19 March, 2024

Blog

එළඹෙන පළාත් පාලන ඡන්දය ඊළඟ ජනාධිපතිවරණය දක්වා දිවයන ඡන්ද පෙළක ආරම්භයයි

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

ජනතාව ඉදිරියට යෑමට තිබුණු බිය නිසාම ආණ්ඩුව විසින් අවුරුදු තුනකට ආසන්න කාලයකින් ප්‍රමාද කරන ලද පළාත් පාලන ඡන්දය සඳහා දැන් නාම යෝජනා බාරගෙන ඇත. පළාත් පාලන ඡන්දයක් යනු රටේ දේශපාලන බලය වෙනස් වන ඡන්දයක් නොවුවත්, මේ ඡන්දයට සුවිශේෂ වැදගත්කමක් ආරූඪ වී ඇත්තේ මෙය වත්මන් ආණ්ඩුවට විරෝධය පෑමට ඡන්ද බලය පාවිච්චි කිරීමට ජනතාවට ලැබෙන පළමු අවස්ථාව වන නිසාය. මීට කලින් ඊනියා යහපාලකයන් යටතේ පවත්වන ලද ඡන්දය වූයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයයි. ජනාධිපතිවරයා ඒ ඡන්දයෙන් එජාපය දිනවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්ද ව්‍යාපාරය අස්ථාවර  කිරීමට ඡන්දයට දින කිහිපයක් තිබියදී එජනිසයට අවාසිදායක ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් මහ ලේකම්වරුන් දෙදෙනාම එකවර නෙරපා හැරීම ඇතුළු ක්‍රියාමාර්ගයන් ගණනාවක් ගැනීම තුළිනි.

එමඟින් ලංකාවටම යවනු ලැබූ  පණිවිඩය වූයේ හැන්ද තිබෙන්නේ ජනාධිපතිවරයාගේ අතේ නිසා ඒ පාර්ලිමේන්තු ඡන්දයෙන් පැරදුනත් දිනන්නේ එජාපය බවයි. ශ්‍රිලනිපයේ වත්මන් නායකයා පසුගිය පාර්ලිමේන්තු ඡන්දයෙන් එජාපය දිනවූයේ ඒ ආකාරයටය. මේ වතාවේ ඒකාබද්ධ විපක්‍ෂය වෙනම ලකුණකින්, වෙනම සන්ධානයකින් මේ පළාත් පාලන ඡන්දයට මුහුණ දෙන්නෙ ඒ නිසාය. ඒකාබද්ධ විපක්‍ෂයේ බලාපොරොත්තුව වන්නේ ආණ්ඩු විරෝධී ජනතාවට දේශපාලන විකල්පයක් සපයා දීමයි. ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව ප්‍රසිද්ධියේ  නොයෙක් විවේචන එල්ල කලත්, මේ දෙපාර්ශවයම එකම කැබිනට් මණ්ඩලයේ  සිටිමින් හවුල් ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය සියළුම කාරණාවලදී සහයෝගයෙන් කටයුතු කරයි.

එජාපයේ අයවැයට සෑම අවුරුද්දකම ශ්‍රිලනිප ඇමැතිවරුන් ජන්දය දෙනු ලැබේ. මීට දින කිහිහිපයකට පෙරත් ඔවුන් 2018 එජාප අයවැයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ හැටි මුලු රටම දුටුවේය. ජාතික සම්පත් විකුණා දැමීමේදී ද දෙපාර්ශවයම සහයෝගයෙන් කටයුතු කරනු පෙනේ. එජාපයෙන් පත්වූ වරාය හා නාවුක කටයුතු ඇමති හම්බන්තොට වරාය ගනූදෙනුවට විරුද්ධ වූ විට, ඔහු වෙනුවට ශ්‍රිලනිප ඇමැතිවරයකු එම ධූරයට පත් කරගෙන එජාපය මුලපුරන ලද ඒ අවාසිදායක ගනුදෙනුව ශ්‍රිලනිපය විසින් සම්පූර්ණ කරන ලදී. පසුගියදා හම්බන්තොට වරාය විදේශීය සමාගමට භාරදෙන අවස්ථාවේදී ඩොලර් මිලියන 292 කේ චෙක්පත බදාගෙන එජාප අගමැතිවරයා කළ රංගනයට ශ්‍රිලනිප ඇමතිවරුත් අත්පුඩි තලන දර්ශනය මුළු රටම දුටුවේය.

මේ රට ස්වාධීන රාජ්‍යයන් වලට සමාන ෆෙඩරල් ඒකක නවයකට බෙදීමේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ද එජාපය සමග ශ්‍රිලනිප කණ්ඩායම සහයෝගයෙන් වැඩකරනු පෙනේ. යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රිලනිපය විරුද්ධ වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන කාරණයට පමණි. එජාපය ඉන්දියාව සමඟ ඇතිකරගැනීමට අර අදින එට්කා ගිවිසුමටද ශ්‍රිලනිපය විරෝධය පා නැත.  පළාත් පාලන ආයතන වලටත් පළාත් සභාවලටත් ඡන්ද කල් දැමීමේදී ද එජාපයත්, ආණ්ඩුවේ ශ්‍රිලනිප කණ්ඩායමත් සහයෝගයෙන් කටයුතු කළ ආකාරය මුලු රටම දුටුවේය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට නායකත්වය දුන් රණවිරුවන් බුරුතු පිටින් සිරගත කරන විට ශ්‍රිලනිප ජනාධිපතිවරයා එයට සහයෝගය දැක්වීම හැරුණු විට වෙන කුමක්වත් කර තිබේද?

ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ දේශපාලන පක්‍ෂයක් ලෙස රඟපෑවද, එයද යහපාලන එකතුවේ ප්‍රධාන කොටස්කරුවෙකි. මේ ආණ්ඩුවේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩවලට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය මුල සිටම ලැබී ඇත. ජවිපෙ නායකයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙහෙයවන යහපාලන ඇමතිවරුන්, දේශපාලඥයින් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගෙන් සමන්විත කමිටුවේද සාමාජිකයකු විය. ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂය නිර්දය ලෙස විවේචනය කරන අතර ආණ්ඩුව විවේචනය කරන්නේ ලාවටය. හවුල් ආණ්ඩුව ගෙන ඒමට යන නව ව්‍යවස්ථාවටද ජවිපෙ පක්‍ෂය. මේ වනවිට පැවැත්විය යුතු වූ පළාත් සභා ඡන්ද නොපවත්වා සිටීමට හැකිවන පරිදි ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ දී අවශ්‍ය වූ තුනෙන් දෙකේ බහුතරය ලබා දුන්නේද ජවිපෙ විසිනි.

ඊට කලින් මේ රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලටත් සම්පූර්ණයෙන්ම පටහැණි ආකාරයට පලාත් පාලන ඡන්ද නීතිය වෙනස් කිරීමට ද ජවිපෙ විසින් ආණ්ඩුවට සහයෝගය දක්වන ලදී. 2005 දී රනිල් වික්‍රමසිංහගේ එජාපය බලයට ඒම වැලැක්වීමට සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වය යටතේ මට සහයෝගය දුන් ජවිපෙ, වෙනත් නායකත්වයක් යටතේ අද එජාපයේ බළල් අතක් බවට පත්වී ඇත. එම නිසා එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී මේ රටේ තිබෙන එකම සැබෑ ආණ්ඩු විරෝධී බලවේගය ඒකාබද්ධ විපක්‍ෂය බව සියලුම ඡන්දදායකයින් අවබෝධ කරගත යුතුය.

2018 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය ඊළඟ ජනාධිපතිවරණය දක්වා දිව යන ඡන්ද පෙළක ආරම්භය වනු ඇත. 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය වෙනස් කරමින් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහකට අඩු කරන ලදී. 19 වන සංශෝධනයේ 49(1)(ආ) වගන්තියෙන් ඒ වෙනස වත්මන් ජනාධිපතිවරයාටද බලපාන ආකාරයට ප්‍රකාශිතවම විශේෂ විධිවිධාන සලසා ඇත. එම නිසා වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය 2020 ජනවාරි 9 වන දායින් අවසන් වේ. අපේ ව්‍යවස්ථාවේ 31(3) වගන්තියට අනුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වන්නේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මාස දෙකකට නොවැඩි, මාසයකට නොඅඩු කාළ පාරාසයක් තුළය. මෙකී ව්‍යවස්ථාමය ප්‍රතිපදාන අනුව ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 නොවැම්බර් 9 ත් දෙසැම්බර් 9ත් අතරය.

1981 ජනාධිපතිවරණ පනතේ විධිවිධාන වලට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට හා නාමයෝජනා කැඳවීම වැනි කාරණා වලට අවශ්‍ය කාලයද සැලකිල්ලට ගත්විට ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය 2019 ඔක්තෝම්බර් මාසය වනවිට ආරම්භ විය යුතු වේ. ඒ අනුව 2018 පෙබරවාරි මස පළාත් පාලන ඡන්දයත්, 2019 ඊළඟ ජනාධිපතිවරණ ක්‍රියාවලයේ ආරම්භයත් අතර ඇත්තේ මාස 18ක් වැනි කාලයකි. ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර, කල්දමා ඇති පළාත් සභා ඡන්ද පැවැත්වීමටද ආණ්ඩුවට සිදුවනු ඇත. සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභා දැනටමත් විසුරුවා හැර තිබෙන අතර ලබන වසරේදී උතුරු හා වයඹ පළාත් සභාත් ස්වයංක්‍රීයව විසිරුවා හැරෙනු ඇත. වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ උතුරු නැගෙනහිරින් ලැබූ බහුතර ඡන්දයෙන් නිසා එම පළාත් දෙකේ පළාත් සභා නොමැතිව වත්මන්  බලධාරීන්ට ජනාධිපතිවරණයකට මුහුණ දීමට නොහැකිය.

මේ අනුව 2018 පෙබරවාරි පළාත් පාලන ඡන්දයෙන් පසු මාස ගණනක් තුළ පළාත් සභා ඡන්දයත්, ඉන්පසු තවත් මාස කිහිපයකට පසු ජනාධිපතිවරණයත් වශයෙන් ඡන්ද පෙළක් එනු ඇති බවට අපේක්‍ෂා කළ හැක. රටේ බලය ලබාගෙන මේ හවුල් ආණ්ඩුව කර ඇති වින්නැහිය ගැන අමුතුවෙන් කිව යුතු නැත. රට පාලනය කරගැනීමට නොහැකි බව මේ එජාප-ශ්‍රිලනිප ආණ්ඩුව ඇස් පනාපිට ඔප්පු කර තිබියදීත් ගමේ බලය ඔවුන් ඉල්ලා සිටින්නේ කුමකටදැයි සියලුම ඡන්දදායකයන් කල්පනා කර බැලිය යුතුය. එළැඹෙන පළාත් පාලන ඡන්දයේ දී අනෙක් සියලුම කාරණා පසෙක තබා, තමන් වත්මන් එජාප-ශ්‍රිලනිප හවුල් ආණ්ඩුවට පක්‍ෂද නැතිනම් විපක්‍ෂද යන කාරණය මත පමණක් ඡන්දය භාවිතා කරන මෙන් මම මහජනතාවගෙන් ඉල්ලා සිටිමි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ඔන්න දැන් පෙන්වෙනවා මම කියපු හොටු පොහොට්ටුවේ deal. මම විමල්ට කිව්වා හොටු පොහොට්ටුව SLFP එකයි UNP එකයි දෙකම එක්ක deal දාලා කියලා. දිගින් දිගටම මම විමල්ට කිව්වා හොටු පොහොට්ටුව විශ්වාස කරන්න එපා. රාජපක්ෂලා විශ්වාස කරන්න එපා කියල. හොටු පොහොට්ටුවෙන් නැතුව වෙනම ඉල්ලන්න කියලා. ඇඟිලි ගෙවෙන කම් ලිව්වා මිනිස්සුන්ට විකල්පයක් දෙන්න කියලා ඇහැව්වේ නැහැ. ඔන්න දැන් පොහොට්ටුවේ deal එක එලියට එනවා. හැම තැනම හොටු පොහොට්ටුවේ ලැයිස්තු ප්‍රතික්ෂේප වීගෙන යනව. නියම වැඩේ කියන්නේ හරියටම මේ ප්‍රතික්ෂේප වෙන්නේ UNP එකට සහ SLFP එකට වාසි පළාත්වල. බදුල්ල කියන්නේ UNP බල කණුවක්. ඒකේ හොටු පොහොට්ටු ලැයිස්තුව ප්‍රතික්ෂේප වෙන එක විතරක් ඇති deal එක මොකක්ද කියලා වටහා ගන්න.

  • 0
    1

    ගිය අවුරුද්දේ මාර්තු වෙනකොට විමල්ට මම කිව්වා බැසිල් ආවේ deal එකකට කියලා. විමල් මාව විශ්වාස කලේ නැහැ.රනිල් බැසිල් මාර්ගයෙන් ඒකාබද්ධ විපක්ෂේ දුර්වල කරනවා කියලා මම විමල්ට කිව්වා. විමල් ඒක විශ්වාස කලෙත් නැහැ. රනිල් බැසිල්ගේ මාර්ගයෙන් මහින්ද එක්ක deal එකක් දාල තියෙනවා කියලා මම කිව්වේ ගිය අවුරුද්ද මුල. විමල් ඒකත් විශ්වාස කලේ නැහැ. මම කීවා බැසිල් ජන සටන දුර්වල කරනවා කියලා. ඒක විශ්වාස කලෙත් නැහැ. බැසිල් කියන්නේ තමන්ගේ සහෝදරයාවත් 2015 ජනාධිපතිවරණෙදී පාවා දීපු මිනිහෙක්. ඒ හින්දා විශ්වාස කරන්න එපා කියලා කීවා. ඇහැව්වේ නැහැ. බැසිල් මහින්දගේ ජාතික සංවිධායක වෙලා උවමනාවෙන්ම මහින්ද පරද්දන්න මහින්ද වෙනුවෙන් හරියට චන්ද ව්‍යාපාරය කලේ නැහැ කියලා කිව්වා. මහින්ද පැරදුන ගමන් බැසිල් රටෙත් ඉන්නේ නැතුව තමන්ගෙ සහෝදරයාව දාලා පැනලා දිව්වා. එහෙම මිනිහෙක් විශ්වාස කරන්න එපා කිව්වා. ඇහැව්වේ නැහැ. ඒ හින්දා පළාත් පාලන මැතිවරණෙට විමල්ට වෙනම ඉල්ලන්න කිව්වා. මිනිස්සුන්ට විකල්පයක් දෙන්න කිව්වා. කොච්චර කිව්වත් ඇහැව්වේ නැහැ. ඊයෙ මම “අද” එකට comment එකක් දැම්ම විමල්ට “පංචායුධ” ලකුණින් වෙනම ඉල්ලන්න. මිනිස්සු දන්නවා කවුද “පංචායුධ කුමාරය” කියලා ඒ හින්දා “පංචායුධ” ලකුණ මිනිස්සුන්ට අඳුර ගන්න පුළුවන් කියලා. ඒක පල වුනේ නැහැ, මම හිතන්නේ මම ඒකත් එක්ක තව වෙනත් ගොඩක් ලියපු නිසා වෙන්නැති. සිංහයො වගේ පාර්ලිමේන්තු ගිය මහින්දයි (විමල් ඇර) අනිත් මන්ත්‍රීවරුයි රටට විරුද්ධ රනිල්ගෙ කිසි පනතකට විරුද්ධ නොවී හිටියෙ, එහම වෙලාවෙම මහින්ද රටින් එලියට ගියෙ, අඩු ගානේ රනිල්ගෙ ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනාපු ව්‍යවස්ථාදායක සභාවෙන්වත් අයින් වෙන්න තරම් කොන්දක් නැති වුනේ මහින්ද හරහා බැසිල් ඒකාබද්ධ විපක්ෂෙ පාලනය කරපු හින්දා. ඉස්සරත් ලිව්වා රට පාවා දෙන්නේ SLFP/UNP විතරක් නෙමයි ඒකාබද්ධ විපක්ෂේත් රට පාවල දෙනවා (විමල් ඇර) කියන එක මම හැම තිස්සෙම කිව්ව දෙයක්. මහින්ද ලව්වා ඒකාබද්ධ විපක්ෂෙ හසුරුවන්නේ බැසිල් කියලා මම අන්නන්තවත් කියල ඇති. මම විමල්ට විහිලුවකුත් ලිව්වා, හොටු පොහොට්ටුව පොල් කෑල්ලක් වීසි කරාම එක අහුලන ගෙන මෛත්‍රීගේ මී ගුලට ගිහිල්ල ඉඳගෙන කන තව මී පැටව් ඉන්නවද කියලා.
    .
    විමල්ට තාම වෙලාව තියෙනවා නේද විකල්පයක් දෙන්න?

  • 0
    1

    දැන් පෙනෙන විදියට නම්, බැසිල් විතරක් නෙමෙයි ගෝඨාභයත් deal එකක් තිබිලා තියෙනවා, මහින්දව පරද්දන්න. කොටි පරද්දන්න තරම් මාර මොලයක් කියලා කියන ගෝඨාභය, පිටරට වලත් හිටපු කොටින්ව අපේ ඔත්තු සේවය යොදවලා අල්ලන් ආපු ගෝඨාභය, KP තමයි හොඳම උදාහරණෙ, තව එහෙම අල්ලපු කොටින්ගේ ලොකු මොලකාරයෝ හිටිය, ඉතින් එහෙම පිටරටවලත් හිටපු කොටි, කොටින්ගේ නැව්, සල්ලි, ආයුධ අල්ලපු ගෝඨාභයට, ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙලා හිටපු ආරක්ෂක ලේකම්වරයාට, මේ පුංචි ලංකාව ඇතුලෙ මහින්දට විරුද්ධව මෛත්‍රී/රනිල්/චන්ද්‍රිකා කරපු කුමන්ත්‍රණෙ කලින් දැනන් හිටියේ නැහැ කියන එක විශ්වාස කරන්න බැහැ. ගෝඨාභය ඒක දැනගෙන නිකම් හිටිය මහින්දට කියන්නෙ නැතුව. පේන විදියට ගෝඨාභයටයි බසිල්ටයි දෙන්නටම ඕනේ වුනා මහින්දව ගෙදර යවලා රටේ අනාගත නායකත්වයට තරඟ කරන්න. මහින්දව ඉස්සෙල්ලම පාවලා දුන්නේ මෛත්‍රී නෙමෙයි, එයාගෙම සහෝදරයො දෙන්න, ගෝඨාභයයි බැසිලුයි. මහින්ද දෙවෙනි පාරට නෙමෙයි තුන්වෙනි පාරටත් එකම තැනදී රැවටුනා. රැවටුනා නෙමෙයි එයාගෙම සහෝදරයෝ එයාව රැවට්ටුව. මම හැම තිස්සෙම කිව්වා මහින්දට කවදාවත් තමන්ගේ හතුර කවුද මිතුර කවුද කියල හරියට අඳුරගන්න බැරි වුනා කියලා.

  • 0
    0

    මට ඔබතුමා ගැන කණගාටුයි, හිටපු ජනාධිපතිතුමා. 2015 අවුරුද්දේ අපි ඔබතුමාට හුඟක් ආදරෙන් හිටියා. තරහ වුනේ බැසිල්ගේ උගුලට අහු වෙලා විමල් කරපු දේවල් අමතක කරලා ජන සටන පාවල දුන්නට. ඊළඟට තරහ වුනේ බැසිල් ගෝඨාභය එක්ක එකතු වෙලා විමල්ව හිරේ දැම්මට. තරහ කාලේ පලු යනකම් බැන්න බව ඇත්ත. පන්න පන්න ගැහැව්වා. හැබැයි අවශ්‍ය තැන් වලදී කතා කරලා තියෙනව. උදාහරණයක් විදියට ලලිත්ගේ case එකේදී, රාජිත සහ තව කවුද කිව්වා ඔබතුමා දීපු නියෝගයේ වගකීම බාර ගත්ත නිසා ඔබට විරුද්ධව නඩු දාන්න ඕනේ කියලා. එදා මං කතා කලා. මම පෙන්නලා දුන්න මිලියන් 600 සිල් රෙදි වංචාවට සම්බන්ධ බැසිල් සහ ලලිත් මිසක් ඔබ නෙමෙයි. ඔබේ අනුදනීමක් නැහැ කියලා සහ මිනිස්සු බැසිල්ලට ලලිත්ලට ණයගැති නැහැ හැබැයි, ලංකාවම ඔබතුමාට ණයගැතියි කියලා. ඔබට ආයේ ජනාධිපතිවරනෙට ඉල්ලන්න බැහැ. රාජපක්ෂ කෙනෙක් ආයේ ජනාධිපති වෙන්නේත් නැහැ. හැබැයි අපි ඔබතුමාට පොරොන්දුවක් දීලා තියෙනවා 2015. අර බැසිලුයි ගෝඨාභයයි පළාතක නොහිටපු කාලේ. මුළු ශ්‍රීලංකා එකම මෛත්‍රීට බය වෙලා අර මෛත්‍රීව සභාපති කරපු රැස්වීමේදී අද ඔබතුමා වටේ ඉන්න කිසි කෙනෙක් ඔබ වෙනුවෙන් කතා කරපු නැති කාලේ. විමල් විතරක් හිටපු කාලෙ. ඔබතුමා ඔහොම ගෙදර යන්න ඕනේ කෙනෙක් නෙමෙයි කියලා අපි කිව්වා. ඔබට සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕනේ කියල අපි කිව්වා. ඉවසන් ඉන්න කිව්වා ඇහැව්වේ නැහැ, ගියා බැසිල් එක්ක shortcut හොයන්න. හැබැයි විධායක ජනාධිපතිවරයා ආරක්ෂා කරන්න ඕනේ. සිංහල ජාතිය වෙනුවෙන් ඒ තනතුර ආරක්ෂා කරන්න ඕනේ. එයා රනිල්ගේ ඇමක් විතරයි. ඒකෙ තේරුම SLFP එක දිනවන්න ඕනේ කියන එක නෙමෙයි.

  • 0
    0

    විමල්ට තාම වෙලාව තියෙනවා නේද විකල්පයක් දෙන්න? මහින්දට ආදරේ මිනිස්සු, මහින්දවත් පාවා දෙන game යටින් ගෙනියන හොටු පොහොට්ටුවෙන් අයින් වෙලා, විමල් එක්ක “පංචායුධ” ලකුණින් තරඟ කරන්න ඕනේ. අඩු ගානේ ඒ මිනිස්සු හරි කවදා හරි මහින්දට ඉඳියි. මේක කියන්නේ විමල්ට වාසියක් අරන් දෙන්න නෙමෙයි. විමල් එහෙම දේශපාලන වාසි අවශ්‍ය කෙනෙක් නෙමෙයි. විමල් කවදාවත් තමන්ගේ පිලවත් තමන්ගේ රටවත් පාවා දෙන කෙනෙක් නෙමෙයි. කවුරු මොනව කලත් මොන හතුරුකම් කළත් ඉවසන් ඉන්න පුළුවන් කෙනෙක්. මං වගේ arrogantවත්, තද කේන්ති යන කෙනෙක්වත් නෙමෙයි. විමල් හොඳ ඉවසීමක් තියෙන, පරිණත, කවදාවත් තමන්ගෙ ප්‍රතිපත්ති පාවා නොදුන්න, නොදෙන, තමන්ගේ ජීවිතේටත් වඩා රටට ආදරේ කරන දේශප්‍රේමී දේශපාලකයෙක් මේක කියන්නේ මගෙ රටට ආදරේ හින්දා. රට වෙනුවෙන් විමල් ගොඩ නඟපු ජන පවුර ආරක්ෂා කරගන්න ඕනේ හින්දා. ඒක SLFP එකටයි UNP එකටයි ඕනේ විදයට බැසිල් abuse කරන එක නවත්තන්න ඕනේ හින්දා. SLFP, UNP, SLPP තුනටම නැති මිනිස්සුන්ට චන්දෙ දෙන්න විකල්පයක් අවශ්‍යයි. SLFP, UNP දෙකම එපා කරපු ඒ පක්ෂ වල මිනිස්සුන්ට චන්දෙ දෙන්න විකල්පයක් අවශ්‍යයි. පාට පක්ෂ නැති මිනිස්සුන්ට චන්දෙ දෙන්න විකල්පයක් අවශ්‍යයි. ස්වාධීන මිනිස්සුන්ට චන්දෙ දෙන්න විකල්පයක් අවශ්‍යයි. හොටු පොහොට්ටුව කවුරු වෙනුවෙන් හැදුවත්, ඒක බැසිල් හසුරුවන්නේ එයාට ඕනේ විදියට එයාගේ deal වල විදියට. මොලේ තියෙනවා නම්, ඒකාබද්ධ විපක්ෂෙ කුණාටුවකට පස්සේ ඉතුරුවෙන සුන්බුන් ගොඩක් විතරක් වෙන්න ඉස්සෙල්ල ඒක නවත්තගන්න වෙන විකල්පයක් දෙන්න ඕනේ. විමල්ගෙ “පංචායුධ” ලකුණින් වික්ලප්යක් විදියට තරඟ කරන එක තමයි “පවතින තත්වෙ හැටියට” (විමල්ගෙ වචනම copy කළා) දෙන්න තියෙන හොඳම විකල්පෙ

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.