Colombo Telegraph

සුළුතරයේ දුෂ්ට පාලනය

මාස් එල්. යූසුෆ්

මාස් එල්. යූසුෆ්

‘‘බෙදුණු බහුතරයකට එරෙහිව එක්සත් සුළුතරයක් කටයුතු කිරීමෙන් දේශපාලන යන්ත්‍ර​ය ජය ගැනේ’’  – විල් ඩ්‍යුරන්ට්

තත්කාලීන ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ ඉතිහාසය ලියැවෙද්දී, වර්තමාන අවධිය එකී දේශපාලනික භූදර්ශනයේ තීරණාත්මක යුගයක් වශයෙන් සනිටුහන් වනු ඇත. අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ පිහිටුවා ගත් 8 වැනි පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩුව එහිදී මුලින්ම වැදගත් වෙයි. දෙවැනුව, ආණ්ඩුවට පිටස්තරින් නැගෙන නිරන්තර තර්ජනයත්, නපුරක නිමිතිත් තිබේ. ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ අවි ගබඩාවෙන් නිකුත් කෙරෙන ඔල්වර හඬ ඒවායේ විවිධ මුහුණුවරින් දැන් අනාවරණය වෙයි. එහි අවසාන ඉලක්කය වන්නේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි. පැහැදිළිවම, ඔවුන්ගේ උපාය මාර්ග තුළ පැනෙන අරමුණ, රටේ සහ ජනතාවගේ අවශ්‍යතාවන්ට අහලකින්වත් නොගෑවෙයි.

‘අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය’, විපක්ෂයක වගකීම් ගැන, එහි 11 වැනි වගන්තියේ මෙසේ සඳහන් කරයි: ‘‘පාර්ලිමේන්තුවක විපක්ෂය වගකීම් සහිත විය යුතුය. රාජ්‍යතාන්ත‍්‍රික ඌරුවෙන් එය කටයුතු කළ යුතු අතර ප‍්‍රති-යෝජනා ඉදිරිපත් කරමින් සාධනීය සහ වගකීම් සහිත විරෝධය පෑම එහි කාර්ය භාරයයි. සිය ක‍්‍රියාකාරීත්වයේදී ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වයට නිරපරාදේ අකුල් හෙලිය යුතු නැති අතර පොදු ජනතාවගේ යහපත උදෙසා ආණ්ඩුවේ කි‍්‍රයාකාරකම් වැඩි දියුණු කර ගැනීමට විපක්ෂයක් උත්සාහ කළ යුතුය.’’

දෙසැම්බර් 19 වැනි දා අයවැයට එරෙහිව ඡුන්දය පාවිච්චි කරන්නැයි ජාතික ආණ්ඩුවේ සිටින තම පක්ෂයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුමගේ ප‍්‍රකාශය සමග ඉහත කී උපදේශය සන්සන්දනය කරන්න. ඔහු කිසිවක් වැසැංගුවේ නැත. තමන්ගේ අවංක අභිප‍්‍රායම ඔහු ප‍්‍රකාශ කොට සිටියේ මෙසේ ය: ‘‘එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් අවශ්‍ය නම්, මේ අයවැයට විරුද්ධව ඡුන්දය පාවිච්චි කරන්න’’. මිනිසෙකුගේ ජීවිතයට, එක්කෝ අනුප‍්‍රාණයක් නැත්නම්, ආතක්පාතක් නැති මංමුළාවක් හෝ අවශ්‍ය කරති යි කතාවක් තිබේ. ඒකාබද්ධ විපක්ෂය හැම දාමත් අනුප‍්‍රාණය ලබන්නේ, ස්වකීය ආතක්පාතක් නැති මංමුළාවේම තව තවත් පැටලීමෙන් බව පෙනෙන්ට තිබේ. දෙවැනි වර කියැවීමේදී වැඩි ඡුන්ද 107 කින් සම්මත වන අයවැයක් ඉදිරියේ එවැනි ප‍්‍රකාශයක් වෙන කාට නම් කළ හැකිද?

දේශපාලනය තුළ දීර්ඝ කාලීන මිත‍්‍ර සම්බන්ධතා නැත. නැව පෙරලෙන බවට නිකුත් වන මුල් සංඥාවේදීම ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් එළියට පැන ගනු ඇති බව නිසැක ය. කවුරුත් කරන්නේ, කතාවට කියන්නා සේ, කල දුටු තැන වළ ඉහ ගැනීමකි. ආණ්ඩුවේ සුභවාදයත්, ඒකාබද්ධ විපක්ෂයේ ආතක්පාතක් නැති මංමුළාවත් අතර ජනතාව සිරව සිටිති. දේශපාලනික නාටකයේ සෑම ජවනිකාවක් දෙසම ඔවුහු අසරණව බලා සිටිති.

සාමාන්‍යයෙන් නම්, ප‍්‍රජාපීඩක ප‍්‍රවණතාවක් පෙන්වන්නේ බහුතරයයි. එහෙත්, ඉතා අසාමාන්‍ය අන්දමින්, අද එම ප‍්‍රජාපීඩකත්වය දක්නට ලැබෙන්නේ විපක්ෂයේ සුළුතරයෙනි. සුළුතරයක් වන ඊනියා ඒකාබද්ධ විපක්ෂය පෙර නොවූ විරූ අයුරින් එක්සත්ව සිටී. මේ රටේ දේශපාලන ඉතිහාසයේ ප‍්‍රථම සහජීවන ආණ්ඩුවේ අස්ථිර සහ දුර්වල ස්වභාවය ඔවුහූ හොඳින් හඳුනති. පවතින තත්වයන් දිනෙන් දින වෙනස් වන පරිසරයක් තුළ, එක්සත් සුළුතරයක් විසින් බෙදුණු බහුතරය අභිබවා යාමේ ඉඩකඩක් තිබේ. ආණ්ඩුව භේද භින්න කොට එහි යම් ඉරිතැලීමක් ඇති කිරීමේ කුමන්ත‍්‍රණයක් කෙසේ වෙතත්, අඩු වශයෙන් මෛත‍්‍රී-රනිල් සමගිය කැඞී යතැයි යන අපේක්ෂාවක්වත් මේ පිරිස් තුළ ඇති බව නම් ස්ථිර ය.

විවේචනය කිරීම

ජාතික ආණ්ඩුව තුළට ඇතුළු විය නොහැකි වු පිරිස්වලට සිදුවුණේ ඒකාබද්ධ විපක්ෂයේ සිටීමට හිත් හදා ගැනීමටයි. එහිදී තමන්ට පැවරෙන එකම දෙය වශයෙන් ඔවුන් දකින්නේ, එක වචනයකින් හැඳින්විය හැකි රාජකාරියකි: එනම්, විවේචනයයි.

එම විවේචනය යුක්ති සහගතද, සාධාරණද, පදනම් සහිතද කියා හෝ සාදාචාර සම්පන්නද යන්න හෝ ඔවුන්ට වැදගත් නැත. ඉතිං, අනෝරා වැස්ස සහ ගංවතුර නිසා අමු මිරිස් මිළ ඉහළ යන්නේ නම්, එය පාදක කර ගනිමින් ජීවින වියදම ඉහළ යන්නේ යැයි ආණ්ඩුව විවේචනය කිරීමට මේ පිරිස් පසුබට නොවෙති. කලින් සැලසුම් කොට තිබූ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අතහැරීමට තීරණය කිරීමත් සමග දෙසැම්බර් 15 වැනි දා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා කළ ප‍්‍රකාශය ගැනත් වාසුදේව නානායක්කරට කීමට තිබුණේ, ඔවුන් බයට එසේ කළ බවකි.

මේ සුළුතරයේ ඇතැමුන්ට, ආගම යනු සූරාකෑමේ මාධ්‍යයකි. සමාජ ව්‍යවහාර යනු ගැලරියට පෙන්විය යුතු ක‍්‍රීඩාවකි. අවංක භාවය සහ පක්ෂපාතීත්වය යනු අවස්ථාවාදයේ සහ සූරාකෑමේ මෙවලම් ය. ආණ්ඩුවේ වේවා, ආණ්ඩුවෙන් පිටස්තර විපක්ෂයේ වේවා සිටින මෙබදු කාඞ්බෝඞ් දේශපේ‍්‍රමීන් තුළ මොනම දේශපේ‍්‍රමීත්වයක් ඇති බවක් පෙනෙන්ට නැත. එය පුදුමයක්ද නොවේ. මන්ද යත්, ලෝකය පුරාම දේශපාලනය එයාකාර වන බැවිනි.

කටහැකර විවේචනයේ දෛනික මාත‍්‍රාව සපයා ගනු වස්, උද්වේගකර හැඟීම් අවුස්සන සංවේදනවාදයේ සිට බහුරු කෝලම් දක්වා වන ඕනෑම දෙයක් මොවුන්ට පාවිච්චි කළ හැක. ඒවා පදනම් වන්නේ හුදෙක් උපකල්න මත වීම, අනුමානයන් මත වීම හෝ ඕපා¥ප මත වීම ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවේ. ඒ අංශයෙන් ගත් විට අපේ ඇතැම් දේශපාලඥයන් සතු කෞෂල්‍යය, හොලිවුඞ් ඔස්කාර් සම්මානලාභී නළුවන් පවා පරාජය කරවන සුළු ය. මේ කුසලතාව කෙතරම් සියුම්ද යත්, නාඩගමක් ත‍්‍රාසජනක කතාවක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ඔවුන්ට තිබේ. ප‍්‍රබන්ධයක් සත්‍යයක් සේ නිර්මාණය කිරීමේ හැකියාව ඔවුන්ට තිබේ. කෙසේ වෙතත්, යමක් කමක් වැටහෙන නුවණ ඇත්තා මේ දේවල් තුළ ඇති බූරු ගතිය වටහා ගනී. එහෙත් ප‍්‍රශ්නය වන්නේ රටේ වැඩි පිරිසක් දැනුම් තේරුම් ඇති ප‍්‍රාඥයන් නොවීමයි. මෙවැනි විහිළුකාරයන් සමහරෙක් පසුගිය මැතිවරණයේදී ජනතාව විසින්ම ආපසු පාර්ලිමේන්තුවට පත්කර යැවීමෙන් ඒ බව ඔප්පු කෙරුණි.

රම්බෝ

රම්බෝ මාදිලියේ සහ බටහිර ජෝන් වේන් මාදිලියේ නළු වීරයෝද අප අතර සිටිති. ඔවුන් වීරයන් වශයෙන් හඳුන්වන්නේද, නැතහොත් දුෂ්ටයන් වශයෙන් හැඳින්විය යුත්තේද යන්න ගැන ස්ථිර අදහසක් මට නැත. ඇතැම් පට්ට නළුවන්ගේ ප‍්‍රකාශනවල ‘ආඛ්‍යාන’ කිහිපයක් ඉදිරිපත් කිරීම මෙහිදී වැඩදායක විය හැකිය.

පසුගිය නොවැම්බර් 17 වැනි දා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී එක්තරා අපකීර්තිමත් භික්ෂුවක් අනාවැකියකින් කියා සිටියේ, ‘‘බෝම්බ දෙක තුනක් පිපුරුණොත් අවුරුද්දකින් ලංකාව අස්ථායි කළ හැකි’’ බවයි. අවිහිංසාව වෙනුවෙන් සිවුරු දරා සිටින කෙනෙකුගේ මුවින් එවැනි මාරාන්තික වදන් පිටවීම විශේෂයෙන් බියකරු ය. ප‍්‍රබන්ධය සත්‍යය බවටත්, සත්‍යය ප‍්‍රබන්ධය බවටත් පත්කිරීම දේශපාලඥයන්ගේ සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව ඇත. එහෙත්, මුසාවාදා වේරමනී සික්ඛා පදං සමාදියාමි යනුවෙන් සිව් වැනි ශික්ෂා පදය දිනපතා මතුරන සහ වෙනත් අයටත් එය දේශනා කරන කෙනෙකුට එය කළ නොහේ. ඕනෑ තරම් බෝම්බ පිපිරෙනු මේ රටේ ජනතාව ඕනෑවටත් වඩා දැක තිබේ. තවත් එවැනි තත්වයක් දැකීමේ ආශාවක් කිසිවෙකුට නැත. එවැනි හදවතක් නැති කුරිරු ප‍්‍රකාශ කිරීම, දැනටමත් පීඩාවට පත්ව සිටින ජාතියක හැඟීම් රිදවීමකි. ඒ තරමට කෙනෙකු අසංවේදී වන්නේ සහ නිර්දය වන්නේ කෙසේද යන්න පුදුමයකි.

ත්‍රාසකය

ත්‍රාසජනක සිනමා පටයකට සමාන අත්දැකීමක්, අයාලේ ගිය ශ‍්‍රී ලංකන් ගුවන් සේවාවේ ණය කන්දරාව, මුදල් ඇමති රවි කරුණානායක විසින් ඉදිරිපත් කළ අයවැය ප‍්‍රකාශනයේදී අපට දැන ගන්නට ලැබුණි. බිලියන 158 ක් යනු එසේ මෙසේ ණය බරක් නොවේ. ඊටත් වඩා නස්පැත්තිය වන්නේ, පුරවැසියන්ට අහිමි වූ සන්තකය කෙතෙක්ද යන්නත් මුදල් ඇමතිවරයාගේ කතාවෙන් ප‍්‍රකාශයට පත්වීමයි. මේ ණය කන්දරාවෙන් බස් රථ 45,000 ක් මිළදී ගත හැකිව තිබූ බව ඔහු කීය. සියලූ පහසුකම් සහිත විශ්ව විද්‍යාල 25 ක් ආරම්භ කළ හැකිව තිබූ බව ඔහු කීය. සියලූ පහසුකම් සහිත රෝහල් 40 ක් සහ නිවාස 48,000 ක් තැනිය හැකිව තිබූ බව ඔහු කීය. මේ සැබෑවට, ඒකාබද්ධ විපක්ෂය අන්ධ ය. ඒ වෙනුවට ඔවුන්ගේ උනන්දුව තිබුණේ මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම ගැනයි.

විගඩමක්?

අවසාන වශයෙන් ඊළඟ අංකය, ප‍්‍රහසනයක් වශයෙන් හැඳින්විය හැකිදැයි මම නොදනිමි. කෙසේ වෙතත්, හිටපු ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරයෙකු වූ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක් මෙසේ කියා තිබේ: ‘‘අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන පාසල් කිහිපයක නේවාසිකාගාරවල ශිෂ්‍යයන්ට මසකට රුපියල් 2500 ක අය කිරීමක් යටතේ දවසට කෑම වේල් තුනක් සහ දෙවරක් තේ සපයනු ලැබේ. එයින් පැහැදිළිව පෙන්නුම් කරන්නේ, වියහියදම් නිවැරදිව කළමණාකරණය කරගන්නේ නම්, තුන් දෙනෙකුගේ පවුලකට මසකට රුපියල් 7500 ක් සෑහෙන බව ය.’’

2016 අයවැය යෝජනා තුළ කියැවෙන සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සතු ටි‍්‍රලියන 1.7 ක් ඒකාබද්ධ කිරීම ගැන අද පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කරන්නේ බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා පමණි. ඔහුගේ විරෝධතාව අර්ථවත් නම් සහ එම විරෝධය පළ කෙරෙන්නේ, නිසි පරීක්ෂාවෙන් පසුව නම්, අරමුදල් කළමණාකරුවන්ගේ සහ අරමුදලේ භාරකරුවන්ගේ අනන්‍යතාව සොයා බැලීමෙන් පසුව නම්, වත්කම් වෙන් කිරීම් සහ අරමුදලේ අවදානම ආදිය සැළකිල්ලට ගැනීමෙන් පසුව නම්, බොහෝ දෙනා ඔහුගේ මතයට ප‍්‍රශංසා කිරීමට තිබුණි. එහෙත් ඔහුගේ එකම ප‍්‍රශ්නය වන්නේ, කළමණාකරන ගාස්තුව වශයෙන් සඳහන් වන සියයට 2 සම්බන්ධයෙනි. ඕනෑම අරමුදල් කළමනාකරණයක් සඳහා සාමාන්‍යයෙන් වෙන් කෙරෙන ප‍්‍රතිශතය එයයි. එහෙත් ඔහු කියන්නේ ඒ මගින් දූෂණයක් සිදුවිය හැකි බවයි. ඒ තත්වය තුළ කෙනෙක් ඔහුගෙන් ප‍්‍රශ්නයක් ඇසුවේය. එනම්, පසුගිය රජය සමයේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් මිලියන 500 ක් මිහින් ලංකා ව්‍යාපාරයේ ආයෝජනය කරන විට ඔහු සිටියේ කොහේද යන්නයි.

පණිවිඩය

සුළුතරයේ මේ හිතුවක්කාරී උන්මාදය පැන නැගෙන්නේ, ඒකාබද්ධ විපක්ෂයෙන් වේවා, වෘත්තීය සමිති අංශයෙන් වේවා, එයින් කෙරෙන්නේ පොදු ජනතාව ගෙල ග‍්‍රහණයෙන් ගැනීමකි. වාහන බලපත‍්‍රයක් වෙනුවෙන් වර්ජනය කරන දොස්තරවරුන් ගැන පොදු ජනතාවගේ කෝපය ලියලනු ඇත. සෞඛ්‍ය අංශයේදී සාමාන්‍ය ජනතාව මුහුණදෙන ගැහැට අපමණ ය. ධනවාදී චින්තනයක් සහිත දොස්තරලාට, බිඳුණු හදවත් ඇති පීඩිත ජනයාගෙන් අනුකම්පාවක් නොලැබෙනු ඇත. එයම අනිත් සියල්ලන්ටත්- ආණ්ඩුවට, ඒකාබද්ධ විපක්ෂයට සහ වෘත්තීය සමිති අංශය ආදී අනිත් සියල්ලන්ටත්- වලංගුයි. මේ තත්වය තුළ, ජනතාවගේ හද ගැස්ම හඳුනාගෙන කටයුතු කිරීම කාට කාටත් වැඩදායක ය.

*2015 දෙසැම්බර් 18 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Tyranny Of The Minority නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page