Colombo Telegraph

ඛේමගෙ කොලුවා අනා ගනී ද?

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

ගිය අගහරුවාදා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් 2019 වර්ෂයේ අය වැය ඉදිරිපත් කිරීම ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් විය හැකි සිද්ධියකි. ඊට හේතුව විසර්ජන පනතක් පරාජය කිරීමෙන් ආණ්ඩුව විසුරුවා අලුත් පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ හැකියාව උරගා බැලීමට එමගින් හැකිවීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් අවශ්‍ය නම් වත්මන් ආණ්ඩුව පරාජය කිරීමේ අවස්ථාව මේ නිසා උදා වන්නේ ය. 

මහ මැතිවරණය පවත්වා වසර හතරාමාරක් ගෙවෙන තුරු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකි ය. එය නොදැන සිටීම නිසා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා රටම ඇද වැටුනේ මහත් අලකලංචියකට ය. පළමුව අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂව පත් කර දෙවැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන්ට පක්ෂපාත පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමේ දේශපාලන අභිලාශයට උපමාධිකරණයෙන් අනුමැතිය නොලැබුණි. ඒ නිසා රටම ඇද වැටුනේ මහත් විනාශයකට ය.

නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව ධූරයෙන් ඉවත් කරන්නට අවශ්‍යම නම් ද පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුත් මහා මැතිවරණයකට යන්නට අවශ්‍යම නම් ද එවැනි දේශපාලන අභිලාශයක පසුවන්නන්ට දැන් කාලය එළඹ ඇත. එනම් පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් විසර්ජන පනත පරාජය කර මහා මැතිවරණයකට යෑමයි. ආණ්ඩුව පරාජය කිරීමේත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයකට යෑමේත් එකම ව්‍යවස්ථාදායක ක්‍රමය එයයි.එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එවැනි සූදානමක මේ මොහොතේ ඇතැයි කිව නොහැක.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාධ්‍යයට කීවේ සහන කිසිවක් නැති අය වැයක් මෙවර ඉදිරිපත් කර ඇති බව ය. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍යයට කීවේ මෙය මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක් බව ය. අයවැය සම්බන්ධයෙන් නිවැරැදි විවේචනයක් කර ගන්නට බැරි තරමට රාජපක්ෂවරු දුර්වල වී සිටිති. අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව මාධ්‍ය හමුවේත් පසුගිය බදාදා පාර්ලිමේන්තු විවාදයේ දී ත් කිසිම ශක්තිමත් විවේචනයක් එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් එල්ල නොවීය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය බදාදා ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් අමුතු කතාවක් පවසා තිබුණි. එනම් මීලග ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් මහා මැතිවරණයක් පවත්වන බව ය. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට නම් එක්කෝ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් එය විසුරුවා හරින්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතුය. එසේ නැත්නම් විසර්ජන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේ දී පරාජය කළ යුතුය. ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කරන්නේ අවම වශයෙන් අය වැය පරාජය කිරීමේ සූදානමක් හෝ ඇතිව විය යුතු ය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද පානදුරේ පැවැති ආගමික උත්සවයකින් පසුව මාධ්‍යයට පවසා සිටියේ අය වැය පරාජය කරන බව ය. විපක්ෂ නායකයාට එසේ පවසන්නට අයිතියක් ඇතත් ආණ්ඩුවේ කොටස්කරුවකු වන ජනාධිපතිවරයා ආණ්ඩුව පරාජය කරන්නට සූදානම්වීම විහිළුවකි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කිරීමේ ක්‍රමය සකස් වී ඇත්තේ බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් සම්ප්‍රදායට ය. ඒ අනුව ආණ්ඩුව තුළ පාර්ශ්ව කිහිපයක් නොපවතී. සාමූහික වගකීමක් නොපවතින පාර්ශ්ව කළ යුත්තේ ඉල්ලා අස්වීමයි. එක් අතකින් අමාත්‍ය මණ්ඩලයේ දී අනුමත කරන විසර්ජන පනත් කෙටුම්පත අනෙක් අතින් පාර්ලිමේන්තුවේ දී පරාජය කරන්නට තැත් කිරීම රාජ්‍ය පාලන සම්ප්‍රදායන්ට මෙන්ම දේශපාලන ආචාරධර්මයන්ට ද එකග නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපතිවරයා එසේ කටයුතු කළ ද එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මාධ්‍යයන්ට පවසා තිබුණේ වෙනත් කතාවකි. ඔහුට අනුව අයවැයේ ධනාත්මක කරුණු රාශියක්ම අඩංගුව ඇත.

ආණ්ඩුවේ තීරණාත්මක පනත වන්නේ විසර්ජන පනත් කෙටුම් පතයි. විපක්ෂයට ආණ්ඩුව පරාජය කරන්නට අවශ්‍ය නම් තීරණාත්මක වන්නේ ද ඒ විසර්ජන පනත් කෙටුම් පතයි. එහෙත් මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ අය වැය යෝජනා සම්බන්ධයෙන් හරිහමන් විවේචනයක් කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපොහොසත් ය. ඊට හේතුව මේ පක්ෂ දෙකම එක් අතකින් ව්‍යුහාත්මකව එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියට එරෙහි නොවීම ය. අනෙක ප්‍රතිසංස්කරණවාදී විවේචනයක් හෝ කර ගන්නට බුද්ධිමය ප්‍රජාවක් එම පක්ෂ දෙක තුළම නොසිටීම ය. 

උදාහරණයක් වශයෙන් පසුගිය සදුදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විස්තරාත්මක විග්‍රහයක් බිංගිරියේ දී කර තිබුණි. ඔහු ආර්ථිකය සම්බන්ධයෙන් විවරණයක යෙදෙමින් පැරණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණි. එනම් රට පුරා ඇගළුම් කම්හල් පිහිට වූ රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුවට විපක්ෂයෙන් එල්ල වූ “සුද්දන්ට ජංගි මහනවා” යැයි චෝදනාව සම්බන්ධයෙනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ එදා එහෙම චෝදනා එල්ල වුවත් අද ලෝකයේ හොදම කාන්තා යට ඇදුම් මසන්නේ ශ්‍රී ලංකාව බව ය. 

මේ කතාව අල්ලා ගත් මේ රටේ ජඩ මාධ්‍යයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතෛශී මන්ත්‍රීවරයකුත් පවසා සිටියේ ගෑණුන්ගේ ජංගි මැසීමෙන් අගමැතිවරයා සතුටු වන බව ය. මසන්නේ කුමන ඇගළුමක් වුවත් එය ලැජ්ජාවට කරුණක් නොවේ. එහෙත් රටක් විදිහට ලැජ්ජා විය යුත්තේ ආර්ථිකයේ ප්‍රධානම ධන උල්පතට දායක වන්නේ කාන්තාවන්වීම සම්බන්ධයෙනි. විදේශ ගතවූවන්ගේ ප්‍රේෂණ වලින් වේවා, ඇගළුම් කර්මාන්තයේ යෙදෙන්නන්ගෙන් වේවා, වැවිලි ක්ෂේත්‍රයේ හා සංචාරක ක්ෂේත්‍රයේ වේවා වැඩිම ඩොලර් උපයාදෙන්නේ රටේ කාන්තාවන්වීම ගැන කිසිවෙක් කතා නොකරති.

එක්සත් ජාතික පක්ෂ විරෝධී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ වන විට දේශපාලන වශයෙන් නන්නත්තරව සිටින්නේ පසුගිය ඔක්තෝබර් 26 දා සිදුවීමෙන් පසුව ය. එම පක්ෂ දෙක වටා යූඑන්පී විරෝධී ජනතාව ඒකාරාශී වී සිටියත් එම පක්ෂවල දේශපාලන පෞර්ෂය බිංදුවටම පල්ලම් බැස ඇත. එසේ වූයේ මහජනතාව අතර දේශපාලනය කිරීමේ දී සුජාතභාවයක් පවත්වා ගෙන යන්නට එම පක්ෂ අපොහොසත්වීම නිසා යැයි කිව හැකිය. මුළුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී උපක්‍රම වලින් බලය ඩැහැ ගන්නට වෙර වීරිය දැරූ පක්ෂ දෙකකට පෞර්ෂවත් දේශපාලන සුජාතභාවයක් නිර්මාණය කර ගත නොහැක. ඒ ඇද වැටීම මේ වනතුරුත් ආපිට හැරවීමට එම පක්ෂ දෙක අපොහොසත් වී තිබේ. ඒ නිසා අවස්ථාව උදා වුවද දේශපාලන වාසි ලබා ගැනීමට නොහැකි වී තිබේ. 

බොහොදෙනෙක් බලාපොත්තු තබාගෙන ඇත්තේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සුළුතර බලයකින් ආණ්ඩු කරනවා යැයි සිතමිනි. එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුව තුළ සුළුතරයක් බව ඇත්තකි. එහෙත් කිසිම පක්ෂයකට බහුතරයක් නොමැතිවා මෙන්ම සුළුතරයේ වැඩිම මන්ත්‍රී පිරිස සිටින්නේ එම පෙරමුණට ය. එහෙත් දෙමළ ජාතික සංධානය ආණ්ඩුවක් පිහිටුවන්නට සහාය දෙන නිසා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය පවතී. ආණ්ඩුව පරාජය කරන්නට නම් දෙමළ ජාතික සංධානය ආණ්ඩුවට ලබාදෙන සහාය ඉවත් කරගත යුතුය. එහෙත් එවැන්නක් මේ වනතුරුත් ප්‍රකාශයට පත්ව නොමැත.

විසර්ජන පනත් කෙටුම් පත පරාජය කරන්නට අලුත් සංධානයක් නිර්මාණය වන්නේ නම් එසේ වන්නේ අයවැය යෝජනාවල වරදක් නිසා නොවේ. අයවැයක වැරදි සම්බන්ධයෙන් ගැඹුරු හා ව්‍යුහාත්මක විවේචනයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමැත. ඔවුන් ඊට පක්ෂ වන්නේත් විපක්ෂ වන්නේත් නිර්මාණය වන දේශපාලන බලවේගයේ ශක්තිමත්භාවය මත ය. ඊට හොදම උදාහරණය පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීමයි. සමහරු පිල් මාරු කළ වේගය අනුව එක් මොහොතක ඔවුන් ඉන්නේ කවර පිලේදැයි සිතා ගැනීමටවත් නොහැකි විය. ඒ තරමට ඔවුන් සමාජය ඉදිරියේ හාස්‍යයට ලක්විය. කුමන පිලට ගිය ද ඔවුන් බලාපොරුත්තු වූයේ ජව සම්පන්න දේශපාලන බලවේගයක් නිර්මාණය වී තමන්ට ශක්තිමත් තනතුරක් ලබා ගන්නේ කෙසේද යන්නයි. 

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී බහුතර බලයක් දිනා නොගත්ත ද වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ බව සත්‍යයකි. එහෙත් ඒ ජන පදනම තුළින් ශක්තිමත් දේශපාලන අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට එම පක්ෂය තවමත් සමත් වී නොමැත. ඊට හේතුව බලය සම්බන්ධයෙන් පවතින තාර්කික ගැටුම්කාරී වාතාවරණයයි. රාජපක්ෂ පවුල තුළම දේශපාලන බලය සම්බන්ධයෙන් පවතින දැඩි ගැටුම නොරහසකි. එම ගැටුම් තුලනය කර ගැනීමට මහින්ද රාජපක්ෂ සමත්ව ඇතත් මැතිවරණයක දී එය ප්‍රබල අර්බූදයක් නිර්මාණය කරන්නේ ය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් ඇත්තේ එවැනි ගැටුමකි. මේ නිසා දේශපාලන වශයෙන් ශක්තිමත් අනන්‍යතාවක් නිර්මාණය කර ගැනීමට එම පක්ෂ දෙකම අසමත් ය.

මෙවර අයවැය පරාජය කරන්නට ශක්තිමත් උත්සාහයක් තිබේදැයි තාම කිව නොහැක. එහෙත් එවැනි උත්සාහයක දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිල් මාරු කරන්නේ අයවැයේ පවතින කහටක් නිසා නම් නොවේ. තමන්ට ශක්තිමත් තනතුරක් ලබා ගත හැකි පරිදි ස්ථාවර දේශපාලන පිලක් නිර්මාණය කර ගැනීම ඔවුන්ගේ ඉලක්කයයි. එහෙත් එවැනි ස්ථාවර දේශපාලන පිලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් නිර්මාණය වේ යැයි කිව නොහැක. 

එහෙත් එය ආණ්ඩුවේ ශක්තිමත්භාවය ලෙස යමෙක් දකී නම් ඔහු ද සිටින්නේ සිහින ලොවක ය.

Back to Home page