Colombo Telegraph

නන්දන ගුණතිලකගේ ඔර්ලෝසු අලුත්වැඩියාව

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

මීට වසර දහයකට පමණ පෙර ඩෙංගු රෝගය වැළදී රෝහල් ගත වන්නට සිදුවිය. දින දහයක් පමණ රෝහලේ නේවාසිකව සිටි මා රෝහල් බිල ගෙව්වේ ණය කාඩ් පතෙනි. රෝහලින් ගෙදර පැමිණ සතියකට පමණ පසුව කාර්යාලයට ගිය වහා අග්‍රහාර රක්ෂණ අයදුම් පත පුරවා භාර දුන්නේ ඉක්මනින් වන්දි මුදල ගෙන ණය කාඩ් පතේ ණය ගෙවා දැමීමට ය.

සති දෙකකට පමණ පසුව බැංකු ගිණුමෙන් වියදම් සදහා මුදල් ගන්නට ටෙලර් යන්ත්‍රය ක්‍රියා කරවූ විට ගිණුමේ අසූ පන්දහසක මුදල් වැඩි පුර තිබුණි. මම පුදුමයට පත්වීමි.  එතරම් මුදලක් මගේ බැංකු ගිණුමට ආවේ කෙසේදැයි දැන ගැනීමට සමීපතමයන් විමසීමි. කිසි කෙනෙක් එවැනි මුදලක් මගේ ගිණුමට බැර කර නොමැත. එහෙත් පසුව දැන ගත්තේ අග්‍රහාර රක්ෂණ වන්දි මුදල මගේ ගිණුමට බැර කර ඇති බවයි. අදාළ ලියවිලි භාර දී සති දෙකකින් වන්දි මුදල ලැබීම ආශ්චර්යක් විය.

රාජ්‍ය සේවය අකාර්යක්ෂම බව ඇත්තකි. එහෙත් ප්‍රතිසංස්කරණයට ලක්වූ හා පෞර්ෂවත්  ප්‍රධානීන් සිටින ආයතනයන්හි සම්ප්‍රදායික අර්ථයෙන් ඒවා ආකර්යක්ෂම නොවේ. එමෙන්ම සියළු රාජ්‍ය නිලධාරීන් ද ආකර්යක්ෂම නොවේ. නමුත් බොහෝ ආයතනයන් මෙන්ම බොහෝ රාජ්‍ය නිලධාරීන් ද ආකාර්යක්ෂම ය. එහෙත් ප්‍රවනතාවක් ලෙස මේ තත්ත්වය වෙනස් වෙමින් තිබීම සතුටට කරුණකි.

පානදුර නගර සභාවේ නව නගර සභාපති වන්නේ නන්දන ගුණතිලකයි. ඔහු මේ වන විට නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනය ආරම්භ කළ ඔහු පසුව ඉන් ඉවත් වී විමල් වීරවංශ සමග ජාතික නිදහස් පෙරමුණ  ගොඩනැගීය. පසුව එය ද හැරදා ගිය ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැදුණි. ගිය ජනාධිපතිවරණ සමයේ දී එක්සත් ජාතික පක්ෂයට එක්වූ නන්දන ගුණතිලක දැන් පානදුර එජාප ප්‍රධාන සංවිධායකවරයා ය.

ඊයේ පෙරේදා දවසක ඔහු තම ෆේස්බුක් වෝලයේ සටහනක් තබමින් කීවේ අක්‍රිය වී ඇති පානදුර නගරයේ ඔර්ලෝසු කණුවේ ඔර්ලෝසු අලුත්වැඩියාවට මාස දෙකක් අවශ්‍ය බව ය. ඒ අධික කාලය සම්බන්ධයෙන් විවේචනය කළ පිරිස් වලට ඔහු පවසා තිබුණේ රාජ්‍ය සේවයේ ආයතන සංග්‍රහය හා මූල්‍ය රෙගුලාසී නිසා එවැනි කාලයක් ගතවන බවය.

“”දන්නවනේ අපේ රටේ තියෙන යල්පැන ගිය AR ,FR වගේ දේවල් ගැන. ටෙන්ඩර් පටිපාටිත් එහෙමමයි. ඕකට නිලධාරීන්ගෙ අකාර්‍යක්ශමතා එකතු වුනහම , මාස දෙකෙන් කරන එකත් ලොකු දෙයක් !! මේක ශ්‍රී ලංකාව !!!”” (නන්දන ගුණතිලක/ සභාපති – පානදුර නගර සභාව)

සම්ප්‍රදායික විදිහට සිතන මතන බොහෝ පිරිස් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමව රාජකාරී කරන්නට නොහැකි යැයි පවසන්නේ ආයතන සංග්‍රහයට හා මූල්‍ය රෙගුලාසී වලට ඇගිල්ල දිගු කරමිනි. නමුත් ආයතන සංග්‍රහය 2013 වර්ෂයේ දී ප්‍රතිසංස්කරණය කළ බවත් මුදල් රෙගුලාසි චක්‍රලේඛ මගින් නිරත්තර යාවත්කාලීන කිරීම් වලට ලක්වන බවත් නොදන්නා සේ සිටී. එසේම පරණ ටෙන්ඩර් නීති රීති වෙනුවට අලුතින්ම සකස් කළ ප්‍රසම්පාදන නීති රීති පද්ධතියක් මිල දී ගැනීමේ කටයුතු වලට වලංගු කර පවතින බව  ද නොදන්නා සේ සිටී. තම ඇගිල්ල රාජ්‍ය සේවයේ නීති රීති වලට දිගු කර චෝදනා ගොඩ නගමින් කාලය කා දමන පිරිස් වර්ග දෙකකි. එක් වර්ගයක් වගකීම් දරමින් රාජකාරී ඉටු කරන්නට පෞර්ෂයක් නැති දුබල චරිතයන් ය. අනෙක් වර්ගය හුවමාරු වන්නේ රුපියල් සියයක් ද ඉන් රුපියල් පනහක් තම සාක්කුවේ දමා ගැනීමට තතනන ලෝකෝත්තර හොරුන් ය.මේ දෙපිරිසම රජයේ නීති රීති වලට ඇගිල්ල දිගු කරන්නේ තම තක්කඩි අරමුණු සාධනයේ ලා ය. 

රජයේ පරිපාලන නීති, මූල්‍ය නීති හා ප්‍රසම්පාදන නීති යාවත්කාලීන විය යුතු බව ඇත්තකි. එහෙත් වැඩ කරන නිලධාරියකුට එම නීති බාධාවක් නොවේ.  නීති සකස් කර ඇත්තේ ඉතා නම්‍යශීලීවය. ඒවා අවශ්‍ය පරිදි  අර්ථ දක්වාගෙන සත්භාවයෙන් වැඩ කරන්නට පෞර්ෂය අවශ්‍ය වේ. පෞර්ෂය නොමැති බොහෝ රාජ්‍ය සේවකයන් වගකීම් දැරීමට අකැමැතිය. ඔවුන්ට රාජ්‍ය සේවයේ නීති රීති සමග වැඩ කළ නොහැකිය. ඒ ඔවුන් රාජ්‍ය සේවයට නොගැලපෙන නිසා මිස නීති රීති වල වරදක් නිසා නොවේ. නමුත් නීති රීති නොමැති පරිසරයක් තුළ වැඩ කිරීමට බොහෝ අය උනන්දු ය. ඒ වැඩ කරන හෝ නොකරන හෝ ගමන් වංචා හා දූෂණයේ යෙදිය හැකි බැවිනි. වංචා හා දූෂණයේ යෙදෙන්නා ඒවා කිරීමට බිය නැත. 

බොහෝ පිරිස් කල්පනා කරන්නේ රාජ්‍ය ආයතනයක මිල දී ගැනීම් සදහා සෑම විටම මිල කියුම් තුනක් අවශ්‍ය බවය.  රුපියල් 100,000.00 නොඉක්මවන යම්කිසි භාණ්ඩයක්/ සේවාවක් මිල දී ගැනීමට අවශ්‍ය නම් එම මිල දී ගැනීම සාම්ප්‍රදායික මිල දී ගැනීමේ පටිපාටියෙන් බැහැරව ඝෘජු පදනමින් සිදු කළ හැකිය. එනම් අදාළ භාණ්ඩය අළෙවිය සදහා ඇති වෙළෙද සැලෙන් මිල කියුමක් ලබාගෙන එය නිසි පරිදි අනුමත කිරීමෙන් පසුව අදාළ මිල දී ගැනීම සිදු කළ හැකිය.  අවශ්‍ය වන්නේ රුපියල් 200,000කට අඩු වැඩ මිල දී ගැනීමට නම් එය ද මේ අනුව ඝෘජු පදනමින් මිල දී ගත හැකිය. (ප්‍රසම්පාදන අත් පොතෙහි 2.14.1 බලන්න)

රුපියල් 100,000 නොඉක්මවන භාණ්ඩ/ සේවා හෝ රුපියල් 200,000 නොඉක්මවන වැඩ හෝ මිල දී ගැනීම එලෙස ලිබරල්කරණය කර ඇත්තේ එවැනි සුළු වියදම් සදහා ද ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරන්නට ගියහොත් මූල්‍යමය හා කාලය අනුව රජයට පාඩුවක් සිදුවන නිසා ය. එහෙත් අගතියක්වීම වැළැක්වීම සදහා ආයතන ප්‍රධානියාට සම්පූර්ණ වගකීම පවරා ඇත. එහිදී ඔහුගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ මිල දී ගැනීම සිදුවිය යුතුය. මිල දී ගන්නා භාණ්ඩය හෝ සේවාව හෝ වෙළෙද පළ තුළ අවම මිලක පවතින බව ආයතන ප්‍රධානියා සහතික කරගත යුතුය.

එහෙත් ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීහු මෙම ලිබරල්කරණයේ වාසිය භුක්ති විදින්නට බිය වෙති. ඊට හේතුව වගකීම් දැරීමට ඇති නොකැමැත්තයි. ඒ නිසා කෙසේ හෝ මිල කියුම් තුනක් ලිපි ගොනුවට ඇතුල් කර අවම මිල සදහන් මිල කියුමෙන් අදාළ භාණ්ඩය මිලට ගනී. එහෙත් එහිදී ප්‍රායෝගිකව සිදුවන්නේ එකම වෙළෙද සැලකින් මිල කියුම් තුනම ලිපි ශීර්ෂ තුනකින් ලබාගෙන භාණ්ඩය මිලට ගැනීමයි. එය දූෂණයකි. වංචාවකි. එහෙත් මෙරට රාජ්‍ය ආයතන ප්‍රධානීහු වගකීම් දරා නීත්‍යානුකූලව මිල දී ගැනීම් නොකර එකී දූෂිත, වංචාකාරී ක්‍රියාව කරන්නට මැලි නොවෙති.

රුපියල් 100,000 ඉක්මවන රුපියල් 500,000 නොඉක්මවන භාණ්ඩ/ සේවා මිල දී ගැනීමටත් රුපියල් 200,000 ඉක්මවන රුපියල් 1,000,000 නොඉක්මවන වැඩ මිල දී ගැනීමටත් සිදු කළ යුත්තේ ලියාපදිංචි සැපයුම්කරුවන් තිනෙකුගෙන් සීමිත මිල ගණන් කැදවීමයි. එසේ කැදවා ලැබෙන එක් මිලකියුමක සදහන් මිල ගණන් සලකා බලා වුවද අදාළ මිල දී ගැනීම සිදු කළ හැකිය. එහිදී ද අවශ්‍ය වන්නේ වෙළෙද පළ මිල සැසදුම් ක්‍රමය අනුව අදාළ මිල වෙළෙද පළෙහි අවම මිල ද යන්න සොයා බැලීම පමණි. 

එහෙත් නීතියේ මේ ලිබරල් වාසිය හෝ භුක්ති විදින්නට බොහෝ ආයතන ප්‍රධානීන් පෙළඹෙන්නේ නැත. ඔවුන් පුරුදු වී ඇත්තේ කෙසේ හෝ මිල කියුම් තුනක් ලබාගෙන අවම මිලට මිල දී ගැනීමයි. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී අවම මිල යනු මිල දී ගැනීමට සලකා බලන එකම නිර්ණායකය නොවේ. මිල අවම වී ගුණාත්මකභාවය ද අවම වුවහොත් එම මිලට භාණ්ඩ හෝ සේවාව හෝ මිල දී ගැනීම රජයට කරන්නා වූ පාඩුවකි. එහෙත් පෞර්ෂයක් නැති ආයතන ප්‍රධානීන් රජයට පාඩු කරන්නට බිය නැතත් ගුණාත්මක බවින් වැඩි අවම මිල නොවන මිල කියුමෙන් භාණ්ඩ හෝ සේවාව හෝ මිලට ගන්නට යොමු නොවේ.

නමුත් නිර්භීත ආයතන ප්‍රධානීහු වගකීම් දරමින් කරන්නේ නීතියෙන් ලබා දී ඇති සහනය භුක්ති විදීමයි. ඔවුහු වෙළෙද පළ මිල සැසදුම් ක්‍රමය අනුව ඝෘජු ක්‍රමය යටතේ භාණ්ඩ හා සේවා මිල දී ගන්නා අතර තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය සදහා අවශ්‍ය සරළ තහවුරු කිරීම් සාක්ෂ ගොනුවට එක් කරති. එවැනි කටයුතු කළ හැක්කේ නිර්මාණශීලීන්ට මිස පෞර්ෂය දුර්වල අයට නොවේ. 

මෙවැනි තත්ත්වයක් තුළ නීති රීති වලට ඇගිල්ල දිගු කරමින් සම්ප්‍රදායි ලෙස රාජ්‍ය සේවය ආරක්ෂා කරමින් මහජන සේවය ප්‍රමාද කිරීම සම්පූර්ණ වංචාවකි. වරද ඇත්තේ නීති රීති වල නොව එම නීති ක්‍රියාත්මක කරන්නට සිටින නිලධාරීන්ගේ ය. නිලධාරීන් මූල්‍ය අපරාධ අංශයට බිය විය යුත්තේ තමන් වංචා හා දූෂණයන්ගේ යෙදෙනවා නම් පමණි. එසේ නොවී රාජකාරිය ක්‍රියාශීලීව හා වගකීමෙන් ඉටු නොකිරීම ඔවුන්ගේ අකාර්යක්ෂමතාව පිළිබද ගැටළුවකි. මහජනතාව විසින් තම නියෝජිතයන් පත් කර ඇත්තේ එලෙස අකාර්යක්ෂහම රාජ්‍ය නිලධාරීන් ජව සම්පන්න කිරීමට ය. ඒ සදහා රාජ්‍ය සේවකයන් බැදී සිටින විනය පද්ධතියක් වේ. එම නීති උල්ලංඝනය කරමින් අකාර්යක්ෂමව රාජකාරී කරයි නම් එහිදී මහජන නියෝජිතයන් තම වගකීම ඉෂ්ඨ කළ යුතුය. එහෙත් මහජන ඡන්දයෙන් පත්වන නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන්ගේ කපටි නූල් සූත්තරයන්ට අසුවී රජයේ නීති රීති වලට බැන වදිමින් සිටින්නේ නම් එම මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් මහජනතාව තීන්දුවක් ගත යුතුය.

පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක කපටි රාජ්‍ය නිලධාරීන්ගේ මුසාබස් වලට අසු වී ඇති අන්දම ඔහුගේ පහත අදහසින් පැහැදිලි වේ.

“”නව සභාව නියමිත දිනට පෙර හෙට හදිසියේ රැස්වී ටෙන්ඩර් කමිටුව පත්කරන බව පෝස්ටුවේම මා කියා ඇත. ටෙන්ඩර් ලිපි ලේඛන සකස් කිරීම > පුවත්පත් දැන්වීම් පල කිරීම > නියමිත කාලයට පසු විවෘත කිරීම > TEC එක පත්කිරීම > තීරන ගැනීම > ප්‍රදානය කිරීම > අලුත්වැඩියා කිරීම 

මේවාට ගතවන කාල පොතේ හැටියට කල හැකිනම් කෙතරම් අගනේද ?”” 

රජයේ ප්‍රසම්පාදන අත් පොතෙහි 2.14.1හි  දැක්වෙන පරිදි මිලියන 10 දක්වා වූ වැඩ හා සේවා කොන්ත්‍රාත් වෙළෙද පළ මිල සැසදුම් ක්‍රමය (Shopping procedure) යටතේ මිල දී ගත හැකිය. ඒ අනුව අවම වශයෙන් මුද්‍රා තැබූ මිල කියුම් (Quotations) පහක් කැදවා  කොන්ත්‍රාත් ප්‍රදානය කළ හැකිය. පානදුර නගරයේ පිහිටි ඔර්ලෝසු කණුවේ ඔර්ලෝසු අලුත්වැඩියාවට මිල ඇස්තමේන්තුව රුපියල් මිලියන 10ට වඩා අඩු විය යුතුය.  ඒ සදහා  පුවත් පත් දැන්වීම් පළ කර දින 21ක කාලයක් ලබා දී තරගකාරී ලංසු ක්‍රමය අනුගමනය කළ යුතු නැත. ඒ අනුව භාණ්ඩ/සේවා හා වැඩ මිල දී ගැනීමේ ඉතා පහසු ක්‍රමය වන වෙළෙද පළ මිල සැසදුම් ක්‍රමය යටතේ සති දෙකකටත් වඩා අඩු කාලයක් තුළ ඔර්ලෝසු අලුත්වැඩියා කරගත හැකිය.

එහෙත් පානදුර නගර සභාපති නන්දන ගුණතිලක පවසන්නේ ඒ සදහා මාස දෙකක් අවශ්‍ය බව ය. එසේ වන්නේ ටෙන්ඩර් ලිපි ලේඛන සකස් කිරීම, පුවත් පත් දැන්වීම් පළ කිරීම, ලංසු විවෘත කිරීම, තාක්ෂණික කමිටුව පත් කිරීම, තීරණ ගැනීම, ප්‍රදානය කිරීම හා අලුත්වැඩියාව සම්පූර්ණ කිරීමයි. ආයතනයක ටෙන්ඩර් ලියවිලි ටෙන්ඩරයකින් ටෙන්ඩරකට සකස් කරන්නේ නැත. ඒවා එකම ආකෘතියක වන අතර සුළු සුළු වෙනස්කම් පමණක් සිදුවේ.  එසේම ලංසු විවෘත කිරීම, ඇගයීම, තීරණ ගැනීම හා ප්‍රදානය ඉතා අවම වෙලාවක් ගත වන කාර්යයන් ය. මේ සියළු කටයුතු වලට උපරිම වුවහොත් ගතවන්නේ සතියකි. එයිනුත් වැඩි කාලයක් ගත වන්නේ ලංසු ඇගයීමට ය. 

ප්‍රසම්පාදන නීති රීතිවල මෙතරම් පහසු ක්‍රම තිබිය දී නගර සභාපතිවරයා වරෙක නීති රීති වලට ද තවත් වරෙක නිලධාරීන්ට ද ඇගිල්ල දිගු කරමින් පවසන්නේ අදාළ කාර්යයට මාස දෙකක් ගතවන බව ය. තම නිලධාරීන් අකාර්යක්ෂම නම් එහි වරද පැටවෙන්නේ ආයතනයේ විධායකය මත ය. යම් ප්‍රධානියෙක් ආයතනයේ සේවකයන්ගේ අකාර්යක්ෂමතාව උළුප්පා දක්වා රාජකාරී ප්‍රමාද කරයි නම් එසේ වන්නේ ප්‍රධානියාගේ අකාර්යක්ෂමතාව හා පෞර්ෂය පිළිබද ගැටළු නිසා ය.

අත්‍යවශ්‍ය හා හදිසි කාර්යයක් ඉටු කර ගැනීමට අවශ්‍ය නම් ප්‍රසම්පාදන සම්මත ක්‍රමයෙන් බැහැරව ඝෘජු ක්‍රමය යටතේ එය සිදු කිරීමට ද ප්‍රසම්පාදන නීති සංග්‍රහයෙන් ඉඩ කඩ ලබා දී ඇත. අවශ්‍ය වන්නේ අදාළ කාර්යය හදිසි හා වහා නිමකළ යුතු බව ඔප්පු කිරීමය. පසුව ක්‍රියාවලිය පිළිබදව විගණකාධිවරයා ද දැනුවත් කර රුපියල් මිලියන පහක් ඉක්ම නොවන මිලක වූ  ප්‍රසම්පාදනයක් නගර සභාවෙන් සිදු කර ගත හැකිය. 

එහෙත් මේ නීති රීති අනුව ඉක්මනින් වැඩ කරන්නට නම් නායකත්වය, වගකීම් දැරීම, බිය නැතිකම හා සත්භාවය වැනි පෞර්ෂ ලක්ෂණ පිහිටිය යුතුය. තමන් කරන්නා වූ සෑම රාජකාරියක්ම මූල අපරාධ අංශයට යෑමට හේතුවක් වන්නේ යැයි බිය සුළු කමෙන් හා අවෘත බවින් යුතුව යමෙක් රාජකාරී කරයි නම්  ඔහුට හෝ ඇයට හෝ නීති රීති වලින් ලබා දී ඇති ලිබරල්කරණ වාසි වල ප්‍රථිඵල භුක්ති විදිය නොහැක.

පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක මහජන නියෝජිතයෙකි. ඔහු වගකීමට බැදී සිටින්නේ මහජනතාවට මිස රාජ්‍ය නිලධාරීන්ට නොවේ. එහෙත් ඔහු කරන්නේ දූෂිත හා අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන්ගේ බහට රැවටී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමයි. ඉක්මනින් රාජකාරීය ඉටු කරන්නට නම්‍යශීලී නීති රීති පවතින බවට සාක්ෂි සහිතව පෙන්වා දුන් විට ඔහු කෝප වේ. මේ නගර සභාපති නන්දන ගුණතිලකගේ වදන් ය.

“”අපි කොහොමටත් ඔහේල වගේ සුවද හමන්න ” පියරු බබා දේශපාලනේ ” කලේ නැහැ . හැමදාමත් මේ රටේ කුණු ගොඩවල් සුද්දකරන්න ඉස්සරහට පැනල බෙල්ල තියපු නිසා තමුසෙල වගේ පියරු බබාලටනං ගද ඇති. ඕන කුනුගොඩක් බදාගෙන එක තැන ලැගල ඉන්න එක මගේ දේශපාලනය නෙවෙයි කියල දේශපාලනික මිනිස්සු දන්නව . ඒකට තමුසෙ වගේ පියරු බබාලගෙන් විවරණ ඕනෙ නැහැ. මුංට උත්තර දෙන්න ඕන වෙන මුකුත් නිසා නෙවෙයි වෙන එකෙක් වෙනුවෙන් එක දාඩිය බිංදුවක් හලන්නැතුව පත්තර කඩදාසි උඩයි ෆේස් බුක් එකෙයි බොරු වීරයො වෙන්න දගලන නිසා.””

නන්දන ගුණතිලක මේ කතා කරන්නේ තමන් කැණිමඩලේ ඉහළටම ඔසොවා තබා ගනිමිනි. එහෙත් අප දන්නා නන්දන ගුණතිලක ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වෙමින් පක්ෂ පාවා දුන්නා මිස සමාජ ප්‍රගමනයට කළ දෙයක් නොමැත. ඔහුට කෙසේ හෝ අවශ්‍ය වූයේ බලය මිස සමාජය එක අගලකින් හෝ ඉහළට ඔසොවා තබන්නට නොවේ. ඔහු කලක් ජනතා විමුක්ති පෙරමුණේ සිටිමින් ලේ රහට ඉව ඇල්ලුවේ ය. පසුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිසංස්කරණ මාවතට එළඹි විට ඉන් එළියට විත් “දිවයින” පුවත්පතට මාගල් ලිපි ලියමින් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය ඇවිස්සුවේ ය. පසුව ජාතික නිදහස් පෙරමුණටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂයටත් ගියේ ය. ඒ එක දේශපාලන ගමනක දී වත් ඔහු කළ සමාජ මැදිහත්වීමක් නොමැත. නිෂ්පාදනය කළ නව දේශපාලන දැනුමක් නොමැත. අවසානයේ සම්ප්‍රදායික යූඑන්පීකාරයකු බවට නන්දන ගුණතිලක පත්වීමෙන් සමාජයට අත්වූ ප්‍රතිලාභයක් නොමැත.

මෙහෙව් පුද්ගලයකු නගරයේ ඔර්ලෝසු කණුවේ ඔර්ලෝසු අලුත්වැඩියා කරන්නට මාස දෙකක් අවශ්‍ය බව කීම තම අකාර්යක්ෂමභාවය තමන් විසින්ම ප්‍රදර්ශනය කිරීමක් නොවේ ද?

කේ.ජී.පිලිප් ශාන්ත

Shan.info1978@gmail.com

Back to Home page