Colombo Telegraph

අසූව දශකයට යන ගමනක් ද මේ?

මාලින්ද සෙනෙවිරත්න​ –

මාලින්ද සෙනෙවිරත්න​

“දැවැන්ත වූ ලෝක-ඓතිහාසික සිද්ධි සහ පුද්ගල චරිත දෙවරක් ඉස්මතුවන බව හේගල් කොහේ හෝ සඳහන් කර ඇත. ඔහුට මෙයට එකතු කිරීමට අමතක වූ කාරණයක් ද ඇත: පළමුව ඛේදවාචකයක් ලෙස ද දෙවනුව ප්‍රහසනයක් ලෙස. ඩොන්ටොන් වෙනුවට කොසිඩියරේ, රෝබ්ස්පියර් වෙනුවට ලුවී බ්ලොන්ක්, 1793 සිට 1795 දක්වා මූටාඥ වෙනුවට 1848 සිට 1851 දක්වා මූටාඥ, මහප්පා වෙනුවට බෑණා.” — කාල් මාක්ස් (ලුවී නැපෝලියන්ගේ ගේ දහඅටවන බ්රූමේයරය).

සමානකම් සොයාගන්නම අවශ්‍යනම් සොයාගත හැකි බව අපි දනිමු. මාර්කස් ගේ මේ වැකිය ඇති තරම් භාවිත කර ඇති බවද අවභාවිතයෙහි යොදා ඇති බවද දනිමු. ඒ කෙසේ වෙතත් අසූව දශකයේ අග භාගය සහ ශ්‍රී ලංකාවේ වර්තමානය සසඳන විට දහඅටවන බ්රූමේයරය මතක් විය.

ධර්මිෂ්ට සමාජය වෙනුවට යහපාලනය, දුර්වල වූ ජේ ආර් වෙනුවට දුර්වල වූ රනිල් (මාමා වෙනුවට බෑණා), ඉන්දියානු අතපෙවීම වෙනුවට වර්ජන රැල්ල, ජවිපෙ වෙනුවට පෙරටුගාමීන්, ජේ ආර් ගේ එජාපයේ බළල් අතක් වූ පැරණි වම වෙනුවට රනිල් ගේ එජාපයේ බළල් ඇත ලෙස නව පැරණි වම නොහොත් ජවිපෙ. අවශ්‍ය නම් මෙයද එකතු කළ හැක: අමිර්තලිංගම් වෙනුවට විග්නේස්වරන්.

අනාවැකියක් සමග කරන ලද සංසන්දනයකි මේ. එක සමානකමක් ඇත. ජේ ආර්ගේ ම්ලේච්ඡත්වය පෙනෙන්න ඇස් නොතිබුන බටහිර බල කඳවුර එදත් අදත් එලෙසමයි. වෙනසක් ද ඇත. ‘බටහිර’ දුර්වල වී ඇත. චීන සාධකය ශක්තිමත් වී ඇත. තවත් වෙනසක් ඇත. එදා විපක්ෂය ට නායකත්වය දුන්නේ දුර්වල චරිත වූ අතර සමස්ථ විපක්ෂය ඉතා දුර්වල විය. අද විපක්ෂයද එහි නායකත්වයද යහපාලකයින්ට සාපේක්ෂව සෑහෙන්න ඉදිරියෙනි ක්‍රියාත්මක වන්නේ.

1977 දී එජාපය සතු වූ මතවාදීමය ආධිපත්‍යය 88-89 වනවිට ක්ෂයවී යමින් තිබිණ. 2015 ජනවාරි මස යහපාලයකින් සතු වූ මතවාදීමය ශක්තිය අද වන විට දියව ගොසිනි. එදා එජාපයට භීෂණයක් නිර්මාණය කිරීමට අවශ්‍ය විය. මෙදා යහපාලකයින්ට ද භීෂණයක් අවශ්‍ය වී ඇත. 88-89 දී අප අත්දුටු මර්දනයකට යහපාලකයින් ඉව කරන බව ඉතා පැහැදිලිය. 88-89 දී දැන හෝ නොදැනගෙන ජවිපෙ එජාපයේ දේශපාලන අනාගතය ආරක්ෂා කිරීමට කැප විය. මෙවර පෙරටුගාමීන් එම භූමිකාව වැලඳ ගන්නේ යැයි ඇතැමුන් බලාපොරොත්තු වනවා ඇති.

තමන්ගේ දේශපාලනික, ආර්ථික සහ උපායික උවමනාවන් සඳහා යහපාලකයින් බලයේ රඳවාගැනීමටත්, එසේ රඳවාගැනීමට මෙරට දෙවෙනි භීෂණයකට තල්ලු කිරීමට අවශ්‍යනම්, එයට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල ආශිර්වාදය ලැබෙනු ඇත.

මේ ගමන් කරන්නේ එවැනි තීරණාත්මක සහ බියකරු දේශපාලන මොහොතක් වෙත ය. එවැන්නක් අනිවාර්ය නැත. පෙරටුගාමීන් හෝ වෙනත් සංවිධානයකට රජයෙන් භීෂණය ඉල්ලීමට අවශ්‍ය පූර්ව කොන්දේසි කෘතීම වශයෙන් නිර්මාණය කිරීමට යහපාලකයින් අසමත් විය හැක. භීෂණයක් කිසිසේත් අනවශ්‍ය චීනය, ආධාර හරහා තත්ත්වය පාලනය කිරීමට උත්සාහ දරනු ඇත.

අනාවැකි සුලබ වේ. අනාවැකි ප්‍රකාශ කිරීම පහසු වේ. ඇතැම් විට විහිංසනයෙන් සැදුනු ඉතිහාසයක් නැවත නොඑනු ඇත. ඇතැම් විට අත්විඳින්නට සිදුවනු ඇත. එසේ වුවහොත් පළමුව අත්වින්දේ ඛේදවාචකයක් ද නැතහොත් ප්‍රහසනයක් ද යන්න විමසිය හැකි වනු ඇත.

Back to Home page