Colombo Telegraph

බහුතරය, සුළුතරය හා මුස්ලිම් ජාතිකයන් උතුරු පළාතෙන් නෙරපීම

මංගල සමරවීර

විදේශ අමාත්‍ය මංගල සමරවීර

මුස්ලිම් ජාතිකයන් උතුරු පළාතෙන් නෙරපීමේ 25 වන සංවත්සරය සැමරීම සඳහා මෙවන් අවස්ථාවක් සංවිධානය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මාගේ ස්තූතිය පිරිනැමීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාව විසින් තම අතීතය සමඟ සමථයකට පැමිණ ස්ථීරසාර සාමයක් උදෙසා ව්‍යවස්ථාමය රාමුවක් සකසමින් සිටින මෙම ඓතිහාසික සන්ධිස්ථානයේ දී, මෙම ඛේදනීය සිදුවීම හා ඒ තුලින් අද දක්වා පවතින්නා වූ වේදනාත්මක මතකය සිහිකිරීම වටී.

මෙම අවස්ථාව සංවිධානය කිරීමේ ලා අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ දැක්ම හා නායකත්වය පිළිබඳව මාගේ විශේෂ ස්තූතිය පිරිනැමීමට කැමැත්තෙමි. මෙම අවස්ථාවේ දී වචන ස්වල්පයක් කථා කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. තම ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සතු වේ. දිවංගත අෂ්රෆ් මහතා මෙන්ම වර්තමාන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ද කැබිනට් රැස්වීම් වලදී, පාර්ලිමේන්තුවේ දී, පුවත්පත් වල මෙන්ම විදේශ සංචාර වලදී ද මුස්ලිම් ප්‍රජාවගේ දුක්ගැනවිලි පිළිබඳව නිරන්තරයෙන් හඩ නැගූහ. අළුත්ගම සිද්ධියේ දී කරුණු සොයාබැලීමේ හා වාර්තා කිරීමේ ලා මුස්ලිම් කොංග්‍රසය විසින් දැරූ උත්සාහයන් ප්‍රශංසනීය වේ.

ශ්‍රී ලංකාවේ උතුරේ මුස්ලිම් ජනතාවගේ ඉතිහාසය හා වේදනාවන් යනු අප රටේ පශ්චාත්-නිදහස් ඉතිහාසයේ ක්ෂුද්‍ර නිරූපණයකි. 1990 ඔක්තෝබර් මාසයේ දී එල්ටීටීඊය විසින් උතුරේ සිටි 75,000 ක මුස්ලිම් ජනතාවට තම පාරම්පරික නිවාස අතහැර මිය ඇඳුම් පැළදුම් හා රු.500 ක මුදලක් පමණක් අතැතිව අවතැන් කඳවුරු වෙත යන ලෙස නියම කෙරිණි. අවු.25 කට පසුව තවමත් එම ජනයාගෙන් 80% ක් එහි ජීවත් වේ.

ඔවුන් තම දමිළ සහෝදරයින් සමඟ වගා කටයුතු වල හා වෙළඳ කටයුතු වල නියැලෙමින් සාමයෙන් හා සමගියෙන් ජීවත් වුහ. ඇත්ත වශයෙන්ම කියතොත් ඔවුන් මුලින් එල්ටීටීඊයට සහය දැක්වූ අතර ඔවුන්ගේ කර්තව්‍යය සම්බන්ධයෙන් සානුකම්පික වූහ. දෙපාර්ශවය අතර සමීප සබඳතාවයක් පැවතිනි. එබැවින්, එල්ටීටීඊයේ මෙම අනපේක්ෂිත නියෝගය බොහෝ දෙනා විමතියට පත්කරන ලදි. එය සමස්ත රටේම හෘද සාක්ෂිය කම්පනය කල අපරාධයක් විය.

එල්ටීටීඊය විසින් මෙම ක්‍රියාව සාධාරණීකරණය කලේ බහුතරය හා සුළුතරය පිලිබඳ අර්ථ දැක්වීමෙනි. බහුතරය ලෙස ඔවුන් ලිහිල් ත්‍යාගශීලී හා සැලකිලිමත්භාවයෙන් යුතුව කටයුතු කරන අය ලෙසත් සුළුතරය කෙළෙහි ගුණ නොදත් ද්‍රෝහීන් ලෙසත් ඔවුන් දුටුහ. මෙහිලා එල්ටීටීඊය චෝදනා කලේ මුස්ලිම් ප්‍රජාව විසින් රජය හා ඉන්දියානු සාම සාධක හමුදාව සමඟ එකතුව ක්‍රමන්ත්‍රණය කල බවයි.

මුස්ලිම් ජනතාව විසින් බහුතර දමිළ ජනතාව සුළුකොට තකා ශ්‍රී ලංකා රජය වෙත සහය දැක්වීම එල්ටීටීඊයේ ආරක්ෂාවට විශාල තර්ජනයක් විය. සංඛ්‍යාත්මක බහුතරය යනු තනි පුද්ගලයන්ගේ හා සුළුතරයේ අයිතිවාසිකම් කඩකිරීම සඳහා ලබාදෙන්නා වූ සාධාරණීකරණයක් බවට විශ්වාසයක් ඇත.

ශ්‍රී ලංකාවේ උතුරු පළාත යනු එහි ජීවත්වූ දෙමළ ජනතාවගේ මෙන්ම මුස්ලිම් ජනතාවගේ ද නිවහනයි. දෙපාර්ශවයටම එහි ජීවත් වීම සඳහා සමාන අයිතියක් තිබූ අතර එම අයිතීන් පිළිබඳ කිසිදු තරඟයක් නොතිබුණි. සියවස් ගනණාවක් පුරා මෙම දෙපිරිස සමගියෙන් හා සමාදානයෙන් ජීවත් වූහ.

නමුත් එල්ටීටීඊය විශ්වාස කලේ දෙමළ ජනතාව සංඛ්‍යාත්මක වශයෙන් බහුතරයක් වූ බැවින් උතුරෙන් මුස්ලිම් ජනතාව පලවාහැරීම සඳහා ඔවුන්ට අයිතියක් ඇති බවයි. එල්ටීටීඊය පමණක් නොවේ. බොහෝ දමිළ පුද්ගලයන් මෙය සාධාරණීකරණය කල අතර ඔවුන් අතුරින් එම මතයට විරුද්ධ වූයේ සුළු පිරිසක් පමණි. අදටත් උතුරේ යලි පදිංචියට යන මුස්ලිම් ජනයා හට දමිළ නිලධාරීන්ගේ බහුතරවාදී විරෝධයට මුහුණ පෑමට සිදු වේ.

කෙසේ වුවත්, මෙම කථාවේ තවත් පැති තිබේ. මුස්ලිම් ජනතාව තම නිවාස හැර යද්දී බෝහෝ දමිළ ජාතිකයන් දුක් වූ අතර ඔවුන්ගේ වටිනා දෑ සඟවමින් තමන්ට හැකි අයුරින් සහය වූහ. එනමුත්, බහුතරයක් වශයෙන් ඔවුන්ට සූළුතර ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා නොසැලී නැගී සිටීමට නොහැකි විය.

මෙම පළවාහැරීම සිදුවූයේ එල්ටීටීඊයට සමානාත්මතාවය හා නිදහස මත පදනම් වූ සමාජයක් අනුමත කල නොහැකි වූ නිසයි. උතුර බහු වාර්ගික, බහු සංස්කෘතික, හා බහු ආගමික පළාතක් බවට පිලිගැනීමට ඔවුන්ට නොහැකි විය. විවිධත්වය අගය කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබුණේ නැත. අඩුතරමින් ඔවුන් පලවා හැරීමට පෙර ඒ සඳහා සුදුසු කාලයක් ලබාදීමටවත් එල්ටීටීඊයේ මානුෂිකත්වයක් තිබුණේ නැත. එබැවින් මුස්ලිම් ජනතාවට යාමට සිදුවූයේ ඔවුන්ගේ ඉඩම් හිමිකම් පිළිබඳ සියළු ලේඛන ද අතහැර දමායි.

එල්ටීටීඊය විසින් මුස්ලිම් ජනතාව උතුරෙන් පළවා හැරීමට හේතු පාදක වූ ජාතිවාදය හා බහුතරවාදය දෙමළ ප්‍රජාවට පමණක් සීමා වූවක් නොවේ. එය අද වනවිටත් අප සමාජයේ සෑම ජන කොට්ඨාසයක් අතරම දක්නට ලැබෙනවා. එල්ටීටීඊය විසින් බහුවාර්ගික උතුරක් පිළිගැනීමේ ලා අපොහොසත් වූ පරිදිම දකුණේ අන්තවාදීන් ද අප රටේ විවිධත්වය පිලිගැනීමට නොහැකිව සිටිනවා. සිංහලයන් මෙන්ම දමිළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ ජාතිකයන් ද ශ්‍රී ලංකාවේම කොටසක් බව තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකියි.

විශේෂයෙන්ම යුද්ධය අවසන් වීමෙන් පසු, ස්වයං විශ්ලේෂණය, කරුණාව හා සුවපත් කිරීම පැතිරවීම වෙනුවට, බහුතරවාදය දකුණේ හිස එසවීමට පටන් ගන්නා ලදි. පැවති රජය විසින් විජයග්‍රහණය හුවා දක්වමින් සිංහල බෞද්ධ ප්‍රජාව ඉහලට ඔසවමින් සුළුතර ප්‍රජාව අනවශ්‍ය ආගන්තුකයන්ගේ තත්වයට පත් කරන ලදි.

ඔවුන් උතුරේ සහ දකුණේ ජනතාවගේ දුක්ගැනවිලි වලට සවන් නොදුන් අතර තමන්ගේ අවශ්‍යතා කෙරෙහි ප්‍රමුඛත්වය දැක්වීමට පටන් ගත්හ. අළුත්ගම ප්‍රහාරය මෙන්ම ඒ හා බැඳුනු අනෙකුත් සුළු ප්‍රහාරයන් මගින් පෙන්වා දෙන ලද්දේ ද සුළුතරය දෙවන පන්තියේ පුරවැසියන් වන බව පමණක් නොව ඔවුන්ගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීමේ මූලික වගකීමෙන් රජය බැහැර වී ඇති බවය.

සිතියමේ මෙන්ම ජනතාවගේ හදවත් තුලද නොබෙදුනු එක්සත් ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ලා අපගේ පශ්චාත් නිදහස් කාලීන අපොහොසත් වීමේ කේන්ද්‍රීය සාධකය වන්නේ ද මෙම බහුතරවාදය නම් වසංගතයයි. උතුර,දකුණ,නැගෙනහිර,බටහිර වශයෙන් වෙනසක් නොමැතිව සෑම තැනකදීම බහුතරයක් එකතු වුණු තැන සුළුතරය පීඩාවට පත් කිරීම සාමාන්‍ය ස්වභාවය බවට පත්ව ඇත.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙම තීරණාත්මක අවස්ථාවේ දී මෙම පලවාහැරීම මගින් අපට උගත හැකි පාඩම් බොහෝය. නිදහස ලැබූ දා සිට, සියළු පුරවැසියන් හට සමානාත්මතාවය හා නිදහස හිමිවන සමාජයක් ස්ථාපිත කිරීමේ ලා අප අපොහොසත් වී ඇති අතර ඒ හේතුවෙන් සාමය වෙනුවට යුද්ධය පැතිරී ඇත.

යුද්ධය අවසන් කිරීම හරහා අතීතයෙන් මිදී එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගිම සඳහා අවශ්‍ය සැබෑ නායකත්වයක් ගැනීම සඳහා සියළු ප්‍රජාවන්ට හා නායකයන්ට ඓතිහාසික අවස්ථාවක් හිමිවිය. උතුරේ දෙමළ සහ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් බැඳී සියවස් ගනණාවක් ජීවත් වූ පරිදිම, 1948 නිදහසට පෙර ද ශ්‍රී ලංකාව තුල සියවස් ගණනක ජනවාර්ගික මිත්‍රත්වයක් හා සාමයක් පැවතිණි.

1905 කෝලාහලය වැනි අමිහිරි සිදුවීම් තිබූ බව සත්‍යයක්. නමුත් ඒවා නිතර සිදුවූ දේවල් නොවේ. යටත්විජිත යුගයටත් පෙර, ශ්‍රී ලංකාවේ ඉහල සංකලනාත්මක භාවයෙන් යුතු සංස්කෘතියක් පැවතුණු බවට සාක්ෂි ඇත. යාපනයේ දමිළ ජනතාව විසින් බුදුදහම ඇදහූ බවටත්, කන්ද උඩරට රජවරු දෙමළ බස කථා කල බවටත්, අධිකරණයේ බස ‍දමිළ වූ බවටත් සාක්ෂි පවතී. මුස්ලිම් ජනයා විසින් සිංහල හා දමිළ යන භාෂා දෙකම සාමාන්‍යයෙන් කථා කරන බැවින් ජනවර්ග අතරින් ඔවුන් වඩාත්ම ශ්‍රී ලාංකික බව ද පැවසිය හැකි වේ. ඔවුන් දළදා මාළිගාවේ ක්‍රියාකාරී පිරිසක් වූ අතර මහනුවර ඇසළ පෙරහරට ද සහභාගී වී ඇත. ශ්‍රී ලංකාවේ බොහෝ ජන කොට්ඨාස අතර ආගමික හා සංස්කෘතික වශයෙන් ඉතා හොඳ ඉවසීමක් හා උකහා ගැනීමක් පවතී. මෙම මිත්‍රත්වය යුද්ධය හා ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වන තරමට පළුදු වූයේ කෙසේදැයි යන්න අප විමසිය යුතු වේ.
අද අප හමුවේ ඇති අභියෝගය නම් අතීතයෙන් පාඩම් ඉගෙනගනිමින් අතපසු වීම් නිවැරදි කොටගෙන ඉදිරියට යාමයි. මේ අප විසින් අත්හැරනොගත යුතු අනඝි අවස්ථාවකි. පසුගිය සිකුරාදා දින පාර්ලිමේන්තුව අමතමින් මා ප්‍රකාශ කර සිටියේ තම අතීතය සමඟ එකඟතාවයකට පැමිණ ඉදිරියට ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් අවස්ථාවක් ලැබී තිබෙනවා. උතුරේ මෙන්ම දකුණේ ද අන්තවාදී බලවේග මෑතදී පැවති මැතිවරණ වලදී පරාජයට ලක්වූහ. නිදහස ලැබූ දා සිට මෙතෙක් ශ්‍රී ලංකාවට බිහිවූ වඩාත්ම මත්‍යස්ථමතධාරී ජනාධිපත්වරයා සහ අගමැතිවරයා වර්තමානයේ රට පාලනය කරති. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික ආණුඩුවක් ද බිහිවී ඇත. එබැවින් මෙය අප විසින් අත්හැර නොගත යුතු අවස්ථාවකි.

නමුත් මෙය පහසු හෝ ප්‍රසන්න ක්‍රියාවලියක් නොවනු ඇත. අපගේම වැරදි දෙස විවේචනාත්මකව බැලීමට අපට සිදු වනු ඇත. එමෙන්ම අන් අයගේ අදහස් වලට ඇහුම්කන් දීම ද අසීරු වනු ඇත. ඒ සඳහා ධෛර්යය හා කැපවීම අවශ්‍ය වනු ඇත. නමුත් එය අපට කලහැකි බව මගේ විශ්වාසයයි.

දෙමළ ජාතික සන්ධානය මෑතදී දැනුම් දුන්නේ ඔවුන් විසින් තම ප්‍රජාව ආත්ම පරීක්ෂාවේ මාර්ගය කරා යොමු කිරීමට තමන් කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද මෙම ප්‍රකාශය පිලිගනිමින් පවසා සිටියේ ඔවුන් ද එම පියවර අනුගමනය කිරීමට සූදානම් බවයි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සැදුම්ලත් ජාතික ආණ්ඩුව ද සමස්ත ශ්‍රී ලංකාවම අතීතය සමඟ සමතයකට පත්කිරීමේ මාර්ගය වෙත යොමුකිරීමේ අපහසු ක්‍රියාවලියේ නිරතව සිටී.

ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකා රජය වශයෙන් අප විසින් සත්‍යයය සෙවීම, වගවීම, වන්දි ලබාදීම හා නැවත ඇති නොවීම තහවුරු කිරීම තුලින් ස්ථිරසාර සාමය හා සංහිඳියාව ඇතිකිරීමේ පදනම දමමින් සිටිමු. ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය, නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය, හා අනෙකුත් රජයේ ආයතන මෙම ක්‍රියාවලියේ දී අවශ්‍ය සහයෝගය ලබාදෙන අතර, ඊයේ දිනයේ දී මා මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ ලා අවශ්‍ය වන උපදේශන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට මුස්ලිම් ප්‍රජාවගේ නියෝජිතයන් ඇතුළු සිවිල් සමාජයේ සාමාජිකයන් මුණුගැසුණෙමි.

මුස්ලිම් ජනතාව සත්‍යය,යුක්තිය,වන්දි ගෙවීම,නැවත ඇති නොවීමේ ක්‍රියාවලියේ අවියෝජනීය කොටසක් වේ. මුස්ලිම් ජානතාවටග් අවශ්‍යතා හා දුක් ගැනවිලි සත්‍යයය, යුක්තිය, සංහිඳියාව හා නැවත ඇති නොවීම පිළිබඳ කොමිසම, අධිකරණ යාන්ත්‍රණය, අතුරුදහන් වූවන්ගේ කාර්යාලය හා වන්දි කාර්යාලය යනාදියෙන් සමන්විත වන දේශීය යාන්ත්‍රණයේ දී සැලකිල්ලට ගනු ලැබේ. අමාත්‍යංශ හා රජයේ ආයතන සමග මෙම යාන්ත්‍රණයන් විසින් අවතැන් කඳවුරු වල ජිවත් වන, යලි තම නිවාස වලට යාමට උත්සාහ කරන සහ තම ආදරණීයයන් අහිමි වීමේ සොවින් පෙළෙන දහස් ගණන් මුස්ලිම් ජාතිකයන් විසින් දිනපතා මුහුනදෙන ගැටළු වලට සහනයක් ලබා දෙනු ඇත.

මෙම යාන්ත්‍රණයන් මගින් මුස්ලිම් ජාතිකයන් විසින් මුහුණදෙන ගැටළු හා දුක්කම්කටෝළු පමණක් නොව සිංහල, දමිළ මෙන්ම අනෙකුත් සුළුතර ජාතීන් විසින් ද මුහුණදෙන ගැටළු පිළිබඳවද කටයුතු කරනු ඇත.

මෙම ඓතිහාසික අවස්ථාවේ දී, එකිනෙකාට ඇඟිල්ල දික් කිරීම, එකිනෙකා මත වැරදී පැටවීම හා අනාගත පරපුර උගසට තබමින් දේශපාලන වාසි ලබාගැනීම පසෙකලා ගැටළු සඳහා සාර්ථක විසඳුම් ලබාගැනීම වෙනුවෙන් අර්ථවත් සංවාදයක නියැලීමට බිය නොවෙමු. අපගේ අනාගතය අතීතයේ සැක සංකා වලින් මැඩලීමට ඉඩ නොදී අපගේ බලාපොරොත්තු හා අපේක්ෂාවන් මත සැලසුම් කිරීමට, හැඳින්වීමට හා නිර්මාණය කිරීමට අපි කටයුතු කරමු. සිහින දැකීමට බිය නොවෙමු.

*මුස්ලිම් ජාතිකයන් උතුරු පළාතෙන් නෙරපීමේ 25 වන සංවත්සරය වෙනුවෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කල කථාව

Back to Home page