වන දෙයක්. උදාහරණයක් හැටියට ගත්තොත් මම උපදිනකොට මම සිංහල. මම බෞද්ධ. මම ලංකාවේ ගැමි කෙනෙක්. නමුත් ඔබ අමතමින් මේ වේදිකාවේ මා පෙනී සිටින්නේ මගේ මෑත කාලීන ජීවිතයේ මා වැඩියෙන්ම ආඩම්බර අනන්‍යතාව වෙනුවෙන්. එනම් මාලිමා ක්‍රියාධරයෙක් කියන අනන්‍යතාවත ජාතික ජන බලවේගයේ ක්‍රියාධරයෙක් කියන අනන්‍යතාව. මාගේ උපතින් ලැබුණු ඒ අනන්‍යතා කීපය, ජාතිය, ආගම, භාෂාව කියන අනන්‍යතාවල සිරවී නොසිට මා තවත් අනන්‍යතා ගණනාවක් අත්පත් කරගත්ත මගේ මේ ජීවිත කාලය තුළථ ලේඛකයෙක්, විචාරකයෙක්, කෙටිකතාකරුවෙක් යනාදී වශයෙන්. මෙහි වාඩි වී සිටින ඔබ සියලු‍ දෙනාම උපතින් ඔබට ලැබුණු ඒ අනන්‍යතා ඉක්මවා ඒ අනන්‍යතාවලට ගරු කරන අතරම, අලු‍ත් වැදගත් අනන්‍යතා, කලාකරුවන් හැටියට, නලු‍නිලියන් හැටියට, සිනමා අධ්‍යක්ෂකවරුන් හැටියට, සිත්තරුන් හැටියට, අලු‍ත් අනන්‍යතා උකහාගත් අය. මේ අනන්‍යතා උකහාගැනීම හුදෙක් අනන්‍යතා රාමු විතරක් නොවෙයි අනන්‍යතා ඇඳුමක් විතරක් නෙවෙයි. අප ඒ උකහාගත් කලාකාර අනන්‍යතාව, මහාචාර්ය සෞම්‍ය ලියනගේ උකහාගත් ඒ මහාචාර්ය අනන්‍යතාව, නළු අනන්‍යතාව ඔහු ආත්ම ප්‍රකාශනය සඳහා භාවිත කරන මෙවලමක්. ඔහු සමාජය හමුවේ පෙනී සිටින ආකෘතියක්, මෙවලමක්.

අපිට අවශ්‍ය ජාතික ජන බලවේගයේ සමස්ත ප්‍රතිපත්ති මාලාවත් සංස්කෘතික ප්‍රතිපත්ති මාලාවත් සැකසී තිබෙන්නේ, අපේ ජනරජයේ ඉපදෙන දරුවන්, ඒ දරුවන් ඉපදෙන්නේ කොයි පවුලටද, කොයි ගමේද මොන ආර්ථික පසුබිමේද කියන එක නොසලකා, අලු‍ත්, ප්‍රීතිමත් ඔවුන් ආශාවෙන් අපේක්ෂා කරන අනන්‍යතා උකහා ගැනීමට දිරිදෙන සමාජයක් නිර්මාණය කිරීමටයි. සංස්කෘතික ක්ෂේත්‍රයේ අපි මෙවැනි දේවල් ගැන කතා කරන්නේ, මෙවැනි ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ එවැනි පසුබිමක සිටයි. නෝනාවරුනි මහත්වරුනි මා කීවාක් මෙන් මනුෂ්‍ය ජීවිතය පුද්ගලිකවත්, සාමූහිකවත්, විකසිත, පූර්ණ මනුෂ්‍ය සංවර්ධනය සහිත සමාජයක් යැයි අපට කිව හැක්කේ අපේ සාමාජික මනුෂ්‍යයන් ඔවුන්ගේ ඒක පුද්ගල කාලය තුළ කොපමණ අලංකාරයට, කොපමණ ලස්සනට අලු‍ත් අනන්‍යතා උකහාගෙන ප්‍රීතිමත්, සෞඛ්‍ය සම්පන්න දීප්තිමත් පුරවැසියන් හැටියට ලෝකය හමුවේ පෙනී සිටිනවාද කියන කාරණය අනුවයි. එවැනි අවකාශයක් නිර්මාණය කිරීම තමයි ජාතික ජන බලවේගයේ සංස්කෘතික පමණක් නොවෙයි සියලු‍ ප්‍රතිපත්ති වල අරමුණ. මේ අරමුණ නියෝජනය කරන අපේ නායකත්වයේ එළඹුම තමයි දැන් මේ සිද්ධ වෙන්නෙ ඒ නිසා අනුර කුමාර දිසානායක සහෝදරයා තව ස්වල්ප වේලාවකින් මේ වේදිකාවට පිලිගනිමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ජය වේවා.

*මහාචාර්ය අමරකීරිතිගේ දේශණය පිටපත් කිරීම සහ සංසකරණය හිංමන්සි දෙහිගම විසිනි.

Latest comments

  • 0
    0

    මේ මොකක්ද මේ යකා මේ කියන්නේ?
    මෙයා කියනවා, “සංස්කෘතික අනන්‍යතා කියන්නෙ සංස්කරණය වෙමින් වෙනස් වෙමින් පරිනාමය වන දෙයක්. උදාහරණයක් හැටියට ගත්තොත් මම උපදිනකොට මම සිංහල. මම බෞද්ධ. මම ලංකාවේ ගැමි කෙනෙක්. නමුත් ඔබ අමතමින් මේ වේදිකාවේ මා පෙනී සිටින්නේ මගේ මෑත කාලීන ජීවිතයේ මා වැඩියෙන්ම ආඩම්බර අනන්‍යතාව වෙනුවෙන්. එනම් මාලිමා ක්‍රියාධරයෙක් කියන අනන්‍යතාවත ජාතික ජන බලවේගයේ ක්‍රියාධරයෙක් කියන අනන්‍යතාව.”
    මේ කතාව එක අතකට භයානකයි. අනිත් අතට හාස්‍යජනකයි. මොකක් හරි පක්ෂයක ක්‍රියාකාරී ගැත්තෙක් වෙන එක සංස්කෘතික අනන්‍යතාවයක් වෙන්නේ කොහොමද?
    මේ කතාව සම්පූරණයෙන්ම වැරදියි. සංස්කෘතික අනන්‍යතාවය කියන්නේ වෙනස් වෙන දෙයක් නෙමෙයි. සංස්කෘත වටිනාකම් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කාර්මීකරණය, වෙනත් රටකට සංක්‍රමණය වීම හෝ ගෝලීයකරණය නිසා සංස්කෘතික වටිනාකම් ඒ විදිහටම පවත්වා ගෙන යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එහෙම වුනා කියලා කෙනෙකුගේ සංස්කෘතික අනන්‍යතාවය නැති වෙන්නේ නැහැ. මෙයා කියනව වගේ ඕනේ කමින් අතහැරියොත් මිසක්.
    මෙයා මේ කියන්නේ මෙයා කළා වගේ සිංහල බෞද්ධ කම අත හරින්න කියලා. මේ වගේ දේවල් කියලා තමයි 1971 සහ 1989 සිංහල බෞද්ධ විශ්ව විද්‍යාල දරුවෝ අනාගමික හිස් මිනිසුන් කරලා ඔවුන් අතට ආයුධ දීල මිනී මැරෙව්වේ.
    1/5

    • 0
      0

      මෙයා මේ ප්‍රචාරය කරන්නේ විප්ලවීය අදහස්. මේ අදහස් ප්‍රජාතාන්ත්‍රික සමාජයකට ගැලපෙන්නේ නැහැ. ප්‍රජාතාන්ත්‍රික සමාජයක, සෑම කෙනෙකුටම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය පවත්වා ගෙන යන්න නිදහස තියෙනවා. ආගම කියන්නේ සංස්කෘතික අනන්‍යතාවයේ මුදුන් මල්කඩ. ආගමක් නැතුව සංස්කෘතියක් පවතින්නේ නැහැ.
      මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය හෙවත් ජේවීපී එක බලයට ආවොත් සිංහල බෞද්ධ කියන ජාතිය තහනම් කරන බවට පූර්ව නිමිත්තක් මේ කතාව. අපේ සියලු සංස්කෘතික අංග වෙසක්, පොසොන්, පෙරහැර, අවුරුදු සැමරුම් මේ සියල්ල තහනම් කරලා, බලහත්කාරයෙන් අපේ සංස්කෘතික අනන්‍යතාවය අපෙන් ඉවත් කරනවා. සංස්කෘතික අනන්‍යතාවය නැති කලාම පන්සල් අභාවයට යනවා. ජාතික උරුමය වලපල්ලට යනවා. 2024න් පස්සේ සිංහල කියලා ජාතියක් නැති වෙනවා. බෞද්ධ කියලා ආගමක් නැති වෙනවා. මෙයා කියනව වගේ ඊට පස්සේ තියෙන්නේ එක ජාතියයි. එක ආගමයි. ඒ තමයි මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය නමැති ජාතිය සහ ආගම. ඊට පස්සේ වෙන පක්ෂ වලට ඉඩක් නැහැ. හේතුව ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නේ නැහැ. හරිම භයානකයි.
      2/5

      • 0
        0

        ඊළඟට මේ කියන කතාවත් වැරදියි.
        මෙයා කියනවා 1. “සංස්කෘතිය කියන වචනය අපි සංස්කෘත භාෂාවේන් ගත්තත් ර්‍ණසංස්කරණය” ලද කියන තේරුම තියනව.” 2. ඒ නිසා සංස්කෘතිය කියන වචනය ඇතුලෙ සංස්කරණයත්, සංරක්ෂණයත්, යළි සැකසීමත් කියන මේ දෙකම තිබෙනවා.”
        මේ කතාවත් සම්පූරණයෙන්ම වැරදියි. “සංස්කෘත” කියන වචනය හැදුනේ “සම්ස්කෘත” කියන වචනයෙන්. . නිරුක්තිමය ව්‍යුත්පන්නය හෝ නිරුක්ති මූලයට අනුව “කෘත” කිව්වේ “කාර්යය” හෝ “ක්‍රියාව” කියන එක. “සම්” හෝ “සම්ස්” කියලා කිව්වේ ශිෂ්ඨ, සුශිෂ්ඨ, විනීත, සුවිනීත කියන අදහස. වෙනත් විදිහකට කියනව නම් සංස්කෘතිය යනු විනීත, ශිෂ්ඨ සම්පන්න ආකාරයට ක්‍රියා කිරීම හෝ සංස්කෘතිය විසින් මිනිසා ශිෂ්ඨ සම්පන්න, විනීත පුද්ගලයෙකු කරනවා කියන එක.
        මෙයා කියන විදිහට, ජාතිය (සිංහල), ආගම (බුදු දහම) අත හැරිය ගමන් හෙවත් සංස්කෘතික අනන්‍යතාවය අත හැරිය ගමන් මිනිස්සු අවිනීත, අශිෂ්ඨ මිනිස්සු වෙනවා. එහෙම මිනිස්සු ප්‍රශ්න විසඳන්න ආයුධ අතට ගන්නවා. මිනී මරනවා. කන්න නැත්නම් මංකොල්ල කනවා. අනුන්ගේ දේ උදුරා ගන්නවා. බලය, ආයුධ සහ බලහත්කාරකම විසින් යුක්තිය සහ සාධාරණත්වය යටපත් කරනවා. තවත් ලියන්න පුළුවන්. මේක තමයි මෙයා කියන විදිහට සංස්කෘතික අනන්‍යතාවය “සංස්කරණය” කළහම වෙන්නේ.
        3/5

        • 0
          0

          මේ ජනාධිපතිවරණය සිංහල බෞද්ධ ජාතියට ඇදපු මර උගුලක්. මිනිස්සු කාට ඡන්දෙ දැම්මත් වැටෙන්නේ මාලිමාවට. ඡන්ද පෙට්ටි පස්සෙන් ගියාට වැඩක් වැඩක් වෙන්නේ නැහැ. බරපතල ඡන්ද වංචාවකට සැලැස්ම හදලා ඉවරයි. කාටවත් මුකුත් කරන්න හෝ කියන්න බැහැ. වංචාව ඔප්පු කරන්නත් බැහැ. හේතුව ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්නේ කොම්පැනියක්. ඡන්ද ගණන් කලාට පස්සේ ඒ ඡන්ද “සංස්කරණය” කරලා අවසාන ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්නේ කොම්පැනියක්. මේක මාස ගානක ඉඳලා කරපු සැලසුමක්. අවසාන ඡන්ද මංකොල්ලය නීත්‍යානුකූල කරන්න තමයි බස් වලින් මිනිස්සු ඇදලා රැස්වීම් පිරෙව්වේ. ඊට පස්සේ කිව්වා ඡන්ද කෝටියකට වඩා හම්බ වෙනවා කියලා. එච්චර විශ්වාසෙන් කියන්නේ ඡන්දය මංකොල්ල කෑමේ සැලැස්ම 100%ක් විශ්වාස නිසා.
          මම ආයෙම කියනවා, මිනිස්සු කාට ඡන්දෙ දැම්මත් වැටෙන්නේ මාලිමාවට. අවසාන සැලැස්ම සිංහල බෞද්ධ රට සිංහලයට නැති කිරීම. බුදු දහම තහනම් වීම. රට දෙකඩ කිරීම. විකිපීඩියා වෙබ් අඩවිය කියනවා අවුරුදු 75,000කට ඉස්සෙල්ල ලංකාවේ මිනිස් ජනාවාස තිබුනා කියලා. දැන්, දැන්, හංගපු, විකෘති කරපු අපේ ඉතිහාසය එලියට එනවා. එහෙම වෙලාවක තමයි මාලිමාව අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය “සංස්කරණය” කරන්න යන්නේ. මාලිමාව හදන්නේ ඒ ඉතිහාසය වෙනස් කරන්න. පේරාදෙණිය විශ්ව විද්‍යාලය දැනටම හොර මහා වංශයක් අපේ ඉතිහාසය විදිහට යුනෙස්කෝවට ඇතුල් කරලා.
          4/5

          • 0
            0

            අවුරුදු 450ක් තිස්සේත් සුදු අධිරාජ්‍යවාදීන්ට කරන්න බැරි වෙච්ච දේ සිංහල බෞද්ධ ඡන්ද වලින්ම කරන්නයි මාලිමාවේ සැලැස්ම. ඇයි? රටේ බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධයෝ. ඔවුන්ගේ ඡන්ද නැතුව රාජ්‍ය බලය ගන්න බැහැ.
            ඡන්දෙට ඉදිරිපත් වුනු කිසිම අපේක්ෂකයෙක් සිංහල බෞද්ධ ඉතිහාසය, සිංහල බෞද්ධ උරුමය, සිංහල බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කරනවා කියලා පොරොන්දුවක් දීල නැහැ. ඇයි? ඒ තරමට විශ්වාසයි ඡන්ද ලැබෙනවා කියලා.
            මාලිමාවේ උගුලෙන් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවද? නැහැ. හේතුව කාට ඡන්දෙ දැම්මත් වැටෙන්නේ මාලිමාවට. කටු ගෑ ඡන්ද පවා අවසානයේ ඔවුන්ට වැටෙන්න පුළුවන්. තියෙන එකම විදිය ඡන්දය වර්ජනය කරන එක. සියයට 70ක් සිංහල බෞද්ධයා ඡන්දය වර්ජනය කලොත්, ඇත්තටම හේතුවක් තියෙනවා එහෙම කරන්න. කිසිම අපේක්ෂකයෙක් ගැන විශ්වාසයක් නැත්නම්, ඡන්දය නොදී ඉන්න ඡන්ද දායකයට අයිතියක් තියෙනවා. ඡන්දය කියන්නේ කැමැත්ත ප්‍රකාශ කිරීම. කැමැත්ත බලෙන් හෝ වංචාවෙන් ගැනීම ප්‍රජාතන්ත්‍රවාදීත් නැහැ. නීත්‍යානුකූලත් නැහැ.
            5/5

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.