Colombo Telegraph

දෙමුහුන් අධිකරණය

ආචාර්ය නිහාල් ජයවික්‍රම

ආචාර්ය නිහාල් ජයවික්‍රම

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්දේශ කරන ලද ‘දෙමුහුන් අධිකරණය’, පශ්චාත් ගැටුම් තත්ත්වයක් තුළ තාවකාලික සාධාරණත්වය වෙනුවෙන් මානව හිමිකම් මත පදනම් වූ සුවිශේෂ ප්‍රවේශයකි.

ගැටුම් සමයේ සිදු වූ ලිංගික අපරාධ හා ළමයින්ට එරෙහි අපරාධද ඇතුළත්ව යුද අපරාධ හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වැනි බරපතළ අපරාධවලට මහා පරිමාණයෙන් වගකිව යුත්තන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ගැටුම්වලින් පසු නැඟීසිටි රටවල් බොහෝ වි‍ට තම දඬුවම් ක්‍රමවේදයට මේ අපරාධ ඇතුළත් කිරීමට අසමත් වී ඇත.

ඔවුන්ට ඇත්තේ අපකීර්තිමත් අධිකරණ ක්‍රමයක් සහ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට පිළිතුරු දීමට ප්‍රමාණවත් නොවූ, දුර්වල හෝ බෙලහීනත්වයට පත් නීති ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණයක උරුමය පමණි.

මේ ශත වර්ෂයේ ආරම්භයත් සමඟ දෙමුහුන් අධිකරණ විශේෂයෙන් කොසෝවෝ, ටිමෝර් ලෙටේ, බොස්නියා හර්සෙගොවිනා, සියෙරා ලියෝන්, කාම්බෝජියා, බ්රූනායි සහ ලෙබනනය වැනි බොහෝ රටවල ක්‍රියාත්මක විය. එයින් ශ්‍රී ලංකාව ඒ රටවල් සමඟ සැසඳීම යුතු නොවේ. එහෙත් බොහෝ විශේෂ කරුණු සැලකූ වි‍ට, පසුගිය දශක කීපයේ ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමය ‍එවැනි බරපතළ අපරාධවලට එරෙහි වීමට ඇති අවශ්‍යතාවේත් හැකියාවේත් අඩුව පෙන්වීය.

යුද අපරාධ

යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ මෙන්ම බලහත්කාරයෙන් අතුරුදන්කිරීම්ද ශ්‍රී ලංකාවේ ‘අපරාධ’ ගණයට ඇතුළත් කර නැත. සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය (ජයවර්ධන රජය විසින් එකඟ වූ) හෝ එහි විකල්ප ගිවිසුම් මෙන්ම ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතීන් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය (කුමාරතුංග රජය වලංගු ලෙස පිළිගත්) අපේ නීති පද්ධතියට එක් කර නැත. අපරාධවලට ගොදුරු වූවන් මෙන්ම ඒවායේ සාක්ෂිකරුවන්ද ආරක්ෂා කිරීමේ ඵලදායී යන්ත්‍රණයක් මෙතෙක් ස්ථාපනය වී නැත. 2006දී අගවිනිසුරු සරත් සිල්වා අනතර්ජාතික මානව හිමිකම් ප්‍රඥප්තිය ලංකාවේ ක්‍රියාත්මක කිරීම අත්හිටුවූයේ, ඒ එකඟතාවන් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස ගනිමිනි.

‘අධිකරණයේ විකේන්ද්‍රීයකරණයට’ පිළිතුරු දීමට ඇති කළ, ‘අධිකරණයේ හැසිරීම පිළිබඳ බැංගලෝර් නියමයන්ට’ නව නෛතික අගයක් ඉල්ලමින්, ඔහුගේ ඒ තීන්දුව ලෝකප්‍රකට නීති විශාරදයකු අර්ථකථනය කළේ “අධිකරණයේ නැහැදිච්චකමට උදාහරණයක්” ලෙසයි. තවත් අයකු එය හැඳින්වූයේ “ඇලිස් දුටු විස්මලන්තයේ තර්කනය” වශයෙනි. එනිසා, අපි එවැනි අපරාධවල වගකීම තහවුරු කිරීමේ නෛතික රාමුවේ ඌනතාවකින් පෙළෙන්නෙමු. මේ අඩුපාඩුව සුවපත් කිරීමේ ක්‍රියාවලියට අන්තර්ජාතික හෝ වෙන යම් හෝ ආකාරයක විශේෂඥයන්ගෙන් ලැබෙන ප්‍රතිලාභය වැදගත් වනු ඇත.

වරදින් නිදහස් කිරීමේ සංස්කෘතිය

බලහත්කාරයෙන් අතුරුදන්කිරීම් වැඩියෙන්ම වාර්තා වන රටක් ලෙස ශ්‍රී ලංකාව ගැනෙන බවද, දැඩි ප්‍රචාරයක් ලද එක්නැලිගොඩ අතුරුදන් වී‍මෙන් වසර ගණනාවක් ගත වුවත් නිසි පියවර ගෙන නැති බවද විශ්වාසයයි. 2005දී 300කට වැඩි දේශපාලන ඝාතන හා ඊළඟ වසර දෙක තුළ 700ට අධික නීතිවිරෝධී ක්‍රියා වාර්තා වි ඇතත් ඒ පිළිබඳ කිසිදු විමර්ශනයක් සිදු කර නැත. ලොවක් හඳුනන ලක්ෂ්මන් කදීර්ගාමර් 2005 වසරේදී ඝාතනයට හේතු තවමත් අබිරහසකි.

ඒ වසරේම මඩකළපුවේ නත්තල් දේව මෙහෙයේදී ජෝසෆ් පරරාජසිංහම්, 2006 ජනවාරියේ ත්‍රිකුණාමලයේදී දෙමළ විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනා, අගෝස්තුවේ මුතුර්හිදී ඒසීඑෆ් සේවකයන් දාහත් දෙනා, නොවැම්බරයේ කොළඹදී නඩරාජා රවිරාජ් හා 2009 ජනවාරියේ අධිආරක්ෂිත කලාපයේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සියල්ල අදටත් විමර්ශනයකින් තොරව පවතී‍‍. රාජපක්ෂ රජය පැහැදිලිව පෙන්වා ඇත්තේ මේ බරපතළ අපරාධ සඳහා වගකිව යුත්තන් අල්ලාගැනීම‍ට ඇති කැමැත්තේ හා අපේක්ෂාවේ මඳකමයි.

මේ ‘දඬුවම් නොදී නිදහස් කිරීමේ’ සංස්කෘතිය ආපසු හැරවීමේ අවශ්‍යතාව නව රජයට තිබුණත් දහස් ගණනක් වූ නීතිවිරෝධී ක්‍රියා සහ අතුරුදන් කිරීම් සාර්ථකව විමර්ශනය කිරීමට අවශ්‍ය ප්‍රාගුණ්‍යය ඔවුන් සතුව මේ මොහොතේ තිබේද?

ළමා සොල්දාදුවෝ

කරුණා අම්මාන් නායකත්වය දුන් එල්ටීටීඊයේ කණ්ඩායමට ළමයින් බඳවාගත් බවට ඇත්තේ අපකීර්තිමත් තොරතුරකි. මේ අනුව වයස අවුරුදු 15ට අඩු ළමයින් සතුරන්ට එරෙහිව ක‍ටයුතු කිරීම‍ට යොදාගෙන ඇත. මෙය යුද අපරාධයක් මෙන්ම ශ්‍රී ලංකාව එකඟ වූ ළමා අයිතීන් පිළීබඳ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්ද වේ.

එක්සත් ජාතීන් චෝදනා කරන්නේ කරුණා අම්මාන් රජයට එක් වූ පසුවත් ළමා සොල්දාදුවන් බඳවාගැනීම සිදු කෙරුණු බව රජයේ හමුදා දැන සිටි බවට විශ්වාස කළ හැකි සාධක ඇති බවයි. රාජපක්ෂ රජය කරුණා අම්මාන් සහ ඔහුගේ දෙවැනියා වූ පිල්ලේයාන් ඇමැති තනතුරුවලට උසස් කළ අතර, වත්මන් රජයද මෙසේ 2006 සි‍ට ළමයින් බඳවාගැනීම පිළිබඳ හා ඔවුන් විරුද්ධවාදීන්ට එරෙහිව යොදාගැනීමේ අපරාධය පිළිබඳ නොසලකා හැර ඇත.

2011 සි‍ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිලී තිබුණු නීතිපති දෙපාර්තමේන්තුව එවක රජ‍යේ ඉහළ තනතුරු දැරූවන්ගේ අනුදැනුම ඇතිව කෙරුණු මේ අපරාධ දෙස ස්වාධීනව හා අපක්ෂපාතීව බැලීමට හැකියාවක් හෝ නැඹුරුතාවක් දැක්වූවේ නැත.

ඒ වෙනුවට එහි ජ්‍යේෂ්ඨ නිලධාරීන් වසරක් පාසා ජිනීවා සංචාරයේ යෙදෙමින්, අපරාධයක් සිදු වූ බව අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ ප්‍රතික්ෂේප කරන්නට විය. නීතිපතිවරයා වරක් අතුරුදන් වූ මාධ්‍යවේදියා පිළිබඳ කළ ප්‍රකාශයක් සාවද්‍ය බව පසුව ඔප්පු විය. එසේ ‍ෙවද්දී දශක ගණනාවක් තිස්සේ ඔවුන් ප්‍රතික්ෂේප කළ, මානව හිමිකම් කවුන්සිලය නඟන චෝදනාවලට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීමේ වගකීම මේ නිලධාරියාටම භාර දීම සුදුසු ක්‍රියාවක්ද?

ක්වාසි අධිකරණය ඔස්සේද විශ්වසනීය විමර්ශනයක් කිරීමට ශ්‍රී ලංකාවට ඇති නොහැකියාව, විශ්‍රාමික අධිකරණ නිලධාරීන් විසින් ප්‍රධානත්වය දැරූ විමර්ශන කොමිසමක ක්‍රියා පිළිවෙතින් පෙනිණි. තිලකරත්න කොමිසන් වාර්තාව ප්‍රකාශයට පත් වී නැත. ආරම්භයේදීම විශ්වාසය කඩ කරගත් උඩගම කොමිසන් වාර්තාවද එසේමය. මේ අතර බලහත්කාරයෙන් කළ අතරුදන්කිරීම්වලට අදාළ පරණගම කොමිසම දිනෙන් දින කල් යන්නේ එහි හදිසි වැදගත්කම මතු කරමිනි. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් නිරීක්ෂණයට ඇති මානව හිමිකම් කොමිසමේ කාර්යසාධනය අරමුණු ඉටු කිරීමේදී හා සමබරතාවෙන් අන්ත ලෙසම පහත් තත්ත්වයකට වැටී ඇති බැවින් එක්සත් ජාතීන් එහි මට්ටම පහත හෙළා ඇත.

ක්වාසි අධිකරණ පද්ධතියේ බිඳවැටීම

“අපේ අධිකරණය දැන් ස්වාධීනයි” යනුවෙන් වත්මන් රජයේ ‍බොහෝ ඇමැතිවරුන් පැවසුවේ නව අගවිනිසුරු පත් කිරීමෙන් පසුවය. මෙයින් සරලව අවධාරණය කෙරුණේ විශේෂයෙන් පසුගිය දශකයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නෛතික සංස්කෘතිය නොවේ. විධායක ජනාධිපති ක්‍රමයට හාත්පසින් වෙනස් වූවක් බවයි. යම් මොහොතක මූලික අයිතිවාසිකම් පිළිබඳ හඬ නැඟුණොත්, ජනාධිපති රාජපක්ෂගේ සමකාලීන නීති විද්‍යාලයීය පත්වීමවලින් තැනුණු උසාවිය, බොහෝ විට කරන්නේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අවධාරණය කිරීමයි.

පසුගිය ර‍ජ‍යේ දේශපාලන විරුද්ධවාදීන්, සුළු ජනවාර්ගික සාමාජිකයන් මෙන්ම සිවිල් සමාජයද සහනයක් ලැබුවේ නම් ඒ අහම්බෙනි. වෙසෙසින් පුද්ගල අයිතීන් කෙරෙහි බලපාන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල පෙන්වූයේ අනෙකුත් සමකාලීන නෛතික වර්ධනයන්ට වඩා පුදුම සහගත මට්ටමේ නොදැනුම්වත් බව හෝ නුහුරු බවකි. කෙන්යාවේ සාර්ථකව ක්‍රියාත්මක කළා මෙන් ‘සෝදිසි’ ක්‍රමවේදයකට යෑමට අපොහොසත් වුවහොත් සිදු වන්නේ යුද අපරාධවලට හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට පිළිතුරු සෙවීමේදී අපේ අධිකරණයට ඇති හැකියාවේ මඳකම හෝ අවංකතවයේ අඩුව පිළිබඳ අන්තර්ජාතික ප්‍රජාවේ මතය තවත් තහවුරු වීමයි.

ව්‍යවස්ථාමය බාධාවක් නැත

මෙරට පුරවැසිභාවය නැති අයට ඉහළ උසාවියේ අපරාධ නඩු විභාග සඳහා පත් කිරීමට කිරීමට ව්‍යවස්ථාමය බාධාවක් නැත. එසේම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැකි පහළ උසාවි ගණයේ හො වෙනත් ආකාරයක ආයතනයක් ස්ථාපනය කිරීමට පාර්ලිමේන්තුව‍ට බාධාවක් නැත. මේ වන විටත් දූෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන සඳහා ලෝක බැංකුවෙන් සොරාගන්නා ලද වත්කම් පූරණය කිරීමේ ආරම්භකය හා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලය දුන් සහයෝගය අපමණය.

දෙමුහුන් අධිකරණය අලුත් දෙයක් ‍නොවේ

අවසාන වශයෙන් මහකොමසාරිස්වරයාගේ යෝජනාවලියෙන් හිත් රිදුණු සංවේදී ජාතිවාදීන්ට මතක් කළ යුත්තේ පොකුණේ හැදෙන මාළුවා මුහුද දකින තුරුම සිතන්නේ තමා මහ සයුරේද රජා කියාය. එසේම මේ දෙමුහුන් අධිකරණය ශ්‍රී ලංකාවට අමුතු සංකල්පයක්ද නොවේ.

නිදහසින් වසර අටකට පසු මේ රටේ තිබුණේ දෙමුහුන් ශ්‍රේෂ්ඨාධිකරණයකි. මෙරට පුරවැසියන් නොවන තිදෙනෙක් එයට මහත් සේ සේවය කළහ. ශ්‍රීමත් ජෝන් හොවාර්ඩ් 1948-49 කාලයේ අගවිනිසුරු විය. විනිසුරු රැල්ෆ් වින්ඩ්හැම් 1951 තෙක් සේවය කළේය. ශ්‍රීමත් ඇලන් රෝස් 1951 සිට 1955 දෙසැම්බර් 31ඔහුගේ අකල් විශ්‍රාම යෑම දක්වා සේවයේ නිරත විය. 1971 දක්වා අපගේ අවසන් අභියාචනාධිකරණය – පෙරෙවි (ප්‍රිවි) කවුන්සිලයේ අධිකරණ කමිටුව – වූයේ දෙමුහුන් අධිකරණයක් වන අතර, විනිසුරු එල්.එම්.ඩී. ද සිල්වා වරක් එහි සාමාජිකයෙක් විය.

අපට දෙමුහුන් විමර්ශන කොමිසන් තිබී ඇත. වරක් බණ්ඩාරනායක ඝාතනයේ දේශපාලන අරමුණු විමර්ශනයට ගානා හා නයිජීරියා රටවලින් පැමිණි විනිසුරුවන්ගෙන් සමන්විත කොමිසම විනිසුරු ටී.එස්. ප්‍රනාන්දුගේ සභාපතීත්වයෙන් පැවතිණි. එසේම ඝානා, නවසීලන්තය හා නයිජීරියාවෙන් පැමිණි විනිසුරුවන්ගෙන් සමන්විත කොමිසමක් විසින් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනයේ හේතු විමසනු ලැබිණි.

ශ්‍රී ලාංකික විනිසුරුවරුද දෙමුහුන් අධිකරණවලට සහභාගී වි ඇති අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ඉහළ උසාවිවල එසේ සේවය සපයමින්ද සිටිති. විශේෂයෙන් සීෂෙල්ස්, උගන්ඩා, සැම්බියා, කාම්බෝජියා සහ ෆීජී යන රටවලටය. ආචාර්ය ජෝසෆ් කුරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දෙමුහුන් කමිටුවට සේවය කළ අතර, විනිසුරු වීරමන්ත්‍රී එහි උපරිම දෙමුහුන් අධිකරණය වන යුක්තිය සඳහා වූ අන්තර්ජාතික අධිකරණයේ සාමාජිකයෙකි.

*2015 සැප්තැම්බර් 26 වැනි දා‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ ‘The Hybrid Court‘ ලිපියේ සිංහල පරිවර්තනය – අරුණි මුතුමලි -Lake House 

Back to Home page