Colombo Telegraph

ස්ත්‍රී දූෂණය: එය අපට අමතක වූ ගානයි

එම්. ඒ. සුමන්දිරන්

එම්. ඒ. සුමන්දිරන්

‘‘පොලිසිවලටයි, යාපනේ උසාවිවලටයි ගල් ගැහැව්වා. එල්.ටී.ටී.ඊ. සංවිධානේ මුලින් පටන් ගත්තෙත් ඔහොම තමයි. මේක ඉතා භයානක තත්වයක්.’’  – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ඉහත සඳහන් ප‍්‍රකාශය උපුටා දක්වන ‘ඬේලි මිරර්’ ප‍්‍රවෘත්ති වාර්තාවක්, යාපනේ සිදුවීම් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය කරන ප‍්‍රකාශයක් ගැනද වාර්තා කරයි: ‘‘මේ සිද්ධිය දඩමීමා කරගෙන, කළු කොඩි අරගෙන මාර්ග අවහිර කරමින් උතුරේ හර්තාල් පැවැත්වූ සැහැසි ජනයා පසුපස වෙනත් න්‍යාය පත‍්‍රයක් පැවති බව පැහැදිළි යැයි ජාතික හෙළ උරුමය කීවේය. එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත වර්ණසිංහ, මේ ප‍්‍රචණ්ඩ ජනයා යාපනේ සිටි සිංහලයන්ට තර්ජනය කරමින් ඔවුන්ව එම පළාතෙන් පලවා හැරීමට තැත් කෙළේ යැයි කීය. ජාතිවාදී, බෙදුම්වාදී සහ ත‍්‍රස්තවාදි කල්ලි නැවතත් හිස ඔසවමින් සිටින බවට ඔහු අනතුරු ඇඟවීය. මේ හර්තාල් පසුපස සිටි අයවළුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුවත් ආරක්ෂක අංශත් වහා පියවර ගත යුතු බව තවදුරටත් කී ඔහු, උතුරේ බෙදුම්වාදී සහ ජාතිවාදී කල්ලිවලට සිවිල් ජීවිතය කඩාකප්පල් කිරීමට ඉඩ නොතැබිය යුතු බව ද කීය.’’

2015 මැයි 22 වැනි දා පැවති පුවත්පත් සාකච්ඡුාවකදී, අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අමතා එක් මාධ්‍යවේදියෙක් ප‍්‍රශ්නයක් නැගුවේය. ‘‘අධිකරණයකට කිසි සිංහලයෙක් කවදාවත් ගල් ගසා නැති මේ ‘සිංහල රටේ’ කොටසක් වන යාපනේදී ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් දැනට ගැනෙමින් තිබෙන පියවර කවරේද’’ යන්න ඔහුගේ ප‍්‍රශ්නය විය. (අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මෙහිදී අදාළ මාධ්‍යවේදියා අමතා ඔහුගේ ප‍්‍රශ්නය ජාතිවාදී එකක් වන බවත්, මාධ්‍යවේදියෙකු වශයෙන් ඊට වඩා වගකීමකින් කටයුතු කළ බවත් ඔහුට පෙන්වා දීම සේම, ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ චිත‍්‍රයද දත්තමය වශයෙන් නිවැරදි නොවන බවත් කියා සිටීම, ප‍්‍රශංසණීය බව මෙහිදී සඳහන් කළ යුතුය).

මේ වනාහී, පාසල් යන බාළිකාවක් වූ විද්‍යා සිවලෝගනාදන්ගේ මළ සිරුර 2015 මැයි 14 වැනි දා සොයා ගැනීමෙන් දින දෙක තුනක් යන්ටත් කලින් ඇතැම් අය කරන ලද ප‍්‍රකාශයන්ගෙන් සමහරකි. විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කොට කුරිරු අන්දමින් මරා දමා තිබුණි. එහෙත්, ඉහත සඳහන් ප‍්‍රකාශ කෙරෙන්නේ, අර කී දූෂණය සහ ඝාතනය අමතකයට යට කෙරී ඇති සෙයකිනි.

ඈට කලින් එම ඉරණමටම ගොදුරු වූ තවත් අයවළුවන්ව අමතක කර දමා තිබේ. එයින්, සරණ්‍යා සෙල්වරාසා වැනි නම් ඇති අය සිටියහ. එහෙත් තව බොහෝ දෙනා නම් ගම් නොදන්නා අයවළුන් ය. මත්තටත්, ඒ අපරාධ නිර්නාමිකවම පැවතෙනු ඇත. ඔවුන්ව අමතක කළ අප, ඔහේ බලාගෙන සිටියෙමු. එසේ සිටියදී, විද්‍යාවත් දූෂණය කෙරුණි. ඝාතනය කෙරුණි.

2009 මැයි මාසයේ ගැටුම් අවසන් වීමේ පටන්, විශේෂයෙන් එදා පැවති ආණ්ඩුවේ අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක වූ හමුදා සහ පාරහමුදා කල්ලිවල ක‍්‍රියාකාරීත්වයන් හේතු කොටගෙන උතුරේ නීතිය හා සාමය ඉතා සීග‍්‍රයෙන් බිඳ වැටෙමින් තිබෙන බව, දෙමළ ජාතික සන්ධානය බොහෝ විට ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ. වැඩියත්ම, ඒ පුළුල් ප‍්‍රශ්නයේ අතුරු ඵල විපාකයක් වන උතුරේ සිදුවෙමින් පවතින ලිංගික අපහරණය පිළිබඳ බරපතල තත්වය ගැන දෙමළ ජාතික සන්ධානය නැවත නැවතත් බලධාරීන්ට අනතුරු අඟවා තිබේ. එහෙත් ඒ කිසි අනතුරු ඇඟවීමක් ගණන් ගැනුණේ නැත. එදා පැවති ආණ්ඩුව ඒවාට සවන්දීම ප‍්‍රතික්ෂේප කෙළේය. ලිංගික අපහරණය සීග‍්‍රයෙන් ඔඩුදුවමින් තිබෙන බව පවා පිළිගැනීම ප‍්‍රතික්ෂේප කෙළේය. උදා වී ඇතැ යි ඔවුන් කී ‘සංහිඳියාවක්’ පිළිබඳ මායාවක එල්ලී සිටියා විනා ඊට බැහැරින් වන කිසි සත්‍යයක් පිළිගැනීම රාජපක්ෂලා ප‍්‍රතික්ෂේප කළහ. ඊටත් වඩා, උතුරේ ජනතාව මත යකඩ අධිකාරයක් පවත්වා ගැනීමටත් අදිටන් කොට සිටි ඔවුහූ, ඒ සඳහා තමන් සන්තකයේ ඇති ඕනෑම අවියක් භාවිත කිරීමටත් සූදානමින් සිටියහ. ස්ත්‍රී දූෂණය එවන් එක් අවියකි.

ඉතිං, දූෂණයට ලක්වූ ගැහැනුන්ව අමතක කෙරුණි. දූෂණයට ලක්වීම ගැන පවතින ලජ්ජාව සහ සමාජ අපවාදය නිසා ඒ ගැන ගොළුවත රැුකීමේ සම්ප‍්‍රදාය මගින් ඔවුන්ව නිහඬ කර තැබීමට අමතරව, එවැනි ගැහැනුන්ව දැන් තවත් ආකාරයකින් නිහඬ කැරැුවුණි. ඒ, දේශපාලනයෙනි. පටු දේශපාලන වාසි තකා, ජනතා විඥානයෙන් ඔවුන්ව හිතමතාම අකමකා දැමුණි. විධිමත් වාරණයකට හෝ නීතිමය පාලනයකට නතු නොකොට, නීතිය ඉදිරියට අපරාධකරුවන් පත් නොකොට ගත වන දීර්ඝ කාලයක් තිස්සේ මේ ප‍්‍රවණතාව දිග් ගැස්සෙන විට, ස්ත්‍රී දූෂණය සහ ලිංගික අපචාරය පිළිබඳ සංස්කෘතියක් යාපන අර්ධද්වීපය තුළ පැලපදියම් විය.

ඒ අනුව, ස්ත්‍රී දූෂණය යාපනේ සාමාන්‍ය දෙයක් බවට පත්විය.

විද්‍යාව දූෂණය කෙරුණේ ඒ තතු යටතේ ය.

ඊට කලින් දූෂණයට ලක්වූ වෙනත් කාන්තාවන් සේම විද්‍යාව දූෂණය වීමත්, පටු දේශපාලය තුළ අමතක කෙරුණි. නැති බිල්ලෙු ගැන බිය වපුරමින්, ජාතිවාදී කතා පතුරුවමින්, අනේක චෝදනා නගමින් ගෙන ගිය හාහෝව තුළ, සැබවින් සිදුවුණේ කුමක්ද යන්න අපට අමතක වූ ගානයි.

එසේ අමතක වූ මූලික සත්‍යය යනු වෙන කිසිවක් නොව, වයස අවුරුදු දහඅටක තරුණියක්, දීර්ඝ ජීවිත කාලයක් තව ඉදිරියට ඉතිරිව තිබූ තරුණියක්, අමානුෂික අන්දමින් දූෂණය වූ බව සහ ඝාතනය වූ බව ය. පාසල් යමින් සිටි ඇයව පිරිමින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් සාමූහිකව දූෂණය කොට මරා දැමූ බව ය. දෙමාපියන් සහ නෑ හිතමිතුරන් හැර දා ඈ සදහටම වියෝ වූ බව ය. එම වියෝව සහ දුක පිළිබඳ මහා බර, ඇගේ සමීපතමයන් සදහටම දරා ගත යුතු බව ය.

මේ සත්‍යය අමතක කර දැමීමට බොහෝ දෙනා තීරණය කළහ.

උතුරේ ඇති වූ විරෝධතා වනාහී, මේ සහගහන අපරාධයේ කම්පාව, වියෝව සහ කෝපය හේතුවෙන් නැගුණු අව්‍යාජ වූත්, සාධාරණ වූත් නැගී සිටීමකි. ඒ සාමකාමී නැගී සිටීම තුළ, උසාවියට සහ බන්ධනාගාර රථවලට ගල් ගසා, පොලීසියට පහර දී ප‍්‍රකෝපකාරීව හැසිරීම, ඉහත කී සාමකාමී සහ සාධාරණ විරෝධය දඩමීමා කරගත් දේශපාලනික අවශ්‍යතාවක ප‍්‍රතිවිපාකයකි.

තවත් පිරිසක්, තමන්ට සුපුරුදු භීතිකාව රටේ වැපිරීම සඳහා මේ තරුණිය දූෂණය වීම සහ ඝාතනය වීම පාවිච්චියට ගනිති. ඉස්සර සේම දැනුත් ඔවුන් පාවිච්චියට ගන්නේ ‘ජාතිවාදී කලකෝලාහල’ නැමැති ඔවුන්ට සුපරුදු සටන් පාඨයයි. ඉස්සර සේම දැනුත් එය ව්‍යාජයක්ම පමණි.

මේ අතරින් වඩාත් හිත පාරන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූ ආකල්පයයි. හිටපු ජනාධිපතිවරයෙකු වශයෙන් ඊට වඩා යහපත් ප‍්‍රතිචාරයක් අපට ඔහුගෙන් ලැබිය යුතුව තිබුණි. දෙමළ ජාතික සන්ධානය සහ ජාත්‍යන්තර ප‍්‍රජාව වෙතින් සැපයුණු අනතුරු ඇඟවීම් තිබියදීත්, උතුරේ ඇති වෙමින් තිබූ නීතිය හා සාමය කඩවීමේ සහ දිනෙන් දින වර්ධනය වෙමින් තිබුණු ලිංගික අපහරණ ප‍්‍රවණතාව නොසළකා හැරියේ සහ සමහර අවස්ථාවලදී ඊට උඩගෙඩි දුන්නේද, ඔහුගේ ආණ්ඩුවයි. ඒ අනුව, විද්‍යාවත්, ඈට පෙර තවත් කාන්තාවන්වත් දූෂණයට වීමට පාර කැපුවේ ඔහුගේ පාලන තන්ත‍්‍රයයි. ඒ ගැන ඔහු අද සමාව අයැදිය යුතුව තිබේ. එසේ කිරීම ප‍්‍රතික්ෂේප කරනවා මදිවාට, එම සිද්ධියෙන් පසු ඔහු හැසිරුණේ, ඊටත් වඩා නරක ආකාරයකිනි. මේ රටේ කාන්තාවන්ගෙන් සමාව ගැනීමට තමාට හේතුවක් නැතැයි ලැජ්ජා නැතිව කියා සිටි ඔහු, මෙතරම් බරපතල ඛේදවාචකයක් ඉදිරියේ පවා ඉතා ළාමකව කියන්ට පෙළඹුණේ, ‘තමාගේ ආණ්ඩුවෙන් පිරිමින්ට වඩා කාන්තාවන්ට රැුකියා ලබා දුන් බවත්, කාන්තාවන් සඳහා විශේෂ ණය ක‍්‍රම හඳුන්වා දුන් බවත්’ ය. එය, අර ඛේදවාචකයේ කම්පාවතවත් පාරන්නකි. මේ සියල්ල, ඒ ඛේදවාචකය පාවිච්චි කොට පෙරට දැමූ ඔහුගේ වෙනත් සුපුරුදු ‘ජාතිවාදී ගැටුම්’ පිළිබඳ දේශපාලනික උඩගෙඩි දීම්වලට අමතරව ය. මේ සියල්ල පසුපස පෙනෙන්ට ඇති දේශපාලනික පුස්ස සහ බංකොලොත් භාවය එසේ තිබියදී පවා, අඩු වශයෙන්, විද්‍යාට අත්වූ ශෝකී ඉරණම ගැන සහ ඇගේ ජීවිතයේ අවාසනාවන්ත අවසානය විසින් ඇගේ පවුලේ සාමාජිකයන්ගේ, නෑහිතවතුන්ගේ සහ ඇගේ පළාතේ ජනතාවගේ සිත්සතන් තුළ ඇති කෙරුණු ශෝකය ගැන හෝ සානුකම්පික වචනයක් කීමට ඔහුගේ දිව නැමුණේ නැත. කණගාටුවට කරුණ වන්නේ, මෙවැනි ඛේදවාචකයක් ඉදිරියේ පවා, එල්.ටී.ටී.ඊ. බිල්ලා මැවීමට ඔහු නොපසුබට වීමයි. ඔහුගේ එම ප‍්‍රකාශනය, කන් බිහිරි කරවන තරමට, අදාළ ස්ත්‍රී දූෂණය ගැන නිශ්ශබ්දයි. එම අවකල් ක‍්‍රියාව අඩු වශයෙන් හෙළාදැකීමක්වත් එම ප‍්‍රකාශනයේ අඩංගු වන්නේ නැත. මේ හැසිරීම ගැන විද්‍යාගෙන්ද, ඇගේ පවුලෙන්ද, ඇගේ ජනතාවගෙන් මෙන්ම, මේ රටේ සමස්ත කාන්තා සංහතියෙන්මත් මහින්ද රාජපක්ෂ සමාව ගත යුතුව තිබේ.

කාන්තා දූෂණ සෑහෙන ගණනක් දැනටත් අමතක කර දමා තිබේ. උතුරේ සිදුවෙමින් පැවති ලිංගික අපහරණ ගැන අපි ජාතියක් වශයෙන් නිශ්ශබ්දව සිටි නිසා, විද්‍යා සිවලෝගනාදන්ව දූෂණය කෙරුණි. ඝාතනය කෙරුණි. එය, අපෙන් අමතක වන තවත් එක් ස්ත්‍රී දූෂණයක් වීමට ඉඩ තැබිය යුතු නැත. තව දෙනාගේ දේශපාලන වාසි සඳහා මකා දැමෙන සිද්ධියක් විය යුතු නැත. ‘ජාතිවාදි කෝලාහල’ සහ ‘ත‍්‍රස්තවාදය’ නැමැති බොරුවට යට වීම ප‍්‍රතික්ෂේප කිරීමට, අඩු වශයෙන් දැන්වත් අප තීරණය කළ යුතුව තිබේ.

ඒ සඳහා ක‍්‍රියාත්මක වීම ඇරඹිය හැක්කේ, සැබෑ අර්බුදය කුමක්දැ යි නිවැරදිව වටහා ගැනීමෙන් පසුව පමණි. නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අදියරෙන් එය පටන්ගෙන, බිම් මට්ටමේ ජනතා අවබෝධයක් ඇති කරලීම දක්වා එය වර්ධනය විය යුතුව ඇත. සිය දියණිය අතුරුදහන් වීම ගැන විද්‍යාගේ දෙමාපියන් නොසන්සුන් සිතින් පොලීසියට ගොස් පැමිණිලි කළ විට, කෙල්ල ගෙදරින් පැන යන්ට ඇතැයි කඩකැඩිච්ච කමට කියා සිටි පොලීසිය, පැය ගණනක් යන තෙක් ඈ ගැන සොයා බැලීමට ගියේ නැත. නීතිය ක‍්‍රියාත්මක කිරීමේ බලධාරීන් සහ ආයතන, ලිංගික අපහරණය ගැන දැනුම්වත් කිරීම සහ එවැනි සිදුවීම් ගැන සංවේදී කැරැුවීම අද ඉතා අත්‍යාවශ්‍යව තිබේ.

උපදේශන සහ සම්ප‍්‍රජානන වර්ධනයන් හරහා මේ අධ්‍යාපනය රටේ සෙසු පළාත්වලටත් ව්‍යාප්ත කළ යුතුය. ස්ත්‍රී දූෂණය යනු හුදෙක් ‘කාන්තා ප‍්‍රශ්නයක්’ වශයෙන් නොගෙන, එය මිනිස් ප‍්‍රශ්නයක් සහ අප කාගේත් ප‍්‍රශ්නයක් වශයෙන් සැළකිය යුතුව තිබේ. සෑම ආකාරයකම ලිංගික හිරිහැර සහ ලිංගික අපහරණ, සදාචාරමය වශයෙන් ගර්හා කටයුතු බව සිහියට ගැනීම මෙහිදී අත්‍යාවශ්‍ය වෙයි. එසේ නොමැතිව, ඒවා, ‘‘කොල්ලෝ ඔහොම තමයි’’ කියා හෝ ‘‘ඒකි පැනලා දෙනවා’’ යනුවෙන් හෝ කියා ඉවසා සිටීම අවසන් කළ යුතුය. විනීත විදිහට අඳින්නේ කෙසේදැයි අපේ දියණියන්ට කියා දීමට පෙර, කාන්තාවන් දූෂණය කිරීමෙන් වැළැකී සිටීමට අපේ පුතුන්ට අප උගැන්විය යුතුව තිබේ.

අපේ රට උතුරේදී මුහුණදෙන බරපතලම තර්ජනය වන්නේ, ලිංගික අපහරණය සහ නීතිය හා සාමයේ බිඳ වැටීම මිස, බෙදුම්වාදය හෝ ජාතිවාදී කලකෝලාහල හෝ නොවේ. ඒ සැබෑ සතුරා දිනෙන් දින තර වෙද්දී, මන:කල්පිත සතුරෙකුට එරෙහිව සටන් වැදීමේ නිරර්ථක ප‍්‍රයත්නය සඳහා කාලය කාදැමීමෙන් වැළැකීමට කාලය පැමිණ තිබේ.

*2015 මැයි 28 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “The Rape: We Almost Forgot”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page