Colombo Telegraph

හඬ ඊසොප්ගෙ වුනාට අත ජාකොබ්ගෙ

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

පසුගිය සතියක දෙකක කාලය තුළ බෞද්ධ භික්ෂූන් නිසා රටේ දේශපාලන තත්ත්වය අලුත් වටයකින් ධ්‍රැවීකරණය විය. එක් පැත්තකින් ගලගොඩ අත්තේ ඥාණසාර අපරාධමය වරදක් කළ නිසා බරපතල වැඩ ඇතිව මාස හයකට සිර ගෙට නියමවීම අගනාගරික භික්ෂූන් ප්‍රකෝප ගැන්වීමට හේතුවක් විය. අනෙක් පැත්තෙන් පසුගිය බදාදා සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක වෙඩරුවේ උපාලි භික්ෂුව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂට ප්‍රකාශ කළේ හිට්ලර් කෙනෙක් බවට පරිවර්තනය වී හෝ මේ රට හදන ලෙස ය. 

අපරාධමය වරදක් කළ ගලගොඩ අත්තේ ඥණාසර සම්බන්ධයෙන් කලබල වී කටයුතු කරන භික්ෂූහු බන්ධනාගාර නීතිය අනුව ඥාණසාරගේ සිවුරු ගලවා ජම්පරය ඇන්දවීම ගැන පරළ වී සිටිති. එහෙත් ඥාණසාර චීවරය දරමින්ම රටේ නීතිය පමණක් නොව භික්ෂු විනය පවා කඩ කරමින් අශ්ලීල ලෙස හැසිරීම බෞද්ධාගම විනාශ කිරීමක් ලෙස නොදැකීම හාස්‍යයට හේතුවකි. බෞද්ධ දර්ශනයේ සදහන් ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් වලට පවා හරස්ව යන ඥාණසාර වීරයකු වී ඇත්තේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී ජනමනසට අවශ්‍ය ලෙස හැසිරෙන නිසා ය. 

වෙඩරුවේ උපාලි හිමි හා ඥාණසාර

අස්ගිරි පාර්ශ්වයේ අනු නායක වෙඩරුවේ උපාලි හිමියන් පැවසූ දේශපාලන අදහස ද මෙරට සිංහලබෞද්ධ සමාජ තීරුවේ ජන මනස නියෝජනය කරන සංකල්පයකි.  සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය බොහෝවිට ප්‍රිය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් නොවේ. වර්ගවාදය මූලික කර ගත් දේශපාලන ව්‍යාපාරයකට ප්‍රජාතන්ත්‍රවාදී විය නොහැක. ප්‍රජාත්න්ත්‍රවාදී වුවහොත් සියළු ජන කොටස් වල අයිතීන් පිළිගත යුතුය. එසේ වූ විට දේශපාලන වශයෙන් වෙනස් මත දරන්නන්ට පවා සමාජ අවකාශය තුළ ඉඩක් හිමි වේ. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය තුළ වෙනස් මතයන්ට ඉඩක් නොමැත. එනිසා වෙඩරුවේ උපාලි හිමියන්ගේ අදහස ද ජන මනස ප්‍රබෝධ කරන්නකි.

මෙම දේශපාලනික අවදිවීම නිහඩව සිටි භික්ෂූන් පිරිසකගේ ක්ෂණික නන්දෙඩවීමක් ලෙස අර්ථ දැක්වීමකට යෑම පවතින බැරෑරුම් තත්ත්වය නොසලකා හැරීමක් විය හැකිය. පළමුව අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවෙන් ද දෙවැනිව ත්‍රෛයි නිකායික භික්ෂූන්ගෙන් ද සමාජය මතු පිටට ආ පණිවුඩය හුදු ආගමික උනන්දුවකින් දැක්වූ සරළ ප්‍රතිචාරයක් නොවේ. මෙරට සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ ඉතිහාසගත මතවාදය ත්‍රෛයි නිකායික භික්ෂූන් විසින් තම කරමතට ගනිමින් එය නියෝජනය කිරීම සදහා පෙරට ඒමක් ලෙස මෙම හැසිරීම අර්ථ දැක්විය හැකිය.

ලංකාවේ භික්ෂු සංස්ථාව කෙතරම් කඩා වැටීමකට පත්ව ඇතත් අද ද ධර්ම ධර විනය ධර භික්ෂූහු විශාල සංඛ්‍යාවක් විශාල කාර්යභාරයක් කරමින් සිටිති. එහෙත් ඔවුහු දේශපාලනික වශයෙන් උනන්දු නොවීම කනගාටුවට කරුණකි. කලක් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ශක්තිමත් භික්ෂු චරිත ලෙස ක්‍රියාකාරීව සිටියේ  මහාචාර්ය වල්පොල රාහුල, උඩකැන්දවිල සිරි සරණංකර, හේන්පිටගෙදර ඥාණසීහ වැනි යතිවරයෝ ය. උන් වහන්සේලා බෞද්ධ ඉගැන්වීම් වලට පරස්පරව නොගිය අතර සමාජයට විශාල සේවයක් කළ බුද්ධිමත්හු වෙති. එහෙත් අද දේශපාලනය තුළ ශක්තිමත් චරිත බවට පත්ව ඇත්තේ බුද්ධිමය චරිත නොවේ. ඔවුහු බුද්ධිමය ආයතනයන්හි උසස් තනතුරු දැරුවත් ගිහියන්ටත් වඩා පරිභවයට ගොස් ඇති චරිත වේ. එනිසාම ඔවුහු බෞද්ධ දර්ශනයේ සදහන් ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් වලට අනුව කටයුතු කරන්නෝ නොවෙති. ඔවුහු කොයි ආකාරයකින් හෝ පාදඩ හැසිරීමකට අනුව කටයුතු කරන්නෝ වෙති.

මේ පරාජිකාවට ලක් වූ බෞද්ධ භික්ෂූන් පිටුපස සිටින්නේ රාජපක්ෂ පාලනය තුළ ශක්තිමත් ලෙස වැඩුණ පාතාල ආර්ථිකයේ අයිතිකාර මුදලාලිලා ය. ඔවුන්ට අවශ්‍ය කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ ධනය උපයන්නට ය. කොටස් වෙළෙද පළෙන්, ව්‍යාපාර වස්තු හුවමාරුවෙන්, විදේශ ආයෝජනයන්ගෙන් ධනය කොල්ල කෑ විශාල ව්‍යාපාරිකයෝ කුලප්පු වී සිටිති. තමන්ට හිතවත් පාලනයක් බිහි කර ගැනීම සදහා ආයෝජනයක යෙදෙන්නට ඔවුහු බිය නොවෙති. ඒ බල හවුලේ ප්‍රකාශකයා වී ඇත්තේ භික්ෂු පරපුර ය.

ත්‍රෛයි නිකායික මහා නායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්ගේ මතයට ජන මනසට බලපෑමක් කිරීමේ ප්‍රබල හැකියාවක් පවතින අතර එම සිවිල් බලය ආණ්ඩුවක ජනවරමකට එරෙහිව පාවිච්චි කිරීමේ අප්‍රසන්න උත්සාහයක මේ මොහොත තුළ භික්ෂු සංස්ථාව යෙදී සිටී. එම උත්සාහය වඩා පිළිකුල් වන්නේත් වඩා භයානක වන්නේත් මිනිස් ප්‍රජාව අරගල කොට දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී යහ ගුණයට පවා එරෙහි වෙමින් අදහස් ප්‍රකාශ කිරීමයි.

භික්ෂූන් හඩ දෙන්නේ ස්වෝත්තමවාදය වෙනුවෙන්

විධායක ජනාධිපති ක්‍රමය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කරන මූලික මිනිස් නිදහසට තර්ජනක් වන පාලන ක්‍රමයක් බව මුල් වරට විශ්ලේෂණාත්මකව ප්‍රකාශ කළේ ලංකා සමසමාජ පක්ෂයේ නායකයාව සිටි ආචාර්ය ඇන් එම් පෙරේරා ය. ඉන් අනතුරුව ඔහු කී දෙය ප්‍රායෝගිකව ඔප්පු කළේ 17 වසරක් තිස්සේ පීඩාවිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂගේ නායකකාරකාදින් ඇතුළු සමස්ත ජනතාවයි. අනතුරුව 1994 දී බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය යොදා ගනිමින් ගෙනගිය පාලනය නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකකාරකාදීන් මෙන්ම සමස්ත ජනතාව පීඩා වින්දහ.

මේ වනවිට විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හදුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයත් එහි රස බැලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන ප්‍රධාන පක්ෂ දෙකම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට එකග වී තිබේ. එහෙත් මහින්ද චින්තනය විසින් ශක්තිමත් කළ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී කොටස් තම ආත්මය ලෙස විධායක ජනාධිපති ක්‍රමය තෝරාගෙන තිබේ. රාජපක්ෂ පාලනය තුළ දී මෙන්ම ඉන් අනතුරුව ද මේ ස්වෝත්තමවාදී මතධාරීහු විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පැවතිය යුතු බවට කියමින් ඒ වෙනුවෙන් පෙනී සිටියහ. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය රැක ගැනීම සදහා  ඒකාධිපති ෆැසිස්ට් පාලනයක් අවශ්‍ය වන අතර විධායක ජනාධිපති ක්‍රමය ඊට මහගු පරිසරයක් නිර්මාණය කරයි.

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වය මූලිකවත් ත්‍රෛයි නිකායික භික්ෂූන් මූලිකවත් මේ අවස්ථාවේ දේශපාලන අරමුණු සදහා ඒකාරාශීවීම හුදු සරළ කාරණාවක් නොවන්නේ මේ වපසරිය යටතේ තත්ත්වය විශ්ලේෂණය කරන විට දී ය. ඒ නිසා සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක වෙඩරුවේ උපාලි හිමිගේ දේශපාලන ප්‍රකාශය හුදු ආගමික නායකයින් රටේ පාලනයට ලබාදුන් තවත් එක් අනුශාසනාත්මක අවවාදයක් ලෙස බැහැර කළ යුතු නොවේ. එම ප්‍රකාශය මේ මොහොත තුළ රට මුහුණ දෙන බරපතල දේශපාලන අර්බූදයට මුළුමනින්ම අදාළ විෂය මූලික කරුණු වලට සමීප සබදතාවක් පෙන්නුම් කරන්නකි. ඒ නිසා ත්‍රෛයි නිකායික මහා සංඝරත්නයේ දේශපාලන ප්‍රකාශය හා දේශපාලනිකව අවදිවීම බරපතල ලෙස සලකා බැලිය යුතුය.

භික්ෂු සංස්ථාවේ වෙහෙස මහන්සිය

කෝපි කඩේ දේශපාලන විවේචකයන්ගේ හා දිවයින පුවත්පතේ ලිපි වලට සීමා වී තිබූ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අදහස් ශක්තිමත්ව නැගී සිටියේත් ඊට රාජ්‍යයේ මූලික හැඩතල වල ක්‍රියාකාරීත්වය කළමනාකරණය කළ හැකිවූයේත් රාජපක්ෂ රෙජීමය 2005 දී බලයට පත්වූ විට ය. රාජ්‍යයේ න්‍යායාත්මක දේශපාලන හැසිරීම එතෙක් නන්නත්තාරව සිටි දේශපාලන ආන්තික තීරුවක අවශ්‍යතා මත තීරණය වූ අතර රාජ්‍යයේ සියළු ක්‍රියාකාරීත්වයන් ඒ වටා ගොනු වුණි. මේ නිසා සමාජ බෙදුම්කරණයට ලක්වන හැගීම් හා මතවාද සමාජය තුළ වර්ධනය වූයේ පිමි වශයෙනි. යම් මතවාදයකට රාජ්‍ය පිළි ගැනීම ලැබුණ විට එය සමාජය තුළ ශක්තිමත්ව ස්ථාපිතවීම සාමාන්‍ය තත්ත්වයකි. එනිසා එම විශේෂ වරප්‍රසාදය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයටත් උදාවුණි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය විසින් කොටි සංවිධානයට එරෙහිව රජය විසින් ගෙන ගිය යුද්දය ශක්තිමත් කරන්නටත් යුද්දය විසින් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී මතවාදය ශක්තිමත් කරන්නත් එකිනෙක දායකවීම ආකර්ශනීය දේශපාලන භාවිතාවකි. ඒ නිසා සමාජයේ දේශපාලන සංස්කෘතිය, නීතියේ ආධිපත්‍ය ඇතුළු සියළු භාවිතයන් යළි අර්ථදැක්වුණි. එහි සමස්තයක් ලෙස රාජපක්ෂ රෙජීමය ව්‍යුහමය ලෙස සකස් වූ අතර සමාජය තුළ එය ස්ථාවර වීමේ පදනම ද එයයි. ඒ අනුව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ දේශපාලන ප්‍රකාශයකයා වූයේ  මහින්ද රාජපක්ෂයි.

රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒමේ තැතක්

2015 ජනවාරී 08 වන දා රාජපක්ෂ රෙජීමය බිද දැමීමට මෙරට ප්‍රජාතන්ත්‍රවාදී කොටස් ශක්තිමත්ව කටයුතු කිරීමෙන් පසුව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පසු බැසීමකට ලක්වුණි. එහි මතවාදී ශක්තිමත්භාවය මෙන්ම ක්‍රියාකාරීභාවය ද රුවලක් නැති ඔරුවක් සේ විවිධ දිශානතියන්ට ගමන් කරමින් තිබුණි. යම් මතවාදයකට ඉන්ධන සැපයූ රාජ්‍ය බලය බිද වැටීම එම මතවාදයේ පැවැත්මට බලවත් තර්ජනයකි. රාජපක්ෂවරුන්ට රාජ්‍ය බලය අහිමිවීම සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට බලපෑවේ කනගාටුදායක ලෙස ය.

අළු ගසා දමා රාජපක්ෂ දේශපාලනය කෙළින් කර ගැනීමට කොතෙක් මහන්සි ගත්තත් මහින්ද සුළග වාසුළියක් සේ එතැනම කැරකෙයි. එනිසා උත්සාහය ලත්තැනම ලොප් කරමින් රාජපක්ෂ දේශපාලනය කඩා වැටේ. ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මහින්ද රාජපක්ෂට තරග කරන්නට නීතිමය හැකියාවක් නොමැත. එහෙත් ඒ වෙනුවට වෙනත් සුදුස්සෙක් නම් කර ගැනීමට පවා රාජපක්ෂ දේශපාලනය අපොහොසත් වී සිටී. ක්‍රමයෙන් වයෝවෘද්ධ වෙමින් සිටින මහින්ද රාජපක්ෂ වෙනුවට අවම වශයෙන් තම සහෝදරයා වන ගෝටාභය රාජපක්ෂ හෝ තෝරා ගැනීමට ඔහු අකැමති ය. පවුලේ අභ්‍යන්තර දේශපාලන තොරතුරු වලට අනුව බැසිල් රාජපක්ෂට හෝ ගෝටාභය රාජපක්ෂට හෝ මහින්ද රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වීමට ඉඩකඩක් නොමැත. ඒ තරමට රාජපක්ෂ දේශපාලනය ව්‍යාකූලත්වයෙන් හා අර්බූදයන්ගෙන් පිරී ගොස් ඇත.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම මේ අර්බූදයට මහින්ද රාජපක්ෂ සතු පිළිතුරයි. එවිට අග්‍රාමාත්‍ය ධූරය සදහා තරග කරන්නට ඔහුට හැකිය. යම් හෙයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් තම වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂට කල් පිරෙන තෙක් අල්ලාගෙන සිටීම ඔහුගේ උපක්‍රමයයි. ඒ උපාය උපක්‍රමයන්ගෙන් පිරි රාජපක්ෂ දේශපාලනය තුළ අනෙකුත් බලවේග ශක්තිමත් වුවද මුළු එකක් ලෙස සමස්ත ව්‍යාපාරය ව්‍යාකූලත්වයෙන් ද ගැටුම්කාරීත්වයෙන් ද පිරී යමින් පවතී.

මේ නිසා මහින්ද රාජපක්ෂ වැටී ඇත්තේ අලි අමාරුවක ය. තමන් වටා ශක්තිමත් ජන කොටසක් සිටිය ද ආත්මාර්ථකාමී දේශපාලන අවශ්‍යතා නිසා එය කළමනාකරණය කර ගැනීමට ඔහු අසමත්ව සිටී. තමන් වටා සිටින ජන පිරිස කුල්මත්ව තබා ගැනීම සදහා වරින් වර උද්යෝගීමත්ව ජන රැළි පැවැත්වීම හැරුණ කොට වෙනත් ඵලදායි දේශපාලනයක යෙදෙන්නට ඔහු කිසිවක් සිදු කරන්නේ නැත. ඔහුගේ එකම අරමුණ වන්නේ කල් ගැනීම පමණ ය.

සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පරාජය කරමු

එහෙත් ජනතාව උසි ගැන්වීම සදහා මහින්ද රාජපක්ෂ අත ප්‍රබල යතුරක් පවතී. ඔහු එය වරින් වර පාවිච්චි කරයි. මහින්ද රාජපක්ෂගේ දේශපාලනයේ අල්ලා හිටින එකම උපක්‍රමය වන්නේ ජාතිවාදය ඇවිසීමයි. ලංකාව වැනි සමාජයක ජාතිවාදයට ලොකු ඉල්ලුමක් පවතී. තම්න්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කර ගනිමින් ජාතිවාදය තුළින් දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීම ඔහුගේ හැකියාවයි. එය බිහිසුණු දේශපාලනයකි. එනිසා සමාජය තුළ ඇති කරන්නේ පරිහානිදායි තත්ත්වයකි.

මීට බොහෝ කලකට පෙර සියම් මහා නිකාය විසින් සම්මානයක් පිරිනමමින් මහින්ද රාජපක්ෂ සිංහලබෞද්ධ දේශපාලකක නායකයකු ලෙස ඉහළින් ඔසොවා තැබීම මේ මොහොතේ දී අමතක කළ නොහැක. මෙරට භික්ෂ සමාජය ආධිපත්‍යවාදී ලෙස නියෝජනය කරන්නේ ජාතිවාදයයි. මහාචාර්ය වල්පොල රාහුල වැනි විශිෂ්ට සංඝ නායකයන් සිටි භික්ෂු සංස්ථාව අද දේශපාලන විකටයන්ගේ පාංකඩ බවට පත්ව ඇත. එනිසා කල්යල් බලා සියම් නිකාය තෝරා ගත් සිංහලබෞද්ධ නායකයා අමතක කරන්නට ඔවුනට තවමත් නොහැකිවීම තේරුම් ගන්නට අපහසු කරුණක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන සමාජ ක්‍රමයක්.

අද දවසේ ලාංකික සමාජය තුළ මුහුණ දී කළමනාකරණය කරගත යුතු ප්‍රබලම අභියෝගය වන්නේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයයි. කලක් ප්‍රබලව රාජ්‍ය බලය දරා එය අහිමිවීම ඔවුන්ව කුලප්පු කිරීමට සමත්ව ඇත. එනිසා කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ රාජ්‍ය බලය යළි ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි. එනිසා භික්ෂු සමාජයේ  දේශපාලන මැදිහත්වීම සමාජය විසින් සැලකිය යුත්තේ තමන්ගේ පැවැත්මට එල්ල කළ ප්‍රබලම අභියෝගය ලෙස ය. 

2015 ජනාධිපතිවරණය වටා එක් රොක් වූ මහජන අභිලාශය නියෝජනය කළේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පිටු දකින ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන සමාජ ක්‍රමයකි. එහෙත් ඒ මහජන අභිලාශයන් පසෙකට තල්ලු කළේ රාජපක්ෂ දේශපාලනය වටා බල මුළු ගැන්වී සිටින ගෝත්‍රික දේශපාලන මතවාදය විසින් නොවේ. එය සිදුවූයේ අභ්‍යන්තරික දෙදරා යෑමක් නිසා ය. ඊට ජන සමාජයේ පැවැති ප්‍රති විරෝධය ප්‍රකාශ වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලිනි.  එනිසා 2015 මහජන අභිලාශයන් විසින් ප්‍රතික්ශේප කළ සමාජ සංකල්ප වලට යළි ශක්තිය ලැබී ඇත.

භික්ෂු සමාජය මැදිහත් වී මේ රට හදන්නැයි ගෝටාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින්නේ සමාජ ප්‍රතිසංස්කරණයක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදිමින් ජන ජීවිතය උසස් මට්ටමකට ගෙන යන්නට නොවේ. ඔවුන් වෙහෙස මහන්සි වී දරදිය ඇදමින් කාලය අයෝජනය කරන්නේ රට ඒකාධිපති යක්ෂයාගේ මුඛයට තල්ලු කිරීමට ය.

Back to Home page