Colombo Telegraph

අපි හොඳට ගුටි කන්න නියමිතයි

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ගුටිකෑමට නියමිතයි නාට්‍යය තිලක් නන්දන හෙට්ටිආරච්චිගේ දෙවන නාට්‍ය නිර්මාණයයි. මේ නාට්‍යය විශිෂ්ට නාට්‍යයක්ද යන්න සාකච්ඡුා කරන්නට පෙර එක වැදගත් දෙයක් කිව යුතුය. එය ලංකාවේ මධ්‍යම පාන්තික කලා රසිකයාට කණ පැලෙන්න අභියෝග කරන නාට්‍යයකි. ඒ නිසා මම ඊට කැමැත්තෙමි. මේ ලිපිය ඒ නාට්‍යය ගැන විචාරයක් නොවේ. ඒ නාට්‍යය මගින් පුරවැසියන් ලෙස අපේ ස්වභාවය ගැන නාට්‍යකරුවා කරන නිරීක්ෂණය ගැන පොඩි රචනයකි.

ලංකාවේ මධ්‍යම පාන්තික කලා රසිකත්වය සාපේක්ෂ වශයෙන් විචිත‍්‍ර එකකි. විවිධ සාහිත්‍ය සංස්කෘතිවලින් පරිවර්තිත සාහිත්‍ය කෘති වෙත විශාල ඉල්ලූමක් තිබීමෙන් එය පෙනේ. මෑතක් වනතුරුම ජනප‍්‍රියම සාහිත්‍ය වූයේත් පරිවර්තිත කෘති යැයි කියනු ලැබේ. එහෙත් අප කරන්නේ ඒ විවිධාකාර කෘති සහ ඒවායේ එන චින්තනය අපේ කිසිම සංස්කෘතික හෝ සමාජ ප‍්‍රතිසංස්කරණයක් උදෙසා යොදා නොගෙන ඉතා පහසුවෙන් අපේ පොත් රාක්කයේ තබා ගැනීමයි. ඕනෑම එකක් අපේ රාක්කයේ තබා ගෙන අප දැන් සිටින විදියටම සිටීම අතින් අපි මාර දක්ෂ මිනිස්සු වෙමු.

කාන්තාරයේ කුසුම අපේ ප‍්‍රියතම කෘතියකි. එහි පිටපත් 27000 ක් විකිණුන බව එහි ප‍්‍රකාශකයාම කිව්වේය. ඇතැම් අපි‍්‍රකානු ඉස්ලාම් කණ්ඩායම්වල ස්ත‍්‍රී හිංසනය ගැන අනේ අපොයි කියමු. එහෙත් එතරම් දරුණු නොවුණත් අප අතර පවතින ස්ත‍්‍රී හිංසනයන් ගැන කිසිම ප‍්‍රතිසංස්කරණ කතිකාවක් නොකරමු. ලිංගික වශයෙන් පරිණත ස්ත‍්‍රීන් පමණක් නොව ළදැරියන්ට පවා අප කරන ලිංගික හා අනිකුත් හිංසන ගැන කතා කළොත් එය දේශද්‍රෝහිකමකි. ඒ පිරිමියා රණවිරුවෙකු හෝ දේශපේ‍්‍රමී දේශපාලකයෙකු වුවහොත් ඔහුට විරුද්ධව කතා කිරීම බටහිර කුමන්ත‍්‍රණයක් විය හැකිය. අප කාන්තාරයේ කුසුම කියවන්නේ ස්ත‍්‍රී ලිංග ඡේදනය රූපයක් සේ ගෙන අපේ සංස්කෘතිය තුළ පවතින එවැනි ස්ත‍්‍රි විරෝධී ලක්ෂණ විචාරය කරන්නට නොවේ. භගමනි ඡේදනය යනු ඉතා දරුණු ස්ත‍්‍රි හිංසනයකි. ඒ සීමාන්තික හිංසනය ඇසුරින් අප සලකා බැලිය යුතු එතරම් සීමාන්තික නැතත් එවැනි ස්ත‍්‍රී හිංසනයන් අප අතරත් ඇතිද යන්නයි. එවැනි පරීක්ෂාවකට අප යොමුනොවන්නේ නම් කාන්තාරයේ කුසුම අපේ පොත් රාක්කයට එකතු වුවත් අපේ විඥානයේ වර්ධනයට කිසිවක් නොකරයි. ඒ නිසා දවසින් දවස නොයෙක් පන්ති හා සමාජ පසුබිම්වලට අයත් පිරිමින් කරන ස්ත‍්‍රී හිංසනයන් අපට වාර්තා වෙයි.

කලාව සම්බන්ධයෙන්ද තත්ත්වය එසේය. ඕනෑම කලාවක් රසවිඳ පැත්තකට වී සිටීමට අපි මාර දක්ෂයෝ වෙමු. ඒ කලාවෙන් ලැබෙන ඥානමය වර්ධනය මත පිහිටා පරිවර්තනීය දේශපාලන ක‍්‍රියාකාරකම්වල යෙදීම අපේ පුරුද්ද නොවේ. එසේ කිරීම ද්‍රෝහීකමකි. එවැන්නකට තැත් කරන දේශපාලාන ව්‍යාපාර ද්‍රෝහී සංවිධාන යැයි කියනු ලැබේ.

තිලක් නන්දන හෙට්ටිආරච්චි සිය නාට්‍යයෙන් අපේ අකර්මණ්‍ය පේ‍්‍රක්ෂකයාට අභියෝග කරයි. නාට්‍යයේ පසුබිම අපූරුය. දුර්ලභ පරිකල්පනයක ඵලයකි. නාට්‍යය ඇරඹෙන විට අප බලා සිටින්නේ කඩන ලද පාන් ගෙඩියක ඇතුළ දෙසය. ඒ පාන්ගෙඩිය ඇතුළෙහි ගුල්ලෙකි; බීඩි කොටකි; දාඩිය බින්දුවකි. මේ තිදෙනාටම පුද්ගලත්ව ආරෝපණය කර නාට්‍යයකට නංවා ඇත. මේ චරිත තුන අතර නාට්‍යමය වින්‍යාසයක් වර්ධනය නොවුණත් ඒ ඔවුන් තමන් පාන්ගෙඩිය තුළට ආ කතාව ඔවුහු අපට කියති. උදේසිරි වික‍්‍රමරත්නගේ ආත්මභාෂණ තුනේ නාට්‍යවලදී නොමැති අන්තර්ක‍්‍රියාවක් මේ තිදෙනා අතර සිදුවේ. ඒ වගේම මේ තිදෙනා සහ නාට්‍යයේ අධ්‍යක්ෂක හෙට්ටිආරච්චි අතරත් අන්තර්ක‍්‍රියා සිදු වේ. අතිදක්ෂ තරුණ විචාරකයෙකු වන ධනුක බණ්ඩාර සැප්තැම්බර් 7 වැනිද සිලොන් ටුඬේ පුවත්පතට ලියූ ලිපියෙහි තර්ක කළාක් මෙන්ම මේ නාට්‍යය බ්‍රෙෂ්ටියානු දුරස්ථීකරණය නිර්මාණශීලි ලෙස භාවිත කිරීමක් සේද දකින්නට පුළුවන.

නාට්‍යකරුවා මේ තිදෙනා වෙත පුද්ගලත්වය ආරෝපණය කරන්නේ ඉතා අපූරුවටය. බීඩිකොටය පාන් ගෙඩිය තුළට ආ කතාව හරි අපූරුය. දාඩිය බින්දුවේ කටහ`ඩ ඔස්සේ මිනිස් ශිෂ්ටාචාරය සහ දාඩිය අතර සම්බන්ධය ගැන කතා කෙරේ. අප අපේ දාඩිය වෙනුවෙන් අයිතිවාසිකම් ඉල්ලීම නවතා ඇති නිසා දාඩිය බින්දුව කතා කරන්නට පටන් ගෙන ඇත. ගුල්ලා තමාගේ ගුලූත්වයේ අනන්‍යතාව පාන් ගෙඩිය තුළ නොපෙනී යාමට එරෙහිව කතා කරයි. එහෙත් ඔහු වැටී ඇති වල වින්දනය කිරීමට නැඹුරුවක් දක්වයි.

වටහාගත හැකි ලෙසම මේ අපේ ලෝකයේ තත්ත්වයක් මේ තිදෙනාගේ ලෝකය වෙත ප‍්‍රක්ෂේපණය කොට අපට බලන්නට සැලැස්වීමකි.

නාට්‍යයේ වඩාම නිර්මාණශීලී කොටස මේ නාට්‍යය පේ‍්‍රක්ෂකයන් වන අපට කරන අභියෝගයයි. පාන් ගෙඩිය ඇතුළේ සිට මේ තිදෙනා කරන කතා ආසාවෙන්ද හිනාවෙමින්ද අප බලා සිටින අතර කවුරුහරි මනුෂ්‍යයෙක් ඒ පාන් ගෙඩිය කන්නට සූදානම් වෙයි. අපි තවදුරටත් බලා සිටිමු. කතාව රසවත් හෙයිනි. දැන් පාන් ඒ මනුෂ්‍යයාගේ ආහාරය බවට පත් වූ විට දාඩිය, බින්දුව, ගුල්ලා සහ බීඩි කොටේ ඒ මනුෂ්‍යයාගේ ආහාර මාර්ග පද්ධතිය දිගේ ගමන් කිරීම අරඹයි. අපි තවදුරටත් බලා සිටිමු. මේ තිදෙනා දැන් ඒ ආහාර පද්ධතියෙන් එළියට එන්නේ මලපහ ගොඩක් ලෙසටය. අපි තවත් බලා සිටිමු. ලස්සන කක්කා කෑල්ලක් වැටේදැයි බලා සිටින පේ‍්‍රක්ෂකයාගේ බැල්මේ අශිෂ්ටත්වය අපටද දැනීයාම ඇ`ග හිිරි වැටෙන අත්දැකීමකි.

දාඩිය බින්දුව ලෙස ර`ගපාන ඩබ්ලියු ජයසිරි මධ්‍යම පාන්තික කලා රසිකයා හමුවේ ප‍්‍රථම වරට දැවැන්ත අභියෝගයක් තබයි. ‘තමුසෙලා අපිව ගූ බෙට්ටක් වෙනකල්ද බලං ඉන්නෙ?’ ගූ බෙට්ට යන වචනය මුලින්ම ඇසෙන විට සුසාධිත කලාවේ මධ්‍යම පාන්තික පේ‍්‍රක්ෂකයා තිගැස්සෙයි. අශිෂ්ට වචනයක් කියවුණු කලෙක මෙනි. එහෙත් මේ චරිත තුනේ කතාව ඔස්සේ නාට්‍යකරුවා අපට කියන්නේ අකර්මණ්‍යයව බලා සිටින පේ‍්‍රක්ෂකයන්ගේ අවසනාවන්ත තත්ත්වයයි. අපි ගූ බෙටිවලටත් වඩා නොවටිනා එහෙත් ප‍්‍රබුද්ධ පේ‍්‍රක්ෂකයෝ වෙමුද? තමන් වැටී ඇති හිරගෙදරින් නිදහස් වීමට අකමැතිව පාන්ගෙඩිය තුළ සිරවී සිටින ගුල්ලාගේ සහ බීඩිකොටයේ ස්වභාවය අපේ ස්වභාවයට සමානය.

මේ නාට්‍යයෙන් කාටිසියානු ප‍්‍රවාදය ආපසු හැරවේ. ඩෙකාට් කීවේ ‘මම සිතමි ඒ නිසා මම පවතිමි’ යනුවෙනි. මනස කේන්ද්‍ර කරගත් තාර්කික චින්තනය මිනිස්භාවයේ කේන්ද්‍රය යැයි ඉන් කියවිණ. මේ නාට්‍යයේ එන ආදර්ශපාඨය නම් ”මම නොසිතමි; ඒ නිසා පවතිමි” ඉන් අදහස් වන්නේ බුද්ධිමය අකර්මණ්‍ය බව පැවත්මේ කේන්ද්‍රය බවයි. මේ නාට්‍ය බලන පේ‍්‍රක්ෂකයා එනම් ලාංකික කලා රසිකයා නොසිතීම නිසා පැවැත්ම සාදාගන්නා අකර්මණ්‍ය පුරවැසියෙක්ද? අකර්මණ්‍ය කෙනෙකුට නියම පුරවැසියෙකු විය හැකිද?

Back to Home page