Colombo Telegraph

ගෝටා ආරක්ෂා කරමින් ශවේන්ද්‍රට පහරදීම

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

යුද හමුදාපති ධූරයට ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමත් සමග මුළු බටහිරම ගිනි ගත්තේ ය. ඇමෙරිකන් එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝපා සංගමය එම පත් කිරීමට එරෙහිව දැඩි විරෝධය පළ කළහ. මූලිකම විරෝධය පළ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මෙචෙල් බැචලේ ය. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට උසස් කිරීම මගින් සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බවද ඇගේ ප්‍රකාශයේ සඳහන් වේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් කරමින් අගෝස්තු 19 වන දා සඳුදා  ඇමෙරිකා එක්සත් ජනපදය පැවසුවේ සිය “දැඩි අවධානය” යොමු වී ඇති බවකි. “එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල සහ විශ්වසනීය වේ” යනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් විය.

එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති අවසන් සටනේදී යුද හමුදාවේ 58වැනි සේනාංකයට ශවේන්ද්‍ර සිල්වා අණදුන් අතර ඔහු හමුදාපති වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලය ද විරෝධය පළ කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ලුතිනන් ජෙනරාල් සිල්වාට එරෙහිව “යුද සමයේදී මානව හිමිකම් උල්ලංඝණය කළේ යැයි පිළිගත හැකි චෝදනා” ඇති බැවින් ඔහු යුද හමුදාපති වශයෙන් පත්කිරීම ගැන තමන් “දැඩිලෙස සැලකිලිමත්” වන බවය. ඔහුගේ පත්කිරීම නිසා “සංහිදියාව සහ වගවීම” සම්බන්ධයන් කෙරෙමින් පවතින කටයුතු යටපත් වන බව ද කැනඩා මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් මතුවන ජාත්‍යන්තර අවධානයට එක්වූ යුරෝපා සංගමය ද, මේ පියවර නිසා “සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බව” පැවසීය. යුරෝපා සංගමය පසුගිය 20 වෙනිදා එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කළේ රටවල් හයක දූත මණ්ඩලවල එකඟතාව ඇතිවය.

මේ අතර මතුවෙමින් පවතින ජාත්‍යන්තර ප්‍රතිචාරවලට පිළිතුරක් දෙමින්  නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ, යුද හමුදාපතිවරයා පත්කිරීම “රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්” බවකි. එහි තවදුරටත් දැක්වෙන්නේ “විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමටඋත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවක්” බවය.

“චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කනගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ” යනුවෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුත්තක් සම්බන්ධයෙන් මුළු බටහිර ප්‍රජාවම මේ තරම් සැලකිල්ලක් දක්වමින් ඊට විරුද්ධ වෙද්දී වෙනදා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ප්‍රජාවට එරෙහිව අවි අතට ගන්නා ලාංකික සමාජයේ බොහෝ පාර්ශ්වයන් අනුගමනය කළේ නිහඩ පිළිවෙතකි. ගෝඨාභය රාජපක්ෂගේ ‘වියත්මඟ’ ඇතැම් ක්‍රියාකාරීන් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රතිචාරය දැඩිව හෙළාදැක ඇතත් ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් කර නොමැත. 

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ඔහුට සහය පලකරන විමල් විරවංශ හා උදය ගම්මන්පිල වැනි පක්ෂ නායකයින්ගේ ද සැකයට බඳුන්ව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. කෙසේ වෙතත් මේ නිසා බටහිරට එරෙහිව දැඩිව ක්‍රියාශීලීව කටයුතු කරන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වැනි දේශපාලකයන් ද නිහඩ කර ඇත. මේ සම්බන්ධයෙන් ගෝටාභය රාජපක්ෂගේ නිහඩතාව රාජපක්ෂ දේශපාලනයේ සැබෑ තත්ත්වය හෙළිදරව් කරන්නක් බව නොකිය යුතු කරුණකි.

ජාතික රාජ්‍ය සංකල්පය තුළ ඒ ඒ රටේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් වෙනත් රටවල් උනන්දුවීම ජාතික රාජ්‍යයේ සෛවරිත්වයට බලපාන කරුණකි. එහෙත් දේශපාලන අවකාශය ගෝලීය මට්ටමට වර්ධන වූ පසුව සෛවරීත්වය වැනි සංකල්ප පවා අභියෝගයට ලක්ව තිබේ. එක් අතකින් මුළු ලෝකයම ආර්ථික බැදීම් වලින් එකට එකතුවී තිබේ. අනෙක් අතින් සාමූහික ආචාර ධර්ම වලින් බොහෝ රටවල් බැදී තිබේ. මේ නිසා එක් එක් ජාතික රාජ්‍යයකට තනි තනි තීන්දු තීරණ රැගෙන සෛවරීත්වය භුක්ති විදීම සමාජ සංවර්ධනයට බාධාවක් වෙමින් පවතී. ඊට හොදම උදාහරණය අයි එස් අයි එස් සංවිධාන වැනි ගෝලීය ත්‍රස්තවාදයේ ක්‍රියාකාරීත්වයයි. 

එක්සත් ජනපදය ප්‍රමුඛ බලවත් රටවල් ජාතික රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම සම්බන්ධයෙන් එරෙහිවීම යනු ඒ ඒ ජාතික රාජ්‍යයන්ගේ වාසි සහගත දේට ඉඩ දීමත් අවාසි සහගත දේට විරුද්ධවීමත් නොවේ. උදාහරණයකට ඇමෙරිකන් එක්සත් ජනපදය විසින් ගෝලීය ත්‍රස්තවාදය මුළුනුපුටා දැමීමේ තම වැඩසටහන යටතේ 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකාව සමග යුද ගිවිසුමක් අත්සන කළේ ය.

එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් යුදමය සහාය එල්ටීටීඊ සංවිධානය සමූල ඝාතනය කිරීමේ ලා ශ්‍රී ලංකා රජයට අතිශය වැදගත් විය. එසේම යුරෝපා සංගමය ප්‍රමුඛ මුළු බටහිරත් මහජන චීනය, ඉන්දියාව හා පාකිස්ථානයත් එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්දයේ දී ශ්‍රී ලංකාව හා එක පෙළට සිට ගත්තෝ ය. එදා එවැනි මැදිහත්වීමක් කළ රාජ්‍යයන් අද ද යම් යම් කාරණා සම්බන්ධයෙන් මැදිහත්වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එහෙත් යුද්දයට සහාය දෙමින් රටේ අභ්‍යන්තර කටයුතු වල දී බටහිර කළ මැදිහත්වීම ඉවසූ බොහෝ අය දැන් බටහිර විසින් කරන මැදිහත්වීම් නොඉවසති. 

අනෙක් අතින් ලෝක සාමය හා සංහිදියාව උදෙසා ජාත්‍යන්තර සම්මුතීන් හා එකගතාවන් රැසක් මගින් ලෝකයේ රාජ්‍යයන් එකිනෙක බැදී පවතී. එවැනි තත්ත්වයක දී එක් රාජ්‍යයක අභ්‍යන්තර කටයුතු පවා තවත් රටක පැවැත්ම සදහා බරපතල බලපෑමක් කළ හැකිය. එවැනි තත්ත්වයක දී එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන මැදිහත්වීම කිසිසේත්ම ප්‍රතික්ශේප කළ නොහැක. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගොඩනැගී ඇත්තේම එවැනි අරමුණකිනි. එනිසා ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ මැදිහත්වීම රජය විසින් රාජතාන්ත්‍රිකව කළමනාකරණය කරගත යුතුය.

වරක් ඉන්දියාව හා පකිස්ථානය න්‍යෂ්ටික තාක්ෂණය යොදා අවි නිපදවීමත් සමග මුළු බටහිරම ඊට එරෙහිව නැගී සිටියහ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයාගෙන් ජනමාධ්‍ය විමසුවේ ය. එවකට විදේශ අමාත්‍ය ධූරය දැරූ ලක්ෂමන් කදිරගාමර් ඊට අපූරු පිළිතුරක් සැපයුවේ ය. ඔහු ප්‍රකාශ කළේ ලෝක න්‍යෂ්ටික බලවතුන් සංඛ්‍යාව දෙකකින් වැඩිවීම බරපතල ප්‍රශ්නයක් නොවන බවයි. ඒ තුළ බටහිර රටවලට සියුම් පහරක් එල්ල කිරීමට කදිරගාමර් සමත් විය. එහෙත් එවැනි රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකාවට දැන් නොමැති නිසා එක්සත් ජනපදය හා යුරෝපා සංගමයට පිළිතුරු දී තත්ත්වය කළමනාකරණය කර ගැනීම අපහසු වී තිබේ.

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලිය මැද පෙරදිග රටවල දී අනුගමනය කරන යුදමය ස්ථාවරය විවේචනය කිරීම මේ ප්‍රශ්නයට පිළිතුර නොවේ. ලෝක දේශපාලනයේ දී එකිනෙකට පරස්පර ප්‍රතිපත්ති අනුගමනය කිරීම විදේශ ප්‍රතිපත්ති වල ස්වභාවයයි. බොහෝ රටවල විදේශ ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ පරමාදර්ශය මත නොව උපයෝගීතාව අනුව ය. විශේෂයෙන් ප්‍රබල රාජ්‍යයන්ගේ විදේශ ප්‍රතිපත්තිය පදනම් වන්නේම උපයෝගිතාව මත ය. එවිට ඒ  රටවලට ඇගිල්ල දිගු කර පරස්තාව විමසමින් තමන් කරන වැරදි සාධාරණීකරණය කර ගැනීමට උත්සාහ කිරීම බොළද ක්‍රියාවකි.

ඒ අර්ථයෙන් එක්සත් ජනපදය ලෝක දේශපාලනයේ දී කරන වැරදි හුවා දක්වමින් ශ්‍රී ලංකාවට එල්ල වන චෝදනා වලින් වහං විය නොහැකිය. එසේ වහංවීමට තැත් කිරීමම ළාමක ක්‍රියාවක් වන අතර රාජතාන්ත්‍රික වශයෙන් තම දිළිදු බව කියා පාන්නකි. නමුත් ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ කරමින් සිටින්නේ ඒ ළාමක ක්‍රියාවම ය. විදේශ රටවලින් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වන සෑම විටම පෙරලා ඒ රටවලට චෝදනා එල්ල කරමින් තමන් ආරක්ෂාවීමට උත්සාහ ගනී.

එල්ටීටීඊ සංවිධානයට එරෙහි අවසන් යුද්දය එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලියේ පූර්ණ ආශීර්වාදය මත සිදුවුනත් යුද බිමේ දී සිදුවූ අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ගේ එකගතාවක් ශ්‍රී ලංකා රජයට ලැබී නොමැත. එනිසා බටහිර ප්‍රබල රාජ්‍යයන් ශ්‍රී ලංකාවට තරවටු කරන ස්ථාවරයක සිටියහ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතල ස්ථාවයක සිටියේ ය. එය සමනය කර ගත්තේ 2015 දී පත්වූ අලුත් ආණ්ඩුව සංහිදියාව හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් නව මාර්ගයක ගමන් කරන්නට සපථ කිරීම නිසා ය. එහෙත් යුද අපරාධ චෝදනා එල්ලවූවකු යුද හමුදාපති ධූරයට පත් කිරීමෙන් ශ්‍රී ලංකාව ගමන් කරන්නට සූදානම් වූ සංහිදියා මාර්ගයට තමන් විසින්ම බාධා පමුණුවා ගෙන තිබීම කනගාටුදායක ය.

රාජපක්ෂ රෙජීමය පරාජය කළා නම් රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සංස්කෘතිය අහෝසි කළා නම් රජය විසින් කළ යුතුව තිබුණේ තමන් විසින් රට තුළ ස්ථාපිත කරන්නට පොරොන්දු දුන් නව දේශපාලන සංස්කෘතිය අනුව කටයුතු කිරීම ය. එසේ වූවා නම් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අවම වශයෙන් යුද හමුදාපති ධූරයට පත් නොකළ යුතුව තිබුණි. එහෙත් ඔහුව එම තනතුරට පත් කිරීමෙන් ජනාධිපතිවරයා ලබා දී ඇති පණිවුඩය වන්නේ තමන් රාජපක්ෂ දේශපාලනයෙන් වෙන් වන්නට සූදානම් නොමැති බව ය.

ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු මුළු බටහිර ඈලියම කටයුතු කරන්නේ පරස්පර විරෝධතා තුළ බව සත්‍යයකි. යුද්දය ක්‍රියාත්මක වන විට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වූ ගෝටාභය රාජපක්ෂ සම්බන්ධයෙන් මෘදු පිළිවෙතක් අනුගමනය කරන එක්සත් ජනපදය ඔහු යටතේ යුද වැදුනු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් වෙනස් පිළිවෙතක් අනුගමනය කරයි. ගෝටාභය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජනපද රජයට ඉල්ලීම් ඉදිරිපත්ව තිබිය දී ත් කිසිවක් නොකළ ද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එක්සත් ජනපදයට ඇතුළුවීමට වීසා පවා නිකුත් නොකරයි. එසේම ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වටා එළව එළවා පහර දෙයි. 

ඇමෙරිකන් එක්සත් ජනපදයට ඇත්තේ සැබෑ මානව හිමිකම් ගැටළුවක් නම් කළ යුතුව ඇත්තේ යුද්දයේ දී මානව අයිතීන් කෙලසූ සියළුදෙනාට එකලෙස එක පියවරක් අනුගමනය කිරීමයි. එහෙත් එක් එක් පුද්ගලයා අනුව විවිධ පියවර ගන්නට එක්සත් ජනපදය උත්සාහ ගැනීමෙන් පෙනී යන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තියයි. ගෝලීය ත්‍රස්තවාදය මර්දනය කිරීමේ තම සැලසුම මෙරට තුළ ක්‍රියාත්මක කළ තම පුරවැසි ගෝටාභය රාජපක්ෂව ආරක්ෂා කරන එක්සත් ජනපදය මානව හිමිකම් සම්බන්ධයෙන් වන කීර්තිය ද පවත්වාගෙන යන්නට “ගෙදර තිබෙන කොටි හමට තඩි බෑම” හාස්‍යජනක ය.

Back to Home page