Colombo Telegraph

බලය පිළිබඳ දිරාපත් සංඥා නැවත ප‍්‍රාදුර්භූත වීම

රිං සයිඞ් කමෙන්ටරි

‘‘සෑම ජාතියකම එක් විශේෂිත පුද්ගලයෙක් සෙස්සන්ගේ ඌනතා පිරිමැසීමට සිටී. මිනිස් වර්ගයා සාමූහික පරිහානිට පත්ව සිටින එවන් මොහොතක, එවැනි අසාමාන්‍ය පුද්ගලයෝ සමුද්දේශ ලක්ෂ්‍යයක් වශයෙන් විරාජමාන වෙත්.’’- ඕගස්තෝ රෝආ බස්තෝස්

1970-77 කාලයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාම=මාධ්‍යමික සභාගය රට පාලනය කරද්දී, විශේෂයෙන් 1972 නව ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීමෙන් අනතුරුව, ඊට කලින් පැවති 1970 මහ මැතිවරණයෙන් තමන්ට ලැබුණු ‘ජනතා බලයෙන්’ පිම්ඹුනු ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු වෙරි වූ නැවියන් සේ හැසිරෙන්ට වන්හ. උඩරට තානායම්වල නිත්‍ය වාසයට ගිය ඔවුහූ සිය කාර්යාල එම තැන්වල අටවාගෙන රැුකියා සඳහා සම්මුඛ සාකච්ඡුා පැවැත්වූහ. විශේෂයෙන්, බවලත් පාර්ශ්වය වෙනුවෙනි. රැුකියා පිපාසයෙන් පෙළුනු ජනතාව ඒ මගින් ප‍්‍රසිද්ධියේම අපහරණයට සහ අඩන්තේට්ටමට ලක්කෙරුණි.

ද්විතීය අධ්‍යාපනය හෝ සරසවි අධ්‍යාපනය අවසන් කොට වසර ගණන් බලා සිටි ගැමි තරුණියන්, වෙනත් පිළිසරණක් නොමැති වූ තැන, මොකක් හෝ රැුකියාවක් ලබා ගැනීම සඳහා, තානායම තුළ සිටි ඇමතිවරයාගේ කාම තෘෂ්ණාවට සහ ධන තෘෂ්ණාවට බිළි වුණි. ලෝකාපවාදය සහ නවනිංගිරාව ඔවුහූ නිහඩවම වින්දහ. දෙමාපියන්ට සහ බාල සොයුරු සොයුරියන්ට හිසට වහලක් සහ කටට බත් කටක් සැපයීමේ වගකීමෙන් පේ වී සිටි නිසා තමන් ගැන සිතන්නට වෙලාවක් ඔවුන්ට නොවුණි. එහෙත් මේ යුවතියන්ව තානායම් කාමරයට ගෙන ගිය ඇමතිවරයා කිසිවෙකුට වගඋත්තර බඳින්නට බැඳී සිටියේ නැත. කන්‍යා රසය පිළිබඳ ඔහුගේ අතෘප්තිමත් සාගින්න ගැන වගකියන්ට ඔහු බැඳී සිටියේ නැත. එසේම, ඔහුගේ කල්ක‍්‍රියාව ගැන වගවීමක් ඉල්ලා සිටි ඉහළ බලධාරියෙක් සිටියේ ද නැත.

එවැනි අමානුෂික කාමලෝලී සිදුවීම් සහ ස්ත‍්‍රී දූෂණ සිය ගණන්, එම පාලනය තුළ පැවති ‘පොදු මිනිසාගේ’ පාලනය නැමැති කඩතුරාව පසුපස වැසැංගුණි.

පාලනයක් නැත

සමහර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අතපය, පාර්ලිමේන්තු සභා ගර්භය තුළ වෙව්ලන්ට විය. ඔවුන් පාර්ලිමේන්තුවට ආවේ කලින් දා ? සප්පායම් වූ විස්කි හෝ ජින් මතේ කම්මැලි තෙහෙට්ටුවෙනි. කතානායකවරයාට සභා ගර්භයේ පාලනයක් නොතිබුණි. ඔවුන් සියල්ලන්ම තමන්ගේ වරදාන භුක්ති වින්දේ පාලනය මුදුනේ සිටි ආර්යාවට පින්සිදුවන්ටයි. තමන් වෙත වීසි කෙරෙන කටු ලෙවකෑම (කොන්දේසි විරහිත පක්ෂපාතීත්වය සඳහා ඔවුන්ට ලැබුණේ කටුම පමණි) එක දිගට කරගෙන යාමට නම්, ඈට සහ ඇගේ පවුලට පක්ෂපාතී විම ඔවුන්ට අනිවාර්ය කෙරුණි.

එය, විකට ඔපෙරාවක විකාර දර්ශනයක් වැන්න. එහෙත්, කවදත් සිදුවන පරිදි, බලයෙන් මත් වූ විට කෙනෙකුට කිසිවක ආතක් පාතක් නොපෙනෙයි. සියල්ල පිළිබඳ සමබරතාව ගිලිහී යයි. අසහාය බලය වියැකෙන විට, නොනැසී පැවතීම පිළිබඳ අනියත හැඟීමක් පමණක් ඉතිරි වෙයි.

පාලක ඉඟුරු කල්ලිය

ප‍්‍රශ්න නොකරන ඒ අන්ධ භක්තිය රටට විනාශයකි. ජනතා නියෝජිතයන්ගේ වචන සහ අදහස් උදහස් මතුපිටින් ගැනෙන අතර, එකට ගැටගැසුණු පාලක පවුලක ඉඟුරු කල්ලියට, චිත‍්‍රය පසුබිමේ පැවති සෙවනැලි සහ සැඟවුණු අරුත් වටහා ගැනීමට හැකියාවක් නොවුණි. වටේ සිටි හෙංචයියන් සමස්ත කතාව හාම්පුතුන්ට කීවේ නැත. ඔවුන් කීවේ හාම්පුතුන් අසන්නට පි‍්‍රය කරන සුරංගනා කොටස පමණි. කෙසේ වෙතත්, අසහාය බලයේ ඒ අවරත ලක්ෂණය තුඩුදෙන්නේ, හෙංචයියන් සපයන මිහිරි තොරතුරුවලින් සමන්විත සැපදායක සෙවණක ගොඩනැගෙන පාලක සභාගයේ මනෝමය සැකැස්මේ නිත්‍ය පරිහානියටයි.

1970-77 සභාගය සමග වර්තමාන පාලනය සසඳන විට, එදා සහ අද සිටින පුද්ගලයන් සහ ඔවුන්ගේ චරිත ලක්ෂණත්, ප‍්‍රසිද්ධියේ සහ පෞද්ගලික තලයේ මේ නියෝජිතයන් හැසිරෙන විලාසයත් අතර බොහෝ සමානතා හමු වෙයි. ඒ සියල්ලටමත් වඩා. වගවීම සම්බන්ධයෙන් මොවුන් දක්වන නොතැකීම කැපී පෙනේ.

මහාවංශය සහ වෙනත් ඉපැරණි මූලාශ‍්‍රවල සටන් පාඨ කට ගාගෙන, අවශ්‍ය තන්හි දී සිංහ කොඩිය ඇෙඟ් ඔතාගන්නා මේ වංචනිකයන්, ඊනියා වීරයන් සේ බලයේ මතුමහල්වල කරක් ගැසීම පසුපස, වගවීමෙන් තොර වීමේ නග්න හෙලූව බොහෝ විට දක්නට තිබේ. මෙහි ඇති අවාසනාවන්ත උත්ප‍්‍රාසය වන්නේ, මේ දේශපාලන තක්කඩින් රඟදක්වන සැණකෙළිකාමී දර්ශනය, ව්‍යතිරේකයක් වශයෙන් නොව, සාමාන්‍ය තත්වයක් වශයෙන් පොදු ජනතාව විසින් ද ගනු ලැබීමයි.

යම් ජනතාවක් උදාසීනත්වයට යට වන සෑම අවස්ථාවකම සහ ස්වභාවයෙන් ඔවුන් සතු විමර්ශනශීලී හැකියාව අහක බලාගෙන සිටීමේ කම්මැලි චර්යාවකට යට වන සෑම අවස්ථාවකම, එහි ප‍්‍රතිවිපාකවල මුල්ම බිල්ල වන්නේ ද, යම් ජනතාවක් සතු විචාරශීලීත්වයමයි. එවිට, කිසිවක් ප‍්‍රශ්න නොකරන ගැතියාවකට සබුද්ධික චින්තනය යට වෙයි. එවැනි ගැතියාවක කෙටිකාලීන ප‍්‍රතිලාභ ඇති බව සැබවි. එහෙත් ඒ වහල් මනස විසින් නිර්මාණය කරනු ලබන්නේ, විෂම චක‍්‍රයකි. එය, එම පාර්ශ්වයේම හෝ විපක්ෂයේ නැණවත් සහ දූරදර්ශී නායකයෙකු මතු වන තෙක්, ජාතික සංවාදය සහ එහි න්‍යාය පත‍්‍රය එවැන්නෙකු අතට ගන්නා තෙක්, (දේශපාලනයට අහසින් කඩා වැටෙන බොහෝ ආධුනිකයන් මෙන් සැහැල්ලූවෙන් ගන්නා සාටෝප සෝබනයකින් නොව), ක‍්‍රමානුකුල සහ ස්ථිරසාර දුෂ්කර පියවරෙන් පියවර ඉදිරියට යමින්, පෙරමුණේ නායකත්වය හරහා අනුගාමිකයන්ට ආරක්ෂාව සපයමින් සහ සතුරන් තුළ කණස්සල්ල ජනනය කරමින් සමාජ බලවේග බලමුළු ගන්වන තෙක්, එක දිගටම එම විෂම චක‍්‍රය කැරකෙනු ඇත.

නොනිල හමුදා ඝාතන

එකිනෙකට වෙනස් ආකාර දෙකකින් වර්තමාන ආණ්ඩුව ශක්තිමත් ය. මුලින්ම, එම ආණ්ඩුව අභියෝගයට ලක්කරන කිසිවෙකු නැත. දෙවැනුව, එම ආණ්ඩුවට නායකත්වය දෙනු ලබන්නේ, දේශපාලනික සංග‍්‍රාම අගල්වල කරක්ගසා ඇති කෙනෙකි. එහෙත් ඔහු පස්සේ දැවටෙන ගැහැනු සහ පිරිමි, 70-77 සභාග යුග පාලන කල්ලියේ සිටි අයවළුන්ගෙන් වෙනස් නැත. අද මර්වින්ලා, දුමින්දලා, ප‍්‍රාදේශීය සහ පළාත් සභා සාමාජිකයන්, එදා පිරිසෙන්, හරයෙන් හෝ විලාසයෙන් හෝ, වෙනස් නොවේ. ඒ නින්දනීය 70 කාලයේ මෙන්ම දැන් ද, කිසිවක් පිළිබඳ වගවීමක් ඇත්තේම නැත. කෙසේ වෙතත්, ඉහළ තලයේ වගවීමක් නැති කම සාමාන්‍ය ජනතාවට වැටහෙන විට රැුල්ල වෙනස් විය හැකිය.

නොනිල හමුදා කොටස් විසින් සිදු කෙරෙන ඝාතන, පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් ඝාතනය වීම්, නීතිය ක‍්‍රියාත්මක කරන බලධාරීන්ට ආගමික සළු පොරවා ගත් තක්කඩින් විසින් නියෝග පැනවීම් සහ ජාතියේ දීර්ඝ ඉතිහාසය තුළ ගොඩනැගුණු සමාජ ව්‍යුහයන් දිළිඳු ජනතාවගේ නියෝජිතයන් විසින් ඉරිතලා හැරීම් වැනි සිදුවීම්, 70-77 යුගයේම ප‍්‍රතිරාවයකි. එදා සහ අද කල්ක‍්‍රියාව එකක්ම ය. ප‍්‍රතිවිපාක ද වෙනසක් නැත. වෙනසකට ඇත්තේ, ජනතා බලය නිර්ලජ්ජී ආකාරයෙන් පාගා දමන්නේ කෙසේ දැ යි සිය ස්වාමියන්ගෙන් සහ ස්වාමිදූවරුන්ගෙන් වර්තමාන පාලකයන් අකුරක් නෑර උගෙනගෙන තිබීමයි.

බලය අභ්‍යාස කිරීමේ මේ මහා පිස්සුවට විධායක ජනාධිපති ක‍්‍රමය තල්ලූවක් වී තිබේ. එම පිස්සුව කෙතෙත් ජවසම්පන්න වී ඇත් ද යත්, එහි සෙවනැල්ලෙන් වැසී යන දේශපාලනික භූදර්ශනය තුළ යෙහෙන් විසූවන් පවා එම අඳුරට බිළි වෙති. එය සතුව ඇති ව්‍යාජ ආවරණය සහ පළිගැනීමට ඊට ඇති හැකියාව නිසා එය අභියෝගයට ලක්කරන්නන්ට ඒ ගැන දෙවරක් සිතා බැලීමට සිදුවෙයි. ප‍්‍රධාන විධායකයේ සහෝදරයෙකු අතට ආරක්ෂක අංශ පත්කර තිබීම සහ ද්‍රෝහී වන්නන් කොටු කර ගැනීමේ ආධ්‍යාශයෙන් එලා ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ව්‍යාජ ආරක්ෂණ දැල නිසා එම තත්වය තවත් උග‍්‍ර කෙරේ.

යටගියාවේ දිරාපත් සංඥා අළුත් වටපිටාවක නැවත හිස ඔසවමින් තිබේ. එහි නියාමකයන් ඒ පැරණි පරිසරයේ සහ කමකට නැති පැරණි හරයන්හි ‘සාඩම්බර’ උරුමකරුවන්ම ය. එහෙත් වර්තමාන පාලන තන්ත‍්‍රයේ මේ බරපතල අපහරණයන් අභියෝගයට ලක් නොකිරීමේ පුර්ණ වරද නිසැකවම විපක්ෂයේ දුර්වල උර මතට වැටෙයි. එබැවින් එම උරහිස් ශක්තිමත් කළ යුතුව තිබේ. ඊටත් වඩා, ඒ මත පිහිටන හිස, තීක්ෂණ සහ නුවණැති එකක් විය යුතුව තිබේ.

*2013 දෙසැම්බර් 8 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ “Decadent Signs of Power Reappearing! “නමින් පළවූ ‘රිං සයිඞ් කමෙන්ටරි’ තීරු ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Back to Home page