Colombo Telegraph

ශ‍්‍රී ලංකාවේ යුද අපරාධකරුවන්ගේ වෙස්මුහුණු ගැලවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ දෙන්න

ලූවිස් ආබර්

ලූවිස් ආබර්

ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී 40,000 ක් තරම් වන සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කෙරුණි. එසේ කෙළේ, ‘සෙන්ට‍්‍රල් පාක්’ එක තරමේ විශාලත්වයෙන් යුත් බිම් කඩකට මේ පිරිස ගාල්කොට, ඉවක්බවක් නැතිව එතැනට ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමෙනි. මේ අපරාධවලට කිසිවෙකු නීතිය ඉදිරියට පමුණුවා නැත. දැන් පවා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව තතනන්නේ එම අතීතය වළලා දැමීමටයි. එම තත්වය නිවැරදි කිරීමේ යම් හැකියාවක් ඇත්තේ ජාත්‍යන්තර පරීක්ෂණ කොමිසමකට පමණි. එනිසා, මෙවර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී එවන් පරීක්ෂණයක් ඉල්ලා සිටිය යුතුව තිබේ. එය, ලංකාවේ යුක්තිය පසිඳලීමත්, ජාතික සංහිඳියාව ඇති කිරීමත් සඳහා වන තීරණාත්මක පියවරක් වනු ඇත.

සිංහලයන් බහුතරයක් බලය හොබවන ආණ්ඩුවට එරෙහිව දෙමළ කැරලිකරුවන් නැගී සිටි 26 අවුරුදු යුද්ධය තුළ නිරන්තරයෙන් ලංකාණ්ඩුවෙන් කෙරුණු මිනිස් ඝාතන සහ අයිතිවාසිකම් උල්ලංඝණයන් සේම, සිවිල් වැසියන් ඉලක්ක කොට දෙමළ ඊලාම් කොටි සංවිධානයෙන් කෙරුණු ප‍්‍රහාරයන් සහ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන් ද, දක්නට ලැබුණි. එම කැරලිකරුවන්ව රජයේ හමුදා මගින් විනාශ කර දැමීමේ පටන්, දෙමළ ජාතිකයන් වෙසෙන උතුර පළාත පැවතී ඇත්තේ තත්වාකාර හමුදා පාලනයක් යටතේ ය. එහි දී සිවිල් වැසියන්ට එරෙහි බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් ගැන සිදුවීම් බොහොමයක් වාර්තා වී ඇත.

යුද්ධය නිමා වී පස්වැනි සංවත්සරය ළඟා වෙමින් ඇති මේ මොහොතේ ශ‍්‍ර‍්‍රී ලංකාවේ බලධාරීන් කියන්නේ, සංහිඳියා පියවර අර්ථවත් කර ගැනීම සඳහා තවත් කල් අවශ්‍ය කරන බවයි. ඒ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයකට ගියොත්, ජාතීන් තවත් භේදභින්න විය හැකි බවට ඔවුහූ තර්ක කරති. ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින සහ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව තදින් විවේචනය කරන, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මියගේ නව වාර්තාව, ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ දැඩි දෝෂ දර්ශනයට ලක්වෙයි.

ශ‍්‍ර‍්‍රී ලංකාව පිළිබඳ සොයා බලන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කණ්ඩායම වාර්තා ගණනාවක් හරහා පෙන්වා දී ඇති පරිදි, යුද්ධයෙන් පසු ආණ්ඩුව අනුගමනය කරන ප‍්‍රතිපත්තිවලින් අධිකතර අධිකාරීවාදී පාලන තන්ත‍්‍රයක් කොළඹ ගොඩනැගී ඇති අතර, දෙමළ සහ සිංහල ප‍්‍රජාවන් අතර භේදභින්නතා උග‍්‍ර කෙරෙමින්, වාර්ගික සහ ආගමික ගැටුම්වල භයානක නව දිසානතීන් විවෘත කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂඥ කණ්ඩායම සහ අපගේ වන් තවත් නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන මගින් ශ‍්‍රී ලංකා ආණ්ඩුව සේම කොටි සංවිධානය සම්බන්ධයෙනුත් ගොනු කර ඇති තොරතුරු මත, යුද අපරාධ චෝදනා පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් සහ පශ්චාත් යුද කාලීන ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ඇති කරන මෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කළ ඉල්ලීම්, මේ දක්වා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කොට තිබේ.

මානව හිමිකම් කවුන්සිලය තුළ නායකත්වයේ වාර්තාවක් ඇති ඇමරිකාව, එවැනි පරීක්ෂණයක් ඉල්ලා සිටින යෝජනාවක් ගෙන ඒමට යෝග්‍යතම සාමාජිකයා වන්නේය. කවුන්සිලයේ වෙනත් සාමාජික රටවල් ඊට පූර්ණ සහයෝගය දැක්විය යුතුව තිබේ. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නිමක් නැති මගහැරයාම් භාර ගැනීම සහ ඇමරිකානු රූපවාහිනී නාලිකාවක ද අඩ හෝරාවක් තිස්සේ ප‍්‍රදර්ශනය කළ ආණ්ඩුවේ ප‍්‍රචාරක ප‍්‍රති-තර්ක, ඔවුන් ප‍්‍රතික්ෂේප කළ යුතුව තිබේ.

ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන පන්නරය මේ වන විට ගොඩනැගෙමින් තිබේ. ජාත්‍යන්තර පරීක්ෂණ කොමිසමක් පත්කරන ලෙස ඉල්ලා, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වෙත, වර්මොන්ට් ප‍්‍රාන්ත ඩිමොක‍්‍රටික් සෙනේට් සභික පැටි‍්‍රක් ජේ. ලීහිගේ නායකත්වයෙන් යුත් සෙනේට් සභිකයන් හය දෙනෙකු මේ මස ලියා දන්වන ලදි. ඊට දින තුනකට පසු, ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා ඇමරිකානු සෙනේට් සභාවේ යෝජනාවක් සම්මත කරගන්නා ලදි. බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ද, යුරෝපා සංගමයේ වෙනත් ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් සහ ඉන්දීය නිලධාරීන් ද, ශ‍්‍රී ලංකාව මෙසේ වගවීමෙන් කල්මැරීම ඉවසන්නේ නැත. මේ අතර, යුක්තිය ඉල්ලා කෑගසන විපතට පත්වූවන්ට දක්වන ප‍්‍රතිචාරයක් වශයෙන්, ශ‍්‍රී ලංකාවේ මෑතකදී තෝරා පත්කරගත් උතුරු පළාත් සභාවත්, මේ වන විට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

එහෙත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ, මේ සියලූ ඉල්ලීම් නොසළකා හැර ඇත. ශ‍්‍රී ලංකාවම පත්කළ, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ පවා ඔහු තකන්නේ නැත. එසේම, ශ‍්‍රී ලංකාවේ අගවිනිසුරුවරියව දෝෂාභියෝගයට ලක්කිරීම මගින් අධිකරණයේත්, පොලීසියේත් ස්වාධීනත්වය ඔහු බරපතල සේ හෑල්ලූවට ලක්කොට තිබේ. මේ හේතුවෙන්, ශ‍්‍රී ලංකාවේ අධිකරණය හරහාම වගවීමේ ක‍්‍රියාවලිය තවත් ඈතට තල්ලූ කර ගැනීමේ හැකියාව දැන් ඔහුට තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි අන්තර්-රාශ්ටී‍්‍රය සංවිධානයකින් බලය ලත් පරීක්ෂණයක් මගින්, සිවිල් වැසියන් මුහුණදුන් වධහිංසා පිළිබඳ වඩාත් පරිපූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත. බරපතල සිවිල් ජීවිත අහිමි වීමක් ගැන තමන්ට වගකීමක් නැතැ යි කියන ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය, එවැන්නක් මගින් අභියෝගයට ලක්කළ හැකි වනු ඇත.

එසේම, පරාජයට පත් කොටි සංවිධානය සිදුකළ අපහරණයන් පිළිබඳ සාක්ෂි ද එවැනි පරීක්ෂණ කොමිසමක් මගින් සොයා ගත් විට, දෙමළ ජාතිකයන්ට සහ දෙමළ සංවිධානවලට ඒවා ප‍්‍රතික්ෂේප කිරීමට ඉඩක් ලැබෙන්නේ නැත. දෙමළ කැරලිකාරීත්වය නැවත පණගැනෙනු ඇතැ යි සිංහලයන් තුළ පවතින බියත්, හමුදාකරණය සහ මර්දනය සඳහා ආණ්ඩුවට අවසර සපයන්නා වූ කොටි සංවිධානය උත්කර්ෂයට නැංවීමේ දෙමළ නැමියාවත්, එවැනි පරීක්ෂණයක් මගින් කෙරෙන හෙළිදරව් කිරීම් හරහා අධෛර්යමත් කළ හැකි වනු ඇත.

යුද්ධ කාලයේ විවිධ අපහරණයන්ට ලක්වූ වින්දිතයන්ව ජාත්‍යන්තර ප‍්‍රජාව අමතක කොට නැති බව එවැනි පරීක්ෂණයක් මගින් පෙන්නුම් කළ විට, වඩාත් රැුඩිකල් පියවරයන් සඳහා කෙරෙන දෙමළ ඩයස්පෝරාවේ උද්ඝෝෂණ ඒ මගින් සමනය විය හැකි අතර, එයම, මානව හිමිකම් උල්ලංඝණයන්ට බිළි වී ඇති ලංකාවේ වාර්ගික සහ ආගමික සෑම සුළුතර ප‍්‍රජාවකටම, ආයතනගත වී ඇති කැලෑ නීතිය නිමාවක් කිරීම සඳහා පන්නරයක් ද වනු ඇත.

එවැනි පරීක්ෂණයක් මගින් ශ‍්‍රී ලංකාවේ සෑම ව්‍යාධියක්ම සුව නොවන බව ඇත්ත. වගවීම ගැන සහ ප‍්‍රජාතන්ත‍්‍රීය ආණ්ඩුකරණය ගැන රටක් වශයෙන් ලංකාව මුහුණදෙන අර්බුදය, වහා විසඳාලිය නොහැකි තරමට ඔඩුදුවා ඇත. සංකීර්ණ වී ඇත. එහෙත්, දිනෙන් දින ලියලන අධිකාරීවාදී පාලන මාදිලියත්, සිංහලයන් අතර පවතින වාර්ගික මහෝත්තමවාදය සහ දෙමළ ජනතාව අතරේ පැසවන අමනාපයත්, යහපත් අනාගතයකට තුඩුදෙන අඩුමපුඩුම නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසා, යුක්තිය පසිඳලීම සහ ජාතික සංහිඳියාව යන දෙකම, යම් දවසක ශ‍්‍රී ලංකාවේ දේශපාලන දේහය සුවපත් කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැන් අවස්ථාවක් ලැබී තිබේ. එය පාවිච්චි කළ යුතුය. දැනට එම කවුන්සිලයේ සිටින සමාජික රටවල් ගණනාවක්ම – උදාහරණයක් වශයෙන්, චිලීය, කොස්ටාරිකාව, බොට්ස්වානාව, දකුණු අප‍්‍රිකාව, සියරා ලියෝනය, මොරොක්කෝව සහ මැසඩෝනියාව වැනි රටවල්- වෙනත් මානව හිමිකම් ප‍්‍රශ්න සම්බන්ධයෙන් අතීතයේ දී පෙරමුණ ගෙන තිබේ. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ඔවුන් එසේ කළ යුතුය. ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව කරමින් සිටින්නේ කල්මැරීමේ සෙල්ලමකි. කල් යන විට ජාත්‍යන්තර ප‍්‍රජාවේ උනන්දුව ඇල්මැරී යනු ඇතැ යි ඔවුන් සිතනවා විය යුතුය. ඒ සමගම, යුක්තිය පසිඳලීමකින් තොරව, ජාතික සහජීවනය සාක්ෂාත් කරගත හැකි වෙතැ යි යන ගොරහැඩි තර්කයක් ද ඒ පසුපස තිබේ.

එහෙත් යම් විසඳුමක් සඳහා දැන් වැය කළ යුතුව ඇති වියදම, දණ්ඩනමුක්තියට (අපරාධයක් කොට ගැලවී යාමේ හැකියාවට) අද ඉඩ හැරීමෙන් ඇති විය හැකි දීර්ඝ කාලීන ගැටුම්වල හානිය සමග සැසඳීමේ දී, ඉතා අඩු එකක් බව මතක තබා ගත යුතුය.

*2014 පෙබරවාරි 28 වැනි දා ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ හි පළවූ Let The U.N. Unmask The Criminals Of Sri Lanka’s War නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page