Colombo Telegraph

දුක, දුකට හේතුව හා සංහිදියාව

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

අම්පාරේ සිට මහනුවරට එන ගමනේ දී මහඔය පසු කරන තෙක් මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් සිංහල ගම්මාන කිහිපයක්ම හමු වේ. ඒවා අයත් වන්නේ පෝරතිව් පත්තු, මන්මුනෙයි නිරිත, මන්මුනෙයි බටහිර හා එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්ට යි. එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් පිහිටා ඇත්තේ පිළිවෙලින් වෙල්ලාවලි, පඩ්ඩිපලෛයි, වවුනතිව් හා චෙන්කලඩි යන කුඩා නගර වල ය. ජන ඝනත්වය එතරම් බහුල නැති එම ප්‍රදේශ වල සින්නවත්ත, මංගලගම, පුළුකුනාව, කෙවිලියාමඩුව, අරන්තලාව හා කොස්ගොල්ල වැනි ග්‍රාමයන් පිහිටා තිබේ. මෙම සිංහල ගම්මාන සමහරක් ගල් ඔය සංවර්ධන ව්‍යාපාරය යටතේ ස්ථාපිත වූවකි. සමහරක් පසු කාලීනව අලුත් පදිංචිකරුවන් නිසා ජනාවාස වූවකි.

සිංහලයන්ට කාගේ පිහිට ?

යුද්දය පැවැති කාලයේ මෙම ගම්මාන පැවැතියේ යුද ගම්මාන වශයෙනි. නැගෙනහිර ජන සංයුතිය වෙනස් වන පරිදි සිදු කළ සිංහල ජනාවාස කිරීම් යැයි හදුන්වමින් කොටි සංවිධානය මේ සිංහලයන් සමග සිටියේ බද්ධ වෛරයකිනි. එනිසා ඔවුන් සෑම මොහොතකම කල් යල් බලමින් සිටියේ ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මරා දමන්නට ය. නැත්නම් බියකර එළවා දමන්නට ය. මේ නිසා අම්පාර – මහනුවර මහා මාර්ගයේ රජගලතැන හන්දියේ සිට මහඔය දක්වා කාලයක් පැවතුනේ අතිශය අනතුරුදායක මට්ටමක ය

මේ අතිශය අනතුරුදායක කලාපයට නුදුරින් පිහිටි ගල් ඔය ජනපද ව්‍යාපාරය යටතේ ජනාවාස කළ බක්කි ඇල්ල, රජගලතැන්න, නුගේලන්ද ප්‍රදේශයන්හි සිංහල ජනතාව සමග නැති වෛරයක් අරන්තලාව, පුළුකුනාව, කෙවිලියාමඩුව හා මංගලගම ප්‍රදේශයන්හි සිංහලයන් සමග තිබුණි. ඊට හේතුවන්නට ඇති කාරණා කිහිපයකි. එක්දහස් නවසිය පනස් ගණන් වල පදිංචි කළ ගල් ඔය ව්‍යාපාරයේ ජානපදිකයන් වූ බක්කි ඇල්ල, රජගලතැන්න හා නුගේලන්ද ප්‍රදේශයන්හි සිංහලයෝ දීර්ඝ කාලයක් තිස්සේ දෙමළ ජනතාව සමග සහෝදරත්වයෙන් සිටියහ. විශේෂයෙන් බක්කිඇල්ල ගම්මානයේ පසෙකින් සිංහල ජනතාව ජීවත්වෙන විට අනෙක් පසෙන් ජීවත්වූයේ දෙමළ ජනතාවයි. ජාතිකත්වයන් දෙකෙහි ජනතාව මගුලට මරණයට හා වෙනත් උත්සවයන්ට සහභාගී වෙමින් කාලයක් තිස්සේ සහෝදරත්වයෙන් ජීවත් වුහ.

එහෙත් ඒ සහෝදරත්වය පුළුකුණාව, කෙවිලියාමඩුව, අරන්තලාව, මංගලගම හා කොස්ගොල්ලේ සිංහලයන් සමග ඇතිවීමට කාලයක් නොවීය. ඔවුන් එකිනෙකා අතර වෛරයක් මෝදු වූයේ එම කලාපය ජනාවාස වූයේ පසු කාලීනව නිසා ය. එසේ ජනාවාස වූ අය අතර  රජයේ ආරක්ෂක හමුදා සාමාජිකයෝ, වෙනත් ප්‍රදේශයන්හි ජීවත්ව සිට පොලිස් පොතේ නිතර නම ලියවුණු පිරිස් හා නිතර නිතර බන්ධනාගාරයට නෑ ගම් ගිය පිරිස් වූහ. ඒ නිසා එම ජනතාව සමග සහෝදරත්වයක් ගොඩනැගීමට කොහෙත්ම ඉඩක් නොපවතී.  දෙපිරිසේ ජනතාව එකිනෙකා දෙස බැලුවේ වෛරයකිනි. තමන්ගේ ඉඩකඩම් අල්ලා ගැනීමට ආ පිරිසක් ලෙස දෙමළුන් විසින් සිංහලයන්ව දුටු අතර උපන් බිමේ තමන්ව කැති ගසන්නට බලා සිටින පිරිසක් ලෙස සිංහලයන් විසින් දෙමළුන්ව දුටහ. ඒ නිසා නිතර ඇති වූයේ එකිනෙකා මරා ගැනීම පමණි.

මිනිස් රුධිරය අසීමිත ලෙස ගලා ගියේ ය. මිනිස් මාංශ ද තැන තැන විසිර ගියේ ය. ජන ඝාතක යුද්දය අවසන්ව ඇත. දැන් අවශ්‍යව ඇත්තේ දෙපිරිසේ ජනතාවට ජීවත් වන්නට සාධාරණ සමාජයක් ගොඩනංවා ගැනීම ය. එහිදී සිංහලයන්ට පමණක් නොව දෙමළුන්ට ද මිලක් වැය කරන්නට සිදුවේ. මිලක් ගෙවීමකින් තොරව සාමය නොමිලයේ ලැබෙන්නේ නැත. දෙමළ ජනතාවට කාලයක් තිස්සේ අහිමිවූ මිනිසු අයිතීන් ලැබිය යුතු බව පිළි ගැනීම මෙන්ම ඒවාට හිමිකම් කීම ද අනිවාර්යෙන්ම සිදු විය යුතුය. ඒ අර්ථයෙන් දෙජාතියේ ජන කොටස් අතර සංහිදියාව අනිවාර්යෙන් ගොඩනංවා ගත යුතුව ඇත.

ගල් ඔය ව්‍යාපාරයේ ජානපදිකයන් වූ බක්කිඇල්ල, රජගලතැන්න හා නුගේලන්ද වැසියෝ සාපේක්ෂ ලෙස සතුටින් සාමදානයෙන් ජීවත් වෙති. ඊට හේතුව උපන් බිමේ අනන්‍යතාවක් ඔවුන්ට ලැබී ඇති බැවිනි. ඔවුන් අයත් වන්නේ බහුතරය සිංහල වූ උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට ය. එහෙත් සින්නවත්තේ ජානපදිකයන් අයත් වන්නේ බහුතරය දෙමළ වූ පෝරතිව් පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට ය. සින්නවත්තේ සිංහල වැසියන් පෝරතිව්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සුළු ජාතියයි. පුළුකුණාව, මංගලගම, කෙවිලියාමඩුව, අරන්තලාව හා කොස්ගොල්ලේ ජනතාව මන්මුනෙහි නිරිත, මන්මුනෙහි බටහිර හා එරාවුර් පත්තු පාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන්හි සුළු ජාතියයි. 

බහුතරය හමුවේ සුළුතරය නොසලකා හැරීම ලාංකික සමාජයේ බරපතල ව්‍යාධිජනක ලක්ෂණයකි. මෙතෙක් කලක් ජාතිකත්වයෙන් සුළුතරය වූ දෙමළාට නොසලකා හැරීමේඅ ආදිනව තේරුම් ගන්නට මෙය කදිම අවස්ථාවකි. රටේ බහුතරය වූ සිංහලයා ද පෝරතිව් පත්තු, මන්මුනෙහි නිරිත, මන්මුනෙහි බටහිර එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි දී සුළුතරය බවට පත්ව දුක් විදිති.  ජාතිකත්වයන් දෙක අතරම සංහිදියාව ඇති කිරීම සදහා මේ අත්දැකීම කදිම පාඩමක් උගන්වයි. ඒ යන ගමනට සිංහල බෞද්ධ ජන කොටස අතර සුජාතභාවයක් හා පිළිගැනීමක් ලැබෙන්නේ උපන් බිමේ අනාථව සිටින සිංහලයන්ට ද ජීවත්වීමේ අයිතිය ලැබුනහොත් පමණි. ඒ අනුව මංගලගම, පුළුකුණාව, කෙවිලියාමඩුව, අරන්තලාව හා කොස්ගොල්ලේ සිංහල ජනතාවට ද සාධාරණය ඉටුවිය යුතුය.

මේ සිංහල ගම්මානයන්ගේ ජනතාව විදින අපා දුක සොයා බලන්නට කිසිවකු කිසිවකු නොමැත. මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල නියෝජනයක් පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ හෝ නොමැත. එහි සිටින සිංහල නොවන මහජන නියෝජිතයන් ද සිංහල ජනතාවගේ දුක් ගැනවිලි වලට සංවේදී නොමැත. ඒ නිසා මඩකලපුව දිස්ත්‍රික්කයේ ආන්තීකරණයට ගොදුරුව ඇති මෙම සිංහල ජනතාවගේ දුක් පීඩාවන් වලට විසදුමක් ලබාදෙන්නට කිසිවෙක් ඉදිරිපත් නොවේ.

දෙමළ අභියෝගයට බියගුළු උත්තර සෙවීමේ ආනිසංස

වාර්තාවන පරිදි මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වැලිඔය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් හතරක් මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාවට අයත් වේ. ඒ අනුව ජනකපුර, කිරීබ්බන්වැව, නව ගජබාපුර හා ඇහැටුගස්වැව ග්‍රාම නිලධාරී වසම් වල ජනතාව තම ඡන්දය පාවිච්චි කර නියෝජිතයන් පත් කර යැවිය යුත්තේ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාවට ය.

එසේම වැලිඔය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉතුරු ග්‍රාම නිලධාරී වසම් පහ වන ගජබාපුර, කල්‍යණපුර, ඇතාවැටුනවැව, නිකවැව දකුණ හා නිකවැව වම යන ග්‍රාම නිලධාරී වසම් වව්නියාව උතුර (නෙදුන්කර්නි) ප්‍රාදේශීය සභාවට ය. ඒ අනුව එම ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව තම ඡන්දය පාවිච්චි කර නියෝජිතයන්  පත් කර යැවිය යුත්තේ වව්නියාව උතුර (නෙදුන්කර්නි) ප්‍රාදේශීය සභාවට ය.

එකම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක වාසය කරන ජනතාවට ප්‍රදේශීය සභා දෙකකට තම නියෝජිතයන් පත් කර යැවීමට සිදුවීම සංකීර්ණ පරිපාලන ආරවුලකි. එසේම වැලිඔය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සාතිශය බහුතරය සිංහල ජනතාව වන අතර ඔවුන් දෙමළ බහුතරයක් වාසය කරන මුහුදු බඩ පත්තුව හා නෙදුන්කර්නි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්හි ඡන්දදායකයන් බවට පත් කිරීම ද අනවශ්‍ය ගැටළු මතු කරන්නකි. 

වව්නියාව පරිපාලන දිස්ත්‍රික්කයට අයත් බෝගස්වැව ප්‍රදේශයේ අලුත් පදිංචිකරුවන්ට ද මෙවැනිම අභාග්‍යයක් උදා වී තිබේ. 2011 පමණ රාජපක්ෂ රෙජීමයේ මැදිහත්වීමෙන් ජනාවාස කළ බෝගස්වැව (i), නන්දිමිත්‍රගම, සැළලිහිණිගම, නාමල්ගම හා බෝගස්වැව (ii) යන ගම්මානයන් මේ වනවිට තමන් කුමන පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වන්නේදැයි නොදැන අසරණව සිටී. ඊට හේතුව රාජ්‍ය පරිපාලකයන්ගේ සහාය නොලබා මුළුමනින්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මහ වනය කපා ත්‍රිවිධ හමුදාවේ සහායෙන් මේ ජනපදකරණය කළ නිසා ය. ත්‍රිවිධ හමුදාව පරිපාලන නීති ගැන නොතකමින් තමන්ට ලැබුන දේශපාලන අණ ක්‍රියාත්මක කරමින් තැන තැන කැළෑව කපා මිනිසුන් පදිංචි කර තිබේ.

එම ප්‍රදේශය දිස්ත්‍රික්ක තුනක මායිමක් නිසා බෝගස්වැව ප්‍රදේශය අයිති වන්නේ කුමන දිස්ත්‍රික්කයට ද කුමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ද කුමන ප්‍රාදේශීය සභාවට ද යන්න නිශ්චිත නැතිව මහජනතාව දැඩි දුෂ්කරතාවට වැටී සිටිති. මේ නිසා වව්නියාව උතුර (නෙදුන්කර්නි) ප්‍රාදේශීය සභාව, වව්නියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව හා පදවිය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනයන් හතර අතර මෙම ජනතාවගේ ඡන්ද අයිතිය දෝලනය වෙමින් පවතී. බෝගස්වැව ප්‍රදේශයේ ආසන්න ගමක් වන වෙහෙරතැන්න පදවිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් බව දැනටමත් සොයාගෙන ඇත.

මේ සිංහලයන් අසරණ වී ඇතත් ඔවුන්  මේ ජනශූන්‍ය ප්‍රදේශයන්හි පදිංචි කරවමින් ජනාවාස ඇති කළ දේශපාලනය නම් අහිංසක නැත. වැලිඔය ජනාවාස කිරීම ආරම්භ වූයේ අසූව දශකයේ මුල ය. එහිදී ඊට නායකත්වය දුන් සිංහල දේශපාලකයන්ගේ හා රජයේ ඉහළ නිධාරීන්ගේ අවශ්‍යතාව වූයේ යාන් ඔය නිම්නයේ සිට නෙදුන්කර්නි දක්වා සිංහල ජනතාව පදිංචි කර උතුරු හා නැගෙනහිර පළාත් අතර මිනිස් බැම්මක් බැදීමට ය. එමගින් දෙමළ විමුක්ති ව්‍යාපාරයෙන් එල්ල වූ මිලිටරිමය අභියෝගයට මුහුණ දෙන්නට ය. 

දෙමළ ජනතාවට අයත් වූ කුඩා හා විශාල ගොවිපළවල් මෙම ප්‍රදේශයේ ව්‍යාප්තව තිබූ අතර 1965 දී ආණ්ඩුවෙන් අනූනව අවුරුදු  කාලයකට බදු ගත් විශාල ගොවිපළ ද ඒ අතර විය. ඒවා අතර අක්කර දහයේ සිට පනහ දක්වා වූ වපසරියක ඉඩම් හිමිකරුවෝ ද වූහ. ඊට අමතරව විශාල වැවිලිකරුවන් ද වූ අතර ඔවුන් දහසයදෙනෙකුට අක්කර දහස ඉක්මවන ගොවිපළ හිමි විය. එවැනි විශාල ගොවිපළ අතර නාවලර්, සිලෝන් තියටර්, කෙන්ට්, රේල්වේ ගෘප්, පෝස්ට් මාස්ටර් ගෘප් හා ඩොලර් වැනි ගොවිපළ විය. මෙම ගොවිපළ වල මහන්සි වී කෘෂිකාර්මික කටයුතු වල නිරත වූයේ කන්ද උඩරට ජීවත් වූ එහෙත් 1977 වාර්ගික ගැටුම් වල දී අනාථ වූ ඉන්දියන් දෙමළ ජනතාව ය.  

මේ විශාල ගොවිපළ සිංහල ජනපදකරණයට විශාල බාධාවක් බව පාලකයෝ කල්පනා කළහ.  අවසානයේ තීන්දු වූයේ ඔවුන් එළවා දමා තමන්ගේ උපක්‍රමික සැලසුම වූ යාන් ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි. ඒ සදහා ශක්ති සම්පන්න ධෛර්යමත් ත්‍රාඩ සිංහලයන් අවශ්‍ය වූ බැවින් ඔවුන් තෝරා ගත්තේ බන්ධනාගාරවල දඩුවම් විදින සිංහල වරදකරුවන් ය. එක්තරා සැලසුම්ගත ක්‍රියාවලියකින් පසුව ඉන්දියන් දෙමළ ජනතාව නැවතත් කන්ද උඩරට එළවා දමමින් ඩොලර් හා කෙන්ට් ගොවිපළ විවෘත බන්ධනාගාර රැදවුම් භූමියක් ලෙස ප්‍රකාශ කරමින් ඒවායේ පෙර කී ත්‍රාඩ සිංහල රැදවියන් ස්ථාන ගත කළහ.

අතීත පාලකයන් ප්‍රශ්නයන්ට විසදුම් සෙවූ අන්දමින්ම රාජපක්ෂ යුගයේ දී ද විසදුම් සොයන්නට විය. ඔවුහු වව්නියාවේ බෝගස්වැව ප්‍රදේශයේ ජනපදකරණයක් ව්‍යාප්ත කරමින් රටේ නන්දෙසින් රැගෙන ආ මිනිසුන් එම ප්‍රදේශයේ පදිංචි කළහ. එම ප්‍රදේශයේ අතීත සිංහල ජනාවාස තිබුනා යැයි කියමින් සිදු කළ එම ජනපදකරණය නිසා විශාල පාරිසරික ගැටළු මෙන්ම පරිපාලන ගැටළු ද නිර්මාණය වී තිබේ. දේශපාලන අවශ්‍යතා මත සිදු කළ එම ජනපදකරණය නිසා කිසිම පහසුකමක් නොමැතිව එම සිංහල ජනතාව අපා දුක් විදිමින් සිටිති.

ජාතික ප්‍රශ්නයට ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙලකින් යුතුව මුහුණ දෙන්නට නොහැකිව පාලකයන් තෝරා ගත්තේ මිලිටරිමය හා වාර්ගිකව පිරිසිදු කිරීමේ උපක්‍රමයන් ය. එහෙත් ඒවායේ මුග්ධ බව නිසා වන්දි ගෙවන්නට සිදුවී ඇත්තේ එම අදූරදර්ශී දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටි අහිංසකයන් පිරිසකට ය. දේශපාලකයන්ගේ පටු දෘෂ්ටිය නිසා ඔවුහු දිගින් දිගටම පීඩා විදිමින් සිටිති. ජාතිකත්වයන් අතර සහජීවනය ඇති කිරීමේ දී ඓතිහාසයේ සිදුවූ මෙවැනි වරද නිවැරදි කිරීම ද අවශ්‍යයෙන්ම කළ යුතුය. 

ජාතිකත්වයන් අතර සංහිදියාව අත්‍යවශ්‍යම සාධකයකි. එහෙත් ඒ සංහිදියාව ඇති කළ යුත්තේ ජාතිකත්වයන් දෙකෙහිම තෘප්තියට හේතුවන පරිදිය. සිංහල ජන කොටසේ සුජාත එකගතාවකින් තොරව කල් පවත්නා වූ සංහිදියාවක් ඇති කර ගත නොහැක. ඒ සදහා පළමු පියවර ලෙස උතුරු නැගෙනහිර පළාත්වල ආන්තීකරණයට ලක්ව සිටින සිංහල ජනතාවගේ ප්‍රශ්න විසදිය යුතුය. 

එවැන්නකින් තොරව ජාතික ප්‍රශ්නයට කල් පවත්නා විසදුමක් සෙවීම අතිශය දුෂ්කර කටයුත්තකි.

Back to Home page