Colombo Telegraph

රණවිරුවන් විදෙස් බලවතුන්ට පාවාදීමේ යාන්ත්‍රනය සැකසීම

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

වත්මන් ආණ්ඩුව විසින් 2002 අංක 25 දරණ සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇත. 2002 මුල් නීතියේ අරමුණ වූයේ වෙනත් රටවල සැකකරුවන් හෝ සාක්‍ෂි කරුවන් ලංකාවේ සිටින්නේ නම් හෝ මෙරටට අවශ්‍ය එවැනි පුද්ගලයන් වෙනත් රටක සිටින්නේ නම්, ඔවුන් හඳුනා ගැනීම හා සොයා ගැනීම, එවැනි පුද්ගලයන්ට සිතාසි වැනි ලියවිලි ලැබීමට සැලැස්වීම, සාක්‍ෂි කරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම, සාක්‍ෂි සෙවීම, නඩු භාණ්ඩ සඳහා සෝදිසි කිරීම හා සන්තකයට ගැනීම, සාක්‍ෂි කරුවන් උසාවියට ඉදිරිපත් කිරීම, අපරාධ තුළින් උපයාගත් ධනය සෙවීම, එවැනි දේපල අත්හිටුවීම, වැනි කාරණා වලදී විදෙස් රටවල් හා අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමයි. එම මුල් නීතිය බලපවත්වනු ලැබුවේ, නම් කරන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයකට හා මෙවැනි කටයුතු වලදී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ගිවිසුම් ගතව සිටි රටවල් කීපයකට පමණි. 

පවතින නීතිය සංශෝධනය තිරීමට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතෙන් 2002 අංක 25 දරණ පනතේ වගන්ති ගණනාවක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම තුළින් මුල් පනතේ ස්වරෑපය සැලකිය යුතු ආකාරයට වෙනස් වෙනු ඇත. යෝජිත සංශෝධනයෙන් මේ නීතියේ බලපෑම ලංකාව අත්සන් කොට ඇති, සාපරාධී කාරණා සම්බන්ධ ජාත්‍යනත්ර සම්මුතියකට බැඳී ඇති සියලුම රටවල් දක්වා පුලුල් කෙරේ. පවතින නීතිය රාජ්‍යයන් වලට පමණක් බලපැවැත්වුවද යෝජිත සංශෝධනයෙන් එම පනතේ වපසරිය තුළට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැනි ජාත්‍යන්තර සංවිධානද ඇතුලත් වෙයි. වෙනත් රටවලින් ලබා ගන්නා ලිඛිත සාක්‍ෂි හා වෙනත් රටවල සිටින පුද්ගලයන්ගෙන් වීඩියෝ තාක්‍ෂණය හරහා ලබා ගන්නා සාක්‍ෂිත් උසාවි විසින් පිළිගත යුතු වන ආකාරයට විධිවිධාන යෝජනා වී ඇත. පිටරටින් එන ඉල්ලීම් වලට යුහුසුලුව ප්‍රතිචාර දැක්වීමට හැකි වන ආකාරයට සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ පරිපාලන යාන්ත්‍රනයද විශාල වශයෙන් පුලුල් කිරීමටද යෝජනා වී ඇත. 

මේ යෝජිත සංශෝධනය වත්මන් ආණ්ඩුව විසින් මීට කලින් හැඳුන්වාදුන් නව නීති දෙක්ක සමඟ බැඳී පවතී. ඒ, අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත හා අතුරුදහන් කරවීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කිරීම සඳහා ගෙන ආ පනතටය. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යනු සාක්‍ෂිකරුවන්ට සිතාසි නිකුත් කොට, විභාග පවත්වා සාක්‍ෂි ලබාගත හැකි විනිශ්චය සභාවකි. එහි නිලධාරීන්ට ඕනෑම වෙලාවක සෝදිසි වරෙන්තුවක් නොමැතිව ඕනෑම පොලිස් ස්ථානයකට,  බන්ධනාගාරයකට හෝ හමුදා කඳවුරකට ඇතුලු වී ඔවුන්ට අවශ්‍ය යැයි හිතෙන ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගැනීමට බලය ඇත. මෙම කාර්යාලයේ කටයුතුවලට සහයෝගය නොදෙන ඕනෑම කෙනෙකුට උසාවියට අපහාස කිරීමේ නීතිය යටතේ ඳඩුවම් පැමිණවිය හැක. සන්නද්ධ හමුදා හා බුද්ධි අංශ ඇතුලු සියලුම රජයේ ආයතන මේ කාර්යාලයේ වැඩ කටයුතු වලට සහයෝගය දැක්වීම අනිවාර්ය වන අතර රාජ්‍ය රහස් පනත අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සිදු කරන විමර්ශන වලදී බල රහිත වේ.

2018 අංක 5 දරණ පනතින් ලංකාවේ බලාත්මක කොට ඇති ඇතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය මඟින් ඇතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් අධීකරණ බලය එම ප්‍රඥප්තියට ඇතුලු වී සිටින සියලුම රටවල් අතරේ බෙදා හැර ඇත. ඒ අනුව ලංකාවේ සිදුවූ අතුරුදහන් කරවීමක් සම්බන්ධයෙන් වෙනත් රටක නඩුවක් පවත්වාගෙන යාමට අදාල විදෙස් රටට බලය ලැබේ. අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තියේ අංක 10, 11 හා 13 වගන්ති වලට අනුව එම ප්‍රඥප්තියට ඇතුලු වී සිටින ඕනෑම රටකට ශ්‍රී ලාංකික සැකකරුවන් සිරභාරයට ගෙන එක්කෝ එම රටේම නඩු ඇසීම නැතිනම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බාරදීමට බලය ඇත. මෙකී ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කිරීම සඳහා සම්මත කරන ලද 2018 අංක 5 දරණ පනතේ 8 වන හා 21 වන වගන්ති වලට අනුව ලංකාව තුළ අතරුදහන් කරවීමකට සම්බන්ධයැයි සැක කරන පුද්ගලයන් තමන්ට බාරදෙන මෙන් එම ප්‍රඥප්තියට සම්බන්ධ විදෙස් රටකට ඉල්ලා සිටීමටද බලය ලැබේ. 

මේ අනුව සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ පනත සංශෝධනය කිරීමට ගෙනවිත් තිබෙන පනත් කෙටුම්පතෙන් සිදුකරන්නේ 2018 අංක 5 දරණ අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කිරීමට ගෙන ආ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට උදවු දීමකි. ලංකාවේ සිදුවූවායැයි කියන අපරාධයක් සම්බන්ධයෙන් වෙනත් රටක නඩුවක් පවත්වාගෙන යාමට නම් එයට අවශ්‍ය සාක්‍ෂි යනාදිය ලංකාවෙන් ලබා ගැනීමට කුමක් හෝ යාන්ත්‍රනයක් තිබිය යුතුය. 2002 සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීමේ පනතට ගෙනවිත් තිබෙන මේ සංශෝධනවල අරමුණ වන්නේ එම යාන්ත්‍රනය සැකසීම බව සක්සුදක් සේ පැහැදිලිය. මෙය වත්මන් ආණ්ඩුවේ නවතම පාවාදීමයි. මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට උදවු දුන් විදේශීය බලවතුන්ගේ උවමනාවන් ඔවුන් ඉටු කරමින් සිටින විලාසයද ජනතාවගේ අවධානයට යොමු විය යුතුය. 2016 අගෝස්තු මාසයේදී මොවුන් අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත පාර්ලිමේන්තුවේදී බලහත්කාරයෙන් සම්මත කර ගනු ලැබුවේ එම පනත විවාද කිරීමට විනාඩි 40 ක කාලයක්වත් නොදීය. ඒ විනාඩි 40 න්ද වැඩි කාලයක් ගත වූයේ එදින එය විවාදයට ගත යුතුද නැත්ද යන්න ගැන තර්ක විතර්ක වලටය. එය එදින විවාදයට නොගන්නා බවට ආණ්ඩුව කලින් ප්‍රතිඥා දී තිබුණි. 

2018 මාර්තු මාසයේදී ආණ්ඩුව අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥපත්තිය ලංකාවේ බලාත්මක කිරීමට අංක  5 දරණ පනත සම්මත කරගනු ලැබුවේ නුවර දිස්ත්‍රික්කයේ සිදුවූ සිංහල-මුස්ලිම් කෝලහලය නිසා ජනතාවගේ අවධානය වෙනතකට යොමුවී තිබීම ප්‍රයෝජනයට ගෙනය. මොවුන් මේ නීතිය සම්මත කරගනු ලැබුවේද ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පමණක් නොව ත්‍රෛනිකායික කාරක සංඝ සභා වලින්ද එය ඉවතලන මෙන් ආණ්ඩුවෙන් කර තිබූ ඉල්ලීම නොසලකාය. මෙම වසරේ මැයි 18 වනදා, එනම් කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහනය සමරණ සංවත්සර දිනයේදීම සාපරාධී කරණා වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ 2002 පනතට මෙම සංශෝධන කෙටුම්පත ගැසට් කරන ලදී. ඒ අවස්ථාවේදීද රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ ගංවතුර ආපදාව නිසා ජනතාවගේ අවධානය වෙනතකට යොමු වී තිබුණි. මේ රටේ දීර්ඝ ඉතිහාසය පුරා රටට ද්‍රෝහී වූ පිරිස් සිට ඇත. නමුත් මේ තරම් උනන්දුවෙන් හා කැපවීමෙන් පාවාදීම් කරන පාලකයන් පිරිසක් කිසිදාක මේ රටේ සිට නැත.

Back to Home page