Colombo Telegraph

මෝඩි, ගැලවුම්කරුවා?

බිමට බේරුණු නුගගස් වැල්වලින් වට වූ පැරණි මුස්ලිම් සුසාන භූමියක, සිය බිරිඳගේ සහ දරු දෙන්නාගේ මිනී වළ ළඟ පදන් මොහොමඞ් මහරූෆ් සිටගෙන සිටියේය.

‘‘ඒගොල්ලෝ තවම ඉන්නවා වගෙයි මට දැනෙන්නේ.’ පස් ගොඩැල්ල දිහා බලාගෙන ඔහු කියයි. ‘මං ඒගොල්ලෝ එක්ක ඉඳගෙන ඉන්නවා වගේ.’’

ඔවුන් ඝාතනය කොට වසර 12 ක් ගෙවී ගොසිනි. හින්දු ආගමික සැහැසි ජනයා විසින් ඔවුන්ව පණ පිටින් පුළුස්සා මරා දමන ලදි. ඉන්දියාවේ ගුජරාට ප‍්‍රාන්තයේ 2002 දී හටගත් ජාතිවාදී කෝලාහලවලින් මුලින්ම ඝාතනයට ලක්වූ අය අතර ඔහුගේ බිරිඳ බිල්කිස් සහ 14 වියැති දුව කෙරූන් නිෂා ද, 10 වියැති පුතු හමීඞ් ද වූහ. මුස්ලිම්වරුන් විසින් ගිනි තබන ලද කෝච්චියක දී මරණයට පත්වූ හිනිදු වන්දනාකරුවන් 60 කුගේ ජීවිත වෙනුවෙන් කළ පළිගැනීමක් වශයෙන් මෙම මුස්ලිම්-විරෝධී කෝලාහලය හටගැනුණි.

‘‘මං මගේ දුවව දැක්කේ නැහැ. ඒත් එතන හිටපු ගෑනු කෙනෙක් කිව්වා, මරන්න ඉස්සෙල්ලා මගේ දුවව දූෂණය කළා කියලා.’ මහරූෆ් කීය. ‘‘ඔවුන් මගේ බිරිඳට කිරිච්චියකින් ඇන්නා. ඊට පස්සේ ඒ තුවාලෙට පෙට‍්‍රල් දාලා ගිනි තිබ්බා.. ඒ වෙලාවේ මගේ දරුවෝ බේරගන්න මං පුලූවන් හැම දෙයක්ම කළා.’’

ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන බොහෝ අවස්ථාවල මහරූෆ්ට මේ දර්ශනය මතකයට නැගේ. විපක්ෂ භාරතීය ජනතා පක්ෂයේ මෙවර අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි, පවතින කොන්ග‍්‍රස් පාලනය කෙරෙහි පවතින මහජන අප‍්‍රසාදය හේතුවෙන් ජය ගැනීමට බොහෝ විට ඉඩ තිබේ. මේ හින්දු ජාතිකවාදියා, ඡුන්දදායකයන්ගෙන් විශාල ප‍්‍රතිශතයක් වන ඉන්දියානු තරුණ පරම්පරාව අතර ඉතා ජනප‍්‍රියයි.

එහෙත් මෝඩි පිළිබඳ මහරූෆ් තුළ ඇති මතකය ඊට වෙනස් ය. ප‍්‍රාන්තය පුරා මුස්ලිම්-විරෝධී ගිනි ඇවිලෙද්දී ගුජරාටයේ මහඇමති පදවිය දැරුවේ ඔහු ය. මාස ගණනක් විටින් විට දියත් වූ ජාතිවාදී කෝලාහලයේ දී මහරූෆ්ගේ පවුල ඇතුළු 1000 කට වැඩි පිරිසක් ඝාතනය වූහ. මහරූෆ් වැනි දිවි ගලවා ගත්තවුන් චෝදනා කරන්නේ, මෝඩිගේ දක්ෂිණාංශික ගුජරාට ප‍්‍රාන්ත ආණ්ඩුවත්, පොලීසියත් තමන්ව ආරක්ෂා කිරීම ඕනෑ කමින්ම මගහැරිය බවයි.

‘‘අපේ ගේ ළඟ තිබුණු පොලිස් මූලස්ථානයට අපි ගියා. ඒගොල්ලෝ කිව්වේ මොකක් ද? අද අපිට තමුසෙලාව ආරක්ෂා කරන්න විදිහක් නැහැ. අද තමුසෙලා මැරෙන්න ඕනේ. ඒක ඉහළින් ආපු නියෝගයක්.’’ මහරූෆ් කියයි.

ගුජරාට ප‍්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන සන්ජීව් භාත්, එම නියෝග ආවේ මෝඩිගෙන්ම බව, පසුව ඒ පිළිබඳ කරන ලද බොහෝ පරීක්ෂණවලදී සාක්ෂි දෙමින් කියා තිබේ.

මේ කලකෝලාහල පැවති සමයේ අභ්‍යන්තර ආරක්ෂක නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා වුණේ භාත් ය. 2002 පෙබරවාරි 27 වැනි දා රාත‍්‍රියේ මෝඩිගේ නිවසේ පැවති රැුස්වීමක දී, මුස්ලිම්-විරෝධී හින්දු කැරලිකරුවන් මැඩලීමට මැදිහත් නොවන්නැ යි පොලිස් නිලධාරීන්ට මහඇමතිවරයා කී බව භාත් කියයි. ‘‘මේ වෙලාවේ හින්දු භක්තිකයෝ ඉන්නේ කේන්තියෙන්. හින්දු සහ මුස්ලිම්වරුන්ට පොලීසිය එක සමානව සළකන පුරුද්ද මේ වෙලාවේ හරි යන්නේ නැහැ.’’ යැයි මහඇමතිවරයා එහි දී කී බව භාත් තවදුරටත් කියයි. ‘‘හින්දු භක්තිකයෝ කේන්තියෙන් පුපුරනවා. ඒ කේන්තිය පිට කරගන්න ඔවුන්ට ඉඩ දෙන්න ඕනේ.’’

මේ ප‍්‍රචණ්ඩත්වයට සම්බන්ධව සාපරාධී කුමන්ත‍්‍රණය කිරීම සම්බන්ධයෙන් මෝඩිට එරෙහිව නඩු පැවරීමට වින්දිතයන්ට අවශ්‍යයි. දැනට ගුජරාට් ඉහළ අධිකරණයේ විභාග වෙමින් පවතින එක් පෙත්සමක ඔහු වගඋත්තරකරුවෙකි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කළ වෙනම නඩු විභාගයක දී, මෝඩිට විරුද්ධව කිසි සාක්ෂියක් සොයාගත නොහැකි විය. මෝඩි සහ ඔහුගේ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය, මේ චෝදනා හැම දාමත් ප‍්‍රතික්ෂේප කෙළේය. එහෙත්, ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලින් පසුව ඔහු සහ ඔහුගේ පක්ෂය ඒ ගැන තොරතුරු වසංගන්නට ඇතැ යි, මානව හිමිකම් ක‍්‍රියාධරයන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ද ප‍්‍රකාශ කොට තිබේ.

‘හියුමන් රයිට්ස් වොච්’ ව්‍යාපාරය 2012 දී නිකුත් කළ වාර්තාවක්, ‘‘මුස්ලිම්-විරෝධී කැරලි කෝලාහලවලින් අවුරුදු 10 කට පසුවත්, මෝඩිගේ ප‍්‍රාන්ත ආණ්ඩුව, යුක්තිය අපහරණය කරන බවත්, අපරාධකරුවන් ආරක්ෂා කරන බව සහ පාරදෘෂ්‍ය භාවය ඉල්ලා සිටින්නන් බිය වද්දන බවත්’ සඳහන් කරයි. ‘‘මේ අපරාධවලට ගෑවුණු, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පවරනු වෙනුවට, ගුජරාට ප‍්‍රාන්ත ආණ්ඩුවේ බලාධිකාරීන් ඒවා ප‍්‍රතික්ෂේප කොට, යුක්තිය පසිඳලීමට අවහිර කරන බව’’ එහි දකුණු ආසියා අධ්‍යක්ෂ මීනක්ෂී ගන්ගුලි කියයි.

ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයක දී මේ නඩු නැවත ආරම්භ කෙළේය. එහෙත් සාක්ෂි නැති කමින් හෝ සාක්ෂිකරුවන් එදිරිවාදී ආකල්ප දැරීමේ හේතුවෙන් ඒවා නිෂ්ප‍්‍රභා කෙරුණි. සාක්ෂිකරුවන්ව බිය වැද්දීමෙන් බේරා ගැනීම සඳහා කිහිප වරක්ම මේ නඩු මෙම ප‍්‍රාන්තයෙන් පිටතට මාරු කිරීමටත් සිද්ධ විය. මේ සිදුවීම් යට ගැසීමට උත්සාහ කිරීම ගැන ගුජරාට ප‍්‍රාන්ත පාලනය නිර්දය සේ විවේචනයට ලක්කළ අධිකරණය, ඉතා වැදගත් සිදුවීම් 9 ක් විභාග කර බැලීම සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත්කරන ලෙස නියෝග කොට තිබේ.

එහෙත්, තමන්ගේ අගමැති අපේක්ෂකයාට එරෙහිව ගෙන යන මෙම ව්‍යාපාරය, දේශපාලන හේතු පෙරදැරිව කෙරෙන්නක් බව භාරතීය ජනතා පක්ෂය කියයි. ‘‘බාගල්පූර් හිදී ඝාතනය වූ 1000 ක් මුස්ලිම්වරුන් ගැන කවුරුවත් කතා කරන්නේ නැත. එතන සිටියේ කොන්ග‍්‍රස් පක්ෂයේ මහඇමතිවරයෙක්. ඊට කලින් ගුජරාටයේ තවත් දහස් ගණනක් මුස්ලිම්වරුන් ඝාතනය කෙරුණු අවස්ථාව ගැන කවුරුවත් කතා කරන්නේ නැත. ඒ නිසා මෙක පක්ෂග‍්‍රාහී අර්ථකතනයක්. ජනතාව දැන් ඉන්නේ හුඟාක් ඉදිරියෙන්.’’ යැයි භාරතීය ජනතා පක්ෂය කියයි.

ඉන්දියාවේ ඡුන්දදායකයා ඒවා අමතක කොට ඉදිරියට ගොස් ඇති බව පැහැදිළිව පෙනෙන්ට තිබේ. මෑතක දී කරන ලද ජනමත විමසුම්වලට අනුව, භාරතීය ජනතා පක්ෂය සහ එහි මිත‍්‍ර පාර්ශ්ව පක්ෂ පාර්ලිමේන්තුවේ ආසන 226 ක් දිනා ගැනීමට ඉඩ තිබේ. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය වන ආසන 273 ට වඩා මෙය අඩු ආසන සංඛ්‍යාවක් වුව ද, සන්ධාන ක‍්‍රියාමාර්ග හරහා ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට එය හොඳටම සෑහේ.

භාරතීය ජනතා පක්ෂයේ නැගීමට බෙහෙවින් ඉවහල් වුණේ මෝඩිගේ මැදිහත් වීමයි. ගුජරාටයේ අවුරුදු 12 ක ඔහුගේ පාලන කාලය තුළ එම ප‍්‍රාන්තයේ ආර්ථික වර්ධනය, එක දිගටම සමස්ත රටේ සාමාන්‍ය ආර්ථික වර්ධනයට වැඩි අගයක් ගත්තේය. රටේ විරැුකියාව අඩුම ප‍්‍රාන්තයත් එයයි. එසේම එය කර්මාන්ත ප‍්‍රාන්තයක් බවට ඉතා සීග‍්‍රයෙන් පත්වෙමින් තිබේ. ටාටා මෝටර්ස්, මරුටි සුසුකි, පර්ජෝ සිට්‍රොඑන් සහ ෆෝඞ් වැනි කර්මාන්ත ශාලා, පසුගිය වසර තුන තුළ එහි අළුතින් පිහිටුවා ඇත. රට පුරා පැවැත්වෙන මැතිවරණ රැුස්වීම්වලදී, එම ප‍්‍රාන්තයේ වළවල් නැති පාරවල් ගැන සහ අතිරික්ත විදුලිබලයක් ජනනය වීම ඡුන්දායකයෝ මාත්සර්යයෙන් යුතුව කතා කරති.

‘‘මෝඩි අපිට දෙවියෙක් වගේ. ඔහු තරුණයන්ට රක්ෂාවල් දේවි.’’ යැයි බොහෝ ඡුන්දදායකයෝ කියති.

එය, පදන් මොහොමඞ් මහරූෆ්ගේ හිත බෙහෙවින් කනස්සල්ලට පත්කරන කාරණයකි. මෙතරම් ඉන්දියානුවන් මෝඩිට ආකර්ෂණය වන්නේ මන්දැ යි තමන්ට තේරෙන බව ඔහු කියයි. රටේ දළ ජාතික නිෂ්පාදිතය සියයට 5 ට අඩු අගයක පවතින තත්වයක් තුළ, මෝඩි යටතේ සමස්ත ඉන්දියාවේ සිදුවිය හැකි ආර්ථික සංවර්ධනය පිළිබඳ අපේක්ෂා ආකර්ශනීය වන්නේය.

එහෙත්, ඊට වඩා වැදගත් දේවල් සමහරක් ඇති බව මහරූෆ් කියයි. ‘‘මගේ දරුවෝ මගේ ඇස් වගේ. ඒ දරුවන්ට වෙච්ච දේ, මගේ අන්තිම හුස්ම පොද වැටනකල් මට අමතක කරන්න බැහැ.’ කෝලාහලයෙන් මියගිය වෙනත් අයවළුන් සමග තම බිරිඳ සහ දරුවන් මිහිදන් කළ පස් ගොඩැල්ල දෙස බලාගෙන ඔහු කියයි.

*2014 අපේ‍්‍රල් 25 වැනි දා ‘අල් ජසීරා’ වෙබ් අඩවියේ පළවූ Modi, The Messiah?නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page