Colombo Telegraph

රාජ්‍යාගම: මැල්කම් රන්ජිත් කාදිනල්වරයාට නිදහස් මතධාරින්ගෙන් පිළිතුරක්

තාරක වරාපිටිය

මැල්කම් රංජිත් කාදිනල්තුමා ගම්පහ සිරි කුරුස දේවස්ථානයේදී ප්‍රකාශයක් කරමින් ජනපති සහ අගමැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය ඉවත් නොකිරීමට ගත් තීරණයෙන් තමන්ගේ බිය තුරන් වූ බවට වාර්තාවක් 2016.09.12 දින ලංකාදීපයේ පළව තිබිණි.

මීට පෙරද ඔහු නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගම රාජ්‍යාගම බවට පත් කළ යුතු බව කියා තිබිණි. ඊට අමතරව තවත් බොහෝ දේවල් ද ඔහු ඉහත රැස්වීමේදී කියා තිබෙන හෙයින් ඒවාට පිළිතුරු දීම ශ්‍රී ලංකාවේ හේතුවාදීන් හා නිදහස් මතධාරීන් හැටියට අපේ වගකීමක් ව තිබේ.

නව වන වගන්තියෙන් කියවෙන්නේ බුදු සසුන ආරක්ෂා කිරීමත් නගා සිටුවීමත් රජයේ ප්‍රමුඛ වගකීමක් වන අතර අනෙක් සියලුම ආගම්වල අයිතීන් සුරැකීමට ක්‍රියා කරන බවයි. ආගමක් නැති අය ගැන එහි ආවරණයක් නැති නිසා එම අයගේ අයිතිවාසිකම් එමගින් උල්ලංගනය වේ.

මැල්කම් රංජිත් කාදිනල්තුමා

ජනාධිපති හා අගමැති එවැනි තීරණයක් ගත් බව කියන්නේ මැල්කම් රංජිත් කාදිනල්වරයාය. ඔහු කියන්නේ ඇත්තක්දැයි නොදනිමු.

මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රකාශවලට එරෙහි ව කතෝලිකයන් 99 දෙනෙක් සිය අත්සන් සහිතව නිවේදනයක් නිකුත් කර ඇත. එම 99 දෙනා අතර කතෝලික පූජකයන්, කන්‍යා සහෝදරියන් සහ කතෝලික ක්‍රියාකාරීන් සැලකිය යුතු පිරිසක් සිටිති. ඔවුහු එක් ආගමක් ප්‍රමුඛ කිරීමට විරුද්ධ වන අතර ශ්‍රී ලංකාව අනාගමික රටක් බවට ව්‍යවස්ථාවෙන් ම පත් විය යුතු බවට යෝජනා කරති. අපේ අදහස ද එයයි.

බුදුදහම රජයේ ආරක්ෂාව පැතීමට තරම් දුර්වල ආගමක් නොවේ. එහි නිර්මාතෘවරයා භක්තියට නොව ප්‍රඥාවට මුල් තැන දුන්, සිය දර්ශනය විවේචනය කිරීමට හෝ පිළිගැනීමට නිදහස දුන්, අප වැනි නිවහල් චින්තකයන්ට පවා සම බිමක් ලබා දුන් කෙනෙකි. බුදුදහම අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන්, තුවක්කුවෙන් හෝ බයිනෙත්තුවෙන් විනාශකිරීමට නොහැකි විය. එවැනි වූ, බාහිර බලවේගවලින් විනාශ කළ නොහැකි බුදුදහමට රාජ්‍ය ආරක්ෂාවක් අවශ්‍ය නැත. ඉන්දියාවේ හින්දු ආගමට ද රාජ්‍ය ආරක්ෂාව ලබා දී නැත. ඉන්දියාවේ ව්‍යවස්ථාව විසින් ම රජය ආගමෙන් වෙන් කිරීමට තරම් නේරු, මහත්මා ගාන්ධි වැනි නායකයෝ බුද්ධිමත් වූහ. එහෙයින් ආගම් නඟා සිටුවීම ඉන්දීය රජයේ වගකීමක් නොවේ. එය පුද්ගලික දෙයක් නිසා එහි ප්‍රවර්ධනය මහජනතාවට භාර ය. රජය පොදු දෙයකි. එය ආගම් අදහන නොඅදහන සැමගේ අයිතිවාසිකම් ඉටු කළ යුතු ය.

යටත් විජිත සමයේ ස්වදේශිකයන්ට සහ ඔවුන්ගේ ආගම්වලට සැලකූ ආකාරය මතක් වීමෙන්දෝ අන් අයගේ ආගම් පිළිබඳ ව අවබෝධයෙන් හා ඒ අයට ගරු කිරීමෙන් ජීවිතය සකසාගත යුතුය කියන තැනට ඔහු පැමිණීම පිළිබඳ ව අපි සතුටු වෙමු. නමුත් ඉන් නොනැවතී අනෙක් අන්තයට ගොස් ආගම රාජ්‍ය ආගම කළ යුතු බව කියන තැනට ඔහු පත්ව සිටී.

අනාගමික රාජ්‍යයන් පිළිබඳ අදහස බටහිරින් ආ දෙයක් බව ඔහු පවසයි. බාගවිට ඉන්දියාව සහ ජපානය පවා බටහිර රටවල් බව ඔහුට සිතෙනවා ඇති. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 – (1) වගන්තිය මෙසේ ය‍:

‘සම්පූර්ණයෙන්ම රාජ්‍ය අරමුදල්වලින් පවත්වාගෙන යන කිසිම අධ්‍යාපන ආයතනයක ආගමික ඉගැන්වීම් නොකෙරෙනු ඇත.’

බෞද්ධ රටක් වන ජපානයේ ව්‍යවස්ථාවේ 20 වන වගන්තියෙන් මෙසේ කියයි: ‘ආගමික නිදහස සැමට ප්‍රදානය කෙරේ. කිසිදු ආගමකට කිසිදු වරප්‍රසාදයක් රජයෙන් නොලැබේ. ……ආගමික අධ්‍යාපනය ලබා දීමෙන් හෝ ආගමික ක්‍රියාකාරකම්වලින් රජය සහ එහි අනුබද්ධ ආයතන වැලකෙයි.’

ඔහු කියන කතා අසන කෙනෙකුට කතෝලික ආගම පැමිණියේ නැගෙනහිරින්දැයි සැක සිතෙනු ඇත.

බටහිර රටවල ආගමක් නැති චාරයක් නැති විනයක් නැති ලෝකයක් නිර්මාණය වෙමින් පවතින බව ඔහු කියයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් තවත් ලොව පිළිගත් විශිෂ්ට සංවිධානත් විසින් වසරින් වසර ලෝකයේ රටවල මානව හිමිකම්, කාන්තා හා ළමා අයිතීන්, ආර්ථිකය සහ යහපාලනය වැනි කරුණු ගැන මාපක ඉදිරිපත් කෙරේ. එම මාපකවලින් සැමවිටම ඉදිරියෙන් සිටින්නේ ඩෙන්මාර්කය වැනි නිර්ආගමිකයන් බහුතරයක් ජීවත්වන ස්කැන්ඩිනේවියානු රටවල්ය. ඔවුන්ට චාරයක් නැතැයි හෝ විනයක් නැතැයි කීමෙන් ගම්‍යවන්නේ ඔහුගේ නූගත්කම හෝ දැන දැනම බොරු කීමේ හැකියාවයි. වැඩිපුර ම සිය දිවි නසාගැනීම් පවතින්නේත් දරුවන් හා කාන්තාවන් දූෂණය සහ අපරාධ පවතින්නේත් ආගමික රටවල ය. ලංකාව ඇතුළත් වන්නේ එම කොටසට ය. එයින් පෙනෙන්නේ ගුණ ධර්ම වගාවන්නේ ආගමික භක්තියෙන් නොව සදාචාරාත්මකව, විද්‍යාත්මකව සහ හේතු සාධක අනුව කල්පනාකරන හා ක්‍රියාකරන පුද්ගලයන් සිටින රටවල බවයි. ආගම්වලින් බොහෝ විට කෙරෙන්නේ ස්වභාවික චින්තනය විකෘති කොට නරක දේ හොඳ හැටියට පෙන්වීමයි. කාන්තා අයිතීන් ගැන පමණක් සැලකුව ද ඔහු නියෝජනය කරන ආගම කාන්තාවන්ට දික්කසාද වීමේ අයිතිය නොදේ. පවුල් ජීවිතය අපායක් වුවත් කාන්තාව එහි ම දුක් විඳිය යුතු ය. උපත් පාලනය තහනම් ය. ඔහුගේ ආගමට අනුව කාන්තාව වනාහී දරුවන් බිහි කරන යන්ත්‍රයකි. කතෝලික සභාව බලවත් අප්‍රිකානු රටවල ඒඩ්ස් රෝගය වැඩියෙන් පැතිර තිබේ.

සමාජයීය කරුණු ගැන බැලූ විට ඔහුගේ නායකයන් දෙවන ලෝක යුධ සමයේ ෆැසිස්ට් මුසෝලිනීටත් නාසි හිට්ලර්ටත් දුන් සහයෝගයත් ඒ නිසා ඇති වූ යුදෙවු ජන සංහාරයත් ඔහුට මතක ඇතැයි සිතමු. 1964 දක්වා කතෝලික ආගමේ නිල ඉගැන්වීම වූයේ සියලු යුදෙව්වන් යේසුස් වහන්සේගේ මරණයට වග කිව යුතු බව ය.

ඔහුගේ අනෙක් චෝදනාවට අනුව අනාගමික ව්‍යවස්ථාව පිළිබඳ අදහස ප්‍රචාරය කළේ රාජ්‍ය නොවන සංවිධානයන්ය. ඒවා මෙහි සංස්කෘතිය විනාශ කිරීමට හදාගත් සංවිධාන ලෙසය ඔහුට හැඟෙන්නේ. සැබැවින්ම රාජ්‍ය නොවන සංවිධාන ඉහත කරුණු සම්බන්ධයෙන් විනාශකාරී ද?

ඔහු රාජපක්ෂ පාලනයට සහයෝගය දෙන කාලයේ එම ආණ්ඩුව ඉවත් කළ යුතු බවට මුලින්ම හඬ නැඟුවේ රාජ්‍ය නොවන සංවිධානයි. ඒවා අතර මූලිකවම කටයුතු කළේ නාග විහාරයේ සෝභිත හිමියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ව්‍යාපාරය බව ඔහුට මතක ඇතැයි සිතමු. එම යෝජනාව ආවේ බටහිරින් නොව අපේම සංස්කෘතිය උකහාගත් භික්ෂුවකගෙනි.

*තාරක වරාපිටිය – ලේකම්, ශ්‍රී ලංකාවේ හේතුවාදීන්ගේ සංගමය​

Back to Home page