25 April, 2024

Blog

ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැත්ද?

ආචාර්ය නිහාල් ජයවික්‍ර​ම

ආචාර්ය නිහාල් ජයවික්‍ර​ම

ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්දය මේ වසරේ නොවැම්බර් 8 වැනි දා සහ දෙසැම්බර් 8 වැනි දා අතර දවසක පැවැත්විය යුතුය. දැනට සිටින ජනාධිපතිවරයා නැවත ඡුන්දය ඉල්ලීමට අදහසක් නැති බව මේ වන විට කියා ඇති නිසා, එළැඹෙන ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල ඡන්ද කොමසාරිස් විසින් ප‍්‍රකාශයට පත්කරන දවසේම අලූතෙන් තේරී පත්වන පුද්ගලයා ජනාධිපති වශයෙන් වැඩ බාර ගනු ඇත. ඡන්දාපේක්ෂකයන් කිහිප දෙනෙකු දැනටමත් කරලියට විත් තිබේ. ඇත්ත වශයෙන්ම, වයස අවුරුදු 35 සම්පූර්ණ, වෙනත් රටක පුරවැසියෙකු නොවන, මීට පෙර දෙවරක් ජනාධිපති ධුරය දරා නැති, පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා නුසුදුස්සෙකු වී නැති ඕනෑම පුරවැසියෙකුට ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් විය හැකිය. එහෙත්, ඔහුගේ/ඇගේ අපේක්ෂකත්වය එක්කෝ පිළිගත් දේශපාලන පක්ෂයකින් නිර්දේශ කළ යුතුය. නැත්නම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටින හෝ සිටිය කෙනෙකු නම්, වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ඡන්ද හිමියෙකු විසින් ඔහුගේ/ඇගේ නම යෝජනා කරනු ලැබිය යුත්තේය.

2020 සිටි ඇති වීමට නියමිත පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය

මේ සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන කිහිප දෙනෙකු දැනටමත් තමන්ගේ ප්‍ර​තිපත්ති සහ වැඩපිළිවෙලවල් ඉදිරිපත් කොට ඇත. සමහරු ඒ ප්‍ර​කාශ නිකුත් කොට ඇත්තේ, විශාල වියදම්කාරී, තරු පහේ හෝටල්වල පැවැත්වුණු සුඛෝපභෝගී රැුස්වීම්වලදී ය. තවත් අය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඒවා ප්‍ර​කාශයට පත්කොට ඇත. මේ ප්‍ර​තිපත්ති සහ වැඩපිළිවෙලවල් තුළ, ආර්ථික සහ සමාජ කරුණු ගැන මෙන්ම, ජාතික ආරක්ෂාව සහ ලංකාවේ පාලනයට අත්‍යාවශ්‍ය තවත් වැදගත් කරුණු ගැන අවධානය යොමු කොට තිබේ. එක් අපේක්ෂකයෙකු තමා ජයග්‍ර​හණය කළොත් ක්‍රියාත්මක කරන අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පිටපතක් ද ඉදිරිපත් කොට ඇත. මේ ප්‍ර​තිපත්ති සහ වැඩපිළිවෙලවල් පිළිබඳ විචාරාත්මක විශ්ලේෂණ සඳහා අපේ පුවත්පත් ද විශාල ඉඩකඩක් නිරන්තරයෙන් වෙන් කරයි.

එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කර ගත් පරිදි, මේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වූ දිනයේ සිට දැනට පවතින ජනාධිපති ආණ්ඩු ක්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් බවට පත්වන බව මේ කිසිවෙකු තේරුම්ගෙන නැත්ද? අලුත් ජනාධිපතිවරයා පත්වන දිනයේ පටන්ම රට පුරා ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂයේ ප්‍ර​තිපත්ති සහ වැඩපිළිවෙලවල් ය.

ඊළඟ ජනාධිපතිවරයාට ඇමතිවරයෙකු වීමට ද නොහැක

ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය මගින් කියා සිටින්නේ, ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර වන්නේ අමාත්‍ය මණ්ඩලයට බව ය. එවිට පාර්ලිමේන්තුවට සාමූහිකව වගකියන්නේ අමාත්‍ය මණ්ඩලයයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 45 වැනි වගන්තිය යටතේ ගත් විට, ඇමතිවරයෙකු වශයෙන් පත්කළ හැක්කේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකු වශයෙන් සිටින කෙනෙකු පමණි. ජනාධිපති සිරිසේනට ආරක්ෂක, මහවැලි සහ පරිසර අමාත්‍යාංශ තමාගේ භාරයේ තබා ගැනීමට දැනට අවසර ලැබුණේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ එන (ඔහුට සහ මේ ධුර කාලයකට පමණක් වලංගු) සංක‍්‍රාන්ති විධිවිධානයක් නිසාම පමණි. ඒ තාවකාලික සංක‍්‍රාන්ති විධිවිධානය ජනාධිපති සිරිසේන වර්තමාන ධුරය දැරීම නතර වන මොහොතේ සිට අහෝසි වන්නේය. ඒ අනුව, ඊළඟට තේරී පත්වන ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක්වත්, කිසිම විෂයයක් හෝ කාර්යයක්වත් තමන්ට පවරා ගැනීමට අවකාශ නැත. අඩු වශයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයවත් ඔහුට තබා ගත නොහැක.

ඊළඟ ජනාධිපතිගේ භූමිකාව

ඊළඟ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය කුමක් වනු ඇත්ද? ඔහු/ඇය රාජ්‍ය නායකත්වය හොබවනු ඇත. විධායකයේ (ආණ්ඩුවේ* නායකත්වය හොබවනු ඇත. සන්නද්ධ හමුදාවන්හි ප‍්‍රධාන අණදෙන නිලධාරියා වනු ඇත. 1972 ව්‍යවස්ථාව යටතේ විලියම් ගොපල්ලව සිටියේ හරියටම එවැනි තත්වයකයි. ඊටත් කලින්, 1946 ව්‍යවස්ථාව යටතේ පවා විධායක බලය තිබුණේ අග‍්‍රාණ්ඩුකාරවරයා අතේ ය. ශ‍්‍රීමත් හෙන්රි මූර්, සෝල්බරි සාමි සහ ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක වැනි එතෙක් සිටි සියලූ දෙනා සෑම සතියකම සෑම අමාත්‍ය මණ්ඩල සැසිවාරයකම සටහන් පත‍්‍රිකාවේ පිටපතක් ලැබීමට නියමිතව සිටියෝය. ඉන් පසු, ‘ක්වීන්ස් හවුස්’ හිදී සෑම බදාදා දිනකම පැවති චාරිත‍්‍රානුකූල දිවා ආහාරයේදී කැබිනට් තීන්දු පිළිබඳව අගමැතිවරයා විසින් ඔහුට දන්වනු ලැබීය. ඒ කාලයේ අග‍්‍රාණ්ඩුකාරවරයෙකු කැබිනට් රැුස්වීමකට සහභාගී වූ එකම අවස්ථාව වශයෙන් සටහන් වන්නේ, 1958 හදිසි නීති තත්වය යටතේ ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක වරක් ඊට සහභාගී වී ඇති අවස්ථාව පමණි. 19 වැනි ව්‍යවස්ථාවට අතපසු වී ඇතැයි සිතෙන එක කාරණයක් වන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි ව්‍යවස්ථාව යටතේ ඊළඟ ජනාධිපතිවරයා තවදුරටත් ‘අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා’ වශයෙන් සිටීමයි. සමහරවිට එහි අදහස වෙනවා ඇත්තේ, පාර්ලිමේන්තුවේ සභාපතිත්වය වර්තමානයේ කතානායකවරයා විසින් දරන්නා සේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දැරීම විය හැකිය. එවිට අමාත්‍ය මණ්ලඩයේ න්‍යාය පත‍්‍ර පිළිබඳ සිය අදහස් දැක්වීමටත්, ඔහු පි‍්‍රය කරන කාරණයක් එහිදී මාතෘකාව කර ගැනීමටත් හැකියාව තිබේ. එහෙත් යම් විෂයයක් සම්බන්ධයෙන් තමාගේ ‘ප‍්‍රතිපත්තිය’ ක‍්‍රියාවේ යෙදවීම ඔහුට කළ හැකි දෙයක් නොවේ. එසේ වුවහොත් එය, එකී විෂය භාර අමාත්‍යවරයාගේ විෂයපථය ජනාධිපතිවරයා විසින් ආක‍්‍රමණය කරනු ලැබීමක් වන්නේය.

ජනාධිපතිවරයා කටයුතු කරන්නේ උපදෙස් මත පමණි

ජනාධිපති ධුරය සම්බන්ධයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ වන විටමත් ඇති කොට තිබෙන වෙනස්කම්:

1. ජනාධිපතිවරයා සතුව තිබූ නෛතික මුක්තිය ඉවත් කිරීම

2. ඉහළ අධිකරණවල විනිසුරුවරුන්, නීතිපතිවරයා සහ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශයන්ට යටත්ව පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම

3. ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශ යටතේ පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම.

4. ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය, පාර්ලිමේන්තුවේ මුළු වාර කාලයේ අවසාන මාස හයේදී මිස වෙනත් අවස්ථාවක නම්, පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත පමණක් කළ හැකි කාර්යයක් බවට පත්කිරීම.

5. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම.

6. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම.

7. අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීම.

රාජ්‍ය නායකයෙකු සතු සම්ප‍්‍රදායික බලතල

පැහැදිලිවම, ඉදිරි ජනාධිපතිවරයාට ද රාජ්‍ය නායකයෙකු සතු සම්ප‍්‍රදායික අයිතීන් හිමි වනු ඇත. උදාහරණයක් වශයෙන් ඔහුට යුද්ධ ප‍්‍රකාශයට පත්කිරීමට පුළුවන. එසේ වෙතත්, ඔහු එසේ ප‍්‍රකාශයට පත්කෙරෙන යුද්ධය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන මිනිස් බලය සහ අවි ආයුධ ආදිය රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා විසින් සපයන්නේ නම් මිස ඔහුගේ යුද්ධ ප‍්‍රකාශය සක‍්‍රීය නොවන්නේය. එසේම ඔහුට වෙනත් රටක් වෙනුවෙන් අපේ තානාපතිවරයෙකු පත්කළ හැකිය. එහෙත්, එසේ පත්කරනු ලබන තැනැත්තා අරභයා එකී විදේශ රාජ්‍යයේ ‘අනුමැතිය’ අපේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා විසින් ලබා නොගන්නේ නම්, එසේ අලූතෙන් පත්කළ තානාපතිවරයාට එකී රටට පය ගැසීමට නොලැබෙන්නේය. එසේම ජනාධිපතිවරයාට හදිසි අවස්ථා තත්වයක් ප‍්‍රකාශයට පත්කිරීමත් කළ හැකිය. එහෙත්, එය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මානව සහ වෙනත් සම්පත් අමාත්‍ය මණ්ඩලය මගින් සම්පාදනය කර නොදෙන්නේ නම් සහ එම හදිසි අවස්ථා තත්වය පාර්ලිමේන්තුව මගින් අනුමත නොකරන්නේ නම්, ඔහුගේ ප‍්‍රකාශය සක‍්‍රීය නොවන්නේය. එසේම, පාර්ලිමේන්තුවේ සෑම සභා වාරයක් ආරම්භයේදීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඔහුට කියැවිය හැක්කේය. එහෙත් එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය, අගමැතිවරයා විසින් සම්පාදනය කොට අමාත්‍ය මණ්ඩලය මගින් ඉදිරිපත් කරනු ලබන්නක් මිස ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් නොවන්නේය.

නිගමනය

ඉතිං, සමහරු ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ, ඒ ජනාධිපති තනතුරට හිමි වන්නේ එවැනි චාරිත‍්‍රානුකූල කාර්ය භාරයක් පමණක් බව හොඳින්ම දැනගෙන නම්, එයින් අදහස් වන්නේ, ඔවුන් ස්වයං-මාන්නයක් හෝ ස්වයං-ප‍්‍රසාදයක් පිළිබඳ යම් ආශාවක වෙලී සිටින බවක් මිස, මහා ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් හෝ සුභසාධන සැලසුමක් ක‍්‍රියාවට නැංවීමේ ආශාවකින් පෙළෙන නිසා නොවන බවට අපට උපකල්පනය කිරීමට සිදු වෙයි. ජනාධිපති තරගය සඳහා පවතින ගාමක බලය එසේ වන්නේ නම්, ප‍්‍රකෝටි ගණනක ධනයක් එවැනි පුද්ගලයෙකු තෝරා ගැනීම සඳහා කුමට නම් වැය කරමු ද? රට පුරා ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් දහස් ගණනකගේ ජීවිත කුමට නම් පරදුවට තබමු ද?

ඉතා බුද්ධිමත්ව 20 වැනි සංශෝධනය මගින් ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කොට ඇති ආකාරයට සහ අපේ අසල්වැසි ඉන්දියාව ඇතුළු වෙනත් බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් දැනටමත් කරන ආකාරයට, දැනුම සහ පරිචය ඇති, එමෙන්ම සුපිළිපන් භාවයෙන් යුත් පුද්ගලයෙකු ජනරජයේ එකී නිර්-දේශපාලනික උත්තරීතර තනතුර සඳහා තෝරා ගැනීම, පාර්ලිමේන්තුව හරහා හෝ ප‍්‍රජාතන්ත‍්‍රීයව ව්‍යවස්ථාපිත වෙනත් ‘මැතිවරණ කොලීජියක්’ හරහා හෝ නොකළ යුත්තේ ඇයි?

2019 ජුනි 9 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Presidential Hopefuls – Have They Not Read Article 43? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා 

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    0

    සිරස කිලි මහරාජා මෛත්‍රීව ජනාධිපති කොට, මෛත්‍රීව නටවන්න ගොස් මෛත්‍රීත් ආණ්ඩුවත් යුඇන්පීයත් දෙකම විනාශ කර ඇත. මහරාජා දැන් මේ සැරසෙන්නේ සජිත් වැනි යුඇන්පී යේ රූකඩයක් 2020 ජනාධිපති කොට තම මාධ්‍ය ඒකකය හරහා රටත් යුඇන්පී යත් පාලනය කරන්නටය.“මෛත්‍රී රැවටුනා වගේ යුඇන්පී යත් රවටා රටේ පාලනය සියතට ගැනීමේ ඒකායන අභිලාෂයෙන් දෙකොන ගිණිගත් වඳුරෙකු මෙන් ඉදිරියටත් කිලී මහාරාජා උප්පරවැට්ටි යොදනු ඇත. අද වුවද මෛත්රිපාලගේ මාධ්‍ය නඩයේ කටයුතු කරන්නේ කිලීගේ නරින්ය.උපදේශකයින් වී සිටින්නේද කිලි මහාරාජා ගේ නඩයමයි හැබැයි කිලී මහරාජාගේ සිරස විසින් නැටවූ දේශපාලඥයන් කවදාවත් ගොඩ ඇවිත් නැත. ගාමිණි ෆොන්සේකා , සිරිසේන කුරේ, මිලින්ද මොරගොඩ, ලක්ෂ්මන් යාපා යන මහරාජා නටවපු දේශපාලඥයන්ට අද යන එන මං නැත. ඒක මහරාජාගේ කරුමයද..? ඔවුන්ගේ කරුමයද..? කියන්න දන්නේ නැත. සිරස කිලි මහරාජාගෙන් ගැලවුන චන්ද්‍රිකා සහ මහින්ද වාර දෙකක් ජනාධිපතිකම් කළහ. මහරාජාගෙන් ගැලවුන රනිල් යළි අගමැති විය. මහරාජාගෙන් ගැලවෙන්න උත්සහ නොකළ එකම නායකයා මෛත්‍රීය. හැමෝම බලාගෙන ඉන්නේ සජිත්ට මොකක් වෙයිද කියාය.

  • 0
    1

    මේ ලිපිය ඉතාම පහල මට්ටමෙන් ජනතාව නොමඟ යවන්න ලියපු ලිපියක්.
    පලවෙනි පරිච්චේදයේ වැල්වටාරම් වැලකින් කියන්න හදන්නේ මොකක්ද?
    සරලව කිව්වොත් වයස 35ට වැඩි ද්විත්ව පුරවැසියෙකු නොවන ඕනෑම ශ්‍රී ලංකා පුරවැසියෙකුට පක්ෂයක් නියෝජනය කරමින් හෝ නැත්නම් ස්වාධීනව නම් වෙනත් චන්ද හිමියෙකු ලවා තමන්ගේ නම යෝජනා කරගෙන ජනාධිපතිවරෙනට ඉදිරපත් වෙන්න පුළුවන්.
    ඊළඟ ජනාධිපතිවරයා ගැන කියන කතාවත් වැරදියි.
    19 .වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මුලින් දීපු ලියවිල්ලේ තියෙන විදිහට ජනාධිපතිවරගේ විධායක බලතල අඩු කරන්න හෝ වෙන කෙනෙකුට දෙන්න 2/3 න සම්මත වෙලා ජනමත විචාරනයකිනුත් අනුමත වෙන්න ඕනේ කියල ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා. හැබැයි ඒ වෙනස් කරපු ලියවිල්ල කමිටු අවස්ථාවේදීත් වෙනස් කරපු ලියවිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කලාද? 2/3 ගත්ත පලියට තමන්ට ඕනේ ඕනේ හැටියේ ජනාධිපති බලතල වෙනස් කරන්න බැහැ.
    දැන් තියෙන්නේ ජනාධිපතිවරයා තමන්ගේ කැමැත්තෙන් බලතල බෙදා හදා ගෙන පාවිච්චි කිරීමක් විතරයි .
    ඊළඟ ජනාධිපතිවරණයෙන් පත් වෙන්නේ විධායක බලතල තිබුණු කලින් වර්ගයේ ජනාධිපතිවරයෙක් .
    ආචාර්ය නිහාල් ජයවික්‍රමට අභියෝග කරනවා පෙන්නන්න කියල 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතන කොයි වගනතියේද තියෙන්නේ පාර්ලිමේන්තුවේ 2/3ක චන්දෙන් විතරක් විධායක බලතල අඩු කරන්න හෝ කොටස් වශයෙන් කාට කාට හරි පවරන්න පුළුවන් කියල.
    1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා අසීමිත බලතල තියෙන කෙනෙක්. එහෙව් ජනාධිපතිවරයෙක් කාඩ්බෝඩ් විලියම් ගොපල්ලව කෙනෙක් කරන්න පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච 19 වෙනි සංශෝධනයේ වගන්ති දෙක තුනකින් විතරක් බැරිබව ගමේ පුංචි singho කෙනෙක්ගෙන් ඇහුවත් කියයි.

  • 0
    2

    අන්තිම පරිච්චේදේට උත්තරයක් ලියන එක ජනතාවගේ බුද්ධියට කරන නිගාවක් කියල හිතල නිකම් හිටිය .

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.