Colombo Telegraph

දෙමළ ජාතික සන්ධානය දින්නා ද, නැත්නම් ආණ්ඩුව පැරදුනා ද?

නිරාන් ඇන්කෙටෙල්

නිරාන් ඇන්කෙටෙල්

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව උතුරේ පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය මගින් පරාජය කරනු ලැබෙති යි යන්න කවුරුත් අපේක්ෂා කළ දෙයක් වෙතත්, මේ තරම් ඉහළින් එය සිදුවෙතැ යි යන්න අනපේක්ෂිතයකි. මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ ආසන 30 ක් දිනා ගැනීමේ කැමැත්ත දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගෙන් නොයෙක් වර ප‍්‍රකාශයට පත්ව ඇතත්, ඇත්ත බලාපොරොත්තුව තිබුණේ තුනෙන් දෙකක බහුතරයක් සැපයෙන පරිදි ආසන 26 ක් ජයග‍්‍රහණය කිරීම කෙරෙහි ය. මැතිවරණ ප‍්‍රතිඵල විග‍්‍රහයක යෙදෙන ගිබ්සන් බේට්මන් සහ රදිකා ඉන්නාසමුත්තු වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දෙති. යුද්ධයෙන් පසුව උතුරේ පවත්වන ලද මැතිවරණවල දී ආණ්ඩුව ලබා ගන්නා ලද ඡන්ද ප‍්‍රතිශතය කෙමෙන් පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කරන ඔවුහූ, උතුරේ ජනතාවට ‘ආණ්ඩුව තිත්ත වී’ ඇති බව කියති. කෙසේ හෝ හිත හදාගෙන 2009 දී ආණ්ඩුවට ඡුන්දය දුන් උතුරේ ජනතාව 2013 වන විට ආණ්ඩුව සමග හොඳටම උරණ වී ඇති බව, මෙවර ඡන්ද ප‍්‍රතිඵලවලින් පෙන්නුම් කරන බව ඔවුන්ගේ අදහසයි.

යාපනේ ඡුන්දය පාවිච්චි කිරීමේ රටාවන් ගැන වඩාත් සවිස්තරාත්මක අධ්‍යයනයක් කරන විට පෙනී යන්නේ, (උතුරු පළාතේ සෙසු දිස්ත‍්‍රික්ක හතරේ ප‍්‍රතිඵල මගින් ද පෙන්නුම් කෙරෙන පරිදි), ඊට තරමක් වෙනස් චිත‍්‍රයකි. ගිබ්සන් සහ ඉන්නාසමුත්තු, මුළු ඡන්ද සංඛ්‍යාවට සාපේක්ෂව ආණ්ඩුව ලබාගත් ඡන්ද ප‍්‍රතිශතය මත රැුඳීම නිසා, පසු ගිය වසර හතරක කාලය තිස්සේ දෙමළ ජනතාවගේ ඡුන්දය පාවිච්චි කිරීමේ රටාව තුළ සිදුවූ වඩාත් වැදගත් සහ විස්මිත වෙනස්කම ඔවුන්ගේ අවධානයෙන් මගහැරී ගොස් තිබේ. එම වෙනස්කමේ සැබෑ කතාව වන්නේ, මැතිවරණයක් මැතිවරණයක් පාසා, ඡන්දය පාවිච්චි කිරීමේ ප‍්‍රතිශතය ඉහළ ගොස් ඇති බව ය. 2009 යාපනේ නගර සභා මැතිවරණයට ඡුන්දය පාවිච්චි කෙළේ එම සීමාවේ වෙසෙන ඡන්දදායකයන්ගෙන් සියයට 22 ක් පමණි. 2010 මහ මැතිවරණයේ දී යාපනේ මේ ප‍්‍රතිශතය සියයට 20 තරමේ අඩු අගයක පැවතුණි. ඡන්ද සංඛ්‍යාව වශයෙන් ගත් විට මුළු යාපනේ දිස්ත‍්‍රික්කයෙන්ම ඡුන්දය පාවිච්චි කෙළේ ඡන්දදායකයන් 168,277 ක් පමණි. එම මැතිවරණයේ දී ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව, දෙමළ ජාතික සන්ධානය සමග කරට කර ගානට ආවේය. දෙමළ ජාතික සන්ධානය ඡන්ද 65,000 ක් ලබා ගන්නා විට ආණ්ඩුවට ඡුන්ද 45,000 ක් ලබා ගැනීමට හැකි විය. ආණ්ඩුවේ ආධාරකරුවන්ගෙන් විශාල පිරිසක් එදා සැපයුණේ යාපනය අවට පිහිටි දූපත්වලිනි. ඒ, ඩග්ලස් දේවානන්දගේ ඊ.පී.ඞී.පී. සංවිධානය සහ නාවුක හමුදාව විසින් පාලනය හොබවන ලද ස්ථානයන් ය. 45,000 කට ආසන්න ප‍්‍රමාණයක් වූ මේ ඡන්දදායකයෝ ඉන් පසුව පැවති ජනාධිපතිවරණයේ දී ද ආණ්ඩුවට පක්ෂපාතීව ඡන්දය පාවිච්චි කළහ. එසේ වෙතත්, 2011 පැවති පලාත් පාලන ඡන්දයේ දී දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුව අතර පරතරය වැඩි වෙන්නට පටන්ගත්තේය. එහි දී ද, ආණ්ඩුවට පක්ෂපාත ඡන්ද ප‍්‍රමාණය යාපනේ නොවෙනස්ව පැවතුණත්, ඡන්ද පොළට පැමිණි පිරිස වැඩි වීම හේතු කොටගෙන, දෙමළ ජාතික සන්ධානය ඉදිරි පිම්මක් ගත්තේය. ඡන්දය පාවිච්චි කළ ප‍්‍රතිශතය සියයට 22 සිට සියයට 46 දක්වා මේ මැතිවරණයේ දී ඉහළ යාම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය ඊට පෙර 2010 දී ලබාගෙන තිබූ ඡන්ද 65,000 මෙහි දී 125,000 දක්වා ඉහළ නැංගේය. තවත් විශේෂත්වයක් වන්නේ, 2011 පැවති මේ පලාත් පාලන මැතිවරණයට යාපනේ නගර සභා ඡන්දය ඇතුළත් නොවීමයි. එම ඡුන්දයත් පැවැත්වුණි නම් තවත් අමතර ඡන්ද 30,000 සිට 40,000 දක්වා ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය සමත් වනු ඇත. කෙසේ වෙතත්, කෙටියෙන් කිවහොත්, මේ වන විට, ආණ්ඩුවේ ඡන්ද පදනම වෙනස් නොවී තිබියදීත්, දෙමළ ජාතික සන්ධානය තමන්ගේ ඡුන්ද පදනම තුන් ගුණයකට ආසන්න ප‍්‍රමාණයකින් වැඩි කර ගැනීමට සමත්ව සිටියේය.

මේ නිසා පසුගිය දා පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඡන්ද පොළට පැමිණි ප‍්‍රමාණය වැදගත් ය. 2009 සහ 2010 මැතිවරණවලදී සිදුවූවා සේ, දෙමළ ජාතික සන්ධානය සමග ආණ්ඩුව හොඳ තරගයක් දීමට නම්, ඡන්දය පාවිච්චි කිරීමේ ප‍්‍රතිශතය අඩු මට්ටමක පැවතීම අත්‍යාවශ්‍ය කෙරුණි. ඒ තත්වය තුළ, ඡුන්ද පොළට පැමිණීම අධෛර්යමත් කිරීම සඳහා ආණ්ඩුව යොදාගත් ප‍්‍රචණ්ඩකාරී සහ වෙනත් ක‍්‍රියාමාර්ග නීති විරෝධී වෙතත්, මුළුමණින්ම තාර්කික ය. අනිත් අතට, දෙමළ ජාතික සන්ධානයට තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට නම් වැඩිම ඡන්දදායකයන් ප‍්‍රමාණයක් ඡන්ද පොළවල් වෙත පැමිණිය යුතුව තිබුණි. එය සලසා ගැනීම, කරුණු කිහිපයක් නිසා, අභියෝගාත්මක විය. දෙමළ ජාතික සන්ධානයට මේ ඡන්දය වර්ජනය කරන ලෙස, රටින් පිටස්තරවත්, රට ඇතුළෙනුත් ඉල්ලීම් ඉදිරිපත්ව තිබීම නිසා බොහෝ දෙනා ඡුන්ද පොළට එතැ යි විශ්වාසයක් නොවුණි. ඊටත් වඩා, හමුදාව මැතිවරණයට මැදිහත්වීම නිසා ද ඡුන්දදායකයා අධෛර්යමත් වීමට තිබුණි. එසේ වෙතත්, මැතිවරණය දවසේ ඡන්දදායකයෝ ඡන්ද පොළට ආහ. එය, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත‍්‍රික්කවල, සියයට 70 කටත් අධික ඉතිහාසගත වාර්තාවකි. මීට වසර තුනකට පෙර 168,277 කට සීමා වු යාපනේ ඡන්දය පාවිච්චි කළ ප‍්‍රමාණය, මෙවර 273,821 දක්වා ඉහළ ගියේය. එයින් 213,000 ක්ම දිනාගත්තේ දෙමළ ජාතික සන්ධානයයි. එදා යාපනෙන් ඡන්ද 35,000 ක් ලබා ගත් ආණ්ඩුව, එයින් 10,000 කට ආසන්න ප‍්‍රමාණයක් මෙවර අහිමි කරගෙන තිබුණු අතර, 2010 දී සමස්තයෙන් ඔවුන් සතු වූ සියයට 32 ප‍්‍රතිශතය මෙවර 14 දක්වා පහළ බැස්සේය.

දෙමළ ජාතික සන්ධානයේ විශිෂ්ඨ ජයග‍්‍රහණය ගැන ඉදිරිපත් කෙරෙන ජනප‍්‍රිය න්‍යායන්, ඉහත සඳහන් විග‍්‍රහය තුළින් මතු කෙරෙන පාඩම් සමග සමග එක්තරා ආකාරයක නොපෑහීමක් පෙන්නුම් කරයි. ආණ්ඩුවේ ඡන්ද ප‍්‍රමාණය 45,000 සිට යම් තාක් පල්ලම් බැස ඇතත්, සත්තකින්ම මරු පහර වන්නේ සුළු ඡන්දදායක පිරිසක් එසේ ආණ්ඩුව අතහැර යාම නොව, අළුතෙන් ඡන්ද පොළට පැමිණි නව ඡන්දදායකයන් ය. මේ නිසා, ආණ්ඩුවේ හිතවතුන් දෙමළ ජාතික සන්ධානය දෙසට අද හැරී ඇතැ යි කීම තරමක නොමග යෑමකි. ඊටත් වඩා, එවැනි කතාවක් තුළ කියැවෙන අනිත් කාරණය වන්නේ, ආණ්ඩුව කෙරෙහි දෙමළ ජනතාව තුළ අදට වඩා සාධනීය හැඟීමක් යුද්ධය අවසානයේ ආසන්න කාලය තුළ පැවති බවකි.

උතුරු සහ නැගෙනහිර පළාතේ හමා යන දේශපාලන සුළඟ වටහා ගැනීමට නම්, දෙමළ ජාතික සන්ධානයේ මෙවර ජයග‍්‍රහණයේ පරිමාණය පසුපස ඇති හේතු හඳුනා ගැනිම වැදගත් ය. එම අවබෝධය ලබා ගැනීම සඳහා ඇසිය යුතු එක පැනයක් තිබේ. එනම්, 2009 දී සහ 2010 දී උතුරේ එතරම් පහළ මට්ටමක පැවති ඡන්දය පාවිච්චි කිරීමේ ප‍්‍රතිශතය, රටේ වෙනත් පළාත්වලටත් වඩා මෙවර ඉහළ ප‍්‍රතිශතයකට ඉහළ ගියේ කෙසේද යන්නයි.

මේ වෙනසට හේතුපාදක වන කාරණා විවිධ තල භජනය කළ හැකිය. එහෙත් මා යෝජනා කරන්නේ කිහිපයක් පමණි. ඉන් පළමුවැන්න වන්නේ, දෙමළ ජාතික සන්ධානය ජාතික තලයේ දී මෙන්ම ජාත්‍යන්තර තලයේ ද හිමි කර ගනිමින් සිටින ප‍්‍රසාදය නිසා, තමන්ගේ දේශපාලන අරගලය සඳහා විශ්වසනීය වාහකයක් සොයා ගැනීමට මීට පෙර අසමත් වූ දෙමළ ජනතාවට, මෙවර දෙමළ ජාතික සන්ධානය ගැන විශ්වාසයක් තැබීමට හැකි වීමයි. දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජාතික ජනතා පෙරමුණ අතර 2010 දී ඇති වූ කැඞී වෙන්වීම නිසා, තිරසාර සහ එක්සත් දේශපාලන අරගලයක් දියත් කිරීමට ඇති හැකියාව පිළිබඳ බොහෝ සැකසාංකා දෙමළ සමාජය තුළ ඇති කෙරුණි. එයින් බිඳුණු ඡන්දදායකයන්ගේ අපේක්ෂා පිළිසකර වීමට කලක් ගතවුණි. පක්ෂයේ තවත් බිඳීමක් සිදුවන්නේ යැයි පණ්ඩිතයන් කළ අනාවැකි බොරු කරමින්, එක්සත් භාවයෙන් අර්බුදයට මුහුණදීමේ ශක්තිය තමන්ට ඇතැ යි යන පණිවිඩය නිකුත් කිරීමට සන්ධානයට හැකි වුණි. වරක් විවාදයට ලක්වූ විග්නේෂ්වරන්ගේ අපේක්ෂත්වය වටා, පෞද්ගලිකත්වයන් පසෙක ලා සාමූහිකව සියල්ලන්ට එකතු වීමට හැකිවීම, පක්ෂයේ ජනප‍්‍රියත්වය වර්ධනය කෙළේය.

ඊළඟට, රටේ ‘ජාතික’ හෝ ‘ප‍්‍රගතිශීලී’ ප‍්‍රශ්නවලට පක්ෂය මැදිහත් වීම ද වැදගත් විය. අගවිනිසුරුවරියට එරෙහිව ගෙනා දෝෂාභියෝගයේ දී, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී සහ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව උසිගැන්වුණු ප‍්‍රචණ්ඩත්වයේ දී දෙමළ ජාතික සන්ධානය ප‍්‍රගතිශීලී ස්ථාවරයක් ගැනීම නිසා, සංඛ්‍යාත්මකව කුඩා වුවත්, දෘෂ්ටිවාදීමය වශයෙන් ජාතික-විරෝධී ආස්ථානයක සිටින ප‍්‍රබල උපකුලකයක් පවා, වෙනත් විකල්පයන් පසෙකලා ජාතික සන්ධානයකට සහාය පෑමේ අවශ්‍යතාව වටහාගත්තේය. දෙවැනුව, පළාත් පාලන ආයතන තුළත්, දැන් පළාත් සභා දේශපාලනයේත් නිරතුරුව නියැලීම තුළ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය වඩාත් පුළුල් වීම හේතුවෙන් පක්ෂය වටා සාමාජිකත්වය වර්ධනය කර ගැනීමට මෙන්ම ඡන්ද පොළවල් වෙත වැඩි ඡන්දදායකයන් පිරිසක් කැඳවා ගැනීමටත් හැකියාව ලැබුණි. ඇමරිකාවේ දේශපාලන ව්‍යාපාර විසින් අර්චනකාමිත්වයට ඔසවා තැබුණු සන්ධානයේ ‘බිම් මට්ටමේ සෙල්ලම’ විශාල වර්ධනයන් අත්කරගෙන තිබුණි. තුන්වැනුව, තමන්ගේ ඡන්දය ස්වකීය දේශපාලනික අයිතීන් සඳහා වන අරගලයේ ක‍්‍රියාකාරී මෙවලමක් වශයෙන් සාමූහිකව භාවිතයට ගත හැකි බව, උතුරු සහ නැගෙනහිර දෙමළ ජනයා කෙමෙන් අවබෝධ කර ගනිමින් සිටිති. පරාජයෙන් වට කරනු ලැබ සිටින ප‍්‍රජාවක් වශයෙන්, 2011 පලාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුව පරාජයට පත්කිරීමෙන් එම ජනතාව යම් ස්වයං-විශ්වාසයක් අත්කරගත්හ.

ඉහත මවිසින් දක්වන ලද කරුණු, ගිය සතියේ ජයග‍්‍රහණය පසුපස පැවතිය හැකි තවත් කරුණු අතරින් කිහිපයක් පමණි. ශ‍්‍රී ලංකා රාජ්‍යයෙන් සහ එහි පාලක සන්ධානයෙන් පරාරෝපණය වීම (පිටමං කිරීම) ගැන දෙමළ ජනතාව තුළ ඇති ගැඹුරු හැඟීම ගැන බොහෝ තැන්වල විස්තර කෙරී ඇතත්, ගිය සතියේ ප‍්‍රතිඵල වනාහී ආණ්ඩුවේ පශ්චාත්-යුද කාලීන ක‍්‍රියාකාරීත්වය ගැන දෙමළ ජනතාව දෙන ලද විනිශ්චයක් වශයෙන් පමණක් සැළකීම ප‍්‍රමාණවත් නැත. නිවැරදි නැත. මෙලෙස, ආණ්ඩුව කෙරෙහි දෙමළ ජනතාව තුළ පවතින සැකය සහ එදිරිය නොවෙනස්ව පැවතී තිබෙන අතරේම, දෙමළ ජාතික සන්ධානයේ ජයග‍්‍රහණයට පාදක වී ඇත්තේ, ජනතාව වැඩි වැඩියෙන් ඡුන්ද පොළට ගෙන්වා ගැනීම කෙරෙහි එය දක්වා තිබෙන සාර්ථකත්වයයි. එසේ වීමෙන්, පශ්චාත්-යුද කාලීන දෙමළ දේශපාලනයේ රටාවන් පරිවර්තනයට ලක්ව තිබේ. ඉදිරියටත් එහි සාර්ථකත්වය රැුඳී පවතින්නේ, මෑතක සිට දෙමළ ජාතික සන්ධානය පොදු දේශපාලනය තුළ නියැළීම මගින් උත්පාදනය කරන ලද ජනතා උද්‍යෝගය එක දිගටම නඩත්තු කර ගැනීම මත ය.

*2013 සැප්තැම්බර් 23 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Whodunnit? Did The TNA Win Or Did The Government Lose? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page