Colombo Telegraph

විචාරාත්මක ලෞකිකවාදය සහ රතන හිමියන්ගේ අභියෝගය

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ගරු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්ගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම් පතෙහිි සෑහෙන තරම් ප‍්‍රගතිශීලි ලක්ෂණ ඇති බව පෙනේ. මා එසේ කියන්නේ ඒ ගැන සම්පූර්ණ අධ්‍යයනයකින් තොරවය. මේ රෙජීමයට සම්බන්ධ වමේ පක්ෂවලටවත් නිශ්චිත ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කරන්නටද රාජපක්ෂ පවුලේ බලකාමය සහ ධනකාමය යන බලකණු දෙක මත රැුඳී ඇති මේ රෙජීමයට අභියෝග කරන්නටද නොහැකි විය. එවැනි සංදර්භයක රතන හිමියන්ගේ අරගලය වෙත අවධානය යොමු විය යුතුය. ගම්මන්පිල වැනි අයගේ සිංහල කේන්ද්‍රීය චින්තනය සහ වර්ගවාදී අලංකාරිකවලට වඩා වෙනස් බසකින් සහ සිහිබුද්ධියකින් කතා කරන්නට ඒ හිමියන්ට හැකියාවක් ඇති බවද පෙනේ. ඒ හිමියන් සහ පිරිවර ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පතේ ජනාධිපතිධුරයේ ඇති අසීමිත බලතල සීමා කරන්නට පියවර කිහිපයක්ම ඇත. එහි නීතියේ පාලනය ශක්තිමත් කරන්නට තුඩු දෙන කාරණාද ගණනාවක් ඇත.

නීතිමය ක‍්‍රියාවලියකින් ජනාධිපතිවරයාගේ බලය සම්බන්ධ තුලන සහ සංවරණ ඇති කිරීමට ඒ කෙටුම්පතේ ඇති කැපවීම විශාලය. දැනට පවතින විධායක ජනාධිපති ව්‍යවස්ථාව එක් පුද්ගලයෙකුගේ චින්තන නම්නතා, ඇදහිලි විශ්වාස හා කෑදරකම්වලට ඉඩ සලසන නිසා එය වැලැක්විය යුතු බව ඒ හිමියෝ මෙම කෙටුම්පත ඉදිරිපත් කළ සභාවේදීද කීවේය. එක් පුද්ගලයෙකුගේ පෞද්ගලික කේන්දරේ අනුව රටක ඉරණම තීන්දු නොවිය යුතු බවද ඒ හිමියෝ කීහ. අපේ ජනාධිපතවරයා නීතිමය තර්කනය, රාජ්‍ය පාලනය පිළිබඳ න්‍යායයන් ආදිය ඔස්සේ තීරණ ගන්නා කෙනෙකු නොවන බව අපි දැක ඇත්තෙමු. ඔහුගේ අත්වල ඇති මුදු, ඔහු මිරික මිරික ඉන්නා ගුප්ත බෝල, ඔහු වී ඇති බාරහාර, ජ්‍යෝතිෂකාරයන්ගේ අනාවැකි, දේවාලවලින් අසන්නට ලැබෙන පේන ආදිය ඔහුගේ දේශපාලන චින්තනයේ ප‍්‍රධාන මෙමවලම් බව ප‍්‍රකට කරුණකි. ඔහුගේ පාලන කාලය තුළ එවැනි ගුප්ත විද්‍යාවන් මහජන විඥානය සකස් කරන ප‍්‍රධාන චින්තන විධිය බවටද පත් විය. පත්තර, රේඩියෝ, රූපවාහිනි ආදියෙහි ජ්‍යෝතිෂකාරයන්, හදිහූනියම් ගුරුවරුන් ආදීන් ප‍්‍රධාන ජනමත නායකයන් වූයේද ඔහුගේ පාලන කාලයේදීය. ඒ චින්තන මාදිලියට වැදගත් අභියෝගයක්ද අර උත්සවයේදී රතන හිමියන් කළ කතාවේ තිබිණ. එක පුද්ගලයෙකුගේ කේන්දරේ අනුව රට නැටිය යුතු නැත බව ඒ හිමි කියන්නේ ඒ නිසාය. විධායක ජනාධිපති ධුරය හිමිව ඇත්තේ තාර්තික වූද තර්ක බුද්ධියෙන් යුතුව දේවල් කිරාමැන බැලීම වෙනුවට තමාගේ ඉරණම පිළිබඳ අතාර්කික අනාවැකි මත රඳා පවතින කෙනෙකු අත නම් එමගින් ජනාධිපතිධුරය අපයෝජනය විය හැකි බව උන්වහන්සේ අ`ගවයි.

එසේම මේ ව්‍යවස්ථා කෙටුම්පතේ මා දැනට දැක ඇති කරුණුවල කිවයුතු ආගමික ස්වරූපයක්ද නැත. භික්ෂුවක විසින් ඉදිරිපත් කර තිබුණද එය බෞද්ධ අධිපති දෘෂ්ටිවාදයක් ඉදිරිපත් කරනු වෙනුවට සෑහෙන තරම් ලෞකික වූද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ශක්තිමත් කරන්නාවූද ප‍්‍රවේශයක් ගනියි. එහිදී උන්වහන්සේ නියම දාර්ශනික බුදු දහමේ එන තර්කානුකූල ආචාරධාර්මික චින්තනයෙන් එළිය ලබා තිබේ. ඒ වූකලි බුදු දහම සිංහලයාගේ සංස්කෘතික අනන්‍යතාව වෙනුවට ආචාරධාර්මික තර්කනය ගොඩ නැගීම වෙනුවෙන් භාවිත කිරීමකි. මෙය බොදුබල සේනා වැනි ව්‍යාපාරවල නොදැකිය හැකි ගුණයකි. මෙහිදී අපට පෙනෙන්නේ හෙළ උරුමයේ රතන හිමිට වෙනස් වාම විමුක්තිකාමයක මඳ සුවඳක් රැුගත් රතන හිමි කෙනෙකි.

එමෙන්ම රජයේ වැදගත් තනතුරුවලට සුදුස්සන් පත් කිරීමේ වැදගත්කමද උන්වහන්සේ අවධාරණය කරති. විදේශ සේවයේ තනතුරුවලට කරන දේශපාලන පත්වීම් ප‍්‍රමාණය අඩු කිරීම එවැන්නකි. ජාත්‍යන්තර භාෂාවලින් හරිහැටි වැඩක් කර ගන්නට පවා බැරි අය විදේශ සේවයට පත් කෙරෙන බව මහාචාර්ය රජීව විජේසිංහද පසුගිය දා කියා තිබිණ. විදේශ සේවය පමණක් නොව අනික් ප‍්‍රධාන සේවාද දේශපාලනීකරණය වී ඇති සැටි කවුරු නොදනිත්ද? ඒ නිසා අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද වෙත මුල් තැනදී තනතුරුවලට පත් කිරීමේ සම්ප‍්‍රදායක් ඇති කිරීම හොඳය.

උන්හිටි ගමන් අවදි වී මේ කෑ ගසා වදාරන්නේ තමන් වහන්සේ තම පක්ෂයද රැුගෙන වැඩසිටි රෙජීමය තුළ කෙරුණු දහසකුත් එකක් දේශපාලන පත්වීම් ගැන දැන ගත්තේ මේ ඊයේ පෙරේදා නිසාද? හෙළ උරුමයේ ඇමති මහත්වරුන් කිසිම දේශපාලන පත්වීමක් කළේම නැද්ද? මේ හාමුදුරු නමක් වුවත් විශ්වාස නොකළ හැකි කාලයකි. සත පහකට විශ්වාස කළ නොහැකි විශාල පිරිසක් සංඝ සාසනය තුළ වැඩ වදාරති. බුද්ධ රක්ඛිත සහ සෝමාරාම දෙනමගේ කාලයේ සිටම අප දන්නා දෙයක් නම් හාමුදුරුවරුන් ආණ්ඩුවක් එක්ක තරහ වන්නේ පෞද්ගලික ලාභයක් නොලැබී ගිය විට බවය. අපේ රතන හාමුදුරුවන් ගැන එසේ සිතන්නට නොසිතෙන්නේ උන් වහන්සේ ඉදිරිපත් කර ඇති ලියවිල්ලේ ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී හරය නිසාය.

රාජ්‍යය සහ බුද්ධ සාසනය අතර අපේ රටේ පැවතී ඇති ආර්ථික දේශපාලන සම්බන්ධය ඉතා ළ`ග එකකි. ඇතැම් විට එය ඉතා අවස්ථාවාදී එකකි. රජු සහ සංඝයා යන දෙපාර්ශවයෙන්ම ඒ අවස්ථාවාදීකම ප‍්‍රකාශ වී තිබේ. නූතන දේශපාලකයා සහ නූතන සංඝයාද ඒ අවස්ථාවාදීකම නම් ගුණය පවත්වාගෙන ගොස් තිබේ. මේ කාරණය ගැන ලොරි ගණන් සාක්ෂි සැපයිය හැකිය.

ඒ නිසා අපේ රටේ බොහෝ ගිහි දේශපාලනඥයන්ගෙන්ද වමේ බලවේගවලින්ද රතන හිමියන්ට ලැබෙනු ඇත්තේ සැකය මත පදනම් වූ ප‍්‍රතිචාර වෙයි.

ව්‍යවස්ථාමය ලෞකිකක්වය යළි ඇති කිරීම හොඳය. රාජ්‍යයේ ලෞකිකත්වය පිළිබඳ තේමාව දකුණු ආසියාවේ සෑම රටකම පාහේ දීර්ඝ වශයෙන් සාකච්ඡුා වී ඇත. හිමාල් ස`ගරාවේ 2013 පළමු කාර්තුවේ පළ වූ වෙලූමෙහි රාජ්‍යයෙහි ලෞකිකත්වය පිළිබඳ හොඳ ලිපි එකතුවක් පළ විය. ඊට ලියූ මාක්ස්වාදී නැඹුරුවක් සහිත ඉතිහාසඥවරියක වන මහාචාර්ය රොමිලා තාපර් මෙසේ කීවාය: ලෞකික සමාජය ආගම යන්න සම්පූර්ණයෙන්ම නිෂ්ප‍්‍රභා කළ යුතු නැත. එසේම ලෞකික සමාජය යනු එහි චරිත ස්වභාවය තීන්දු කරන්නට ආගමික සංස්ථාවන්ට ඉඩ නොදෙන සමාජයකි. ලෞකික සමාජයක් යනු ආගම් විරෝධී සමාජයක් නොව එම සමාජයේ ක‍්‍රියාකාරිත්වය පාලනය කිරීමට ආගමට ඉඩ නොදෙන සමාජයකි.

මහාචාර්ය තාපර් දකින හැටියට ප‍්‍රජාතාන්ත‍්‍රික ලෞකික සමාජයක් යනු සියලූ පුරවැසියන්ට සමාජය සුභසාධනය ඇති කිරීම උදෙසා රැුකියා අවස්ථා සපයන සෑහෙන තරම් සාධාරණව ආදායම් නැවත බෙදා හැරීමට සලස්වන, සෞඛ්‍ය සහ අධ්‍යාපන අවස්ථා වෙත ප‍්‍රවේශ වීමට සෑම දෙනාටම සමාන ඉඩක් ඇති කරන අතර මානව අයිතිවාසිකම් සහතික කරන සමාජයකි.

රතන හිමියන්ගේ කෙටුම්පතෙහිත් හෙළ උරුමය චින්තනයේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිණිස අවශ්‍ය එකී සියලූ අංග නියම පමණින් මිශ‍්‍ර වී ඇති බවක් නොපෙනේ. එහෙත් උන්වහන්සේගේ මැදිහත්වීම සාදරයෙන් පිළිගන්නා ප‍්‍රතිචාරයක් දැක්වීම ප‍්‍රගතිශීලි කාර්යකියි පෙනේ.

Back to Home page