Colombo Telegraph

පාප්වහන්සේගේ සමාජ චින්නය සහ රැඩිකල් ක්‍රියාකාරීත්වය

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

අති උතුම් පාප්වහන්සේ පැමිණ ගියේය. උන්වහන්සේ ගැන පුවත්පත්වල පළ වූ දේවල උන්වහන්සේගේ නියම බුද්ධිමය සහ ආචාර ධාර්මික පෞරුෂය අඩංගු නොවිණැයි මට සිතිණ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යනු අපගේ අවධානයට ලක් විය යුතු අදහස් ප්‍රකාශ කර ඇති කෙනෙකි. එසේම සෑහෙන විකල්ප පූජක ජිවිතයක් ගෙවමින් සමාජ සාධාරණය පිණිස ක්‍රියාකාරී වූ කෙනෙකි. නූතන අසමබර ලෝකය ගැන ගැඹුරු දේශපාලන අවබෝධයක් ඇති කෙනෙකි. උන්වහන්සේගේ ජීවිතයෙහි එම අංශය අපට මගහැරුණේ කෙසේද?ලංකාවේ කතෝලික සසුනෙහි සමාජ-දේශපාලන සංවේදීකමින් යුතු උගත් පියවරුන් සහ මෑණිවරුන් අපමණ සිටිද්දී සමාජ සංවේදී ආගමික නායකයෙකු සේ පාප්වහන්සේගේ අගය මග හැරී ගියේ ඇයි? බෞද්ධයෙකු වන මා වැන්නෙකු පාප්වහන්සේගේ අදහස් ගැන ලියන්නට යාමෙන් බොහෝ වැරදි සිදුවිය හැකිය යන අනතුරු ඇගවීම මා වෙතින්ම පැන නැග එද්දී පවා උන්වහන්සේ විසින් ලියන ලද The Joy of Gospel කෘතියේ එන අදහස් කීපයක් ගැන මේ සටහන ලියන්නේ ඒ අදහස් අන්තර්-ආගමික සංවාදය වර්ධනය කර ගැනීමට වැදගත් දායකත්වයක් කරන බැවිනි.

පිටු දෙසීයක් පමණ වන මේ කෘතිය පරිච්ඡේද පහකින් යුතුය. ඒ සෑම පරිච්ඡේදයක්ම පාහේ ගණනින් විවිධ වූ උපපරිච්ඡේදවලට බෙදී ඇත. ඒ උපපරිච්ඡේදද ඇතුළු සමස්ත කෘතියම අංකනය කරන ලද කොටස් 280කට වෙන් කර ඇත. සමස්ත කෘතියම තනි තේමාවක් යටතේ සංවිධානය වී ඇති නමුත් යට කී ලෙස අංකනය කරන ලද කොටස් ස්වාධීනව වුවද කියවන්නට පුළුවන. මා මේ කෙටි සටහනින් තැත් කරන්නේ එසේ අංකනය කරන ලද කොටස් කීපයක අඩංගු දේ පාඨක අවධානයට ලක් කිරීමටය.

අසමබර ලෝකයක ආචාරධර්ම

මෙම කෘතියේ ප්‍රධාන තේමාව නම් ගෝලීය ධනවාදය විසින් අසමබර හා අසමතුලිත කරන ලද ලෝකයක පීඩිත මනුෂ්‍යයන් වෙනුවෙන් කිතුණු දේව සේවකයන්ගේ කාර්ය කුමක් විය යුතුද යන්නයි. පාප් වහන්සේ ආගමක නායකයෙකි. ඒ නිසා උන්වහන්සේගෙන් නූතන විප්ලවවාදියෙකුගේ වැඩපිළිවෙලක් අපේක්ෂා කළ නොහැකිය. දේශපාලන දෘෂ්ටියකින් බලන කල උන්වහන්සේගේ අදහස්වල සීමා තිබිය හැකිය. මගේ අරමුණ අප රටෙහි සංචාරය කර අද(15) නික්ම ගිය උන්වහන්සේ නූතන ලෝකයේ ගැටලු වෙත එළඹෙන්නට දරා ඇති උත්සාහය ගැන යමක් හෙළි කිරීමය. එසේම අතිශය ගතානුගතික ආගමික සංස්ථාවක් පවා කාලයාගේ ඇවෑමෙන්ද ඒ සංස්ථාව තුළ සහ පිටත සිටින චින්තකයන්ගේ බලපෑමෙන්ද වෙනස්කම්වලට ලක් විය හැකි සැටි දකින්නටද මේ කෘතියෙන් එළිය ලැබේ.

උන්වහන්සේ සිය කෘතිය ආරම්භ කරන්නේ පරිභෝජනවාදය යනු ලෝ වැසියා හමුවේ ඇති විශාලම අනතුර බව කියමිනි. ඒ පරිභෝජනවාදයේ උපත උන්වහන්සේ විසින් ස්ථානගත කෙරෙන්නේ මිනිසාගේ මසුරු හදවත වෙතය. මොටවුණු හෘද සාක්ෂියෙන්ද යුතුව නොවැදගත් ප්‍රීතීන් පසුපස උමතුවකින් මෙන් ලුහුබැඳ යන මිනිසාට තමා සමග පෘතුවිය මත වසන අනෙක් මිනිසා නොපෙනී යයි. අපේ අභ්‍යන්තරික ජීවිතයද අපේම ආශාවන් සහ අපටම වැදගත් දේවල්ද ගැන පමණක් අප අවධානය යොමු කරන විට අනෙකා වෙනුවෙනුත් දුප්පතා වෙනුවෙනුත් අප තුළ ඉඩක් නැති වී යයි. අප අභ්‍යන්තරයෙන් පැන නැග එන මේ ස්වභාවය නූතන ධනවාදය විසින් පෝෂණය කරනු ලබයි. මේ නිසා පීඩිත අනෙකා නිදහස් කර ගැනීම වෙනුවෙන් දෙවියන් සමග අලුත් ගිවිසුමකට යා යුතු යැයි පාප් වහන්සේ කිතුණු ජනයාට කියයි. උන්වහන්සේ යෝජනා කරන මේ ගිවිසුම සැලකිය යුතු තරම් සමාජ-දේශපාලන අර්ථ ඇත්තකි. “අපේ දේවස්ථාන ගොඩනැගිලිවලට වී අකර්මණ්‍යව නොසිට”සමාජය වෙතයාම අවශ්‍ය යැයි ලතින් ඇමරිකානු බිෂොප්වරුන් තේරුම් ගත්තේ යැයි උන්වහන්සේ එක් තැනක කියයි. පාප් වහන්සේගේ මෙම කෘතිය සමාජවාදී සම්ප්‍රදායේ සහ ලිබරල් සම්ප්‍රදායේ නූතන ලෞකික චින්තනයෙන්ද ප්‍රතිසංස්කරණවාදී ආගමික ආචාරධාර්මික චින්තනයෙන්ද එළිය ලද කෘතියකි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දුප්පතා වෙනුවෙන් සේවය පිණිස සමාජය වෙත යා යුතු යැයි කියන්නේ පසුගිය අවුරුදු පන්සීයක තරම් කාලය තුළ යටත්විජිතවාදය පිළිබඳ සැලකිය යුතු විචාරාත්මකභාවයකින් බවද පෙනේ. යුරෝපීය යටත්විජිතවාදය සමග ක්‍රිස්තියානි ධර්මය සහ පල්ලිය එක්වී නිර්-යුරෝපීය සංස්කෘතීන් ශිෂ්ටාචාරකරණය කිරීම අතිශය හිංසක ව්‍යාපෘතියක් විය. පාප්වහන්සේ උපන් ඇමරිකා මහාද්වීපයට යුරෝපීය යටත්විජිතවාදය විසින් කරන ලද විනාශය සුළුපටු නැත. එහිදී පල්ලිය සිටියේ යටත්විජිතවාදියා සමග සම්මුතිගතවය යන්න ඇත්තකි. ඒ අතරම බොහෝ කතෝලික සහ ක්‍රිස්තියානි දේව සේවකයෝ යටත්විජිතවාදියාට එරෙහිව පීඩිතයාගේ පාර්ශ්වය ගත් අවස්ථා ඇත. ඇතැම් ජෙසුයිට් පියවරු පීඩිත ජනයා වෙනුවෙන් සටන් කළ අවස්ථා කොතෙකුත් ඇත. ඒ නිසා යුරෝපීය යටත් විජිතවාදය යනු කතෝලික දේවසේවකයන්ගේ සම්පූර්ණ අනුග්‍රහය ඇතිව පැවතියකියි ගැනීම සම්පූර්ණ ඇත්ත නොවේ. ඒ ඉතිහාසය ඉතා සංකීර්ණ එකකි. අනෙක් අතට යටත්විජිතවාදය වැනි හිංසක දේශපාලන ව්‍යාපෘතියක් සමග සම්බන්ධ වුණු ඕනෑම ආගමක් ඒ හිංසනය සමග සම්මුතිගතවීම සිදුවිය හැක්කකි. කෙසේ වෙතත් ප්‍රැන්සිස් පාප්වහන්සේගේ කෘතියෙන් පෙනෙන්නේ එකී යටතවිජිත ඉතිහාසය තුළ ක්‍රිස්තියානි ආගමික සංස්ථාව ඉටු කළ කාර්යභාරය ගැන විචාරාත්මක අවබෝධයක් උන්වහන්සේට ඇති බවයි.

පාප් වහන්සේගේ කෘතියෙහි දෙවැනි පරිච්ඡේදය දේශපාලනික වශයෙන් වඩාත්ම සවිඥානක පරිඡ්චේදයයි. එහි එක් තැනක උන්වහන්සේගේ මෙවැනි තර්කයක් කරයි: ඝාතනය නොකළ යුතු බව දස පනතෙහි එයි. මෙය මනුෂ්‍ය ජීවිතයෙහි වටිනාකම ආරක්ෂා කිරීම උදෙසා පැහැදිලි සීමාකරණයක් ඇති කරයි. අද මේ ශික්ෂාපදය අලුතින් වටහා ගත යුතුව ඇත. ඇතැම් මනුෂ්‍යයන් බැහැර කරන සහ අසමානතාව ඇති කරන ආර්ථිකයට එරෙහිවත් අප ශික්ෂා පද පැනවිය යුතුය. එවැනි ආර්ථිකයකින් කෙරෙන්නේද මනුෂ්‍ය ඝාතනයකි. දහස් ගණන් මනුෂ්‍යයන් අයහපත් කාලගුණයට අනාවරණය වීමෙන් මිය යාම නූතන ජනමාධ්‍යයට ප්‍රවෘත්තියක් නොවුණද කොටස් වෙළඳපොළ ප්‍රතිශත දෙකකින් පහළයාම වැදගත් ප්‍රවෘත්තියකි. මින් පෙනෙන්නේ භයානක බැහැර කිරීමක් මිස අන් කුමක්ද?

පාප්වහන්සේ තවදුරටත් මෙසේද කියති: අද සියල්ල සිදුවන්නේ තරගය සහ ශක්තිවන්තයා ජයගැනීමේ නියාමය අනුවය. ඉන් සිදුවන්නේ බලය ඇති අය බලය නැති අය භක්ෂණය කරමින් තරවීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දහස් ගණන් ජනයා ලෝක ආර්ථික පද්ධතියෙන් බැහැර කරනු ලැබ රැකියා නැතිව, ජීවන අවස්ථාවලින් තොරව, කිසිම ගැලවීමේ මාර්ගයක් නැතිව දුක් විඳිති.

පාචිච්චියෙන් පසු විසි කිරීමේ සංස්කෘතිය

පරිභෝජන භාණ්ඩ ලෝකය පුරා පාවිච්චියෙන් පසු ඉවත දැමීමේ සංස්කෘතිය පැතිර යමින් පවතී. මනුෂ්‍යයන් පවා පාවිච්චි කොට ඉවත දමන තත්වයට පත්ව ඇත. මෙය පෙර කල අප භාවිත කළ සූරාකෑම සහ මර්දනය යන සංකල්පවලින් වටහා ගත නොහැකි අලුත් තත්ත්වයකි. මෙසේ බැහැර කරන ලද මනුෂ්‍යයාට තමන් ජීවත් වන සමාජයේ කොටසක්වීමේ අවස්ථාව වත් නැත. සූරාකෑමට සහ මර්දනයට ලක්වීමට පවා පළමුවෙන්ම අදාළ සමාජයේ කොටසක් විය යුතුය. මේ අලුත් ලෝකය තුළ බැහැර කරන ලද මිනිසාට ඒ අවස්ථාව පවා නැත. ඒ අනිසා බැහැර කරන ලද මනුෂ්‍යා යනු හුදෙක් සූරාකනු ලැබූවෙක් නොවේ. බැහැර කරන ලද නැතිනම් වැඩකට නැති කෙනෙකි. ඔහුට හෝ ඇයට සූරාකන සහ මර්දනය කරනු ලබන ක්‍රමයක පවා පවතින්නට ඉඩක් නැත.

මෙම සංදර්භය තුළ තාමත් ඇතැම් අය නිදහස් වෙළඳපොළ මගින් දිරිදෙන ලද ආර්ථික වර්ධනය පිළිබ‍ඳ පහළට කාන්දු වීමේ න්‍යායන් ගැන තවමත් විස්වාසය තබති. එනම් ආර්ථික වර්ධනය ඇති වූ විට එය සමාජය දුප්පත් කොටස් වෙතද කාන්දු වී ඔවුන්ගේ ජීවිතය වෙතද සංවර්ධනය ගෙන එන්නේය යන අදහසයි. එමගින් ඒ දුප්පතුන්ද ඇතුළත් කරගන්නා වූ සාධාරණ ලෝකයක් ඇති වේ යැයි මේ අය සිතති. මේ තර්කය කවදාවත් සාක්ෂි විසින් ඔප්පු කරන ලද්දක් නොවේ. එහෙත් මෙයින් කෙරෙන්නේ ආර්ථික බලය දරණ අයගේ යහපත් බවත් මිනිසා පෙළන ආර්ථික පද්ධතියක් ගැනත් බොළඳ ලෙස විශ්වාස කිරීමයි. එසේ විස්වාස කරමින් අපි අනෙකා බැහැර කරනසුලු ජීවන විලාසිතා හඹා යමු. මේ ස‍ඳහාම අනෙකා කෙරෙහි අසංවේදී ගෝලීයකරණයක්ද පහළ වී ඇත. මේ නිසා අපටත් නොදැනීම අපි දුප්පතාගේ විලාපය කෙරෙහි අංසවේදී වූද ඔවුන්ට උපාකාර කළ යුතු යැයි නොහැගෙන්නාවූද පිරිසක් බවට පත් වී සිටිමු. අපටත් නොදැනීම අපි දයාගුණ වැඩීමෙහි අසමත් මනුෂ්‍යයන් බවට පත් වී සිටිමු.

අති උතුම් ෆ්‍රැන්සිසි පාප්වහන්සේ තව දුරටත් මෙසේ කියති:

ආර්ථික සමෘද්ධිය පිළිබඳ සංස්කෘතිය විසින් අප මළ කඳන් බවට පත් කර ඇත. මිලදී ගැනීමට අලුත් යමක් වෙළඳපොළ විසින් අප හමුවේ තබන විට අපි කුල්මත් වෙමු. මේ අතර ජීවන අවස්ථා නැතිව දුක්ඛිතභාවයට ඇද වැටුණු අයගේ ජීවිත හුදු සංදර්ශනයක් සේ අපට පෙනේ. ඒ දර්ශනය අප භාවමය වශයෙන් අවදි කරන්නට අසමත් වෙයි.

මේ තත්වයට එක් හේතුවක් නම් මුදල සමග අපේ සම්බන්ධයයි. අප මතද අපේ සමාජ මතද මුදල දරණ ආධිපත්‍යය අපි සන්සුන්ව ඉවසමු. අද ලෝකයේ ඇති ආර්ථික අර්බුදයෙහි ආරම්භය කුමක්දැයි අපි නොදකිමු. එහි නියම ආරම්භය නම් මුදලට වඩා මනුෂ්‍යාගේ මූලිකත්වය සහ වැදගත්කම වටහා ගන්න අපි අසමත්වීමයි. අද අප ජීවත්වන ලෝකයේ මිනිසා ඔහුගේ එකම එක අවශ්‍යතාවක් වෙතට පමණක් ඌණනය කර ඇත. ඒ අවශ්‍යතාව නම් පරිභෝජනයයි.

අති උතුම් පාප් වහන්සේ සිය කෘතියේදී පරිභෝජනවාදය දරුණු ලෙස විචාරය කරන්නේ පරිභෝජනය යනු මිනිසාගේ එක් කුඩා අවශ්‍යතාවක් පමණක් බව කියමිනි. එය නම් අපූරු ඇත්තකි. පරිභෝජනයට අමතරව නිදහස, අධ්‍යාපනය, බුද්ධිමය වර්ධනය, භාවමය පෝෂණය, අනික් මනුෂ්‍යා සමග ගැඹුරු ආශ්‍රය, ආචාර ධාර්මික පරිකල්පනය ආදී බොහෝ දේ මිනිසාට අවශ්‍යය වේ. නූතන ධනවාදී පරිභෝජනවාදය විසින් ඒ සියල්ල පරිභෝජනය මගින්ම ලබා ගැනීමට මිනිසාට බල කරනු ලැබ තිබේ. මේ වූකලි තම ජීවිතයේ සියලු වටිනා දේවල් ණයට ගන්නා ඇඳුම් පැළඳුම්වලින් පමණක් ලබා ගැනීමට බල කරන ලද එමා බොවාරිගේ ජීවිතයට වඩා අතිශය නිර්දය තත්ත්වයකි.

පාප් වහන්සේ මේ දකින හැටියට වර්තමාන ගෝලීය ආර්ථිකය තුළ ඉතා සුළු පිරිසකගේ ආදායම් පුදුමාකාර විදියට වර්ධනය වන අතර ඔවුන් භුක්ති විඳින සෞභාග්‍යයෙන් අතිශය බහුතර දෙනා පිටමං කරනු ලබති. මේ දෙපිරිස අතර පරතරය විශාල වශයෙන් වර්ධනය වේ. මේ තත්වය ඇති වන්නේ වෙළඳපොළද පරම නිදහස දිය යුතුය කියන දෘෂ්ටිවාද නිසාය. මේ තත්ත්වයට විශාල පරිමාණ දූෂණ වංචාද ආදායම් බදු පැහැර හැරීම්ද එක් වූ විට තත්ත්වය තවත් නරක අතට හැරේ.

පවතින ධනවාදී ගෝලීය ආර්ථික-දේශපාලන ක්‍රමය තුළ බල තණ්හාව සහ වස්තු තණ්හාවට කිසිම සීමා මායිමක් නැත.

මිනිසාට සේවය කිරීම වෙනුවට මිනිසා පාලනයට නතු කරන මූල්‍ය පද්ධතියට මිනිසා වෙනුවෙන් සාධාරණය ඉටු කළ නොහැකි නිසා එවැනි මූල්‍ය පද්ධතියක් ප්‍රතික්ශේප කළ යුතු යැයි කියන පාප් වහන්සේ එවැනි ආර්ථිකයක් විසින් ආචාරධර්මද සලකනු ලබන්නේ මිනිසාට හතුරු දෙයක් ලෙස යැයිද කියයි. මේ වූකලි සිත්ගන්නා නිරීක්ෂණයකි. ආර්ථික වර්ධනය පමණක් ඉලක්ක කරගත් ධනවාදය විසින් බොහෝ විට ආචාර්ධාර්මික තර්කනය සලකනු ලබන්නේ දියුණුවට හතුරු දෙයක් ලෙසය. මේ නිසා පාප්වහන්සේ තර්ක කරන්නේ නූතන ආර්ථික පද්ධතීන් පොදු මිනිස් යහපත පිළිබඳ ආචාරධාර්මික තර්කනය වෙත විවෘත කිරීම දේශපාලන නායකයන්ගේ වගකීම බවයි. මුදල් විසින් කරනු ලැබිය යුත්තේ මිනිසාට සේවය කිරීම විනා මිනිසා පාලනය කිරීම නොවන බව පාප් වහන්සේ අවධාරණය කරයි.

ෆ්‍රැන්සිස් ෆුකුයාමා වැනි අය ඉදිරිපත් කළ “ඉතිහාසයේ අවසානය” සංකල්පය වෙත ඉගි කරන පාප් වහන්සේ පෙන්වා මිනිස් ඉතිහාසය අවසානයකට පැමිණ නැති බවයි. ඉතිහාසයේ අවසානය යනු ඇමරිකානු මොඩලයේ ධනවාදී ගෝලීය පද්ධතියක් වෙත සමාජය විකාශනය එතැනින් සමාජ පරිණාමය නවතින්නේ යන තර්කයයි. ෆුකුයාමාම මේ තර්කය තරමක් සංස්කරණය කළ බව කිව යුතුය. පාප් වහන්සේගේ තර්කය වන්නේ ධරණීයවූද සමාකාමී වූද සංවර්ධන සංකල්පයක් පරිකල්පනය නොකර එවැන්නක් මනුෂ්‍යයාට විස්තර නොකර දැනට පවතින පරිභෝජන-කේන්ද්‍රීය ධනවාදය මිනිස් සමාජයේ අවසන් අවස්ථාව යැයි ගැනීම වැරදි බවයි. මේ නම් විවිධ සමාජවාදී චින්තන සම්ප්‍රදායන් ටිකක් විතර හදාරා ඇති, තාමත් හදාරණ මගේද සිත්ගන්නා අදහසකි.

***

අති උතුම් පාප්වහන්සේ ලංකාවට එන විට මා මේ කෘතිය එක් වරක් කියවා උන්වහන්සේ මෙහි කරන අන්තර්-ආගමික සංවාදයේදී මෙවැනි දේවල් කියාවිදැයි බලා සිටියෙමි. එදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එවැනි කිසිම ගැඹුරක් ඇති සංවාදයකට උන්වහන්සේට සහභාගි වීමට නොහැකි විය. උන්වහන්සේ යම් යම් වැදගත් අදහස් ඉදිරිපත් කළ බව නම් ඇත්තකි. අපේ භික්ෂූන් වහන්සේලා වෙතින් එවැනි කිසිම බුද්ධිමය සූදානම්වීමක්ද නොපෙනිණ. සිවුර නිසාම තමන් පූජනීය යැයි සිතන ඇතැම් භික්ෂූන් වහන්සේලාද පාප් වහන්සේගේ සමාජ-දේශපාලන අදහස් ඇතුළත් රචනා කියවීමෙන් තමන් ජීවත් වන සමාජය බොහෝ දෙනාගේ යහපත වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙහිලා ගැඹුරු චින්තන අරගලවල යෙදෙන සැටි පරිකල්පනය කරන්නට ඉඩ ලැබෙනු ඇත.

පාප් වහන්සේට මෙරටට ආරාධනා කළ ජනාධිපතිවරයාටත් උන්වහන්සේ මෙහි එන විට සිටි ජනාධිපතිවරයාටත් සංවර්ධනය සහ ආර්ථිකය ගැන අලුතින් සිතන්නට දේවල් කියන්නට උන්වහන්සේට හැකියාව ඇත. එහෙත් උන්වහන්සේ පිටව ගියේ ඒ කිසිවක් කියන්නට අවස්ථාවක් නොලැබය. උන්වහන්සේගේ ගමනට යම් බුද්ධිමය හරයක් එක් කරන්නට නම් ලංකාවේ කතෝලික සභාව කළ යුතුව තිබුණේ පාප් වහන්සේගේ සමාජ-දේශපාලන පොතපත ලංකාවෙහිද පළ කිරීමයි. කතෝලික සභාව යනු යහමින් මුදල් හදල් ඇති ආගමික සංස්ථාවකි. පාප්වහන්සේ නම් කියන්නේ සමාජ සාධාරණය වෙනුවෙන් ක්‍රියා නොකර මුදල් පොදි ගැහීම හිංසනයක් බවයි. ආගමික සංස්ථාවක් එය කරන විට එය උත්ප්‍රසාත්මක හිංසනයකි. මේ පොතෙහි එන කරුණු ගැන පාප්වහන්සේ සමග සංවාදයක් කරන්නට අපට නොලැබුණේ ඇයි? ලංකාවේ කතෝලික සභාව උන්වහන්සේට වඩා ගතානුගතික නිසාද?

අරුතින් සරු පාප්වහන්සේගේ කෘතියෙහි එන තවත් විෂය ක්ෂේත්‍රයක් අළලා තවත් කෙටි ලිපියක් මම මතුදා ලියමි. ඕවා පල්ලි පන්සල්වලින්ම කෙරෙන තුරු බලා සිටීම ගිහියන්ට තරම් නොවේ!

Back to Home page