Colombo Telegraph

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනය සහ උතුරු පළාත් සභාව ඉදිරියේ ඇති කර්තව්‍යයන්

ආචාර්ය නිර්මලා චන්ද්‍රහසන්

දෙමළ ජාතික සන්ධානය මෑතකදී එළිදැක්වූ මැතිවරණ ප‍්‍රකාශනය, ඇතැම් කොටස් අතර උණුසුම් වාදවිවාදවලට සහ වෙව්ලන සුළු චකිතයන්ට තුඩුදී ඇත. ඒ නිසා, එවැනි තත්වයකට කිසියම් හේතුවක් වෙත් දැ යි සොයා බැලීමට එකී ලියවිල්ල පරීක්ෂාවට ලක්කිරීම වැදගත් වෙයි. එසේම, උතුරු පළාත් සභාව පිහිටැවූ පසු එයින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට එය පිටිවහලක් වෙත් දැ යි සොයා බැලීමටත්, ඒ මගින් පිළිවන.

ආචාර්ය නිර්මලා චන්ද්‍රහසන්

මේ ප‍්‍රකාශනයේ කැපී පෙනෙන එක් සාධකයක් වන්නේ, එක්සත් ශ‍්‍රී ලංකාවක් කෙරෙහි දක්වන කැපවීමයි. එක්සත් ශ‍්‍රී ලංකාවක එකට ජීවත් වීමේ කැමැත්තක් දක්වන ශ‍්‍රී ලංකාවේ බහුතර ජනතාවකගේ සිතිවිල්ල සමග එය පෑහෙයි. ඇත්ත වශයෙන්ම, 1956 සිට විටින් විට රටේ ඇති වූ ජාතිවාදී කලකෝලාහල හරහා 1983 මහා ජන ඝාතනය ද පසු කොට, තවත් දීර්ඝ කාලයක් මුළුල්ලේ ඇවිළුණු සිවිල් යුද්ධයක් තිබියේ වී නමුත්, සෑම ප‍්‍රජාවකගේම අන්තවාදී සුළුතරයක් හැරුණු කොට, පොදු ජනයා අතරේ එකිනෙකා කෙරෙහි වෛරයක් පෙන්නුම් නොකෙරුණි.

කලින් පැවති යුගෝස්ලාවියාවේ 1990 ගණන්වල ඇවිළී ගිය ප‍්‍රචණ්ඩ ගැටුමට කලින් එම බෝල්කන් කලාපය ගැන 1980 ගණන්වල ලියන ලද චාරිකා ග‍්‍රන්ථයක් පසුගිය දා කියැවීමේ දී, එම ප‍්‍ර‍්‍රදේශයේ විවිධ ජන වර්ග අතර පැවති බද්ධ වෛරය සහ සැකය මාව මවිත කරවන සුළු විය. එම තත්වය ශ‍්‍රී ලංකාව සමග සැසඳීමට මා නිතැතින්ම පෙළඹුණි.

ලංකාවේ වෙසෙන දෙමළ කතා කරන ජනතාවගේ ප‍්‍රශ්නවලට අදාළ ඓතිහාසික පසුබිම විස්තර කෙරෙන දීර්ඝ පූර්විකාවක් දෙමළ ජාතික සන්ධානයේ මේ මැතිවරණ ප‍්‍රකාශනයට ඇතුළත්ය. එසේම පක්ෂයේ දෘෂ්ටිවාදී ස්ථාවරය ද එහි දී පැහැදිළි කෙරෙයි. එය, 1949 දී අයි.ටී.ඒ.කේ. (ෆෙඩරල් පක්ෂය) පිහිටුවා ගනු ලැබූ අවස්ථාවේ සිට එක දිගටම අවුරුදු 60 ක් තිස්සේ එම පක්ෂය දරණ ලද ස්ථාවරයයි. එයින් කියැවෙන්නේ, නිදහසේ සිට මේ රටේ පවතින්නේ බහුතරයේ පාලනයක් වන නිසා, ආණ්ඩුකරණ බලතල රටේ වෙසෙන විවිධ ජාතීන් අතරේ බෙදාහදා ගැනීමේ අවශ්‍යතාවක් ඇති බවයි. ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ කියැවෙන පරිදි, රටේ ස්වෛරීත්වය ජනතාව සතු වන්නේය. ඒ නිසා, මෙම මැතිවරණ ප‍්‍රකාශණය තුළ ස්වෛරීත්වයේ පංගුකාරීත්වයක් ගැන කතා කරන විට එයින් අදහස් වන්නේ, රටේ වෙසෙන සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියළු ප‍්‍රජාවන් විසින් එම ස්වෛරීත්වය බෙදාහදාගත යුතුවා මිස එක් බහුතර ප‍්‍රජාවක් පමණක් එය අභ්‍යාස නොකළ යුතු බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඕනෑම රටක ඇත්තේ බහුතරයේ පාලනයක් බව ඇත්ත. එහෙත් ඒ බහුතරයේ පාලනය මැතිවරණ හරහා ඒ ඒ පක්ෂවල වැඩ පිළිවෙලවල් සඳහා ජනතාව පවරන කැමැත්ත මත වෙනස් වන නිසා, ස්ථාවර බහුතරයක් නොවන්නේය. එහෙත් ශ‍්‍රී ලංකාවේදී, ජාතීන්ගේ සංයුතිය සම්බන්ධයෙන් සළකන කල ඇත්තේ, මහ ජාතියේ පාලනයකි. එය, මහජාතියේ පාලනයක් වශයෙන් හැඳින්වෙන්නේ නිකම්ම නොවේ.

බහුතර ප‍්‍රජාවේ අවශ්‍යතා පමණක් ප‍්‍රගමනය වීම

ස්වභාවිකවම, එවැනි මහජාතියේ ආණ්ඩු කටයුතු කරන්නේ, ඔවුන්ගේ ජාතියේ අවශ්‍යතාවන්හි ප‍්‍රගමනය සඳහා ය. රජයේ සේවයට බඳවා ගැනීම් දෙස බැලීමේදීත්, සන්නද්ධ හමුදා දෙස බැලීමේදීත්, පරිපාලනයේ භාෂාව, ආර්ථික සංවර්ධනය, ඉඩම් නිරවුල් කිරීම, තීරණ ගැනීමේ ක‍්‍රියාවලීන්, අධිකරණය සහ කැබිනට් මණ්ඩලය වැනි කොතැනක බැලූවත්, මහජාතියේ සාමාජිකයන් විසින් වැදගත් තනතුරු ඉසිලීම දැකිය හැකිය. මේ නිසා අපේ වැනි ඒකීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යටතේ සුළු ජාතීන්ට හැෙඟන්නේ, තමන්ව කොන් කර ඇති බවකි. විවිධ ජාතීන් වෙසෙන රාජ්‍යයන්හි, බලතල බෙදාහැරීමේ විවිධ මාදිලි හෙවත් ෆෙඩරල් ආණ්ඩුක‍්‍රම මත පදනම් වූ ක‍්‍රම උපයෝගී කරගන්නේ එබැවිනි. අපේ අසල්වැසි ඉන්දියාවේත්, වෙනත් බොහෝ රටවලත් ඒ තත්වය අපට දැකිය හැකිය. ෆෙඩරල් රාජ්‍යයක් නොවන එක්සත් රාජධානිය පවා මෑතක දී, ස්කොට්ලන්තයේ, වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ වෙසෙන විවිධ ජාතීන් වෙනුවෙන් වෙන වෙනම පාර්ලිමේන්තු සහ නියෝජන මන්ත‍්‍රණ සභා පිහිටෙව්වේය.

එම සන්දර්භය තුළ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද පළාත් සභා ක‍්‍රමය, මොන අඩුපාඩු තිබුණත්, සුළු ජාතිය බහුතරයක් වන පෙදෙස්වල ස්වකීය කටයුතු සම්බන්ධයෙන් අඩු වශයෙන් තමන්ට යම් බලයක්වත් ඇතැ යි යන විශ්වාසය එම සුළු ප‍්‍රජාවන් තුළ ඇති කෙළේය. මධ්‍යම ආණ්ඩුව සහ මධ්‍යම නිලධර තන්ත‍්‍රය ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරමින්, බාධාවකින් තොරව ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට ඔවුන්ට අවකාශය සපයන්නේ නම්, රටේ පාලනයේ සහභාගීකරුවන් වශයෙන් තමන්ව නෙරපා ඇතැ යි යන හැඟීමෙන් මිදීමට, එක්තරා දුරකටවත්, ඔවුන්ට යම් අනුබලයක් සැපයෙනු ඇත.

මෙම ප‍්‍රකාශනයේ පළමු කොටස බොහෝ සෙයින් සමන්විත වන්නේ, දෙමළ ජාතික සන්ධානයේ 2010 පාර්ලිමේන්තු මැතිවරණ ප‍්‍රකාශනයේම අඩංගුවෙනි. ඒ සඳහා ජන වරමක්, මෙම ප‍්‍රකාශනයේ ද සඳහන් වන පරිදි, එම මැතිවරණයේ දී ඔවුන් ලබාගෙන ඇත.

‘දෙමළ ජනතාවගේ හදිසි ප‍්‍රශ්න මැයෙන්’’ යනුවෙන් කොටසක් ද වර්තමාන ප‍්‍රකාශනයට ඇතුළත්ය. පළාත් සභාවට කෙලින්ම අදාළ වන සහ පළාත් සභා බල ක්ෂේත‍්‍රයට කෙලින්ම ගැනෙන කොටස එයයි. ඒ ගැන විචාරක අවධානය ප‍්‍රමාණවත් පරිද්දෙන් යොමු වී නැති නිසා යම් පැහැදිලි කිරීමකට යා යුතුව තිබේ. එහි දැක්වෙන ප‍්‍රශ්න මෙසේය:

1. නිර්-හමුදාකරණය
2. අවතැන් වූවන් යළි පදිංචි කිරීම
3. එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ලංකා ආණ්ඩුව විසින් කරන ලදැ යි කියන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ චෝදනා ගැන සොයා බැලීම සඳහා වන ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණ
4. චෝදනා නොමැතිව රඳවාගෙන සිටින සියළු පුද්ගලයන් වහා නිදහස් කිරීම සහ සියලූ සිරකරුවන්ට පොදු සමාවක් දානය කිරීම
5. සරණාගතයන්ට නැවත පැමිණීමේ අයිතිය සහ ඒ සඳහා වන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම
6. ශ‍්‍රී ලකා රාජ්‍යය, දෙමළ ඩයස්පෝරාව සහ ජාත්‍යන්තර ප‍්‍රජාවගේ ආධාරයෙන්, තරුණයන්ට රැුකියා අවස්ථා සැපයෙන පරිද්දෙන්, උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා පුළුල් වැඩපිළිවෙලක්
7. අවතැන් වූ මුස්ලිම් ප‍්‍රජාවට නැවත පැමිණෙන ලෙස ආරාධනා කිරීම සහ ඔවුන්ගේ අවශ්‍යතා ගැන පළාත් සභාව සොයා බැලීම
8. යුද-වැන්දඹුවන්ගේ ජීවිකාව සරිකර දීම සහ ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම
9. පශ්චාත්-යුද්ධ කාලීනව මතුවී ඇති ඉඩම් ප‍්‍රශ්න සහ ආණ්ඩුවෙන් සහ හමුදාවෙන් පවරාගෙන ඇති පෞද්ගලික ඉඩකඩම් පිළිබඳ සොයා බැලීම
10. නීතිය හා සාමය-එය මෙහෙයවීම සඳහා සිවිල් පොලිස් සේවාවක අවශ්‍යතාව.

උතුරේ පළාත් සභාවට කටයුතු කිරීමට සිදුවන්නේ මේ ප‍්‍රශ්න සම්බන්ධයෙනි. කෙසේ වෙතත්, 1=5 දක්වා වන ප‍්‍රශ්න, මානව හිමිකම් සහ මානුෂීය නීති ප‍්‍රශ්නවලට අදාළ වන හෙයින්, ජාතික මට්ටමින් සහ ජාත්‍යන්තර මට්ටමින් ඒවාට මැදිහත් විය යුතු වන්නේය. ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලා සිටීම, ආණ්ඩුව සම්බන්ධයෙන් පමණක් නොව, එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් ද වන බව, මෙහි දී සැළකිල්ලට ගත යුතුය. 6-9 දක්වා වන ගැටළු කෙලින්ම පළාත් සභාවේ පරිපථයට අයත් වෙයි. උතුර සංවර්ධනය කිරීමේ පුළුල් වැඩපිළිවෙල එහි දී වඩාත් වැදගත් කාරණය වන්නේය. මන්ද යත්, යුද්ධයෙන් බැටකෑ එම පළාතේ දෛනික ජීවිතයට එය කෙලින්ම අදාළ වන බැවිනි. ශ‍්‍රී ලංකා රාජ්‍යයේ සහභාගීත්වය මෙහි දී වැදගත් වන බව, ප‍්‍රකාශනය මගින් පිළිගැනේ. ඒ සඳහා, ආණ්ඩුව සහ පළාත් සභාව අතර සහයෝගීතාවක් තිබිය යුතුය.

ආණ්ඩුවේ සංවර්ධන සැලසුම් මේ දක්වා සංකේන්ද්‍රනය වී තිබෙන්නේ, ආධාර සපයන රටවල උදව්වෙන් කෙරෙන යෝධ යටිතල ව්‍යාපෘති කෙරෙහිය. එම පළාත, රටේ සෙසු පළාත්වලට විවෘත වීමත්, හොඳ මංමාවත්, දුම්රිය මාවත් සහ විදුලිය වැනි පහසුකම් ඇති කෙරෙන හෙයින් එය ප‍්‍රශංසනීය කර්තව්‍යයකි. එසේම, බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන එම පළාතේ විවෘත කිරීමට ද රජය අනුබල දෙයි. එක පැත්තකින්, ප‍්‍රාග්ධනය එම පළාතට ගලා ඒමටත්, ව්‍යාපාරික කටයුතු ප‍්‍රවර්ධනයටත් එය ඉවහල් වී ඇති අතර, අනිත් පැත්තෙන් දිළිඳු ජනතාව කෙරෙහි එය අහිතකර බලපෑමක් ද ඇති කොට තිබේ. ‘අහිමි කිරීමේ දේශපාලනය’ නමින් අහිලන් කදිරගාමර් විසින් ලියන ලද ලිපියකට අනුව, මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ, සිල්ලර ව්‍යාපාර සහිත වෙළඳපොළ විස්තාරණය වී පාරිභෝගික භාණ්ඩ ගොඩගැලීමයි. හරිහමන් ජීවිකාවක් හෝ ආදායමක් නැති දිළිඳු කොටස් මේ වෙළඳපොළ කෙරෙහි ඇති ආකර්ශනය නිසා විශාල ණය භරිත භාවයකට මුහුණදී සිටී. බොහෝ ගැමියෝ ජීවිත පවා පරදුවට තබමින් බෝට්ටුවලින් ඔස්ටේ‍්‍රලියාවට පැන ගැනීමට බලති. අනිත් අතට, අතමිට සරු කොටස් සහ ඩයස්පෝරාව වැඩියත්ම අවධානය යොමු කරන්නේ, කෝවිල් සහ යාපනේ උසස් පාසල් දියුණු කිරීමටයි. ඒ අතර, දිළිඳු ගැමි ළමුන්ගේ අධ්‍යාපනය නොසළකා හැරේ.

අවශ්‍ය කරන්නේ, සාමාන්‍ය මිනිසාට අත දෙන, විශේෂයෙන් සකල සන්තකයන් අහිමි කොට අසරණ භාවයට පත්කොට ඇති වන්නියේ ගම් නියම්ගම් දියුණු කෙරෙන සංවර්ධනයකි. ඒ සඳහා, ප‍්‍රදේශයේ කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත‍්‍ර යළි පණ ගැන්විය යුතුය. පරිසර හිතකාමී සැලකිල්ලෙන් යුතුව කෘෂිකර්මය නගා සිටුවිය යුතු අතර, කුඩා වැව් සහ ඇල මාර්ග දියුණු කොට, අභ්‍යන්තර ගම්මාන සඳහා වන මංමාවත් දියුණු කොට පොදු බස් සේවාවන් සැපයිය යුතුවා මිස, පරිසරය වනසන හෝටල් සහ කර්මාන්ත ව්‍යාපෘති අවශ්‍ය නොකෙරේ. මෙවැනි කරුණු සළකා බැලිය යුත්තේ ප‍්‍රාදේශීය මට්ටමිනි. මධ්‍යම ආණ්ඩුවට වඩා මේවා ගැන කාර්යක්ෂමව නියුක්ත විය හැක්කේ පළාත් ආණ්ඩුවට ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි උපලේඛනය යටතේ එන පළාත් සභා ලැයිස්තුවට, සැලසුම් සම්පාදනය අන්තර්ගතයි. ඒ යටතේ ගැනෙන ප‍්‍රාදේශීය ආර්ථික සැලසුම් ක‍්‍රියාත්මක කිරීම තුළ පහත සඳහන් දෑ අඩංගු වෙය: කෘෂිකර්මය සහ ගොවිජන සේවා, සුළු පරිමාණ වාරිමාර්ග කටයුතු ප‍්‍රතිසංස්කරණය සහ නඩත්තුව, කෘෂිකාර්මික පර්යේෂණ, සමූපකාර, ඉඩම්, වාරිමාර්ග, සත්ව පාලනය සහ ජාතික මහාමාර්ග හැරුණු කොට, ප‍්‍රාදේශීය මහාමාර්ග සහ පාලම් ගොඩනැංවීම ආදියයි. මේ අනුව බලන විට, ආර්ථික සංවර්ධනය පිළිබඳ විෂය ගැනෙන්නේ පළාත් සභාවේ පරිපථයට බව අපට පෙනේ.

පරණ යුගෝස්ලාවියානු රාජ්‍යයට අත්වූ ඉරණම සැළකිල්ලට ගැනීම, ප‍්‍රාදේශීය පරිපාලන සමග සහයෝගයෙන් වැඩ කටයුතු කිරීම මධ්‍යම රාජ්‍යයේම හිතසුව පිණිස බව කියා දෙන පාඩමකි. සමෘද්ධිමත් ප‍්‍රාදේශීය පාලනයක් සහ එහි වෙසෙන ජනතාවගේ තෘප්තිමත් භාවය, මධ්‍යම ආණ්ඩුවට සැලසෙන යහපතක්ම වන්නේය. ඒ ක‍්‍රියාවලිය තුළ උතුරේ හමුදා සහභාගීත්වය අවම කිරීමත්, නීතිය හා සාමය රැකීමේ වගකීම පොලීසියට පවරමින් සිවිල් පරිපාලනයක් වෙත ආපසු යෑමත්, එම පළාතේ සමාජ සැකැස්ම යළි යථා තත්වයට පත්කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන්නේය. 1970 සහ 1980 දශකවල රටේ දකුණු පළාතේ සිදුවූ කැරලි අවසන් වීමෙන් පසු පොදු සමාවක් දුන් බවත්, හමුදාව එම පෙදෙස්වලින් ඉවත් වූ බවත් අපට මතක ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, දකුණේ සමාජය යථා තත්වයට පත්වීම ඉක්මන් විය. සාමය ස්ථාපිත විය. අඩු වශයෙන් ප‍්‍රාදේශීය මට්ටමින් හෝ ආණ්ඩුකරණයට සහභාගී කර ගැනීම හරහා උතුරේ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරන පළාත් සභාවක් එක පැත්තකින් ද, අනිත් පැත්තෙන් සියලූ ජන කොටස් මධ්‍යම ආණ්ඩු ව්‍යුහය වෙත ආකර්ශණය කර ගැනීමක් ද ඇතොත්, එවැනි ජනතාවක්, බෝල්කන් කලාපයේ සිදු වූවා සේ රටවල් කෑලිවලට කඩා ගැනීමක් වෙත නොගොස්, එක්සත් රටක් තුළ ජීවත් වීමේ නැමියාවකට හරවා ගත හැකි වනු ඇත.

*2013 සැප්තැම්බර් 19 සහ 20 යන දිනවල ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ TNA Manifesto &Tasks before NPC ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page