Colombo Telegraph

‘පවතින යථාර්ථයන්’ විසින් වැඩි වැඩියෙන් තහවුරු කෙරෙන දේශපාලනික යථාර්ථවාදය

ලින් ඔකේර්ස්

ලීන් ඔකේර්ස්

අප ජීවත් වන යුගය, යම් තරමක ‘ජාත්‍යන්තර අවුලක්’ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. මේ ‘අරාජකත්වය’ ගැන වැඩි යමක් කිරීමට හැකියාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට නැති බව පැහැදිළියි. මන්ද යත්, රාජ්‍යයන්හි ස්වෛරීත්වයත්, ඒ හරහා ඇති කෙරෙන ගැටළු ගැනත් යම් ගෞරව සම්ප‍්‍රයුක්ත වීමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අපේක්ෂා කරන බැවිනි. උදාහරණයක් වශයෙන්, ත‍්‍රස්තවාදයට ආවඩන සහ ත‍්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දක්වතැයි සැක කෙරෙන රාජ්‍යයන් අරභයා, නීතිය හා සාමය වෙනුවෙන්වත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට, වැඩිම වුණොත්, කළ හැක්කේ කුමක්ද?

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඞ් මෝර්සිට සහ ලෞකික, ලිබරල් මතධාරීන්ට එරෙහිව එරටේ වත්මන් අධිකාරීවාදී අල්-සිසි පාලනය විසින් ගෙන යන යමින් තිබෙන නඩු විභාග වූ කලී, විසම්මුතික සහ විපක්ෂ මත ඉවසීමට එරට පාලකයන්ට ඇති හැකියාව සේම, ලොව පුරා ප‍්‍රජාතන්ත‍්‍රීය පරිවර්තනයක් වෙනුවෙන් ඇමරිකාව දක්වන කැපවීමත් ඉඳුරා මැණ බැලිය හැකි අගනා අවස්ථාවකි. ඊජිප්තුවේ වර්තමාන පාලනයට සහාය වන්නේ ඇමරිකාව වන නිසා එම මැණ බැලීම තවත් අර්ථවත් වෙයි. මේ අරභයා නැගිය හැකි ප‍්‍රශ්න දෙකක් තිබේ. එකක් වන්නේ, මෙකී නඩු විභාග ගැන ඇමරිකාව දක්වන ආකල්පය කුමක්ද යන්නයි. දෙවැන්න වන්නේ, එම නඩු විභාග පැවැත්වෙන්නේ ලිබරල්-ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිපත්තිවලට එරෙහිව නිසා ඊට විරෝධය දැක්වීමට ඇමරිකාව ලැහැස්තිද යන්නයි. මේ නඩු විභාගවල විත්තිකරුවන් වී සිටින්නේ, ලිබරල් සහ ලෞකික මතධාරී පිරිස් බව මෙහිදී සිහියේ තබා ගත යුතුය.

ඉහත කී දෙවැනි පැනයට දෙන පිළිතුර ‘ඔව්’ නම්, ප‍්‍රජාතන්ත‍්‍රීය වන ලෙස ඊජිප්තුවේ අල්-සිසි පාලනයට බල කරමින්, මීට වඩා ජනතා හිතවාදී දිසාවකට එය තල්ලූ කිරීමට ඇමරිකාව කටයුතු කරන්නේද යන පැනය මතු කළ යුතු වෙයි. ඒ දිසාවන් වෙතට ඊජිප්තුව යොමු කිරීමට ඇමරිකාව කටයුතු කළොත්, හුදෙක් හදිසි වාසි නොතකා තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිපත්ති වෙනුවෙන් ඇමරිකාව පෙනී සිටිතැයි කෙනෙකුට කිව හැකි වන්නේය. එබැවින් ඊජිප්තුව සම්බන්ධයෙන් ඇමරිකාව මේ අවස්ථාවේ ගන්නා ස්ථාවරය වැදගත් වෙයි.

එය අපට දැනගත හැකි වන්නේ මතුවටයි. කෙසේ වෙතත්, මානව හිමිකම් නොතැකූ අධිකාරීවාදී පාලන තන්ත‍්‍රයන්ට අනුග‍්‍රහ දැක්වීමට අතීතයේදී ඇමරිකාව පසුබට වී නැති බව සටහන් කළ යුතුව තිබේ. විශේෂයෙන්, සීතල යුද්ධ කාලයේ පැවති තත්වය එයයි. ඒ කාලයේ ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තිය තුළ ඉහළම ප‍්‍රමුඛත්වය ලැබුණේ, කොමියුනිස්ට්වාදයට එරෙහිව සටන් වැදීමටයි. ඒ නිසා, මර්දනකාරී සේ ගැනුණු රාජ්‍ය තන්ත‍්‍රයන්ට සහයෝගය පෑම ඇමරිකාව පැත්තෙන් එදා බලාපොරොත්තු විය යුත්තක්ව තිබුණි. ඒ හේතුව නිසා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ගත් විට එම රාජ්‍යයන් සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පසමිතුරු පැත්තේ වීම එදා ඇමරිකාවට ප‍්‍රශ්නයක් නොවුණි. ඊට දිය හැකි හොඳම උදාහරණ දෙකක් වන්නේ, 70 දශකයේදී ඉරානයේ ෂා රජුටත්, පිලීපීනයේ ෆර්ඩිනන්ඞ් මාකෝස්ටත් ඇමරිකාව දැක්වූ අනූපම අනුග‍්‍රහයයි.

කොමියුනිස්ට්වාදයට එරෙහි වනු වස් එදා අධිකාරීවාදී පාලන තන්ත‍්‍රයන්ට සහයෝගය පෑමට සිදුවූ ඒ හේතුව අද ඇමරිකාවට නැත. එබැවින් ඇමරිකාවේ සැබෑම පේ‍්‍රරක අභිලාෂය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයම නම්, ගෝලීය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයේ ගාමක බලය බවට ඇමරිකාව පත්විය යුතුව ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය බලාපොරොත්තු වෙයි. එසේ වෙතත්, දැනට කරුණු දිග හැරෙන ආකාරයෙන් පෙනෙන්නේ, ‘අරාබි වසන්තයේ’ සටන් පෙරමුණේ සිටි ඇතැම් රටවල් පසුකාලීනව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතෙන් බැහැර වීම ඇමරිකාවට විශාල ප‍්‍රශ්නයක් වී නැති බවකි. ලිබියාව ඊට උදාහරණයකි. මේ නිසා, මර්දනකාරී පාලකයන්ට එරෙහිව වරක් නැගී සිටි එවැනි ඇතැම් රටවල් අරභයා අනුගමනය කළ යුතු පිළිවෙත, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම මත පදනම් කරනවාට වඩා, අවස්ථාවෝචිත දේශපාලනික ඕනෑඑපාකම් මත පදනම් කිරීමට ඇමරිකාව වගබලාගන්නා බවක් කෙනෙකුට හැඟී ගියොත් එය පුදුමයක් නොවේ.

අනිත් පැත්තෙන් ගත් විට, කොමියුනිස්ට් කඳවුරේ සිටින කියුබාව සහ වියට්නාමය වැනි කලක් ඇමරිකාවේ ප‍්‍රධාන හතුරන්ව සිටි රටවල් සමග සාධනීය සම්බන්ධතා ගොඩනැගීම කෙරෙහි ඇමරිකාව යොමු වන බවත් පෙනෙන්ට තිබේ. මෙහිදී ආර්ථික සහ භෞතික කරුණු කෙරෙහි ඇමරිකාවේ අවධානය යොමු වී ඇතැයි කිව හැක. විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් එවැනි ප‍්‍රායෝගික සහ ප‍්‍රයෝජ්‍යතා ආකල්ප බලපැවැත්වීම නිසා, ‘දේශපාලනය තීන්දු වන්නේ ආර්ථික කරුණුවලින්ය’ යන මතය ශක්තිමත් වෙයි. ලෝකයේ සිදුවන මෙවැනි වෙනස්කම්, ලංකාවේ, විශේෂයෙන් වයස්ගත වෙමින් සිටින ඇතැම් ‘වම්මුන්ගේ’ සැළකිල්ලට යොමු විය යුතුව තිබේ. මන්ද යත්, ජාත්‍යන්තර සම්බන්ධතා ක්ෂේත‍්‍රය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ යථාවබෝධය සඳහා සරළ රේඛීය මානසිකත්වයකින් සිදුවීම් දෙස බැලීම හානිදායක විය හැකි බැවිනි. සත්‍යය වන්නේ, සීතල යුද්ධ කාලයේ තිබුණාට වඩා අද තත්වය අතිශයින් සංකීර්ණ වන බව ය.

ප‍්‍රයෝජ්‍යතාවාදය පිළිබඳ කතා කරන විට, ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තියත් එක්තරා දුරටක හසුරුවනු ලබන්නේ, එම ප‍්‍රයෝජ්‍යතාවාදය විසින්ම බව කිව යුතුය. ශ‍්‍රී ලංකාවේ විදේශ ඇමති මංගල සමරවීර මෑතකදී එක් පුවත්පතකට කරන ලද ප‍්‍රකාශයකට අනුව, ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තියේ කේන්ද්‍රයේ තිබෙන්නේ රටේ ජාතික අවශ්‍යතාවන් ය. ඔහු දකින විදිහට, නොබැඳි ප‍්‍රතිපත්තිය ‘යල්පැනගිය’ එකකි. වර්තමානයේදී බටහිර ලෝකයත් සමග ශ‍්‍රී ලංකාවේ සම්බන්ධතා වඩාත් මිත‍්‍රශීලි අදියරකට පත්කර ගැනීමට හැකි වී තිබෙන්නේ, මේ කියන ප‍්‍රයෝජ්‍යතාවාදයේ මහිමයෙනි. විදේශ ප‍්‍රතිපත්තියේ එවන් දිශානතියක්, මහින්ද රාජපක්ෂ පාලනය යටතේ පැවති ‘බටහිර බිල්ලාගේ’ විදේශ ප‍්‍රතිපත්තියට වඩා අත්‍යන්තයෙන් වැඩදායක ය. කෙසේ වෙතත්, සෑම රටක් කෙරෙහිම මිත‍්‍රශීලී වීමේ අරුතින් ‘නොබැඳි ප‍්‍රතිපත්තියක’ පිහිටා කටයුතු කිරීම, ශ‍්‍රී ලංකා විදේශ ප‍්‍රතිපත්තියේ මූලික පරාමිතීන් අතරින් එකක් වශයෙන් සළකා තවදුරටත් කටයුතු කිරීම කාලෝචිත ය.

අප ජීවත් වන වර්තමාන යුගය, එක්තරා දුරකට ‘අන්තර්ජාතික වියවුලකින්’ හැඩි වී ඇති බව කීම අතිශයෝක්තියක් නොවේ. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ හැකි වැඩිමනත් දෙයක් නැත. ප‍්‍රබල සුජාත භාවයක් තිබුණත්, රටක චර්යව කෙරෙහි බාහිර බලවේගවලට මැදිහත්විය හැකි සීමාවක් තිබේ. එවැනි මැදිහත් වීම් බොහෝ විට අභ්‍යන්තර කටයුතුවලට කරන ‘ඇඟිලි ගැසීම්’ වශයෙන් හෝ ‘අතපෙවීම්’ වශයෙන් ලේබල් ගැන්විය හැකිය.

කෙසේ වෙතත්, වර්තමානයේ ජාත්‍යන්තර පද්ධතිය අරක්ගෙන ඇති ‘වියවුල’ පිළිබඳ හැඟීමට ප‍්‍රධාන වශයෙන් ත‍්‍රස්තවාදය හේතු කාරක වෙයි. මෙහිදී දැකිය හැකි උත්ප‍්‍රාසය වන්නේ, එවැනි ත‍්‍රස්තවාදයක් මැඩලීම සඳහා ඇමරිකාවට තම සකල සම්පත් පාවිච්චි කිරීමටත්, තම මිත‍්‍ර පාර්ශ්වීය රටවල් ඒ සඳහා යොදා ගැනීමටත් සිදුවන්නේ, මූලික වශයෙන් එක්තරා ආකාරයක බලහත්කාරී බලපෑම් හරහා පමණක්ම වීමයි. එහෙත් එවැනි ප‍්‍රවේශයක් ලෝකයේ තිබෙන ‘බලසම්පන්නම ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන්’ බලාපොරොත්තු විය යුත්තක්ද නොවේ. උදාහරණයක් වශයෙන්, වර්තමානයේදී සෞදි අරාබියේ මෙහෙයවීම යටතේ, ‘ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය’ මගින් ‘ඉස්ලාමීය රාජ්‍යය’ දණ ගැස්වීමට ගෙන යන යුද්ධයට ඇමරිකාවත් අනුබද්ධව සිටී. මේ සන්ධානයේ අභිප‍්‍රාය වන්නේ, ‘ඉස්ලාමීය රාජ්‍යයේ’ විනාශකාරී බලය අවම කිරීමයි. එහෙත් මේ යුද්ධය මගින් ඇති කෙරෙන ප‍්‍රචණ්ඩත්වයේ නොවැළැක්විය හැකි ප‍්‍රතිවිපාක සියල්ලන්ගේ දොරකඩටම නොපැමිණෙතැයි කිව හැක්කේ කාටද?

ඒ අනතුර, ඇමරිකාව සහ ඊට සහාය දක්වන වෙනත් රටවල් නොදන්නවා නොවේ. එහෙත් එසේ වූ පමණින්, ඔවුන්ගේ හදිසි සහ මධ්‍යකාලීන ඕනෑඑපාකම් අනතුරට ලක්ව ඇති අවස්ථාවකදී ඊට ක්ෂණික ප‍්‍රතික‍්‍රියා නොදක්වා, දිග් ගැස්සෙන සාමකාමී මාර්ගයකින් ගැටුම් නිරාකරණය සඳහා උරදිය යුතු යැයි ඔවුන්ගෙන් කෙනෙකුට බලාපොරොත්තු විය නොහේ. බලය, බලශක්තිය සහ හදිසි භෞතික අවශ්‍යතා ඔවුන්ගේ එවැනි ඕනෑඑපාකම්වලින් සමහරකි. උදාහරණයක් වශයෙන්, බටහිරට අවශ්‍ය කරන තෙල් සහ වෙළඳ භාණ්ඩවලින් විශාල ප‍්‍රමාණයක් නැව්ගත කෙරෙන්නේ, ගල්ෆ් කලාපයෙනි. තවද, අධික තෙල් සම්පත සම්බන්ධයෙන් ගත් විට, ඉරාකය කවදත් බටහිරට විශාල වැදගත්කමක් ඇති රටක් විය. තමන්ගේ උපාය මාර්ගික සහ වෙනත් ඕනෑඑපාකම් බොහොමයක් සපයා ගන්නා මාර්ගවලට ‘ඉස්ලාමීය රාජ්‍යය’ හෝ වෙනත් හතුරෙකු අකුල් හෙලීම බටහිර විසින් නොඉවසනු ඇත. එයාකාරයෙන්ම, බටහිර හිතවාදී බලතුලනයක් උතුරු අප‍්‍රිකාවේ පවත්වා ගැනීම සඳහා සහාය දෙන ඊජිප්තුව වැනි රටක සිදු වන ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ප‍්‍රවණතා ගැන අහක බලාගෙන සිටීමටත් බටහිරට සිදුවනු ඇත.

මේ අනුව, වර්තමාන ජාත්‍යන්තර දේශපාලනය දෙස ‘දේශපාලනික යථාර්ථවාදයට’ පිටින් බැලීම කළ නොහැකි දෙයකි. වර්තමානයේදී ඇමරිකාව සහ එහි මිත‍්‍ර රටවලට ඔවුන්ගේ ජාතික ඕනෑඑපාකම් ආරක්ෂා කර ගැනීම සඳහා බලහත්කාරය පාවිච්චි කිරීමට බල කෙරී ඇත්නම්, ඒ ගැන හුදෙක් පරමාදර්ශී කෝණයකින් විඥානවාදීව නිරීක්ෂණය කිරීම නිරර්ථක ය. ඒ මගින්, ලෝක දේශපාලන තලයේ සිදුවෙමින් පවතින වෙනස්කම් වටහා ගැනීමට ඔහුට නොහැකි වන්නේය. කෙසේ වෙතත්, බලය පාවිච්චි කිරීම නිසා ‘අරාජකත්වය’ සහ ‘වියවුල’ බෝ වෙන බවත්, ඒ මගින් බරපතල ජාත්‍යන්තර අස්ථාවරත්වයකට මග කැපිය හැකි බවත් මතක තබාගත යුතුය.

*2015 මැයි 27 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “Political Realism Increasingly Validated by Ground Realities” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය‘යහපාලනය ලංකා’ 

Back to Home page