Colombo Telegraph

බැඳුම්කරේ සාස්තරේ

මහේෂ් සේනානායක

මහේෂ් සේනානායක

බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මේ දිනවල දැඩි ලෙස අදහස් පලවෙනවා. ඊට හේතුව වී ඇත්තේ පෙර නොවූ විරු ලෙස බැඳුම්කර නිකුත් කරන ක්‍රමවේදය වෙනස් වීමයි.

බැඳුම්කර නිකුත් කරන ප්‍රදාන ක්‍රම දෙකකි. එනම් වෙන්දේසි ක්‍රමවේදය හා පුද්ගලික නිකුතු ක්‍රමවේදයයි. බැඳුම්කරයක් යනු රජයක් විසින් රට පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් ණය ලබාගැනීම සඳහා වෙලදපොලට නිකුත් කරන නැවත ගෙවීමේ රාජ්‍ය සහතිකයක් සහිත ණය ගන්නා ක්‍රමවේදයකි.

මහබැංකු බැඳුම්කර නිකුත් කිරීම සඳහා වෙන්දේසී හා පුද්ගලික නිකුතු යන ක්‍රමවේදයන් අනුගමනය කරන අතර මෙයින් ලොවම පිළිගත් හා සාධාරණම ක්‍රමය ලෙස සැලකෙන්නේ වෙන්දේසි ක්‍රමවේදයයි. ඊට හේතුව වන්නේ මෙම ක්‍රමය තුල ප්‍රාථමික ගැනුම්කරුවන්ට විනිවිද ක්‍රමයක් තුල වෙළඳපොල පොලී අනුපාත සසඳා තම ලන්සු ඉදිරිපත් කිරීමට හැකිවීමයි.

වෙන්දේසි ක්‍රමවේදයේදී ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරයි. විනිවිදබව නිසා ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිවේ. වෙන්දේසිය අවසන් වූ පසු තීරණ ගැනෙන්නේ ටෙන්ඩර් මණ්ඩලය මගිනි. එකී මණ්ඩලයේ සිටින්නේ මහ බැංකුවේ ආර්ථික විශේෂඥ දැනුමක් ඇති ප්‍රධානින්ය. එයට මහ බැංකු අධිපති අයත් නොවේ. තවද මෙය වෙන්දේසියක් කිවූ පමනින් අප වටහාගන්නා, මල්වට්ටි වෙන්දේසියක් හෝ වාහන වෙන්දේසියක් නොවේ. වෙන්දේසි ක්‍රම්වෙදයහි සහ පුද්ගලික නිකුතුවේ ඇති විනිවිද බවය පිළිබද කදිම නිදසුනක් තිබේ. එනම් මහබැංකු වෙබ් අඩවියේ පවා තොරතුරු සපයා තිබෙන්නේ වෙන්දේසි පිළිබඳව පමණි. එහි කොතනකවත් පුද්ගලික නිකුතු පිලිබඳ තොරතුරු සදහන් කරන්නේ නැත​.

බැඳුම්කර වෙන්දේසි සිදුවන්නේ විශේෂ පරිගණක ක්‍රමයකිනි. කිසිඳු ප්‍රථමික වෙළෙන්දකු ලන්සු ඉදිරිපත් කිරීම සඳහා මහා බැංකුවට නොයයි. ලන්සු ඉදිරිපත් කරන්නේ සුරක්ෂිත පරිගණක ක්‍රමවේදයක ආධාරයෙනි. කිසිදු අවස්ථාවක වෙන්දේසිය සිදුවන අතරතුරේදී කිසිම අයෙකුට එය නිරීක්ෂණය කිරීමට හැකියාවක් නොලැබේ. වෙන්දේසි ක්‍රමවේදයේදී වෙළඳපොල තත්ත්වයන් මත පොලිය තීරණය වේ. එනම් රජය අංශයට සම්බන්ද ප්‍රාථමික ගැනුම්කරුවන් වන රජය බැංකුවලටද, සේවක අර්ථසාධක අරමුදලටද, සේවක භාරකාර අරමුදලටද, ණය ලබා දෙන ශ්‍රී ලංකා රක්ෂණ සමාගමටද වෙළඳපොල පොලි අනුපාත මත මුදල් ලබා දී තම ආයතන හා සම්බන්ධ තැන්පත්කරුවන්ට, දායකත්වය දක්වන සාමාජිකයන්ට හෝ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ උපායගත් ඉතුරුම් වලට සාධාරන පොලි අදායමක් ලබාදීමට හැකිවෙයි.

පුද්ගලික නිකුතුන්හි දී පාර්ශව දෙකක් පමණක් ගනුදෙනුවට සහභාගි වේ. මෙහිදී තම අභිමතාර්ථය පරිදි ගනුදෙනුවට අදාල පොළී අනුපාත හා මුදල් ප්‍රමාණ තීරණය කිරීමට දෙපාර්ශ්වයට අවකාශය ඇත. මහ බැංකුව තම අභිමතාර්ථය මත තීරණ ගැනීමට මෙය අවස්ථාවක් කරගනී. එය විනිවිනිවිද නොවන දුෂණයට ඉඩකඩ ඇති ක්‍රමයක් බව වටහා ගැනීම එතරම් අපහසු නොවන බව අප විස්වාස කරන්නෙමු. අවශ්‍යනම් මහා බැංකුවට හෝ එහි නිලධාරීන්ට අවශ්‍ය අයට අවශ්‍ය ප්‍රමාණයක් අවශ්‍ය පොලි අනුපාතයකට බැදුම්කර විකිනීමට පුද්ගලික නිකුතු ක්‍රමවේදය මගින් ඉඩ සලසයි. එහෙත් නිකුත් කරන බැදුම්කර නිකුත් කල බව හෝ වෙළදපොල නොදනී. පසුගිය වකවානුවේ එලෙස නිකුත් කරන ලද බැදුම්කර ප්‍රමාණය සහ​ එමගින් උපයා ගත මහා ධනස්කන්දය ගෙන වෙනම විමසා බැලීමද වැටි.

පසුගිය කාලයේ සිදුකලේ සේවක අර්ථ සාධක අරමුදලෙන්, සේවක භාරකාර අරමුදලෙන් රාජ්‍ය බැංකුවලින් හා ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන් බලහාත්කාරයෙන් රජයට අවශ්‍ය පොලි අනුපාත යටතේ මුදල් ලබා ගැනීමයි.

එවිට සිදුවනේ කුමක්ද ?

ඉහත සඳහන් ආයතන වලට මුදල් ලැබෙන්නේ මහජනතාවගෙනි. උදහරණයක් ලෙස රජයේ බැංකු වන ලංකා බැංකුවට හා මහජන බැංකුවට මුදල් ලැබෙන්නේ ඔවුන්ගේ ඉතුරුම්කරුවන් /තැන්පත්කරුවන් හේතුවෙනි. සේවක අර්ථසාධක අරමුදලට මුදල් ලැබෙන්නේ වැඩකරන ජනතාවගේ දාඩිය මහන්සිය නිසාය. එසේනම් එවැනි ආයතන වලින් අඩු පොලියට මුදල් ලබගැනීමෙන් සිදු වන්නේ ඒවාට මුදල් සපයන අහිංසක ජනතාවට සාධාරණ ප්‍රතිලාබයක් නොලැබී යාමයි.

මෙම ඛේදවාචකය ආරම්භ වන්නේ පසුගිය රජය සමයේ කෘතිමව පොලි අනුපාත තබා ගැනීමත්, වෙළඳපොල සම්මත බලවේග සියල්ල අමතක කරමින් හිතුවක්කාර ලෙස ආර්ථිකය හැසිරවීමත් නිසා ය.

ලොවම පිළිගත් ක්‍රමවේදය වන්නේ වෙන්දේසි ක්‍රමය වන අතර වෙන්දිසියක් පවත්වා ආසන්නතම කාලයක් තුල (දිනක් හෝ දෙකක් ඇතුලත තවත් වෙන්දේසියක් පැවතිමට කාලය නොමෙති විටක හා අනිකුත් ක්‍රමවේදයන්ගෙන් මුදල් ලබගේනිමට නොහැකිවිට) හදිසි මුදල් අවශ්‍යතාවයකිදී පමණක් පුද්ගලික නිකුතු ක්‍රමය යොදගැනෙන අතර 90 -95 % පමණ ප්‍රමාණයක් වෙන්දේසි ක්‍රමවේදය තුලින් ණය ලබා ගැනීම සම්මත විනිවද ක්‍රමයයි.

පසුගිය කාලයේ අපේ රටේ බොහෝ දේ සිදුවුයේ පුද්ගලික දැන හැදුනුම්කම මත බව කිව යුතු නැත. එය පිළිගත් ක්‍රමවේදය බවට පත්කර ගත්තේද තමන්ටත් තමන්ගේ හිත්වතුනටත් සැලකීමට හා වංචාකාරී ලෙස ධනය උපාය ගැනීමට සුදුසුම හා පහසුම ක්‍රමය එය බැවිණි. උදාහරණයක් ලෙස 2014 දී සමස්ත පුද්ගලික නිකුතු හරහා ලබාගත් ණය ප්රමාණයෙන් 75 % පමණ ලබාගෙන ඇත්තේ රාජ්ය බැංකු හා EPF අරමුදලිනි .

2010 සිට 2014 දක්වා 80% බැඳුම්කර නිකුත් කොට ඇත්තේ පුද්ගලික නිකුතු හරහාය. වෙන්දේසි ක්‍රමය භාවිතා කල අවස්ථා ඉතා විරලය. එසේ සිදුකලද, මුදල් ලබාගෙන ඇත්තේ කෙටි කාලයකින් ගෙවීමේ පදනමටය. අප වැනි රටකට මුදල් ලබාගත යුත්තේ දිගුකාලින ලෙසය. එවිට ණයට ගන්නා මුදල් වලින් ආයෝජනය කොට කාලය ගෙන නැවත ගෙවීමට හැකිවේ.

2015 වසරේ සිට පුද්ගලික නිකුතුවලට නැවතීමේ තිත තැබීමට නව රජයත් සමග පැමිණි වගකිවයුත්තන් තීරණය කළහ. එම තීරණය අද ඔවුන්ටම හිසරදයක් බවට පත් වී ඇති බව පෙනී යන අතර ඊට ප්‍රදානම සාධකය වී ඇත්තේ පුද්ගලික නිකුතු හරහා අයුතු ලෙස මුල්‍යය වෙළඳපොලේ වැජබුනු අයට එසේ වැජබීමට නොහැකි වීම බව ක්ෂේත්‍රයේ සමහර​ ප්‍රවීනයන් පවසයි. හොඳ කිරීමට යාමෙන් අපේ රටේ බොහෝවිට සිදුවන්නේ මෙයයි. පන්සලක මල්වට්ටියක් උනත් වෙන්දේසි කරන්නේ කාටත් සම අවස්ථා ලබාදීමටය. එසේ නැත්නම් ගමේ චන්ඩින් පමණක් ලංසු තබනු ඇත. ලොවක් පිල්ගත් ක්‍රමවේදයක් ලංකාවෙත් ඇතිකිරීම නිසා යමෙකුට හෝ යම් ක්‍රමවේදයකට පහර දෙනවානම් ඒ පිලිබඳ විමසිල්ලෙන් පුරවැසියන් සිතා බැලිය යුතු බව යෝජනා කරන්නට කැමැත්තෙමි. දියුණුවන රටකට පර්යේෂණාත්මක මනසින් යුතු පුරවැසියන් අවශ්‍ය යැයි යන්න අද කාලයට ගැලපෙන සිතිවිල්ලක් පමණක් නොව අවශ්‍යතාවයක් බවද අප සැවොම වටහාගෙන ඇති බව ද සිත්තන්නෙමි. එසේ සිතන අතරවාරයේදී ජන මනස විකෘති කරන කරුණු කාරණා ද ඇත. එනිසා රටේ අනාගතය ගෙන සිතා ලෝකයේ සිදුවෙන දේ ද ඉන් අපට ඉගනගත හැකි දේ මොනවාද කියා සිතා බලන්නට කාලය එළෙඹ තිබේ. විනිවිද වෙන්දෙසිද, අපැහැදිලි පුද්ගලික නිකුතු ද යන්න අප එසේ සිතා   බැලිය යුතු කාරණයකි.

Back to Home page