පසුගිය දශකයන්වල මැදපෙරදිග දීර්ඝතම ගැටුම සංකේතවත් කරමින් කිසිදු ආකාරයේ ස්ථිරසාර විසඳුමකට තවමත් එළඹ නැති ගාසා තීරයේ ඊශ්‍රායල්–හමාස් ගැටුමේ වාසි අත්පත් කොට ගනිමින් තවත් නව ගැටුමක් 2023 ඔක්තෝබර් 8 වෙනිදා පටන් සක්‍රීය විය. එනම් ලෙබනන් හිස්බුල්ලා (Lebonanese Hezbulloah) හා උතුරු ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වයයි. අද වන විට මෙම ගැටුම මහා පරිමාණ යුධ ගැටුමක් දක්වා පරිවර්තනය වී ඇති අතර, රාජතාන්ත්‍රීය මැදිහත්වීමකට අවකාශ සලසා ගැනීම පවා මහත් දුෂ්කර කාර්යයක් වී ඇත. මැදපෙරදිග කලාපය වූ කලී කිසිදා යුධ හිනිදැල් නොනිවෙන කලාපයක් බවට පත්ව ඇත. මෙය මහා ඛේදවාචකයකි. එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගටර්ස් දිගින් දිගටම අවධාරණය කරනු ලබන්නේ ලෙබනන් හිස්බුල්ලා හා ඊශ්‍රායලය ගැටුම, ඉතා ඉක්මණින් රාජතාන්ත්‍රීය මැදිහත්වීමක් සිදු කොට සාමය ස්ථාපිත කිරීමට වහ වහා පියවර ගත යුතු බවයි. ලෝකයේ යුධ ගැටුම් පවතින කලාපවලින් මේ වන විට මතුවන යථාර්තය වී ඇත්තේ, ගැටුමට සම්බන්ධ කිසිදු පාර්ශ්වයක් මැදිහත්කරණයට (Mediation) සාකච්ඡා මේසයට (Negotiable Table) මොන යම් හෝ ඉඩ ප්‍රස්ථාවක් නොදීමයි. නවීන යුධ උපක්‍රම, යුධ තාක්ෂණවල ශක්තීන් උරගා බැලීම විනා සාමයට අත වැනීමක් වත්මන් ජාත්‍යන්තර දේශපාලන න්‍යායේ නොමැති තරම්ය. ලෝකයේ ඇතැම් කලාප ස්ථිර සාමයක් උදෙසා පෙළගැසී සිටී නම් ඒ ඉතා අතලොස්සකි. ලෝකයේ බොහෝ කලාප කුමන ආකාරයේ හෝ සන්නද්ධ ගැටුමක නිරත වී ඇත. ඊශ්‍රායල, ලෙබනනීය හිස්බුල්ලා ගැටුම ආරම්භය ද ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. පළමුව ඉතා සුළු වශයෙන් ආරම්භ වූ අභ්‍යන්තික ගැටුම් ජාත්‍යන්තරීකරණය වීම 21 වන සියවසේ ගැටුම්වල පොදු ලක්ෂණය කිවහොත් ඔබ එකඟ වනු ඇත.
ඊශ්‍රායලය 1982 දී ලෙබනනය ආක්‍රමණය කිරීම
1982 දී ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනය ආක්‍රමණය කිරීමෙන් පසු ලෙබනනයේ ඇති වූ සංකීර්ණ ක්‍රියාදාමයේ සුන්බුන් මැදින් ලෙබනනීය හිස්බුල්ලා සටන්කාමී පෙරමුණ ආරම්භ වූ බව පැවසුවහොත් එය නිවැරදිය. ඊශ්‍රායල ආක්‍රමණයෙන් පසු ලෙබනන් භූමියෙන් හරි අඩක් පමණ ඊශ්‍රායලය විසින් අත්පත් කොට ගනු ලැබීය. ලෙබනනයේ අගනුවර වූ ‘බීරූට්’ ද ඊශ්‍රායලය විසින් අත්පත් කොටගත් අතර ඊශ්‍රායල ආක්‍රමණය හේතුවෙන් ලෙබනන් වැසියන් 17000ක් පමණ මරණයට පත් වූ අතර විශාල පිරිසක් ලෙබනනයේ සරණාගත කඳවුරුවල අවතැන් විය. පලස්තීන සටන්කාමීන් ලෙබනන භූමියේ සිට ඊශ්‍රායලයට පහරදීම ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කිරීමට හේතු වූ අතර, පලස්තීන සටන්කාමීන් ලෙබනනයෙන් පිට වූ පසු බිහි වූ ලෙබනනීය හිස්බුල්ලා කණ්ඩායම ෂියා ඉස්ලාමීය පෙරමුණකි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ පුහුණුව ලත් ෂියා ඉස්ලාම් කොටස් ලෙබනන දේශපාලනවලට අවතීරණ වූ අතර එහි බලපෑම පෙරටු කොට ගෙන අවසානයේ දී ලෙබනනයේ සිටි ෂියා ඉස්ලාම් කොටස් ද එකතුවී මොවුන් ලෙබනන් රජය පිළිගත් ෂියා ඉස්ලාමීය ආගමික සංවිධානයක් ලෙසින් ස්ථාපිත විය. ලෙබනනීය හිස්බුල්ලා කණ්ඩායමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, ලබාදෙනු ලබන්නේ ඉරානය වෙතිනි.
හිස්බුල්ලා සටන්කාමීන්ගේ ප්‍රභවය
ඉරානයේ 1979 දී සිදුවූ ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසු ෂියා ඉස්ලාම් බහුතරය ද ලෙබනනය, ඊශ්‍රායලය විසින් 1982 දී ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ලෙබනනයේ ෂියා ඉස්ලාමීය කොටස් ද එකතුවෙන් “Hezbullah” නමින් ආගමික කණ්ඩායමක් නිර්මාණය විය. ඇත්ත වශයෙන් ම ආරම්භයේ දී හිස්බුල්ලාවරුන් මෙවැනි ස්වරූපයක් ගනු ලැබූව ද මේ වන විට ලෙබනන් හිස්බුල්ලා වූ කලී සමස්ත මැදපෙරදිග කලාපයේම සිටින බලසම්පන්නම උපායශීලී මෙන්ම භයානකම සටන්කාමීන් ලෙසින් ප්‍රකාටව ඇති මොවුන් ගාසා තීරයේ පාලනය ගෙන යනු ලබන හමාස් සටන්කාමීන් පවා අභිබවා පළමු ස්ථානයට පත්ව ඇත. බටහිර ලෝකය ලෙබනන් හිස්බුල්ලා කණ්ඩායම Group නම් කොට ඇත්තේ ත්‍රස්තවාදී කණ්ඩායමක් (terrorists) ලෙසිනි. හිස්බුල්ලා සටන්කාමීන් ගේ ආරම්භක අරමුණු වූයේ ලෙබනනයේ සිට ඊශ්‍රායලය මෙහෙයවීම මෙන්ම ලෙබනනයේ ඉස්ලාමීය ජනරජයක් පිහිටුවීමයි. ඇත්ත වශයෙන්ම හිස්බුල්ලා කණ්ඩායමේ විකාශනයේ පෙරටුගාමීයා වූයේ ඉරාන ඉස්ලාමීය ජනරජය බව පැවසුවහොත් එය නිවැරදිය. හිස්බුල්ලා කණ්ඩායමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, යුධ පුහුණුව, අවි ආයුධ සැපයීම සිදුවන්නේ ඉරානයෙන් බව රාජතාන්ත්‍රික සබඳතා වපසරිය තුළ ප්‍රසිද්ධ රහසකි. ඉරාන ඉස්ලාමීය ජනරජය වූ කලී න්‍යෂ්ටික බලවතෙකු ද වන බැවින්, බටහිර ලෝකය ඉරානය සම්බන්ධයෙන් මැදිහත්වීම් පිළිබඳ කරනු ලබන්නේ ඉතා පරිස්සමිනි. බොහෝ විට සිදුවන්නේ ආර්ථික සම්බාධක පැනවීම වැනි දෙයකි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉරානයේ “ඉදිරි ආරක්ෂක වළල්ල” (Front defensive force) ලෙස හඳුන්වන්නේ යථෝක්ත කාරණා පසුබිම් කර ගනිමිනි. හිස්බුල්ලා සටන්කාමීන්ට ඉතා ඉහළ යුධ පුහුණුවක්, නිරන්තර යුධ අභ්‍යාස, ඉතාම ඉහළ ධාරිතාවකින් හෙබි අවි ආයුධ හා එහි භාවිතය පිළිබඳ අදහාගත නොහැකි අන්දමේ ඉතා දැවැන්ත පුහුණුවක් ලැබේ. ඉතා ඉහළ බුද්ධි අංශයක් ද ඇති මොවුන් ගත වූ අවුරුදු 18ක පමණ කාලය තුළ නිරන්තර යුධ අභ්‍යාස හේතුවෙන් ඉතා බලවත් සටන්කාමීකරණ භාවයට පත්ව ඇත. බටහිර යුධ විශේෂඥයින් පෙන්වා දෙනු ලබන්නේ මොවුන් ඉතා ඉහළ ධාරිතාවකින් හෙබි ප්‍රහාරාත්මක බලයක් (Offensive force) මෙන්ම ආරක්ෂාකාරී බලයක් ද (Defensive Force) යන දෙඅංශයෙන්ම ඉතා ශක්තිමත් බවයි. මෙය විරල තත්ත්වයකි. මේ තත්ත්වය හේතුවෙන් මේ වන විට ඉතා දරුණු අන්දමින් පවතින හිස්බුල්ලා–ඊශ්‍රායල ගැටුම පාලනය කිරීම රාජතාන්ත්‍රීය මැදිහත්වීමකින් පවා බෙහෙවින්ම අපහසු වී ඇත.
කිසිදු ආකාරයකින් පසු නොබසින හිස්බුල්ලා සටන්කාමීන් “පරාජය” නමැති වචනයට ඔවුන්ගේ යුධ මානසිකත්වය තුළ කිසිදු අයුරකින් ඉඩක් ලැබී නොමැත. උපායමාර්ගික සැලසුම් (Strategically planning) අතින්ද ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් කිසිවෙකුටත් නොදෙවෙනිය ඊශ්‍රායල හමුදාව වූ කලී මැදපෙරදිග කලාපයේ බලසම්පන්නම හමුදාව වන නමුදු මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඔවුන්ට ද හිස්බුල්ලා සටන්කාමීන්ට මුහුණදීම එතරම් පහසු කටයුත්තක් නොවී ඇත. උතුරු ඊශ්‍රායල හා ලෙබනන් දේශසීමාව අතර ඉතා දරුණු අන්දමින් දෙපාර්ශ්වය වෙතින්ම හුවමාරු වන රොකට් ප්‍රහාර, ඩ්‍රෝන ප්‍රහාර, මිසයිල ප්‍රහාර හරහා සිය ජීවිත වලින් වන්දි ගෙවන්නේ අන් කවරෙක් නොව ලෙබනන් හා ඊශ්‍රායල අසරණ සිවිල් වැසියන්ය. ජාත්‍යන්තර, රතු කුරුස සංවිධානය මේ අවස්ථාව වන විටත් උතුරු ඊශ්‍රායල–ලෙබනන් දේශසීමාව අසල අවතැන් වී ඇති දහස් ගණන් සිවිල් වැසියන්ගේ ජීවිත සුරැකීමේ අරමුණින් පෙළගැසී ඇත. අන්තර්ජාතික මානුෂීය නීතියේ (International Humanitarian Law) වගන්ති කඩවීම ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය වෙතින්ම සිදුවේ. මාස අටක පමණ කාලයක සිට ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ඇදෙන්නා වූ මේ අර්බුදය, ඔක්තෝබර් 8 ආරම්භ කරමින් හිස්බුල්ලා පැවසුවේ මෙමගින් හමාස් කණ්ඩායමට එරෙහිව ඊශ්‍රායලය ගෙන යන සටනට තමන් පලස්තීනයට සහායක් ලෙස මෙය අරඹන බවයි.
ලෙබනන හිස්බුල්ලා–ඊශ්‍රායල අර්බුදයේ වත්මන් ස්වභාවය
වත්මන් යුධ කලාපවලින් රාජතාන්ත්‍රීය භාවය සාකච්ඡා මේසයට මැදිහත්කරණ හා බොහෝ දුරස් වී ඇත. ඇත්ත වශයෙන්ම ගැටුමට සම්බන්ධ කිසිදු පාර්ශ්වයක් සාමකාමී මාවතකට ඒමට කිසිදු ආකාරයේ අවකාශයක් නම් දෙන්නේ නැති තරම්ය. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ දිගින් දිගටම පැන නගින් අලුත් අලුත් අර්බුද හමුවේ නවීන යුධ ක්‍රම (Modern warfare) හා තාක්ෂණික මෙවලම් වලින් එකිනෙකාට සරඹ දැක්වීමක් හා ඒ තුළ සමස්ත සිවිල් වැසියන් මිලියන ගණනින් ජීවිත අහිමිකිරීමයි. ගාසා තීරයේ ළමා පරපුරේ අනාගතය ඉතා ඛේදනීය බව ඔප්පු වී හමාරය.
ලෙබනන හිස්බුල්ලා හා ඊශ්‍රායල ගැටුම තුළ ඇ. එ. ජනපදයේ භූමිකාව
ඇ. එ. ජනපද පෙන්ටගනය ප්‍රකාශ කර ඇත්තේ, ගාසා තීරයේ මේ වන විට ඉතා දරුණු අන්දමින් ඉදිරියට ඇදී යන්නා වූ ඊශ්‍රායල – හිස්බුල්ලා ගැටුම වැළැක්වීමට රාජතාන්ත්‍රීය මැදිහත්වීම වහ වහා කළ යුත්තක් බවයි. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් (Liyod Austin) පවසා ඇත්තේ, මෙම අර්බුදය විසඳීමට රාජතාන්ත්‍රීය (Diplomatic) මැදිහත්වීම අත්‍යාවශ්‍ය බවයි. ඊශ්‍රායල–ලෙබනන හිස්බුල්ලා ගැටුම තව දුරටත් පැවතියහොත් එය මැද පෙරදිග කලාපයටම බලපාන කලාපීය ගැටුමක් නිර්මාණය විය හැකි බවයි. මේ වන විටත් මහා පරිමාණ යුධ ගැටුමක් ස්වරූපයක් ගෙන ඇති බැවින්, දෙපාර්ශ්වයේම සිවිල් වැසියන් දහස් ගණනින් අවතැන් වී ඇත. උතුරු ඊශ්‍රායල – ලෙබනන් දේශසීමාව අසල කෙරීගෙන යන මේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය සමථයකට පත් කොට සිවිල් වැසියන්ට ආරක්ෂාකාරීව තම ගම්බිම් බලා යාමට අවශ්‍ය වාතාවරණය ඉතා ඉක්මණින්ම සැලසිය යුතු බව ඇ. එ. ජ. වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ඇ. එ. ජ. ජනපති ජෝ බයඩීන්, ප්‍රකාශ කොට ඇත්තේ, ඊශ්‍රායලය මෙම ගැටුමෙන් ඉවත් විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහායක් තමන් ලබාදෙන බවත්ය. ඉරාන සහාය ලබන හිස්බුල්ලා කණ්ඩායම සමග සටන් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව ඇ. එ. ජ. හොඳින්ම දන්නා කරුණකි. ඇ. එ. ජනපදය විවෘතව පවසා ඇත්තේ මේ අවස්ථාවේ දී ඊශ්‍රායලයට ආරක්ෂාව සැපයීමට තමන්ට නොහැකි බවයි.
මෙම අර්බුදය හමුවේ දෙපාර්ශ්වයම සටන් වඳින්නේ අන්තර්ජාතීය මානුෂීය නීතියේ වගන්ති (International Humanitarian Law) උල්ලංඝනය වන පරිද්දෙනි.
ගිනිජාලා පතිත වන රොකට් ප්‍රහාර, මිසයිල ප්‍රහාර, ඩ්‍රෝන ප්‍රහාර ඔවුනොවුන් පරදා හුවමාරුවන ඉතා දරුණු යුධ තත්ත්වයකි. පොදු දේපළ, මිනිස් ජීවිත හානි සිදුකරන මේ ආකාර යුධ ගැටුමක කුමන යථාර්තයක් ද?
කුමන ජයග්‍රහණයක් ද? සන්නද්ධ ගැටුම් වලින් අවසානයේ දී ශේෂ වන විජයග්‍රහණය වන්නේ සිවිල් වැසියන්ගේ ජීවිත හානි, ආර්ථික සමාජයීය බිඳවැටීම කලාපීය මෙන්ම ගෝලීය සාමය ද තර්ජනයට ලක්වීම පමණකි. මෙය ලෝකයේ කුමන ස්ථානයක, කුමන ආකාරයෙන්, කුමන පාර්ශ්වයන් මැදිහත් වීමෙන් සිදුවූවත් එය එකම යථාර්තයකි. මැදපෙරදිග කලාපයේ හමාස් සංවිධානයට, ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටීමට ලෙබනන් හිස්බුල්ලා කණ්ඩායම සහාය පල කරන බව පැවසුව ද හමාස් කණ්ඩායමට වඩා වැඩි ශක්තියක් හිස්බුල්ලා කණ්ඩායමට ඇති බැවින් අවසානයේ දී ඔවුන් හමාස් කණ්ඩායමට ද තර්ජනයක් වේවි ද යන්නත් ලෝක දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත. උපායමාර්ගික අධ්‍යයනයන් වල ද නිරතුරුවම පෙන්වා දෙන යථාර්තය වන්නේ ඒ ඒ පාර්ශ්වයන්ගේ ප්‍රකාශයන්, හැසිරීම්, දැක්මන් යටි අරමුණක් හා බැඳී පවතින බවයි.
ඊශ්‍රායල–ලෙබනන් හිස්බුල්ලා ගැටුම ඉදිරියට යාම වැළකීම උදෙසා මේ දිනවල සටන් විරාමයක් පිළිබඳ යෝජනාවක් පළ වී ඇත. එනම් ඇ. එ. ජනපදය දිගින් දිගටම ප්‍රකාශ කර ඇති පරිදි හමාස් සංවිධානය විසින් තමන් භාරයේ සිටින ඊශ්‍රායල සොල්දාදුවන් හා සාමාන්‍ය ජනයා ද ඇතුළත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට මෙන්ම ඊශ්‍රායල හා ලෙබනනය අතර දේශසීමාව අසල මතුවී ඇති වියවුල්කාරී තත්ත්වය පහ කිරීම උදෙසා කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් සාකච්ඡා අරඹා සටන් විරාමයකට යාමට ඉඩ ප්‍රස්ථා සලසා ගැනීම මින් අරමුණ වේ.
මේ සම්බන්ධව ඊශ්‍රායල බුද්ධි අංශ ප්‍රධානී අගමැති බෙන්ජමීන් නෙතනියානු කරනු ලබන යෝජනාවට හමාස් සංවිධානය එකඟ වී ඇති බව රොයිටර් ප්‍රවෘත්ති අංශය නිවේදනය කොට ඇත. ගාසා තීරයේ සටන් විරාමය සම්බන්ධයෙන් ඉස්ලාමීය හමුදා සංවිධානය ගෙන ආ ඉල්ලීම වී ඇත්තේ සටන් විරාම ගිවිසුම් අත්සන් කිරීමට පෙර ඊශ්‍රායලය පළමුව සටන් විරාමයකට පැමිණිය යුතු බවයි.
ගාසා තීරයේ වත්මන් තත්ත්වය හමුවේ සෑම ආකාරයකින්ම පීඩා විඳින්නේ අසරණ සිවිල් වැසියන්ය. ඇත්ත වශයෙන්ම අසරණ සිවිල් වැසියන් තමන් කොයි දෙසකට යන්නේ ද යන්න සිතා ගත නොහැකිව අසරණ වී ඇත. ඊශ්‍රායල සිර ගෙවල්වල පලස්තීන සිරකරුවන් ගත කරන ඛේදජනක තත්ත්වය පෙන්වා දෙමින් විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත්තේ, ජූනි 26 වනදා පටන් ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා පවසා ඇත්තේ පලස්තීන සිරකරුවන්ට දෙනු ලබන ආහාර ප්‍රමාණය අඩු කළ යුතු බවයි. ඊශ්‍රායල සිරකඳවුරුවල පලස්තීන වැසියන් හාමතේ පසුවන බව පලස්තීන මාධ්‍ය වාර්තා කොට ඇති අතර, ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කොට ඇත.
මේ අවස්ථාව වන විටත් ලෙබනන් හිස්බුල්ලා හා ඊශ්‍රායලය හමුදා අතර ඊශ්‍රායල–ලෙබනන් දේශසීමාවේ රොකට් වෙඩි ප්‍රහාර, ඩ්‍රෝන ප්‍රහාර සක්‍රීයව පවතී. මීට දින කීපයකට පෙර එක්සත් රාජධානියේ නව අගමැති ලෙස පත් වූ සර් කියර් ස්ටැමර් පවසා ඇත්තේ, මේ තත්ත්වය පිළිබඳ සාකච්ඡාවට තමන් ඊශ්‍රායල අගමැති බෙන්ජමීන් නෙතනියාහුට ඇමතුමක් ගත් බවයි. ලොව බලවතුන්ට පවා ගාසා තීරයේ නොනවත්වා ඇරඹෙන නව ගැටුම් අවසන් කිරීම ඉතා දුෂ්කර වී ඇති බව ඔප්පු වී හමාරය. මැද පෙරදිග කටයුතු සම්බන්ධ, ධවල මන්දිර උපදේශක බ්‍රෙට් මැක්ගෘක් (Bret McGurk) හා CIA අධ්‍යක්ෂ බිල් බර්න්ස් (Bill Burns) එක්ව ගාසා තීරයේ සටන් විරාමයක් ඇතිකිරීම සම්බන්ධව හා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී. මෙම නිලධාරීන් දෙදෙනාගේ අදහස වී ඇත්තේ, හමාස් සංවිධානය මේ අවස්ථාවේදී තමන් සිතුවාට වඩා නම්‍යශීලීව කටයුතු කරන බවයි. ඊශ්‍රායල අගමැති නෙතනියාහු ද මේ සඳහා කැපවීමෙන් කටයුතු කරයි යැයි ඔවුන් විශ්වාසය පළ කොට ඇත. ඊජිප්තුවේ කයිරෝ නුවරට ඇමරිකන් නියෝජිත බර්න්ස් දැනටමත් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.
දශක ගණනාවක් පටන් ලෝක බලවතුන්ගේ ද කුමන හෝ සහායක් ලබමින් ගාසා තීරයේ ඇවිලෙන ගිනිදැල් නිවීම එතරම් පහසු කටයුත්තක් නොවන බව නම් ඔප්පු වී හමාරය. ලෝකයේ විවිධ රටවල වැසියන් ගාසා තීරය තවත් සමූල ඝාතක (Genocide) කලාපයක් නොවීමට වගබලා ගත යුතු බවත් ඔවුනට අවි සැපයීම වහ වහා නතර කළ යුතු බවත්, පවසමින් වීදි බැස ඇත. ලෝක ආර්ථිකයට මහත් බලපෑමක් කරන්නා වූ තීරක කලාපයක් වන මෙම කලාපයේ සාමය හා ස්ථාවරත්වය ස්ථාපිත කොට සිවිල් වැසියන්ගේ ජන ජීවිතය සුරක්ෂිත කිරීම ඉතා කඩිනමින් කළ යුත්තකි.