Colombo Telegraph

විළිලැජ්ජා නැති රහස

එම්. ඒ. සුමන්දිරන්

එම්. ඒ. සුමන්දිරන්

සියයකට වඩා මිනිසුන්ගේ ඇටසැකිලි සොයාගැනීමේ සිද්ධිය කාලයක සිට මාධ්‍යයේ ප‍්‍රධාන මාතෘකාව වී ඇත. මේවා, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැුල්ල සමයේ ඝාතනයට ලක්වූවන් සඟවා දැමූ මිනී වළවල් බව දැන් පැහැදිළි යි. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ බවට කිසි සැකයක් නැති මේ අපරාධ ගැන සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කිරීම, ඒ අපරාධවලට වගකිවයුත්තන් ආරක්ෂා කිරීම සඳහා මිස වෙන කිසිවක් සඳහා නොවන බව, ඊටත් වඩා පැහැදිළියි.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා යනු, යුක්ති ධර්මය පිළිබඳ සකල අපේක්ෂා වළලන අතරේ, ඒ ගැන මතුවන ජාත්‍යන්තර සහ ජාතික උද්ඝෝෂණ වෙලාවේ හැටියට සමනය කර ගැනීම සඳහා නිහීන ආකාරයෙන් යොදාගැනෙන ක‍්‍රමවේදයකි. මෙසේ පත්කෙරෙන කොමිසමක බල වරම, සංයුතිය, වියපැහැදම්, නිල කාලය සහ කාර්ය මණ්ඩලය අරභයා පූර්ණ බලය දරණ ජනාධිපතිවරයාම, මෙවැනි කොමිෂන් සභා ක‍්‍රියාකාරීව පාලනය කරන්නේය. එවන් කොමිසමක වාර්තා ප‍්‍රසිද්ධ නොකර සිටීමට ජනාධිපතිවරයාට පිළිවන. රටට සහ සමාජයට දැනෙන මෙලෝ ප‍්‍රතිඵලයක් නැති කොමිෂන් සභාවල නාමාවලිය දීර්ඝ ය. එසේම, ඒවායේ අවසන් වාර්තා ප‍්‍රසිද්ධියට පත්නොකළ නාමාවලිය ද ඒ තරමටම දීර්ඝ ය. බරපතල මානව හිමිකම් අපහරණ සිදුවීම් 17 ක් පිළිබඳව සොයා බැලීමට පත්කළ උදලාගම කොමිසම 2009 ජුනි මාසයේ දී අත්හිටුවන ලදි. එම කොමිසමේ වාර්තාව කිසි දවසක ප‍්‍රසිද්ධියට පත්කෙළේ ද නැත. බලහත්කාර අතුරුදහන් කැරැුවීම් ගැන සොයා බැලීමට පත්කළ මහානාම කොමිෂන් සභාවේ වාර්තාව ද තවමත් ආගිය අතක් නැත.

ජනාධිපතිවරයා විසින් කොමිෂන් වාර්තාවක් ප‍්‍රසිද්ධියට පත්කරනු ලැබූවත්, එම වාර්තාවේ නිර්දේශ මත කිසි පියවරක් ගැනීමට ජනාධිපතිවරයා බැඳී නැත. ඒ නිසා, කොමිෂන් සභාවක් පත්කිරීමේ අරුත කුමක් දැ යි සාධාරණව කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකිය. සංජය කුමාර් එදිරිව හර්යානා නඩුවේ දී දෙන ලද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රභවාත්මක තීන්දුව තුළ, විමර්ශන කොමිෂන් සභා ගැන අධිකරණය මෙසේ කීය: ‘‘විමර්ශන කොමිෂන් සභාවල ප‍්‍රධාන දුර්වලතාව වන්නේ, අතීත අත්දැකීම් මගින් පෙන්නුම් කර ඇති පරිදි, ඒවාට අවශ්‍ය තරම් බලතල නැති කමයි. එසේම, ස්වකීය ක‍්‍රියාකාරීත්වය සඳහා ඒවාට රාජ්‍ය අනුග‍්‍රහය මත යැපීමට සිදුවීම තවත් දුර්වලතාවකි. මේ කොමිෂන් සභා ඕනෑවට වඩා කාලයක් දිග් ගැස්සෙයි. ඒ මදිවාට, අවසානයේ ඉදිරිපත් කෙරෙන වාර්තාව අනුව කටයුතු කිරීමට රජය බැඳී ඇත්තේ ද නැත. විටෙක බොහෝ උත්සව ශ‍්‍රීයෙන් මහජන සහභාගීත්වය සහ පාරදෘෂ්‍ය භාවය යටතේ මේ කොමිෂන් සභා කටයුතු කළත්, ඒවායේ වාර්තාවලින් කිසි සේවයක් සිදුව නැත… ඉන්දියානු කොමිෂන් සභා වඩාත් ගැළපෙන්නේ, මහජන වැදගත් කමකින් යුත් ක්ෂේත‍්‍රවල නැවත නැවතත් සිදුවන වැරදීම් වළක්වාගනු වස් අවශ්‍ය කරන නීති සහ ප‍්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් අනාගතයට පාඩම් සපයන සත්‍යය නිරාවරණය කර ගැනීමේ අරමුණ සඳහා ය. වැරදිකරුවන්ට දඩුවම් කිරීමේ අරමුණ සඳහා එවැනි කොමිෂන් සභා නොගැළපෙන්නේය.’’

මාතලේ පාඩම්

එසේ නම්, මාතලෙන් උගත යුතු පාඩම් කවරේ ද? පළමුවැන්න වන්නේ, ශ‍්‍රී ලංකාවේ අද පවතින දණ්ඩමුක්තියේ සංස්කෘතිය හෙවත් දඩුවම් නොලබා වැරදි කිරීමට සහ නිදැල්ලේ වැරදි කිරීමට කෙනෙකුට ඇති හැකියාව බිඳ දැමීමයි. එම විෂම ක‍්‍රමය බිඳ දැමෙන්නේ නැතිනම්, අතීතයේ සිදුවූ තිරශ්චීන ක‍්‍රියා අනාගතයේ දීත් සිදුවනු ඇත්තේය. මෙවැනි මුරුග කම් එක ජන වර්ගයකට විතරක් පල දෙන, තවත් ජාතියක පල නොදෙන දෙයක් වශයෙන් ගිණිය යුතු නැත. මාතලේ සහ මුල්ලිවයික්කාල්, අත්‍යන්තයෙන්ම සහසම්බන්ධී ය. හරියට, කළු ජුලිය සහ පැපිලියාන මෙනි. ඒ සියලූ සිදුවීම් අතර එක සාම්‍යත්වයක් තිබේ. එනම්, රටේ පුරවැසියන්ව ආරක්ෂා කිරීමට රාජ්‍යයට ඇති නොකැමැත්ත සහ නොහැකියාවයි. ඒ සරළ යථාර්ථය= එනම්, ජනතාව ආරක්ෂා කිරීමට රාජ්‍යයට ඇති නොකැමැත්ත සහ නොහැකියාව= තමන්ගේ මානව හිමිකම් කැරැුට්ටුව පිළිබඳව ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා ඉදිරියේ තර්කයක් වශයෙන් ආණ්ඩුව එල්ලෙන රාජ්‍යයේ ‘ස්වෛරීත්වය’ නැමැති පුස්ස පුපුරුවා හරින්නකි.

නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම නිසා වැඩියෙන් විඳවන්නේ දෙමළ ප‍්‍රජාව විය හැකිය. එහෙත් වෙනත් ජාතීන්ටත් එහි ප‍්‍රතිවිපාකවලින් ගැලවී සිටීමට හැකි වන්නේ නැත. අපි ඔක්කොම එක නම්, අපි ඔක්කොම විඳවන්නේත් එකට බව, මා නොයෙක් වර පෙන්වා දී ඇති කාරණයකි. මේ දණ්ඩමුක්තියේ සංස්කෘතිය බිඳලීමට නම්, සත්‍යය, සාධාරණත්වය සහ අගතියට පත් වින්දිතයන් වෙනුවෙන් හානිපූරණයක් සිදුවන බවට වගබලාගත යුතුව තිබේ. 2009 යුද්ධාවසානයෙන් පසු, සත්‍යය සහ සාධාරණත්වය සඳහා දෙමළ ජනතාව ගෙන යන අරගලය අනිත් හැම ජාතියකම අභිවෘද්ධියටත් හේතුකාරණයක් වනු ඇත්තේ එබැවිනි. අදට වඩා වෙනස් අනාගතයක් මේ රට වෙනුවෙන් අපේක්ෂා කරන කවුරුත් ඊට සහයෝගය දැක්විය යුත්තේ එබැවිනි. මාතලේ ඝාතනය වූවන් වෙනුවෙන් සත්‍යය සහ සාධාරණත්වය ඉල්ලා අප කවුරුත් නොසැලී නැගී සිටිය යුත්තේත් එබැවිනි.

ම්ලේච්ඡුත්වයේ බිලි

දෙවැනුව, ‘වෙච්ච දේ වුණා, දැන් ඉතිං හෙටක් ගැන බලමු’ යනුවෙන් වින්දිතයන්ව සැනසීමට අපට නොහැක්කේ මන්ද යන්නත් මාතලෙන් පෙන්නුම් කෙරේ. මුලින්ම, එක හැන්දෑවක සදහටම ගෙදර නොපැමිණි සිය පුතුන් සහ සැමියන් අමතක කර දැමීමක් මව්වරුන්ගෙන් සහ භාර්යාවන්ගෙන් අපේක්ෂා කිරීමම, එවැනි ම්ලේච්ඡුත්වයන් සිදුවීමට එදා ඉඩ පෑ¥ කුරිරු භාවහීන අසංවේදීතාව ඉදිරියටත් චිරස්ථායී කිරීමකි. අතීතය සමග අව්‍යාජ ගනුදෙනුවකට නම්, වින්දිතයන් සහ ඔවුන්ගේ නෑසියන්ට ඒ පරිච්ෙඡ්දයේ නිමාව දැකිය හැකි අවකාශයක් පාදා දිය යුතුය. එය පෞද්ගලික් මෙන්ම පොදු අවකාශයක් ද වන්නේය. ප‍්‍රියයන් අහිමි වීමෙන් උපන් ශෝකයට මුහුණදීම වූ කලී, ප‍්‍රථම කම්පනය සහ එය ප‍්‍රතික්ෂේප කිරීමේ සිට, දරුණු කෝපයක් සහ අත්වූ ඉරණම භාර ගැනීම දක්වා වන පෞද්ගලික අරගලයක් වන නිසා, එම අවකාශය පෞද්ගලික ය.

එහෙත් ඒ සමගම, එය පොදු අවකාශයක් ද වන්නේය. මන්ද යත්, රාජ්‍ය යන්ත‍්‍රයේ සහ ආයතනගත හිංසනයේ වින්දිතයන්ගේ නෑසියන්ට, ඒ ම්ලේච්ඡුත්වයට වගකිවයුතු ආයතන ව්‍යුහය ප‍්‍රතිශෝධනය කොට වගවීමකට බැඳගන්නා තෙක්, තමන්ගේ ශෝකයේ නිමාවක් කිසි දවසක දැකිය නොහැකි නිසාවෙනි. කෝවිලක හෝ පල්ලියක සිය මළවුන් ගැන දුක්වීමට ඇති අවසරය අහිමි කොට ඇති, උතුරු නැගෙනහිර මර්දනකාරී හමුදාකරණය තුළ, එම පළාතේ වෙසෙන ජනතාවගේ අතීතයට නිමාවක් නොඑන්නේය. එයින් කෙරෙන්නේ හුදෙක් ගනුදෙනුව පස්සට තැබීමක් පමණි. රාජ්‍ය ආයතන, විශේෂයෙන් පොලීසිය සහ හමුදාව, ප‍්‍රතිසංවිධානය කිරීම වැදගත් වන්නේ ඒ නිසා ය.

තුන්වැනුව, මාතලෙන් කියා දෙන පාඩම වන්නේ, ම්ලේච්ඡු අපරාධ සදහට සැඟවී නොපවතින බව ය. යුද්ධයේ අවසාන වකවානුවේ දී ගත්, හද කම්පා කරවන පින්තූර සහ වීඩියෝ දර්ශන අප කවුරුත් දැක ඇත. ඒවා, මහජනයාට පෙන්වීම අරමුණු කරගත් පින්තූර නොවේ. එහෙත් දසලක්ෂ ගණන් මිනිසුන් දැන් ඒවා දැක තිබේ. ලෝකය පෙර නොවු විරූ ආකාරයෙන් එකිනෙකට ගැටගැසී ඇති තත්වය සහ නව මාධ්‍ය තාක්ෂණයේ වර්ධනයත් නිසා, ක‍්‍රීඩාවේ රෙගුලාසි වෙනසකට භාජනය වී ඇත. මීට දශක දෙකකට පෙර සිතා ගැනීමට පවා නොහැකිව තිබුණත්, අද වන විට ලෝකයේ විවිධ තැන්වල සිදුවන ම්ලේච්ඡු ක‍්‍රියා ජාතික සහ ජාත්‍යන්තර තලයේ නඩු විභාගවලට නිමිති වන සැටි අපි දකිමු. ලතින් ඇමරිකාවේ හමුදා ආඥාදායකයන්ගේ සිට ලයිබීරියාවේ චාර්ල්ස් ටේලර් සහ කාම්බෝජයේ කියු සම්පන් දක්වා ද, සර්බියාවේ මිලොසොවිච්ගේ සිට චාඞ් දේශයේ ඒකාධිපති හිසේන් ආබ්‍රේ සහ අයිවරි කෝස්ට් ජනාධිපති ලෝරන්ට් ගැග්බෝ දක්වා ද වන හිටපු බලපුලූවන්කාරයන් ඔවුන්ගේ ම්ලේච්ඡු අතීතයේ විත්තිකරුවන් වශයෙන් අධිකරණ ඉදිරියට පමුණුවනු අප දැක තිබේ. වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණදෙන ජාත්‍යන්තර කොන්වීමෙන් ගැලවීමට නම්, අපරාධකරුවන් ආරක්ෂා කරන රක්ෂාස්ථානයක් වශයෙන් ලංකාව පෙනී සිටිය යුතු නැත. ඒ අනුව, අතීතයේ කරන ලද අපරාධ සම්බන්ධයෙන් වගවීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට, ආයතනිකමය වශයෙන් ද, සදාචාරමය වශයෙන් ද, ආර්ථික සහ භූදේශපාලනික වශයෙන් ද, සෑම සාධාරණ හේතුවක්ම ඇත්තේය. කෙසේ වෙතත්, ඒ සියල්ලට වඩා, අතීතයට මුහුණදීමෙන්, අප සැබවින්ම කවුරුන් ද යන්න අපට බලාගත හැකි වනු ඇත. ලංකාවේ වෙසෙන විවිධ ජන වර්ගවල අද්විතීය ජාතික අනන්‍යතා පිළිගන්නා පොදු ශ‍්‍රී ලාංකීය අනන්‍යතාවක් ගැන විශ්වාසය තබන අප වැන්නන්ට, එම අනන්‍යතාව අර්ථවත් ආකාරයකින් ගොඩනැංවීම සඳහා අප අපවම තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය කෙරේ. දේශපාලන බලය සඳහා වන අපේ ආරෝවවලට තුඩුදී ඇති නපුර සහ කෲරත්වය අවබෝධ කර ගැනීම, ඒ සඳහා වන හොඳ ආරම්භයකි.

*Skeletons In The Closet ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page