Colombo Telegraph

සහගහන අපරාධ රණවිරු ලේබලයෙන් වැසැංගිය හැකිද?

නිමල් ලෙව්කේ

නිමල් ලෙව්කේ

එක්නැලිගොඩ පැහැරගෙන යාම සහ රවිරාජ් ඝාතනය වැනි සිදුවීම් සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් (රණ විරුවන්) පිරිසක් අත්අඩංගුවට ගැනීම ගැන විශාල කෑකෝගැසීම් ඇතිව තිබේ. මේ හමුදා නිලධාරීන් එවැනි සිදුවීම්වලට සම්බන්ධ වූයේ මන්ද යන්න කෙනෙකුගේ හිතේ එක විට නැගෙන ප‍්‍රශ්නයකි.

ප‍්‍රභූ ආරක්ෂක සේවාවක කලක් සිටි ප‍්‍රධානියෙකු වශයෙන් මා දන්නා එක දෙයක් තිබේ. එනම්, හුදෙක් පෞද්ගලික කරුණකදී හැරුණු කොට, ඉහළින් ලැබෙන සහයෝගයකින් තොරව සංවිධානාත්මක අපරාධයක යෙදීමේ හැකියාවක් කණිෂ්ඨ නිලධාරියෙකුට නොමැති බවයි. මේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අපරාධ දෙස බලන විට, ඒවා මනාව සංවිධානය කරන ලද සහ එක පුද්ගලයෙකුට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලද බව පෙනී යයි.

මේ අපරාධ පිළිබඳ කෙරෙන ඕනෑම නිරීක්ෂණයකදී, එවැනි අපරාධ කිරීමේ හේතුව සහ අභිප‍්‍රාය කෙනෙකු මුලින්ම වටහාගත යුතුව තිබේ.

මේ සා දරුණු අපරාධ සිදු කිරීම සඳහා, ඉතා පරීක්ෂාවෙන් සකස් කරන ලද සැලසුමක් අවශ්‍ය කෙරේ. කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාව සහ එඩිතර භාවයක්ද ඊට අවශ්‍ය කෙරේ. මේ විදිහේ තිරිසන් අපරාධයක් මහ දවල් කිරීමට අවශ්‍ය කරන ධෛර්යයත්, එසේ කිරීමේදී හෝ ඉන් අනතුරුව නීතියට හසු නොවී ආපසු තමන්ගේ බැරැුක්ක වෙත හෝ වෙනත් යොදා ගත් ආරක්ෂිත ස්ථානයක් වෙත නිරපද්‍රිතව පැමිණිය හැකි බවට විශ්වාසයත් ඔවුන්ට ලැබුණේ කෙසේද? එම පුද්ගලයන්ට එම විශ්වාසයේ සහතිකය දුන් පුද්ගලයා කවුද?

මෙහිදී වඩාත් වැදගත් වන කාරණයක් වන්නේ, මේ අපරාධය කළ පුද්ගලයන් තුළ වින්දිතයාට එරෙහි නෝක්කාඩුවක්, කෝන්තරයක් හෝ හතුරුකමක් වීද යන්න සොයා බැලීමයි. එය, අදාළ පරීක්ෂකයන් විසින් හඳුනාගත යුතු ඉතා වැදගත් අංගයක් වනුයේ, ඒ මගින් මේ අපරාධය පසුපස සිටි සැබෑ අපරාධකරුවන් හඳුනා ගැනීමට හෝඩුවාවක් ලබා ගැනීමට හැකි වීම නිසා ය. තමන්ගේ පුද්ගල න්‍යාය පත‍්‍රයන් හරහා මේ පුද්ගලයන්ව එකී අපරාධ සඳහා යොදා ගත් කෙනෙකු වෙත් නම්, එවැන්නන් තමන් ගැනම ලැජ්ජා විය යුතුය. තිරිසන් ත‍්‍රස්තවාදි නායකයන්ට අවසානයේදී පල දුන්නා සේ මෙවැන්නන් වෙතද නොවලහා ඊට නිසි දඬුවම් පැමිණෙනු ඇත.

සමහර අවස්ථාවක, අපරාධය පසුපස සිටි ප‍්‍රධාන පුද්ගලයාව අදාළ අපරාධයට කෙලින්ම සම්බන්ධ කිරීමට හැකි වන ආකාරයේ සෘජු සාක්ෂි නොතිබිය හැකිය. එහෙත් පරිවේෂණීය සාක්ෂි හරහා එවැන්නන්ව නීතිය ඉදිරියේ වැරදිකරුවන් කළ අවස්ථා අතීතයේ ඕනෑ තරම් තිබේ. උදාහරණයක් වශයෙන්, මැතිව් පීරිස් නඩුව සහ රෝයල් පාක් ඝාතන සිදුවීම දැක්විය හැකිය.

මේ කියන රණවිරුවන්ව අත්අඩංගුවට ගැනීම ගැන අද කෑකොස්සන් ගසන ඇතැම් දේශපාලඥයෝ සිටිති. රටේ පවතින නීතියට උඩින් ක‍්‍රියා කිරීමට අයිතියක් රණවිරු ලේබලයට නොලැබෙන බව මේ අය තේරුම් ගත යුතුව ඇත. යුද පෙරමුණේ සිටි අයෙකු වශයෙන්, අනිත් සියල්ලට වඩා අප අගය කෙළේ මිනිස් ජීවිතය බව මට ඉඳුරා කිව හැක.

අපට දෙන ලද පුහුණුව තුළ, විනය විශේෂයෙන් අවධාරණය කෙරුණු කාරණයකි. ඒ, අන් සියල්ලටමත් වඩා, මිනිස් ජීවිතය ආරක්ෂා කිරීම සඳහා ය. රටේ වෙසෙන සියලූ ජනතාව ආරක්ෂා කිරීම අපේ ඒකායන අභිලාෂය වූ අතර, ඒ වෙනුවෙන් අපේ ජීවිත වුව පරදුවට තබමින් කටයුතු කිරීමට අපි කැප වී සිටියෙමු.

එසේ තිබියදී, දැනට අත්අඩංගුවේ පසු වන මෙම නිලධාරීන් තමන් සම්බන්ධ වූ ඒ අපරාද සම්බන්ධයෙන් වන තම චේතනාව ගැන පැහැදිළි කිරීමට අසමත් වන්නේ කෙසේද? මේ අපරාධ කිරීමට ඔවුන්ව මෙහෙයැවූ එවැනි අභිපේ‍්‍රරණයක් හඳුනා ගැනීමට පරීක්ෂකවරුන්ට මෙතෙක් හැකි වී තිබේද? එසේ නොවෙයි නම්, ඔවුන්ට ඉහළින් සිටි යමෙකු ඒ බිහිසුණු අපරාධ කිරීම සඳහා ඔවුන්ට නියෝග දුන්නේද? අද ඔවුන් තමන්ගේ කණිෂ්ඨ නිලධාරීන්ව බිල්ලට දී, ඔවුන්ගේ වෘත්තීය අනාගතය, ඔවුන්ගේ පවුල් සහ ඔවුන්ගේ ජීවිත අගාධයට හෙලමින් රණවිරු ලේබලය තුළ සැඟවී කෑකෝ ගසන්නෝද? ඔවුන් මෙසේ ගොනාට ඇන්දවීමට බලන්නේ කවුරුන්වද?

මේ අපරාධ කිරීමට යමෙකු නියෝග දුන්නේ නම්, ඉදිරියට පැමිණ ඒවායේ ප‍්‍රතිවිපාක අද විඳිය යුත්තේ ඔවුන් මිස ඔවුන් යටතේ සේවය කළ කණිෂ්ඨ නිලධාරීන් නොවේ. ඇතැම් දේශපාලනික කණ්ඩායම් අවුස්සා උද්ඝෝෂණ කරමින්, රණවිරු ලේබලයක් ඉදිරිපිටින් දමාගෙන සැබෑ අපරාධකරුවන් වසං කිරීමට උත්සාහ කිරීමෙන් පලක් නැත. මේ ඊනියා විරෝධතාවන් සැලසුම් කෙරෙන්නේ සැබෑ අපරාධකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වන යටි අරමුණකින් මිස තමන් ආරක්ෂා කිරීම සඳහා නොවන බව අද අත්අඩංගුවේ පසු වන නිලධාරීන් තේරුම් ගත යුතුය.

විරෝධතාකරුවන්ගේ හැසිරීම අප තේරුම්ගත යුත්තේ, සත්‍යය වැසැංගීම සඳහා ගන්නා ප‍්‍රයත්නයක් වශයෙනි. එය අපේ දණ්ඩනීති සංග‍්‍රහය යටතේ ගැනෙන්නේ අපරාධයකට උදව් කිරීමේ සහ අපාධයක් වසං කිරීමේ වරදක් වශයෙනි. අද මේ පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරීන් වනාහී, සැබෑ වෘත්තිකයන් මිස, ස්වකීය ක‍්‍රියා කලාපයන් හරහා පසුගිය කාලයේ තම දේශපාලනික හාම්පුතුන්ව දේශපාලනික දංගෙඩියට ඇදගෙන ගිය සහ පොලීසියේ කීර්තිය නැති කළ දේශපාලනික හෙංචයියන් නොවන බව මට සක්සුදක් සේ විශ්වාස ය.

මේ පරීක්ෂණවල යෙදී සිටින බොහෝ දෙනා හිටපු විශේෂ පොලිස් කාර්ය සාධක බලකායේ සේවය කළ නිලධාරීන් ය. ඔවුන්ව ඉතා ඉහළින් පුහුණු කොට තිබේ. ඔවුන්ගේ විනය පවතින්නේ ඉතා උසස් මට්ටමක ය. ඉතා දුෂ්කර තත්වයන් යටතේ සේවය කොට ලබා ගත් අත්දැකීම් යටතේ තම වගකීම් මනාව හඳුනාගෙන ඇති මේ නිලධාරීන් අයුතු දේශපාලනික බලපෑම් ඉවසන්නන් නොවේ. අක‍්‍රමවත් උපදෙස්වලට හෝ නියෝ්ගවලට ඔවුන් යට වන්නේද නැත. එබැවින් ඉතා ඉක්මණින් කෙසේ හෝ සත්‍යය හෙළිදරව් වෙතැයි යන විශ්වාසයක් මට තිබේ.

මේ කියන සියලූ උද්ඝෝෂණ සහ විරෝධතාවන් පැවැත්විය යුත්තේ අද අත්අඩංගුවේ පසු වන මේ හමුදා නිලධාරීන්ව ඒ අවාසනාවන්ත අපරාධවලට පටැලවූ අයට එරෙහිව බව මම තදින්ම විශ්වාස කරමි. ඔවුන්ව දැන් හෙලිදරව් කළ යුතුව තිබේ. මන්ද යත්, සැබෑ රණවිරුවන්ව පාවා දෙන්නේත්, ඔවුන්ව ගොනාට අන්දවන්නේත්, ඔවුන්ම වන බැවිනි.

සෑම ආකාරයකම අව්‍යාජ වූත්, කැපවන්නා වූත් සිවිල් සංවිධාන එකට පෙළගැසී මේ අවස්ථාවේ ඉදිරියට පැමිණිය යුතුය. රණවිරුවන්ව නොමග යවමින්, තමන්ගේ වාසි සඳහා මෙවැනි අපරාධවලට ඔවුන්ව පෙළඹැවූ සහ ඔවුන්ව විනාශයට දැමූ සැබෑ අපරාධකරුවන්ව හෙළිදරව් කළ යුතුය.

*ලේඛකයා, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන අතර පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ ප‍්‍රධාන අණදෙන නිලධාරියාද විය.

2016 පෙබරවාරි 25 වැනි දා ‘සිලෝන් ටුඩේ’ පුවත්පතේ පළවූ“Can Ranaviru Label Cover up the Blatant Crimes?”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page