Colombo Telegraph

දණගැස්වීම වනාහි අමානුෂික ක‍්‍රියාවකි: ලැප්ටොප් දීමෙන් ජනමාධ්‍යවේදීන්ද දණගස්වනු ලැබේ

මිල්ටන් රාජරත්න

මහාචාර්ය මිල්ටන් රාජරත්න

පෙර සිරිතට අනුව දෙමාපියන් විසින් ¥දරුවන් ද ගුරුවරුන් විසින් සිසුන් ද දඬුවම් පිණිස දණගස්වනු ලැබේ. එසේ වුව ද වර්තමාන සමාජයේ දණගැස්වීම වනාහි අමානුෂික ක‍්‍රියාවකි. ඒ මක් නිසාද යත් දණගැස්වීම දඬුවම ඉක්මවා ගිය පුද්ගල යටත්කිරීමක් වන බැවිනි. දණගැස්වීමෙන් ද, නඩු කටයුතු මගින් ද, යුද්ධයෙන් ද, භීෂණයෙන් ද යනාදී වශයෙන් නොයෙකුත් ක‍්‍රම මගින් යටත්කිරීම කළ හැකිය. පුද්ගලයන් දණගස්වා යටත්කිරීම බරපතළ මානව හිමිකම් උල්ලංඝණය කිරීමකි. මානව හිමිකම් ප‍්‍රඥප්තියේ මූලික දාර්ශනික පදනම වන්නේ මිනිසාගේ පැවැත්ම හා අභිමානය තහවුරු කිරීමයි. ඒ අර්ථයෙන් ගත් කල දණගැස්වීම වනාහි මිනිසාගේ ක‍්‍රියාකාරිත්වය හා අභිමානය නිර්දය ලෙස බිඳ දැමීමකි. දණගැස්වීම වනාහි මිනිසා යටත්කිරීමේ ක‍්‍රියාවකි.

දණගැස්වීමෙන් අපේක්ෂා කරන්නේ දණගසන පුද්ගලයාගේ අභිමානය කෙළෙසා නිවටයකු කිරීමය. එසේ දණගසන පුද්ගලයා අභියස දණගස්වන පුද්ගලයා උදාර උත්තුංග පුද්ගලයකු වන අතර දණගසන පුද්ගලයා නිවටයකු වේ. එනයින් බලන කල දණගැස්වීම වනාහි පුද්ගලයකු නිවටයකු බවට පත්කිරීමේ ක‍්‍රමයකි. වැඩවසම් යුගයේ කුල හීනයන් වංශවතුන් හා බලවතුන් ඉදිරියේ දණනමා නිවටකම් පෑවේය. වහල් බැමි බිඳීගිය නූතැන සමාජය දේශපාලකයන් ඉදිරියේ දණගසන්නේ නැත. දණනොගැසීම වනාහි දේශපාලකයන්ට ඉවසිය නොහැකි මානසික පීඩාවකි. ඒ මක් නිසා ද යත් ඔවුන්ගේ මනස තවම වැඩවසම් යුගයේ පැවතීමය.

දණගැස්වීම මෙන්ම දණගැසීමේ සිරිතක් ද සිංහලයා අතර තිබේ. දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට ආචාර කිරීම පිණිස දණගැසීම ඉන් එකකි. දෙමාපියන් අභියස දණගැසීමෙන් අප නිවටයන් වන්නේ නැත. තවත් දණගැසීමේ අවස්ථාවක් වන්නේ බුදුන් හා සඟුන් වන්දනාවේ දී දණගැසීමය. එය ද නිවටයන් වීමට හේතු ප‍්‍රත්‍ය වන්නේ නැත. ආචාර කිරීම පිණිස ගුරුවරුන් අභියස දණගැසීම තවත් අවස්ථාවක් වේ. මාතෘභූමියට දණගැසීම වනාහි තවත් දණගැසීමේ අවස්ථාවකි. මෙවැනි දණගැසීම් කිසිවකුගේ අණ පරිදි සිදුකරන්නක් නොව භක්තිය කරණකොට ගෙන කරනු ලබන ක‍්‍රියාවකි. එබැවින් එහිලා ගැටළුවක් පැනනගින්නේ නැත. සිඟාලක ගෘහපති පුත‍්‍රයා දණගසා ගෙන සදිසා නමස්කාරය කළේය; නැගෙනහිර නම් දෙමාපියෝය, දකුණුදිග නම් ගුරුවරුය, බටහිර නම් අඹුදරුවෝය….

වර්තමානයේ රටවැසියා නිවටයන් ලෙස සැලකීම දේශපාලකයාගේ සාමාන්‍ය සිරිතක් බවට පත්වී තිබේ. ඒ මක් නිසාද යත් දේශපාලකයන් උදාර උජාරු පුද්ගලයන් ලෙස ඔවුන් විසින්ම සිතා සිටින බැවිනි. එපමණක් ද නොව ඡුන්ද දායකයා ද ඔවුන්ගේ උජාරුකම් බලබලා ඔවුන් නැවත නැවත බලයට ගෙන ඒමට තරම් නිවට වී සිටින බැවිනි. තවද, රටවැසියා සිය මානව අයිතිවාසිකම් පිළිබඳ උනන්දුවක් නොදක්වන බැවිනි.

දණගැස්වීම වනාහි පුළුල් අර්ථයෙන් බැලිය යුතු සංසිද්ධියකි. මිනිසුන් ගස් බැඳීම වනාහි දණගැස්වීමකි. මිනිසුන් සුදුවෑන් තුළ දමාගෙන ගොස් මර්දනය කොට ඇතමකු මරා දමනු ලැබීම ද දණගැස්වීමකි. රජය විවේචනය කරනු ලබන ජනමාධ්‍යවේදීන් ලූහුබැඳ ගොස් තර්ජනය කොට උන්හිටි තැන් අහිමි කරනු ලැබීම ද දණගැස්වීමකි. එතකුදු නොව ලැප්ටොප් දීමෙන් ද ජනමාධ්‍යවේදීන් දණගස්වනු ලැබේ. එසේ දණනොගසන මාධ්‍යවේදීන් දණගැස්වීම පිණිස ජනමාධ්‍ය සදාචාරය පිළිබඳ පණත යොදාගනු ලැබේ. ඒ වූකලි සදාචාර සම්පන්න දණගැස්වීමේ කලාවකි. නිළධාරීන් හා මැති ඇමැතිවරුන්ගේ ¥ෂණ සම්බන්ධ ලිපිගොනු පවත්වාගෙන යමින් ඔවුන් ද දණගස්වා හීලෑ කොට ඔවුන්ගෙන් වැඩකරවා ගනු ලැබේ. දණගැස්වීම පිළිබඳ මහජනයාගේ ඇස් ඇරී තිබෙන්නේ එසේ දණගැස්වීමට ලක්ව පීඩා විඳි දහස් සංඛ්‍යාත පිරිස අතුරින් එක් ගුරුවරියක් නිසාය.

යුද්ධය දිනුවේ කොටියා දණගැස්වීමෙනි. දණගැස්වීමේ ආශ්චර්යය උදාවන්නට පටන්ගත්තේ එතැන් පටන්ය. කොටියා දණගැස්වූ ජෙනරල් සරත් ෆොන්සේකා දණගැස්වීම එහි ඊළඟ පියවර විය. නඩු පිට නඩු දමා සහ හිරේ දමා ඔහු දණගස්වනු ලැබීය. ඉන් පසු විපක්ෂයේ මන්ත‍්‍රීන් රැසක් මුදල් දී හෝ බියවද්දා හෝ දණගස්වා ආණ්ඩුවට ඈඳාගෙන තුනෙන් දෙකේ බලය ගොඩනගා ගත්තේය. දේශපාලන අණට කීකරු නොවූ සංස්ථා සභාපතිවරුන් දණගස්වනු ලැබීය. අග‍්‍රවිනිශ්චයකාරවරිය දණගස්වනු ලැබීය. දොළපිදේනි, ගෞරව බහුමාන ප‍්‍රදානය කොට පූජ්‍ය පක්ෂය දණගස්වනු ලබන්නේය. දණගස්වා නිහඬ කිරීම පිළිබඳ නිදසුන් නිමක් නැත. දණගැස්වීම ආශ්චර්යයක් බවට පත්විය.

දණගැස්වීමේ තවත් පැත්තක් වනාහි ආයතන දණගැස්වීමයි. ආයතන දණගැස්වීම වනාහි ඒවා දේශපාලනයට නතුකොට යටපත් කිරීමය. පෞද්ගලික අංශයේ ආයතන රජයට පවරාගැනීම පිණිස හදිසි පණතක් ගෙනවිත් එමගින් අප රටේ ප‍්‍රබල ව්‍යාපාරිකයන් ගණනාවක් දණගස්වනු ලැබීය. දාහත්වන ආණ්ඩුක‍්‍රම සංශෝධනය ඉවත්කිරීම මගින් පොලිස්, රාජ්‍ය සේවා, මැතිවරණ යනාදී ආයතන සියල්ල දණගස්වනු ලැබීය. එබැවින් අද පොලීසිය ද අනෙකුත් රාජ්‍ය සේවා ද දේශපාලන බලය අභියස දණින් වැටී ඇත. සෞඛ්‍ය, අධ්‍යාපන, රේගු සහ ප‍්‍රවාහන සේවා මෙන්ම සංස්ථා සහ මණ්ඩල යනාදිය ද දේශපාලන බලය විසින් දණගස්වනු ලැබ තිබේ. විශ්වවිද්‍යාල පාලක සභාවලට සහ උපකුලපතිවරයාගේ පටන් අධ්‍යයනාංශ ප‍්‍රධානීන් දක්වා දේශපාලන බලය ව්‍යාප්ත කොට දණගැස්වීම ආරම්භ කොට තිබේ. සරසවි ඇදුරන් සහ ශිෂ්‍යයන් දණගැස්වීම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මූලික අරමුණක් බවට පත්ව තිබේ. සරසවි දණගැස්වීමේ සාකච්ඡුාව ආණ්ඩු විරෝධී විශ්වවිද්‍යාල ප‍්‍රජාව ඩිසපියර් කිරීම හෙවත් අතුරුදන් කිරීම දක්වා දුර දිග ගොස් තිබේ.

මේ අනුව දණනොගැස්වූ නිළධාරියෙක්වත්, ආයතනයක්වත්, ව්‍යාපෘතියක්වත් සොයාගැනීමට නොමැති තරම්ය. දේශපාලන බලය අමුතු අමුතු මාදිලිවලින් කරළියට පැමිණ නවීන පන්නයේ දණගැස්වීම් මාලාවක් ද සමාජ ගතකර තිබේ. ඉන් එකක් නම් බොදුබල සේනාවේ දණගැස්වීමය. ඔවුන් විසින් දණගස්වනු ලබන්නේ තනි පුද්ගලයන් නොව ජාතීන් සමූහ වශයෙනි. හලාල් ආහාර ක‍්‍රමයම දණගැස්වූයේ ඔවුන් විසින්ය. රාවනා හමුදාව සහ සිංහල රාවය හමුදාව විසින් මස් කඩ කරුවාගේ පටන් තානාපති කාර්යාල දක්වා දණගැස්වීමේ කාර්යයක නිරතවී සිටී. එපමණක් ද නොව දහතුන්වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේිනයි-දත්’ ගැලවීම නොහොත් පළාත් සභා දණගැස්වීමේ වැඩසටහනක් ද ඊට සමගාමීව ක‍්‍රියාත්මක කරනු දක්නා ලැබේ. නිවාස සංවර්ධන ඇමැතිවරයා විසින් ඇමෙරිකාවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් දණගැස්වනු ලැබීය. දණගැස්වීම විෂයෙහි ලා අප රට කිසිදු රටකට දෙවැනි වන්නේ නැත. හෙට අනිද්දා වන විට ඉන්දියාව ද දණගැස්වීමට හැකි වන්නේය. දැන් අප පසඟ පිහිටුවා දණනමා සිටින චීනා වුවද අපට එරෙහිවුවහොත් දණගැස්වීම මහ කජ්ජක් නොවන්නේය.

දණගැස්වීමේ චක‍්‍රය ආරම්භ වන්නේ දණගැසීමට පුරුදුවීමත් සමගය. මැති ඇමැතිවරු පළමුව සිය ලොක්කන් අභියස දණගසති. එසේ දණගසා සිය අභිමානය කෙලෙසා ගනිති. අභිමානය කෙළෙසාගත් උදවියට යළි අභිමානවත් වීමට නම් යටත් නිළධාරීන් හෝ රටවැසියන් ඔවුන් ළඟ දණගැසිය යුතුය. පුද්ගලයන් හා ආයතන දණනොගසන තාක් දේශපාලන උජාරුව පවත්වා ගැනීමට නොහැකිය. නානාවිධ ක‍්‍රමෝපායයන් යොදාගනිමින් රටවැසියා බලහත්කාරයෙන් දණගැස්වීම ආරම්භ වන්නේ ඒ අනුවය. දණගැස්වීමේ ආකාර කීපයකි. ඒවා නම් නිළධාරීන් දණගැස්වීම, ආයතන දණගැස්වීම, ව්‍යාපාරිකයන් දණගැස්වීම, විරුද්ධ මතධාරීන් දණගැස්වීම, පූජ්‍යපක්ෂය දණගැස්වීම, ජනමාධ්‍ය දණගැස්වීම හා ආර්ථිකය දණගැස්වීම යනාදියයි.

දැනට සිදුකෙරෙන දණගැස්වීම වනාහි සංවිධානාත්මක පදනමකින් තොර අපිළිවෙලට සිදුකරනු ලබන දණගැස්වීමකි. එබැවින් මහජනතාවට වඩාත් ගුණාත්මක හා විශ්වාසනීය දණගැස්වීමේ සේවාවක් ලබාදීම පිණිස දණගැස්වීමේ අමාත්‍යංශයක් පිහිටුවිය යුතුය. තවද දණගැස්වීමේ ප‍්‍රඥප්තියක් ද සම්මත කොට ගෙන එමගින් දණගැස්වීමේ සේවාව මහජනයාට වඩාත් සමීපකරවීම පිණිස ප‍්‍රාදේශීය සභා, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ග‍්‍රාමසේවා කොට්ඨාශ මට්ටමෙන් දණගැස්වීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට ක‍්‍රියා කළ යුතුය. එමගින් ලෝකයේ දණගැස්වීමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් හබ් එකක් ලෙස අප රටට විරුදාවලි ලැබිය හැකිය. දණගැස්වීම වනාහි අප රටේ මහජනයා ආණ්ඩුවෙන් නොමිලේ ලබන පොදු සේවාවක් වන බැවින් එය එක්සත් ජාතින්ගේ මානව සංවර්ධන දර්ශකයට ද ඇතුළත් කිරීමට ක‍්‍රියා කළ යුතුය. එතෙකුදු නොව පරිනාමය විසින් කොඳු ඇට පෙළ සිරස්කොට නිමවා අභිමානවත් ලෙස කෙලින් සිටවූ මිනිසා දණින් සිටුවීමේ “ර්‍දණනැගුම” වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කළ යුතුය. තවද එම දණනැගුම වැඩසටහනේ චිරස්තිථිය පිණිස ධජග්ග පිරිත හා මෝර පිරිත වැනි පිරිත් සූත‍්‍ර ද සජ්ජායනා කළ යුතුය. මැතිවරණවල දී වත්මන් පාලකයන් නැවත නැවතත් තෝරා පත්කර ගෙන චිරං ජයතු කළ යුතුය. ඒ මක් නිසාද යත් දණගැස්වීම වනාහි විසිඑක් වෙනි සියවසේ අප ලද උදාරතර භාග්‍යයක් වන බැවිනි.

Back to Home page