Colombo Telegraph

රාජපක්ෂ/පීරිස් අධිකරණයේ විශ්වසනීයත්වය: මේ විවාදයට මා සහභාගී වුණේ ඇයි?

මංගල සමරවීර

මංගල සමරවීර

පලමු කොටස කියවන්න

ලංකාවේ 43 වැනි අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකව එම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මීට දෙවසරකට පෙර ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් එල්ල වූ ප‍්‍රතිරෝධය ඔබට මතක තිබිය යුතුය. එම ඉවත් කිරීම හෙලාදකිමින් සහ නැවත ඇයව එම තනතුරේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිමින් විවිධ ආණ්ඩු ද, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ද, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ද, ජාත්‍යන්තර නීතිඥ සංගමය සහ විවිධ රටවල වෙනත් නීතිඥ සංගම් ද ප‍්‍රකාශ නිකුත් කොට තිබුණි. ‘‘පොදුරාජ්‍ය මණ්ඩලීය මූලික සාරධර්ම සහ ප‍්‍රතිපත්ති උල්ලංඝණය වෙතැ යි පෙනෙන්ට ඇති’’ තත්වය ගැන ‘පොදුරාජ්‍ය මණ්ඩලයේ දැඩි සාමූහික කණස්සල්ල’’ පළ කරන බව, අද අප සභාපතිත්වය දරණ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයා එදා එම සිද්ධිය සම්බන්ධයෙන් කියා තිබුණි.

නීත්‍යානුකූල අගවිනිසුරුවරිය නැවත එම තනතුරේ පිහිටුවන ලෙස, සෑම මහද්වීපයකම වෙසෙන විනිසුරුවරු 45 දෙනෙක් අපේ ආණ්ඩුවෙන් එදා ඉල්ලා සිටියහ. අපේ අගවිනිසුරුවරියව ‘‘වැරදි ක‍්‍රියාපරිපාටියක් ඔස්සේ’’ එම තනතුරින් එසේ පහ කිරීම, ‘‘ශ‍්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ බරපතල ඇඟිලි ගැසීමක් සේම, ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයේ මාරක පසුබැසීමක්’’ ද වන බව, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය කියා සිටියාය. බලධාරීන් විසින් බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් කළ බවට නැගෙන චෝදනා විභාග කිරීම අරභයා මොහාන් පීරිස් වැන්නෙකුගේ ස්වාධීනත්වයක් හෝ අපක්ෂපාතීත්වයක් ගැන කිසිවෙකුට විශ්වාස තැබිය හැක්කේ කෙසේදැ යි ඈ තවදුරටත් ප‍්‍රශ්න කොට සිටියාය. ඔහුගේ පත්වීමට එරෙහිව ඉදිරිපත් වූ නඩු විභාග කෙරුණේ හෝ වීසි කෙරුණේ ඔහු විසින්ම පත්කරන ලද විනිසුරු මඬුලූ විසිනි. නඩුවක වගඋත්තරකරුවා විසින්ම එසේ විනිසුරු මඬුලූ පත් කිරීම ස්වභාවික යුක්ති ධර්මයේ මූලික ප‍්‍රතිපත්ති අමුඅමුවේ උල්ලංඝණය කිරීමක් විය. ‘‘තමාගේ නඩුවේ තමාම විනිසුරා විමට කිසිවෙකුට නොහැක.’’

මොහාන් පීරිස් එහි අසුන් ගෙන සිටි දෙවසර තුළ අධිකරණය පිළිබඳ පැවති විශ්වාසය එක දිගටම පිරිහුණි. අතුරුදහන් කළ මාධ්‍යවේදී එක්නැලිගොඩ, සැපෙන් සහ ආරක්ෂාවෙන් යුතුව වෙනත් රටක ජීවත් වන බව, ‘දරුණු වධහිංසා පැමිණවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව’ ඉදිරියේ කියා සිටියේ ද මේ මොහොන් පීරිස්මයි. එම රට කුමක් දැ යි හෙළි කරන ලෙස ඉන් පසු අවස්ථාවක ලංකාවේ අධිකරණයක් මගින් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ ‘දෙයියෝ තමයි දන්නේ’ කියා ය. මොහාන් පීරිස්ගේ පදවිය යටතේ වින්දිත භාවයට පත්වුවන් අතර ‘ත‍්‍රස්තවාදයෙන් ආරක්ෂා වීමේ පනත’ යටතේ අත්අඩංගුවට ගැනුණු ගනේෂන් නිමලරූබන්, සංවර්ධනයක නාමයෙන් කොම්පඤ්ඤ වීදියෙන් පාරට දැමූ නිවැසියෝ සහ වැලිකඩ හිරගෙදරදී ඝාතනය කෙරුණු සිරකරුවෝ කැපී පෙනෙත්.

දේශීය වශයෙන් විවිධ ජාතීන් අතර ඇති කරගත යුතු ජාතික සුවපත් වීමක් සඳහා මෙන්ම, දේශීය සංහිඳියා ක‍්‍රියාවලියක් නොමැති කමින් ඇති විය හැකි විදේශීය මැදිහත් වීමක් වළක්වා ගැනීම සඳහාත් අත්‍යාවශ්‍ය කරන විශ්වසනීය අධිකරණ පද්ධතියකට මොහාන් පීරිස් වැන්නෙකු සත්තකින්ම අවහිරයකි. ඔහු ළඟ කලින් වැඩ කළ කණිෂ්ඨ නීතිඥයන් ඔවුන්ගේ වෘත්තිය නීති සේවා කාර්යාල මේ අගවිනිසුරුවරයාගේ නිල නිවසේ සිට පවත්වාගෙන ගිය බව කුප‍්‍රකට කාරණයකි. එසේම යම් අභියාචනා නඩුවක පාර්ශ්වකරුවෙකු ඔහුගේ මිතුරෙකු හෝ නෑයෙකු වන විට එම නඩුව ඊට නියමිතව තිබූ විනිසුරු මඬුල්ලෙන් තමා වාඩි වන විනිසුරු මඬුල්ලට මාරු කර ගැනීමට ඔහු කටයුතු කළ බව ද කුප‍්‍රකට ය. උදාහරණයක් වශයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පැමිණි, ‘‘ඒෂියා ඇසෙට් ෙෆෙනෑන්ස්’’ සමාගම අභියාචනාකරු වූ නඩුවක් තමා වාඩි වන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත යුතු බවට ඔහු නියෝග කිරීම ගත හැකිය. මේ සමාගමේ සභාපති වුණේ මොහාන් පීරිස්ගේ මස්සිනා ය. එසේම ඔහුගේ බිරිඳ එම සමාගමේ අධ්‍යක්ෂිකාවක් වූ අතර ඔවුහූ එම සමාගමේ ප‍්‍රධාන කොටස් හිමිකරුවෝ ද වූහ.

පසුගිය වර ජනාධිපතිවරණයේදී හිටපු ආණ්ඩුවේ ආධාරකරුවන් පිරිසක් එවක විපක්ෂයේ ආධාරකරුවන් පිරිසකට පහර දීමේ චෝදනා මත මහේස්ත‍්‍රාත්වරුන් වෙත ඉදිරිපත් කළ අවස්ථා දෙකකදී, එම මහේස්ත‍්‍රාත්වරුන් ඇමතූ මොහාන් පීරිස් අදාළ චූදිතයන්ට ඇප දෙන මෙන් නියෝග කළ බව තවත් කුප‍්‍රකට කාරණයකි. ‘වධ බන්ධනයට එරෙහි ප‍්‍රඥප්තියට’ අයත් ආයතයනක් වන ‘වධබන්ධනයට එරෙහි කමිටුවේ’ වාර්තාවල පවා මොහාන් පීරිස් එම කමිටුව ඉදිරියේ බොරු කී බව සඳහන් වෙයි. එකී කමිටුවේ එක් සාමාජිකයෙක් මොහාන් පීරිස් බොරුකාරයෙකු බව කෙලින්ම ප‍්‍රකාශ කළ බවත් එහි වාර්තා වෙයි. එය අපේ අධිකරණයේ අන්ත ¥ෂිත භාවයට පැහැදිළි සාක්ෂියකි.

2013 නොවැම්බර් මාසයේදී තුර්කි ජනරජයේ අගවිනිසුරුවරයා සහ එක්සත් ජාතීන් විසින් කැඳවන ලද ‘ආසියා සහ ශාන්තිකර කලාපයේ අගවිනිසුරුවරුන්ගේ සම්මේලනයකට’ මොහාන් පීරිස් අනාරාධිතව සහභාගී වූ බව ඔබ බොහෝ දෙනෙකු නොදන්නවා ඇති. ඒ වසරේ ජනවාරි මාසයේ සිදුවූ දේවල් නිසා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙකී සම්මේලනයෙන් හිතාමතාම ඉවත් කොට තිබුණි. ශ‍්‍රී ලංකාවේ අගවිනිසුරුවරයා වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයවත්, තුර්කියේ ශ්‍රේෂ්ඨාධිකරණයවත් මොහාන් පිරීස්ව පිළිගත්තේ නැත. එසේ තිබියදීත් ඔහු සිය බිරිඳ සමග තුර්කි අගනුවරට ගියේය. එසේ ගොස් සම්මේලන හෝටලයට තමාව ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් එකී සම්මේලනයට ඔහු සහභාගී වුණේ එම සම්මේලනයේ සහභාගීකරුවෙකු වශයෙන් ඔහුව නොපිළිගෙන තිබූ තත්වයක ය. එපමණක් නොව, ඉස්තාන්බුල් නගරයෙන් පිටවෙද්දී, තමාගේ ගුවන් ගමන් ගාස්තුවත් ගෙවන ලෙස එම සංවිධාකයන්ගෙන් ඔහු ඉල්ලා ඇත. එම සම්මේලනය අවසානයේ සම්මත කර ගත්, ‘අධිකරණ ක‍්‍රියාවලියේ පාරදෘෂ්‍ය භාවය පිළිබඳ ඉස්තාන්බුල් ප‍්‍රකාශනයේ’ ඔහුගේ නමවත්, සහභාගී වු රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ නමවත් සඳහන් නොවෙයි. අධිකරණමය නිලයේ ගෞරවයට හානියක් විය හැකි කල්ක‍්‍රියාවෙන් විනිසුරුවරයෙකු වැළැකිය යුතු බවට, ‘අධිකරණමය චර්යාව පිළිබඳ බැංගලෝර් ප‍්‍රතිපත්ති’ යටතේ ඉල්ලා සිටිනු ලැබේ. එහෙත් මොහාන් පීරිස්ගේ කල්ක‍්‍රියාව අපේ අධිකරණයේ ගෞරවය සහ කීර්තිය තව වසර ගණනාවකට පළුදු කොට ඇත.

රටේ විදේශ ඇමතිවරයා වශයෙන් ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතා මෙන්ම ශ‍්‍රී ලංකාවේ සුපිළිපන් භාවයත් ස්වෛරීත්වයත් ආරක්ෂා කිරීම සහ ප‍්‍රවර්ධනය කිරීම මගේ රාජකාරිය සහ වගකීම වන්නේය. විදේශ ඇමති ධුරය භාර ගැනීමෙදී මට මුහුණදීමට ඇති එක් වැදගත් ප‍්‍රශ්නයක් වන්නේ, ලංකාවේ සිදුවිණැ යි කියන යුද අපරාධ සහ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝණයන් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් දැනට පවත්වාගෙන යන ජාත්‍යන්තර පරීක්ෂණයයි.

ඒ ප‍්‍රශ්න සම්බන්ධයෙන්, දේශීය යාන්ත‍්‍රණයන් හරහා කටයුතු කිරීමට ශ‍්‍රී ලංකාවේ අපටම පුලූවන් කමක් ඇති බවත්, එසේ හෙයින් අපේ පුරවැසියන්ව ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට පැමිණවීමේ අවශ්‍යතාවක් නැති බවත් ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තු ගැන්වීමට මට හැකියාවක් ලැබෙන්නේ, ලෝකයේ පවතින වෙනත් ඕනෑම සුපිරිසුදු අධිකරණයක් තරමට කාර්යක්ෂම වූත්, ස්වාධීන සහ අපක්ෂපාතී වූත් අධිකරණයක් අපට ඇතැ යි, අවංකව සහ අව්‍යාජව ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ ප‍්‍රකාශ කොට සිටීමට මට හැකියාවක් ඇතොත් ය. එවැනි අධිකරණයක් කලකදී අපට තිබුණේය. එහෙත් ඒ, බොහෝ කලකට කලිනි.

අපේ අතින් සිදුව ඇති බොහෝ ප‍්‍රතිගමනයන් හේතු කොටගෙන අප ගැන ලෝකයා තුළ ඇති වී තිබෙන නිෂේධනීය ආකල්ප වෙනස් කිරීමටත්, යෝජිත ඕනෑම ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් තරමටම සාධාරණ වූත්, කාර්යක්ෂම වූත් අපේම වන දේශීය විමර්ශන යාන්ත‍්‍රණයක් ඇති කර ගැනීමේ හැකියාවක් රටක් වශයෙන් අපට ඇති බවත් ලෝකයා ඉදිරියේ ඔප්පු කිරීම සඳහා අපට තව බොහෝ දුරක් යාමට තිබේ. අභිනවයෙන් පත්වු අගවිනිසුරුතුමා යටතේ ද, එසේම අප හඳුන්වා දීමට අපේක්ෂිත නව ප‍්‍රතිසංස්කරණ හරහා ද, අපේ අධිකරණය මේ වන විට වැටී ඇති ප‍්‍රපාතයෙන් ගොඩ ඒමටත්, ලංකාව වැනි බහු-වාර්ගික, බහු-ආගමික සහ බහු-භාෂාමය රටක මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අවශ්‍යතාවන්ට අනුගත සහ සමකාලීන ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුගත අධිකරණයක් සකසා ගැනීමටත් අපට හැකි වෙතැ යි අපි විශ්වාස කරමු. මේ විවාදයට මා සහභාගී වුණේ ඒ හේතුව පෙරදැරිවයි.

*2015 පෙබරවාරි 2 වැනි දා විදේශ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page