Colombo Telegraph

ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථිරසාර සාමය, සංහිඳියාව හා සෞභාග්‍යය ළගාකරගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම

මංගල සමරවීර

ජපාන විදේශ අමාත්‍ය ගරු ෆුමායෝ කිෂිඩා මහතාණෙනි,
සභාපති යසුෂි අකාෂි මහතාණෙනි,
උතුමාණෙනි,
සම්භාවනීය අමුත්තනි,
මහත්ම මහත්මීනි,

අද දින ආසියාව තුල සාමය ගොඩනැගීම , ජාතික සංහිඳියාව හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මෙම ඉහල මට්ටමේ සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් සියළු ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථිරසාර සාමය, සංහිඳියාව හා සෞභාග්‍යය ළගාකරගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් මා බෙහෙවින් සතුටු වෙමි.

මහත්ම මහත්මීනි,

1951 සැප්තැම්බර් මස 6 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී පැවති ජපාන සාම සම්මුතියට අත්සන් තැබීමේ සම්මේලනයට සහභාගී වෙමින් ජේ.ආර්.ජයවර්ධන මහතා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මානව දයාවේ පණිවිඩිය ගෙන හැර පාමින් කියා සිටියේ “වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන් පමණක් වෛරය ජයගත හැකි බවත්ය”. මෙම ප්‍රකාශය අප රට පමණක් නොව සමස්ත ආසියාවම පොදු සංස්කෘතියකින් හා උරුමයකින් වසර සිය ගණනක් පුරාවට බැඳ තැබීමට සමත් විය.

පසුකාලීනව ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ ජේ.ආර්.ජයවර්ධන මහතා ජපානය වෙත මිත්‍රත්වයේ හස්තය දිගු කරමින් බලාපොරොත්තු වූයේ ජපානය සාමය හා සෞභාග්‍යයේ පූර්ණ ගරුත්වය අත්විඳිමින් ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ඉදිරියට යනු ඇති බවයි. එපරිද්දෙන්ම අද වනවිට ජපානය සාමය සම්බන්ධයෙන් මුළු ලොවටම විශිෂ්ඨ ආදර්ශයක් ලබාදීමට සමත් වූ රාජ්‍යයක් බවට පත්ව ඇත.

මහත්ම මහත්මීනි,

දීර්ඝ කාලයක් තිස්සේ ජපානය ශ්‍රී ලංකාවේ ඉතා හොඳ මිත්‍රයකු වේ. ශ්‍රී ලංකාව මුහුණදුන් දුෂ්කර අවස්ථා වලදී ජපාන රජය හා එහි ජනතාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් අවශ්‍ය සහය ලබාදෙන ලදි. මෛත්‍රිපාල සිරිසේන රජයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් ජපානය වෙත කල මාගේ මෙම පළමු නිල සංචාරයේ දී අප රටවල් දෙක අතර පවතින මෙම සුවිශ්ෂී සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීම මගේ අපේක්ෂාවයි.
යසුෂි අකාෂි මහතා ඇතුළු මෙම පිරිසේ ඇතැමුන් දන්නා පරිදි 1948 දී නිදහස ලබාගන්නා විට ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පැවැති අනෙකුත් රටවල් අතර සුවිශේෂ ස්ථානයක් හිමිකරගන තිබූ රටක් විය.

අප විසින් සර්වජන ඡන්ද බලය භාවිතයට ගැනීම 1931 තරම් ඈත කාලයක දී සිදුවිය. එවකට සෙලෝන් වශයෙන් හැඳින්වූ ශ්‍රී ලංකාව 1948 වනවිට නිදහස ලබාගැනීමට සූදානමින් සිටි පොදු රාජ්‍ය මණ්ඩලයේ පූර්වාදර්ශී රාජ්‍යයක් විය. ඒ අනුව 1948 පෙබරවාරි 04 වන දින නිදහස ලබන විට අප රට තුල සැලකිය යුතු මට්ටමේ ඉහල අධ්‍යාපනික තත්වයක්, ඉහල ගුණාත්මකභාවයෙන් යුතු විශ්වවිද්‍යාල 2ක් සහ මනා පුහුණුව ලත් දේශීය නිලධාරීන්ගෙන් සමන්විත විශිෂ්ඨ සිවිල් සේවයක් පැවතිනි. ඒ අනුව අප රට සංකේතාත්මක රාජ්‍යයක් වශයෙන් ද එවකට කටයුතු කලේය.

විවිධ ජාතීන් සාමය, සමගිය, එකමුතු බව ආදී රටේ පොදු ඉලක්ක වෙනුවෙන් එක්වී වැඩකිරීමට කැපවී සිටියහ. වෙනස් විශ්වාසයන් ඇදහූවත්, වෙනස් භාෂා කථා කලත්, වෙනස් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කලත් නිදහස ලබාගැනීම සඳහා ඔවුන් සියළු දෙනා එක්වී වැඩ කලහ.

නමුත් එයින් පසු උදාවූ කාලයේ දී අප රට කෙමෙන් පසු බෑමට ලක්වනු දැකගත හැකි විය. බොහෝ දෙනා විසින් පාරාදීසයක් වශයෙන් හඳුනාගෙන තිබූ අප රට අපගේම දුර්වලකම් හේතුවෙන් දශක තුනක් පුරාවට ප්‍රචණ්ඩත්වයේ හා ගැටුම්කාරී තත්වයේ උච්චතම තත්වයට පත් විය.

2009 මැයි 19 වන දින ත්‍රස්තවාදය පරදමින් අප රට යලි නිදහස ලබා ගත් නමුත් ඉන්පසුව උදා වූ කාල සීමාව තුල අර්ථවත් ප්‍රතිසංවිධානයක් තුලින් ස්ථීරසාර සාමය තහවුරු කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප අපොහොසත් වීමු.

2009 වසරෙන් පසු උදාවූ පසුගිය අවුරුදු 6ක කාල සීමාව තුල ශ්‍රී ලංකාව නොසිතූවිරූ ලෙස ඒකාධිපති මාවතක් ඔස්සේ ගමන් කරනු දැකගත හැකිවිය. සිවිල් නිදහස සීමා වූ අතර, අධිකරණය ඇතුළු ආයතන වල ස්වාධීනත්වය සීමා විය, ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල විය, නීතියේ ආධිපත්‍යය බිඳ වැටිණි, යහපාලනය හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය විය.

දීර්ඝ කාලීන සාමයක්, අර්ථවත් ප්‍රතිසංවිධානයක් හා නැවත ගැටුම් ඇතිවීම වලක්වා ගැනීම තහවුරු වන පරිදි යුද්ධයේ හේතූකාරකයන් මර්ධනය සඳහා අවශ්‍ය පිළියම් යෙදීමට අප අපොහොසත් වීමු. ආගමික හා වාර්ගික වශයෙන් සමාජයේ පැවැති වෙනස්කම් හරහා මිනිසුන්ගේ දුරස්ථභාවය වැඩිවූ අතර, කථා කිරීමේ නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද සීමා විය. බිය හා සැකය විසින් සමාජය වෙලා ගන්නා ලදි.

දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව අතර වැදගත් හා පිළිගත් සාමාජිකයකු වශයෙන් කටයුතු කල ශ්‍රී ලංකාව තම සාම්ප්‍රදායික විදේශ පිළිවෙතින් බැහැරව මිතුරන් සතුරු කරගන්නා කලහකාරී හා හුදෙකලා වූ මාවතකට අවතීර්ණ විය.

මෙවැනි පසුබිමක් තුල මවිසින් දේදුනු සන්ධානය වශයෙන් හඳුන්වන විපක්ෂයේ කණ්ඩායම් එකතු වී වෙනසක් බලාපොරොත්තු වූ ශ්‍රී ලාංකිකයන් රැසකගේ අපේක්ෂාව පරිදි මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණය සඳහා පොදු විපක්ෂ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන ලදි.

දැඩි ලෙස ඒකපාර්ශ්වීය වූත්, දෝෂ සහිත වූත් මැතිවරණ ව්‍යාපාරයක් තුල විපක්ෂයේ දේදුනු සන්ධානය ප්‍රජාතාන්ත්‍රවාදී හා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඇතිකිරීම වෙනුවෙන් කැපවන බවට ප්‍රතිඥාවක් ලබාදෙමින් ජනවාරි 8 වන දින තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

ඒ අනුව ඒකාධිපතිවාදයට එරෙහිව අවිහිංසාවාදය භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තමන් තුල ඇති කැපවීම ප්‍රදර්ශනය කරන ලදි. අරාබි වසන්තයේ දී මෙන් ගල් මුගුරු, වෙඩි උණ්ඩ නොව දේදුනු විප්ලවයේ දී යොදා ගැනුනේ මිනිසුන්ගේ ඡන්ද බලයයි.

රට පුරා ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 81% කට වැඩි පිරිසක් නිහඩව, සාමකාමීව හා තීරණාත්මකව තම ඡන්දය භාවිතා කල අතර එහි ප්‍රතිඵලය වශයෙන් ඊට පසු දිනම සාමකාමී බල මාරුවක් සිදුවිය. පෙර වතාවන් වලදී ඡන්දය වර්ජනය කල උතුරේ ජනතාව මෙම ජනාධිපතිවරණයේ දී විශාල වශයෙන් ඡන්දය භාවිතා කරනු දක්නට ලැබිණි. මෙමගින් එක්සත්භාවය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවය උදෙසා ඔවුන්ගේ කැපවීම ඔවුන් විසින් පෙන්වා දුන්හ. ඒ අනුව, ඒකීය රටක, රාජ්‍ය නායකයා පත්කරගැනීමේ දී ඔවුන්ට ඒ සඳහා ඇති අයිතිය ඔවුන් විසින් භාවිතා කරන ලදි.

ඒ අනුව, ජාති ආගම් හා භාෂා භේදයකින් තොරව රටේ සියළු පුරවැසියන්ගේ නියෝජනයෙන් යුතු ඡන්දයකින් සැබෑම ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙකු පත්වූ ප්‍රථම අවස්ථාව මෙය බැව් කිව හැක.

රටේ සියළු පුරවැසියන් වාර්ගික, සංස්කෘතික, හා භාෂාමය වෙනස්කම් අගයකෙරෙන එක්සත් නව ශ්‍රී ලංකාවක් ඇති කරන බවට පොරොන්දු වූ මෛත්‍රිපාල සිරසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වූහ. තමන්ගේ බලාපොරොත්තුව වූ ශක්තිමත් ස්වාධීන රාජ්‍ය ආයතන පිහිටුවීම, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම, යහපාලනය ඇතිකිරීම, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යනාදිය ඇතිකිරීම සඳහා කැපවූ නායකයෙකු පත්කිරීම සඳහා කටයුතු කලහ.

ඔබ සියළු දෙනා දන්නා පරිදි වැඩ භාරගත් දින සිටම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රජය මෙම වෙනස්කම් ඇතිකිරීම සඳහා වූ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබූහ.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම, මාධ්‍ය නිදහස ඇතිකිරීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම, නීතිය බලාත්මක කිරීම තුලින් රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම ආදී කාරණා සම්බන්ධයෙන් පියවර රැසක් පසුගිය මාස 5ක කාලය තුල රජය විසින් අනුගමනය කරන ලදි. විශේෂයෙන්ම විධායක ජනපතිධුරයේ බලතල අඩු කිරීම සඳහා වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය, යහපාලන පුරුදු ඇති කිරීම, උතුරු හා නැගෙනහිර පළාත්වල සිවිල් පරිපාලනය ශක්තිමත් කරමින් හමුදා ආණ්ඩුකාරවරු වෙනුවට හිටපු සිවිල් සේවකයන් පත්කිරීම, අධි ආරක්ෂිත කලාප සම්බන්ධයෙන් සමාලෝචන කටයුතු සිදු කර ඒවායේ මුල් අයිතිකරුවන් සඳහා එම ඉඩම් නැවත ලබාදීමට කටයුතු කිරීම, තොරතුරු ලබාගැනීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙන් හඳුනාගැනීම, සිවිල් සමාජය බලගැන්වීම හරහා ජීවනෝපාය සංවර්ධනය හා නීති සකස් කිරීමේ ලා ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීම ආදී පියවර ඊට ඇතුලත් වේ.
මේ වනවිට ඩයස්පෝරා කණ්ඩායම් හා තනි පුද්ගලයන් සමඟ සබඳතා වර්ධනය කරගැනීම සඳහා ද අවශ්‍ය පියවර අප විසින් ගනිමින් සිටින අතර එමගින් ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සඳහා ඔවුන්ගේ අදහස් යෝජනා හා අවශ්‍ය සහය ලබාගැනීමටත් මහජන සුභසිද්ධිය උදෙසා වූ ව්‍යාපෘතීන් සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාගැනීමට ද අපේක්ෂිතය.

ජාත්‍යන්තර වශයෙන් ගත්කල ශ්‍රී ලංකාව නැවතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අරඹා ඇත. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සමඟ අප නිරන්තරයෙන් සම්බන්ධ වී කටයුතු කරන අතර යුක්තිය හා වගවීම් ක්‍රියාවලිය හා බැඳුනු ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ දී ඔවුන්ගේ තාක්ෂණික සහය ලබාගැනීමටත් අප කටයුතු කරමින් සිටිමු. නැවත පදිංචි කිරී‍මේ සැලසුම් සකස් කිරීම, නැවත පදිංචි කල පුද්ගලයන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීම, පුහුණුකිරීම් හා ධාරිතා වර්ධනය ආදී වූ ක්‍රියාවලීන් සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහය ලබාගැනීම සඳහා දැන් අප එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි අනුබද්ධිත ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටිමු. සමස්තයක් වශයෙන් ගත්කල සියළු රටවල් හා සංවිධාන සමඟ විවෘතව, සහයෝගයෙන්, සහභාගීත්ව ප්‍රවේශයක් යටතේ කටයුතු කිරීම අපගේ විදේශ ප්‍රතිපත්තිය බවට නැවතත් පත්ව ඇත.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල මැතිවරණ ක්‍රමයේ සංශෝධනය ඇතුළු පුළුල් පරාසයකට විහිදුනු ප්‍රතිසංස්කරණ මාලාවක් ඇති‍කිරීමේ ලා කැපවූ දින සියයේ වැඩපිළිවෙලක් ඇතුලත් විය. කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ පොරෙන්දුවද එයට ඇතුලත් වේ. ඔබ දන්නා පරිදි එම දින 100 දැන් අවසන්ව ඇත. එමෙන්ම පොරෙන්දු වූ වෙනස්කම් ද බොහොමයක් මේ වනවිට ඉටුකර ඇත.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ නිදහස ලැබූ දා සිට මෙරට තුල පිළිලයක්ව පැවති දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට හැකියාව ලැබී ඇත. එනම් කෙටිකාලීන දේශපාලන වාසි තකා රටේ සහ ජාතියේ දිගුකාලීන අවශ්‍යතා බිල්ලට ‍දෙමින් ගැටුම්කාරී ලෙස ක්‍රියා කිරීමේ දේශපාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීමයි.

ජනවාරි මස දී ජාතික ප්‍රතිපත්ති සැකසීම ඇතුළු වැදගත් නීති සම්පාදනය කිරීමේ ලා පොදු එකඟතාවයකින් යුතුව කටයුතු කිරී‍මට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකඟ විය. මෙය සැමට අළුත් අත්දැකීමක් වූ බැවින් නොයෙකුත් හැල හැප්පීම් මධ්‍යෙයේ වුවද මහ මැතිවරණයෙන් පසුවත් මෙම සහයෝගය දිගටම පවත්වා ගෙන යාම දෙපාර්ශවයේම බලාපොරොත්තුවයි.

ඔබ දන්නා පරිදි දැනට පවතින පාර්ලිමේන්තුව මීට අවුරුදු 5කට පෙර පත්කරන ලද්දක් වේ. එබැවින් නුදුරේදීම මහ මැතිවරණයක් පවත්වා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දැක්මට හා වැඩපිළිවෙලට සහය වෙමින් එය ඉදිරියට ගෙන යා හැකි සහ වත්මන් සමාජයේ අවශ්‍යතාවයන් මැනවින් හඳුනාගත් පිරිසකගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම තුලින් සිදුකරන ලද ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකි වනු ඇතැයි අප බලාපොරත්තු වෙමු. වත්මන් සමාජයේ අවශ්‍යතාවය වනුයේ, තම බහු වාර්ගික, බහු-සංස්කෘතික, බහු-ආගමික සහ බහු-භාෂාමය තත්වය තුලින් ශක්තිමත්ව නැගී සිටින නව ශ්‍රී ලංකාවක් බිහිකිරීමත්, තමා සමග මෙන්ම ලෝකය සමග ද සාමයෙන් හා සහයෝගයෙන් වැඩකරන ජනතාවක් නිර්මාණය කිරීමත්, තම පුරවැසියන්ගේ ගරුත්වය හා මානව හිමිකම් සුරැකීමත්, නිතියේ ආධිපත්‍යය හා යහපාලනය තහවුරු කිරීමත්, ජාතියේ සංවර්ධනය හා සෞභාග්‍යය උදෙසා උපකාරී වන ආයෝජන හිතකාමී නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඇතිකරගැනීමත්ය.

එබැවින් අප රටේ දිගු කාලීන ස්ථාවරත්වය, සංවර්ධනය හා සෞභාග්‍යය සඳහා උපකාරී වන, සංහිඳියාව හා සංවර්ධනය යන ද්විත්ව අරමුණු ලඟාකර ගැනීම සඳහා වන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දැක්ම සාක්ෂාත් කරගැනීමට නම් ඉක්මනින්ම මැතිවරණයකට යා යුතුය.

අප රට තුල සිදුවෙමින් පවතින වෙනස්කම් හඳුනාගනිමින් අප රටට අවශ්‍ය සහය ලබාදීමට ඉදිරිපත්ව සිටින ජපානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව වෙත මාගේ කෘතඥතාවය ඵලකිරීමට මෙහිලා කැමැත්තෙමි. විශේෂයෙන්ම මෙතෙක් පැවති ජපාන රජයන්ට හා ජපානයේ ජනතාවට ද ඔවුන් විසින් අප රටට දක්වන ලද මිත්‍රශීලිබවට පරිත්‍යාගශීලිබවට හා සැම විටම අප රට වෙනුවෙන් පෙනී සිටිමින් ද්වී පාර්ශ්වීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ද අප රටට අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අපගේ අවංක ස්තූතිය පුද කල යුතුය.

මහත්ම මහත්මීනි,

ශ්‍රී ලංකාව තුල දැනට ඇතිවෙමන් පවත්නා වෙනස්කම් ගැන මෙතෙක් කතා කල මා දැන් අප රටේ අනාගතය පිළිබඳ දැක්ම සාක්ෂාත් කරගැනීම සම්බන්ධයෙන් කතාකිරීමට කැමැත්තෙමි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම තවත් සුළු පක්ෂ කිහිපයක් ද ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රතිවාදී ස්වරූපයේ දේශපාලනයෙන් බැහැරවීමට තීරණය කර ඇත. කෙටිකාලීන දේශපාලන වාසි ලබාගැනීම සඳහා බලය අත්පත් කරගැනීම හා බලයේ රැඳි සිටීම උදෙසා ක්‍රියා කීරීම වෙනුවට මහජනතාවගේ දිගුකාලීන අවශ්‍යතා උදෙසා කැපවී ක්‍රියාකිරීමේ වැදගත්කම ඔවුන් විසින් හඳුනාගෙන ඇත.

මේවා අතුරින් වඩාත්ම වැදගත් වනුයේ අප රට නැවත් කිසිදාක නිදහසෙන් පසු අප මුහුණදුන් ප්‍රචණ්ඩත්වය හා ගැටුම්කාරී තත්වය අත් නොදකින බව තහවුරු කිරීමයි. එමෙන්ම වෙනස්වූ මත දැරුවත්, වෙනස් වූ භාෂාවන් කථා කලත්, වෙනස් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කලත් අප රටේ ජීවත් වන සියළු පුරවැසියන් එක භුමියක ජීවත්වන බව සිහි තබා ගැනීමයි. ඒ අනුව අප සියළු දෙනා එක් ජාතියක් බවත් අපගේ භූමිය තුල අප සියළු දෙනා එක්ව අප රට සංවර්ධනය කිරීම සඳහා වැඩකලයුතු බවත් සිහි තබා ගැනීම ඉතා වැදගත් වේ.

පසුගිය දශක කිහිපය පුරාවට අප රට තුල පැවැති ප්‍රචණ්ඩත්වය කෙසේ වුවද අප රටේ ජීවත් වන සියළු වර්ගයේ ජනයා තුල තවමත් හොඳ හිත ආරක්ෂා වී පවතී. ඔවුන් දැනට ලොකයේ පවතින ප්‍රධාන ආගම් 4 වන බුදුදහම, ක්‍රිස්තු දහම, හින්දු ආගම හා ඉස්ලාම් ධර්මය මගින් උගන්වන සාමය, කරුණාව හා සහෝදරත්වය යන ගුණාංග වලින් මෙහෙයවනු ලැබෙති.

සියළු පාර්ශවයන් නියෝජනය කරන ලද දේශපාලන නායකයන් අතින් වැරදි සිදුවී ඇති බව අප පිලිගන්නෙමු. පටු දේශපාලන අරමුණු උදෙසා ක්‍රියාකිරීම හේතුවෙන් රටේ ජනතාව අතර හොඳ හිත පළුදු වී දුරස්ථභාවය වැඩිවී එමඟින් විශාල ප්‍රශ්න රැසක් නිර්මාණය වූ බව දැන් අපට වැටහේ. මෙම අවබෝධය මත පදනම්ව දැන් අප අළුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට බලාපොරොත්තු වෙමු. එහි දී සියළු දෙනාගේ අයිතිවාසිකම් සුරැකිම තහවුරු කිරීම අපගේ අපේක්ෂාවයි.

මෙසේ අපේක්ෂිත පියවර අතර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් ද ඇතුලත් හිමිකම් පනතක් අඩංගු වන ව්‍යවස්ථාවක් බිහිකිරීම ද පවතී. මෙය වනාහි සියළු පුරවැසියන්ගේ හා ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරන නව ව්‍යවස්ථාවක් වේ. තම ප්‍රෙද්ශයට අදාල කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී මහජන සහභාගීත්වය වැඩිකෙරෙන ව්‍යවස්ථාවකි. එය වඩාත් වගකීමකින් යුත් රජයක් බිහිකිරීමට උපකාර වනු ඇතැයි අපේ විශ්වාසයයි. මැතිවරණ ප්‍රතිසංස්කරණ හා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අඩංගු මෙවන් ව්‍යවස්ථාවක් අර්ථවත් ප්‍රතිසංවිධානයක් ඇතිකිරීමටත් යුක්තිය හා නීතියේ ආධිපත්‍යය සහිත ස්ථීරසාර සාමයක් ඇතිකිරීම සඳහාත් අත්‍යවශ්‍ය වේ. අතීතයේ දකුණේ ඇතිවූ කල කෝලාහල හා උතුරේ ඇතිවු ගැටුමකාරී තත්වයන් නැවත වතාවක් ඇතිවීම වළක්වාගැනීම සඳහා සියළු ජාතීන් හට සමාන අවස්ථා ඇති බව දැනීමට සැලැස්විය යුතු බවත් ජාතිය ගොඩනැගීමේ කාර්යයේ දී ඔවුන්ට තම දායකත්වය ලබාදීමට ඇති හැකියාව තහවුරු කල යුතු බවත් දැන් අපට අවබෝධ වී ඇත. ජාති භාෂා භේදයකින් තොරව සියළු ජාතීන් හට තමන් සමාන අයිතිවාසිකම් බුක්ති විඳින සමාන පාර්ශ්වකරුවන් බව දැනිය යුතුය.

මෙම අරමුණ සඵල කරගැනීම සඳහා ජාතියක් වශයෙන් අප දැන් බියෙන් හා සැකයෙන් තොරව නැගී සිටිය යුතුය. මේ සඳහා කවුරුන්, කාට, කුමක්, කෙදින, කලේ දැයි සිතීමට පුරුදු වී ඇති මානසික තත්වය වෙනස් කල යුතුය. වෛරය හා පලිගැනීමේ චේතනාව පරදා නැගී සිටිය යුතුය.

මහත්ම මහත්මීනි, ජාතියක් වශයෙන් අපට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඇත. අවුරුදු 64 කට පෙර 1951 සැප්තැම්බර් මස 6 වන දින ජපානය වෙත සානුකම්පිකව සලකන මෙන් සමස්ත ලෝකය වෙත ආයාචනා කල පරිදිම, දැන් අප විසින් අපගේම ජනතාව කෙරෙහි එම ආයාචනය පරිදි ක්‍රියා කල යුතුව ඇත. සියල්ල අමතක කිරීම පහසු කාර්යයක් නොවේ. මිනිසාගේ මතකය, ඔහු කෙතරම් උත්සාහ කලත් සියල්ල අත හැරීමට අකමැතිය. නමුත් මිනිසුන් හට අත්වැරදීම්, භීතිය, වෛරය සහ පලිගැනීම පරදා නැගී සිටිමින් සානුකම්පිකව, මානව දයාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව ඇත. සියළු දෙනාගේ අයිතිවාසිකම් සුරකින, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය රජයන, අනාගත පරම්පරාව වෙනුවෙන් සෞභාග්‍යයෙන් සපිරි රටක් ගොඩනැගීම සඳහා එක්ව වැඩකිරීම සඳහා අවශ්‍ය ගුණාංග මේවා වේ.

මෙම ගමනේ දී අපට විදේශ ගතව සිටින අප මිතුරන්ගේ හා සුභපතන්නන්ගේ උදව් අවශ්‍ය වේ. අවසන් වශයෙන් ජපානය හා ජපාන ජනතාව විසින් අප වෙත දක්වන ලද අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරන අතර අප දෙරට අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ද අප අපේක්ෂා කරමු. ශ්‍රී ලංකාව පාරාදීසයක් කරලීම සඳහා අප විසින් ආරම්භ කර ඇති ජාතිය ගොඩනැගීම සඳහා වූ මෙම අභියෝගාත්මක ගමනේ දී, ජපානය අප සමඟ අත්වැල බැඳගනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනාවයි.

ස්තූතියි.

*විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කථාව – ආසියාව තුල සාමය ගොඩනැගීම, ජාතික සංහිඳියාව හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉහල මට්ටමේ සම්මන්ත්‍රණය – 2015 ජූනි 20, ටෝකියෝ හි දී

Back to Home page