Colombo Telegraph

සංහිඳියා රාජ්‍යතාන්ත්‍රිකභාවය ඉදිරියට ගෙනයාම: ශ්‍රී ලංකාවේ දෘෂ්ටිකෝණය

මංගල සමරවීර

ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින්නේ කුමණ ආකාරයක රාජ්‍යතාන්ත්‍රිකරණයක් ද යන්න පිළිබඳව සළකා බලමු. 1947 වසරේදී ජවහල්ලාල් නේරු මැතිතුමා කළ ප්‍රකාශයක් වෙත අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. “ඔබ කුමන ආකාරයේ ප්‍රතිපත්තියක් සැකසුවද, රටට වඩාත්ම වාසිදායක වන දේ සොයා ගැනීමට හැකිවන ආකාරයෙන් එරටේ විදේශ කටයුතු පවත්වාගෙන යා යුතුය” එහෙයින්, එසේ පැවසීම අපට අද ඉතා ආත්මාර්ථකාමී බවකැයි පෙනී ගියද, අප දෘෂ්ඨිවාදීන් නොවූවද අපගේ විදේශ ප්‍රතිපත්තියේ ඉදිරියට ගෙන යන ගාමක බලය වන්නේ අපේම අභිලාෂයන් වනබව පැවසීමට කැමැත්තෙමි. ඒ මන්ද යත්, ශ්‍රී ලංකාවේ ජනතාවට සත්‍ය වශයෙන්ම හිමිවිය යුතු අනාගතයක් උදාකර ගැනීමට හැකිවන බව තහවුරු කරලීමට අපට උවමනා වී තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නෝර්විජියානු ආයතනයේ දී පවත්වන ලද කථාව:

නෝනාවරුනි, මහත්වරුනි, ඔබ සියලු දෙනාම දන්නා පරිදි, 2015 දේදුනු මැතිවරණ ලෙස කවුරුත් හඳුන්වන්නාවු ආකාරයේ ඓතිහාසික මැතිවරණයක දී ශ්‍රී ලාංකික ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය උදෙසා වූ වෙනසක් අපේක්ෂාවෙන් තම ඡන්දය ප්‍රකාශ කළ අතර 2015 ජනවාරි 08 වැනි දින බලයට පත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය යන කාරණා මත පදනම් වූ මාවතක රට මෙහෙයවයි. නිතැතින්ම එදින ශ්‍රී ලාංකික ප්‍රජාව, වසර ගණනක් මුළුල්ලේ රට වෙළා පැවති ඒකාධිපතිවාදය සහ අපරාධවලට දඬුවම් ලබා නොදී සිටීම වෙනුවට නිදහස් හා සාධාරණ මැතිවරණ මෙන්ම, යහපාලනය සහ නීතියේ ස්වාධිපත්‍ය, බියගුළු හා වෛරී දේශපාලනය වෙනුවට ස්ථාවරත්වය, සංහිඳියාව සහ සාමය ද තෝරා ගත්හ. තවද, සීමිත ධනපතිවාදීන් පිරිසක් සමඟ ගෙනගිය හුදෙකලා ප්‍රතිපත්තිය පසෙකලා ලෝකයට විවෘත වෙමින්, තරඟකාරී විනිවිදභාවයෙන් යුතු රෙගුලාසි මත පදනම් ආර්ථිකයක් ජනතාව අපේක්ෂා කළහ. ජනවාරි මස ලබාගත් ජයග්‍රහණය එම වසරේම අගෝස්තු මස යළිත් තහවුරු වු අතර අන්තවාදී දේශපාලන පක්ෂ සියල්ලක්ම තීරණාත්මක ලෙස පරාජයට පත් කරමින්, නිදහසින් පසු රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක, පෙර නොවූ විරෑ ලෙස අතීත අමනාපකම් පසෙකලා එක් පක්ෂයක් ලෙස එකට වැඩ කිරීමට එකඟ විය. එසේම ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ නායකයා, පෙර කිසි විටකත් සිදු නොවු ලෙස විපක්ෂ නායකයා ලෙස තේරී පත් විය. මාගේ හැඟීම පරිදි, මෙම අවස්ථාව අපේ රටට උදා වූ නව මාවතක් වන අතර එමගින් අතීතයේ සිදු වූ වැරදි අඩු පාඩු මග හරවා ගෙන අලුත් අනාගතයක් වෙත යාමට මං විවර වනු ඇත.

කවුරුත් දන්නා පරිදි 1948 දී ශ්‍රී ලංකාව නිදහස දිනා ගන්නා අවස්ථාවේ, සියලු රටවල විශ්වාසය වූයේ ශ්‍රී ලංකාව නොපමාව තම සාර්ථකත්වය වෙත යනු ඇති බවයි. අප බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබු දිනට පසු දින, ලන්ඩන් ටයිම්ස් පුවත් පතේ (මතකය නිවැරදි නම්) ලිපියක් කියවීමට අවස්ථාව ලැබිණි. එහි කතු වැකියෙන් ප්‍රකාශ කර තිබුණේ, ”සෙලෝන්” (එවකට හඳුන්වන ලද පරිදි) එහි මූලෝපායික පිහිටීම, මානව මෙන්ම ස්වභාවික සම්පත් හේතුවෙන් නොබෝ කලකින්ම පෙර දිග ස්විට්සර්ලන්තය බවට පත්වනු ඇති බවයි. එපමණක්ද නොව වැඩි ඈතක් නොවන 1965 දී පමණ මැලේ සංගමයෙන් වෙන් වී අවුත් සිංගප්පූරුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ ලී ක්වෑන් යු තම ප්‍රථම අයවැය ඉදිරිපත් කරමින් කියා සිටියේ 1965 දී තම අභිප්‍රාය වන්නේ ප්‍රථම වසර 5 ඇතුළත ලංකාවේ වර්ධන වේගය අභිබවා යන බවයි. මෙයින් ප්‍රකාශ වන්නේ එම යුගය වනවිට අප රට සිංගප්පුරුවට ඉදිරියෙන් පැවැති බවයි. එහෙත්, ලී ක්වෑන් යූ 1983 වනවිට ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාව යනු, කිසිම රටක් විසින් ආදර්ශයට නොගත යුතු රටක් ලෙසය. ඒ මන්ද යත්, සියලුම ප්‍රගතිශීලි අවස්ථා ද ඒ සඳහා උපකාරී වන කාරණා ද තිබියදීත්, ජාතියක් වශයෙන් අප රට සතු විවිධත්වය යහපත උදෙසා ප්‍රයෝජනයට ගත නොහාකි වුයෙන් ලෙහෙසියෙන් විසඳාගත හැකි වු ගැටළු දුර දිග යාමේ විපාක ලෙස දරුණු සංග්‍රාමයකට එළඹීමට සිදු වූ බැවිණි. මගහැරුණු අවස්ථා හඹායමින් සාර්ථකත්වයේ චාරිකාව අරඹන්නට අද පටන් අප කටයුතු කළ යුතුයි යනු මාගේ විශ්වාසයයි.

මා එසේ කියන්නේ දිගු කළකින් උදා නොවු විරල අවස්ථාවක් නව සන්ධානයන් විසින් අප හමුවේ තබා ඇති බැවිනි. එනම්, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් සමන්විත වූ ආණ්ඩුවක් අප සතුව ඇත. අප සතුව විපක්ෂයක් මෙන්ම මධ්‍යස්ථ දෙමළ ජනතාවගේ මෙන්ම අනෙකුත් සුලුතරයක් වූ ජනතාවගේ අපේක්ෂාවන් නියෝජනය කරන විපක්ෂ නායක වරයෙක් ද, විශේෂයෙන් මා කළින් සඳහන් කරන ලද පාලන තන්ත්‍රයේ පාදම බඳු ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව සහ සංවර්ධනය යන කාරණා වෙනුවෙන් කැප වූ රජයක් ද අප සතුව ඇති බැවිනි. නිසැකවම, ඔබගෙන් ඇතැමෙක් දන්නා පරිදි , කෙටි කාලයක් ඇතුළත ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ කාර්යය සම්බන්ධ බොහෝමයක් ජයග්‍රහණ අත් කර ගැනීමට අප මේ වන විටත් සමත් වී ඇත. පළමු දින 100 ඇතුලත දී, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ පරිදි ජන මත විචාරණයකට පවා නොගොසින්ම විධායක බල තල තමන්ට හැකි පමණින් කප්පාදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. ජනාධිපති පදවිය දැරීමේ කාලසීමාවන් යළි හඳුන්වා දීමද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අපරාධ කොමිසම වැනි සියලු ආයතන ජනාධිපතිවරයාගේ පාලනයෙන් මුදා හැර ස්වාධීන ලෙස කටයුතු කිරීමට සැලැස්වීම ද, ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒමෙන් නොනැවතී අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයට කැපවී සිටී.

පසුගිය අගෝස්තු මස පැවැති මහ මැතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවීමෙන් අනතුරුව, මේ වසරේ ජනවාරි 09 වැනි දින ජනාධිපති පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණය සමරණ අවස්ථාව වනවිට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පරිවර්තනය කිරීමට අපි කටයුතු කළෙමු. මක්නිසාද යත් නිදහසින් පසුව භාවිත වූ 1972 සහ 1978 ජනරජ ව්‍යවස්ථා මගින් ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාව සතු විවිධත්වය පිළිඹිබු නොවු හෙයිනි.

ශ්‍රී ලංකාව යනු බහු ජනවාර්ගික, බහු ආගමික, මෙන්ම විවිධ භාෂා කථා කරන, විවිධ සංස්කෘතීන්ට අයත් ජනතාව වෙසෙන රටක් බව ඔබ දන්නා කරුණකි. ශ්‍රී ලංකාවේ සිංහල මෙන්ම දෙමළ ජනතාව වාසය කළ බවට ලිඛිත ඉතිහාසය සාක්ෂි දරයි. වෙළඳ ප්‍රජාවක් ලෙස මෙහි පැමිණි මුස්ලිම් ජාතිකයන් පසුගිය වසර 1000 හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් මුළ්‍රල්ලේ අපගේ ඉතිහාසයට බහුල ලෙස දායක වෙමින් මෙහි වාසය කරන්නට වූ අතර බර්ගර් ජාතිකයන් හා ලන්දේසි මෙන්ම පෘතුගීසි සම්භවය සහිත ජනතාවද අප අතර සිටිති. මැලේ ජාතිකයන් මෙන්ම ස්වදේශික ශ්‍රී ලාංකිකයන් වූ වැදි ජනතාවද අප අතර සිටින නමුත් අවාසනාවකට මෙන් මෙතෙක් පැවති ව්‍යවස්ථාවන් ප්‍රධාන වශයෙන් බහුතරවාදී ස්වරූපයන් ගත් හෙයින්, ශ්‍රී ලාංකිකයන් පමණක් නොව ලොව අනෙකුත් ජනතාව ද පෙර නොදුටු විරූ අමානුෂික සිවිල් යුද්ධයකට මග පෑදිණි. එවන් තත්ත්වයක් යළි ඇති නොවීමට වගබලා ගැනීම මූලික පරමාර්ථයක් කොට සළකා කටයුතු කරන අතර අප දැන් සිදු කරමින් පසුවන්නේ, සෑම දෙයටම පෙරාතුව සිදු කළ යුතුමවන ශ්‍රී ලාංකික විවිධත්වය පිළිඹිබුවන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි.

තවත් පැහැදිලි කරන්නේ නම්, ජනාතාව සමග පවත්වන ලද උපදේශනවලට අදාළ ප්‍රථම වාර්තාව පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එයට අදාළ කෙටුම්පත සකස් කිරීමේ කටයුතු පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාපිත මණ්ඩලයේ දී ඉතාමත් බැරෑරුම් හා කඩිනම් කර්ත්‍යවයක් වශයෙන් සිදු කෙරෙමින් පවතී. එහි වැඩ කටයුතු සිදු කරන පුද්ගලයින් වෙත අප ප්‍රකාශ කර සිටියේ නොවැම්බර් මාසය අගභාගයේ ඉදිරිපත් කරන අයවැය ප්‍රකාශයට පෙර, එනම් සැප්තැම්බර් මාසය වනවිට ව්‍යවස්ථාවේ පළමු මුද්‍රිත පිටපත අප වෙත ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර බලයකින් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සදහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර බොහෝ විට, නව වසරේ දී ජනමත විචාරණයක් තුළින් එය සම්මතකර ගැනීමට අපේක්ෂිතය. එනමුදු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මෙම කාර්යයේ දී එක්ව කටයුතු කරන හෙයින්, 2/3 ක බහුතරයක් ද ජනමත විචාරණයේ දී “ඔව්” යන පිළිතුර ද ඒ වෙත ලැබෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.

නව ව්‍යවස්ථාව සමග, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තව තවත් ශක්තිමත් කිරීම උදෙසා නව නීති ගෙන ඒමට කටයුතු කරමින් සිටිමු. යට කී පරිදි සියලුම නෛතික යාන්ත්‍රණ, මාධ්‍ය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ආදිය ස්වාධීන කිරීමටත්, ජනමාධ්‍ය, ආණ්ඩුවේ අතපෙවීම් වලින් නිදහස් කිරීමටත් 19 වැනි සංශෝධනයට හැකි විය. තවද, ශ්‍රී ලාංකිකයින් බොහෝ කලක සිට අපේක්ෂාවෙන් සිටි තොරතුරු දැන ගැනීමේ පනත හෙට දින, ඡන්දය ප්‍රකාශ කිරීමට මා එහි නොමැතිවුවත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය සම්මත වනු ඇත.

සංහිඳියාව ඇති කිරීම අපගේ අවධානය යොමු වන අනෙක් ක්ෂේත්‍රය වන අතර එය ලඟාකර නොගෙන ශ්‍රී ලංකාව සතු පොරොන්දුව ඉටු කිරීමට නොහැකිය. ප්‍රතිසන්ධානය ඇති කිරීම පිණිස වූ ප්‍රබල වරමක් සහිතව රජය බලයට පත්වීමට එය හේතුකාරක වූ බැවින් මානව හිමිකම් උල්ලංඝණය කිරීමට අදාළ විවිධ චෝදනා පිළිබඳව මෙන්ම ඇතැම් විට අතීතයේ සිදු වූ යුධ අපරාධ සම්බන්ධයෙන් වූ චෝදනා පිළිබඳව සෙවීමේ දේශීය යාන්ත්‍රණයක් ආරම්භ කිරීමටද එම වරමින් අපට බලය පවරා ඇත.

මූලික වශයෙන් එක්සත් ජනපදය විසින් ජිනීවා හිදී ඉදිරිපත් කරන ලද යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය ලබා දීමට ශ්‍රී ලංකාව ගත් තීරණය අභීත පියවරක් ලෙස සැළකිය හැකිය. ශ්‍රී ලංකාවේ දී එවැන්නක් සිදු කිරීමේ අවශ්‍යතාවය ඇති පුද්ගලයින්ට සාධාරණයක් ඉටු කිරීමේ හොඳම මාර්ගය සම අනුග්‍රාහකත්වය දැක්වීම බව සාකච්ඡාවලින් අනතුරුව අපි තීරණය කළෙමු.

අතීතයේ සිදුකළ වැරදි ආවරණය කර ගැනීමට උත්සාහ දරණ ඇතැම් පුද්ගලයින්, විශේෂයෙන් අන්තවාදී ජාතික කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ අප එසේ තීරණය කළේ ජාත්‍යන්තර බලපෑම් හමුවේ බවයි. නෝනාවරුණි, මහත්වරුණි, නැත! එය යෝජනාව නොව, යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමේ තීරණය සහ සංහිඳියා ක්‍රියාවලියකට අපගේ වූ කැපවීම පමණක් බව ඔබට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මූලිකවම අපගේ අතීතය පිළිබඳ සළකා බලන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලද්දේ ජාත්‍යන්තර ප්‍රජාවගේ බලපෑම නිසා නොව රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ඉදිරි ගමනක් යා හැකි එකම මාර්ගය එය වනබව, අප රජයක් ලෙස විශ්වාස කරන බැවිණි. එසේ සිදු කිරීම සඳහා සුදුසු සිව් වැදෑරුම් යාන්ත්‍රණයක් පිළිබඳ අපි සාකච්ඡා කළෙමු. සත්‍ය සෙවීම සදහා සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ද දෙවැන්න වගවීම සහ සාධාරණත්වය උදෙසා වූ යාන්ත්‍රණයක් ද වේ. තුන්වැන්න වන්දි ගෙවීම පිණිසත් සිව්වැන්න යළි ගැටුම් ඇති නොවීම තහවුරු කර ගැනීම පිණිසත් වන අතර මෙමගින් නිදහස දිනු දා සිට මෑතක් වනතුරුම මේ සොඳුරු දිවයිනේ ඇති වූ ශෝකාකූල සිද්ධීන් යළිත්, යළි කිසි දිනකත් ඇති නොවන බව තහවුරුකර ගැනීම අපේක්ෂා කෙරේ.

එය සිත්හි ධාරණය කර ගනිමින් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ එම යෝජනාව ඒකමතිකව සම්මත වූ දින සිට, පසුගිය මාස ගණනාව පුරාවටම අපි මහත් වෙහෙසක් දරමින් වැඩ කටයුතු කළෙමු. මේ වන විට, එම යාන්ත්‍රණවලින් පළමු වැන්න වශයෙන් අප යෝජනා කළ අතුරුදන් වූ පුද්ගලයින් සඳහා වු නිත්‍ය කාර්යාලය සම්බන්ධ කටයුතු අවසාන අදියරේ පසුවෙයි. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ද ලබා ගත් අතර සිංහල, දමිළ, ඉංග්‍රිසි යන භාෂාත්‍රයෙන්ම ගැසට් පත්‍රයක් ලෙස පළකිරීමේ පියවර ද මීට සති දෙකකට ඉහත දී සම්පූර්ණ කෙරිණි. ඒ සම්බන්ධයෙන් මීළඟ පියවර වන්නේ නියමිත කාල පරාසයන් සම්පුර්ණවීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. එහෙයින් OMP හෙවත් අතුරුදන් වූ පුද්ගලයින් සඳහා වූ කාර්යාලය ඉදිරියට තබන ලද තවත් යෝධ පිම්මකි.

තවද, SCRM යනුවෙන් හඳුන්වන සංහිඳියා යාන්ත්‍රණයන් සම්බන්ධීකරණය කිරීම පිණිස වූ ලේකම් කාර්යාලයද අපි ඇති කළ අතර සිවිල් සමාජයේ නායකයින් සමග එම කටයුතු සිදු කරන අතර, අනෙකුත් යාන්ත්‍රණ පිළිබඳ උපදේශන පවත්වාගෙන යනු ලබයි. සියලු පාර්ශ්වකරුවන්, යුද්ධයෙන් පීඩාවට පත්වූවන්, හමුදා සාමාජිකයින්, අතුරුදන් වූ පුද්ගලයින්ගේ බිරින්දෑවරුන් සහ නොයෙකුත් දේශපාලනික පක්ෂ සමඟද සාකච්ඡා හා උපදේශණ පැවැත්වීමේ කටයුතු මේ වනවිටත් ආරම්භකොට ඇත.

සත්‍ය හා ප්‍රතිසංධාන කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමේ දී අපි දකුණු අප්‍රිකා රජය සතු අත්දැකීම් පිළිබඳව සළකා බලමින් කටයුතු කර ඇත්තෙමු. ඇත්ත වශයෙන්ම, සත්‍ය හා ප්‍රතිසංධාන කොමිෂන් සභාවේ දකුණු අප්‍රිකා ආදර්ශයෙන් අපට මගපෙන්වීමක් ලබා නොදෙයි. ඒ මන්ද යත්, දකුණු අප්‍රිකාණු ආකෘතිය මා පවසන තරම් සරළ නොවූවද ඒ පිළිබඳව මා සරළව සඳහන් කළහොත් එය පාපෝච්චාරණය හා සමාව දීම මත පදනම් වූ ක්‍රියාවලියකැයි පැවසිය හැකිය. නමුත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එය නොවේ. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට අවශ්‍ය වී ඇත්තේ යුක්තියයි. එහෙයින් සත්‍ය හා ප්‍රතිසන්ධාන කමිටුව මාර්ගයෙන් පමණක් නොව, විශේෂ අධිකරණ පිහිටුවීම වැනි ඉන් ඔබ්බට ගත යුතු පියවර සම්බන්ධයෙන් ද අපි කටයුතු කරමින් සිටින්නෙමු. ඇත්ත වශයෙන්ම, එය ස්ථාපනය කළ යුත්තේ කෙසේ ද හා ජාත්‍යන්තර සහභාගිත්වය ලබාදෙන මට්ටම කුමක් ද යන්න පිළිබඳව යම් ප්‍රමාණයක විවාදයකට තුඩු දී තිබේ. සාකච්ඡා නිමවීමෙන් පසුව ඒ පිළිබඳව තීරණයකට එළඹෙන අතර මට දැන් කීමට ඇත්තේ අපගේ තීරණය කුමක් වුවත් ඒ සඳහා අපගේ අනුමැතිය පමණක් නොව වේදනා විඳින පීඩා විඳින පුද්ගලයන්ගේ අනුමැතිය ද ලබාගත යුතු බවයි. මෙය අපිට සතුට ලබා ගැනීමට සිදුකරන්නක් නොවේ. එහෙයින්, මෙම අධිකරණ ව්‍යුහයේ අවසාන සැකිල්ල සාකච්ඡා කිරීමෙන් විශේෂයන්, පීඩාවට පත්වූවන් නියෝජනය කරන දමිළ ජාතික සන්ධානය වැනි පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් සැකසීමට අපි අපේක්ෂා කරමු.

මේ සමඟම මෙම ක්‍රියාවලියට තවදුරටත් ආරම්භක ගැම්මක් ලබාදීම සඳහා යම් යම් පියවර ද ගෙන තිබේ. මම මීට පෙර සඳහන් කලාක් මෙන් බලයට පත්වූ වහාම, උතුරෙන් හා නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීමේ අරමුණින් යුතුව, අපි, උතුරේ ආණ්ඩුකාරවරුන් ලෙස සිවිල් ජනතාව එනම් විශාල ගෞරවයක් හිමිකරගත් රජයේ නිලධාරීන් දෙදෙනෙකු පත් කළෙමු. හමුදාව ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළද එය තවමත් අවසාන වී නොමැත. වසර ගණනාවක් මුළුල්ලේ හමුදා කටයුතු සඳහා අත්පත් කරගෙන සිටි ඉඩම් කැබලි ආපසු ලබාදීමේ කටයුතු වල අපි දැන් නිරත වී සිටින්නෙමු. ඇත්ත වශයෙන්ම, මෙම සතිය ඇතුළත තවත් අක්කර 700ක් ද නිදහස් කරනු ලබන බව මම දනිමි. මෙතෙක් අක්කර 4000 කට ආසන්න ප්‍රමාණයක් නිදහස්කර ඇති අතර සමහරවිට, මීට සමාන ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට ඉතිරි වී තිබේ. 2018 වසර අවසාන වන විට සියලුම ඉඩම් නිදහස් කළ යුතු බවට අපි හමුදාවට කියා ඇත්තෙමු.

ඇත්ත වශයෙන්ම අපි ප්‍රථම වතාවට බලහත්කාරයෙන් හා ස්වේච්ඡාවෙන් නොවන අතුරුදන් කිරීමේ පිළිබඳ සම්මුතිය …….කළ අතර මා ජූලි මස ශ්‍රි ලංකාවට ආපසු ගිය විට එය ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීතිකරණය මගේ අමාත්‍යාංශය මගින් සකසවා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරමි.

අපි කලින් මුහුණ දුන් සුදු වෑන් සංස්කෘතිය අතීතයට පමණක් සීමා වනු ඇත.

ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී කැරළි දෙකක් හෝ ජනතා විමුක්ති පෙරමුණු කැරළි දෙකක් හා වසර 26ක් පැරණි යුද්ධයක් ඇති වී ඇති අතර නව ශ්‍රී ලංකාවක් ලෙස සකස්වීමට කැමති රටක් උදෙසා නව ගමනක් ආරම්භ කර තිබේ. ඇත්ත වශයෙන්ම මෙම අමිහිරි අතීත උරුමය මගින් අප රටේ එවැනි ප්‍රචන්ඩත්වයේ වධවේදනාවන් යළි කවරදාකවත් ඇති නොවීමට සාමුහික අධිෂ්ඨානයක් ඇති කරගැනීම සියල්ලම ඒකරාශි කර ඇති බව මගේ හැඟීමයි. ඇත්ත වශයෙන්ම, මෙම ස්වභාවයේ අතීතයන් සමඟ පොර බැදීමට උත්සහ දරන විට අතීතයේ අවතාර සමඟ තවමත් කටයුතු කිරීමට ඔබට සිදුවේ. මම ඔබට කීවාක් මෙන්, ඔබට තවමත් සමහර විට නිලධාරීවාදයේ යම් යම් අංශවල පැලපැදියම් වී ඇති හා සමහරවිට, අපි යමක් සිදුවනවාට කැමති තරම් ඉක්මනට එය සිදු නොවනවා යැයි ඉච්ඡාබංගත්වයට පැමිණි පැරණි මනෝ විභීතීන් සමඟ අපිට තවමත් කටයුතු කිරීමට සිදුවෙයි. නමුත් මෙම සියලුම දුෂ්කරතා මැඩගෙන කටයුතු කිරීම සඳහා කුමන ආකාරයේ අභියෝගවලට මුහුණ දීමට සිදු වුවද ශ්‍රී ලංකාවට අපේක්ෂාවක් තිබෙන බව මට කිව හැකිය. ඇත්ත වශයෙන්ම, තමාම වර්ණනා කර ගැනීමක් ලෙස ඉතා කෙටි කාලයක දී අත්කර ගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව කථා කිරීමට මට අවශ්‍ය නැත. අපි සුවිශේෂී ජයග්‍රහණ අත්කරගෙන තිබෙන අතර එය ඉදිරියටත් එසේ කිරීමට අපේක්ෂා කරන්නෙමු. නමුත් මෙම අවස්ථාවේ දී අප සිදු කර තිබෙන දෑ ජාත්‍යන්තර කරළියේ සිටින අපගේ මිතුරන් සුළු කොට තකන බව මම නිරීක්ෂණය කළෙමි. ජාත්‍යන්තර ප්‍රජාවේ සිටින ඔබ සමහරකට එම පියවර සුළු පියවරක් ලෙස දිස්වුනද, එය ආම්ස්ට්‍රොන් හඳට යාමට සමාන කළ හැකියැයි මම සිතමි. ඒ මක් නිසාදයත්, එය ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැකි යෝධ පිම්මක් වන හෙයිනි.

මෙරටින් නික්ම මම ලබන සතියේ ජිනීවා වෙත යන අතර එහිදී මම අප දැන් සිදුකරමින් සිටින කටයුතු පිළිබඳව ප්‍රකාශයක් කරනු ඇත.

සමහර ප්‍රවෘත්ති පත්‍ර හා සමාජ මාධ්‍ය මගින්, ජනාධිපතිතුමා එක් මතයකුත් අග්‍රාමාත්‍ය තුමා තවත් මතයකුත් ද, විදේශ අමාත්‍යතුමා ඊට වඩා වෙනස් මතයකුත් දරන බව සමහර ප්‍රවෘත්ති පත්‍ර හා සමාජ මාධ්‍ය යළිත් ප්‍රකාශ කළ ද එය එසේ නොවේ. අපි එකාවන්ව කටයුතු කරමු. ඇත්ත වශයෙන්ම, මෙම වසරේ ශ්‍රී ලංකාවේ නිදහස් දිනයේ දී එනම් පෙබරවාරි 4 වැනි දින ජනාධිපති සිරිසේන මැතිතුමා ජාතිය අමතමින් “ජිනීවා යෝජනාවලියේ විධි විධාන ක්‍රියාත්මක කිරීමට අප ඉදිරියේ ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව උදාවී ඇත. වෙනත් රටවල් අතර ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාවට හිමි විය යුතු තත්ත්වය නැවත ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ පීඩනය මත නොව රටක් ලෙස අපගේ ජාතියේ අප ජනතාවගේ හා අප හමුදාවල අභිමානය යළිත් ඇතිකිරීම උදෙසා අපි මෙම විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වෙමු.” මම ප්‍රකාශය කළාක් මෙන් අපි අභියෝග වලට මුහුණ දෙමින් විශ්වාසයෙන් යුතුව ඉදිරියට පිය නගන්නෙමු.

ඇත්ත වශයෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රතිසන්ධානය සාර්ථක වීමට නම්, රට ඉදිරියට ගෙනයන ස්ථම්භයේ තෙවැනි කොටස වන සංවර්ධන ස්ථම්භය ද සාර්ථක විය යුතු බව අපගේ හැඟීමයි. ලෝකයේ අන් රටවල් සමඟ විවෘත ප්‍රතිපත්තියකින් කටයුතු කිරීම සහ අපගේ අතීතයේ සිදුවූ අතපසුවීම් නිවැරදි කර ගැනීමේ අප ප්‍රතිපත්තිය හේතුවෙන් තම මුදල් පසුම්බි පිරී ඇති බවටත්, ආර්ථික වශයෙන් යහපත් තත්ත්වයක පසුවන බවටත් ඔවුන්ගේ ජීවන තත්ත්ව නගා සිටුවා ඇති බවටත් ශ්‍රී ලාංකිකයන්ට දැන් හැඟී යා යුතුය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන ආයෝජකයන් රැසක් ඇමතීමට අද උදයේ මට අවස්ථාවක් ලැබුනු අතර එය සංවිධානය කරන ලද්දේ තානාපතිවරයා විසිනි.

ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලාභී රටකි. අපි දීමනා හෝ ආධාර හෝ ප්‍රදානයන් සඳහා තවදුරටත් සුදුසු නොවේ. අප රට ගැන අපිම බලාගත යුතු අතර එසේ කිරීමට අත්‍යාවශ්‍යවන ආර්ථිකයට මූලාරම්භයක් ලබා දීම සඳහා විදේශීය ඍජු ආයෝජන ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවට යෝධ හැකියාවක් තිබේ. ඇත්ත වශයෙන්ම, ඉතා දිගු කාලයක සිට ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා පාරාදීසයක් ලෙස හඳුන්වනු ලබන අතර දැන් අපිට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාව විදේශීය ආයෝජකයන් සඳහා පාරාදීසයක් කිරීමටය. ඇත්ත වශයෙන්ම, නැගෙනහිර හෝ ආසියවේ වැදගත්කම වර්ධනය වන හෙයින්, ශ්‍රී ලංකාවට ඉන්දියානු සාගරයට හා ඉන්දියානු උප මහද්වීපයට ක්‍රමෝපායි වශයෙන් වැදගත්වන දොරටුවක් බවට පත්විය හැකිය.

අපගේ වෙළඳපොළ සාපේක්ෂව කුඩා වුවද අපගේ ජනගහණය මිලියන 21කි. ඉන්දියාව හා පකිස්ථානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට ශ්‍රී ලංකාව එළඹ තිබේ. අපි දැන් චීනය හා ජපානය සමග නිදහස් ගිවිසුම්වලට එළඹීමට සාකච්ඡා පවත්වමින් සිටින්නෙමු. මම කලින් පැවසුවාක් මෙන්, එමඟින් ලෝකයේ මෙම ප්‍රදේශයේ පිහිටා ඇති රටවලින් මෙම ප්‍රදේශවලට ආයෝජකයන්ගේ පැමිණීමට ඉන් ප්‍රවේශයක් ලබාදෙන බව මට විශ්වාසයි.

මෙම නව රජය බලයට පත්වීමෙන් අනතුරුව, බටහිර රටවලින් අප වෙත විශාල සහයක් ලැබෙමින් පවතියි. විශාල වශයෙන් හොඳහිත පලකිරීම් දක්නට ඇති අතර මෙම හොඳහිත පළකිරීමේ ප්‍රායෝගික හා එදිනෙදා යථාර්තයන් බවට පරිවර්තනය විය යුතුය. අපට උපකාර කළ හැකි හොඳම මාර්ගය වන්නේ වෙළඳ කටයුතු සඳහා ආයෝජනය කිරීමට ශ්‍රී ලංකාව තෝරා ගැනීමයි.

තමා විසින්ම හුදෙකලාවීම සහ ගැටුම යන කලින් පැවති රජයේ ප්‍රතිපත්තිය අපි අවසාන කර ඇත. අපි අද ලෝකයම වැළඳගෙන ඇත්තෙමු. අපි චීනය මත පූර්ණ වශයෙන් වසර 10කට ආසන්න කාලයක් චීනය මතම පමණක් යැපුන අතර දැන් අපි වසර කිහිපයකට පසුව අපගේ අසල්වාසී හා මිතුරු රටක් වන ඉන්දියාව සමඟ සබඳතා විශිෂ්ඨ මට්ටමකින් නැවත ස්ථාපනය කර තිබෙන බව ප්‍රකාශ කරන්නේ සතුටිනි.

අපි යුරෝපා සංගමය සමඟ සබඳතා නැවත ස්ථාපනය කර තිබේ. ඇත්ත වශයෙන්ම, පසුගිය සතියේ ශ්‍රී ලංකාව මත පනවා තිබු මත්ස්‍ය තහනම යුරෝපා පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව ඉවත් කරන ලද අතර ජී.එස්.පී + අනුග්‍රාහකත්වය නැවත ස්ථාපනය කිරීම සඳහා අප නිල වශයෙන් කරන ඉල්ලීම ඊයේ භාර දුන්නෙමු. කලින්, එය මූලිකවම ලබාගැනීමට අවශ්‍යවන මිනුම් දඬු රාශියක් සපුරා නොමැතිවීම හෝ උල්ලංඝණය කර තිබීම හෝ හේතුකොට ගෙන එය නැවත වතාවක් ඉවත් කරගනු ලැබූ අතර දැන් එය ආපසු ලබාගැනීමට සුදානමෙන් සිටියි. එහි ප්‍රතිඵලයක් ලෙස අහිමි වූ රැකියා දස දහස් ගණනක් ලබාදීමට හා නැවත බිහි කිරීමට හැකිවනු ඇත.

අපි එක්සත් රාජධානිය සමඟ පෙර නොවූ විරූ මට්ටමක් දක්වා අප සබඳතා වර්ධනය කර තිබේ. මෙම වසරේ පෙබරවාරි මස එක්සත් ජනපද – ශ්‍රී ලංකා පාර්ශ්වකාර සංවාදය වොෂිංටනයේ දී ආරම්භ කරන ලදි. (G7) කණ්ඩාය‍මේ සමුළ්‍රව සඳහා ආරාධනා ලැබූ පළමු ශ්‍රී ලාංකික නායකයා ජනාධිපති සිරිසේන මහතා වූ අත G7 කණ්ඩායමට අයත් සියලුම රටවල් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට පොරොන්දු ලබා දුන්හ.

ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින්නේ කුමණ ආකාරයක රාජ්‍යතාන්ත්‍රිකරණයක් ද යන්න පිළිබඳව සළකා බලමු. 1947 වසරේදී ජවහල්ලාල් නේරු මැතිතුමා කළ ප්‍රකාශයක් වෙත අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. “ඔබ කුමන ආකාරයේ ප්‍රතිපත්තියක් සැකසුවද, රටට වඩාත්ම වාසිදායක වන දේ සොයා ගැනීමට හැකිවන ආකාරයෙන් එරටේ විදේශ කටයුතු පවත්වාගෙන යා යුතුය” එහෙයින්, එසේ පැවසීම අපට අද ඉතා ආත්මාර්ථකාමී බවකැයි පෙනී ගියද, අප දෘෂ්ඨිවාදීන් නොවූවද අපගේ විදේශ ප්‍රතිපත්තියේ ඉදිරියට ගෙන යන ගාමක බලය වන්නේ අපේම අභිලාෂයන් වනබව පැවසීමට කැමැත්තෙමි. ඒ මන්ද යත්, ශ්‍රී ලංකාවේ ජනතාවට සත්‍ය වශයෙන්ම හිමිවිය යුතු අනාගතයක් උදාකර ගැනීමට හැකිවන බව තහවුරු කරලීමට අපට උවමනා වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රවනතා සමහරක් ගැන කථාකිරීමට මට මෙම අවස්ථාව ලබාදීම වෙනුවෙන් ස්තූතිය පුද කරන අතර අප රටේ කිසිදු ප්‍රදේශයකට යාමට කිසිදු බාධකයක් නොමැති හෙයින් ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට කැමැත්තෙමි.

මෙහි සිටින සියලුම නෝර්වීජියානු ජාතිකයින් හි මෙතැනට පැමිණ සිටින බොහෝමයක් ශ්‍රී ලංකාවට කැමැත්තක් දක්වන හෙයින් මෙහි පැමිණ ඇති බවට කිසිදු සැකයක් නැත. යළිත් වරක් මෙහි පැමිණ මෙහි තත්ත්වය සියැසින්ම දැක බලා ගත යුතුය. ඇත්තෙන්ම, මෙහි සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවට ආපසු පැමිණ රට සියැසින්ම දැක බලා ඔබ රටෙහි පෙරමුණ ගන්නා පාර්ශ්වකරුවන් බවට පත්වන ලෙස ආරාධනා කිරීමට කැමැත්තෙමි.

*විදේශ කටයුතු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නෝර්විජියානු ආයතනයේ දී පවත්වන ලද කථාව – 2016 ජුනි 21

Back to Home page