Colombo Telegraph

සාහිත්‍යය වැදගත් අවියක් සේ දකින අලුත් අවියක්- සිංහලෙන් එන දෙමළ කතා

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

මේ තීරුවේ සාහිත්‍යය ගැන නොලියන්නට සිතා සිටියත් පසුගිය සති කිහිපය පුරාම මගේ කියවීම්වලින් වැඩි කොටසක් සාහිත්‍යයම විය. ඒ කියවීම් අතර හමු වූ එක් වැදගත් පොතක් ගැන ටිකක් හෙමින්සැරේ ලියන්නට සිතුවෙමි.

මෑතකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපීඨයේ විෂයමාලාවට සිංහලයට පරිවර්තිත දෙමළ සාහිත්‍යය පිළිබඳ පාඨමාලාවක් හඳුන්වා දෙන ලදී. ඉන් අපේක්ෂා කෙරෙන්නේ දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාවන්ගේ ජීවිතය සහානුකම්පිකව වටහා ගන්නා සිංහල ශිෂ්‍යයන්ට දිරිදීමත් අප රට වසන ප‍්‍රධාන ප‍්‍රජාවන් අතර වඩා සියුම් අන්තර්-අවබෝධයකට සම්මාදම්වීමත්ය. පාඨමාලාව හඳුන්වා දුන් වහාම එය ජනප‍්‍රිය විය. අන්තවාදී සිංහල දේශපාලන කණ්ඩායම්වල චින්තනයට හසු නොවන සෑහෙන ශිෂ්‍ය පිරිසක් විශ්වවිද්‍යාලවල සිටීම වාසනාවකි. එවැනි පිරිසක් අනික් ප‍්‍රජාවන් අතරත් ඇතිවේවාය යන්න අපේ ප‍්‍රාර්ථනය විය යුතුය. ඒ ප‍්‍රජාවන් සියුම් ලෙස වටහා ගැනීමට තැත් කිරීම එම ප‍්‍රාර්ථනාව ක‍්‍රියාවට දැමීමකි.

ඉහත කී පාඨමාලාව උගන්වන ගුරුවරුන්ගෙන් කෙනෙකු වන මම සිංහලට පරිවර්තිත ශ‍්‍රී ලාංකේය දෙමළ සාහිත්‍යය කෘති සොයමින් සැරිසැරුවෙමි. මේ අතර හමු වූ අපූරු කතා එකතුවක නම අලූත් අවියක් වේ. එය පරිවර්තනය කර ඇත්තේ ජී ජී සරත් ආනන්දය. ඔහු තිස්සමහාරාම ප‍්‍රදේශයේ ජීවත්වන නිරහංකාර ලේඛක මහත්මයෙකි. මා ඔහු හඳුනාගත්තේ පොත කියවා දුරකථනයෙන් කතා කිරීමෙනි. ඔහු මීට කලින් කළ පරිවර්තන කෘති දෙකක්ද මා කියවා තිබිණි.

අලූත් අවියක් කෙටිකතා සංග‍්‍රහය සහ එහි එන සාහිත්‍ය දෘෂ්ටිවාදී ප‍්‍රවේශය වර්තමාන ලංකාවේ සිට කල්පනා කරන විට දැනෙන්නේ කාංසා සහගත සිතිවිලිය. මේ කතා එකතුව නියෝජනය කරන්නේ ප‍්‍රගතිශීලි සාහිත්‍යය නම් සාහිත්‍ය-දේශපාලන දෘෂ්ටිවාදයයි. විවිධාකාරයේ පීඩිත මිනිසුන් ඒ පීඩිත ව්‍යූහයන්ගෙන් ගලවා ගැනීම පිණිස ලිවීම අවශ්‍ය බව දෙමළ ලේඛකයෝ සිතුහ. ඔවුන් එහිලා ආවේශය ලැබුයේ මැක්සිම් ගෝර්කි වැනි රුසියානු ලේඛකයන්ගෙනි. 1940 දශකය තරම් ඈත කාලයක මේ සාහිත්‍ය ප‍්‍රවේශය ඔවුන් අතර තිබිණ. ප‍්‍රවීන ලේඛක නීර්වෛ පොන්නෛයන් මේ කෘතියට ලියන කෙටි පෙරවදන එහිලා සාක්ෂි සපයයි.

ආර්ථික-දේශපාලන පීඩනය පමණක් නොව කුලපීඩනය ආදී සංස්කෘතික පීඩනයන්ගෙන් නිදහස් වූ ශ‍්‍රී ලාංකික පුරුවැසියෙකු ගොඩ නැගීම පිණිස විඥානය වර්ධනය කිරීම ප‍්‍රගතිශීලි දෙමළ සාහිත්‍යයේ කාර්යයි. මෙම කෘතියෙහි සංග‍්‍රහ වන කතා වර්තමාන සාහිත්‍ය දෘෂ්ටියෙන් බලන කල ඇතැම් විට ප‍්‍රචාරකවාදීද ඇතැම් විට පීඩිතයාගේ ශක්තිය උත්කර්ෂණය කිරීම නිසා තරමක් අද්භූතද වන බව පෙනේ. එහෙත් ඒ සාහිත්‍ය ව්‍යාපාරය වුකලි අප නැවත හදාළ එකකි. වර්තමානයේ සිට බලන කල මේ කතාවල සාහිත්යික විශිෂ්ටත්වය සෑම විටෙකම නොතිබෙන්නට ඉඩ ඇත. එහෙත් එක් යුගයක දෙමළ භාෂක වියත් සමාජය ලංකාව නමැති රට හා ඒ තුළ තම ජීවිතය පරිකල්පනය කළ ආකාරය ගැන වටිනා සමාජ-සංස්කෘතික අන්තර්දෘෂ්ටීන් මේ කතාවල අඩංගු වේ.

එස් සිවඥානසුන්දරම්, එස් ගණේෂලිංගම්, කාවලූර් රාසතුෙරෙ, අ. න. කන්දසාමි, කේ ගණේෂ්, නීර්වෛ පොන්නෛයන්, බෙනඩික්ට් බාලන්, සි වි වේලූපිල්ෙලෙ, දික්වැල්ලේ කමාල්, එන් කේ රගුනාදන්, කේ ඩැනියෙල්, අබ්දුස් සමදු යන ලේඛක ලේඛිකාවන්ගේ කෙටිකතා මෙම කෘතියෙහි සංග‍්‍රහ වේ. ඒ නම් අපේ සිංහල පාඨකයන්ගේ ඇසට කණට හුරුවනු දැකීමේ ආසාවෙන් ඒවා මෙහි දැක්වූවා මිස ඔවුන්ගේ කතා සියල්ල ගැන සාකච්ඡුා කරන්නට මෙහි ඉඩ නැත.

මේ කතා මාලාව තුළ ලංකාවේ දෙමළ භාෂක ජනයාගේ විවිධාකාර අත්දැකීම් අඩංගුවේ. භූගෝලීය වශයෙන් ඒවා ලංකාව පුරා විසිර ඇත. දෙමළ ලේඛකයෙකු ලියූ එක් කතාවක පසුබිම මහනුවරයි. මෙහි එන කතාවල ඇතැම් කතුවරයෙකු දැන් වසන්නේ කැනඩාවේය. ඔවුහු අසූ තුනේ කළබලවලින් පසු රට අත්හැර පිරිසට අයිති වෙති. ඇතැම් ලේඛයෙක් දැන් ජීවතුන් අතර නොසිටිති. බෙනඩික්ට් බාලන් නම් ප‍්‍රකට ලේඛකයා ගැන පරිවර්තක ලියා ඇති සටහනක එන මේ කොටස මා සිත කම්පනය කළේය: “බාලන් 1983 ජනවාර්ගික අර්බුදයේදී දැඩිපීඩාවට පත් වූ ලේඛකයෙකි. ඔහු දැඩි උනන්දුවකින් එක්රැුස් කර තිබූ ඔහුගේ වටිනා ලේඛන සියල්ලද සමග ඔහුගේ නිවස ගිනිබත් විය. එහෙත් ඔහු සිංහල-දමිළ ජනතාව අතර ක්‍රෝධය ජනනය වන ලෙසට වචනයක් වත් ලියා නැත.”

මේ පොතේ එන කතාවලින් පෙනෙන එක් වැදගත් දෙයක් සිංහල පාඨකයාගේ විශේෂ අවධානයට ලක් විය යුතුය. ඒ නම් නොබෙදුණු ලංකාවක් තුළ සිංහලයන් සමග සමගියෙන් ජීවත්වීමටත්, මෙරට වසන සියලූ ප‍්‍රජාවන් පෙළන ආර්ථික හෝ සංස්කෘතික ව්‍යූහ ප‍්‍රතිසංස්කරණය කිරීමටත් ඔවුන් තුළ වූ ආසාවයි. සිංහල සහ දෙමළ පීඩිතයන් එක්ව සටන් කිරීම පිළිබඳ තේමාව කතා කිහිපයකම එයි. එසේම ඇතැම් සිංහල ජනයා වරප‍්‍රාසාදිත ලෙස ඉහළ සමාජය ස්ථර තුළ ස්ථානගත වීම නිසා දෙමළ මිනිසා පෙළීමට අවිඥානකව මෙන් දායක වෙන සැටිද ඇතැම් කතාවක එයි. වතු ආර්ථික ව්‍යූහය තුළ සාමාන්‍ය කම්කරුවන්ට වඩා තරමක් ඉහළ ස්ථරවල සේවය කරන දෙමළ මනුෂ්‍යයන් පීඩිත දෙමළ ජනයා පෙළන යාන්ත‍්‍රණයේ කොටසක් වී ඇති සැටිද ඇතැම් කතාවකින් පෙනේ.

වර්තමානයේ පළ වන ඇතැම් සිංහල කෙටිකතාවලට වඩා මේ කතා වෙනස් වන විශේෂ ලක්ෂණයක් නම් ඒවායෙහි එන චරිත සමාජ ඉතා පහළ තීරුවලට අයත් අය වීමයි. මෙය රුසියාවේත් ඉන්දියාවේත් ප‍්‍රගතිශීලි සාහිත්‍යයේ විශේෂ ලක්ෂණයකි. ඉන්දියාවේ ප‍්‍රගතිශීලි සාහිත්‍යයට ව්‍යාපාරයට අයත් වූ මුල්ක් රාජ් ආනන්ද් සහ මුනිෂි පේ‍්‍රම්චාන්ද්ගේ සාහිත්‍යය තුළද මේ ලක්ෂණය තිබිණ. හුදෙක් එක් පන්ති පසුබිමකට අයත් චරිත වෙතට සීමා වීම නිසා ඇතැම් ප‍්‍රගතිශීලී සාහිත්‍යය විටෙක ඒකාකාරි වන්නට ඉඩ තිබේ. එසේම පීඩිත පන්තිවල මනුෂ්‍යයන්ට ඇති විමුක්තිකාමී ශක්තිය අතිශයෝක්තියට නැගෙන්නටත් ඉඩ ඇත. මේ කතාවලද විටෙක ඒ ලක්ෂණ දැකිය හැකිය.

එහෙත් අලූත් අවියක් පොත සිංහල පාඨකයාට එක් යුගයක දෙමළ භාෂක ජනයා තමන්ගේ රට ලෙස ලංකාව පරිකල්පනය කළ ආකාරය ගැන හෙමින්සැරේ යළි සිතන්නට ඉඩ සලසයි. ඔවුන් පරිකල්පනය කළ සිංහල-දෙමළ සහෝදරත්වයෙන් යුතු ලංකාව බිහි වූයේ නැත. එහි වරද දෙමළා පිටම පටවන දෘෂ්ටිවාදී පියවරුන්ගේ චින්තනයෙහි සිංහල අපගෙන් වැඩිදෙනෙක් තාමත් සිරවී සිටිමු. මෙවැනි කෘති වැඩිවැඩියෙන් පරිවර්තනය වීමත් ඒවා ගැන කතාබහක් ඇතිවීමත් හරිම වැදගත් වන්නේ එවැනි පසුබිමකය.

Back to Home page